ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමේදී ඩොලරයේ අර්බුදය සාකච්ඡාවට බඳුන් වේ

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ‘Dollar crisis is focus of discussions at IMF meetingයන හිසින් 2025 අප්‍රේල් 30 දින පලවූ නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

එක්සත් ජනපද ඩොලරය කොයිබටද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් සඳහා පසුගිය සතියේ වොෂින්ටනයේ රැස්ව සිටි ගෝලීය මූල්‍ය පද්ධතියේ නායකයින් අතර සාකච්ඡාවට ආධිපත්‍යය දැරූ ප්‍රශ්නය එයයි.

නිව් යෝර්ක් ටයිම්ස් හි කොල්බි ස්මිත්ගේ වාර්තාවක්, පැවැති වාතාවරණයෙන්  කොටසක් අසු කර ගන තිබුනි.

ලිපිය ආරම්භ වූයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින් සහ ආයෝජකයින් සමූහයකට එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) විසින් කරන ලද ප්‍රකාශයන් වෙත අවධානය යොමු කිරීමෙනි. එහිදී ඔහු එක්සත් ජනපදයට “ශක්තිමත් ඩොලරයක්” අවශ්‍ය බවත් ඔවුන්ට ඒවා  සන්තකයේ රදවා ගැනුම අවශ්‍ය වනු ඇති බවත් සහතික කරමින් ඔවුන්ගේ චකිතය සන්සුන් කිරීමට උත්සාහ කළේය.

“ඩොලරය දුර්වල වීම සමග සම්පාත වූ කොටස් මිල ගණන්වල  ප්‍රචණ්ඩකාරී පැද්දීම්” සහ එක්සත් ජනපද ආන්ඩු බැඳුම්කරවලින් ආයෝජකයින් ඉවතට යෑම විසින් “ කුලප්පුව ඇවිල යාමෙන්” පසු “සමනයක්”  ලබා දීම  එහි අරමුන වූ බව ලිපිය කියා සිටියේය. 

Dollar
එක්සත් ජනපද ඩොලර් නෝට්ටු [AP ඡායාරූපය/මාර්ක් ලෙනිහාන්]

“මෙතරම් විශාල ජනකායක් ඉදිරියේ මෙම පණිවිඩය අවධාරණය කිරීම අවශ්‍ය බව බෙසන්ට් මහතා නිගමනය කිරීමේ කාරණයෙන් පෙන්නුම් කරන්නේ, දින 100 කටත් අඩු කාලයකට පෙර ට්‍රම්ප් මහතා ධවල මන්දිරයට ආපසු පැමිණීමෙන්   පසු තත්වය කෙතරම් අස්ථිර වී ඇත්ද යන්නයි. දැන් විශාල වශයෙන් මතුවන්නේ ඩොලරය සහ අනෙකුත් එක්සත් ජනපද වත්කම් (භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර ආදිය) කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය නැති වීමට පටන් ගන්නේ නම් කුමක් සිදුවේද යන්න පිළිබඳ අසහනකාරී  ප්‍රශ්නයි.”

සිටිගෘප් (Citigroup) හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නේදන් ෂීට්ස් (Nathan Sheets)  ට අනුව: ” (දැන්) මිනිසුන් පෙරටු අවස්ථාබද්ධ සැලසුම්කරණය [Scenario planning- ඉදිරියේ දී විය හැකි විවිධ අවස්ථා සඳහා සැලසුම් කරනය] කරන්නේ,  පෙර කාලයන්හි දී  සිදු නොවිය හැකි යැයි   තීරණය කළ හැකි වූ අවස්ථා හරහා වන අතර, භව්‍යතා සැලසුම්කරණයේ [contingency planning-අනපේක්ෂිත සිදුවීම් සඳහා සැලසුම්කරනය] විලාශයෙන් ඔවුන් ඒවා ඉතා බැරෑරුම් ආකාරයකට සිදු කරති”

වත්මන් කැළඹීම ගෙවී යන අවධියක් බවත්, දේවල් සමථයකට පත් වනු ඇති බවත්, වැඩි හානියක් සිදු වීමට පෙර “සාමාන්‍ය තත්ත්වයට” නැවත පැමිණෙන බවත් විශ්වාස කිරීමට නියාමකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ආයෝජකයින්  කැමතිය.

