art and culture

Nathasha

නතාෂාගේ ප්‍රහසන කලාවට කෝපාවිශ්ට වූ ව්‍යාජ වාම පෙරමුනට එරෙහිව කලාවේ නිදහස සදහා අරගලය  පෙරට

නන්දන නන්නෙත්ති විසිනි

නතාෂා එදිරිසූරිය හිටිවන ප්‍රහසන කලා නිර්මානයකින් බුද්ධාගමට අපහාස කලේ යැයි මැයි 28 දින අත් අඩංගුවට ගෙන, ආගමික සමගියට බාධා පැමිනවීම හා වෛරය පැතිරවීම සිදු කලේ යයි ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, අද දින (6) දක්වා බන්ධනාගාරගත කර තබා ගන්නා ලදී.  ජුලි 5 බදාදා  ඇගේ ඇප ඉල්ලීම සලකා බැලූ කොලඹ මහාධිකරන විනිසුරු ආදිත්‍ය පටබැදි ඇයට ඇප ලබා දීමට තීන්දු කරමින් කියා සිටියේ නතාෂාගේ ප්‍රකාශය “කිසිසේත්ම බෞද්ධයන් ඉලක්ක කරගෙන ඔවුනට එරෙහිව ප්‍රචන්ඩත්වය හෝ සතුරුකම් කිරීමේ අරමුනින් එහි ප්‍රෙක්ෂකයන් උසිගැන්විමේ ක්‍රියාවලියක යෙදුනු බවට පෙනී නෙයන”  බවත් ඒ අනුව එය “වෛරී ප්‍රකාශයක්” ලෙස පෙනී නොයන බවත්ය.  

වාර්තා වන පරිදි, විද්‍යාව තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරනා ප්‍රායෝගිකදැයි ප්‍රශ්න කිරීමට හැකියාව ඇතැයි සඳහන් කල මහාධිකරන විනිසුරුවරයා එයින් වෛරය ප්‍රකාශ වන්නේ කෙසේදැයි පැමිනිල්ලෙන් ප්‍රශ්න කලේ ය.   

මෙම තීන්දුව නතාෂාට එරෙහිව බොරු පැමිනිලි කල ආන්ඩුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු ආගම්වාදී නඩය මෙන් ම ඊට සහයෝගය දුන් සියලු අවස්ථාවාදීන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කලා විරෝධී මුග්ධ නිරුවත ප්‍රදර්ශනය කලේය. 

Nathasha
නතාෂා ඇප ලබා නිදහස්ව (fb)

නතාෂා අත්අඩංගුවට ගැනීමට ආගම සම්බන්ධ කල ද එය ආගම පිලිබද කරුනක් නො වන බවත්, අවශ්‍ය නම් ආගම ප්‍රශ්න කිරීමට අයිතිය ඇති බවත් තහවුරු කරමින්, ඇගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ගැන සංවේදී සියලු මිනිසුන්ගේ වගකීම බව මුල සිටම අවධාරනය කලේ හා, ඒ වෙනුවෙන් තනිවම, ප්‍රතිගාමී බලවේගයන්ට අභිමුඛව, උද්⁣ඝෝෂනය ආරම්භ කලේ කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) යි. ඊට ප්‍රගතිශීලී කලාකරුවන්, කම්කරුවන් හා තරුනයන් අතර බලගතු සහායක් ගොනු විය. 

පැමිනිල්ල පරාජය වූයේ හුදෙක් මහාධිකරන තීන්දුවෙන් පමනක් නො වේ. සියලු ධනේශ්වර හා ව්‍යාජ වාම පක්ෂ හා කල්ලි, අපේක්ෂා භංග, දිරිය බල සිදුනු බුද්ධිමතුන්, තමන්ගේ වේල පිරිමැසීමට එහා දෙයක් නොසිතන ඇතැම්  කලාකරුවන් හා ඊනියා රැඩිකලුන්, පාලක පන්තිය නතාෂාට එරෙහිව අවුලන ලද ප්‍රකෝපකාරීත්වය සමග පෙල ගැසුනි. එහෙත් පාලක පන්තියේ දරුනු වික්ෂෝපයකට හේතු වෙමින්, කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත මහජනතාව එම ගිනි මැලයට දර දැමීම උදෙසා මෙහෙයවා ගැනීමට හැකි නොවී ය යනු නින්දාසහගත පරාජයකි. 

තතු එසේ තිබිය දී, ධනපති සංස්ථාපිතයේම පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන(ජවිපෙ) හා ඉන් බිදී ව්‍යාජ-වාම පක්ෂයක් ලෙස සංවිධානය වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නතාෂාට හා ඇගේ කලාවට විරුද්ධව තම පන්ති පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන මතයක් ගොඩ නැගීමට අන්ත ප්‍රතිගාමී උත්සාහයක නිරත වීය. රටේ සිවිල් සාමය කඩ වී, තමන් ගත කරන සාපේක්ෂ සුව පහසු ජීවිත අවුල් වනවාට බියෙන් පසුවන සුලු ධනේශ්වර පන්ති ස්ථරයක කම්කරු විරෝධී අවශ්‍යතාවන් මේ පක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 

Jayagoda
පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ නතාෂා අත් අඩංගුවට ගැනීමට පසු දින  මෙසේ නිවේදනය කලේ ය: පීඩාවට පත් මිනිසුන් “විශ්වාස කරන සමහර ආත්මීය කරුනු, සමහර සංස්කෘතික දේවල්, ආගමික සංවේදී දේවලට” ප්‍රහාරයක් එල්ල වී ඇත. එය පාලක පන්තියේ අවශ්‍යතාවක් බව සදහන් කල ඔහු “ෆාස්ටර් ජෙරමුයි, නතාෂයි … ආගම් අතර මේ බෙදීම හදන්න යනවා” යි චෝදනා කරමින් “මේකට ඉඩ දෙන්න එපා” යි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.  

