ජෝර්ඩන් ෂිල්ටන් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 8 දින “European imperialists seek access to markets, cheap labour and critical raw materials amid deepening great-power rivalries—Part 1” යන හිසින් පළවූ ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද කොටස් දෙකකින් යුතු ලිපි මාලාවේ පළමු කොටසේ සිංහල පරිවර්තනය යි.
මෙය කොටස් දෙකකින් යුත් ලිපි මාලාවක පළමු කොටසයි. දෙවන කොටස 2026 ජූලි 9 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.
යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන් පසුගිය වසර කිහිපය තිස්සේ ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා විහිදෙන දුරදිග යන වෙළඳ ගිවිසුම් සහ අමුද්‍රව්‍ය හවුල්කාරිත්වයන් මාලාවකට එළඹ ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ධවල මන්දිරයට පැමිණීම සහ “ඇමරිකාව පළමුව” යන ගෝලීය වෙළඳ යුද්ධය වැලඳ ගැනීම මෙම ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබේ.
මැයි මාසය ආරම්භයේදී, යුරෝපා සංගමය (EU) සහ මර්කෝසූර් (Mercosur) වෙළඳ හවුල අතර දිගු කලක් තිස්සේ සාකච්ඡා කරන ලද ගිවිසුම නිල වශයෙන් බලාත්මක විය. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සහ ලතින් ඇමරිකානු රටවල් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ අතර ඇති කරගත් මෙම ගිවිසුම, වෙළඳපල, අමුද්‍රව්‍ය සහ ආයෝජන අවස්ථා සඳහා ප්‍රවේශය ලබා ගැනීම වෙනුවෙන් ලෝකයේ ප්‍රධාන බලවතුන් අතර පවතින අරගලය තීව්ර වීම මනාව සංකේතවත් කරයි.

මර්කෝසූර් හවුල සහ ඉන්දියාව, මෙක්සිකෝව මෙන්ම නවසීලන්තය සමඟ ඇති කරගත් එවැනිම ගිවිසුම් නොවරදවාම “නිදහස් වෙළඳ ගිවිසුම්” ලෙස නම් කරනු ලැබේ. එහෙත් ඒවායින් නිරූපණය වන්නේ තම ප්‍රතිවාදීන්ගේ වියදමෙන් යුරෝපීය ප්රාග්ධනය සඳහා ප්‍රධාන වෙළඳපලවල් සහ සැපයුම් දාමයන් අත්පත් කර ගැනීමට ගන්නා උත්සාහයකි. එමෙන්ම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අභියෝගයට ලක් නොවූ ආධිපත්‍යය මත පදනම්ව දෙවන ලෝක යුද්ධයෙන් පසුව පිහිටුවන ලද ගෝලීය වෙළඳ විධිවිධාන තවදුරටත් බිඳවැටීමක් ද ඉන් අදහස් කෙරේ. වර්ධනය වන භූ-දේශපාලනික ගැටුම්කාරී තත්ත්වයන් යටතේ, ලෝක ධනවාදය තරඟකාරී කන්ඩායම්වලට බෙදී යමින් පවතින අතර, සෑම කන්ඩායමක්ම අනෙකාගේ වියදමෙන් වෙළඳපල, සම්පත් සහ උපායමාර්ගික වාසි තහවුරු කර ගැනීමට උත්සාහ කරති.
බ්‍රසල්ස්, බර්ලින් සහ පැරිස්, බුවනෝස් අයර්ස් සිට මුම්බායි දක්වා යුරෝපීය ප්රාග්ධනය සඳහා වෙළඳපල ප්‍රවේශය ඉල්ලා සිටින අතර, වොෂින්ටනයේ “ඇමරිකාව පළමුව” යන න්‍යාය පත්‍රය පදනම් වී ඇත්තේ ඇමරිකානු මහාද්වීපයේ ආර්ථික ජීවිතයෙන් සියලුම “අර්ධගෝලීය නොවන” (non-hemispheric) ප්‍රතිවාදීන් බැහැර කිරීම මත ය. මෙම ප්‍රතිවාදී කන්ඩායම් දෙකම එකවර චීනයට එරෙහිව එල්ල වී ඇති අතර, චීනයේ ආර්ථික ව්‍යාප්තිය සහ වෙළඳාම මෙන්ම ආයෝජන වර්ධනය කිරීමට ගන්නා උත්සාහය, බීජිං පාලනය උතුරු ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ කොල්ලකාරී අභිලාෂයන්ට ප්‍රධාන තර්ජනයක් බවට පත් වී ඇත.
ඉරානයට එරෙහි එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධය සහ යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද/නැටෝ (NATO) යුද්ධය, දිනෙන් දින උත්සන්න වන ලෝකය නැවත බෙදා ගැනීමේ තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අදියරයන් සනිටුහන් කරයි. යුරෝපා සංගමයේ ව්‍යාප්ත වන වෙළඳ ගිවිසුම් සහ අමුද්‍රව්‍ය හවුල්කාරිත්ව ජාලය විශ්ලේෂණය කළ යුත්තේ මෙම සන්දර්භය තුළ ය.
