ඕගස්ට් බෙබෙල් සහ කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම

“ඕගස්ට් බෙබෙල් සහ කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම” – August Bebel and the political awakening of the working class – යන මෙම ලිපිය ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිර්මාතෲ වන ඕගස්ට් බෙබෙල්ගේ මරණයෙන් සියවන සංවත්සරය නිමිත්තෙන් 2013 අගෝස්තු මස ලෝක සමාජවාදී වෙබ් අඩවියට උල්රිච් රිපර්ට් විසින් ලියන ලද එකකි. එය සිංහලට පරිවර්තනය කොට අපි අප පක්ෂයේ (සසප) සහෝදරවරුන්ගේත්, කම්කරුවන්ගේත් අවඪානය සදහා මෙහි පලකරමු. 

Bebel
Bebel, c. 1900

ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) මුල් ඉතිහාසය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) කේඩරය සඳහා තීරණාත්මක පාඩම් ගෙන එයි. 1869 දී ඕගස්ට් බෙබෙල් සහ විල්හෙල්ම් ලිබ්නෙක්ට් විසින් – මාක්ස් සහ එංගල්ස්ගේ දේශපාලන මග පෙන්වීම යටතේ – ආරම්භ කරන ලද SPD, විද්‍යාත්මක සමාජවාදයේ මූලධර්ම මත පදනම්ව කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමේ පළමු අඛණ්ඩ උත්සාහය නියෝජනය කළේය. එය ජර්මනිය පුරා ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් දැනුවත් කර සංවිධානය කළ අතර, ධනවාදයේ මිනීවළවල් හාරන්නන් ලෙස ඔවුන්ගේ ඓතිහාසික භූමිකාව පිළිබඳ සවිඥානකත්වයක් ඔවුන් තුළ ඇති කළේය.

උල්රිච් රිපර්ට්ගේ ලිපිය, ඕගස්ට් බෙබෙල් සහ කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම පිලිබද මෙම ඉතිහාසයට වටිනා ප්‍රවේශ ලක්ෂ්‍යයක් සපයයි. එය දක්ෂ කම්කරුවෙකුගේ සිට මාක්ස්වාදී නායකයෙකු සහ කම්කරු පන්තියේ විප්ලවවාදී අධ්‍යාපනඥයෙකු දක්වා බෙබෙල්ගේ පෞද්ගලික ගමන් පථය කෙරෙහි අවධානය යොමු කරයි. නමුත් චරිතාපදානයකට වඩා, ලිපිය ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ඉස්මතු කරයි: එනම්, කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන බලවේගයක් ලෙස මතුවීම යි.

කෙසේ වෙතත්, පළමුවන ලෝක යුද්ධය පුපුරා යාමේදී ජර්මානු අධිරාජ්‍යවාදයට සහාය දීමට 1914 යුද ණය සදහා පක්ෂ වෙමින් SPD ය කළ පාවාදීමෙන් කූටප්‍රාප්තියට පත් වූ එහි පරිහානිය, අනුභූතිවාදය (empiricism) සහ මතුපිට පෙනුමට යටත් වීම තුළ මුල් බැසගත් ජාතික අවස්ථාවාදයේ මාරාන්තික ප්‍රතිවිපාක හෙළි කළේය. එස්පීඩී නායකත්වය ගත් තීරණය අහම්බයක් හෝ පුද්ගල දුර්වලතාවයක ප්‍රතිඵලයක් නොව, මාක්ස්වාදී මූලධර්මවලින් දීර්ඝ කාලයක් පසුබැසීමක ප්‍රතිඵලයකි.

මෙම පරිහානියේ හදවතේ තිබුණේ අනුභූතිවාදයට හැරීමයි – එය යටින් පවතින පන්ති ප්‍රතිවිරෝධතා විශ්ලේෂණය කිරීම වෙනුවට ක්ෂණික පෙනුම සහ මතුපිට කරුණු මතු කරන ක්‍රමයකි. මෙය SPD නායකත්වය ජාතික රාජ්‍යයට, නෛතික පාර්ලිමේන්තු රාමුවලට සහ ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ මිත්‍යාවන්ට අනුවර්තනය වීමට හේතු විය. එහි ප්‍රතිඵලය වූයේ නිර්ධන පංති ජාත්‍යන්තරවාදය අතහැර දැමීම, පක්ෂය ධනේශ්වරයේ අවශ්‍යතාවලට යටත් කිරීම සහ එය විප්ලවයට බාධාවක් බවට පරිවර්තනය වීමයි.

