මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අගෝස්තු 27 දින “The Nepal-China flood, climate change and the fight for socialism” යන හිසින් පළවූ බ්‍රයන් ඩයින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.
බදාද උදෑසන පැය කිහිපයක් ඇතුළත, ත්‍රිශූලී (Trishuli) සහ භෝටේ කෝෂි (Bhote Koshi) ගංගා ඔස්සේ කිලෝමීටර් 72ක (හැතැප්ම 45ක) භූමි භාගයක් පුරා ගලාගිය ජල සහ පාෂාණ කඳක්, නේපාලයේ රසුවා (Rasuwa) සහ නුවාකොට් (Nuwakot) දිස්ත්‍රික්කවල පිහිටි නගර දුසිම් ගණනක් විනාශ කරමින් සහ දැඩි ලෙස හානියට පත් කරමින් හදිසි ගංවතුර තත්ත්වයක් (flash flood) නිර්මාණය කළේය. එක් කලෙක මෙම කලාපයේ ප්‍රධාන වෙළඳ සහ සංචාරක මුරපොල වූ නේපාලය සහ ටිබෙටය අතර ගයිරොං වරාය (Gyirong Port) පිවිසුම සම්පූර්ණයෙන්ම අතුගා දැමීය.
නේපාලයේ අවම වශයෙන් පුද්ගලයින් 389 දෙනෙකු සහ චීනයේ 3 දෙනෙකු මියගොස් ඇති අතර, පිළිවෙලින් තවත් 910 දෙනෙකු සහ 558 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීන් තහවුරු කර ඇත. ජලවිද්යාඥයින් (hydrologists) විසින් “දියර කොන්ක්‍රීට්” ලෙස හඳුන්වනු ලැබූ මෙම ජල පහරින් බේරී පලා යාමට උත්සාහ කරන මිනිසුන්ගේ අතිශය ඛේදජනක වීඩියෝ දර්ශන රැසක් සමාජ මාධ්‍ය වෙත එක්වී ඇති අතර, බොහෝ දෙනෙක් ඛේදනීය ලෙස මියගොස් ඇත.
“අද උදෑසන වන තෙක්ම මෙහි වටපිටාව ඉතා අලංකාරව තිබුණා… එතන ජල විදුලි බලාගාරයක් සහ කර්මාන්තශාලාවක් තිබුණා. ඒ සියල්ල ගසාගෙන ගිහින්,” යනුවෙන් නුවාකොට්හි බෙත්‍රාවතී (Betrawati) නගරයේ සෞඛ්‍ය සේවකයෙකු වන රාජේන්ද්‍ර පවුඩෙල් (Rajendra Poudel) බ්‍රහස්පතින්දා අල් ජසීරා (Al Jazeera) පුවත් සේවයට පැවසීය. “මේක ඉතා ඛේදජනක සිදුවීමක්; මට කියන්න වචන නැහැ.”
2026 අගෝස්තු 26 වන බදාදා, නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයේ ත්‍රිශුලි ගඟ දිගේ හදිසි ගංවතුරකට ගොදුරු වූ අයෙකු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට ගලවාගැනීමේ කණ්ඩායම් පස් කපන යන්ත්‍රයක් භාවිතා කරයි. [AP ඡායාරූපය/නිරංජන් ශ්‍රෙස්තා]

මෙම ගංවතුරින් රසුවාහි ටිමූරේ (Timure) සහ ස්යාපෲ බේසි (Syapru Besi) මෙන්ම නුවාකොට්හි බෙත්‍රාවතී (Betrawati) යන ගම්මාන රැසක් පස්වලින් යටවූ අතර, අවම වශයෙන් පාලම් 19ක් සහ කිලෝමීටර් 40ක පමණ (හැතැප්ම 25ක) මාර්ග විනාශ විය. මෙගාවොට් 430ක විදුලි උත්පාදන ධාරිතාවක් අක්‍රිය වී ඇති බව නේපාල විදුලිබල මණ්ඩලය තක්සේරු කළේය. නායයෑමේ කඩා වැටුණු පස් කන්දට පිටුපසින් එක්රැස් වන නව විලක් එම බැම්ම පුපුරා ගොස්, එම නිම්නය ඔස්සේම දෙවන ගංවතුර රළක් පැමිණීමේ අවදානමක් පවතින බවට චීන බලධාරීන් බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවීය.
