COLOMBO

සෞඛ්‍ය කප්පාදුව හමුවේ ඩෙංගු රෝගය ව්‍යවසනකාරී ලෙස පැතිරේ 

විජිත කරුනාරත්න විසිනි

මේ වසරේ මුල් මාස 6 තුල  මාරන්තික ඩෙංගු රෝගය පැතිරීම වේගයෙන් ඉහල ගොස් තිබේ. රජයේ වෛද්‍ය සංගමය,  ජාතික ඩෙංගු මර්දන ඒකකය ඇතුලු සිවිල් සංවිධාන ඒ පිලිබදව  අනතුරු අගවා ඇත. 

COLOMBO
කොලඹ ඩෙංගු අවදානම් කලාපයකි

වෛද්‍ය සංගමය පෙන්නා දුන් ආකාරයට මේ වසරේ සෑම සතියකම රටපුරා ඩෙංගු රෝගීන් 2500 ක් සොයා ගැනේ. ගෙවී ගිය මැයි මාසයේ පලමු සති දෙක තුල  ඩෙංගු රෝගීන් 4000ක් වාර්තා කෙරුණි. මේ මස මැද වන විට පමනක් රෝගීන් සංඛ්‍යාව 5126ට වැඩි විය. පසුගිය වසර කීපය හා සැසදීමේ දී එය බරපතළ  ඉහල නැගීමක් යැයි වෛද්‍ය සංගමය අනතුරු අගවයි. මේ වසරේ මුල් මාස 5 ඉක්මනවාත් සමග  ඩෙංගු රෝගී සංඛ්‍යාව 47,685ක් හා මරන ගනන 27ක් ද ක්වා ඉහල  නැගුනි.

2022දී ඩෙංගු රෝගීන් 76000ක් හා මරන 72ක් වාර්තා වී තිබුනි.

වසර 30ට ආසන්න කාලයක් ඩෙංගු රෝගය පැතිරී අද දවසේ  එය වඩාත් උග්‍ර තත්ත්වයට  පැමිනීමත් එයින් කුඩා දරුවන් ඇතුලු ගැහැනු, පිරිමි  මරනයට ගොදුරු වීමට ඉඩ හැරීමෙනුත් පෙන්නා ඇත්තේ, රෝගය පාලනය  හා මර්දනය කෙරෙහි ආන්ඩුව දක්වන දුෂ්ඨ නොතැකීමේ ස්වභාවය යි.

වානිජ අගනගරය වන කොලඹ ද ඇතුලත් නාගරීකරනයට ලක් වූ දිස්ත්‍රීක්ක තුනක් පිහිටි බස්නාහිර පාලාතේ ඩෙංගු  රෝගීන්  වැඩි සංඛ්‍යාවක් වාර්තා  වීමෙන් එය වඩාත් තහවුරු  වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව, බස්නාහිර පාලාතෙහි සොයාගත් රෝගීන් සංඛ්‍යාව 22,234කි. ඊට අයත් දිස්ත්‍රික 3 හි වැඩිම රෝගීන් සංඛ්‍යාව  වන 9884 වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. අනිත් දිස්ත්‍රික 2ක  වන කොලඹ  හා කලුතර පිලිවලින් 7,717 ක් හා 2,246 ක් වශයෙන්  රෝගීන් වාර්තා විය.

දිවයිනේ තීර්නාත්මක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ අනිකුත් දිස්ත්‍රික වන්නේ නුවර , රත්නපුර  හා ගාල්ල යි. ජුනි 16 ලංකාදීප වාර්තාවට අනුව ඉකුත් සතියේ පමනක්  රටපුරා හමුවූ ඩෙංගු උන රෝගීන්  ගනන  2,730කි. එය ඊට පෙර සතියට වඩා සියයට 14න් වැඩි වීමකි.

අවුරුදු  තිහකට ආසන්න යුද  තත්ත්වයක් යටතේ ජීවත් වීමට බල කෙරුනු පීඩිත දෙමළ   ජනයා අතර ඩෙංගු  උණ පැතිරීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඒ අනුව නැගෙනහිර පලාතේ රෝගී ගනන 4488කි. එහි ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් රෝගීන් 1,578ක් හා මඩකලපුවෙන් 1,636ක් වාර්තා විය. පුත්තලම ප්‍රදේශයේ ද ඉහල අගයක් වාර්තා වේ.  පහල ආර්ථික  ජීවිතයක්  හිමි හා සෞඛ්‍ය  පහසුකම් නොමැතිව  ජීවත් වන එම ප්‍රදේශයේ  දුගී ජනයා රෝගී තත්වය නිසා ඇද දමනු ලබන්නේ  කබලෙන් ලිපටයි.