ජාත්‍යන්තර කමිටුවේ කේඩරය අත්‍යවශ්‍ය පාඩම උකහා ගත යුතුය: විප්ලවවාදී, ජාත්‍යන්තරවාදී සහ අපෝහක ඉදිරිදර්ශනයක් පවත්වා ගැනීමේ සටන සඳහා කිසිදු මහජන සහයෝගයක් හෝ ඓතිහාසික කීර්තියක් ආදේශ කළ නොහැක. එබැවින් රිපර්ට්ගේ ලිපිය SPD හි නැගීම හා පරිහානිය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයට පූර්විකාවකි – අද විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට කැපවී සිටින විප්ලවවාදීන්ට මෙම ඉතිහාසය අත්‍යවශ්‍ය පාඩම් ගෙන දේ.

***

ඕගස්ට් බෙබෙල් මිය ගියේ වසර 100 කට පෙර මේ මාසයේය. ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) නිර්මාතෘ 1913 අගෝස්තු 13 වන දින ස්විට්සර්ලන්තයේ පැසුග් ස්පා නගරයේ දී හෘදයාබාධයකින් මිය ගිය බවට වූ පුවත ලොව පුරා කර්මාන්තශාලා සහ කම්කරු පන්ති දිස්ත්‍රික්කවල කම්පනයක් සහ ශෝකයක් ඇති කළේය. බෙබෙල් වැඩ කරන ජනතාව විසින් ආදරය කරන ලද අතර “කම්කරු කයිසර්” යන පදවි නාමයෙන් ගෞරවයට පාත්‍ර විය.

එයට ආසන්නයේම බෙබෙල්ට උපහාර දක්වමින් ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “යුරෝපීය සමාජවාදයේ සමස්ත යුගයක්ම ගෙවී යමින් තිබේ.” බෙබෙල් “නැගෙමින් පවතින නව පන්තියේ මුරණ්ඩු සහ නොසැලෙන ව්‍යාපාරය මූර්තිමත් කළේය… මෙම දුර්වල හා මැලවී වී ගිය මහලු මිනිසා මුළුමනින්ම අධිෂ්ඨානයෙන් සාදන ලද, තනි ඉලක්කයක් කරා පුහුණු කරන ලද බවක් පෙනෙන්නට තිබුණි. ඔහුගේ චින්තනයේ, ඔහුගේ ප්‍රකාෂනයේ ව්‍යක්තභාවයේ සහ ඔහුගේ සාහිත්‍ය කෘති තුළ, එම ඉලක්කය කරා කෙලින්ම යොමු නොවූ බුද්ධිමය ශක්තියේ ක්ෂය වීමක් සඳහා ඔහු කිසි විටෙකත් ඉඩ නොදෙනු ඇත; ඔහු වාගාලංකාරයේ සතුරෙකු පමණක් නොව, ගර්විත සෞන්දර්යාත්මක හැඩදැමීමටද සම්පූර්ණයෙන්ම ආගන්තුක විය.  ඒ සමගම ඔහුගේ දේශපාලන ආත්මයේ ඉහළ සුන්දරත්වය ඒ තුළ ගැබ්ව තිබුණි. ඔහු තුළින්ම ඔහු පිළිබිඹු කලේ, තම නිදහස් පැය කිහිපය තුළ ඉගෙන ගන්නා, සෑම මිනිත්තුවක්ම අගය කරන සහ අත්‍යවශ්‍යම දේ ගිජු ලෙස ගිල ගන්නා පන්තියයි.” [ දේශපාලන පැතිකඩ: යුගයක් ගෙවී යයි (බෙබෙල්, ජවුරස්/ෂොරෙස්  සහ වයිලන්ට්), දෙසැම්බර් 1915-[Political Profiles: An Epoch Passes (Bebel, Jaurès and Vaillant), December 1915]

ට්‍රොට්ස්කි, බෙබෙල්ව පළමු ලෝක යුද්ධය ආසන්නයේ පැරිසියේ අවන්හලකදී ඝාතනය කරන ලද ප්‍රංශ සමාජවාදී ෂෝන් ෂොරෙස් (Jean Jaurés)  සමඟ සංසන්දනය කළේය. ෂොරෙස්- න්‍යායික පාණ්ඩිත්‍යය, කාව්‍යමය මනඃකල්පිතය සහ වංශාධිපති විලාසයෙන් සලකුණු වූ ලේඛන සහ දේශන පිලිබද ප්‍රංශ දර්ශනවාද මහාචාර්යවරයා සහ ජර්මානු හස්ත කර්මාන්තකරුවෙක් වීම නිසා ප්ලෙබියානු (plebean) ප්‍රජාතන්ත්‍රවාදයට සමාන න්‍යායික දෘෂ්ටියක් තිබූ – බෙබෙල් යන දෙදෙනාම වසර 100 කට පෙර යුද්ධය සමග අවසන් වූ ඓතිහාසික කාල පරිච්ඡේදය සංකේතවත් කළහ.

ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කළේය: “බෙබෙල් භෞතිකවාදියෙක්, ෂොරෙස් සාරසංග්‍රහවාදී විඥානවාදියෙක් (eclectic idealist), බෙබෙල් මාක්ස්වාදයේ මූලධර්මවල නොසැලෙන ආධාරකරුවෙක්, ෂොරෙස් ප්‍රතිසංස්කරණවාදියෙක්, අමාත්‍යවාදියෙක් යනාදී වශයෙන්. නමුත් දේශපාලනයේ මේ සියලු වෙනස්කම් තිබියදීත්, ඔවුන් ජර්මානු සහ ප්‍රංශ සංස්කෘතියේ ප්‍රිස්මය හරහා එකම ඓතිහාසික යුගයක් පිළිබිඹු කළහ. මෙය ජාත්‍යන්තර සබඳතාවල මෙන්ම දේශීය සබඳතාවල ද- සන්නද්ධ සාමයේ යුගය විය.”

මාක්ස් සහ එංගල්ස්ගේ සමීපතමයෙක් වූ ඔහුට වඩා අවුරුදු 14 ක් වයසින් වැඩි වූ විල්හෙල්ම් ලිබ්නෙක්ට් සමඟ සමීප සහයෝගයෙන්, ඕගස්ට් බෙබෙල් ජර්මානු කම්කරු පන්තිය පුබුදුවා හලේය. එතෙකුදු වුවත්, 1914 ව්‍යසනය වැළැක්වීමට ඔහුට නොහැකි විය.

බෙබෙල් විසින් අඩ සියවසකට අධික කාලයක් වෙහෙස නොබලා සිදු කරන ලද දැවැන්ත හා සාර්ථක දේශපාලන හා සංස්කෘතික අධ්‍යාපනික කටයුතුවල තීරණාත්මක පාඩම් රාශියක් අඩංගු වේ. ඒවායින් දෙකක් මෙහිදී සාකච්ඡා කෙරේ.

පළමුව, මාක්ස්වාදයේ ධජය යටතේ විප්ලවවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් සාක්ෂාත් කරගත් දියුණුව, වැඩ කරන පුළුල් මහජනතාව ස්වාධීන දේශපාලන භූමිකාවක් ඉටු කිරීමට අසමත් බවටත්, “පහළින් එන ව්‍යාපාරයක්” අනිවාර්යයෙන්ම දක්ෂිණාංශික දිශාවකට වර්ධනය වන බවටත් පැතිර පවතින සංකල්ප ප්‍රතික්ෂේප කරයි. සුලු ධනේශ්වර බුද්ධිමතුන්ගේ නියෝජිතයින්, සියල්ලටත් වඩා ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය (හෝර්කයිමර්, ඇඩෝර්නෝ, මාර්කූස්, හබර්මාස් සහ වෙනත් අය-Horkheimer, Adorno, Marcuse, Habermas and others) සමඟ සම්බන්ධ  වූවන්, 1933 ව්‍යසනයෙන් වඩාත්ම අශුභවාදී පාඩම් උකහා ගත්හ. හිට්ලර්ගේ ජයග්‍රහණයට කම්කරු පන්තිය වගකිව යුතු බව ඔවුහු අවධාරනය කළහ.

ඇත්ත වශයෙන්ම, හිට්ලර්ගේ කේන්ද්‍රීය කර්තව්‍යය වූයේ සංවිධානාත්මක කම්කරු ව්‍යාපාරය සහ එය සටන් කළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සමාජ ජයග්‍රහණ විනාශ කිරීමයි. 1933 මාර්තු 24 වන දින සියලුම ධනේශ්වර පක්ෂ හිට්ලර්ට හදිසි බලතල ප්‍රදානය කරන නීති සම්පාදනයට පක්ෂව තීරණාත්මකව ඡන්දය දුන්නේ මේ නිසාය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මාක්ස්වාදී නායකත්වය යටතේ කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සමාජ ජයග්‍රහණ සඳහා සටන් කළ බව ඓතිහාසික සත්‍යයකි. මේවාට සර්වජන ඡන්ද අයිතිය, නිදහස් පොදු අධ්‍යාපනය, පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ සමානාත්මතාවය, පැය අටේ වැඩ කරන දිනය සහ SPD හි වර්ධනය වන බලපෑම සහ නැගීම පිළිබඳ බියෙන් බිස්මාර්ක් විසින් හඳුන්වා දුන් අනිවාර්ය සමාජ රක්ෂණ වැඩසටහන් ඇතුළත් වේ.

බෙබෙල්ගේ එස්පීඩීය කම්කරු පන්තිය තුළ ගැබ් වූ දැවැන්ත ශක්තිය නිර්මාණාත්මක බලය සහ සංස්කෘතික විභවය හෙළිදරව් කළේය.