භූමිකම්පා විද්‍යාත්මක දත්තවලට අනුව, මෙම ව්‍යසනයට ආසන්නතම හේතුව වී ඇත්තේ ටිබෙටයේ හිම කඳු සහිත බෑවුමකින් අයිස් සහ පාෂාණ තට්ටුවක් කඩාගෙන වැටීමයි. එය ජර්මනියේ සහ එක්සත් ජනපද භූ විද්‍යාත්මක සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey) රිච්ටර් මාපකයේ 5.2ක ප්‍රමාණයේ භූමිකම්පා සිදුවීමක් ලෙස සටහන් වන තරම් හිමධාවයක් (විශාල හිම කඩා වැටීමක් – avalanche) විය. කෙසේ වෙතත්, මෙයින් නිර්මාණය වී ඇති සමාජ ව්‍යසනය, දේශගුණික විපර්යාසය නැවැත්වීමට හෝ නියත ලෙස නියමිත මාරාන්තික ප්‍රතිවිපාක සඳහා සිය ජනතාව සූදානම් කිරීමට ලෝකයේ ධනපති ආණ්ඩු දක්වන ප්‍රතික්ෂේප කිරීමේ නවතම ප්රතිඵලයයි.
ගංවතුරට ලක්වූ නේපාලය සහ ටිබෙට් සීමාව ඇතුළුව හිමාලය වැනි උස් භූමි ප්‍රදේශ පිළිබඳ කෙරුණු අධ්‍යයනයන්ගෙන් වසර ගණනාවක සිට පෙනී ගොස් ඇත්තේ, එවැනි ප්‍රදේශ ගෝලීය උණුසුම් වීමට (global warming) විශේෂයෙන් ගොදුරු විය හැකි බවයි. සුළු උණුසුම් වීමකදී පවා හිම දියවන අතර, නිරාවරණය වන පාෂාණ මගින් වැඩි සූර්යාලෝකයක් අවශෝෂණය කරගනිමින් තවදුරටත් උණුසුම් වීම වැඩි කරයි. එය නැවතත් හිම දියවීම වේගවත් කරමින් ධනාත්මක ප්‍රතිපෝෂණ චක්‍රයක් (positive feedback loop) නිර්මාණය කරයි.
අන්තර්-රාජ්‍ය විද්‍යාත්මක ආයතනයක් වන ඒකාබද්ධ කඳුකර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (International Centre for Integrated Mountain Development – ICIMOD) 2023 දී වාර්තා කළේ, ඊට පෙර දශකයට වඩා 2011-2020 කාලය තුළ හිමාලයානු ග්ලැසියර සියයට 65ක වේගයෙන් අතුරුදහන් වූ බවයි. මෙයට පෙර වසරේ මාර්තු මාසයේදී ICIMOD වෙතින් නිකුත් වූ සමාන අධ්‍යයනයකින් නිගමනය වූයේ, හිමාලයානු ග්ලැසියරවල අයිස් ක්ෂය වීමේ සීඝ්‍රතාව 2000 වසරේ පැවැති අගය මෙන් දෙගුණයකින් වැඩි වී ඇති බවයි. “මෙය ඈත අනාගතයේ ඇතිවන ප්‍රශ්නයක් නෙවෙයි; සෑම ග්‍රීෂ්ම ඍතුවකම සහ මෝසම් කාලයකදීම අලුත් ව්‍යසනයන් නිර්මාණය කරමින් සැබෑ ලෙසම අප ඉදිරියේ තථ්‍ය කාලිනව දිගහැරෙන අර්බුදයක්” යනුවෙන් එම වාර්තාව අනතුරු ඇඟවූයේ මීට මාස පහකට පෙරය.