එහෙත් ඓතිහාසික විග්‍රහයකින් පෙනී යන්නේ ඉදිරි කාලය තුළ වෙළෙඳපොළේ කුමන උස් පහත්වීම් සිදු වුවද මූලික පෙරළියක් සිදුව ඇති බවයි.

ගෝලීය ආර්ථික පර්යාය  ලෙස හඳුන්වන කාල සීමාව අදියර දෙකකට වැටේ: 1945 සිට 1971 දක්වා සහ 1971 සිට අද දක්වා කාලය.

පළමු කාල පරිච්ෙඡ්දය තුළ, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය පදනම් වූයේ, 1944 බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම මත වන අතර ඒ යටතේ ඩොලරය, අවුන්සයකට ඩොලර් 35 බැගින් වූ රත්‍රන් වල පිටු බලය ඇතිව, ගෝලීය මුදල බවට පත් විය.  1930 ගණන්වල වෙළඳ පද්ධතිය බිඳ වැටී ලෝකය ප්‍රතිවාදී කණ්ඩායම්වලට බෙදී ගිය විට ඇති වූ විනාශකාරිත්වය  අවසන් කිරීම එහි අරමුණ විය.

එම ක්‍රමය 1971 අගෝස්තු 15 වන දින අවසන් වූයේ, ගෙවුම් ශේෂය සහ වෙළඳ හිඟ ශේෂය පුළුල් වීම නිසා එක්සත් ජනපදයට තම වගවීම්වලට ගරු කළ නොහැකි කොන්දේසි යටතේ ජනාධිපති නික්සන් ඩොලරයේ රන් ආධාරය ඉවත් කර ගැනීමත් සමඟ ය. එය, බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුමේ පදනම වන එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යය සැලකිය යුතු ලෙස දුර්වල වෙමින් පවතින බවට ලකුණක් විය.

ප්‍රධාන මූල්‍ය කැළඹීම් සහ ඉහ වහා ගිය උද්ධමනයෙන් අනතුරුව, ඩොලරය ගෝලීය මුදල් ලෙස දිගටම ක්‍රියාත්මක විය. නමුත් එය සම්පූර්ණයෙන්ම වෙනස් පදනමක් මත සිදු විය.

තවදුරටත් එය  සැබෑ වටිනාකමේ ප්‍රතිමූර්තිය වන  රත්තරන් විසින් පිටුබලය නොලබන ලදි. එය එක්සත් ජනපද රාජ්‍යයේ මූල්‍ය බලය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය මත රැඳුණු ආඥප්ති (fiat -සැබෑ වත්කම් වල පිටුබලය නැති) මුදල් ඒකකයකි. මෙම පද්ධතිය විශාල බලපෑම් සහිත විය. 

රත්‍රන් සමඟ ඇති බැඳීම මගින් පනවන ලද සීමාවන්ගෙන් නිදහස් වූ ඩොලරය, මූල්‍ය ප්‍රාග්ධනය වෙලඳපොල මෙහෙයුම් හරහා ලාභය අත්කර ගැනීමට උත්සාහ කිරීමත් සමඟ, සෑම වසරකම වර්ධනය වූ දැවැන්ත ජාත්‍යන්තර ණය පද්ධතියක කේන්ද්‍රස්ථානය බවට පත් විය.

බ්‍රෙටන් වුඩ්ස් පද්ධතියේ කොටසක් ලෙස, මුදල් අනුපාත ස්ථාවර වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, එ.ජ. සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය ගලායාම් සදහා  විශාල සීමා පැනවී තිබුනි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් ප්‍රධාන ආන්ඩු ඔවුන්ගේ පෙර පැවති – ඒවායින් බොහොමයක් 1930 ගනන් දක්වා දිව ගිය – නියාමන පියවර සියල්ලම පාහේ ඉවත් කිරීමත් සමඟ දැන් එවා  මුදා හැරුණි. 

