‘කොමියුනිස්ට්’ විරෝධී ඉන්දුනීසියානු මහා ජන සංහාරයෙන් 60 වසරක් – 2  කොටස

මිගාර මල්වත්ත විසිනි.

East India Islands
මැලේසියාව, මෙලනීසියාව, නැගෙනහිර ඉන්දියානු දූපත්, පැපුවා නිව් ගිනියාව–එන්සයික්ලොපීඩියා බ්‍රිටනිකා, 10 වන සංස්කරණය, 1902

ජපන් ආක්‍රමණය සමග ලන්දේසි පාලනය බිද වැටෙයි

1914 පළමු ලෝක යුද්ධය පුපුරා යාම මගින් සනිටුහන් වූයේ, සමාජ ආර්ථික ක්‍රමයක් ලෙස ධනපති ක්‍රමයටත්, එය මෙහෙය වන ධනපති පන්තියටත්, තවදුරටත් ප්‍රගතිශීලී ඓතිහාසික කාර්යභාරයක් ඉතිරිව නොමැති බවයි. එහෙයින්, වැඩි දියුණු ධනපති අධිරාජ්‍යවාදී රටවල නිෂ්පාදිතයක් වූ විජිත, අර්ධ විජිත රටවල ධනපති පන්තීන්ට සිය උපතෙන්ම හිමි වූ බෙලහීන බව ජය ගනිමින් සිය පැවැත්ම තහවුරු කර ගැනීම සදහා, ඒ හෝ මේ අධිරාජ්‍ය බලයක පිහිට පැතීම අනිවාර්ය වූ අතර, ඔවුන්ට තම රටවල දී ක්‍රියා කිරීමට සිදු වූයේ, කම්කරු පීඩිත මහජනතාවගේ විමුක්තිදායකයන් ලෙස නොව අධිරාජ්‍යවාදයේම දේශීය කොම්ප්‍රොදෝරු ධනපති පන්තියක් ලෙසිනි. එහෙයින්, මෙම ඊනියා “නිදහස්” රාජ්‍යයන් පාලනය කිරීමේ අධිරාජ්‍යවාදයේ නව නියෝජිතයන් පිරිසක් හැටියට මෙම දේශීය ධනේශ්වරය ඉස්මතු විය. මෙසේ, පශ්චාත් දෙවන ලෝක යුද සමයෙහි පිහිටුවනු ලැබූ ඊනියා “නිදහස්” ජාතික රාජ්‍යයන්ට අධිරාජ්‍යවාදයෙන් මිදී සැබෑ ජාතික විමුක්තියක් අත්කර දීමට නොහැකි වන ලෙස, ඒවා දේශීය කොම්ප්‍රොදෝරු ධනපති පන්තිය මගින් අධිරාජ්‍යවාදයට බැද දමා තිබුණි.

ජාතික ධනේශ්වරය, ලන්දේසී අධිරාජ්‍යවාදය සමඟ මෙන්ම ජපන් අධිරාජ්‍යවාදය සමග ද ප්‍රතිගාමී ගනුදෙනු මාලාවකට එළඹුණු ඉන්දුනීසියානු ඉතිහාසය තුළ මෙම සත්‍යය පැහැදිලිවම දැකිය හැකිය.

1942 මුල් භාගයේදී ජපනුන් ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් ප්‍රදේශ අල්ලා ගැනීමත් සමඟ වසර 300 ක ලන්දේසි යටත් විජිත පරිපාලනය එක්වරම අවසන්වූ බව සඳහන් කළෙමු. මිලිටරිමය වශයෙන්, ජපානය ලන්දේසි අධිරාජ්‍ය උපකරණ බිඳ දැමූ අතර බොහෝ යටත් විජිත ආයතන විසුරුවා හැරියේය; දේශපාලනිකව සහ සමාජීය වශයෙන්, ජපන් අත්පත් කර ගැනීම මගින් මර්දනය සහ නව අවස්ථාවන් විවෘත කිරීම් යන දෙකම ඇති කළේය. ජපන් පාලනය ලන්දේසි සිවිල් පරිපාලනයේ සමහර අංග අහෝසි කළේය; සුකර්නෝගේ අනුග්‍රහය සහිතව බලහත්කාරයෙන් බඳවා ගත් ශ්‍රමය බලමුලු ගැන්වූහ; ඔවුන්ගේ යුද ප්‍රයත්නය සඳහා සහල් සහ අනෙකුත් සම්පත් ඉල්ලා සිටියහ; ඉන්දුනීසියානු සමාජ ක්‍රියාකාරීන් සහයෝගයෙන් තෝරාගෙන රැඩිකල්කරණය කළ දේශීය ව්‍යුහයන් (උදා: ජපන් පාලිත “සහායක” සංවිධාන) නිර්මාණය කළහ. මෙම පියවරයන් මහ ජනයාට පුළුල් දුෂ්කරතා ඇති කළේය. ජාවාහි සමහර කොටස්වල සාගතය සහ අනෙකුත් ප්‍රදේශවල බලහත්කාර ශ්‍රමය (රොමුෂා) ඇති කරන ලදී. එම නිසා ජපන් වාඩිලා ගැනීම ලන්දේසි අධිකාරියට වල කපන අතරතුර පවා ජපන් විරෝධී සමාජ අතෘප්තිය ජනනය කළේය.

ජපානයේ මෙම වාඩිලෑමේ ප්‍රචණ්ඩත්වය සහ ආර්ථික පැහැරගැනීම් මගින් පන්ති ප්‍රතිවිරෝධතා තියුණු කළේය: මෙලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගොවි කැරලි සහ කම්කරු නොසන්සුන්තාව තීව්‍ර විය. අනෙක් අතට, ජපානය උපායමාර්ගික හේතූන් මත ඉන්දුනීසියානු දේශපාලන ජීවිතයේ සමහර අංග සකස් කළේය: ඒ, පැරාමිලිටරි සංයුතීන් (PETA වැනි) පුහුණු කිරීම, ජාතිකවාදී ප්‍රචාරක ආයතනවල වර්ධනයට ඉඩ දීම සහ ජාතිකවාදී නායකයින්ට සීමිත පරිපාලන භූමිකාවන් ලබා දීම ආදියයි. මෙම උපායශීලී ක්‍රියාමාර්ග මගින් අනික් අතට මහජන දේශපාලනීකරණයක් ඇති විය: බුද්ධිමතුන්, තරුණ ජාල සහ නව මහජන සංවිධාන පසුව විප්ලවවාදී කාල පරිච්ඡේදයේ මූලික බලවේග බවට පත්විය. මේ අනුව, වාඩිලෑම යටත් විජිත විරෝධී අරගලයේ සමාජ පදනම ප්‍රතිව්‍යුහගත කළේය: දේශපාලනීකරණය වූ ජාතිකවාදී සුළු ධනේශ්වර නායකත්වයක් අරගලයේ මෑත කාලීන යුද අත්දැකීම් සහිත සන්නද්ධ හිටපු හමුදා නිලධාරීන් සහ නාගරික සේවකයින්ගේ වර්ධනය වන කණ්ඩායමක් සමඟ පෙළ ගැසී සිටියේය.

