අධිරාජ්‍යවාදය තමන්ම පනවා ගත් සීමා බිඳිමින් යුක්‍රේනය හිස සිට දෙපතුල දක්වා සන්නද්ධ කරයි

මිගාර මල්වත්ත විසිනි.

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාළ ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සකස් කරන ලද්දකි. මෙම ලිපිය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

ඇමරිකා එක්සත් ජනපදය හා නැටෝව, යුක්‍රේනය හිස සිට දෙපතුල දක්වා වහා සන්නද්ධ කිරීමේ භයානක ක්‍රීඩාව නව අදියරකට ගෙන යමින්, යුද්ධය කරා වන සිය ධාවනයේ දී සියලු සීමා තරනය කිරීමට ඇති සිය සූදානම එලිමහනේ ප්‍රදර්ශනය කරමින් සිටී. ඔවුන් මෙම අන්තරායකාරී ක්‍රියා මාර්ගය පෙරට ගෙන යමින් සිටින්නේ නව උපාය මාර්ගික අවි අඩු කිරීම සඳහා 2010 දී ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව අතර අත්සන් තබනු ලැබ 2021 දී යළි දීර්ඝ කෙරුණු START ගිවිසුම ද අනතුරේ හෙලමිනි. මෙකී ගිවිසුම යටතේ මෙම දෙරටට ම, උපාය මාර්ගික න්‍යෂ්ටික අවි යෙදවිය හැක්කේ 1550 ක උපරිමයකට යටත්ව ය. නැටෝ යුද ව්‍යාපාරයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය මාර්තු 1 වන දින සිට එකී ගිවිසුමේ රුසියානු භූමිකාවෙන් තාවකාලික ව ඉවත්වීම නිවේදනය කලේය.  

එක්සත් රාජධානියේ චැලෙන්ජර් 02 හා ජර්මනියේ ලෙපර්ඩ් 02 යන තුන්වන පරම්පරාවට අයත් නවීනතම යුධ ටැංකි යුක්‍රේනය අතට පත් කරනු ලැබ, දැනටමත් යුද මෙහෙයුම්වල යොදවා ඇත. එසේම, යුක්‍රේන හමුදාවට එක්සත් ජනපදය සතු අතිනවීන M1 ඒබ්‍රහම් යුධ ටැංකි පිළිබඳ පුහුණුව ජර්මනියේ දී ලබා දීමට යයි.

ඇමෙරිකානු GMLRS (Guided Multiple Launch Rocket System) මිසයිල සහ ඒවා වෙඩි තැබීමට හිමාර්ස් (Himars) වාහන දැනටමත් යුක්‍රේනය සතුව ඇති අතර, ඒවා සැතපුම් 60ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දීමට යොදා ගත හැකිය. තවද , එක්සත් ජනපදය දැනටමත් සැතපුම් 93 ක පරාසයක් සහිත බිම් මට්ටමේ දියත් කෙරෙන කුඩා විෂ්කම්භයක් සහිත බෝම්බ (GLSDB) යුක්රේනයට ලබා දී ඇත.

එක්සත් ජනපදය හා නැටෝව මෙසේ යුක්‍රේනය වෙත ලබා දෙන ලබන යුද ආධාර ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද දිනෙන් දින ඉහළ නංවමින් සිටින්නේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගිය මැයි මාසයේදී, “අප රුසියාවට පහර දෙන රොකට් පද්ධති යුක්‍රේනයට යැවීමට සැරසෙන්නේ නැතැ,” යි නිශ්චිතවම කරන ලද ප්‍රකාශය ද පසෙක ලමිනි. එක්සත් රාජධානිය, යුක්‍රේනයේ සිට රුසියානු භූමියට හා ක්‍රිමියාවට පහර දීමේ හැකියාව ඇති ස්ටෝර්ම් ෂැඩෝ කෲස් නම් දිගු දුර මිසයිල යුක්රේනයට යවා ඇත. යුක්රේන පාලනය යටතේ පවතින භූමිය සහ, ක්‍රිමියාවේ විශාලතම නගරය ද, රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානය ද වන සෙවාස්ටොපෝල් අතර දුර, “Storm Shadow” දිගු දුර මිසයිලයේ පරාසය ඇතුලත පවතී. මෙම මිසයිලයේ පරාසය නිල වශයෙන් කිලෝමීටර් 250 (සැතපුම් 155) ක් වන නමුත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු තවත් අයගේ ඇස්තමේන්තු අනුව එය සැතපුම් 250 හෝ ඇතැම්විට සැතපුම් 350 ක උපරිම පරාසයක් වුව ගත හැකි බවට අදහස් ඉදිරිපත් වී තිබේ. මේ අනුව බටහිරින් දිගු දුර ප්‍රහාරාත්මක අවි ලබා ගත් පලමු රට බවට පත්වන්නේ යුක්‍රේනය යි. මෙම මිසයිලය ලබාගත් සැනින්ම, යුක්‍රේනය විසින් නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු පාලනය යටතේ පවතින ලුහාන්ස්ක් නගරයේ කාර්මික ස්ථාන දෙකකට පහර දුන් බව රුසියාව තහවුරු කළේය.