ධනපති පක්ෂයක් ලෙස තමන්මගේ සුදුසුකම ධනපතියන් හා අධිරාජ්‍යවාදීන් හමුවේ සනාථ කිරීමට දැඩි වෙහෙස දරන ජවිපෙ ද මෙම යොජනාව ම  තවත් ආකාරයකින් ඊට දින දෙකකට පසු ඉදිරිපත් කලේ ය. “මෑතකදී කිසියම් කාන්තාවක් සිදුහත් කුමරු සම්බන්ධයෙන් කරපු කතාවක් පදනම් කරගෙන ලොකු සිද්ධියක් වෙලා තියෙනවා. …ඒක අහම්බෙන් සිද්ධ වුනත්, සැලසුම් කරල සිද්ධ වුනත් අර දුෂ්ට ආගම්වාදී, ජාතිකවාදී අරමුනුවලට එකතු වෙනවා,” යැයි එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කලේ ය. සිල්වාගේ ඉල්ලීම මෙසේ ය: “ජනතාවගේ හිතේ තියෙන ඉතා සියුම් තැන් අවුස්සලා ජනතාවගෙ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න දරන උත්සාහය හරියට අදුනගන්න.”

කලාවේ හා ප්‍රකාශන⁣යේ නිදහසට විරුද්ධ වන ආන්ඩුව ඇතුලු ධනේශ්වර පෙරමුනත්, නතාෂාගේ කලාත්මක නිර්මානයත් යන අංශ දෙකම එකට අනා මේ දෙපැත්තටම විරුද්ධ වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ දී ජවිපෙ මෙන්ම පෙසප හි අභිප්‍රාය කුමක් ද?

පසුගිය “අරගල” සමයේ “ජාතික සමගියට කිසියම් ප්‍රවේශයක් ඇති වීම ගැන බිය” වූ  “ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්න රාජපක්ෂල රනිල්ලා… ආපහු එලියට එන්න මේවා පාවිච්චි කරන” බව පවසන  සිල්වා වාර්ගික යුද්ධයේ දී දෙමල ජනයාගේ ලෙයින් පොඟාගත් අත් සගවාගෙන දැන් වාර්ගික ආගමික භේද ප්‍රතික්ෂේප කරන බව අඟවන්නේ එය හුදෙක් රාජපක්ෂලාට වාසි වන බව ගැන කනස්සල්ලෙනි. එයින් පැහැදිලි වන පරිදි, ජවිපෙ බිය වී සිටින්නේ එවැනි තත්වයක් තුල තම පාර්ලිමේන්තු සිහිනය බිද වැටෙනු ඇත යන්න ගැන මිස මහජන විරෝධී, වර්ගවාදී ආන්ඩුවක් බලයට ඒම වැනි දෙයක් ගැන නො වේ. සියල්ලටමත් වඩා ජවිපෙ, පාර්ලිමේන්තුවේ 225ම එපා යි කී මහජන විරෝධය, රාජපක්ෂ විරෝධයකට සිඳවා ධනපති ක්‍රමය බේරාගෙන, එතනින් නතර නොවී, ඒ තුල සමාජ අර්බුදය සැඟවීමට මෙය ද අවස්ථාවක් කර ගනී. ජවිපෙන් කැඩී සමාජවාදය පිලිබඳ ඉඳහිට තොල් මතුරන පෙසප ද මෙය යහමින් උපයෝගී කර ගනී. 

Tilwin
ටිල්වින් සිල්වා

නතාෂා සිය කලාව තුල කාන්තාව සිමා බන්ධනයන්ගෙන් වට කර, පුද්ගලික දේපලක් ලෙස සලකා පීඩාවට ලක් කිරීම, හා වැඩවසම්වාදී ආගමික සංකල්ප යොදාගෙන තවදුරටත් කාන්තාව ගර්හා කිරීම අභියෝයට ලක් කලා ය. ඇය ධනවාදය තුල කිසි දිනක විසඳිය නොහැකි නිදහස පිලිබද ප්‍රශ්න ඒ තුල ඉස්මතු කලා ය. ප්‍රස්තුත සිල්වාගේ කතාවේදී ඔහු නතාෂාගේ නම පවා පාවිච්චි කිරීමට තරම් නුසුදුසු යයි තීරනය කිරීම මගින්, නතාෂාගේ නිර්මානය තුලින් එලි දකින නිදහස්කාමය සම්බන්ධව  ආන්ඩුව හා බෞද්ධ අන්තවාදී නඩවල පවතින  භීතිය සමඟ තමන් අනන්‍ය වීම ප්‍රකාශයට පත් කලේ ය. 

