ඔක්ස්ෆෑම්: 2020 සිට ඇමරිකානු බිලියනපතියන් 10 දෙනෙකුගේ ධනය 6 ගුණයකින් වැඩි වී තිබේ

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 නොවැම්බර් 04 දින ‘Oxfam: 10 US billionaires have had their wealth increase 6-fold since 2020යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

සඳුදා, ඔක්ස්ෆෑම් පර්‍යේශන ආයතනය, එක්සත් ජනපදයේ සමාජ අසමානතාවයේ වර්ධනය පිළිබඳ “අසමාන්‍ය: නව ඇමරිකානු කතිපයාධිකාරයක නැගීම” යන මාතෘකාව යටතේ වාර්තාවක් ප්‍රකාශයට පත් කළේය.

“පසුගිය වසර සංකේන්ද්‍රිත ධනය හා බලය මගින් නොමැකෙන ලෙස හැඩගස්වා ඇති” බව වාර්තාව සඳහන් කරයි. පසුගිය මාස 12 තුළ පමණක්, එක්සත් ජනපදයේ ධනවත්ම බිලියනපතියන් 10 දෙනා ආසන්න වශයෙන් තවත් ඩොලර් බිලියන 700  කින් ධනවත් වූ බව පෙන්වන දත්ත එය උපුටා දක්වයි. මෙම කාලය තුළ ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.79 සිට ඩොලර් ට්‍රිලියන 2.5 දක්වා සියයට 40 කින් විශ්මයජනක ලෙස වර්ධනය විය.

Billionaire
පසුගිය වසරේදී බිලියනපතියන් දස දෙනෙකු ඩොලර් බිලියන 728 කින් ධනය වැඩි කරගෙන ඇත.

ඔක්ස්ෆෑම් වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සිදු වූයේ ට්‍රම්ප් පරිපාලනය ඇමරිකානු පවුල් දස මිලියන ගණනකට ආහාර මුද්දර ප්‍රතිලාභ කප්පාදු කිරීමෙන් දිනකට පසුවය. මෙය සිදු වූයේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දැවැන්ත උත්සව ශාලාවක් ගොඩනඟා ගැනීමට ඉදිරියට යද්දී සහ ඔහුගේ බිලියනපති මිතුරන් ඔවුන් සඳහාම සති අන්තයේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේදී “ග්‍රේට් ගැට්ස්බි” තේමාවෙන් යුත් සාදයක් පැවැත්වූ අවස්ථාවේදීය.

ධවල මන්දිරය බල ආසනය ලෙස තබාගෙන සිටින පරපෝෂී කතිපයාධිකාරිත්වයක්  විසින් එක්සත් ජනපදය මත ආධිපත්‍යය දැරීම සැමට දැකගත හැකි පරිදි ප්‍රදර්ශනය කෙරේ.

නමුත් ඔක්ස්ෆෑම් වාර්තාව පැහැදිලි කරන්නේ ට්‍රම්ප් යටතේ සිදු කෙරෙන ධනය ඉහළට යලි බෙදා හැරීම කෙතරම් ප්‍රචණ්ඩකාරී වුවත්, එය දශක ගණනාවක් තිස්සේ පක්ෂ දෙකම [රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික්] විසින් ක්‍රියාත්මක කරන ලද කප්පාදු සහ සංගත-ගැති ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවයි. වාර්තාව ප්‍රකාශ කරන පරිදි, “කතාව 2025 දී ආරම්භ නොවේ.”

ඇමරිකාවේ ධනවත්ම මිනිසුන් 10 දෙනා වෙත හැරෙමින් ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කරන්නේ, “2020 සිට ඔවුන්ගේ උද්ධමනයට ගැලපූ ධනය 526% කින් ඉහළ ගොස් තිබේ.” වෙනත් වචන වලින් කිවහොත්, 2020 මාර්තු සිට වර්තමානය දක්වා, මෙම පුද්ගලයින් 10 දෙනාගේ ධනය සාමූහිකව හය ගුණයකින් වැඩි විය.