බෙබෙල් යටතේ එස්පීඩී පක්ෂයේ නැගීම, වෘත්තීය සමිති කම්කරු පන්තියේ ප්‍රධාන සංවිධාන බවට කරන ප්‍රකාශය ද විකණ්ඩනය කරයි. යථාර්ථය නම්  කම්කරු පන්තියේ නැගීම ආරම්භ වූයේ තමන්ගේම විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් ලෙස ය. වෘත්තීය සමිති පසුව මතුවී ඉක්මනින් සමාජවාදී ව්‍යාපාරයේ දක්ෂිණාංශය පිහිටුවා ගත්හ. ඔවුන් විප්ලවයේ දැඩි විරුද්ධවාදීන් වූ අතර, රෝසා ලක්සම්බර්ග්ට පහර දුන් අතර බෙබෙල්ගේ මරණයට පෙර වසරවලදී ඔහුව බ්ලැක්මේල් කළහ.

බෙබෙල්මත් කම්කරුවෙක් විය. ඔහු 1840 පෙබරවාරි මාසයේදී කොලෝන් හි දුප්පත් කනිෂ්ඨ ප්‍රෂියානු හමුදා නිලධාරියෙකුගේ පුතෙකු ලෙස උපත ලැබූ අතර, ඔහු වයස අවුරුදු අටේදී යුරෝපීය විප්ලවයන් අත්විඳින ලද්දේය. ඔහුගේ ස්වයං චරිතාපදානයේ දී, එම කාලය තුළදී ඔහු තම පළමු සංයුක්ත දේශපාලන පාඩම ලබා ගත් ආකාරය විස්තර කළේය. 1848-49 විප්ලවවාදී වසරවලදී, රයින්ලන්ඩ් කලාපයේ ජනරජවාදය (Republicanism) සඳහා පුළුල් සහයෝගයක් තිබුණි. [එක් අවස්ථාවක] තරුණ බෙබෙල් තවත් පන්තියේ මිතුරෙකු සමඟ පාසලේදී රාජාණ්ඩුවට පක්ෂව කතා කළ විට, ඔවුන්ට හොඳ ගුටි සංග්‍රහයක්  ලැබුනි. බෙබෙල් පසුව හාස්‍යජනක ලෙස සඳහන් කළ පරිදි එය පළමු “පන්ති ගුටිකෑම” විය.

ආධුනික ශිල්පියෙකු ලෙස ගත කළ කාලය තුළ ඔහු “කාර්මික අධ්‍යාපන සංගමයට” සම්බන්ධ වී දැඩි ස්වයං අධ්‍යාපනයක් ලබා ගත්තේය. 1863 දී ලයිප්සිග් හි ෆර්ඩිනන්ඩ් ලැසාල් (Ferdinand Lassalle) සාමාන්‍ය ජර්මානු කම්කරු සංගමය (General German Workers Association-ADAF) ආරම්භ කළ විට, බෙබෙල් තම දුරස්ථභාවය පවත්වා ගත්තේය. ලැසාල්ගේ විකේන්ද්‍රීය (eccentric) පෙනුම සහ ඒකාධිපති හැසිරීම නිසා ඔහු විකර්ෂනය වූ අතර ප්‍රතිගාමී ප්‍රෂියානු අගමැති ඔටෝ වොන්  බිස්මාර්ක් (Otto von Bismarck) වෙත ඔහුගේ ප්‍රවේශයන්ට දැඩි ලෙස විරුද්ධ විය.

ලසාල් සමඟ ගැටුමේදී, බෙබෙල් මාක්ස් සහ එංගල්ස්ගේ ලේඛන අධ්‍යයනය කළ අතර විල්හෙල්ම් ලිබ්නෙක්ට් සමග ඔහුගේ මිත්‍රත්වය ආරම්භ වූයේ ය. 1867 සරත් සෘතුවේ දී ඔහු ජර්මානු කම්කරු සංගම් සමිතියේ (Union of German Workers’ Associations) සභාපති ලෙස තේරී පත් වූ අතර, මාක්ස් විසින් සකස් කරන ලද ජාත්‍යන්තර කම්කරු සංගමයේ (International Workers Association) විධිවිදාන ඔහු ක්‍රියාත්මක කළේය. ඒවා ප්‍රකාශ කළේ, “කම්කරු පන්තියේ විමුක්තිය සඳහා කම්කරු පන්තිය තමන් විසින්ම සටන් කළ යුතුය” යනුවෙනි. මෙම පදනම මත, බෙබෙල් එතෙක් කම්කරු සංගම්වලට දැඩි ලෙස බලපෑම් කළ ධනේශ්වර ලිබරල්වාදයට එරෙහිව පැහැදිලි රේඛාවක් ඇඳීය.