නතාෂා, සුද්ධෝදන, සිද්ධාර්ථ හා දෙව්දත් යන බෞද්ධ සාහිත්‍යයේ එන වාසගම් හා සිද්ධීන් සිය නිර්මානයේ සංකල්ප රූප ගොඩ නැගීමට යොදා ගත්තා ය. කෘතියේ මුඛ්‍යාර්ථය වූයේ ධනේශ්වර සමාජයේ කාන්තාව හා දරුවන් මුහුන දී සිටින ඛේදජනක තත්වය ප්‍රතිනිර්මානය කිරීම වු අතර අතීත කලා නිර්මානයෙන් පරිහරනයට ගත් මෙම උපුටා ගැනීම් ඊට මැනවින් උචිත විය.      

නතාෂාගේ කලාව සහ එහි ඇගවුම් ගැන, විශේෂයෙන් අදාල ප්‍රහසනයේ ආකෘතිය හා අන්තර්ගතය සම්බන්ධයෙන් එක වචනයක්වත් සිල්වා හෝ ජයගොඩ තම නිවේදන තුල ප්‍රකාශ නො කිරිම අහම්බයක් නො වේ. බොරුව සමාජගත කිරීම සදහා ඔවුන්ට ඒ ගැන සාකච්ඡා කිරීමෙන් වැලකීම අවශ්‍යය විය. නමුත්, ජයගොඩගේ කතාව තුල ම කලාකාරිනියට එල්ල වී ඇති ප්‍රහාරය ගැන එක වැකියක් විය. ඒ “අත්අඩංගුවට ගැනීම ගැන අපට කියන්න තියෙන්නෙ, මීට කලින් ආගමට අපහාස කල අය අත්අඩංගුවට ගත්ත ද?” යි යන්නයි. අවස්තාවාදී ලිස්සායෑමේ නියම ස්වභාවය පෙන්වන මෙම ප්‍රශ්නය, ආගමික උන්මත්තකයන් “අතීතයේ ඉඳන් එන මේ නාඩගමේ කොටස්කරුවො සියලු දෙනාම” අත් අඩංගුවට ගත යුතු යයි දියත් කර ඇති උද්ඝෝෂනයට සමපාත වේ. එමතුද නොව, එය රාජ්‍ය මර්දන හස්තය ශක්තිමත් කිරීම සඳහා කරන පැහැදිලි ඇරයුමකි.

ජවිපෙ හා පෙසප නිදහස් කලාවට දක්වන හතුරුකම එහි පන්ති ස්වරූපයයන්ම නිපන්නකි. නතාෂාගේ නිර්මානයට විරුද්ධත්වය පැන නගින්නේ එතැනිනි. කලාවට සම්බන්ධ ජවිපෙ සුලු ධනේශ්වර දේශපාලන වාර්තාව තුල 1988-89 කාලයේ අතිෂය නිර්මානශීලී හා ජනප්‍රිය ප්‍රවීන කලාකරුවන් ගනනාවක් ධනපති ඒකීය රාජ්‍ය රැකීමේ දේශප්‍රේමය උදෙසා ලෝබ නැතිව මරා දැමීම ඇතුලත් ය. ටිල්වින් සිල්වාට අනුව රැඩිකල් කම ලෝකයට මවා පෑම සඳහා නතාෂා ආගමික හිත් රිදවා ඇත. ඔහුගේ කලා විචාරය ඉස්මතු වන්නේ තම අවශ්‍යතාවට ගැලපෙන පරිදි නතාෂා “රැඩිකල්කම පෙන්වීම වැනි” කලාකරුවාගේ සිතිවිලි ලෙස තමන් විසින් ම සකසා ගත් අදහස්වලිනි. කලා කෘතිය හා එහි අදහස් කරන දෑ මොනවා වුවත් මේ ඊනියා කලා විචාරකයාට අදාල නැත.

දැන් ජයගොඩගේ යෝජනාව “සමාජයට සම්බන්ධ නැති ව්‍යුක්ත කලාව කියා එකක්” නැති නිසා කලාව හැම විටම සමාජය ගැන සංවේදී වී දේශපාලනය සමග සම්බන්ධ විය යුතු බව ය. “ඒ නිසා කලාකරුවා දේශපාලනික වෙන්න ඔනෙ” යි ඔහු අවධාරනය කලේ ය. මෙහි දී ජයගොඩ “තමන්ට හිතෙන හිතෙන විදියට වල් බූරු නිදහස කලාවට තියෙන්න ඕන කියල කලාව කිරීම හා සමාජය ගැන හිතා කලාව කිරිම” යනුවෙන් පැති දෙකක් යෝජනා කරයි. උක්ත ප්‍රකාශයේ දී  ඔහු පැහැදිලි ම තර්ක කරන්නේ ආගමික හැගීම් වැනි සංවේදී කාරනාවලින් කලාව පාලනය විය යුතු බව ය.

උදාහරනයක් හැටියට බෞද්ධයන්ගේ හිත් රිදවිමක් වෙලා තියෙනවා, මේ ප්‍රකාශය (නතාෂාගේ නිර්මාන) මගින්. මේ ප්‍රකාශය පාවිච්චි කරල අදහස් දැක්වීමේ අයිතියට, ප්‍රකාශනයේ නිදහසට, භාෂනයේ නිදහසට පහර දෙන්න හදනවා එක පැත්තකින්. ….තක්කඩි බලවේග මේ අස්සෙ සලු වෙන්න හදනවා,” මෙසේ ජයගොඩට අනුව ආන්ඩුව ප්‍රකාශනයේ හා භාෂනයේ නිදහසට පහර දීමට පෙරට පැමින ඇත්තේ  නතාෂාගේ නිර්මාන නිසා ය. ඒ නිසා එවන් නිර්මාන නො කල යුතු ය. 