 මේ තතු යටතේ රටපුරා සෞඛ්‍ය කොට්ඨාස 355න් 67ක් අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කොට ඇත. කොලඹ දිස්ත්‍රික්කයේ  පමනක් හදුනාගත් ප්‍රදේශ 14කි. එබදු ජීවිත බිලි ගන්නා අනතුරුදායක තැන් දිනපතා දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍යය අංශ පිලිගෙන තිබේ. එසේ දැඩි අවදානයට යොමු වූ ප්‍රදේශ අතර කහතුඩුව, සූරියවැව, ඔකේවෙල, මුලතිව්, පන්නල, රත්නපුරය, රුවන්වැල්ල, වරකාපොල, කල්පිටිය, ඉබ්බාගමුව, කුරුනෑගල ඇබිලිපිටිය, වත්තේගම හා බලපිටිය ප්‍රධාන වේ.

1989 වකවානුවේ ඇරඹි ඩෙංගු වසංගතය 2000 වසරේදී  ලංකාවේ සමාජ-ආර්ථිකයට, රටේ පොදු සෞඛ්‍ය සේවයට බලගතු බලපෑම් කිරිමේ තැනකට පැමිනියේ ය. 2004  ඩෙංගු පැතිරීම ඉහල නැගි තතු යටතේ  කල් මරමින් සිටි සෞඛ්‍ය  අමාත්‍යාංශය, 2005 දී එය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන ඒකකය පිහිටුවාලීය. හදිසි තත්ත්වයකට මුහුණ දීම, රෝගය නිවාරනය හා පාලනය  ආදිය එහි එල්ලය හැටියට ප්‍රකාශයට පත් කලේය. නමුත් ආන්ඩුවේ ඊනීයා රෝගය ‘නිවාරනය හා පාලනය ‘ යටතේ  2009- 2014 වසරවල  ඩෙංගු පිම්මේ ඉහල නැගී ය. එම වසරවල දී ඩෙංගු රෝගීන් 28,000ත් 40,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා කෙරුණි. 2017දී එය 1,86,101 දක්වා නැගුනි. ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තාවන්ට අනුව ජනගහනයට අනුපාතිකව 2016 දී 1,00,000ට රෝගීන් 271.9කි. 2017 දී එය 1,00,000ට 865.9ක් විය. ගෙවී ගිය වසරවල රෝගය පාලනයකට ලක් නොවුනා පමනක්  නොව කොවිඩ් වසංගතය  මද්‍යයේ  ඊට මහාජනයාගේ අවදානය  යොමු  නොකිරීමට ආන්ඩුව වග බලා ගත්තේය. ඊට සමාන්තරව ධනපති මාධ්‍ය යොදා ගනිමින් ඩෙංගු  අනතුර පහව ගොස් ඇතැයි ආන්ඩුව ප්‍රෝඩාකාරී ප්‍රචාරයක් ගෙන ගියේය . තතු එසේ වුවද මේ වසරේ ආරම්භයේ ම ඩෙංගු පිම්මේ ඉහල නැගීම මගින් ආන්ඩුවේ ප්‍රෝඩාකාරිත්වය මහජනයා ඉදිරියේ එලිදරව්  කෙරුණි.

මේ කොන්දේසි යටතේ  නින්දෙන් අවදි වූවන් සේ හැසිරෙන ආන්ඩුව  ව්‍යවසනය හදිසියේ පැනනැගුනක්  ලෙස මවාපෑමට උත්සාහ දරති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේ ඩෙංගු කාර්‍ය් සාධක බලකායකට උපදෙස් දිමත්, ජුනි 22දා සිට ක්‍රියාත්මක  වන පරිදි ජනාධිපති කොමිෂන් 2ක් පත් කිරිමත් ධනපති ආන්ඩු මෙබඳු ව්‍යවසන අවස්ථාවල්දී මහජනයා මුලා කිරීමට  මවාපාන වංචාවේ ම කොටසකි.

එහිම තවත් පැත්තක් වන්නේ, වසංගතය පැතිරීමේ වගකිම මහජනයා මත හෙලීමට ආන්ඩුව ගෙනයන ප්‍රචාරයන් ය. ඊට ධනපති මාද්‍ය වලින් ලැබෙන තල්ලුව කොතරම්ද යන්න ජුනි19දා ලංකාදීප පුවත්පතේ කතුවැකියෙන් පෙන්නුම් කරයි. එ⁣ය මෙසේ කියයි:

“ඇතැම් ගෙවතු මෙන්ම වතුපිටි ද මදුරු තවාන් බවට පත්ව තිබේ. සමහරු ඉතා නොසැලකිලිමත් ලෙස ද කටයුතු කරති. ඇතැම් වතුපිටි පාලුවට හැර ඒවා ඩෙංගු මදුරු තවාන්  බවට පත්වීමට ඉඩහැර ඇත. එබන්දන්ට එරෙහිව නීතිය තදින්  ක්‍රියාත්මක  කල යුතුය.”