ජාතික ධනේශ්වරය අධිරාජ්‍යවාදීන් සමඟ කේවල් කරයි 

දෙවන ලෝක යුද්ධ සමයේදී සුකර්නෝ සහ ජාතික ධනේශ්වරය ජාතික ස්වයං පාලනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වාඩිලාගෙන සිටි ජපන් හමුදා සමඟ වැඩ කළහ. 1945 අගෝස්තු මාසයේදී ජපානයේ හදිසි යටත් වීම, මෙම දූපත් සමූහය පුරා දේශපාලන රික්තයක් නිර්මාණය කළේය. ජාතිකවාදී නායකයින් වන සුකර්නෝ සහ මොහොමඩ් හට්ටා එම රික්තය පිරවීමට ඉක්මනින් පියවර ගත්හ: 1945 අගෝස්තු 17 වන දින ඔවුහු ඒකපාර්ශිකව ඉන්දුනීසියානු ජනරජය (Republic of Indonesia) ප්‍රකාශයට පත් කළහ. 

එහෙත් 1945 අවසානයේ හා 1946 මුල් වකවානුව තුළ නැවත වරක් යුද්ධයෙන් හෙම්බත්ව සිටි ලන්දේසීන්, මිත්‍ර හමුදාවල සහායද සහිතව, තම පැරණි යටත්විජිතය අල්ලා ගැනීමේ මිලිටරි  ආක්‍රමණය සිදු කළ අතර, ඉන් පසු වසර හතරක කාලය ජාතික නිදහස් ව්‍යාපාරයට එරෙහිව ලේවැකි යුද්ධයක් දියත් කළේය. 1945 සහ 1949 අතර කාලය තුළ, සුකර්නෝ ඇතුලු ජාතික ධනේශ්වරය ලන්දේසීන් සමග සමතයක් සඳහා කේවල් කරන අතර, ඉන්දුනීසියානු සමාජය දැවැන්ත සමාජ බලමුලු ගැන්වීමක් අත් දුටුවේය. නාගරික මධ්‍යස්ථානවල කම්කරුවන් ජීවන තත්වයන් සඳහා වැඩ වර්ජනය කළහ; ගොවීන් සමහර ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගත් අතර, යටත් විජිත හමුදා ඉවත් වූ විට හෝ දුර්වල වූ පසු බොහෝ මිලීෂියා භටයන්–සමහරක් සංවිධානාත්මක හා බොහෝ ඒවා ස්වයංසිද්ධව–නගර සහ ගම්බද ප්‍රදේශ පාලනය කළහ. හිටපු ජපන්-පුහුණු ඒකක සහ තරුණ කණ්ඩායම් සන්නද්ධ ප්‍රතිරෝධයේ හරය සැපයීය; හිටපු PETA නායකයින් සහ ජනරජ මිලීෂියා භටයන් බොහෝ විට මධ්‍යම ජනරජ ආණ්ඩුවෙන් ස්වාධීනව ක්‍රියාකාරී විය.

ජාතික ධනේශ්වර නායකයින්ගේ ඉදිරිදර්ශනය වූයේ අධිරාජ්‍යවාදයට එරෙහිව නිර්ධන පන්ති නැගිටීමකට නායකත්වය දීම නොව, තම පරිපාලනයක් ස්ථාපිත කිරීම සහ ලන්දේසීන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ඔවුන්ගේ අත ශක්තිමත් කර ගැනීමයි. ඊට ලන්දේසි අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය වූයේ නව ඉන්දුනීසියානු තන්ත්‍රය මර්දනය කිරීම සඳහා කුරිරු යුද්ධයක් දියත් කිරීමයි.

ලින්ගඩ්ජාටි හා රෙන්විල් ගිවිසුම් හෙවත් සුකර්නෝ, ලන්දේසි හා එක්සත් ජනපද සම්මුතිය 

ලන්දේසි හමුදාවන්ට එරෙහිව ඉන්දුනීසියාව පුරා සන්නද්ධ විරෝධයක් පුපුරා ගිය විට, PKI නායකත්වයේ සහාය ඇතිව සුකර්නෝ, ලන්දේසීන් සමඟ සම්මුති ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර 1947 මාර්තු මාසයේදී ලින්ගඩ්ජාටි ගිවිසුම (Linggadjati Agreement) අත්සන් කළේය. මෙම ගිවිසුම මගින් ෆෙඩරල් ව්‍යුහයක් නිර්මාණය කරන ලද අතර එහිදී ඉන්දුනීසියානු ජනරජය ඉන්දුනීසියානු ෆෙඩරල් එක්සත් ජනපදයේ සංඝටක රාජ්‍ය තුනෙන් එකක් බවට පත් විය. අනෙක් රාජ්‍ය දෙක වූයේ බෝර්නියෝ ප්‍රාන්තය (බටහිර බෝර්නියෝ/කලිමන්තන්)  සහ නැගෙනහිර ඉන්දුනීසියානු ප්‍රාන්තය (1946 දෙසැම්බර් මස පිහිටුවන ලද සුලවෙසි, මලුකු සහ සුන්ඩා දූපත් සහිත Great Eastern State) යන ඒවාය.  ලන්දේසීන් ජාවා, මදුර සහ සුමාත්‍රා මත ඉන්දුනීසියානු ජනරජ පාලනය නාමිකව පිළිගත් අතර ඔවුන්ගේ හමුදා ඉවත් කර ගැනීමට එකඟ විය. සැබැවින්ම, ලන්දේසීන් මෙය තම හමුදා ගොඩනඟා ගැනීමට සහ 1947 ජූලි මස  දියත් කළ (පළමු පොලිස් ක්‍රියාමාර්ගය–police action–ලෙස හැඳින්වූ) අසමසම ම්ලේච්ඡත්වයේ නව ප්‍රහාරයකට සූදානම් වීමට හුස්ම ගැනීමේ ඉඩක් ලෙස භාවිතා කළහ. ගිවිසුම අනුව ලන්දේසි රැජින රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම හා නෙදර්ලන්ත-ඉන්දුනීසියානු සංගමයක් පිහිටුවීම සඳහා රජයන් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු විය. ලින්ගඩ්ජාටි ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ලන්දේසීන් ෆෙඩරල් ව්‍යුහයක් තුළ තමන්ගේ රූකඩ තන්ත්‍ර දෙක–බෝර්නියෝ රාජ්‍යය සහ නැගෙනහිර ඉන්දුනීසියානු රාජ්‍යය–ජනරජයට සමාන පාලන බලයක් ලබන පරිදි පිහිටුවා ගැනීමට කටයුතු කළහ. ඒ, බෙදා දුර්වල කොට පාලනය කිරීමේ උපායේ කොටසක් ලෙසය. ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලන්දේසීන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ පොලිස් බලකායක් පිහිටුවීම ඇතුළු යෝජනා ඉන්දුනීසියානු ජනරජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 1947 ජූලි මස 20 දින ලන්දේසීන් විසින් ලින්ගඩ්ජාටි ගිවිසුම අවලංගු කර ඉන්දුනීසියානු ජනරජය පෙරළා දැමීම සඳහා යුද මෙහෙයුමක් (පළමු පොලිස් ක්‍රියාමාර්ගය) දියත් කරන ලදී.