ජයගොඩගේ හෝ සිල්වාගේ කලාව පිලිබඳ මෙම ආස්ථානයට මාක්ස්වාදී හෝ සමාජවාදී ආස්ථානය සමග මොනම හෝ සම්බන්ධයක්  නැත. ධනපති සමාජයේ පවතින අධිකාරී සංස්කෘතියට, පැවැත්මට කලාව යටකිරීමට යෝජනා කරන මෙම ප්‍රතිගාමී පිලිවෙතට එරෙහිව කලාව පිලිබඳ සමාජවාදී ආස්ථානය වොරොන්ස්කි පැහැදිලි කරන්නේ මෙසේය:

 “කලාව යනු ජීවිතය සංජානනය කිරීම යි…කවියා හෝ ලේඛකයා අවට යථාර්ථයෙන් සෑහීමකට පත් නොවන විට, ඔහු නිරායාසයෙන්ම එය තිබෙන ආකාරයට නොව, විය යුතු ආකාරයට නිරූපණය කිරීමට උත්සාහ කරයි;  ඔහු අනාගතයේ වැස්ම අර්ධ වශයෙන් ඉවත් කර මිනිසාට ඔහුගේ පරමාදර්ශය පෙන්වීමට උත්සාහ කරයි.  ඔහු පරමාදර්ශී “හෙට දවස” නම් ප්‍රිස්මය හරහා අද යථාර්ථය බැලීමට පටන් ගනී. ඉහලම තලයන් දක්වා අඳිනු ලැබූ මිනිසාගේ සිහින, ආශාවන් හා පැතුම් හොඳම කලාකරුවන්ගේ නිර්මාන කාර්යයන්හි පදනම වූ අතර එය දිගටම එසේ වන්නේය.” [ඒ.කේ.වොරොන්ස්කි, ‘කලාව ජීවිතය සංජානනය කිරීම ලෙස, හා සමකාලීන ලෝකය’, 1923]

කලා කෘතියක  සීමාව තීරනය කරනුයේ කලාවමය. කලාවේ දේශපාලනය යනු සීමා පනවා ගැනීම නො ව සීමා බිදීම ය. නො එසේ ව, එය නැවුම් දෑනීම් හා හැඟීම ජනිත කරන්නේ කෙසේ ද?  සමාජ ඥෙය මඩල පුබුදුවන්නේ කෙසේ ද? ලෝකය වෙනස් කිරීමේ මිනිසාගේ නොතිත් යත්නයට දායක වන්නේ කෙසේ ද? කලාවේ මෙම නිදහස ප්‍රතික්ශේප කරන්නෝ එහි හතුරෝය. 

පෙසප නායකයා පෙරට දමන්නේ අතිෂය ආත්මාර්තකාමී සුලු ධනේශ්වර අවශ්‍යතාවකි. ඔහුගේ මේ වචන සලකා බලන්න: “අරගලයේ දී දේශපාලනය ගැන හිතන අයයි, එලෙස නොවන සාමාන්‍ය ජනතාවයි  අතර කිසියම් ආකාරයේ අවබෝධයක් හැදිල තියෙනවා. ජාතිකවාදයට, ආගම්වාදයට විරුද්ධ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන සංවේදී වූ ලිබරල් අදහස් දැරූ පිරිස් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඒ තරම් සංවේදී නැති නමුත් තමන්ගේ ජාතික ආගමික අනන්‍යතා ගැන සංවේදී ව හිටපු ජාතකවාදී කොටස් අතර යම් අවබෝධයක් හැදිල තියනවා.” මෙම මලකුනු සමාජ කන්ඩායම් අතර වඳ බහු විවාහයට යතාර්තවාදී කලා නිර්මාන බාධාවක් වීම ය ජයගොඩගේ සංවේදීතාව ය. ඔහුට අනුව මේ ලිබරල්ලු, ජාතික ආගමික අනන්‍යතා කල්ලි, ආගම්වදයට විරුද්ධ කන්ඩායම්, ප්‍රජාතන්ත්‍රවාදයට සංවේදී නැති කල්ලි යනාදී සියලු දේ එකට ඇනූ ඔහු හා පෙසප ද අයත් සංධානය පවත්වා ගැනීම හෙවත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්, දක්ෂිනාංශික ව්‍යාජ-වාම පෙරමුන පන පිහුටුවා පවත්වා ගැනීම කලාකරුවාගේ කර්තව්‍ය විය යුතු ය!

