සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අගොස්තු 13 දින “The SEP and the struggle against imperialist war” යන හිසින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

2026 අගෝස්තු 2 සිට 7 දක්වා පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) [Socialist Equality Party (US)] නවවැනි ජාතික සම්මේලනය විසින් ඒකමතිකව සම්මත කරන ලද යෝජනා හයෙන් පළමුවැන්න වන “සමාජවාදී සමානතා පක්ෂය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය” (“The SEP and the Struggle Against Imperialist War”) අපි මෙහි පළ කරමු. සමාජවාදී සමානතා පක්ෂයේ (SEP) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් (David North) විසින් පවත්වන ලද ආරම්භක වාර්තාව මගින් මෙම යෝජනාව සම්මේලනය වෙත ඉදිරිපත් කෙරුණි.
- සමාජවාදී සමානතා පක්ෂයේ නවවැනි ජාතික සම්මේලනය රැස්වන්නේ උග්‍රවන අධිරාජ්‍යවාදී යුද්ධය, ගැඹුරු වන ආර්ථික අර්බුදය, පාලක පන්ති ආඥාදායකත්වය දෙසට හැරීම සහ කම්කරු පන්තියේ රැකියා, වේතන සහ සාමාජීය අයිතිවාසිකම්වලට එල්ල වන වර්ධනය වන ප්‍රහාරයන් මධ්‍යයේ ය. ලෝක යුද්ධයක අනතුර පිළිබඳව තවදුරටත් ප්‍රශ්නයක් නොමැත; එහි ආරම්භක අදියර දැනටමත් ආරම්භ වී ඇත. ලොව පුරා පාලක ප්‍රභූ පැලැන්තිය (elite) ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට යොමු වෙමින් සිටිති. අතීතයේ කිසිදා නොවූ විරූ අයුරින් ධනය එක් කොටසක් අත ඒකරාශී වීම, ගෝලීය උද්ධමන රැල්ලක් සහ වේගවත් වන රැකියා විනාශය සමඟ බද්ධ වී බිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවන තත්ත්වයන් විනාශ කරමින් පවතී. නමුත් මෙම තත්ත්වයන්ම දේශපාලන රැඩිකලීකරණයකට සහ ජාත්‍යන්තරව පන්ති අරගලයේ පුනර්ජීවනයකට මග පාදයි. සමාජවාදී සමානතා පක්ෂය සිය කාර්යභාරයන් නිර්වචනය කළ යුත්තේ මෙම ප්‍රවණතා දෙකේ ගැටුම මධ්‍යයේ ය.
- පෙබරවාරි 28 වැනිදා අලුයම ආරම්භ කරන ලද ඉරානයට එරෙහි ඇමරිකානු-ඉශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධයට මාස පහක් පිරෙන තැන මෙම සම්මේලනය රැස්වේ. ඇමරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර සාකච්ඡා තවමත් පවතිද්දී මෙම ප්‍රහාරය ආරම්භ වූ අතර, එහි සමාරම්භක ප්‍රහාරයට ඉරානයේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීම ද ඇතුළත් විය. මාර්තු 2 වැනි දින සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කළ “ඉරානයට එරෙහි සාපරාධී ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය නතර කරනු!” (“Stop the criminal US-Israeli war against Iran!”) යන ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, මෙම ප්‍රහාරය “එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරමින් දියත් කරන ලද සාපරාධී යුද ක්‍රියාවකි”—එනම් 1945–46 නාසි නායකයන්ගේ නියුරම්බර්ග් නඩු විභාගයේදී (Nuremberg trials) “සාමයට එරෙහි අපරාධයක්” (“crime against peace”) ලෙස විස්තර කරන ලද, “සමස්තයේ එකතු වූ නපුර තමන් තුළම දරා සිටීමෙන් පමණක් අනෙකුත් යුද අපරාධවලට වඩා වෙනස් වන පරම ජාත්‍යන්තර අපරාධය” කි.
- අප්‍රේල් 7 වැනිදා ට්‍රම්ප් විසින් කරන ලද “සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ මිය යනු ඇත, නැවත කිසි දිනෙක එය ගෙන එනු නොලැබේ” (“A whole civilization will die tonight, never to be brought back again”) යන ජන සංහාරක ප්‍රකාශය අපකීර්තිමත් ලෙස සදාකාලිකව පවතිනු ඇත. ජූලි 11 වන දින ඔහු “ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම අලු දූලි කර විනාශ කර දමන බවට” තර්ජනය කළේය. මෙම ප්‍රකාශයන් ජාත්‍යන්තර නීතිය යටතේ ස්වයංක්‍රීයවම යුද අපරාධ වේ. ධවල මන්දිරයෙන් නිකුත් කළ මෙසේ විනාශ කිරීමේ ක්‍රමවේදයන්ගෙන් ප්‍රකාශ වන්නේ ධනපති ක්‍රමය විසින් මානව වර්ගයා ඇද දමමින් සිටින ම්ලේච්ඡත්වයයි.