වසර දෙකකට පසු, බෙබෙල් සහ ලිබ්නෙක්ට් 1869 අගෝස්තු මාසයේදී අයිසෙනාච් (Eisenach)  හිදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය (Social Democratic Workers Party-SDAP) ආරම්භ කළහ. බෙබෙල් විසින් රචිත පක්ෂ වැඩසටහන මාක්ස්වාදය දෙසට නැඹුරු වූ අතර, වෙනත් දේ අතර ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය අහෝසි කිරීම සඳහා කැඳවුම් කළේය. කෙසේ වෙතත්, “නිදහස් ජනතා රාජ්‍යයක් ස්ථාපිත කිරීම” සඳහා වූ ඉල්ලීම වැනි ලිබරල්වාදයේ බලපෑම තවමත් වැඩසටහන තුළ දක්නට ලැබේ.

Bebel lib
බෙබෙල්, විල්හෙල්ම් ලිබ්නෙක්ට්

ඊළඟ ගිම්හානයේදී, ඡන්දයට දින දෙකකට පෙර යුද්ධය ප්‍රකාශ කළ ප්‍රංශයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රෂියානු යුද ණය සම්බන්ධයෙන් උතුරු ජර්මානු රීච්ස්ටැග් හි පැවති ඡන්ද විමසීමකදී, ලිබ්නෙක්ට් සමඟ එක්ව ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් පසු බෙබෙල් වෛරයේ රැල්ලකට මුහුණ දුන්නේය. 1871 මැයි මාසයේදී බෙබෙල් පැහැදිලිවම පැරිස් කොමියුනය ආරක්ෂා කළ විට කෝපය උත්සන්න විය.

පසුව බෙබෙල් සහ ලිබ්නෙක්ට් යන දෙදෙනාම රාජද්‍රෝහී ක්‍රියාවකට සූදානම් වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ නමුත්, බොහෝ කම්කරුවන් විසින් ඔවුන්ගේ ස්ථාවරය සඳහා ඔවුන්ව ප්‍රශංසාවට ලක් කෙරුණි. 1872 ජූලි මාසයේදී  හියුබර්ටස්බර්ග් (Hubertusburg) බන්ධනාගාරයේ ඔහුගේ දඬුවම ආරම්භ කිරීමට බෙබෙල් දුම්රියෙන් එළියට ආ විට, දුම්රිය සේවකයින් රාජ්‍ය නායකයෙකුට ගරු කරන්නාක් මෙන් ඔහුට ආචාර කළහ.

බෙබෙල් තම සිරගත කාලය ඔහුගේ “කාන්තාව සහ සමාජවාදය” (Women and Socialism) නම් පොත ලිවීමට යොදා ගනිද්දි , ලසාල් සහ එස්ඩීඒපී අනුගාමිකයින් එකිනෙකාට සමීප විය. බෙබෙල් සිරෙන් නිදහස් වී මාසයකට පසු, එක්සත් කිරීමේ සම්මේලනය 1875 මැයි මාසයේදී ගෝතා හිදී පැවැත්විණි. මෙම සම්මේලනය සියල්ලටම වඩා මාක්ස් විසින් ගෝතා වැඩසටහනට (Gotha programme) කරන ලද තියුණු විවේචන සඳහා ප්‍රසිද්ධය.

එක්සත් වීමෙන් පසු, ජර්මනියේ සමාජවාදී කම්කරු පක්ෂය (SAPD) වේගයෙන් වර්ධනය වූ අතර, වසර 15 කට පසු එහි නම ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) ලෙස වෙනස් කළේය. එක්සත් වීමෙන් වසර තුනකට පසුවෙද්දීම, පක්ෂයට ප්‍රාදේශීය පුවත්පත් 47 ක් තිබූ අතර, එහි මධ්‍යම ආයතනය ලෙස Vorwärts (Forwards) පැවතිණි. එය රයික්ස්ටාග් (Reichstag) මැතිවරණවලදී සියයට 10 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, එය එක්සත් වීමට පෙර සංවිධාන දෙකෙහිම ඒකාබද්ධ එකතුවට සාපේක්ෂව සියයට 40 ක වැඩිවීමක් විය. බිස්මාර්ක් ඔහුගේ ප්‍රති-සමාජවාදී නීතියෙන් ප්‍රතිචාර දැක්වීය. පක්ෂයේ සියලුම සංවිධාන සහ පුවත්පත් තහනම් කරන ලදී, නමුත් පාර්ලිමේන්තු කන්ඩායම සහ එහි නියෝජිතයින්ගේ වැඩ නීති විරෝධී කිරීමට බිස්මාර්ක් දැරූ උත්සාහය අසාර්ථක විය.