මෙම ක්‍රමය, එක්සත් ජනපද රාජ්‍යයේ මූල්‍ය බලය කෙරෙහි ඇති විශ්වාසය මත රඳා පැවතුනි. එහි දේශපාලන ව්‍යුහයේ සහ නීතියේ ආධිපත්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය, ඊට නොඅඩුවම  වැදගත් විය.

දැන් ඒ සියල්ල ප්‍රශ්නයට බඳුන්ව ඇත. 

නිල මූදල් හා මූල්‍ය ආයතන සංසදයේ එක්සත් ජනපද සභාපති මාර්ක් සෝබල් ටයිම්ස් ට පැවසූ පරිදි : “පද්ධතිය තුල ඩොලරයේ භූමිකාව දෙවියන් විසින් නියම කලා  නොවේ. එය එක්සත් ජනපදයේ ගුනාංග පිළිබිඹු කිරීමකි.”

ඒවාට ඇතුළත් වන්නේ: ලෝකයේ සෙසු රටවල් සමඟ ගනුදෙනු කරන විශාල ආර්ථිකයක්; මූල්‍ය පද්ධතියේ ගැඹුරුම, වඩාත්ම ද්‍රවශීල වෙලඳපොලවල්; විශ්වසනීය මහ බැංකුවක් සහ නීතියේ ආධිපත්‍යය.

මෙම අත්තිවාරම් දෙදරා ගොස් හෝ කැඩී බිඳී යාමේ දියුණු අවධියක පවතී.

ගෝලීයකරණය වූ ආර්ථිකයක තතු තුල, විසකුරු ආර්ථික ජාතිකවාදය මත ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තිය පදනම් ව  ඇති ප්‍රමාණය කොපමණ යත්, චීනය මත සියයට 145ක තීරුබදු ඉහල දැමීමත් සමග එය, එක්සත් ජනපදය සහ ලෝකයේ අංක දෙක ආර්ථිකය අතර පවුරක් බැද ඇත.

ට්‍රම්ප් නිමක් නැතිව පුනරුච්චාරණය කරන පරිදි, සතුරා එක්සත් ජනපදය “සූරාගෙන කන” ලෙස සලකන විට “අවශේෂ ලෝකය සමඟ ගනුදෙනු කිරීම” පිළිබඳ අනාගතය කුමක්ද?

“ගැඹුරුම සහ වඩාත්ම ද්‍රවශීලී වෙලඳපොලවල්” පිළිබඳ තත්ත්වය කුමක්ද? එක්සත් ජනපද බැංකු හා මූල්‍ය ආයතනවල සමපේක්ෂන ක්‍රියාකාරකම් මගින් අවුළුවන ලද 2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ පටන්ම, දැන් ඩොලර් ට්‍රිලියන 29 ක් වන එක්සත් ජනපද භාණ්ඩාගාර වෙලඳපොලේ ස්ථාවරත්වය, වැඩි වන කනස්සල්ලට හේතු වී ඇත.

COVID වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මාසයේදී, වෙළඳපල ගල් ගැසුනි. ලෝකයේ සුරක්ෂිතම මූල්‍ය වත්කම යැයි කියනු ලබන එක්සත් ජනපද රජයේ නය සඳහා දින කිහිපයක් තිස්සේ ගැනුම්කරුවෝ නොසිටියහ. සම්පූර්ණ කඩා වැටීම වැළැක් වනු ලැබුවේ ඇමරිකානු ෆෙඩරල් රිසව් හි (එක්සත් ජනපදයේ මහා බැංකුව)  ඩොලර් ට්‍රිලියන ගනනක දැවැන්ත මැදිහත්වීමක් තුලින් පමනි.