- අනුගාමී “සටන් විරාමයන්” සහ අවබෝධතා ගිවිසුම් බිඳ වැටී ඇති අතර, සෑම බිඳ වැටීමකින් පසුවම අලුත් වටයකින් යුද්ධය උග්‍ර විය. කෙතරම් තාවකාලික ස්වභාවයේ ගිවිසුම්වලට එළඹුනද, යුද්ධය මෙහෙයවෙනු ලබන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලික භූ-මූලෝපායික අභිලාෂයන් විසිනි: එනම් මැද පෙරදිග, එහි ස්වාභාවික සම්පත් සහ ලෝක ආර්ථිකය රැඳී පවතින මූලෝපායික වෙළඳ මාර්ගයන්හි ආධිපත්‍යයයි. මෙම සම්පත් පාලනය කිරීම—සහ ප්‍රතිවාදීන්ට ඒවා අහිමි කිරීමේ බලය—දශක හතකට වැඩි කාලයක් තිස්සේ කලාපය තුළ ඇමරිකානු ප්‍රතිපත්තියේ ප්‍රධාන අවධානය යොමු වූ කරුණ විය. ඉරානයට එරෙහි යුද්ධය යනු, 1979 විප්ලවය මගින් වොෂින්ටනයට එහි පඹ රෙජීමය අහිමි වූ දා සිට සෑම පාලනයක් යටතේම දියත් කරන ලද ද්වි-පාක්ෂික ව්‍යාපාරය යයි.
- 2026 ජාත්‍යන්තර මැයි දින රැලියේ ආරම්භක වාර්තාවේ ඉදිරිපත් කරන ලද විග්‍රහය මෙම සම්මේලනය අනුමත කරයි: ඉරානයට එරෙහි යුද්ධය “දිගු හමුදා මෙහෙයුම් මාලාවක තවත් එක් කතාංගයක් පමණක් නොවේ. මෙම යුද්ධයේ ප්‍රතිවිපාක මෙම ගැටුමට පැහැදිලි ගෝලීය ස්වරූපයක් ලබා දෙයි, එනම් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව දියත් කරන ලද ගෝලීය යුද්ධයකි.” එහි ප්‍රතිවිපාක ලොව පුරා කම්කරුවන්ට විනාශකාරී වී ඇත. ඉරාන වරායන් නාවික අවහිරතාවයට ලක්කිරීම ලෝක වෙළඳාම සහ බලශක්ති සැපයුම කැළඹීමට ලක්කර ඇති අතර, සෑම මහද්වීපයකම අලුත් උද්ධමන රැල්ලක් ඇති කරමින් ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයට හෝ සාගින්නට ඇද දමා ඇත.
- ඉරානයට එල්ල වූ ප්‍රහාරය ලෝකය නැවත බෙදා වෙන් කිරීම අරමුණු කරගත් අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයේ පොදු පුපුරා යාමක එක් පෙරමුණක් පමණි. ජනවාරි 3 වන දින වෙනිසියුලාව ආක්‍රමණය කර එහි ජනාධිපතිවරයා පැහැර ගන්නා ලදී. පෙන්ටගනයේ නීති විරෝධී ප්‍රහාර හේතුවෙන් කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ ධීවරයින් සහ කම්කරුවන් අවම වශයෙන් 221 දෙනෙකු ප්‍රහාරවලින් මියගොස් ඇත. කියුබාවේ ගෙල හිරකරමින් ආක්‍රමණවල තර්ජනයට ලක්කර ඇත. ඊශ්‍රායලය ලෙබනනයට එරෙහිව අලුත් යුද්ධයක් ආරම්භ කර ඇත. තවද ගාසා තීරයේ ජන සංහාරය තෙවැනි වසරටත් ඉදිරියට යයි: දස දහස් සංඛ්‍යාත පලස්තීන දරුවන් ඝාතනය කිරීම, රෝහල්, පාසල්, ජල පද්ධති සහ නිවාස හිතාමතා විනාශ කිරීම සහ සාගින්න යුද ආයුධයක් ලෙස භාවිත කිරීම මගින් මුළු මහත් සමාජයක්ම ලෝකයේ ඇස් පනාපිට සුන්බුන් බවට පත්කර ඇත.