මෙම කාල පරිච්ඡේදය තුළ, චීනයේ මාවෝවාදීන් විසින් චීනයේ චියැං කායි ශෙයික් පාලනයට එරෙහිව ගෙන ගිය සාර්ථක යුද්ධය නිසා කලාපය තුළ මාවෝවාදයේ අනුහස වැඩිවිය. චීන කොමියුනිස්ට් පක්ෂය ද, PKI මෙන් නිර්ධන පාන්තික පක්ෂයක් ලෙස හැදින්වූ බැවින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙම “සාර්ථකත්වයෙන්” ආශ්වාදය ලැබූ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් හා ගොවීන් PKI වටා රැලි විය. මුලින් ලන්දේසි අධිරාජ්‍යයේ ද, දෙවනුව ජපන් අධිරාජ්‍යවාදයේ ද දැඩි මර්ධනකාරී පාලනයෙන් හෙම්බත් වීම, එමෙන්ම දේශීය ධනේශ්වර පාලක පන්තිය කෙරෙහි වූ  ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවගේ විශ්වාසය බිද වැටීම මෙලෙස කම්කරු පීඩිත මහජනතාව PKI වටා රැලි වීමට හේතුවිය. ලන්දේසීන්ට එරෙහි යුද්ධයේදී, කම්කරුවන් සහ ගොවීන් නැවත නැවතත් දේපළ අත්පත් කරගනිමින් මහා වෘත්තීය සමිති පිහිටුවන ලදී.

PKI හි මෙම විශාල වර්ධනයෙන් තැති ගත් බෙලහීන කොම්ප්‍රොදෝරු ධනපති පන්තියක් වූ ඉන්දුනීසියානු දේශීය ධනපති පාලක පන්තිය ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව දැන් අධිරාජ්‍යවාදය සමග පෙළ ගැසුණි. මෙම වර්ධනයන් අභියෝග වීමෙන් අමීර් ස්ජාරිෆුදින් අගමැති ලෙස කටයුතු කරන ලද, සුකර්නෝගේ  රිපබ්ලිකන් (ජනරජ) ආණ්ඩුව 1948 ජනවාරි මාස 09 දින රෙන්විල් ගිවිසුම (Renville Agreement) අත්සන් කළේය. මෙම  ගිවිසුම නෙදර්ලන්තය සහ ඉන්දුනීසියානු ජනරජය අතර එක්සත් ජාතීන්ගේ යහපත් කාර්යාල කමිටුව (Good Offices Committee ) විසින් මැදිහත් වීමෙන් ඇති කළ එකකි. යහපත් කාර්යාල කමිටුව ජාතීන් තුනකින් සමන්විත විය. ඉන්දුනීසියාව එහි නියෝජිතයා ලෙස ඕස්ට්‍රේලියාව ද, නෙදර්ලන්තය බෙල්ජියම ද නම් කළ අතර දෙපාර්ෂවයම තුන්වන “අපක්ෂපාතී සාමාජිකයා” සඳහා ඇමරිකා එක්සත් ජනපදය එක් කර ගැනුණි.

Renville Agreement Negotiations
1947 දෙසැම්බර් 8 වන දින USS රෙන්විල් නෞකාව තුළ සාකඡ්චා පැවැත්වෙමින්. වීකිපීඩියා වෙතින්

එහෙයින් සැබැවින්ම මෙය, ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව අධිරාජ්‍යවාදය විසින් පටවන ලද ගිවිසුමක් වූ අතර,  එමගින්, ඉන්දුනීසියාවේ කර්මාන්ත හා සම්පත් වල අති මහත් වූ වැඩි කොටස  ලන්දේසීන්ට හිමිවිය. එපමණක් නොව මෙම ගිවිසුමෙහි “අපක්ෂපාතී සමාජිකයා” වූ එක්සත් ජනපදය ඉදිරිපත් කරන ලද එක් විසදුමක් වූයේ ලන්දේසින් අත්පත් කර ගත් භූමියේ වාඩි ලාගෙන සිටි PKI නායකත්වයෙන් යුත් “මහජන සන්නද්ධ ඒකක” විසිරුවා හැර, ඒ වෙනුවට සුකර්නෝ සහ ඔහුගේ ජෙනරාල්වරුන් විසින් පාලනය කරනු ලබන ධනේශ්වර “ඉන්දුනීසියානු ජාතික සන්නද්ධ හමුදා” ස්ථාපිත කිරීමයි. 