සෝබෙල් විසින් හඳුනාගත් අවශ්‍ය ස්ථාවරත්වයේ ප්‍රධාන සාධකයක් වන එක්සත් ජනපද මහ බැංකුව වන ෆෙඩරල් රිසව් බැංකුවේ විශ්වසනීයත්වය, එහි සභාපති ජෙරොම් පවල් නෙරපා හැරීමට ට්‍රම්ප් විසින් කරන ලද තර්ජන සමඟ ප්‍රශ්න ගතව ඇත. එමගින් මූල්‍ය පද්ධතිය කඩා වැටෙනු  ඇති බවට අනතුරු ඇඟවීම් ලැබීමෙන් පසු ට්‍රම්ප් එම තර්ජනය ආපසු හරවා ගත් නමුත් හානිය සිදුවී හමාරය.

දැන් මතු කරමින් තිබෙන ප්‍රශ්නය වන්නේ ලබන වසරේ පවල්ගේ ධුර කාලය අවසන් වන විට ට්‍රම්ප් එම තනතුරට පත් කරන්නේ කවුරුන්ද යන්නයි.  ෆෙඩරල් මහ බැංකුවේ ඊනියා “ස්වාධීනත්වය”  – එනම් උද්ධමනය මැඩ පවත්වාගෙන යාම සදහා වන මූල්‍යයේ [මූල්‍ය අධිකාරිත්ව යේ] ඉල්ලීම්වලට ස්ථිරසාරව  අනුගත වීම – ආරක්ෂා කරන්නෙක්ද, නැතහොත් ඕනෑම දිනක ඔහු පවසන දේ කුමක් වුවත් ට්‍රම්ප් පසු පස්සේ ඇදී යන අයෙක් ද?

“නීතියේ ආධිපත්‍යය” සම්බන්ධයෙන් ගත් කල, එය දිනපතා කුණු කූඩයට දමමින් තිබෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් තමන් නීතියට ඉහළින් සිටින බව ප්‍රකාශ කරමින්, උසාවි නියෝග නොතකමින්, විනිසුරුවන් අත්අඩංගුවට ගැනීම පවා ආරම්භ කර ඇති හෙයිනි.

ට්‍රම්ප් සිය ආර්ථික යුද්ධය ලෝකයට එරෙහිව මුදා හරින ලද “විමුක්ති දිනයේ” සිට ගත වූ මාසය තුළ පුපුරා ගිය වත්මන් කැලඹීම තුළ, මූල්‍ය කවයන් තුළ වඩාත්ම කනස්සල්ලට හේතු වී ඇත්තේ දිගුකාලීනව ස්ථාපිත වූ ප්‍රවණතාවක් ආපසු හැරීම හේතුවෙනි.

වසර 40කට පමණ පෙර 1987 ඔක්තෝම්බර් කොටස් වෙලඳපොල කඩාවැටීම දක්වා ආපස්සට යන පසුගිය කාලපරිච්ඡේදයේ බොහෝ කුණාටු, ආරක්ෂිත තෝතැන්නක් සොයා එක්සත් ජනපද ඩොලරය සහ ඇමරිකානු මූල්‍ය වත්කම් වෙත ගමන් කිරීම මගින් සංලක්ෂිත විය.

මෙම අවස්ථාවේ දී එසේ නොම විය. ඒ වෙනුවට, එක්සත් ජනපද භාන්ඩාගාර නය විකුණා දැමීමක් සිදුවී ඇති අතර, පලදාවන් (yields) ඉහල යාමට නැතහොත් පොලී අනුපාත ඉහල යාමට තුඩුදී ඇත (පොලී අනුපාත සහ බිල්පත් මිල යන මේ දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි) සහ ජාත්‍යන්තර මුදල් වෙලඳපොලවල ඩොලරය දිගටම පහත වැටී ඇත.

ටැම්පා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය විවේකානන්ද ජයකුමාර විසින් ද හිල් (The Hill ) හි පළ කළ ලිපියක,  සඳහන් කළ පරිදි “පෙළපොත් දෘෂ්ටිකෝණය” වූයේ [පොතේ හැටියට නම්], එක්සත් ජනපදය විසින් තීරුබදු පැනවීම ඩොලරය ශක්තිමත් කරනු ඇති බව ය.