- උග්‍ර වන ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධය එල්ල වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම රුසියාවට සහ චීනයට එරෙහිව ය. ප්‍රමුඛතාවය දිය යුත්තේ කිනම් ගැටුමකටද යන්න පිළිබඳව ඇමරිකානු පාලක පන්තිය තුළ මතභේද පවතී, නමුත් මේවා අත්‍යවශ්‍ය අරමුණ මත එක්සත් වූ පාලක පන්තියක් තුළ පවතින උපායමාර්ගික වෙනස්කම් පමණි. රුසියාවේ විශාල සම්පත්—එහි බලශක්තිය, ඛනිජ සහ පැය කලාප එකොළහක් පුරා පැතිරුණු භූමිය—යටපත් කර අධිරාජ්‍යවාදී සූරාකෑමට විවෘත කළ යුතුය. තවද මෙම යුගයේ කේන්ද්‍රීය ගැටුම ලෙස පවතින්නේ, එහි ආර්ථික නැගී සිටීම ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිය පැවැත්මට තර්ජනයක් ලෙස සලකන, චීනයට එරෙහිව දිගු කලක් තිස්සේ සැලසුම් කරන ලද යුද්ධයයි. එහි කල්ලි අතර කෙතරම් වෙනස්කම් තිබුණද, ඇමරිකානු පාලක පන්තිය සිය ගෝලීය ආධිපත්‍යයට එල්ල වන කිසිදු අභියෝගයක් පිළිගන්නේ නැත. ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන 1.5 ක හමුදා අයවැය, වඩාත්ම ඍජු අර්ථයෙන් ගත් කල, ලෝක යුද්ධයක් සඳහා වූ අයවැයකි.
- ඇමරිකානු අධිරාජ්‍යවාදය යනු පෘථිවියේ ඇති වඩාත්ම විනාශකාරී බලවේගයයි. සිය පිරිහීම ආපසු හැරවීමේ උත්සාහයේදී, එය විසින්ම වරක් ගොඩනඟන ලද පශ්චාත් යුධ පද්ධතියේ සියලු සබඳතා සහ ආයතන බිඳ දමමින් සිටී. එක්සත් ජනපදය සිය නාමික මිත්‍රයින්ට තර්ජනය කර කප්පම් ගන්නා අතර, ඔවුන්ගේ ආර්ථිකයන්ට එරෙහිව තීරුබදු යුද්ධයක් දියත් කරයි, ග්‍රීන්ලන්තය (නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන ඩෙන්මාර්කයේ භූමිය) ඈඳා ගැනීමට බලකර සිටින අතර කැනඩාව “පනස් එක්වන ප්‍රාන්තය” දක්වා ලඝු කිරීමට තර්ජනය කරයි. 1928 දී ට්‍රොට්ස්කි (Trotsky) කළ අනතුරු ඇඟවීම අතිශය අදාළත්වයක් සහ තියුණු බවක් ගනී: “අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී එක්සත් ජනපදයේ ආධිපත්‍යය, සමෘද්ධිමත් කාල පරිච්ඡේදයට වඩා සම්පූර්ණයෙන්, වඩා විවෘතව සහ වඩා රුදුරු ලෙස ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජනපදය සිය දුෂ්කරතාවලින් සහ රෝගවලින් මිදීමට සහ ඒවා ජය ගැනීමට මූලික වශයෙන් උත්සාහ කරන්නේ යුරෝපයේ කරපිටින් ය; මෙය ආසියාවේ, කැනඩාවේ, දකුණු ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ හෝ යුරෝපයේම සිදු වූවද, නැතහොත් මෙය සාමකාමීව හෝ යුද්ධය හරහා සිදු වූවද යන්න අදාළ නොවේ.” වසර හයකට පසු, ඉතිහාසය විසින් මානව වර්ගයා “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳුමය පිපිරීමට මුහුණට මුහුණ” දෙන බව ට්‍රොට්ස්කි පෙර දුටුවේය.
- යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් නිකම්ම බලා සිටින්නන් නොව සම්පූර්ණ හවුල්කරුවෝ වෙති. නේටෝ බලවතුන් යුක්‍රේනය තුළ රුසියාවට එරෙහිව ප්‍රායෝගිකවම යුද්ධයක (de facto war) නිරත වෙමින් සිටින අතර, එය න්‍යෂ්ටික බලවතුන් වන රාජ්‍යයන් අතර සෘජු ගැටුමක් දෙසට උග්‍ර වෙමින් පවතී. තවද ඔවුහු 1950 ගණන්වල මුල් භාගයෙන් පසු වේගවත්ම ශීඝ්‍රතාවයෙන් ප්‍රතිසන්නද්ධ වීමට පටන් ගෙන ඇති අතර, පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකේදී මෙන් සටන් කිරීමට සහ මිය යාමට අලුත් පරම්පරාවක් සූදානම් විය යුතු බව ඉල්ලා සිටිති. ජර්මන් අධිරාජ්‍යවාදය නැවත වරක් මෙම ව්‍යාපාරයේ පෙරමුණේ සිටින අතර, හමුදා බඳවා ගැනීම් සහ සිවිල් ජීවිතය යුද නිෂ්පාදනයට යටත් කිරීම සඳහා වූ රාමුව සකස් කරන යුද නීති සම්මත කර ගනී. මේ අතර ෆින්ලන්තය න්‍යෂ්ටික ආයුධ තහනම අහෝසි කර ඇති අතර, රුසියාව සමඟ ඇති සිය කිලෝමීටර් 1,300 ක දේශසීමාව නේටෝ න්‍යෂ්ටික යෙදවීම් සඳහා විවෘත කර ඇත.