2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 33 ක් වූ එලොන් මස්ක්ගේ ධනය එතැන් සිට එය 14 ගුණයක වැඩිවීමකින් ඩොලර් බිලියන 469 දක්වා ඉහළ ගොස් තිබීම මේ සඳහා උදාහරණයක්.

ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිටින ලැරී එලිසන්ගේ ධනය 2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 54 සිට ඩොලර් බිලියන 323 දක්වා හය ගුණයකින් වැඩි විය. ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටින ජෙෆ් බෙසොස්ගේ ධනය 2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 126 සිට අද වන විට ඩොලර් බිලියන 265 දක්වා වැඩි විය.

Wealth
එක්සත් ජනපදයේ ජාතික ධනය බෙදී යෑම

වෝල් වීදියේ කොටස් වටිනාකම්වල අඛණ්ඩ සමපේක්ෂන වර්ධනයක් මගින් ධනයේ වැඩිවීම සිදු වේ. ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කළේ, “2025 දී, ෆෙඩරල් මහ බැංකව 1989 දී දත්ත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ දා සිට, ඉහළම සියයට 0.1 සතු වත්කම්වල කොටස වාර්තාගත ඉහළම අගයට (12.6%)  ළඟා වූ අතර, කොටස් වෙළඳපොලේ ඔවුන්ගේ කොටස ද (24%) ද එසේම විය.”

1989 දී, ඉහළම කුටුම්භ සියයට 0.1 ක් ධනයෙන් සියයට 8.6 ක් පාලනය කළ අතර, අද එය සියයට 13.9 කි. ඊට වෙනස්ව, ඇමරිකානු සමාජයේ පහළම සියයට 50 විසින් පාලනය කරන ලද ධනයේ කොටස 1989 දී සියයට 3.5 සිට අද සියයට 2.5 දක්වා පහත වැටී ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, ඇමරිකානු කුටුම්භවලින් ඉහළම සියයට 0.1, එනම් පුද්ගලයින් 100,000 කට වඩා යන්තම් වැඩි ප්‍රමාණයක්, සමාජයේ පහළම ස්ථානයේ සිටින කුටුම්භ මිලියන 64 ට  [ආසන්න වශයෙන් මුලු ජනගහනයෙන් අඩකට] වඩා හය ගුණයක ධනයක් පාලනය කරති.

ඇත්ත වශයෙන්ම, තෝමස් පිකෙටි සහ එමානුවෙල් සායෙස්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කරන්නේ, “ධනවත්ම 0.0001% පිරිස එක්සත් ජනපද ඉතිහාසයේ ආන්තික අසමානතාවයෙන් අර්ථ දක්වා ඇති යුගයක් වන ස්වර්ණමය යුගයට (Gilded Age) වඩා ධනයෙන් වැඩි කොටසක් පාලනය කරන” බවයි.

“ධනවත්ම 1% පිරිස කොටස් වෙළඳපොළෙන් අඩක් (49.9%) හිමිකර ගන්නා අතර, එක්සත් ජනපදයේ පහළ භාගය කොටස් වෙළඳපොළෙන් 1.1% ක් පමණක් හිමිකර ගනී,” යනුවෙන් වාර්තාව තවදුරටත් දක්වයි.

ට්‍රම්ප් පරිපාලනය සමාජ අසමානතාවය දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තාව නිවැරදිව අනතුරු අඟවයි. “ට්‍රම්ප් පරිපාලනය–බොහෝ දුරට කොංග්‍රසයේ රිපබ්ලිකන් පක්ෂයේ සහාය ඇතිව–කම්කරු පන්තික පවුල්වලට අනවරත ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ධනවතුන් සහ තමන්ට හොඳින් සම්බන්ධ වූවන් පොහොසත් කිරීමට තනතුරේ බලය භාවිතා කිරීමට විශ්මයජනක වේගයකින් සහ පරිමාණයකින් පියවර ගෙන ඇති” බවට එය අනතුරු අඟවයි.