“එහෙත් යථාර්ථය බෙහෙවින් වෙනස් වී ඇත … ජීවමාන මතකයේ පළමු වතාවට, ඇමරිකානු ඩොලරය යනු, අර්බුදකාරී කාල පරිච්ඡේදවලදී සහ දැඩි අවිනිශ්චිතතාවයේ අවස්ථාවන්හිදී ලොව පුරා ආයෝජකයින් විසින් ස්වයංක්‍රීයව සොයා යන  ‘ආරක්‍ෂාව කරා  පියෑඹීමේ’ මුදල නොවේ.”

ඇත්ත වශයෙන්ම, මූල්‍ය වෙලඳපොලවල අතිමහත් මනෝභාවය “ඇමරිකාව විකුණන්න” [එක්සත් ජනපද ඩොලර්  සහ වත්කම් විකිණීම] යන්නයි.

දිගුකාලීන ඉතිහාසඥයෙකු සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ශිෂ්‍යයෙකු වන බැරී අයිකන්ග්‍රීන් (Barry Eichengreen) ටයිම්ස් වෙත මෙසේ පැවසීය: “බරපතල තත්වයක් දැන් ඉස් මතුව  තිබේ.”

“ඩොලරයෙන් අවුල් සහගත ලෙස කඩිමුඩියේ ඉවත්ව යෑමක් අර්බුදයක් වනු ඇත. හිටිවනම, 21 වන සියවසේ ගෝලීයකරණය රඳා පවතින ජාත්‍යන්තර ද්‍රවශීලතාවය ලෝකයට නොලැබෙනු ඇත.”

ඩොලරයේ ජාත්‍යන්තර කාර්යභාරය ඉටු කළ හැකි වෙනත් මුදල් වර්ගයක් නොමැත.

BNP Paribas හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඉසබෙල් මාටියොස් ඉ ලගො Times වෙත මෙසේ පැවසීය: “විවිධාංගීකරණය” සොයා යෑම යථාර්ථවාදී විය යුතු අතර, “සංචිත වත්කම්, නිර්වචනානුකූලවම, ද්‍රවශීලී විය යුතුය.”

ගැඹුරු සහ ද්‍රවශීල ප්‍රාග්ධන වෙලඳපොලවල් නොමැති සහ එහි මුදල නිදහසේ චලනය නොවන චීනය මෙම නිර්ණායක සපුරාලන්නේ නැත. යුරෝපීය මහ බැංකුව, යුරෝව ප්‍රවර්ධනය කිරීමට කැමති නමුත් යුරෝව රජයන වත්කම් ප්‍රමාණය “එක්සත් ජනපද ප්‍රාග්ධන වෙලඳපොලවල් හා සැසඳීමේදී නොසැලකිය යුතු තරම් වේ.”

නමුත් මෙම නිවැරදි නිරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “බහු ධ්‍රැවීය [multipolar] පද්ධතියකට සම්පූර්ණවම [ඵලදායීව] ක්‍රියා කළ හැකිය.”

මෙම ප්‍රකාශය පදනම් වී ඇත්තේ එක්සත් ජනපදයට තවදුරටත් ජාත්‍යන්තර සංචිත මුදලේ භූමිකාව ඉටු කළ නොහැකි නම්, අමතර සංඛ්‍යා [ඩොලරයට අමතරව වෙනත් මුදල්] මගින් ආරක්ෂාව සැලසෙන බවට වන “සාමාන්‍ය බුද්ධිය” මත මිස අන් කිසිවක් මත නොවන බව පෙනේ.

ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා සමග පොරබදමින් සිටින විට “සාමාන්‍ය බුද්ධිය” වැදගැම්මකට නැති බව පෙන්නුම් කරමින්, බහු ධ්‍රැව ලෝකයක් පිලිබඳ තක්සේරුව වර්තමාන යථාර්ථය සහ ඉතිහාසය යන දෙකම නොසලකා හරියි.