- වර්තමාන යුද්ධයේ පුපුරා යාම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පෙර දුටු අතර, පසුගිය වසර 35 පුරා එහි ප්‍රකාශයන් අනාගතවක්තෲ ස්වරූපයක් ගනී. පළමු ගල්ෆ් යුද්ධයෙන් පසුව සහ ස්ටාලින්වාදී නිලධාරී තන්ත්‍රය සෝවියට් සංගමය විසුරුවා හැරීම සම්පූර්ණ කරද්දී, 1991 මැයි දින නිකුත් කරන ලද “අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත්විජිතවාදයට එරෙහි වනු!” (“Oppose Imperialist War and Colonialism!”) යන එහි ප්‍රකාශනය මගින්, පූර්ව යටත් විජිත රටවල් කොල්ලකෑම නැවත ආරම්භ කර ඇති බවට ජාත්‍යන්තර කමිටුව (ICFI) අනතුරු ඇඟවීය. 1990 අගෝස්තු තරම් ඈත දී, ඉරාකයට එරෙහි පළමු යුද්ධය ආසන්නයේදී ජාත්‍යන්තර කමිටුව (ICFI) මෙසේ පැහැදිලි කළේය: “එය ලෝකය නැවත බෙදා වෙන් කිරීමේ අලුත් අධිරාජ්‍යවාදී ආරම්භය සලකුණු කරයි. පශ්චාත් යුද සමයේ අවසානය යනු පශ්චාත් යටත් විජිත සමයේ අවසානයයි… ඉරාකයට එරෙහි සිය දරුණු ප්‍රහාරයේදී, දෙවන ලෝක යුද්ධයට පෙර පැවති පසුගාමී රටවල් මත වූ අසීමිත ආධිපත්‍යය නැවත පිහිටුවීමට අදහස් කරන බවට අධිරාජ්‍යවාදය දැනුම් දෙයි.”
- ඉන් පසුව සිදු වූ සියල්ල—ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යේමනය සහ යුක්‍රේනය තුළ පැවැති නොනිමෙන යුද්ධ—මෙම විග්‍රහය තහවුරු කර ඇත. A Quarter Century of War (2016) (ශතවර්ෂ කාලක් පුරා යුද්ධය) හි පූර්විකාවේ David North ලියූ පරිදි: “එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද පසුගිය සියවසෙන් හතරෙන් පංගුවක යුද්ධ අධ්‍යයනය කළ යුත්තේ එකිනෙකට සම්බන්ධ වූ සිදුවීම් මාලාවක් ලෙසය. ගෝලීය ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපදයේ මූලෝපායික තර්කනය මැද පෙරදිග සහ අප්‍රිකාවේ නව යටත් විජිත මෙහෙයුම්වලින් ඔබ්බට යයි. දැනට පවතින කලාපීය යුද්ධ යනු රුසියාව සහ චීනය සමඟ එක්සත් ජනපදයේ වේගයෙන් උග්‍ර වන ගැටුමේ සංඝටක මූලාංග වේ.
- මෙම සෑම යුද්ධයක්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය විසඳනවා වෙනුවට එය තවත් උග්‍ර කළේය. 2003 මාර්තු මාසයේදී ඉරාක ආක්‍රමණය ආරම්භයේදී නෝර්ත් ලියූ පරිදි: “ඇමරිකානු අධිරාජ්‍යවාදයට විනාශය සමඟ සම්මුඛ වීමක් යෙදී ඇත. එයට ලෝකය ජය ගත නොහැක. මැද පෙරදිග මහජනතාව කෙරෙහි නැවත යටත් විජිත විලංගු දැමීමට එයට නොහැක. යුද්ධය නමැති මාධ්‍යය හරහා එහි අභ්‍යන්තර රෝගවලට සාර්ථක විසඳුමක් සොයා ගැනීමට එයට නොහැකි වනු ඇත. ඒ වෙනුවට, යුද්ධය මගින් ඇති කරන ලද නොසිතූ දුෂ්කරතා සහ වර්ධනය වන ප්‍රතිරෝධය ඇමරිකානු සමාජයේ සියලුම අභ්‍යන්තර පරස්පරතාවයන් උග්‍ර කරනු ඇත.” ඉරානය ඊට වෙනස් නොවන බව ඔප්පු කරනු ඇත.