දේශගුණික අර්බුදයේ මෙම නිශ්චිත පැත්ත සම්බන්ධයෙන් ලෝකයේ ආණ්ඩුවල ප්‍රතිචාරය ඉතා නොගැණිය හැකි නැතහොත් ඉතා සුළු එකක් වී ඇත. ග්ලැසියර ගංවතුරෙන් නේපාල ජාතිකයන් මිලියන 2.4ක් ආරක්ෂා කිරීම සඳහා, අධි අවදානම් සහිත වැව් හතරක් සිඳවීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සෑදීම ඇතුළත් වැඩසටහනක් 2025 ජූලි මාසයේදී හරිත දේශගුණික අරමුදල (Green Climate Fund – GCF) විසින් අනුමත කරන ලදී. වසර හතක් සඳහා මෙම ව්‍යාපෘතියේ අයවැය ඩොලර් මිලියන 49.9කි. එය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනවාරි මාසයේදී සම්මත කළ ඩොලර් බිලියන 839ක විසර්ජන පනතේ අනුපාතික වේගයට අනුව, එ.ජ. මිලිටරි වියදම් වලින් විනාඩි 30ක පමණ ප්රමාණයකි.
දේශගුණික විපර්යාසයට එරෙහිව සටන් කිරීමේ අනෙකුත් සෑම පියවරක්ම ද ඒ හා සමානව නිශ්ඵල වී ඇත්තේ, ඒවා සංගත (corporate) ලාභ ලැබීමේ ධාවනයට සහ වේගවත් වන යුද්ධය කරා හරවා යැවෙන සම්පත් භාවිතයට යටත් කර ඇති බැවිනි. ට්‍රම්ප් පාලනාධිකාරිය ජනවාරි 27 වන දින පැරිස් සම්මුතියෙන් (Paris Accord) ඉවත් වූ අතර, පෙබරවාරි 12 වන දින හරිතාගාර වායු (greenhouse gases) පිළිබඳ පරිසර සංරක්ෂණ නියෝජිතායතනයේ (Environmental Protection Agency – EPA) තීරණය අවලංගු කරමින්, එය “එ.ජ. ඉතිහාසයේ විශාලතම නිර්නියාමන ක්‍රියාව” (deregulatory ) ලෙස උදම් ඇනීය.
පසුගිය නොවැම්බරයේ බ්‍රසීලයේ බෙලෙම් (Belém) නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට (COP30) එක්සත් ජනපදය සහභාගී වූයේ පවා නැත. එමෙන්ම පොසිල ඉන්ධන භාවිතය අදියරෙන් අදියර ඉවත් කිරීමේ සහ කාබන් විමෝචනයසීමා කිරීමේ මාර්ග සිතියම සඳහා වූ යෝජනාව චීනය, ඉන්දියාව, සවුදි අරාබිය සහ රුසියාව විසින් වළක්වන ලදී. යුරෝපය තුළ, අධිරාජ්‍යවාදී බලවතුන් (imperialist powers) රුසියාව සමඟ සෘජු ගැටුමකට සූදානම් වීම සඳහා නැවත ආයුධ සන්නද්ධ වෙමින් සිටින බැවින්, දේශගුණික පොරොන්දු සම්පූර්ණයෙන්ම අත්හැර දමමින් පවතී.
හිමාලයේ උණුසුම් වීම සිදුවන්නේ සමස්තයක් ලෙස ඉහළ යන ගෝලීය උෂ්ණත්ව ප්රවණතාවලට සමාන්තරවය. ගංවතුරට දින හතරකට පෙර, අගෝස්තු 22 වන දින, යුරෝපීය සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය (Copernicus Climate Change Service) විසින් මෙතෙක් මැන බලන ලද ඉහළම දෛනික ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය (global ocean surface temperature) ලෙස සෙල්සියස් අංශක 21.1ක් (ෆැරන්හයිට් අංශක 70ක්) වාර්තා කරන ලද අතර, එය 2024 මාර්තු මාසයේදී තබා තිබූ වාර්තාව අභිබවා ගියේය. සාමාන්‍යයෙන් සාගර සිසිල් වන අගෝස්තු අග භාගයේදී මෙම අගය වාර්තා වීම විශේෂත්වයකි.