“මෑතකදී සම්මත කරන ලද One Big Beautiful Bill Act (OBBBA) මගින් 2027 දී ඉහළම ආදායම් ලබන 0.1% ක බදු බිල ඇස්තමේන්තුගත ඩොලර් 311,000 කින් අඩු කරනු ඇති අතර, වාර්ෂිකව ඩොලර් 15,000 ට අඩු ආදායමක් උපයන අඩුම ආදායම් ලබන කුටුම්භ බදු වැඩිවීම්වලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ,” යනුවෙන් ඔක්ස්ෆෑම් සඳහන් කරයි.

නමුත් ඔක්ස්ෆෑම් වාර්තාව පැහැදිලි කරන පරිදි, දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පැවති ක්‍රියාවලීන්හි පෙර නොවූ විරූ වේගයකින් වේගවත් වීමක් ට්‍රම්ප් පරිපාලනය  සනිටුහන් කරයි. “ප්‍රතිපත්ති සම්පාදකයින් අසමානතාවය තෝරාගෙන ඇති අතර, එම තේරීම්වලට ද්විපාර්ශ්වික සහයෝගය ලැබී තිබේ,” යැයි අධ්‍යයනයේ කතුවරිය වන රෙබෙකා රිඩෙල්, ගාඩියන්  ට පැවසුවාය. “බදු සහ සමාජ ආරක්ෂණ ජාලය කප්පාදු කිරීමේ සිට කම්කරු ගැටළු සහ ඉන් ඔබ්බට පසුගිය වසර 40 තුළ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා සැබවින්ම දෙපාර්ශවයේම සහාය ලැබුණි.”

මෙම තක්සේරුව සත්‍යයකි. නමුත් වාර්තාව ගැටගැසී පැටලී ඇත්තේ මෙහිදීය. දේශපාලන පක්ෂ දෙකම යටතේ දශක ගණනාවක් තිස්සේ සමාජ අසමානතාවයේ වැඩිවීම සිදුවී ඇති බව අධ්‍යයනයේ කතුවරයා නිවැරදිව පෙන්වා දෙයි. නමුත් වාර්තාව පහත සඳහන් ප්‍රකාශය කිරීම සඳහා ඉදිරියට යයි:

දරිද්‍රතාවය අඩු කිරීම, අඩු වැටුප් ලබන සේවකයින් සඳහා වැඩිදියුණු කළ වැටුප් සහ පවුල්වල සාක්කුවලට මුදල් නැවත ලබා දෙන ශක්තිමත් වෙළෙඳ-ඒකාධිකාර විරෝධී ක්‍රියාමාර්ග (antitrust action) වැනි බයිඩන් පරිපාලනය තුළ ලබා ගත් ජයග්‍රහණ, ජනතාවගේ ජීවිත වැඩිදියුණු කරන ප්‍රතිපත්ති වෙනසක් ලබා ගැනීම සඳහා සංවිධානය වීමේ සැබෑ විභවය පෙන්නුම් කළේය.

10richest
බයිඩන් යටතේ ධනවත්ම එජ බිලියනපතියන් දස දෙනා තම ධනය දෙගුණයක් කරගති

වාර්තාවේම සොයාගැනීම් වලට මෙය සම්පූර්ණයෙන්ම පටහැනි වේ. බයිඩන් පරිපාලනය යටතේ මූල්‍ය කතිපයාධිකාරීන් විසින් පාලනය කරන ලද ධනයේ කොටස ඉහළ ගිය ප්‍රමාණය දෙවැනි වන්නේ ට්‍රම්ප් පරිපාලනය යටතේ ඉහළ ගිය පමණට පමණි. ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගේ ඒකාබද්ධ ධනය, 2021 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 976 සිට 2025 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 1,991 දක්වා දෙගුණ විය. මෙම කාලය තුළ, ජාතික ආදායමෙන් ශ්‍රමයේ කොටස සර්වකාලීන අවම මට්ටමකට පහත වැටුණි.