මීට අමතරව බක්මුට්හි යුක්‍රේන හමුදාවට සිදු වූ පරාජයට එරෙහිව, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයට F-16 ප්‍රහාරක ජෙට් යානා යැවීමට නැටෝ සන්ධානයේ සාමාජිකයින්ට බලය පවරා ඇති බව නිවේදනය කලේය. එම යානා පැදවීමට අවශ්‍ය යුක්‍රේන ගුවන් නියමුවන් පූහුණු කිරීමට එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය හා බෙල්ජියම යන රටවල් දැනටමත් සන්ධාන ගත වී ඇත. ඩෙන්මාර්කය මෙම ගුවන් නියමුවන් පුහුණු කිරීම දැනටමත් අරඹා ඇත.

F-16 සහ අනෙකුත් ප්‍රහාරක ජෙට් යානා යෙදවීම රුසියාවට දරා ගත නොහැකි කොන්දේසි නිර්මානය කරනු ඇත. F-16 යානාවලට සැතපුම් 500 කට වඩා වැඩි පරාසයක් ඇති අතර, එයට සැතපුම් 1,200 කට වඩා වැඩි පරාසයක් සහිත මිසයිල යෙදවීමට හැකියාව ඇත. එය යුක්‍රේන හමුදාවට මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් දක්වා ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලබා දෙයි

වඩාත්ම වැදගත් කාරනය නම්, F-16 යානාවලට උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි වීමයි. මෙය අතිශය භයානක තත්වයක් නිර්මානය කරනු ඇත.

falcon
උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි F-16 සටන් Falcon ගුවන් යානා 2022 මැයි 8 වැනි දින එක්සත් ජනපද ගුවන් හමුදා මධ්‍යම ප්‍රදේශයේ ගුවන් මෙහෙයුම් සිදු කරයි. [ඡායාරූපය: එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව/ගුවන් හමුදා මාස්ටර් සාජන්ට්. මැතිව් ප්ලූ]

බ්‍රැඩ්ලි සටන් වාහන 15ක්, ස්ට්‍රයිකර් සන්නද්ධ පිරිස් වාහක 10ක්, ආරක්ෂිත සන්නිවේදන උපකරණ සහ කුඩා අවි උණ්ඩ මිලියන 22කට අධික ප්‍රමාණයක් ඇතුළුව තවත් ඩොලර් මිලියන 325ක ආයුධ යුක්රේනයට එවන බව මේ අතර එක්සත් ජනපදය නිවේදනය කළේය.

ඊට අමතරව, මෙතෙක් කලක් නොයැවිය යුතු අති භයානක අවි ලේඛනයේ තිබූ ATACMS මිසයිල පද්ධතිය යුක්රේනයට යැවීමට ධවල මන්දිරයේ විදේශ කටයුතු කමිටුව ජූනි 21 දින යෝජනාවක් සම්මත කළේය.

ATACMS හට සැතපුම් 190කට වඩා වැඩි පරාසයක් ඇති අතර, එය දැනටමත් ලබාදී ඇති HIMARS මිසයිල දියත් කිරීමේ පද්ධතිය භාවිතා කර මුදා හැරිය හැක.

මේ සමගම පොකූරු බෝම්බ නමින් හැඳින්වෙන වඩාත් විනාශකාරී ආයුධ පද්ධතිය ද යුක්‍රේනයට යැවීමට එක්සත් ජනපදය මේ වන විට තීරණය කර ඇත.