තම ආර්ථිකයට මුක්කු ගසා ගැනීමට සහ එහි දැවැන්ත යුධ යන්ත්‍රයට මුදල් සපයා ගැනීම පිනිස රාජ්‍යයට දැවැන්ත නය ගොඩ ගසා ගැනීමට හැකි වන බැවින්, ඩොලරයේ ආධිපත්‍යය පවත්වා ගැනීම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස එක්සත් ජනපදය සලකයි.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ට්‍රම්ප් කියා සිටියේ එය [ඩොලරය විස්ථාපනය වීම] යුද්ධයක් පරාජයට සමාන වන බවත්, බලයට පත් වූ දා සිට ඔහු කියා සිටියේ, බ්‍රික්ස් [BRICS] රටවල් සමූහය වෙනත් රටවල් සමඟ විකල්පයක් නිර්මාණය කිරීමට දරන ඕනෑම උත්සාහයක් එක්සත් ජනපදයේ ප්‍රතිප්‍රහාරයට ලක්වන බවත්ය.

ඉතිහාසයේ පාඩම් ද එලෙසම නොසලකා හරිනු ලැබේ. අතීතයේ බහුධ්‍රැව ලෝකයක් තිබුණි. 1930 ගණන් වලදී රත්‍රන් හැරුණු විට විශ්වීය වශයෙන් පිළිගත් ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමයක් නොතිබූ අතර, 2 වන ලෝක යුද්ධය සඳහා කොන්දේසි නිර්මානය කිරීමේදී සුළුපටු යයි සැලකිය නොහැකි කාර්යභාරයක් ඉටු කළ, ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලෝකය කැඩී ගියේය.

අද දින බහුධ්‍රැවීය ලෝකයක් එම තත්ත්වයන් ඊටත් වඩා පුපුරන සුලු ආකාරයෙන් ප්‍රතිනිෂ්පාදනය කරනු ඇත.

එමෙන්ම අවුන්සයකට ඩොලර් 3500ක් තරම් වාර්තාගත ඉහල මට්ටම් දක්වා ඉහල යමින් පවතින රත්‍රන් වෙත ඕනෑම නැවත හැරී යෑමක්,  ගෝලීය අවපාතයකට තුඩු දෙන්නාවූ, මූල්‍ය වත්කම් සහ එක්සත් ජනපද ඩොලරය මත පදනම් වූ ණය කන්ද කඩා වැටීමක් අදහස් කරයි.

මේ ප්‍රශ්නය මීට පෙරත් මතුව තිබේ. 1971 දී, නික්සන් දැන සිටියා එක්සත් ජනපද ඩොලරය සඳහා රන් පිටුබලය පවත්වා ගත හැකි එකම මාර්ගය ඇමරිකානු සහ ගෝලීය ආර්ථිකය ගැඹුරු අවපාතයකට [Depression] ඇද දැමීම බව. ඔහු මෙය ප්‍රතික්ෂේප කළේ පන්ති අරගලයේ නැඟීම සහ එය විසින් ඇති කල හැකිව තිබූ සමාජ විප්ලවයේ තර්ජනය නිසාය.

වත්මන් අර්බුදය හුදෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උමතුවේ ප්‍රතිඵලයක් නොවේ. ඔහු දශක ගනනාවක් තිස්සේ ගොඩනැගුනු ප්‍රවනතා සහ ප්‍රතිවිරෝධතාවන් හි දුෂ්ඨ පුද්ගලාරෝපණය වේ. ඩොලරයේ අර්බුදය සහ ඒ මත රදා පවතින මූල්‍ය පද්ධතියේ අර්බුදය, යුද්ධය, ෆැසිස්ට්වාදය, අවපාතය සහ සමාජ විනාශය විසඳුමක් ලෙස සලකනු ලබන්නේ නම් හැරෙන්නට, විසදීමට මගක් නැති සමස්ත ධනේශ්වර පද්ධතියේ අර්බුදයකි.

ක්ෂිතිජය මත ලඹ දෙන තර්ජනාත්මක කුණාටු වලාකුළක් නොව වර්තමාන යථාර්ථය වන  මෙම ඓතිහාසික බිඳවැටීමට මුහුන දී සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය, තමන්ගේම ස්වාධීන සමාජවාදී මූලෝපාය සකසා යොදාගෙන ඒ සදහා  සටන් කළ යුතුය. එය මැයි 3 වැනිදා පැවැත්වෙන මැයි දින රැස්වීමේ හරි මැද පවතිනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top