ක්‍රිස් හෙජස්ගේ “නව අඳුරු යුගය” පිළිබඳ  දිරිසුන් අශුභවාදය 

ඩේවිඩ් නෝර්ත් විසිනි. 

මෙම ලිපිය X හි මුලින් පළ කරන ලද ට්වීට් කොමෙන්ටුවක සංස්කරණය කරන ලද අනුවාදයකි. මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 මැයි 20 දින ‘The demoralized pessimism of Chris Hedges’ “New Dark Age”’යන හිසින් පලවූ ඩේවිඩ් නෝර්ත් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.   

Chris
Chris Hedges

පසුගිය වසරේ, ගාසා ජන සංහාරයට විරෝධය දැක්වීමේ මාර්ගයක් ලෙස ක්‍රිස් හෙජස් ගිනි තබා ගෙන සියදිවි නසා ගැනීම වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ නවතම දිරිසුන් හෑල්ලේ දී, ඔහු ඊශ්‍රායල-සියොන්වාදී රාජ්‍යයේ සහ ධනවාදී අධිරාජ්‍යවාදයේ අපරාධ සඳහා සමස්ත මානව වර්ගයාටම දොස් පැවරයි. ගාසා තීරය, මානව ප්‍රගමණයේ හැකියාව පිළිබඳ කිසිදු විශ්වාසයක නිෂ්ඵලභාවය ඔප්පු කරන බව ඔහු ප්‍රකාශ කරයි.

මනුෂ්‍යත්වයේ බලාපොරොත්තු විරහිත තත්ත්වය පිළිබඳ ඔහුගේ අවධාරනයට සහාය දක්වමින්, හෙජස්ට අනුව ඔගස්ටේ බ්ලැන්කිගේ අශුභවාදී අදහස්, හේගල් සහ මාක්ස්ගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධව ඔහු ඉදිරිපත් කරයි.

හෙජස් මෙසේ ලියයි: “ඔහුගේ සමකාලීනයන් සියල්ලන් මෙන් නොව, 19 වන සියවසේ සමාජවාදී ලුවී-ඔගස්ටේ බ්ලැන්කි, ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රෙඩ්රික් හේගල් සහ කාල් මාක්ස්ගේ කේන්ද්‍රීය විශ්වාසය, එනම් මානව ඉතිහාසය සමානාත්මතාවය සහ උසස් සදාචාරය කරා යන රේඛීය ප්‍රගතියකි යන්න ප්‍රතික්ෂේප කළේය. ”

ඔහුගේ පෙර ලේඛනවල නිරන්තරයෙන් පැවතියාක් මෙන්, හෙජස් නැවත වරක් පෙන්නුම් කරන්නේ මාක්ස්වාදයේ දාර්ශනික පදනම් සහ ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී සංකල්පය පිළිබඳව තමාට කිසිවක් නොතේරෙන බවයි. හේගල් හෝ මාක්ස් යන දෙදෙනාම ඉතිහාසය පාරාදීසය දෙසට “රේඛීය ප්‍රගතියක්” සිදුවන බව ප්‍රකාශ කළේ නැත.

ප්‍රංශ විප්ලවයේ සංකීර්ණ හා ඛේදජනක ඉරණම දුටු හේගල් (1770-1831), ඉතිහාසය, “ජනතාවගේ සතුට, රාජ්‍යයන්ගේ ප්‍රඥාව සහ පුද්ගලයන්ගේ ගුණධර්ම ගොදුරු කර ගත් ඝාතක එලකයක්”  සේ සුපතල ලෙස විස්තර කළේය. මානව වර්ගයාගේ ඓතිහාසික වර්ධනය ප්‍රතිවිරෝධතා සහ ගැටුම් හරහා ඉදිරියට යන බව ඔහු විඥානවාදී ආකාරයකින් වුවද, පැහැදිලි කළේය.

මාක්ස් සහ එංගල්ස් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් කොමියුනිස්ට් ප්‍රකාශනයේ (1847) පන්ති අරගලය “සමස්ත සමාජයේ විප්ලවීය ප්‍රතිසංවිධානයකට හෝ තරඟකාරී පන්තිවල පොදු විනාශයකට” හේතු වන බව ලිවීය. ඔවුන් කිසිදු ආකාරයක සරල නියතිවාදයක් ප්‍රතික්ෂේප කළහ. ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා සමාජවාදයේ වෛෂයික හැකියාව නිර්මාණය කරන බව මාක්ස් සහ එංගල්ස් පැහැදිලි කළහ. නමුත් එහි  එය සාක්ෂාත් කර ගැනීම සහ මානව වර්ගයාගේ ඉරණම අරගලය තුළ තීරණය වනු ඇත.

ඕගස්ට් බ්ලැන්කි [සමාජ] ප්‍රගතියේ හැකියාව ප්‍රතික්ෂේප නොකළ අතර ඔහුගේ මුළු ජීවිතයම විප්ලවයේ අරමුණ වෙනුවෙන් කැප කළේය. නමුත් මෙම ශ්‍රේෂ්ඨ සටන්කරුවාට විප්ලවයේ සමාජ ආර්ථික පදනම සහ කම්කරු පන්තියේ වෛෂයිකව විප්ලවවාදී භූමිකාව පිළිබඳ අවබෝධයක් නොතිබුණි. ධනවාදය පෙරලා දැමීම බ්ලැන්කි සංකල්පනය කළේ කුමන්ත්‍රණකරුවන් කුඩා කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසය.