ඩෙංගු පාලනය හා මර්දනය අතහැර සිටින වික්‍රමසිංහ ආන්ඩුව  සියලු වගකීමෙන් ලිහා හරින කතුවැකිය මහජනයා  මතම එකී වගකීම  පටවමින් “රට නිරෝගි සම්පන්නව තබා ගැනීමට දායක වීම සියල්ලන්ගේ ම වගවගකීම  හා යුතුකම වේ” යයි ලියයි.

ආන්ඩුවේ නිලධාරීන් යොදා ගනිම්න් පීඩිත ජනයාට එරෙහිව දිගේලි කරන පීඩාවන් හා දඩයම අනිත් කාරනයයි. ඒ සදහා පොලිසිය හා මහජන  සෞඛ්‍යය නිලධාරීන් යොදා ගැනේ. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා සේවකයන් බලහත්කාරයෙන් යොදා ගැනෙන බවට චෝදනා එල්ල වේ.

ආන්ඩුව මේ ඊනීයා මෙහෙයුම සිදු කරන්නේ ඔවුන් ම හදුනාගත් ඩෙංගු බෝවෙන තැන්වල නොවේ.  ජීවිතය අමාරුවෙන් ගැටගසා  ගන්නා කම්කරුවන් හා පීඩිත ජනයා වෙසෙන නිවාස ප්‍රදේශයන්හී ය. රෝගය බෝවීමේ ඉඩකඩ ඇති, අවම පහසුකම් පවා අහිමි එකී ප්‍රදේශයන්හි ජීවත් වන ජනයා  රෝගය පතුරුවන්නන් හැටියට චෝදනා කොට උසාවි වල නඩු පවරා දඩයන්ට යටත් කිරීම නිලධරයන්ගේ රාජකාරිය වේ. රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ මේ ජනයා ය යන්න අන්ඩුව හොඳින් දනී. 

එහෙත්, එය වසංගතයක් ලෙස පීඩිත මහජනයා ගොදුරුකර ගනු ලැබීම වැලැක්වීම මෙම මහජනයා  ජීවත්වන දුක්ඛිත, කටුක හා කාලකන්නි ජීවන කොන්දේසි බිඳ දා සෞඛ්‍යමත් නිවාස, නිවහන් ප්‍රදේශ හා පරිසරයක් නිර්මානය කිරීමේ දැවැන්ත සුභසාධන ආයෝජන සිදුකල යුතු වීම මත රඳා පවතී. නය බරින් මිරිකී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නිර්දේශ ක්‍රියාත්ම කරමින් සිටින ආන්ඩුව එවැනි වැඩපිලිවෙලට සූදානම් නැත. ආන්ඩුවේ මේ  සියලුම  උපාමාරුවල එල්ලය වන්නේ, ඩෙංගු  වසංගතයක් කරා වර්ධනය වීමේ දී  තමන්ට එල්ල වෙන චෝදනාවන්ගෙන් බේරී, එය පීඩිත මහජනයාගේ කර උඩ පැටවීමට ය.

ඩෙංගු, කොවිඩ් ඇතුලු බෝවෙන රෝග යලි හිස එසවීම, ආන්ඩුව පොදු සෞඛ්‍යය සේවයේ රාජ්‍ය වියදම් කපාහැරීමත් ඒවා ජාත්‍යන්තර ඖෂධ සමාගම්  හා පෙල ගැසී සිටින  ධනපති මාෆියාවට  ගසා කෑමට ඉඩ හැරීමේත් දුර්විපාක වේ.  රටපුරා රජයේ රෝහල්වල දැන් පවතින බරපතල ඖෂධ  හිඟය එහි ප්‍රතිඵලක් යන්න එලිදරව් කෙරුනු සත්‍යයකි.

රෝහල් වාර්තාවන්ට අනුව හා සෞඛ්‍යය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ද පිලිගෙන ඇති පරිදි ලේඩි රිජ්වේ, අපේක්ෂා ඇතුලු රෝහල් ගනනාවක් පවත්වාගෙන යන්නේ ආධාර වශයෙන් ලැබෙන  ඖෂධ  හා මුදල් මගිනි. 

සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පවතින අර්බුදයට සෞඛ්‍යය සේවක හිඟතාව, ⁣⁣⁣⁣⁣ෙඖෂධ, වෛද්‍ය  උපකරන හා ප්‍රමානවත් ගොඩනැගිලි පහසුකම් නැතිකම, වෛද්‍යවරුන් විශාල වශයෙන් සේවය හැර යාම ද ඇතුලත්ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිවේදනයකට අනුව 2022 වසරේ විදේශ ගත වූ වෛද්‍යවරු සංඛ්‍යාව 500කි. මේ වසරේ දී එය 800 ඉක්මවනු ඇතැයි සංගමය අනතුරු අගවයි.

2022 අයවැයෙන් සෞඛ්‍ය  සේවාවේ වියදම රුපියල් බිලියන 232ට කපා දැමු අන්ඩුව මහජන අරගල මර්දනයේ ප්‍රදාන උපකරනය වූ මිලිටරි-පොලිස් වියදම් රු.බිලියන 539ක් දක්වා වැඩිකර ගැනීමෙන් සෞඛ්‍යය සේවයට උරුමකරන ඉරනම පෙන්නුම් කර ඇත.  

කොවිඩ්-19 ව්‍යවසනයෙන් හා දිවයින පුරා යලි හිස ඔසවන බෝවන රෝග තත්ත්වයන්  හා පොදු  සෞඛ්‍යය සේවාව උදුරා ගැනීම  ධනපති   පන්ති පාලනය යටතේ මහජනයාට උරුම කරනු ලබන දේවල් වේ. මහජනයා එය පිලිගත යුතු නැත.

කම්කරු පීඩිත මහජනයාගේ ජීවිත පරදුවට තබා තම මූල්‍ය පද්ධතිය හා ආර්ථිකය රැකගැනීමට කැපවීගත් ලොව පුරා ආන්ඩුවල තරම මෑතදීම පැහැදිලි කෙරුනේ කොවිඩි වසංගතයට අඩු තරමින් මිලියන 21ක් ජනයා බිලිකරනු ලැබූ මහා සමාජ අපරාධයකිනි.  බැංකු ගලවා ගැනීමට හා  යුද්ධයට ඩොලර් ට්‍රිලියන ගනනින් වැය කරන මේ ආන්ඩු මහජනතාවගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, සංස්කෘතිය හෝ ජීවත් විය හැකි පරිසරයක් වැනි මහජන අවශ්‍යතා සඳහා වියදම් දැවැන්ත පරිමානයෙන් කපා හරිමින් සිටී. වසංගත ඇතුලු ස්වාභාවික විපත් එක් අතකින් එලෙසම ‘ස්වාභාවිකවම’ සිදුවන්නේ නොවේ. අනික් අතට ඒවා නිසා මිලියන ගනනින් කම්කරු, පීඩිත  මහජනතාවට සිදුවන  ජීවිත හා දේපල හානිය වලක්වා ගැනීමේ සැබෑ පන්ති අවශ්‍යතාවයක් පාලක පන්තීන්ට නැතුවා පමනක් නොව අති බහුතරයක් කුඩා ජාතික ආර්ථිකයන් හිමි ජාතික රාජ්‍ය පද්ධතිය තුල ඒවා විසඳනු නොහැකි ය. 

රෝග පැතිරීම පාලනය හා මර්දනය සදහා නවීන විද්‍යාවේ දියුනුව හා තාක්ෂණය මහජනයාට යොදා ගත හැක්කේ ලාභ පිපාසාවෙන් දිවෙන ධනවාදි ක්‍රමය තුල  නොව  එකී ධනපති  ආර්ථිකය අහොසි කොට එය අති බහුතරයේ උවමනාවන් සපුරාලීමට බැදීගත්  කම්කරු  පන්තියේ   ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනය යටතට ගැනීමෙන් ය. 

⁣මහජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂා කරගැනීමේ, ඒ සඳහා මහත් සේ ධනය හැරවීමේ කාර්යය කම්කරුවන් තමන් අතට ගැනීම එමගින් අදහස් කෙරේ. ලාභ පදිධතියට ගැටගැසී පවතින වෘත්තීය සමිති වලින් මිදී කම්කරුවන් තමන්ගේම ස්වාධීන බල සංස්ථා ගොඩනගා ගැනීම මෙම සටනේ පලමු හා අත්‍යවශ්‍යම පියවරයි.

සෞඛ්‍ය කප්පාදුව හමුවේ ඩෙංගු රෝගය ව්‍යවසනකාරී ලෙස පැතිරේ  Read More »