නීති විරෝධීව සිටි වසරවලදී බෙබෙල් දේශපාලන කීර්තිය සහ න්‍යායික පැහැදිලිකම ලබා ගත්තේය. තියුණු කන්ඩායම් සටන් ඇති විය. මධ්‍යස්ථවාදීන් සහ රැඩිකල්වාදීන් පක්ෂයේ ප්‍රමුඛ ස්ථානය සඳහා අරගල කළහ. අවසානයේ රැඩිකල්වාදීන් ජයග්‍රහණය කළ අතර, එය සියල්ලටම වඩා බෙබෙල්ගේ උසස් උපායික හැකියාවන් සහ කීර්තිය නිසා විය. මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුව වූයේ බෙබෙල්ගේ කන්ඩායම අනන්‍ය වූ මාක්ස්වාදයේ වර්ධනය වෙමින් පැවති අධිකාරය යි. එංගල්ස්ගේ ඩූරිං විරෝධය (Anti-Dühring) ප්‍රකාශයට පත් කිරීම කම්කරු ව්‍යාපාරය තුළ සමාජවාදයේ අධිකාරී හඬ බවට මාක්ස්වාදය පත් කර තිබුණි.

බෙබෙල් සහ ඔහුගේ ආධාරකරුවන් මාක්ස්වාදී මූලධර්ම සහ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් පැහැදිලිව ඉදිරිපත් කරන තරමටම, කර්මාන්තශාලා තුළ එස්පීඩීයේ පැවැත්ම වැඩි වැඩියෙන් වර්ධනය විය. 1889 මහා වැඩ වර්ජන ව්‍යාපාරයේදී මෙය පැහැදිලිව දිස් විය. රුහර්හි පතල්වල වැඩ නතර කිරීම් ආරම්භ වූ අතර, පසුව ඉක්මනින් ආකන්, සාර්ලන්ඩ්, සැක්සනි සහ සයිලීසියාව (Ruhr, Aachen, the Saarland, Saxony and Silesia) දක්වා ව්‍යාප්ත විය. රුහර්හි පතල් කම්කරුවන් 97,000 ක් (ශ්‍රම බලකායෙන් සියයට 86 ක්) වැඩ වර්ජනයට එක් විය. සන්නද්ධ ගැටුම් ඇති වූ අතර සොල්දාදුවන් මැදිහත් වූ නමුත් වැඩ වර්ජන දිගටම වර්ධනය විය. 1890 අප්‍රේල් වන විට, වැඩ වර්ජන සංඛ්‍යාව 715 දක්වා ළඟා වූ අතර, ගොඩනැගිලි, රෙදිපිළි සහ ලෝහ කර්මාන්තවල මුළු කම්කරුවන් 289,000 ක් සහභාගී වූහ.

එම වසරේම රයික්ස්ටාග් මැතිවරණයේදී, එස්පීඩී පක්ෂය තම ඡන්ද මුළු ප්‍රමාණය සියයට 20 දක්වා දෙගුණ කළේය. සති කිහිපයකට පසු බිස්මාර්ක් ඉල්ලා අස් වූ අතර, එම වසරේ ඔක්තෝබර් මාසයේදී සමාජවාදී විරෝධී නීති අවලංගු කරන ලදී.

නීත්‍යානුකූල පක්ෂයක් ලෙස එස්පීඩී පක්ෂය ඊටත් වඩා වේගයෙන් වර්ධනය විය. 1890 දී සමාජවාද විරෝධී නීති අවසානයේ සිට 1914 දී පළමු ලෝක යුද්ධය පුපුරා යාම දක්වා වූ ශත  වර්ෂ කාලක කාල පරිච්ඡේදයක තුළ එය ජර්මනියේ විශාලතම පක්ෂය බවට පත්විය. නමුත් පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව කම්කරු ව්‍යාපාරය තුළ එහි බලපෑමේ පුළුල් බව හා ගැඹුර සම්පූර්ණයෙන්ම පැහැදිලි නොකරයි.

ඒ කාලයේ දී, එස්පීඩී පක්ෂය ඓතිහාසික වශයෙන් සුවිශේෂ සංසිද්ධියක් විය: මන්දයත්, එය පළමු සැබෑ මහජන කම්කරු පන්ති පක්ෂය විය. එය සමාජයේ සියලු ධනය නිර්මාණය කළ සහ පන්ති රහිත සමාජයක් ගොඩනැගීමට සමත් වන පන්තියක විචිත්‍ර අපේක්ෂාවන්, උද්යෝගය සහ නිර්මාණශීලිත්වය අවදි කළේය.

20 වන සියවස උදා වෙද්දී, කම්කරු පන්ති ජීවිතයේ සියලු අංශ එස්පීඩී ය විසින් සංවිධානය කරන ලදී. පහත සංඛ්‍යාලේඛන මගින් එස්පීඩී හි වර්ධනය හා බැඳුණු කම්කරු පන්තියේ සංස්කෘතික සංවර්ධනය නිරූපණය කෙරේ. 1900 සහ 1914 අතර බෙබෙල්ගේ පක්ෂය පුස්තකාල 1,100 ක් ආරම්භ කිරීමට සම්බන්ධ විය. මෙම පුස්තකාලවල වෙළුම් 80,000 කට අධික එකතුවක් තිබුණි. 1914 වන විට පක්ෂයේ වැටුප් ලේඛනයේ පුස්තකාලයාධිපතිවරුන් 365 ක් සිටියහ.