Labor share
ජාතික ආදායමෙන් ශ්‍රමයේ කොටස


බයිඩන් යටතේ ඇමරිකානු දරුවන්ගේ ආහාර අනාරක්ෂිතතා අනුපාතය සියයට 13 සිට සියයට 19 දක්වා වැඩි විය. ඔහුගේ පරිපාලනයේ අවසාන වසර වන විට, එක්සත් ජනපද නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව සිය වාර්ෂික වාර්තාව “එක් රාත්‍රියක නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින් සංඛ්‍යාව 2024 දී මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ගත්තේය” යි අවධරණය කළේය. 

වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන් පරිපාලනය කම්කරු පන්තියට ව්‍යසනයක් වූ අතර මූල්‍ය කතිපයාධිකාරයට සරු ලාභ ගෙන දෙන්නක් විය.

Food insecurity
ආහාර අනාරක්ෂිත පවුල්වල ජීවත්වන එජ දරුවන් ප්‍රතිශතය

වාර්තාවේ පෙරවදන ලියා ඇත්තේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික එලිසබෙත් වොරන් විසිනි. ඇය ප්‍රකාශ කරන්නේ “ඉහළම සිටින අයට හොඳින් ක්‍රියාත්මක වන සහ අනෙක් සියල්ලන් ඔවුන්ගේ නියපොතු වලින් එල්ලී සිටින ආර්ථිකයක් … හිතාමතා ගත් ප්‍රතිපත්ති තේරීම් හරහා සිදු වූ” බවයි.

එහෙත් ඔක්ස්ෆෑම් වාර්තාවේ ලේඛනගත කර ඇති සමාජ අසමානතාවයේ වැඩිවීමේ විශාල කොටසක්, ඇය අනුමත කළ සහ,  ඇය නැවත නැවතත් සහ ව්‍යතිරේකයකින් තොරව ආරක්ෂා කළ පරිපාලනයක් යටතේ සිදු වූයේ කෙසේදැයි ඇය පැහැදිලි නොකරයි.

ඔක්ස්ෆෑම් වාර්තාවේ ප්‍රධාන වචනවල සඳහන් නොවී ඇත්තේ එක් වචනයකි: ධනවාදය. එහි මූලික රාමුව වන්නේ සමාජ අසමානතාවයේ වර්ධනය ප්‍රතිපත්තිමය තේරීමක් පමණක් බවත්, වර්තමාන සමාජ රාමුව තුළ තවත් තේරීමක් ඒ තරම්ම පහසුවෙන් අනුගමනය කළ හැකි බවත් තර්ක කිරීමයි.

කෙසේ වෙතත්, යථාර්ථයේ දී, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශවය යටතේම සමාජ අසමානතාවයේ අඛණ්ඩ වර්ධනය, ධනේශ්වර ක්‍රමයේ මූලික ලක්ෂණයකි. වසර 150 කට පෙර කාල් මාක්ස් පැහැදිලි කළ පරිදි, “එක් ධ්‍රැවයක ධනය සමුච්චය වීම යනු … ඒ සමඟම ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ, එනම්, ප්‍රාග්ධනයේ ස්වරූපයෙන් තමන්ගේම නිෂ්පාදනය නිපදවන පන්තියේ පැත්තේ, දුක්ඛිතභාවය, වෙහෙසී වැඩ කිරීමේ වද වේදනාව, වහල්භාවය, නොදැනුවත්කම, ම්ලේච්ඡත්වය, මානසික පරිහානිය සමුච්චය වීමයි.”