ලෝකයේ හත්වන ප්‍රධාන සමාගම මෙන්ම බ්‍රිතාන්‍ය ප්‍රධාන ආයුධ නිෂ්පාදකයා වන BAE සිස්ටම් සමාගම, ආයුධ තැනීමේ අරමුණෙන් යුක්‍රේනය තුල කාර්යාලයක් විවෘත කිරීමට යයි. එමගින් අවිආයුධ ආනයනයකින් තොරව යුද්ධය සඳහා ඍජුවම ආයුධ සැපයීමේ හැකියාව ඇති කරයි. 

යුද්ධය ආරම්භයේ පටන් ජර්මනිය, ද්විපාර්ශවික සහයෝගය මත යුක්‍රේනයට පමනක් යුරෝ බිලියන 17ක් වන යුද්ධාධාර ලබා දුන් අතර, ඒ අනුව, එක්සත් ජනපදයට පසුව යුක්‍රේන යුද්ධයේ දෙවැනි විශාලතම ආධාරකරුවා වන්නේ ජර්මනිය යි. මෙම ආධාරය තවත් දිගු කරමින්, මාර්තු 13 වැනි දා, ජර්මානු ආන්ඩුව යුක්‍රේන හමුදාව සඳහා මිලිටරි ආධාරවල යෝධ වැඩි කිරීමක් නිවේදනය කලේ ය. “මේ දක්වා යුක්‍රේනයට ලබා දෙන විශාලතම මිලිටරි ආධාර පැකේජය ජර්මනිය විසින් සූදානම් කරමින් සිටී” යි විදේශ කාර්යාලය ට්විටර් පනිවුඩයක ලීවීය.

යුරෝ බිලියන 2.7ටත් වඩා වටිනා, කාලතුවක්කු, ගුවන් ආරක්ෂාව, සන්නද්ධ සටන් වාහන සහ මිලිටරි ඉංජිනේරුමය ආයුධ, විශේෂයෙන් ම, ලියෝපෝල්ඩ් 1 ඒ5 සටන් ටැංකි 30ක්, කාලතුවක්කු සමග සටන් වදින මාඩර් වාහන 20ක්, කෙටි තුවක්කු 18ක්, සන්නද්ධ සටන් රථ 100ක්, අයිරිස්-ටී එස්එල්එම් ගුවන් ආරක්ෂක පද්ධති 4ක් සහ අයිරිස්-ටී එස්එල්එස් යානා දියත් කරනයන් 12ක් සමගින් සහකාරක මිසයිල හා කාලතුවක්කු ආයුධ එම පැකේජයට අඩංගු වේ.

යුක්‍රේනය දියත් කරන ලද “වසන්ත ප්‍රතිප්‍රහාරයේ” දී ජර්මන් ලෙපර්ඩ් 02 යුද ටැංකි විශාල ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බැවින්, දින කිහිපයකට පෙර ජර්මනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එය ඌන පූර්ණය කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ , ලෙපර්ඩ් 02 යුධ ටැංකි දුසිම් ගණනක් යුක්‍රේනය වෙත යවන බවයි.

මීට අමතරව, යුද ටැංකි හා අනෙකුත් ආයුධ පද්ධති ඍජු ව ම යුක්‍රේනය තුල නිෂ්පාදනය කිරීමට, ජර්මානු ආරක්ෂක කර්මාන්තය සැලසුම් කරමින් සිටී. යුක්‍රේනියානු රාජ්‍යයට අයත් යුක්‍රෝබොරොන්ප්‍රෝම් සමාගම සමග යුද ටැංකි අලුත්වැඩියා කිරීමේ හා නිපදවීමේ බද්ධ ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට රයින්මෙටල් සංගතය ක්‍රියා කර ඇත. යුද ටැංකි පිලිබඳ මෙම සහයෝගිතාව “විස්තීර්න සහයෝගිතාවක පලමු පියවර පමනි” යි හැන්ඩල්ස්බ්ලාට් පුවත්පත ලියයි. එලඹෙන දවස්වල දී “යුද්ධෝපකරන හා ගුවන් ආරක්ෂාව යන අංශ වෙනුවෙන් වන තවත් බද්ධ ව්‍යාපාර දෙකක් සඳහා අත්සන් තැබෙනු ඇතැ” යි එහි තවදුරටත් සදහන් විය.