සුකර්නෝ රජය PKI මර්දනය දිගේලි කරයි

1926-27 කැරැල්ලෙන් පසු ලන්දේසීන් විසින් තහනම් කරන ලද PKI නැවත සක්‍රීය ප්‍රසිද්ධ ක්‍රියාකාරීත්වයට එළඹියේ 1945 ඔක්තෝම්බර් 21 එය නැවත නිළ වශයෙන් පිහිටුවීමෙනි. 1948 සැප්තැම්බර් මාසයේදී, නැගෙනහිර ජාවාහි මඩුයින් නගරයේදී PKI විසින් හට්ටා-සුකර්නෝ රජයට එරෙහිව කැරැල්ලක් ඇති කරන ලදී. මෙය “මඩුයින් කැරැල්ල” (Madiun Affair/1948 PKI Rebellion) ලෙස හැඳින්වේ. 1948 ජනවාරි මාසයේදී අගමැති ධුරයට පත් වූ මොහොමඩ් හට්ටාගේ රජය, කොමියුනිස්ට් පාලනය යටතේ පැවති ගරිල්ලා ඒකක විසුරුවා හැරීමට  සැලසුම් කළ අතර, PKI මෙයට විරුද්ධ වූයේ කොමියුනිස්ට් ජාතික ඉදිරිපෙළක් සඳහා ආයාචනා කරමිනි. එසේම PKI විසින් රෙන්විල් ගිවිසුමේ ලන්දේසීන්ට සපයන ලද සහන විවේචනය කරන ලදී. 1948 සැප්තැම්බර් 18 වන දින, මඩුයින් හි ප්‍රාදේශීය කොමියුනිස්ට් අණදෙන නිලධාරියෙකු විසින් බලය අල්ලා ගැනීමත් සමඟ කැරැල්ල ආරම්භ විය. PKI සහ එහි පෙරමුණු සංවිධානය වන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (FDR) විසින් මෙහෙයවන ලද වාමාංශික බලවේග එයට සම්බන්ධ විය. සුකර්නෝ-හට්ටා රජය දැඩි ක්‍රියාමාර්ග ගත් අතර, මාස තුනක් තුළ කැරැල්ල මර්දනය කරන ලදී. බොහෝ PKI නායකයින් ඝාතනය කරන ලද අතර අනෙක් අය සිරගත කෙරුණි.

Maduin
1948 සැප්තැම්බර් මාසයේදී මැඩියුන්හිදී ඉන්දුනීසියානු හමුදාව විසින් මාංචු දැමූ කොමියුනිස්ට්වාදීන් පිරිසක් රඳවා ගනු ලැබේ. Wikipedia Commons

රෙන්විල් සහ ලින්ගඩ්ජාටි ගිවිසුම් මගින් ඉන්දුනීසියානු භූමි ප්‍රදේශ තුළ විදේශිකයන්ට දේපළ තබා ගැනීමට සහ ආර්ථික යටිතල පහසුකම් පාලනය කිරීමට ඇති අයිතිය එලෙසම පිළිගත්තේය. රෙන්විල් ගිවිසුම මගින් ජාවා හි සීනි කම්හල්වලින් අඩක්, ඉන්දුනීසියාවේ රබර්වලින් සියයට 75 ක්, කෝපිවලින් සියයට 65 ක්, තේවලින් සියයට 95 ක් සහ සුමාත්‍රා තෙල් පාලනය කිරීමේ අයිතිය ලන්‍දේසීන්ට ලබා දෙන ලදී. 

ප්‍රතිගාමී රෙනෙවිල් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලද සුකර්නෝ-හට්ටා රජයට එරෙහිව වැඩ වර්ජන මාලාවක් PKI කැදවුම යටතේ පිපිරී ගිය අතර, ඒවා “ජාතික සමගිය” ආරක්ෂා කිරීමේ නාමයෙන් මර්දනය කරන ලදී. 

PKI ට එරෙහිව පියවර ලෙස සුකර්නෝ-හට්ටා රජය විසින් ලන්දේසීන්ට එරෙහි සටනේ පෙරමුණේ සිටි PKI/FDR පාක්ෂික හමුදා භට කණ්ඩායම් මර්දනය ආරම්භ කරන ලදී. මැඩියුන් නැගිටීමට ආසන්නයේදී, PKI/FDR ට පක්ෂපාතී කර්නල් සුතාර්ටෝ ඇතුළු තවත් හමුදා නිලධාරීන් පිරිසක් අභිරහස් ලෙස ඝාතනය වීමත්, තවත් PKI/FDR පාක්ෂික හමුදා නිලධාරීන් පිරිසක් අතුරුදහන් වීමත් සිදු විය.

මඩුයින් හි ලේ වැකි මර්දනය තුළ දී මුසෝ ප්‍රමුඛ PKI නායකයින් අවම වශයෙන් 11 ක් ඇතුළු විප්ලවවාදීන් 36,000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කෙරුණි.

ඊනියා නිදහස හෙවත් ජාතික විමුක්ති අරගලය පාවා දෙනු ලැබෙයි

රෙන්විල් ගිවිසුම යටතේ ලන්දේසි පාලන ප්‍රදේශ හා ජනරජ/රිපබ්ලිකන් පාලනයේ සීමා මායිම් නීර්ණය කරන ලද, වැන් මූක් රේඛාව (Van Mook Line) හරහා භෞමික පාලනය වෙන් කිරීම හුදෙක් මිලිටරිමය පමණක් නොව දැඩි ආර්ථිකමය කාරණාවක් ද විය. ලන්දේසි පාලනය යටතේ පැවති ප්‍රදේශවලට වරායන්, අපනයන සැකසුම් කලාප සහ වතු පිටි වෙත ප්‍රවේශය ඇතුළත් විය. රිපබ්ලිකන් පාලනය යටතේ පැවති ප්‍රදේශ හුදකලා විය. එම පෙදෙස ආර්ථික වශයෙන් සීමා කරන ලද අතර බාහිර වෙළඳපොළවල් හෝ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා සෘජු ප්‍රවේශයක් නොතිබුණි. 

මෙවැනි තත්ත්වයක් මත, 1948 අග භාගය වන විට, ලන්දේසි පාලනය හා රිපබ්ලිකන් පාලනය අතර ආතතීන් උත්සන්න විය. සාකච්ඡා බිඳ වැටීමෙන් සහ රෙන්විල් ගිවිසුමේ සටන් විරාමය බිඳවැටීමෙන් පසුව, ලන්දේසීන් ඉන්දුනීසියානු ජනරජය සහ එහි සන්නද්ධ හමුදා තීරණාත්මක ලෙස විනාශ කිරීමට ඉලක්ක කළහ. 1948 දෙසැම්බර් මාසයේදී ලන්දේසීන් නව හමුදා ප්‍රහාරයක් (ක්‍රායි මෙහෙයුම–Operation Kraai) දියත් කළ අතර, යෝග්‍යකර්තා හි දී සුකර්නෝ  ඇතුළු රිපබ්ලිකන් නායකයින් අල්ලා ගත්හ.

සාම්ප්‍රදායික යටත් විජිත ආකෘතිය (සෘජු භෞමික පාලනය) දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගී එන ලෝකය තුළ නව යටත් විජිත ආකෘති වලට මග පාදමින් තිබුණි. මිලිටරිමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් දුර්වල වූ යටත් විජිත බලවතුන්ට තවදුරටත් විශාල අධිරාජ්‍යයන් හරහා සෘජු පාලනය පවත්වා ගැනීමට නොහැකි විය. එහෙත්, බටහිර ප්‍රාග්ධනයට තවමත් පශ්චාත් යුද ආර්ථික ප්‍රතිසංස්කරණයට ඉන්ධන සැපයීම සඳහා අමුද්‍රව්‍ය, ශ්‍රමය සහ වෙළඳපොළවල් වෙත ප්‍රවේශය අවශ්‍ය විය. යුරෝපය තුළ, දෙවන ලෝක යුද්ධයට ගොදුරු වීමෙන් විනාශයට පත්ව බෙලහීනත්වයට පත් නෙදර්ලන්තය, තෙල්, රබර්, ටින් සහ උපායමාර්ගික සමුද්‍රීය ස්ථානගත කිරීමෙන් පොහොසත් තම පැරණි යටත් විජිතය නැවතත් අත්පත් කර ගැනීමේ උත්සාහය පිටුපස පැවතියේ මෙයයි.