එහි ඉහළම හා වඩාත්ම විකෘතරූපී  ප්‍රකාශනය තුළ, ට්‍රම්ප් පරිපාලනය, වසර 150 කට පෙර කාල් මාක්ස් විසින් විස්තර කරන ලද ධනේශ්වර ක්‍රමයේ අත්‍යවශ්‍ය ලක්ෂණවල දිගුවක් නියෝජනය කරයි. එය බිලියනපතියන් සහ ඔවුන්ගේ සංගත සදහා සෘජුවම පාලනය කරන, ධනේශ්වර කතිපයාධිකාරය විසින් කතිපයාධිකාරය වෙනුවෙන්, කතිපයාධිකාරයේම වූ රජයකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීමේ පන්ති අන්තර්ගතය මෙයයි. ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වය සඳහා වැඩිදියුණු  වන කුමන්ත්‍රණය, ප්‍රචණ්ඩත්වය, මර්දනය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම තුළින් පමණක් තම ධනය හා බලය පවත්වා ගත හැකි පාලක පන්තියක අවශ්‍යතාවයන්ගෙන් ගලා එයි. ඩිමොක්‍රටික් පක්ෂයේ හවුල්කාරිත්වය සහ බියගුලුකම පැහැදිලි වන්නේ එය එකම ධනේශ්වර කතිපයාධිකාරයේම තවත් කන්ඩායමක් නියෝජනය කරන බැවිනි.

නමුත් එක්සත් ජනපදයේ සමාජ මනෝභාවය වෙනස් වෙමින් පවතී. ට්‍රම්ප් පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ කප්පාදු ප්‍රතිපත්තිවලට එල්ල කළ ප්‍රහාරය, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම පෙලපාලි අතරින් එකක් වූ “රජුන් එපා” නමින් වූ පසුගිය මාසයේ පැවති පෙලපාලිවල මිලියන සංඛ්‍යාත ජනතාවගේ විරෝධතාවලට තුඩු දුන්නේය. මෑතක Axios  මත විමසුමකින් හෙළි වූයේ, එක්සත් ජනපදයේ තරුණයින්ගෙන් සියයට 67 ක් දැන් “සමාජවාදය” යන යෙදුම ධනාත්මකව හෝ මධ්‍යස්ථව දකින බවත්, “ධනවාදය” සඳහා එය  සියයට 40 ක් පමණක් වන බවත්ය.

සමාජ අසමානතාවයට සහ මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වයට එරෙහිව, කම්කරුවන් සහ තරුනයින් ඇතුළු ජනගහනයේ පුලුල් කොටස් අතර විරෝධය වැඩෙමින් පවතී.

මූල්‍ය ප්‍රභූවේ අශික්ෂිත ධනය අත්පත් කර ගත යුතු බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි. කතිපයාධිකාරීන්ගේ ධනය, ආර්ථික හා දේශපාලන ජීවිතයේ සෑම අංශයකම ආධිපත්‍යය දරන යෝධ සංගත, බැංකු සහ ආයෝජන අරමුදල් මත ඔවුන්ගේ පාලනයෙන් වෙන් කළ නොහැකි ය. මෙම ආයතන පොදු අයිතිය ඇති උපයෝගිතා බවට පරිවර්තනය කර, කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලැබිය යුතු අතර, පුද්ගලික ලාභය නොව මානව අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිසංවිධානය කළ යුතුය.

වෝල් වීදියේ පක්ෂ දෙකටම ආයාචනා කිරීමෙන් එවැනි පරිවර්තනයක් සාක්ෂාත් කරගත නොහැකිය. ඒ සඳහා සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටුවල ජාත්‍යන්තර කම්කරු සංධානයක්  (IWA-RFC) හරහා ජාත්‍යන්තරව එක්සත් වූ කම්කරු කමිටුවලින් සංවිධානවූ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. අසමානතාවයට සහ ආඥාදායකත්වයට එරෙහි සටන, එහි සාරය වශයෙන්, ධනවාදයට එරෙහි සටනකි. සූරාකෑම, දරිද්‍රතාවය සහ යුද්ධය අවසන් කිරීම සඳහා, කම්කරු පන්තිය බලය අල්ලාගෙන සමාජවාදී පදනම් මත ආර්ථික ජීවිතය නැවත ගොඩනැගිය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top