කෙසේ වෙතත්, එස්පීඩී හි වේගවත් නැගීම සහ දේශපාලන බලපෑම වැඩිවීම භයානක ප්‍රතිවිපාක ගෙන දුන්නේය. එය 1895 අර්ෆර්ට් වැඩසටහනේ (Erfurt Programme) දක්වා තිබූ එහි  විප්ලවවාදී ඉදිරිදර්ශනය සහ පක්ෂයේ එදිනෙදා කටයුතුවල නොවැළැක්විය හැකි ප්‍රතිසංස්කරණවාදී ස්වභාවය අතර ගැටුම තීව්‍ර කළේය.

පක්ෂයේ ප්‍රමුඛ න්‍යායාචාර්යවරයා ලෙස මතු වූ කාල් කෞට්ස්කි, “උපරිම සහ අවම වැඩසටහන් (maximum and minimum programmes)” යන ඔහුගේ සංකල්පය සමඟින් විප්ලවවාදී ඉලක්ක සහ පක්ෂයේ ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාකාරකම් අතර පරතරය පියවීමට උත්සාහ කළේය. පළමුවැන්න එස්පීඩීයේ ඓතිහාසික ඉලක්ක නියෝජනය කළ අතර දෙවැන්නෙහි පක්ෂයේ ප්‍රායෝගික ඉල්ලීම් අඩංගු විය. ඔහු තවමත් විප්ලවවාදී වැඩසටහන ආරක්ෂා කළ නමුත්, පක්ෂයේ භාවිතය (practice) ඒ වන විටත් “කළ හැකි දෙය (possibilism)” ලෙස හැඳින්වූ රාමුවට අවස්ථාවාදී අනුවර්තනයකින් සංලක්ෂිත විය.

පක්ෂය තුළ වර්ධනය වන අවස්ථාවාදය සහ වෘත්තීය සමිතිවල වැඩිවන බලපෑම සමඟ ඇති වූ අනතුර බෙබෙල් අවතක්සේරු කළේය. 1890 ගණන්වල මැද භාගය වන තෙක්, වෘත්තීය සමිතිවල වර්ධනය පක්ෂයට වඩා පසුගාමී වූ අතර එය වෘත්තීය සමිතිවලට දේශපාලන නායකත්වය සහ ද්‍රව්‍යමය සහයෝගය ලබා දුන්නේය. නමුත් 1895 දී ආරම්භ වූ සහ පළමුවන ලෝක යුද්ධය පුපුරා යන තෙක්ම පැවති ප්‍රධාන ආර්ථික උත්පාතයක් වෘත්තීය සමිතිවල දැවැන්ත ව්‍යාප්තියක් දිරිමත් කළ අතර, ඔවුන් සහ පක්ෂය අතර සම්බන්ධතාවය මූලික වශයෙන් වෙනස් කළේය. වෘත්තීය සමිති සැලකිය යුතු මූල්‍ය සම්පත් ලබා ගත් විට, ඔවුන් සමාජවාදී ව්‍යාපාරයට වඩ වඩාත් සතුරු විය.

මෙයට හේතුව ධනවාදය යටතේ වෘත්තීය සමිතිවල භූමිකාවයි. ඔවුන් කම්කරුවන් නියෝජනය කරන්නේ ඉතා නිශ්චිත ආර්ථික භූමිකාවක, එනම් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය (labour power) විකිණීම තුලයි. ධනේශ්වර ආර්ථික සබඳතා ඔවුන්ගේ පැවැත්මේ පදනම වන බැවින්, වෘත්තීය සමිතිවල මූලික ප්‍රවණතාවය වන්නේ පන්ති අරගලය මර්දනය කිරීම සහ සමාජවාදී ව්‍යාපාරයට එරෙහි වීමයි. රෝසා ලක්සම්බර්ග්ට බොහෝ වෘත්තීය සමිති සම්මේලනවලදී කතා කිරීම තහනම් කරන ලද්දේ මේ හේතුවෙනි.

වෘත්තීය සමිතිවල වර්ධනයට සමගාමීව අවස්ථාවාදයේ න්‍යායාචාර්යවරයා ලෙස එඩ්වඩ් බර්න්ස්ටයින් මතු විය. ජාතික රාමුව තුළ කම්කරුවන්ගේ ආදායම් ප්‍රතිශතයේ නිරන්තර වැඩිවීමක් ඒවාට සහතික කළ හැකි බව වෘත්තීය සමිති ඔප්පු කර ඇති බව ඔහු කියා සිටියේය. එබැවින්, පෙනෙන ආකාරයට කම්කරු පන්තිය දරිද්‍රතාවයට ඇද වැටීම පිළිබඳ මාක්ස්ගේ න්‍යාය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. කම්කරු පන්තියේ දිගුකාලීන අවශ්‍යතා සාක්ෂාත් කරගත හැකිවනු ඇත්තේ විප්ලවවාදී ඉදිරිදර්ශනයකින් නොව, වෘත්තීය සමිති විසින් සාක්ෂාත් කර ගන්නා ලද ප්‍රතිසංස්කරණ නිරන්තරයෙන් සමුච්චය කිරීමෙන් යන ස්ථාවරය බර්න්ස්ටයින් ආරක්ෂා කළේය.