මීට ප්‍රතිපක්ෂව කොක්‍රික උද්ඝෝෂනය පදනම් වූයේ කලාවට සීමා පැනවීමට එරෙහිව එහි නිදහස රැකීම වැඩකරන පන්තියේ නිදහස සමඟ බැඳී පවතීය යන සත්‍යය  මත ය. අර්බුදය ගැඹුරුවත්ම ධනපති පාලක පන්තිය කලාවට හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව, අද පෙසප ආරක්ෂා කරන සංධානයටම අයත්  අන්ත ප්‍රතිගාමී බලවේග මත පදනම් වූ ෆැසිස්ට් බලවේග සූදානම් කරනු ඇත. කලාවට එරෙහි ⁣ඉහත කී ව්‍යාජ වාම ප්‍රතිපත්ති වලට නෑකම් කියූ ස්ටැලින්වාදී ප්‍රහාරය සම්බන්ධව අන්ඩ්‍රේ බ්‍රෙටන් හා ඩියෝගෝ රිවේරා 1938 දී කරන ලද කැඳවුම මේ නිසා අදට ද අදාල ය:

“කලාවේ සෑම ප්‍රගතිශීලී ප්‍රවනතාවක්ම ෆැසිස්ට්වාදය විසින් ‘පරිහානිගත’ ලෙස හදුන්වා විනාශ කරයි.  සෑම නිදහස් නිර්මානයක්ම ස්ටැලින්වාදීන් විසින් ‘ෆැසිස්ට්’ ලෙස හඳුන්වයි.  ස්වාධීන විප්ලවවාදී කලාව දැන් ප‍්‍රතිගාමී ප්‍රහාරයට එරෙහි අරගලය සඳහා සිය බලවේග එකතු කල යුතුය.  එය තම පැවැත්මේ අයිතිය උස් හඬින් ප්‍රකාශ කල යුතුය.” [ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා ප්‍රකාශනය]

අව්‍යාජ, නිදහස් කලාව ඊට නියමිත තැනට ඔසවා තබනු ඇත්තේ කම්කරු පන්තිය ධනේශ්වරයට එරෙහි දේශපාලන බලය තහවුරු කරගැනීම සදහා ගෙන යන අරගලයේ ජයග්‍රහනයෙන් ම පමනක් බව සෑම අතින් ම සත්‍යාපනය වී ඇත. ඒ සදහා ප්‍රථම කොන්දේසිය වන්නේ මෙම ප්‍රතිගාමී ව්‍යාජ-වාම පෙරමුන හෙලිදරව් කර කුඩු කර දැමීම ය.

නතාෂාගේ ප්‍රහසන කලාවට කෝපාවිශ්ට වූ ව්‍යාජ වාම පෙරමුනට එරෙහිව කලාවේ නිදහස සදහා අරගලය  පෙරට Read More »

Avatar: The Way of Water – ජේම්ස් කැමරන්ගේ නවතම උත්සාහය

ඩේවිඩ් වොල්ෂ් විසිනි.

මෙහි පලවන්නේ ප්‍රවීන මාක්ස්වාදී කලා විචාරක ඩේවිඩ් වොල්ෂ් විසින් ලියා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජනවාරි 15 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු Avatar: The Way of Water—James Cameron’s latest effort ලිපියේ සිංහල පරිවර්ථනය යි. පරිවර්ථනය සංජය ජයසේකර විසිනි.

The Terminator (1984), Aliens (1986), The Abyss (1989), Terminator 2: Judgement Day (1991), True Lies (1994), Titanic (1997) සහ Avatar (2009) යන සිනමා පට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් තම ලැයිස්තුවේ අන්තර්ගත කර ගැනුනු කැනේඩියානු ජාතික ජේම්ස් කැමරන් ඉතිහාසයේ ආර්ථික වශයෙන් වඩාත්ම සාර්ථක චිත්‍රපට නිෂ්පාදකයෙකි.  ඔහු වෙනත් මහා පරිමාණ චිත්‍රපට රාශියක් ලියා (Rambo: First Blood Part II [1985]) හෝ නිෂ්පාදනය (Strange Days [1995], Solaris [2002]) කර තිබේ.

Image

සංඛ්‍යාලේඛනඥයින්ට අනුව, කැමරන් (ස්ටීවන් ස්පීල්බර්ග්ට පසුව) දෙවන වැඩිම අදායමක් ලැබූ අධ්‍යක්ෂවරයා වේ, ඔහුගේ චිත්‍රපට උතුරු ඇමරිකාවේ ඩොලර් බිලියන 2.5ක් සහ ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 8ක් උපයා ඇත.  ලොව පුරා ඩොලර් බිලියන 2කට අධික ආදායමක් උපයාගත් පළමු චිත්‍රපට දෙක ඔහු අධ්‍යක්ෂණය කළේය. (Titanic සහ Avatar – ඉතිහාසයේ වඩාත්ම මූල්‍යමය වශයෙන් ඵලදායි චිත්‍රපටය) සහ ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 1.5කට වඩා වැඩියෙන්  උපයාගත් චිත්‍රපට තුනක් (Titanic, Avatar සහ නව විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය, Avatar: The Way of Water) අධ්‍යක්ෂණය කළ එකම පුද්ගලයා ඔහු වේ.