1948 දෙසැම්බරයේ නව ලන්දේසි ප්‍රහාරයෙන් පසු සාකච්ඡා නැවත ආරම්භ නොකළහොත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් නෙදර්ලන්තයට මාෂල් සැලැස්ම (Marshall Plan, 1948-1951 යුරෝපය ගොඩනැගීමේ වැඩසටහන) යටතේ සපයන ආධාර අත්හිටුවන බවට තර්ජනය කළේය.  මෙසේ එක්සත් ජනපදයෙන් එල්ල වූ පීඩනය යටතේ මාස 06 ක් ඇතුලත ලන්දේසින්ට යටත් වීමට සිදු වූ අතර, 1949 නෙදර්ලන්තයේ හේග් හි පැවති ලන්දේසි-ඉන්දුනීසියානු වට මේස සමුළුවේදී (Round Table Conference) ඉන්දුනීසියානු ස්වෛරීභාවය (sovereignty) පිළිගත්තේය.

1949 අගෝස්තු 23 සිට නොවැම්බර් 2 දක්වා හේග් හි පැවති මෙම සමුළුවට නෙදර්ලන්තය, ඉන්දුනීසියානු ජනරජය සහ ලන්දේසි විසින් නිර්මාණය කරන ලද රිපබ්ලිකන් රජයට අයත් නොවන “ස්වාධීන රාජ්‍යයන්” නියෝජනය කරන ෆෙඩරල් උපදේශක සභාවෙන් නියෝජිතයින් සහභාගී විය. මෙම හේග් ගිවිසුමෙහි ප්‍රධාන ප්‍රතිඵලය වූයේ 1949 දෙසැම්බර් අග වන විට ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්වලින් වැඩි කොටසක් සමුළුවෙන් පසු අලුතින් පිහිටුවන ලද ඉන්දුනීසියානු එක්සත් ජනපදයට (United States of Indonesia) නීත්‍යානුකූලවම අයත් වීමයි. 1949 හේග් හි වට මේස සමුළුවේදී, ලන්දේසීන්ගේ එකල ගිල්ඩර් බිලියන 2 ක පමණ යටත්විජිත ණය කන්දරාව–1942ට පෙර ඉන්දුනීසියානු ජනතාවට එරෙහිව කළ යුද්ධවල වියදම– අත් හැරීමෙන් පසුව, ලන්දේසින් ඉල්ලා සිටි ඉතිරි ගිල්ඩර් බිලියන 4.5 ක ණය(එවකට ඇ.ඩොලර් බිලියන 1.18 ක්)—එනම්, ලන්දේසීන් ඉන්දුනීසියානු ජනතාවට එරෙහිව මහා ලේවැකි ‘පොලිස් ක්‍රියාමාර්ග’ යන නමින් සිදු කළ යටත් විජිත යුද්ධයේ වියදම පමණක්–ගෙවා දැමීමටත්, ලන්දේසි ආයෝජන ආරක්ෂා කිරීමටත් සුකර්නෝ රජය එකඟ විය. 2003 දී ගෙවා නිම කළ මෙම ණය ඉන්දුනීසියානු ආර්ථිකය ලන්දේසි මූල්‍ය අවශ්‍යතා සමඟ සඵල ලෙස හිර කර තැබූ දැවැන්ත මූල්‍යමය බරකි. 

1949 දී හේග්හි පැවති මෙම වට මේස සමුළුව දී, ඉන්දුනීසියානු ධනේශ්වරය, අධිරාජ්‍යවාදයේ සපත්තු අඩි ලෙවකමින්, තම ධනපති පාලනය ආරක්ෂා කරගැනීම සඳහා අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන්ට ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව පවා දුන්නේ මෙසේය.      

විශාල ලන්දේසි බැංකුවක් වන Nederlandsche Handel Maatschappij, 1950 ගණන් වල දී ඉන්දුනීසියානු මූල්‍ය පද්ධතිය ආධිපත්‍යය දැරූ ප්‍රධාන බැංකු තුනෙන් එකක් විය. අන්තර් දූපත් මුහුදු ගමනාගමනය ආධිපත්‍යය දැරූ ලන්දේසි සමාගමක් වන KPM, 1949 වට මේස සමුළුවේ ගිවිසුමෙන් පසුව අන්තර් දූපත් නාවික මාර්ග මත ඒකාධිකාර අයිතිවාසිකම් නැවත ලබා ගත්තේය. 1950 

ගණන්වල දී, රට තුළ ලන්දේසි පුද්ගලික ආයෝජන ගිල්ඩර් බිලියන 2.7-3.0 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 700-800 ක්) පමණ විය. 

1949 දී බටහිර පැපුවා නිව්ගිනියාවේ තත්ත්වය විසඳීමට අපොහොසත් වීම අඛණ්ඩ ගැටුම් වලට හේතු විය. ගිවිසුමට අනුව, ලන්දේසීන් බටහිර පැපුවා පාලනය තබා ගත යුතු අතර සුකර්නෝ තන්ත්‍රය ලන්දේසි අධිරාජ්‍යවාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිගටම කරගෙන යා යුතු විය.  එම භූමිය ඉන්දුනීසියාවට මාරු කිරීමට 1962 දක්වා වූ කලක් ගත විය.

ලන්දේසි ප්‍රදේශවල සිටි ගරිල්ලා බටයන් නැවත කැඳවීමත්, PKI නායකත්වයෙන් යුත් “මහජන සන්නද්ධ ඒකක” (people’s armed units) විසිරුවා හැර ඒවා “ජාතික සන්නද්ධ හමුදාවන්ට” (Indonesian National Armed Forces) ඇතුළත් කිරීමෙන් නව හමුදාවක් පිහිටුවීමටත් රෙන්විල් ගිවිසුම යටතේ වූ යෝජනාව හේග් ගිවිසුම මගින් ක්‍රියාත්මක කරන ලදී.