යුරෝපීය අධිරාජ්‍යවාදය හුදෙක් ආර්ථික න්‍යාය පත්‍රයක් පමණක් ලුහුබඳින්නේ නැත; වෙළඳපල, ශ්‍රම සංචිත, අමුද්‍රව්‍ය සහ භූ-උපායමාර්ගික බලපෑම් අත්පත් කර ගැනීම සඳහා තම ප්‍රතිවාදීන්ට එරෙහිව කුරිරු මිලිටරි බලයක් යෙදවිය හැකි වන පරිදි ඔවුහු උපරිමයෙන් සන්නද්ධ වෙමින් සිටිති. මෙම ගමන, පශ්චාත් යුධ සමයේ වැඩි කාලයක් ආධිපත්‍යය දැරූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ යුරෝපීය බලවතුන් අතර අන්තර්- අත්ලාන්තික් සන්ධානය බිඳවැටීම වේගවත් කරමින් තිබේ.
යුරෝපය මුල් කරගත් වෙළඳ හවුලක් නිර්මාණය කිරීම
යුරෝපා සංගමයේ ආර්ථික කොල්ලකෑමේ සහ ලාභ ලබාගැනීමේ ගෝලීය මූලෝපායේ හදවතෙහි පවතින්නේ අනාගත කර්මාන්ත සහ ආක්‍රමණශීලී මිලිටරි මෙහෙයුම් යන දෙකම සඳහා තීරණාත්මක අමුද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීමේ මෙහෙයුමයි. 2024 දී බලාත්මක වූ තීරණාත්මක අමුද්‍රව්‍ය පනත (The Critical Raw Materials Act-CRMA), විශේෂයෙන්ම චීනය වැනි තනි සැපයුම්කරුවන් මත යැපීම අවම කිරීම සඳහා පැහැදිලි ඉලක්ක කෙටුම්පත් කරයි. ලොව පුරා සිටින අනෙකුත් සැපයුම්කරුවන් සමඟ මූලෝපායික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම, ඛනිජ ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම සහ දේශීය කැණීම් ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම යන කරුණුවල එකතුවක් මඟින් මෙය සාක්ෂාත් කර ගැනීමට එය අපේක්ෂා කරයි.
චීනය සැලකිය යුතු ප්‍රමාණයකින් තීරණාත්මක අමුද්‍රව්‍ය නිස්සාරණය නොකළද, වඩාත්ම වැදගත් මූලද්‍රව්‍ය සමහරක් පිරිපහදු කිරීම සහ සැකසීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් ආධිපත්‍යය දරයි. උදාහරණයක් ලෙස, විද්‍යුත් වාහන (EV) සඳහා බැටරි නිපදවීමට, ඩිජිටල් උපකරණ සහ අනෙකුත් අධි-තාක්ෂණික මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තුනක් වන ලෝකයේ බොහොමයක් මැංගනීස්, කොබෝල්ට් සහ මිනිරන් (ග්‍රැෆයිට්) පිරිපහදු කිරීමේ වගකීම දරන්නේ චීන පිරිපහදු මධ්‍යස්ථාන වේ. දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදය චීනය ලෝකයේ ශ්‍රම සූරාකෑමේ මධ්‍යස්ථානය (sweatshop) ලෙස ගොඩනැගීම සඳහා එහි බිලියන සිය ගණනක් ආයෝජනය කර ඇත.
2010 දෙසැම්බර් 30 වන දින මධ්‍යම චීනයේ ජියැන්ග්සි පළාතේ ගන්ක්සියන් ප්‍රාන්තයේ දුර්ලභ පාංශු පතලක කම්කරුවන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කැණීම් කරන අයුරු. [AP ඡායාරූපය/Chinatopix via AP]

යුරෝපීය “තාක්ෂණික ස්වෛරීභාවය” සඳහා එනම්, එක්සත් ජනපදයෙන් සහ චීනයෙන් ස්වාධීනව විද්‍යුත් වාහන, පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම්, ස්මාර්ට්ෆෝන්, ඩිජිටල් යටිතල පහසුකම් සහ යුද්ධ කිරීම සඳහා වන උපකරණ නිෂ්පාදනය කිරීමේ හැකියාව සඳහා ලිතියම්, කොබෝල්ට්, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (REEs) සහ නිකල් වැනි ද්‍රව්‍ය කෙරෙහි සෘජු පාලනයක් තිබීම අත්‍යවශ්‍ය බවට වර්ධනය වන පිළිගැනීමක් CRMA පනතෙන් පිළිබිඹු වේ. යුරෝපා සංගම් කොමිසම සඳහන් කළේ, “බැටරි නිෂ්පාදනය සඳහා ලිතියම්, කොබෝල්ට් සහ නිකල් භාවිතා වේ; සූර්ය පැනල සඳහා ගැලියම් භාවිතා වේ; සුළං තාක්ෂණය සඳහා අමු බෝරෝන් භාවිතා වේ; අභ්‍යවකාශ සහ ආරක්ෂක අංශවල ටයිටේනියම් සහ ටංස්ටන් භාවිතා වේ” යනුවෙනි.