කැමරන්, නොවරදවාම, සැලකිය යුතු සංවිධානාත්මක කුසලතා, තාක්ෂණික දැනුම (හෝ දැනුම ඇති අය වෙත ප්‍රවේශය) සහ විශාල පුද්ගලික තල්ලුවක් සහ නොපසුබට උත්සාහයක් ඇත.  චිත්‍රපට කර්මාන්තයේ සහ පුළුල් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම්, “බ්ලොක්බස්ටර්” පැමිණීම සහ විශාල ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් බිහිවීමෙන් ඔහු ප්‍රතිලාභ ලබා ඇත.  ඔහුගේ ඉතා සීමිත ලිවීමේ හා අධ්‍යක්ෂණය කිරීමේ කුසලතාව, පැහැදිලි සහ සුළු දේ සඳහා ඔහුගේ “දක්ෂතාවය”, මේ සියල්ල පෙර යුගයකදී ඔහුව පසුබස්සවන්නට ඉඩ තිබුණේ උවත්, කලාත්මක-දෘෂ්ටිමය වශයෙන් ප්‍රතිගාමී සහ එකතැන පල්වෙන වාතාවරණයක් තුළ කිසිසේත්ම ඒවා බාධාවක් වී නැත.  ඊට ප්‍රතිවිරුද්ධව, වෙනත් වචන වලින් කිවහොත්, කැමරන් මතුවීමට වාසනාවන්ත වී ඇත්තේ – විය හැකිව තිබුනේ එසේම පමනි – අඩු දේ ඉල්ලා සිටින සංස්කෘතියක ය: කාර්යක්ෂමතාව, ඵලදායිතාව, විශේෂ ප්‍රයෝග නවෝත්පාදනය, යාන්ත්‍රික සංදර්ශනවල තිරසාර පිපිරීම්, අවම මට්ටමේ නාට්‍යමය විශ්වාසනීයත්වය.

ඔහුගේ නවතම චිත්‍රපටය, Avatar: The Way of Water, මෙතෙක් නිපදවූ වඩාත්ම වියදම් සහිත චිත්‍රපටවලින් එකකි, එහි අයවැය ඩොලර් මිලියන 350-$400 ලෙස ගණන් බලා ඇත.  කැමරන් සම්මුඛ පරීක්ෂකයෙකුට යෝජනා කළේ ඩිස්නි සතුවන නිෂ්පාදනය ලාභයක් ලබා ගැනීමට ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 2ක් උපයා ගත යුතු බවයි.  එය මුල් Avatar හි සැලසුම් කළ අනුප්‍රාප්තික හතරෙන් (හෝ සමහර විට ඊට වැඩි) පළමු එක වේ.  අනුමාන වශයෙන්, Avatar 3, 2024 දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය.

පළමු Avatar සිනමා පට⁣ය පැන්ඩෝරා ග්‍රහලෝකය තුල හිටපු එක්සත් ජනපද මැරීන් භටයෙකු වූ ජේක් සලී (සැම් වර්තිංටන්) නිරූපනය කළේය.  පෘථිවිය අඳුරු මුඩු බිමක් බවට පත් වී ඇත.  පැන්ඩෝරා සතුව වටිනා ලෝහ විශාල ප්‍රමාණයක් ඇත, නමුත් ඒවා සංවර්ධනය සහ නිස්සාරණය සඳහා ස්වදේශ්‍රිය ජනතාව වන Na’Vi පලවා හැරීම අවශ්‍ය වේ.

විද්‍යාඥයන් ජේක්ගේ “අවතාරය”, එනම් ඔහුගේ මිනිස් මොළය සහ මතකය සහිත Na’vi ශරීරයක් ජනනය කරයි – කැමරන්ගේ වචනවලින් කියනවා නම්, “අනාගතයේ මානව තාක්‍ෂණය දුරස්ථව පිහිටා ඇති ශරීරයකට, එනම් ජීව විද්‍යාත්මක ශරීරයකට මිනිසාගේ බුද්ධිය එන්නත් කිරීමට හැකියාව ඇත.”  මෙම දෙමුහුන් පුද්ගලයා- ස්වදේශ්‍රීය ජනයා වැනි, උස, නිල් ජීවියෙකු – දේශීය ජනතාව සමඟ අන්තර් ක්‍රියා කරන අතර, අවසානයේ, ගුප්ත ක්‍රියාවලියක් හරහා, ඔවුන්ගෙන් එකෙක් බවට පත්වේ. Na’Vi ජනතාව සම්පත් සංවර්ධන පරිපාලනයේ (RDA) බලවේග පලවා හරින අතර එය ඉරාක ජනගහනය යටත් කර ගැනීමේ කුරිරු එක්සත් ජනපද ප්‍රයත්නය මතකයට ගෙන එන දර්ශන තුළින් පෙන්වනු ලබ යි.

නව චිත්‍රපටයේ, සලි ඔහුගේ බිරිඳ Neytiri (Zoe Saldaña) සහ දරුවන් කිහිප දෙනෙකු සමඟ ජීවත් වන අතර ඔහුගේ ගෝත්‍රයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.  මාරාන්තික ආයුධ වලින් සන්නද්ධ RDA මිලිටරි හමුදා නැවත වරක් දුෂ්ට කර්නල් මයිල්ස් ක්වාරිච් (ස්ටීවන් ලැන්ග්) හෝ ඔහුගෙන් ඉතිරිව පැවති දේ  ප්‍රධානත්වයෙන් ආපසු පැමිණ, අනුකම්පා විරහිත කැරලි මර්දන මෙහෙයුමක් දියත් කරයි.