සුකර්නෝ රජය සියලු යටත් විජිත නීති නොවෙනස්ව තබා ගත්තේය. වෙනත් වචන වලින් කිවහොත්, පැරණි යටත් විජිත රාජ්‍ය උපකරණ සහ නීති, “ස්වෛරී” නව ජනරජයේ පාර්ලිමේන්තුව යටතේ සුරක්ෂිත කරන ලදී.

1955 දී පැවති මහා මැතිවරණයේදී PKI කැපී පෙනෙන මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගනිමින් සිව්වන ස්ථානයට පත් විය. ඒ, දශක දෙකක කාලයක් තුළ සිදු කරන ලද සන්නද්ධ කැරලි දෙකෙහිම (1926-27 සහ 1948) විනාශකාරී පරාජයන්ගෙන් PKI සාමාජිකත්වයට අතිමහත් හානි සිදුවූ පසුබිමකය. පක්ෂය ඡන්දවලින් සියයට 16.4ක් (ඡන්ද 6,176,914) ලබා ගනිමින් පාර්ලිමේන්තු ආසන 39ක් දිනා ගත්තේය. මෙම සාර්ථකත්වය සනාථ වූයේ කම්කරුවන් සහ ගොවීන් අතර PKI විසින් සිදු කරන ලද ඵලදායී භූමිමට්ටමේ සංවිධාන කටයුතු, දරිද්‍රතාවයට හා අධිරාජ්‍යවාදයට එරෙහි සීමිත ප්‍රතිපත්ති වැඩපිළිවෙල සහ ග්‍රාමීය ප්‍රදේශවල ඇති කර ගත් පුළුල් පදනම හේතුවෙනි. නැගෙනහිර ජාවාහි PKI විසින් ඡන්දවලින් සියයට 30ක් පමණ ප්‍රමාණයක් ලබා ගත්තේය. ඉන්පසු 1957 දී පැවති කලාපීය මැතිවරණවලදී (අඛණ්ඩව පැවති කලාපීය කැරලි හේතුවෙන් මැතිවරණ පවත්වන ලද්දේ ජාවා, දකුණු සුමාත්‍රා, රියාවු සහ පසුව 1958දී කලිමන්තාන්හි පමණි), 1955 දී ලැබූ ඡන්ද ප්‍රතිශතයට සාපේක්ෂව PKI හි ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු ලෙස වැඩි විය. මෙමගින් සලකුණු වූයේ ඉන්දුනීසියානු ධනපති පන්තිය කෙරෙහි ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවගේ විශ්වාසය ක්‍රමයෙන් බිඳ වැටීමයි.

1949 වට මේස සමුළුව සිදු වූයේ ස්ටැලින්වාදී සෝවියට් රුසියාවට එරෙහි නැගී එන සීතල යුද්ධයේ සහ අධිරාජ්‍යවාදී බල තුලනයේ වෙනස්වන පසුබිමක ය යන්න මේ වර්ධනයන් වටහා ගැනීමේ අක්ෂයෙහි පවතී. 

1949 වන විට, එක්සත් ජනපදය ප්‍රමුඛතම ධනවාදී අධිරාජ්‍යවාදී බලවතා බවට පත්ව සිටි අතර, සෝවියට් බලපෑම සීමා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගයන් සකස් කරමින් සිටියේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආසන්නතම වසරවලදී, එක්සත් ජනපද රජය යුරෝපීය සහචරයින් මත යටත් විජිත ගැටුම් සමථයකට පත් කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනයක් එල්ල කළේය. එහි පදනමේ වූයේ, ඍජු අධිරාජ්‍යවාදී මර්දනයන් මගින්  අධිරාජ්‍ය විරෝධී හැඟීම් අවුලුවා අලුතින් ස්වාධීනත්වය අපේක්ෂා කළ ජාතීන් කොමියුනිස්ට් කඳවුරට තල්ලු කිරීමට හේතු විය හැකි වූ බවට වූ ගණන් බැලීමකි.

වටමේස සමුළුව සම්භාව්‍ය යටත් විජිතවාදයේ සිට නව යටත් විජිතවාදය දක්වා සංක්‍රමණය වීමේ ආරම්භක ලක්ෂයක් සනිටුහන් කරයි: මතුපිටින් ස්වෛරීභාවය පිළිගනු ලැබූ නමුත්, මූල්‍ය, වෙළඳ සහ ආයතනික යාන්ත්‍රණයන් හරහා ආර්ථික ආධිපත්‍යය පවත්වා ගෙන යන ලදී. මෙය, අධිරාජ්‍යවාදයේ නව අවධියයි: එනම්, හිටපු යටත් විජිත බලවතුන් සහ ඔවුන්ගේ යටහත් දේශීය ධනපති ප්‍රභූන් විසින් ආධිපත්‍යය දරන ලෝක ධනවාදී පද්ධතියක් තුළ සීමා කරන ලද නව යටත් විජිත රාජ්‍ය පද්ධතිය ගොඩනැගීමයි.

ස්ටැලින්වාදී “අවධි දෙකේ විප්ලව න්‍යාය” හා මාවෝවාදයේ “ප්‍රගතිශීලී පන්ති හතර”

1920 ගනන් වල මැද භාගය පමණ විට, සෝවියට් නිර්ධන පන්තියෙන් දේශපාලන බලය පැහැර ගත් සෝවියට් සංගමය තුළ වරප්‍රසාදිත තට්ටුවක් පක්ෂ නායකත්වය ලෙස රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුලින් මතුවිය. “තනි රටක සමාජවාදය” සඳහා “අවධි දෙකේ විප්ලවයක්” යෝජනා කරන ලද මෙම කණ්ඩායම,  එවකට ලොව පුරා පැවති 3 වන ජාත්‍යන්තරයේ ශාඛා දෘෂ්ටිමය වශයෙන් විනාශ කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙසට, එහි ශාඛා වන කොමියුනිස්ට් පක්ෂ කම්කරු පන්තියේ ස්වාධීන අරගල මර්දනය කරමින් ප්‍රති-විප්ලවවාදී සංවිධාන බවට පරිවර්තනය විය.

යටත් විජිත රටවල PKI ඇතුළු ස්ටැලින්වාදී පක්ෂ, ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා යටත් විජිත බලවතුන් සමඟ ගිවිසුම්වලට එළඹීමට උත්සාහ කළ ඉන්දියාවේ ගාන්ධි සහ ඉන්දුනීසියාවේ සුකර්නෝ වැනි පුද්ගලයින්ගේ නායකත්වයෙන් යුත් ජාතික ධනේශ්වරයට ජනතාව ක්‍රමානුකූලව යටත් කළේය.