- වසර තිස්පහක නොනිමෙන යුද්ධයට ඇමරිකානු ධනපති ක්‍රමයේ ආර්ථික පිරිහීම ආපසු හැරවීමට නොහැකි වී ඇත. එක්සත් ජනපද වෙළඳ හිඟය වාර්තාගත මට්ටමක පවතී—එය එක් වසරක් තුළ භාණ්ඩවලින් ඩොලර් ට්‍රිලියන 1.2 කි—සහ මුළු එක්සත් ජනපද රජයේ ණය ඩොලර් ට්‍රිලියන 40 කට ආසන්න වෙමින් පවතින අතර, එය දරා ගෙන යනු ලබන්නේ ඩොලරය [සංචිත මුදල් ඒකක ලෙස] තබා ගැනීමට ලෝකය දක්වන කැමැත්ත මඟින් පමණි. කඩදාසි ලබා දී පෘථිවියේ සම්පත් මත ආධිපත්‍යය දැරීමට එක්සත් ජනපදයට ඉඩ සලසන ලෝක සංචිත විනිමය ලෙස ඩොලරය ලෝකයේ දරණ ස්ථානය, විවෘත අර්බුදයකට ලක්ව ඇත. නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක මට්ටමේ තම ස්ථානය පල්ලම් බැසීම පිළිගන්නේ නැත. සෑම යුද්ධයකම පරාජයට මුහුණ දෙන විට, එය පසුබැසීමෙන් නොව, පෘථිවිය මත මානව ජීවිතය විනාශ කිරීමේ තර්ජනය එල්ල කරන න්‍යෂ්ටික යුද්ධය දක්වා වන වඩාත් විශාල [මිලිටරි] උග්‍ර කිරීම් වලින් ප්‍රතිචාර දක්වයි.
- අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය කම්කරු පන්තිය තුළ මුල් බැස ගත යුතු අතර එය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිළිවෙලක් මත පදනම් විය යුතුය. 2016 පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය (Socialism and the Fight Against War) ප්‍රකාශනය මගින් පිහිටුවන ලද මූලධර්ම මෙම සම්මේලනය නැවත තහවුරු කරයි: යුද්ධයට එරෙහි අරගලය “සමාජයේ මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතු අතර, ජනගහනයේ සියලු ප්‍රගතිශීලී කොටස් ඒ වටා එක්සත් කළ යුතුය”; අලුත් යුද විරෝධී ව්‍යාපාරය “ධනපති විරෝධී සහ සමාජවාදී විය යුතුය”, “ධනපති පන්තියේ සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් සම්පූර්ණයෙන්ම සහ අනිවාර්යයෙන්ම ස්වාධීන විය යුතු අතර ඒවාට සතුරු විය යුතුය”, එමෙන්ම, “සියල්ලටම වඩා, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයකදී කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගන්වන ආකාරයෙන් ජාත්‍යන්තර විය යුතුය.”
- එහි මූලයන් දෙස බලන කල, අධිරාජ්‍යවාදී යුද්ධය යනු ධනපති ක්‍රමයේම පවතින අත්‍යවශ්‍ය විෂයබද්ධ පරස්පරතා දෙකෙහි ප්‍රතිඵලය සහ ප්‍රකාශනයයි: පළමුවැන්න, නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික අයිතිය සහ නිෂ්පාදනයේ සාමාජීය ස්වභාවය අතර පවතින පරස්පරතාවයයි; දෙවැන්න, ආර්ථික නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සහ දේශපාලන බලය හා ප්‍රාග්ධනය ඒකරාශී වීම තචමත් සංවිධානය වන ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින පරස්පරතාවයයි. අධිරාජ්‍යවාදී යුද්ධයේ පුපුරා යාම සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුපුරා යාම එකම අර්බුදයක නිෂ්පාදනයන් වන අතර, දැනට පවතින යුද්ධය විප්ලවවාදී පිපිරීම් සූදානම් කරමින් සිටී.
- සමාජවාදී සමානතා පක්ෂය (SEP) අධිරාජ්‍යවාදී ආක්‍රමණයේ සෑම ක්‍රියාවකටම විරුද්ධ වන අතර, එය පවතින රාජ්‍යයන්ගෙන් ස්වාධීනව සහ ඒවාට එරෙහිව සිදු කරයි. අධිරාජ්‍යවාදී ප්‍රහාරයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉරාන ජනතාවට සහ ආක්‍රමණයේ අනෙකුත් ඉලක්කයන්ට ඇති අයිතිය එය ආරක්ෂා කරයි. රුසියාව සහ චීනය අධිරාජ්‍යවාදී බලවතුන් ලෙස හැඳින්වීම එය ප්‍රතික්ෂේප කරයි—එය එක්සත් ජනපද යුද සැලසුම්වල ප්‍රධාන ඉලක්කයන් හරහා විදේශ ප්‍රතිපත්ති අරමුණු සුජාත කිරීම සඳහා ව්‍යාජ-වාම දේශපාලන ප්‍රවණතා විසින් භාවිතා කරන නාමකරණයකි. නමුත් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රතිපත්තිගරුක ස්ථාවරයන්, ඒවාට ප්‍රගතිශීලී ස්වරූපයක් ආරෝපණය කිරීමක් තියා මොස්කව් සහ බීජිං රෙජීමයන්ට සහාය දැක්වීමක් වත් සමඟ කිසිදු පොදු බවක් නැත.