නැවතත්, චිත්‍රපටයේ ප්‍රබලම රූපරාමු දෘශ්‍යමය වශයෙන් විවිධ එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් වෙත යොමු කෙරේ.  ප්‍රදේශයේ ගම්මානයකට ගිනි තැබීම වියට්නාම් යුද්ධයේ දර්ශන ප්‍රකම්පනකාරීව සිහිපත් කරයි.  2009 ‘නිව් යෝර්කර්’ පුද්ගල වාර්ථාවකට අනුව, කැමරන් “[ජෝර්ජ් ඩබ්ලිව්.] බුෂ් 2004 මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු, ඇමරිකානු පුරවැසිභාවය සඳහා වූ ඔහුගේ අයදුම්පත ඉල්ලා අස්කර ගත්තේ ය.”

සලී, ක්වාරිච් සහ ඔහුගේ හමුදාවන්ට එරෙහිව ගරිල්ලා ව්‍යාපාරයක් මෙහෙයවයි (පෘථිවිය දැන් මිය යමින් පවතී), නමුත් අවසානයේ වෙරළට පලා ගොස් ගල්පර අසල ජනතාවගේ, එනම් ගෝත්‍රයක, උපකාරය හෝ අවම වශයෙන් ඉවසීම ලබා ගැනීමට බල කෙරෙයි.  The Way of Water හි ඉතිරි කොටස සිදු වන්නේ මුහුදේ හෝ මුහුද ආශ්‍රිතව ය.  RDA හමුදා සලී සහ ඔහුගේ පවුල සොයා ගන්නා අතර පූර්න පරිමාණ ගැටුමක් පුපුරා යයි.  විශ්මයජනක ජීවීන් රාශියක් සම්බන්ධ වන සිද්ධීන් සමුදායක් දිය යට සිදු වේ.  කැමරන් සහ ඔහුගේ කණ්ඩායම චිත්‍රපටයේ මෙම කොටස සඳහා නව තාක්ෂණයන් නිර්මාණය කිරීමට බැඳී සිටියහ.

එහි ප්‍රතිඵලය වූ නිර්මාණය, එහි නව්‍ය පෙනුම සහ ඉඳහිට ප්‍රකෝපකාරී නිරූපණ තිබියදීත්, වෙහෙසකර (මිනිත්තු 192 කදී) සහ සූත්‍රගතකරනු ලැබුවා වේ.  දෙබස්, චරිත සහ සබඳතා දුසිම් ගනනක් (බොහෝ විට වඩා හොඳ) බටහිර විද්‍යා ප්‍රබන්ධ සහ යුධ චිත්‍රපට වලින් ඇහිඳගනු ලැබී ඇත.  ‘මොබි ඩික්’ සහ අනෙකුත් කෘතිවල දුර්වල දෝංකාර ද ඇත.

හරියටම වසර 25 කට පමණ පෙර, අපි ටයිටැනික් ගැන සටහන් කළේ, චිත්‍රපටයේ ඇති සෑම අංගයක්ම පාහේ, “ප්‍රේම කතාව ඇතුළුව, හනමිටි සහ පුරෝක්ත කල හැකි ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බවයි.  සෑම චරිතයක්ම පුද්ගල හැසිරීමේ හා පෞරුෂ ලක්ෂණවල – මුහුණේ ඉරියව් පවා – ආකෘතීන් ප්‍රදර්ශනය කරයි. ඒවා ක්ෂණිකව හඳුනාගත හැකි අතර චිත්‍රපටය පුරාම නොවෙනස්ව පවතී.”

මෙම අදහස් Avatar: The Way of Water සඳහාද අදාළ වේ. සරලව ස්ථාවර, වෙනස් නොවන පෞරුෂයන් සහ ප්‍රචණ්ඩ ලෙස ගැටෙන “වර්ග” සහිත කැමරන්ගේ නව නිපැයුම් විශ්වයේ කිසිදු අව්‍යාජ සංකීර්ණතාවයක් නොපවතී.

එක් අපරීක්ෂාකාරී විචාරකයෙක් මෙම චිත්‍රපටය හඳුන්වන්නේ “ජනප්‍රියවාදී අග්‍රගන්‍ය කෘතියක් (masterwork)… ප්‍රවේශ විය හැකි, අවංකව රෝමාන්තික සහ ක්‍රියාදාමයෙන් පිරුණු එකක්” ලෙසයි.  මෙහි “ජනප්‍රියවාදී” යන යෙදුම බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට සමාන හිස් වැකියකට වඩා වැඩි යමක් වේ නම් (එය බොහෝ විට එසේ නොවේ), එය ජනගහනයේ පුළුල් ස්ථරවල කොන්දේසි සහ අවශ්‍යතා ගැන යම් තීක්ෂණ බුද්ධියකින් කථා කරන කෘති වෙත යොමු විය යුතුය.  ප්‍රකාශනය අඩුම තරමින් ධනවතුන්ට සහ බලවතුන්ට එරෙහි වීම ගම්‍ය වේ.

Charlie Chaplin ගේ Modern Times, ජෝන් ෆෝඩගේ The Grapes of Wrath, විලියම් වයිලර්ගේ The Best Years of Our Life සහ ජෝන් හස්ටන්ගේ The Treasure of the Sierra Madre මෙම නිර්වචනයට අනුව “ජනප්‍රියවාදී මාස්ටර්වර්ක්” වේ.  (කිං විඩෝර්ගේ Our Daily Bread එඩ්ගාර් උල්මර්ගේ Ruthless, මයිකල් කර්ටිස්ගේ The Breaking Point, ෆ්‍රිට්ස් ලැංගේ Fury සහ තවත් ඒවා අඩු ප්‍රසිද්ධ චිත්‍රපට ලයිස්තුවට එකතු කළ හැකිය.)

බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය දිරිමත් කරයි යන පදනම මත නවතම චිත්‍රපටයට පක්ෂව කෙරෙන තර්ක ද බරපතළ ලෙස අස්ථානගත වී ඇත.  RDA ප්‍රහාරයේ රුදුරු බව ප්‍රමාණවත් තරම් අව්‍යාජ ය, නමුත් එයින් බොහෝමයක් ක්වාරිච්ගේ පුද්ගලික පරපීඩා කාමුකත්වය සහ පළිගැනීම් වලට ආරූඩ කළ හැකි බව පෙනේ.  චිත්‍රපටයේ ප්‍රධාන උත්සුකය වන්නේ, දෙබස් නිරන්තරයෙන් අවධාරණය කරන පරිදි, පවුල ආරක්ෂා කිරීමයි. (The Way of Water හි විශේෂාංග ගණනාවක් Roland Emmerich-Mel Gibson සුසංයෝගයෙන් නිෂ්පාධිත බිහිසුණු The Patriot, 2000 ගෙනහැර පායි).

සලී: “මට මේ පවුල ආරක්ෂා කළ හැකිය – මට එය කළ හැකිය,” “මේ පවුල අපේ බලකොටුව”, “පියෙක් ආරක්ෂා කරයි, ඔහුට අර්ථය ලබා දෙන්නේ එයයි,” ” පලායාමෙන් මට මගේ පවුල බේරා ගත නොහැක … මෙය අපේ බලකොටුවයි  … මෙතන තමයි අපි අපේ නිවහන හදන්නේ” යනාදී වශයෙන් කියයි.

නව Avatar චිත්‍රපටයේ හරයෙහි උද්ඝෝෂනකාරී කිසිවක් නොමැත.  කැමරන් පැහැදිලිවම පාරිසරික විනාශය ගැන සැලකිලිමත් වන නමුත් ලාභ පද්ධතියෙන් ග්‍රහලෝකයට එල්ල කරන තර්ජනයට එරෙහිව කෝපාවිෂ්ට විරෝධතාවයක් වෙනුවට, ඔහු සාගරයට අපහැදිලි, බාල ගෞරවයක් පෙරට ගනී: “ජලයේ ගමනට ආරම්භයක් හා අවසානයක් නැත,” යි ද “ජලය සියල්ල සම්බන්ධ කරයි” ද යනුවෙන් අපට කියනු ලැබේ. 

කෙසේ හෝ වේවා, ටයිටැනික් හි ඇතැයි කියනු ලබන “රැඩිකල්” දේශපාලන අන්තය පිලිබඳ, වසර විසි පහකට පෙර අප තවදුරටත් අදහස් දැක්වූ පරිදි: “කැමරන් තම ප්‍රේක්ෂකයන්ට එක අතකින් දෙන දෙය – පන්ති සබඳතා පිළිබඳ නොගැඹුරු විවේචනයක් – එයට වඩා වැඩි යමක්, ඔහු ඔහුගේ නිසරු සහ අනුකූල දැක්මට  ගැලපෙන ලෙස ඉදිරිපත් කිරීමෙන්, අනෙක් අතින් ඉවතට ගනී.  මිනිස් හැසිරීම් වල නොපැහැදිලි ස්වභාවයක් නැත;  වේදනාකාරී, විනාශකාරී තීරණ ගැනීමට බලකෙරෙන ගැටළු නොමැත;  සමාජය සහ ජීවිතය පිළිබඳ සෑම දෙයක්ම විනිවිද පෙනෙන හා පැහැදිලි ය;  ලෝකය බැලූ බැල්මට පෙනෙන ආකාරයයි… එය ‘නයික්’ වෙළඳ ප්‍රචාරණයක් තරම් හිස් ය.  මේ කිසිවක් විවේචනාත්මක චින්තනය දිරිගන්වන්නේ කෙසේද?”

“වේදනාකාරී … තීරණ” අවශ්‍ය වන “නොපැහැදිලිතාවයන්” හෝ “ගැටළු” නොමැති බැවින්, “විනිවිද නොපෙනෙන” සහ “මතුපිටින්ම පැහැදිලි නොවන” ධාරා සහ අන්තර් සම්බන්ධතා වලට යටින් එබී බැලීම කාර්යය වන අව්‍යාජ කලාවක කලාත්මක බවක් අවශ්‍ය නොවේ.  සමෘද්ධිමත් සහ තෘප්තිමත් තාක්ෂණ ශිල්පී-ඉංජිනේරුවා සඳහා, කලාව සහ සංකීර්ණත්වය සඳහා එහි දැඩි බැඳී සිටීම බොහෝ දුරට නිෂ්ඵල එකක් වන අතර, යන්තම් නොරිස්සන සුලු ව්‍යාකූලත්වයට වඩා ටිකක් වැඩි යමක් ය.

Original article and Images courtesy of wsws.org 

#theSocialistLK

Avatar: The Way of Water – ජේම්ස් කැමරන්ගේ නවතම උත්සාහය Read More »

Scroll to Top