1874 දී එංගල්ස් ලිවුවේ, බ්ලැන්කිට ‘සමාජවාදී න්‍යායක් හෝ සමාජ ප්‍රතිකර්ම සඳහා නිශ්චිත ප්‍රායෝගික යෝජනා නොමැත. ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් වලදී ඔහු මුඛ්‍ය වශයෙන් ‘ක්‍රියාකාරීත්වයේ මිනිසෙකු’ විය…” ලෙසයි. වසර තුනකට පෙර, 1871 දී, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ලෙස විප්ලවය පිළිබඳ මාක්ස්වාදී සංකල්පය පැරිසියානු කම්කරු පන්තියේ නැගිටීම සහ කොමියුනය නිර්මාණය කිරීම මගින් සනාථ විය.

20 වන සියවසේ සියලුම ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් අනතුරු ඇඟවූයේ ධනවාදයේ අර්බුදය ප්‍රතිඵල දෙකෙන් එකකට මඟ පෑදූ බවයි. රෝසා ලක්සම්බර්ග් ප්‍රකාශ කළ පරිදි ඒවා “සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය” විය. ධනවාදී යුගයේ ස්වභාවය පිළිබඳ විද්‍යාත්මකව පදනම් වූ අවබෝධය, විප්ලවවාදී පක්ෂයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳ ලෙනින්ගේ සංකල්පයට යටින් පැවතුනි.

1938 දී, ෆැසිස්ට්වාදයේ නැගීමටත්, ස්ටැලින්වාදයේ සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ පාවාදීම්වල ප්‍රතිවිපාකයක් ලෙස යුරෝපීය කම්කරු පන්තියේ පරාජයන්ටත් ප්‍රතිචාර දක්වමින්, ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනයේ මෙසේ ලිවීය: මානව වර්ගයාගේ අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදයයි.

හෙජස් මෙසේ ලියයි: “සමූහ ඝාතන ව්‍යාපාර මගින් සියලු මිනිසුන් තුළ සැඟවී ඇති වනචාරී ගුණාංග මුදා හරිනු ලැබේ … එය අපගේ කුහකකම, කෲරත්වය සහ වර්ගවාදයට සාක්ෂියකි.” මෙය මනුෂ්‍යත්වයට එරෙහි අපහාසයකි. ජන සංහාරය සඳහා පොදුවේ මනුෂ්‍යත්වයට දොස් පැවරීම යනු ගාසා තීරයේ ජනතාවට එරෙහිව සිදු කරන ලද අපරාධ සඳහා අධිරාජ්‍යවාදී නායකයින්ගේ සහ ඔවුන් නියෝජනය කරන පද්ධතියේ නිශ්චිත වගකීම බොද කිරීමයි. ඔහුගේ දේශපාලනය කෙතරම් වැරදි වුවත්, ක්‍රිස් හෙජස් විසින් මත් සමූල ජන සංහාරය සඳහා කිසිදු වගකීමක් දරන්නේ නැත.  අඛණ්ඩව සිදු කෙරෙන  කුරිරුකම් වලින් යටපත් කර දැමුණු  ඔහු, දේශපාලනික වශයෙන් අලාමුලාවට පත් වූ මාධ්‍යවේදියෙකි. නමුත් නෙතන්යාහු සහ ඔහුගේ සහචරයින් සහ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අනුබල දෙන්නන් සමූහ ඝාතකයින් වේ. මෙය සුළු පටු වෙනසක් නොවේ.

හෙජස් කියා සිටින්නේ මානව වර්ගයා “නව අඳුරු යුගයකට” පිවිසෙමින් සිටින බවත්, එයින් ගැලවීමක් නොමැති බවත්ය. යථාර්ථය නම්, මානව වර්ගයා විප්ලවවාදී අරගලයේ නව යුගයකට පිවිසෙමින් සිටී. අධිරාජ්‍යවාදයේ සහාය ලත් ගාසා සමූල  ජන සංහාරය ලොව පුරා මිලියන ගණන් සහභාගී වූ විරෝධතාවලට  මුහුණ දී  සිටී. අධිරාජ්‍යවාදයේ අපරාධ – ෆැසිස්ට්වාදය සහ යුද්ධය හරහා තම අර්බුදය විසඳීමට පාලක පන්තිය දරන මංමුලා සහගත උත්සාහය – ධනවාදයට එරෙහි මහජන ව්‍යාපාරයකට ගාමකත්වය සපයයි. මෙම යුගයේ ඓතිහාසික කර්තව්‍යය වන්නේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම මගින් විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමයි.

මෙම සටනට සම්බන්ධ වීමට කැමති සියලු දෙනාම සමාජවාදී සමානතා පක්ෂයට  බැදෙන්න. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top