දැන් ජර්මානු අධිරාජ්‍යවාදය යලි වතාවක් යෙදී ගෙන සිටින්නේ, සෝවියට් සංගමයට සහ රුසියානු අධිරාජ්‍යයට වරක් අයත් වී තිබුනු යුක්‍රේනය සහ අනෙකුත් රටවල්, මොස්කෝවේ බලපෑම් කලාපයෙන් ඉවත් කොට, ඒවා ජර්මානු-ආධිපත්‍යය සහිත යුරෝපා සංගමයෙහි පාලනය යටතට ගෙන ඒමේ ධාවනයේ ය.

10 ජූනි සෙනසුරාදා, කියෙව් වෙත හදිසි සංචාරයක දී, කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ, යුක්රේන තන්ත‍්‍රයට තවත් C$ මිලියන 500 ක මිලිටරි ආධාරයක් ලබා දුන් අතර, එක්සත් ජනපද-නේටෝව 2022 පෙබරවාරිියේ රුසියානු ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමණය අවුලුවා ලූ දා සිට, ඩොලර් බිලියන 1 කට වැඩි මිලිටරි ආධාර ඇතුළුව, ඔටාවා දැනටමත් කියෙව් පාලනයට ඩොලර් බිලියන 8 කට වඩා ආධාර ලබා දී ඇත. 

2015 දී දියත් කරන ලද යුක්රේන හමුදාව සඳහා පුහුණු වැඩසටහන වන Operation Unifier, 2026 වසර දක්වා දීර්ඝ කිරීමට කැනඩාව කැපවී ඇත. කැනඩාව දැන් යුක්රේන ගුවන් නියමුවන් F-16 ප්‍රහාරක ජෙට් යානා පැදවීමට පුහුණු කිරීමට යයි. අන්ත දක්ෂිනාංශික යුක්රේන කැනේඩියානු කොන්ග්‍රසයේ මාධ්‍ය නිවේදනයකට අනුව, ආධාර පැකේජයට මිලිමීටර් 105 පතොරම්, ASM මිසයිල (ගුවනේ සිට ගොඩබිමට පහර දෙන මිසයිල වර්ගයකි) සහ පෝලන්තයේ ටැංකි නඩත්තු මධ්‍යස්ථානයක් ද ඇතුලත් වේ.

2022 පෙබරවාරි මස රුසියානු යුක්‍රේන ආක්‍රමණයෙන් පසු තුන් වන වරටත් කියෙව් වෙත පැමිණි, යුරෝපා සංගමයේ කවුන්සිලයේ සභාපති ලෙස හය මසක කාල පරිච්ඡේදයකට පසුගිය ජූලි 01 වන දින වැඩ භාරගත් ස්පාඤ්ඤ වැඩ බලන අගමැති පෙඩ්‍රො සන්චෙස්, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙනිස්කි සමග පැවති රැස්වීමේදී, රුසියාවට එරෙහිව විශ්මය දනවන යුද උත්සන්න කිරීමක් සඳහා නේටෝ සැලසුම් මත යුරෝපා සංගමය මුලුමනින්ම පෙලගැසී ඇති බව පැහැදිලි කලේය. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ප්‍රධාන රාජ්‍යයක් වන රුසියාව සමග සම්පූර්ණ යුද්ධයකට මග පාදන වැඩපිළිවෙලක් සකස් කරමින්, “ගෙවිය යුතු මිල කුමක් වුවත්” යුක්‍රේනයට යුරෝපා සංගමයේ සහයෝගය ලබා දෙන බවට සන්චෙස් පොරොන්දු විය.  

මේ සමගම, ස්පාඤ්ඤය ද යුරෝ මිලියන 55 ක් වටිනා අතිරේක ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට යයි. මැඩ්රිඩ් විසින් මාස දෙකකට පෙර දැනටමත් යවනු ලැබ ඇති ලෙපර්ඩ් 2 යුධ ටැංකි හයට අමතරව තවත් ලෙපර්ඩ් 2 යුධ ටැංකි හතරක්, සන්නද්ධ පිරිස් වාහකයන් සහ ශල්‍ය උපකරණ සහිත ජංගම ක්ෂේත්‍ර රෝහලක් ද එවීමට නියමිතව ඇත.

යුක්‍රේනය සන්නද්ධ කිරිමේ කටයුත්ත කෙතරම් ජයට සිදු වේද යන්න, නේටෝ හා සමීපව කටයුතු කරන නමුත්  එහි සමාජික නොවන රටවල් විසින් යුක්‍රේන යුද්ධය සඳහා සිදු කරනු ලබන දායකත්වය තුලින් පෙනේ. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව හා ස්වීඩනය මෙහිදී, නම් කල හැක.