බෙබෙල් පක්ෂයේ විප්ලවවාදී සහ අවස්ථාවාදී අංශ අතර වැඩෙන බෙදීම් සමනය කිරීමට සහ බෙදීමක් වැළැක්වීමට උත්සාහ කළේය. 1905 රුසියානු විප්ලවයෙන් පසුව, 1906 දී මැන්හයිම් හි පැවති පක්ෂ සම්මේලනයේ මහජන වැඩ වර්ජනය (mass strike) පිළිබඳ විවාදයෙන් පසු පක්ෂයෙන් වෙන් වන බවට විවෘතව තර්ජනය කරමින් වෘත්තීය සමිති බෙබෙල්ව හිර කිරීමට උත්සාහ කළේය. බෙබෙල් වෘත්තීය සමිති සමඟ රහසිගත ගිවිසුමකට එකඟ වූ අතර, එය ඊලග වසරවලදී සමිතිවල සහ පක්ෂය තුළ අවස්ථාවාදී ප්‍රවණතාවයේ බලපෑම ශක්තිමත් කළේය.

1914 දී එස්පීඩී නායකත්වය යුද වියදම් සඳහා ඡන්දය දුන් විට බිහිසුණු ප්‍රතිවිපාක පැහැදිලි විය. වසර හතරකට පසු, නොවැම්බර් විප්ලවය ලේ වැකි ලෙස මර්දනය කිරීමට සහ රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් ඝාතනය සංවිධානය කිරීමට ඔවුන් ෆ්‍රයිකෝප්ස් (Freikorps) හමුදා එක්රැස් කළහ.

ඔහුගේ ජීවිතයේ අවසාන වසරවලදී, අධිරාජ්‍යවාදී යුගයට මාරුවීමේදී මතුවූ විප්ලවවාදී අභියෝගවලට මුහුණ දීමට තරම් තත්වයක ඔගස්ට් බෙබෙල් තවදුරටත් සිටියේ නැත.

එස්පීඩීයේ ඛේදවාචකය ලියොන් ට්‍රොට්ස්කි තරම් සංක්ෂිප්තව හා දීප්තිමත් ලෙස කිසිවෙකු ගෙනහැර දැක්වූයේ නැත: “ජර්මානු නිර්ධන පංතියේ සංවිධානය අඛණ්ඩව වර්ධනය විය, අරමුදල් වැඩි විය, පුවත්පත්, නියෝජිතයින් සහ නාගරික මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඛණ්ඩව ගුණ කරන ලදී. ඒ සමඟම එහි සියලුම ස්ථාවර සඳහා ප්‍රතිගාමීත්වය ස්ථිරව රදා පැවතුනි. ජර්මානු සමාජ ජීවිතයේ ධ්‍රැවීය බලවේග දෙක අතර ගැටුමේ නොවැළැක්විය හැකි බව ගලා ආවේ මෙතැනිනි. නමුත් මෙම ගැටුම දිගු කලක් තිස්සේ ඇති නොවූ අතර, සංවිධානයේ බලවේග සහ සම්පත් කෙතරම් ස්වයංක්‍රීයව වර්ධනය වූවාද යත්, එවැනි තත්වයකට හුරුවීමට මුළු පරම්පරාවකටම කාලය තිබුණි. එමෙන්ම, සෑම කෙනෙකුම තීරණාත්මක ගැටුමේ නොවැළැක්විය හැකි බව ගැන ලිව්වත්, කතා කළත් හෝ කියෙව්වත්- එකම මාර්ගයක් ඔස්සේ එකිනෙක දෙසට යන දුම්රිය දෙකක් අතර ගැටුමේ නොවැළැක්විය හැකි බව මෙන් – අවසානයේ ඔවුන් තුළම මෙම අනිවාර්යතාව  සංවේදනය කිරීමට ඔවුනට නොහැකි  විය. වයස්ගත බෙබෙල් අනෙක් බොහෝ දෙනෙකුගෙන් කැපී පෙනුනේ සිදුවීම් ඒවායේ පරිසමාප්තියට මාරාන්තික ලෙස හේතු වන බවට වූ නිශ්චිත හැගීමකින් ඔහු තම අවසාන කාලයේ ජීවත් වූ බැවිනි. ” [ඉහත කෘතිය]

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top