මෙම වසරේ මුල් භාගයේ ජූලි මාසයේදී, බටහිර යුරෝපයේ සාමාන්‍ය උෂ්ණත්වය ඓතිහාසික සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2.79කින් (ෆැරන්හයිට් අංශක 5කින්) ඉහළ ගිය අතර, එමගින් ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලක්ෂ 3.75කට වැඩි පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට සිදුවිය. එම මාසයේදීම, කැනඩාවේ සහ එ.ජ. මධ්‍යම-බටහිර ප්‍රදේශයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවේ නැගෙනහිර අර්ධයෙන් වැඩි ප්‍රමාණයක් විෂ සහිත දුමෙන් වැසී ගිය අතර, ඩුලූත් (Duluth) සහ මින්නසෝටා (Minnesota) යන ප්‍රදේශවල වායුගෝලීය ගුණාත්මක දර්ශකය (air quality index) 900ට ඉහළින්ද, ඩිට්රොයිට් (Detroit) වැනි ප්‍රධාන නාගරික ප්‍රදේශවල 500ට ඉහළින්ද සටහන් විය.
තවද අගෝස්තු 13 වන දින, එක්සත් ජනපද ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනය (National Oceanic and Atmospheric Administration – NOAA) වාර්තා කළේ, මේ සරත් සහ ශීත ඍතුවේදී ඉතා ප්‍රබල එල් නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ සියයට 90කට වැඩි සම්භාවිතාවක් සහ එය මෙතෙක් වාර්තා වූ ප්රබලතම එල් නිනෝ තත්ත්වය වීමේ සියයට 69ක සම්භාවිතාවක් පවතින බවයි. එමගින් ගෝලීය උණුසුම් වීමේ වඩාත් තියුණු කූඨයක වර්ධනයක් සිදුවනු ඇත.
මෙසේ බොහෝ ව්‍යසනයන් සිදුවී තිබීම සහ ඉදිරියටත් සිදුවීමට නියමිතව තිබීම ධනපති ක්‍රමයට (capitalist system) එල්ල වන චෝදනා පත්රයකි. ගෝලීය උණුසුම් වීමේ අනතුර ගැන මුලින්ම කෙරුණු ප්‍රකට අනතුරු ඇඟවීමක් කරනු ලැබුවේ අභාවප්‍රාප්ත තාරකා විද්‍යාඥ කාල් සේගන් (Carl Sagan) විසිනි. ඔහු 1985 දී අනතුරු අඟවමින් කියා සිටියේ “විපතක පෙරනිමිති” (“handwriting on the wall”) දැනටමත් මතුව ඇති බවත්, නරකම බලපෑම් ඇතිවීම වැළැක්වීම සඳහා විශාල ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකළ යුතු බවත්ය.
එම අනතුරු ඇඟවීම් සහ ලෝකයේ බහුතරයක් විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම් සක්‍රීය ලෙස නොසලකා හැර ඇති ලෝකයක මිනිස් සංහතිය අද ජීවත් වේ. කම්කරුවෝ සහ ශ්‍රමය වගුරන්නෝ දිනපතාම වඩාත් විනාශකාරී කුණාටුවලට, දිගු උෂ්ණත්ව තරංගවලට, වියළි නියඟයන්ට සහ නොනැවතී ඇතිවන සේ පෙනී යන ලැව්ගිනිවලට මුහුණ දෙති. කොරල් පර විනාශ වෙමින් පවතින අතර, එය පෘථිවියේ ආහාර දාමයේ සැලකිය යුතු කොටසකට තර්ජනයක් වී ඇත. ග්ලැසියර දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම මගින් පෘථිවියේ සෑම වෙරළබඩ නගරයක්ම සෙමින් ජලයෙන් යටවෙමින් පවතින අතර, ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් අවතැන් වීමේ අවදානමක් පවතී.
පසුගිය වසර 41 තිස්සේ පෙන්නුම් කර ඇත්තේ, මෙම ස්වාභාවික ක්‍රියාවලීන් තේරුම් ගැනීමට සහ පාලනය කිරීමට මිනිස් සංහතියට මීට පෙර කවරදාවත් නොතිබූ තරම් විශාල හැකියාවක් ඇති බවයි. කෘතිම චන්ද්‍රිකා මගින් හිමාලයේ සහ ලොව පුරා ඇති සියලුම ග්ලැසියර සිතියම්ගත කරයි; කෘතිම බුද්ධිය සහ සුපිරි පරිගණක මගින් ඉදිරි දශක ගණනාව සඳහා දේශගුණය ආකෘතිගත කරයි; සූර්ය, සුලං, රළ, භූ-තාප සහ වෙනත් විකල්ප බලශක්ති ප්රභවයන්ගේ විශාල දියුණුව හේතුවෙන් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු භාවිතයේ අවශ්‍යතාව න්‍යායාත්මකව අහෝසි වී ඇත; මූලික වශයෙන්ම, නව අති-සන්නායක ද්‍රව්‍යවල (superconductive materials) වර්ධනය මගින් අතිමහත් විදුලිය නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය විශාල ලෙස අඩු කිරීමට මග පාදමින් ඇත.