මැයි මාසයේ දී නවසීලන්තය අතිරේක ඩොලර් මිලියන 5.3ක් යුක්‍රෙනයට ලබා දීම ප්‍රකාශයට පත් කල අතර, එය, කියෙව් පාලනය සඳහා නවසීලන්තයේ සම්පූර්ණ මිලිටරි සහ මිලිටරි නොවන සහාය ඩොලර් මිලියන 78 දක්වා ගෙන එයි. ආයුධ සහ පතොරම් සඳහා අරමුදල් සැපයීම සහ රුසියානු නායකයින්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අරමුදල් සැපයීම මෙයට ඇතුළත් ය.

නවසීලන්තයේ මෙම මූල්‍යමය සහාය යුක්‍රේනයට මූල්‍යමය ආධාර කරන අනෙකුත් රටවල මූල්‍යමය ආධාර සමග සැසඳීමේදී සුළු වුවත්, මෙම යුද්ධයට නවසීලන්තය දක්වන ක්‍රියාශීලී දායකත්වය සැලකිය යුතුය.

මන්දයත්, බ්‍රිතාන්‍ය සාලිස්බරි ප්ලේන් හමුදා පුහුණු මධ්‍යස්ථානයෙහි නවසීලන්ත ආරක්ෂක හමුදා (NZDF) භටයින් 440 යොදවා ඇති අතර, මේ වන විට ඔවුන් යුක්රේනියානුවන් 1,000 කට වැඩි පිරිසක් පුහුණු කර ඇත.

ජූනි 25 දින, ඕස්ට්‍රේලියානු කම්කරු රජය  යුක්රේනයට තවත් ඩොලර් මිලියන 110 ක ආධාරයක් ප්‍රකාශයට පත් කළ අතර, එය වසරකට මඳක් වැඩි කාලයක් තුල ලබා දී ඇති සම්පූර්ණ ආධාර මුදල ඩොලර් මිලියන 790 දක්වා ඉහළට ගෙන ගියේය. යුක්රේන යුද ප්‍රයත්නයට නේටෝ නොවන වැදගත්ම දායකත්වය සපයන්නන්ගෙන් කෙනෙක් ලෙස  ඕස්ට්‍රේලියානු  ආන්ඩුව නම් කල හැක.

මේ අතර, F- 16 ජෙට් යානා යූක්‍රේනයට යවන බවට නේටෝ විසින් කරන ලද නිවේදනයත් සමගම, ඕස්ට්‍රේලියාව විසින් F/A – 18 හෝර්නට් ප්‍රහාරක ජෙට් යානා 41 යුක්‍රේනයට යවන බව නිවේදනය කළේය.

ස්වීඩනය ද පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී යුක්රේනය සඳහා ප්‍රධාන ආයුධ පැකේජයක් ප්‍රකාශයට පත් කරන ලදී . ආචර් 155-මිලිමීටර් හොවිට්සර් අටක්, ස්ට්‍රිඩ්ස්වැගන් 122 ටැංකි 10 (මූලිකව, ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් 2A5 යුධ ටැංකි තාක්ෂණය අනුව නිපදවූ යුධ ටැංකි වර්ගයක්), බලවත් CV90 පාබල සටන් වාහන 50ක් හා මිලිමීටර් 40 ඔටෝකැනන් ඊට ඇතුළත් විය. මෙම ආයුධ හා වාහන තොගය සමඟ යුක්රේනය සදහා ස්වීඩන හමුදා ආධාරයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.5 දක්වා ඉහළ ගියේය. මෙම වාහන සහ අවිආයුධ සදහා පුහුණුව මැයි මස අග හෝ ජූනි මස මුලදී අවසන් වූ අතර, එහෙයින් දැනටමත් මෙම වාහන හා යුද්ධායුධ යුක්‍රේන භූමිය තුළ ක්‍රියාත්මක ය.

මේ අනුව, යුක්‍රේනය තුල තමන් විසින් පොලඹවා මොලවා ගත් ගිනි මැලයට වඩවඩාත් තෙල් ඉසීමේ යෙදී සිටින එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් තමන් විසින් ම සනිටුහන් කරන ලද අන්තරායකර සීමා පවා ඉක්මවා යමින් තල්ලු කෙරී ඇත්තේ වසරකට පෙර තමාම වුව මඟ හරින්නට වඩාත් කැමැත්තකින් සිටි සංග්‍රාමයක් කරා ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top