රුසියානු බොල්ෂෙවික් පක්ෂය විසින් 1917 ඔක්තෝබර් විප්ලවයේ දී, අතහැර දමන ලද පැරණි “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආඥාදායකත්වය” නම්, පන්ති දෙකක ආධිපත්‍යයක් ගැන කියැවෙන ප්‍රතිගාමී න්‍යාය ද, ස්ටැලින්වාදීන් විසින් සෑම විටම, පසුගාමී රටවල ධනපති පන්තිය සතුව ඇතැයි සැළකූ “ප්‍රගතිශීලී” බවද, පදනම් කර ගත් “අවධි දෙකේ විප්ලව න්‍යාය” හා මීට අමතරව, ස්ටැලින්වාදයේම ප්‍රභේදයක් වන මාඕවාදයේ “ප්‍රගතිශීලී පන්ති හතරේ” න්‍යාය මත පදනම් වෙමින් ගොඩනගන ලද ප්‍රතිගාමී න්‍යායක් මගින් ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව දේශපාලනිකව නිරායුධ කිරීම PKI නායකත්වය විසින් ආරම්භ කරන ලදී. තමන් ට්‍රොට්කිවාදී යැයි කියා ගත් නමුත් නොනවතින විප්ලව න්‍යාය අතහැර දමන ලද,1948 දී PKI වෙතින් බිඳී යාමක් මගින් ආරම්භ වූ පැබ්ලෝවෝවාදී පාර්ටයි අකෝමා (Partai Acoma) පක්ෂය ද මෙම මහා පවාදීම උදෙසා පෙළ ගැසුණි.

සිනෝ-සෝවියට් භේදයට පෙර, 1950 ගණන් වල මුල් භාගයේදී, රුසියාවේ ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය හා චීන මාඕවාදී නිලධාරී තන්ත්‍රය සමග PKI නායකත්වය යහමින් ගනුදෙනු කරමින් සිටි අවධියේ දී, PKI නායක ඒඩිට් (Aidit) ප්‍රකාශ කළේ කම්කරු පන්තිය, ගොවීන්, සුළු ධනේශ්වරය සහ ජාතික ධනේශ්වරය එක් ජාතික පෙරමුණක එක්සත් විය යුතු බවයි. එහෙයින්, මෙහිදී කම්කරු පන්තියට ස්වාධීන කාර්යභාරයක් නොවීය.

1917 ඔක්තෝබර් විප්ලවයට පෙර පසුගාමී රුසියාවෙහි මෙන් කම්කරු පන්තියට සාපේක්ෂව අතිමහත් ගොවි ජනතාවක් හා ගම්බද සුළු ධනේශ්වරයක් සිටි ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකානු කලාප තුළ, විජිත පාලකයන්ට එරෙහිව ග්‍රාමීය ගරිල්ලා ගොවි යුද්ධයක් යෝජනා කරන ලද මාඕවාදී අදහස් වලට සැලකිය යුතු ආනුභාවක් දිනා ගත හැකි විය. 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් පසු තුන්වන ජාත්‍යන්තරයේ ශාඛා ලෙස පිහිටුවන ලද, කොමියුනිස්ට් පක්ෂ සියල්ලක්ම පාහේ ස්ටැලින්වාදී නිලධාරීවාදය මත පදනම්ව “අවධි දෙකේ විප්ලව න්‍යාය” හා මාඕවාදී “පන්ති හතරේ සන්ධානය” යන න්‍යාය හා ගොවි ජන යුද්ධය කරපින්නා ගත්, ඒ අනුව සිය ක්‍රියා මාර්ගය සකස් කර ගත්, නමින් “කොමියුනිස්ට්” ලෙස නම් කරනු ලැබුවද, කම්කරු පන්තික බොල්ෂෙවික් සම්ප්‍රදායන්ගෙන් වියෝ වූ පක්ෂ විය. එහෙයින් මේවා සමාජවාදී විප්ලවය සදහා කම්කරු පන්තිය ඇතුළු පීඩිත මහජනතාව කම්කරු පන්තිය යටතේ සමාජවාදී වැඩපිළිවෙළකට බලමුලු ගැන්වීම නොව, අධිරාජ්‍යවාදයට හා දේශීය කොම්ප්‍රොදෝරු ධනපති පාලනයට එරෙහිව පැන නගින මහජන අරගල ගබ්සා කර දැමීමේ කර්තව්‍ය සිය පිලිවෙත බවට පත් කර ගත් පක්ෂ විය. ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය, මේ සදහා හොදම නිදර්ශනය සපයයි.

මෙසේ, දේශීය ධනපති පන්තියේ අධිකාරිය අවිවාධාත්මකව පිළිගත්, එම පන්තිය විසින් පූර්ණ කිරීමට නියමිත යැයි කී ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ අවධිය පසුකිරීමෙන් පසු ඒ හරහා සමාජවාදී විප්ලවයට පාර කැපෙතියි යන සාවධ්‍ය ඉදිරිදර්ශනයට යටත්ව සිටි PKI නායකයෝ, 1965-66 කාලය වන විට, අරගලයට පිවිස තිබුණු ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවගේ අරගල යටපත් කරමින් හා නොමග යවමින්, ඔවුනට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදය සැලසුම් කළ සමූලඝාතනය ක්‍රියාත්මක  කිරීමට අධිරාජ්‍යවාදයට හා ඔවුන් සමඟ පෙළ ගැසී සිටි, දේශීය කොම්ප්‍රොදෝරු ධනපති පාලනයට අවශ්‍ය දේශපාලන අවකාශය සකසා දුන්නෝය. 

ලෝක යුද්ධ දෙකක අතර කාල පරිච්චේදයේ පැරණි කම්කරු පන්තික පක්ෂ මගින් මහජන අරගල පාවාදෙනු ලැබූ අවස්ථාවන් අතර 1927 අප්‍රේල් ෂැංහයි හී දී,  කුඕමින්ටෑං හමුදාව මගින් චීන කම්කරු පන්තිය ලේ වැකි සමූලඝාතනයකට ලක් කිරීම හරහා කම්කරු පන්තියට අත් කර දුන් දෙවන චීන විප්ලවයේ පරාජය මගින්, ඛෙදනීය ලෙස සනාථ වූයේ, ඉහත න්‍යායන්ගේ සාවද්‍ය බවයි.  ඊට විරුද්ධව ඉදිරිපත් කරන ලද, ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යාය මගින් පෙන්වා දෙනු ලැබුවේ, ඊනියා “අවධි දෙකේ විප්ලවවාදී” න්‍යායක් නොමැති බවත්, එහෙයින් පසුගාමී රටවල සිටින ධනපති පන්තියට කිසිදු ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කිරීමට නොමැති බවත්, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ නොවිසඳුණු කර්තව්‍යයන් ඉටු කිරීම ද කම්කරු පන්තිය මතම පැවරී ඇති සමාජවාදී විප්ලවයේ කර්තව්‍යයක්ම බවත් ය.  පන්ති අරගලය මගින් යළි යළිත් තහවුරු කර ඇති ආකාරයට කම්කරු පන්තික ස්වාධීන දේශපාලන අස්ථානය උදෙසා සටන් වැදීමට පටහැනි ලෙස සූත්‍රගත කරන ලද පන්ති සම්මුතිවාදී වැඩ පිළිවෙලම සිය පිළිවෙත කර ගත් ස්ටැලින්වාදයට, අතීතයෙන් ඉගනීමට කිසිදු පාඩමක් නොවීය. 