- පුටින් රෙජීමය යනු ස්ටාලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ රාජ්‍ය දේපළ කොල්ලකෑම තුළින් නැගී ආ ධනපති කතිපයාධිකාරයේ දේශපාලන මෙවලමයි—එම නිලධාරී තන්ත්‍රය යනු 2026 මැයි දින ආරම්භක වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, “ඔක්තෝබර් විප්ලවයේ මිනීවළ හාරන්නන් ලෙස ආරම්භ වී, අද වන විට පුටින් විසින් මෙහෙයවනු ලබන නව රුසියානු කතිපයාධිකාරයේ වඩාත්ම දූෂිත සහ කෑදර කල්ලිය ලෙස කෙළවර වූ” නිලධාරී තන්ත්‍රයයි. එය මිලිටරිමය උග්‍ර කිරීම්, අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ එකඟතාවලට පැමිණීමේ ආයාචනා සමඟ ඒකාබද්ධ කරන අතර, එහි මහා රුසියානු ජාතිකවාදය (Great Russian nationalism) විසින් රුසියානු කම්කරු පන්තිය යුක්‍රේන කම්කරු පන්තියෙන් වෙන් කරනු ලබයි. බීජිං රෙජීමය ඔවුන්ගේ පැත්තෙන්, “සමාජවාදය” නාමයෙන් ධනවාදය නැවත පිහිටුවීම සහ ලෝකයේ විශාලතම කම්කරු පන්තිය සූරාකෑම සම්බන්ධයෙන් මුලසුන හොබවන අතර, එය අධිරාජ්‍යවාදයට බිය වනවාට වඩා බෙහෙවින් වැඩි ලෙස සිය කම්කරු පන්තියට බිය වේ.
- සමාජවාදී සමානතා පක්ෂය, ශාස්ත්‍රාලික සහ ව්‍යාජ-වම්මුන්ගේ න්‍යායධරයන් විසින් ඉදිරිපත් කරනු ලබන “බහු-ධ්‍රැවීයතා” (“multipolarity”) න්‍යාය ද එක ලෙසම ප්‍රතික්ෂේප කරයි. එම න්‍යායට අනුව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ඒක-ධ්‍රැවීය” (“unipolar”) අධිපත්‍යය, ගෝලීය සම්පත් වඩාත් සාමකාමී ලෙස බෙදා ගැනීම සදහා සුසංයෝගීව මුලසුන හොබවන ධනපති රාජ්‍යයන්ගේ සාමූහිකයක් මගින් ආදේශ කළ හැකිය. ගෝලීය ආර්ථිකය සහ ධනපති ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින පරස්පර විරෝධය ඒල්ල වන්නේ සාකච්ඡා මාර්ගයෙන් ඇති කරගන්නා සමතුලිතතාවයකට නොව, යුද්ධයටයි. “බහු-ධ්‍රැවීයතා” න්‍යායේ පදනම වන්නේ, ධනපති රාජ්‍යයන්ට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වෙනුවට, එකිනෙකා හා ගැටෙන ධනපති රාජ්‍යයන් අතර තුලනය කිරීමට දරන උත්සාහය සහ ධනවාදයට එරෙහි අරගලයට දක්වන විරෝධයයි.
- එබැවින් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ජාත්‍යන්තර සහ පන්ති මූලෝපායක් සමග බද්ධ විය යුතුය. ට්‍රොට්ස්කි යුද්ධය සහ හතරවන ජාත්‍යන්තරය (War and the Fourth International) කෘතියේ ලියූ පරිදි, අප “ගමන් කරන්නේ යුද සිතියම ඔස්සේ නොව පන්ති අරගලයේ සිතියම ඔස්සේය.” මෙම පදනමේ සිට බලන කල, යුද්ධයේ වැදගත්ම ප්‍රතිඵලය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ සෑම අධිරාජ්‍යවාදී රටක් තුළම සමාජ ආතතීන් දැඩි වීමයි. පක්ෂය 2003 දී පූර්ව අපේක්ෂා කළ පරිදි, යුද්ධය විසින් ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර පරස්පර විරෝධයන් තීව්‍ර කරමින් පවතින අතර—යුද්ධය නැවැත්වීමට සමත් බලවේගය මතුවෙමින් පවතින්නේ ද මෙම පරස්පර විරෝධයන් තුළිනි.