නමුත් මෙම හැකියාවන් භාවිත කිරීම සහ එවැනි පදනමක් මත ජාත්‍යන්තර මට්ටමින් සමාජීය හා ආර්ථික ජීවිතය නැවත සංවිධානය කිරීම, පෞද්ගලික ලාභය සහ ලෝකය ප්රතිපක්ෂ ජාතික රාජ්‍යයන් ලෙස බෙදා තිබීම හමුවේ සෑම අඩියකදීම වළක්වනු ලැබේ. එම නිසා, දේශගුණික විපර්යාසයට විසඳුම විද්‍යාත්මක හෝ තාක්ෂණික ප්‍රශ්නයක් නොව, දේශපාලනික සහ තියුණු විප්ලවවාදී ප්රශ්නයකි.
ෆ්රෙඩ්රික් එංගල්ස් (Frederick Engels) වානරයා මිනිසා බවට පත්වීමේ සංක්රාන්තියේදී ශ්‍රමය ඉටුකළ කාර්යභාරය (The Part Played by Labour in the Transition from Ape to Man) නැමැති කෘතියේ ලිව්වේ, මිනිසා සොබාදහම පරාජය කර ලබන “සෑම ජයග්‍රහණයක් සඳහාම, සොබාදහම අපෙන් පළිගන්නා” බවයි. “නිෂ්පාදනයේ ප්‍රතිවිපාක පාලනය කිරීම සඳහා “හුදෙක් දැනුමට වඩා වැඩි යමක් අවශ්‍ය වන අතර, ඒ සඳහා අපගේ මෙතෙක් පැවැති නිෂ්පාදන මාදිලියේ (mode of production) සම්පූර්ණ විප්ලවයක් සහ ඒ සමඟම අපගේ සමස්ත සමකාලීන සමාජ පර්යායේම විප්ලවයක් අවශ්‍ය වන” බවත් ඔහු ලිවීය.
දැන් ඒ බව වඩාත් බලවත් ලෙස පැවසිය හැකිය. කිසිදු ධනපති ආණ්ඩුවක් දේශගුණික විපර්යාස සඳහා කිසිදු බරපතල විසඳුමක් යෝජනා නොකරන්නේ, ආර්ථික ජීවිතය මූල්‍ය කතිපයාධිකාරියේ ද්‍රව්‍යමය වුවමනාවන්ට යටත් කර ඇති තාක් කල් එය කළ නොහැකි බැවිනි. එමෙන්ම, වර්තමාන සමාජ පර්යාය හුදෙක් ප්‍රතිසංස්කරණය කළ යුත්තක් ලෙස පමණක් පිළිගන්නා හරිත පක්ෂවල සහ ව්‍යාජ-වමේ සංවිධානවල වැඩසටහන් කෙරෙහිද කිසිදු විශ්වාසයක් තැබිය නොහැක.
එනිසා, දේශගුණික විපර්යාසයට ඇති එකම විසඳුම ධනපති ක්රමයම විප්ලවවාදී ලෙස පෙරළා දැමීමයි. මෙය සිදුකළ යුත්තේ කම්කරු පන්තිය විසිනි. දේශගුණික විපර්යාස අවම කිරීම, ආපසු හැරවීම සහ පාලනය කිරීම සඳහා බලශක්ති, කෘෂිකර්ම සහ සැපයුම් ජාල (logistics) කර්මාන්තයන්හි අවශ්‍ය පරිවර්තනය සිදුකිරීමට සමත්, ස්වභාවයෙන්ම ජාත්‍යන්තර වන එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees – IWA-RFC) මෙම පදනම මත කම්කරුවන් බලමුලු ගැන්වීමටත්, මූල්‍ය කතිපයාධිකාරියේ දේපළ සමාජ සන්තක කිරීමටත්, සමාජවාදී පදනම් මත ලෝක ආර්ථිකය නැවත සංවිධානය කිරීමටත් සටන් කරයි.