මෙසේ, ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යායට පටහැනිව, ස්ටැලින්වාදයේ “අවධි දෙකේ විප්ලවවාදී න්‍යාය” මගින් පසුගාමී රටවල ධනපති පන්තියට ප්‍රගතිශීලී කාර්යභාරයක් ඇතැයි යන මිථ්‍යාව වගා දිගා කර, ඒ අනුව පක්ෂ සාමාජිකත්වය නොමග යවා මෙහෙය වීමට PKI නායකත්වය ද්‍රෝහී ක්‍රියාකලාපකයක් ඉටු කළේය. ඒ අනුව, ධනේශ්වර “ප්‍රගතිශීලී” සුකර්නෝ තන්ත්‍රයේ පාලනය මගින් ඇති කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හරහා ඉන්දුනීසියානු කම්කරු පන්තිය ගමන් කළ යුතු වූ අතර, ඒ සඳහා ස්වාධීන කම්කරු වැඩ පිළිවෙළකින් ධනේශ්වරයට එරෙහිව සිදුකළ යුතු විප්ලවය ප්‍රමාද කිරීමත්, පාගා දැමීමත් PKI හි වැඩපිළිවෙළ බවට පත් විය. 

කොමින්ටනය සූත්‍රගත කළ දේශපාලනික මංමුළාව මත PKI  වැඩ ඇරඹීම: වාර්තාවක්

1965 දී ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව ලේ වැකි සමූලඝාතනයකට ගොදුරු කර දීම, ඊට දශක හතරකට පමණ පෙර, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය 3 වන ජාත්‍යන්තරයේ (කොමින්ටනයේ) සාමාජිකත්වය ලබා ගැනීමේ සිට එයින් මෙහෙයවනු ලැබීමේ ඓතිහාසික වාර්තාවට අනුලංගනීය ලෙස බද්ධව පවතී.  1920 දී, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ (PKI) පූර්වගාමියා වූ ඉන්දීය කොමියුනිස්ට් සංගමය ( PKH) ලෙස, එය කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (කොමින්ටර්න්) සමාජිකත්වය හිමිකර ගනු ලැබුණි.

PKI හි මුල් කාලීන කේඩර්වරුන්–සෙමවුන්, ඩාර්සෝනෝ, අලිමින්–විප්ලවවාදී කොමින්ටර්න් සංවිධානයේ බලපෑමට ලක් විය. පන්ති අරගලය, කම්කරු-ගොවි සන්ධාන සහ ධනේශ්වර විරෝධී සංවිධානය කෙරෙහි පක්ෂයේ අවධාරණය ලෙනින්වාදී ජාත්‍යන්තරවාදය පිළිබිඹු කළේය. මෙම කාල පරිච්ඡේදයේදී, PKI නිවැරදිව අවධාරනය කළේ ඉන්දුනීසියානු විමුක්තිය කම්කරු පන්තියේ ගෝලීය අරගලයෙන් වෙන් කළ නොහැකි බවයි.

1924-1926 අතර කාල පරිච්ඡේදය වන විට, “තනි රටක සමාජවාදය” නමින් බොල්ෂෙවික් විරෝධී ප්‍රතිගාමී “න්‍යාය” හදුන්වා දුන් ස්ටැලින්වාදීන් විසින් කොමින්ටර්නය තුළ බලය ඩැහැ ගෙන තිබූ අතර, විප්ලවය වෙනුවට ඉන්දුනීසියානු ධනපති පන්තිය ද ඇතුළත් වූ අධිරාජ්‍ය විරෝධී පුළුල් පෙරමුණක් ගොඩ නැගීමට මොස්කව් වෙතින් උපදෙස් ලැබී තිබුණි. එහෙයින්, මේ වන විට, PKI නායකත්වයේ බහුතරයක් “තනි රටක සමාජවාදය” ගොඩ නැගීමත්, පන්ති සහයෝගීතාවාදී වැඩපිළිවෙළත්, පිළිගෙන තිබූ අතර, එමගින් බොල්ෂෙවික් පක්ෂයක් වීමට සුදුසුකම් ලබන–කම්කරු පන්තියේ පන්ති ස්වාධීනතාවය මත පිහිටා සිටීම හා කම්කරු පන්තික ජාත්‍යන්තරවාදය සඳහා සටන් කිරීම යන–අත්‍යාවශ්‍ය මූලධර්මයන් දෙකෙන්ම PKI වියෝවී තිබුණි. එහෙයින්, PKI විප්ලවවාදී පක්ෂයක සිට පිරිහුණු ප්‍රතිසංස්කරණවාදී පක්ෂයක් බවට පත්වීම, එම පක්ෂයේ ළදරු වියේදීම සිදු වූවකි.

මතු සම්බන්ධයි…

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ: 

  1. Lessons of the 1965 Indonesian Coup – Chapter One: The historical background, World Socialist Web Site <https://www.wsws.org/en/articles/2009/05/ind1-m16.html
  2. Lessons of the 1965 Indonesian Coup – Chapter Two: Stalinists betray the mass movement, World Socialist Web Site <https://www.wsws.org/en/articles/2009/05/ind2-m16.html
  3. Lessons of the 1965 Indonesian Coup – Chapter Three: 1965—Stalinism’s bloody legacy, World Socialist Web Site <https://www.wsws.org/en/articles/2009/05/ind3-m16.html
  4.  Tan Malaka, ‘The Partisan and his Struggle: Military, Political and Economic’ (Marxists Internet Archive, 1948) https://www.marxists.org/archive/malaka/1948-Gerpolek1.htm 
  5. Ruth T McVey, The Rise of Indonesian Communism (Cornell University Press 1965) (Read at Google Books) 
  6. George McTurnan Kahin, Nationalism and Revolution in Indonesia (Cornell University Press 1952) (Read on archive.org
  7. Robert B Cribb, Gangsters and Revolutionaries: The Jakarta People’s Militia and the Indonesian Revolution, 1945-1949 (University of Hawaii Press 1991) (Read on archive.org

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top