- අධිරාජ්‍යවාදී යුද්ධය යනු එකම විට කම්කරු පන්තියට එරෙහි යුද්ධයකි. ලෝක යුද්ධයකට අවශ්‍ය කරන සම්පත්, ජනගහනය සැබවින්ම වහල්භාවයට පත් කිරීමකින් තොරව සමාජයෙන් සූරා ගත නොහැක: එනම් සමාජ සුභසාධන වැඩසටහන් විනාශ කිරීම, වේතන පහත හෙලීම, ශ්‍රමය හමුදාකරණය කිරීම සහ මෙම පියවරයන් මගින් උසිගන්වනු ලබන විරෝධතාවන් මර්දනය කිරීම සඳහා ආඥාදායකත්වයක් පිහිටුවීමයි. යුද්ධය යනු කතිපයාධිකාරයේ විදේශ ප්‍රතිපත්තිය වන අතර, කතිපයාධිකාරය ඊට වන්දි ගෙවීමට සලස්වන්නේ කම්කරු පන්තිය ලවාය—එනම් පහත වැටෙන ජීවන තත්වයන්ගෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමෙන් සහ රුධිරයෙනි. ආඥාදායකත්වයට එරෙහි සටන සහ යුද්ධයට එරෙහි සටන යනු එකම සතුරෙකුට එරෙහිව කෙරෙන එකම සටනකි.
- සමාජවාදී සමතා පක්ෂය, ධනපති ක්‍රමයට එරෙහි අරගලයෙන් වෙන් වූවක් සහ වෙනස් වූවක් ලෙස “යුද විරෝධී ප්‍රතිපත්තියක්” ඉදිරිපත් කරන්නේ නැත. එහි මූලෝපාය, අධිරාජ්‍යවාදී ආණ්ඩුවල හෘද සාක්ෂියට ආයාචනා කරන විරෝධතා ව්‍යාපාර සමග හෝ කම්කරු පන්තිය ධනපති පංතියේ එක් හෝ තවත් කල්ලියකට යටත් කරන මහජන පෙරමුණු (popular fronts) සමග හෝ කිසිදු පොදු බවක් නැත. යුද්ධයට එරෙහි සටන යනු කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා කෙරෙන සටනකි. එය, කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පක්ෂය ගෙන යන අරගලයේ වඩාත්ම සාන්ද්‍රගත ප්‍රකාශනයයි.
- අධිරාජ්‍යවාදී පද්ධතිය තුළ සාකච්ඡා කර ලබාගත හැකි සාමයක් නොමැත, එමෙන්ම යුද්ධයට එරෙහිව ආයාචනයක් යොමු කළ හැකි පාලක පන්තියේ කිසිදු කල්ලියක්—ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන්, යුරෝපීය හෝ ඇමරිකානු—නැත. යුද්ධය අවසන් කරනු ලබන්නේ අධිරාජ්‍යවාදයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් නොව, එය නැවැත්වීමේ බලය සහ වෛෂය්යික උනන්දුව සහිත එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය විසිනි.
- ඉරානයට එරෙහි සියලුම ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් වහාම සහ කොන්දේසි විරහිතව අත්හිටුවන ලෙසත්, නාවික අවහිරය ඉවත් කරන ලෙසත්; ගාසා හි ජන සංහාරය නැවැත්වීමටත්; මැද පෙරදිගින් සහ ලතින් ඇමරිකාවෙන් සියලුම ඇමරිකානු හමුදා ඉවත් කර ගන්නා ලෙස හා නිකොලස් මදුරෝ (Nicolás Maduro) නිදහස් කරන ලෙසත්; කියුබාවට එරෙහි සම්බාධක අවසන් කරන ලෙසත්; රුසියාවට එරෙහි යුද්ධය අවසන් කරන ලෙසත් සහ චීනයට එරෙහිව ගොඩනගමින් පවතින ලෝක යුද යන්ත්‍රණය විසුරුවා හරින ලෙසත් SEP බලකර සිටියි. අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට, තෝරාගත් සේවාව (Selective Service) සඳහා ස්වයංක්‍රීය ලියාපදිංචිය ස්ථාපිත කිරීමට, සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධයන්හිදී මරා දැමීමට සහ මිය යාමට ඇමරිකානු තරුණයින් බලහත්කාරයෙන් යෙදවීමට දරන සියලු උත්සාහයන්ට එය විරුද්ධ වෙයි.