ඉදිරි දශක කිහිපය තුළ මෙම ද්‍රව්‍ය සමහරක් සඳහා ඇති ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. උදාහරණයක් ලෙස, යුරෝපා සංගමය 2024 දී පුරෝකථනය කළේ ලිතියම් සඳහා ඇති ඉල්ලුම 2030 වන විට 10 ගුණයකින් සහ 2040 වන විට 21 ගුණයකින් වැඩි වන අතර, එම කාලසීමාවන් තුළම දුර්ලභ පාංශු ලෝහ සඳහා ඇති ඉල්ලුම හය හෝ හත් ගුණයකින් ඉහළ යනු ඇති බවයි.
මෙයට ප්‍රතිචාර වශයෙන්, යුරෝපා සංගමය සම්පත් සබඳතා පිළිබඳ ගෝලීය ජාලයක් පිහිටුවීමට උත්සාහ කරයි.
ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඕස්ට්‍රේලියාව කේන්ද්‍රීය ස්ථානයක් ගනී. 2024 දී, යුරෝපා සංගමය ඕස්ට්‍රේලියාව සමඟ මූලෝපායික ඛනිජ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, එමඟින් ලිතියම්, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය, මිනිරන්, මැංගනීස් සහ කොබෝල්ට් සැපයුම ඉහළ නැංවීමේ යුරෝපා සංගමයේ අවශ්‍යතාවය හඳුනා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාවේ විශාල අමුද්‍රව්‍ය තැන්පතු වෙත ප්‍රවේශ වීම සඳහා යුරෝපීය ආයෝජන බැංකුවේ මූල්‍ය ආධාර ලැබෙනු ඇති අතර, පතල් කැණීමේ ව්‍යාපෘති, අමුද්‍රව්‍ය සැකසීම සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා මූල්‍ය ආධාර සැපයීමට ඔවුන් 2025 අගභාගයේදී එකඟ විය.
මධ්‍යම ආසියාව යනු යුරෝපීය අධිරාජ්‍යවාදය එහි ස්වභාවික සම්පත් වෙනුවෙන් විනිවිදිමට අදිටන් කරගෙන සිටින තවත් එක් කලාපයක් වන අතර, එමඟින් යුරෝපා සංගමය, චීනයට, එක්සත් ජනපදයට සහ රුසියාවට එරෙහිව පෙළගැසෙයි. කසකස්තානය, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය වැනි රටවල් සතුව යුරේනියම්, තඹ සහ දුර්ලභ පාංශු මූලද්‍රව්‍යවල (REEs) සැලකිය යුතු සංචිත පවතී. 2025 අප්‍රේල් මාසයේදී උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවැති ප්‍රථම යුරෝපා සංගම්-මධ්‍යම ආසියානු සමුළුවේදී ද ඇතුළුව, මෙම කලාපය තුළ තම මැදිහත්වීම ගැඹුරු කිරීමට යුරෝපා සංගමය උත්සාහ කර ඇත. සමුළුවේ ප්‍රකාශය මඟින් යුරෝපා සංගමය සහ මධ්‍යම ආසියානු ජනරජයන් අතර “මූලෝපායික හවුල්කාරිත්වයක්” ඇති කිරීමට කැප වූ අතර, පසුව ඒකාබද්ධ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ සැලසුම් සහ රුසියාව මඟ හැර යාම සඳහා ප්‍රවාහන කොරිඩෝ පිහිටුවීම පිළිබඳ සැලසුම් ගෙනහැර දක්වන ලදී.
සාම්ප්‍රදායිකව රුසියාවේ සමීප මිත්‍රයෙකු වන ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවන් හි මෑතකදී පැවැත්වුණු යුරෝපීය දේශපාලන ප්‍රජාවගේ සමුළුව, රුසියාව මඟහරිමින් මධ්‍යම ආසියාවේ සිට යුරෝපයට ගලා යන වෙළඳ ප්රවාහයන් සඳහා වන ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් ලෙස එම රට පිහිටා තිබීම සමඟ බැඳී පැවතුනි. 2023 ආර්මේනියාව සහ අසර්බයිජානය අතර පැවැති යුද්ධයේදී අසර්බයිජානය විසින් නගෝර්නෝ-කරබාක් ප්‍රදේශය යටත් කර ගැනීමෙන් පසුව, අසර්බයිජානය තුර්කියෙන් වෙන් කරන ආර්මේනියානු භූමියේ සිහින් තීරුවක් වන සන්ගෙසුර් කපොල්ල (Zangezur Gap) හරහා ප්‍රවාහන කොරිඩෝවක් සංවර්ධනය කිරීමට එක්සත් ජනපදය මැදිහත් වූ අතර, එය ජාත්‍යන්තර සාමය සඳහා වන ට්‍රම්ප් මාර්ගය (Trump Route for International Peace) ලෙස නම් කර ඇත.
මතු සම්බන්ධයි.
[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]