- සමාජවාදී සමානතා පක්ෂය, යුක්‍රේනයේ බොග්ඩන් සිරොටියුක් (Bogdan Syrotiuk) වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස කෙරෙන ඉල්ලීම ද නැවත අලුත් කරයි. 2024 අප්‍රේල් මාසයේදී යුක්‍රේන රහස් ඔත්තු සේවය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඔහු, ඔහුගේ සමාජවාදී සහ යුද විරෝධී ක්‍රියාකාරකම් වෙනුවෙන් වසර පහළොවේ සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි “දේශද්‍රෝහී” චෝදනාවලට මුහුණ දෙයි. ප්‍රමුඛ යුක්‍රේන අපරාධ විද්‍යාඥයෙකුගේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් මගින් මෙම නඩුව දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හෙළිදරව් කිරීමෙන් පසුව පවා සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය ඔහුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඔහුව මර්දනය කිරීම මගින් පාලන තන්ත්‍රයේ සැබෑ ස්වභාවය හෙළිදරව් කරයි: එනම් අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රකාශ කරන පරිදි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු නොව, යුද්ධයට එරෙහි සියලුම සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී විරුද්ධවාදිකම් තහනම් කරන පොලිස් රාජ්‍යයක් බවයි.
- දැනට පවතින ආණ්ඩුවලට කරනු ලබන ආයාචනාවලින් මෙම ඉල්ලීම් කිසිවක් ඉටු කරගත නොහැක. ඒවා අරගලයේ වැඩපිළිවෙළ තුළ අන්තර්ගත වන ඒවා වන අතර, ඒ වෙනුවෙන් කෙරෙන සටන කම්කරු පන්තිය ධනපති රාජ්‍යය සමග සෘජු ගැටුමකට මෙහෙයවා, බලය පිළිබඳ ප්‍රශ්නය මතු කරයි.
- අධිරාජ්‍යවාදයට එරෙහිව සියලු රටවල කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් කිරීමටත්; යුද්ධයට එරෙහි සටන ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වන වර්ජන ව්‍යාපාරය සහ එහි දේශපාලන ස්වාධීනත්වය සඳහා වන සටන සමග සම්බන්ධ කිරීමටත්; ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිළිවෙළ මත කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීමටත් මෙම සම්මේලනය තීන්දු කරයි. සියවසකටත් වඩා වැඩි කාලයකට පෙර, පළමු ලෝක යුද්ධයේ මිනිස් ඝාතන මධ්‍යයේ, රෝසා ලක්සම්බර්ග් (Rosa Luxemburg) අනතුරු ඇඟවූයේ මානව වර්ගයා විකල්පයකට මුහුණ දී සිටින බවයි: එනම් සමාජවාදයද නැතහොත් ම්ලේච්ඡත්වයද යන්නයි. ම්ලේච්ඡත්වය තවදුරටත් අනතුරු ඇඟවීමක් නොව වර්තමාන යථාර්ථයකි. එය මානව සංස්කෘතිය ගිල ගන්නේද, නැතහොත් ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් පෙරළා දමනු ලබන්නේද යන්න තීරණය වන්නේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම මගිනි. එබැවින් මෙම සම්මේලනය, අන් සියල්ලටමත් වඩා, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට තීන්දු කරයි—එනම් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ලෝක සමාජවාදී විප්ලවය බවට පත්කරවන පක්ෂයයි.
[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

මෙම ලිපිය පිළිබඳ ප්‍රශ්න තිබේද? Socialism AI වෙතින් අසන්න:
What is the history of US wars in the Middle East since the first Gulf War in 1990-91 and how do they connect to the current war against Iran?
1990-91 පළමු ගල්ෆ් යුද්ධයේ සිට මැද පෙරදිග ඇමරිකා එක්සත් ජනපද යුද්ධවල ඉතිහාසය කුමක්ද සහ ඒවා ඉරානයට එරෙහි වර්තමාන යුද්ධයට සම්බන්ධ වන්නේ කෙසේද?
How did the theory of ‘multipolarity’ develop among pseudo-left tendencies, and which organizations promote it today?
ව්‍යාජ-වම්මුන්ගේ (pseudo-left) ප්‍රවණතා අතර ‘බහු-ධ්‍රැවීයතා’ (‘multipolarity’) සද්ධාන්තය වර්ධනය වූයේ කෙසේද, සහ අද එය ප්‍රවර්ධනය කරන්නේ කුමන සංවිධානද?
Can you explain how the US trade deficit and $40 trillion national debt relate to the dollar’s role as world reserve currency, and why that system is now in crisis?
ඇමරිකා එක්සත් ජනපද වෙළඳ හිඟය සහ ඩොලර් ට්‍රිලියන 40 ක ජාතික ණය, ලෝක සංචිත විදේශ විනිමය (world reserve currency) ලෙස ඩොලරයේ කාර්යභාරයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සහ එම පද්ධතිය දැන් අර්බුදයක පවතින්නේ මන්දැයි පැහැදිලි කළ හැකිද?
තවත් ප්‍රශ්න SocialismAI.com හිදී අසන්න.
