ඇමරිකාවේ ජන සංහාරය: සමූහ ඝාතනයන් සහ ජනඝාතක පාරම්බෑම මධ්‍යයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයට එ.ජ ලබා දෙන සහයෝගය තවත් ගැඹුරු කරයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 22 දින පල වූ ‘Amid mass executions and genocidal rhetoric, US deepens support for Israeli onslaught on Gaza‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. 

ඊශ්‍රායලය ගාසා තීරයේ සිවිල් සිරකරුවන් සමූහ වශයෙන් මරාදැමීම සිදුකරන බවට වන වාර්තා සහ ඊශ්‍රායල දේශපාලකයන්ගේ ජන සංහාරක අභිලාෂයන් පිළිබඳ විවෘත ප්‍රකාශ මධ්‍යයේ, එක්සත් ජනපදය විසින් පලස්තීන සිවිල් වැසියන්ට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට දක්වනු ලබන සහයෝගය  දෙගුණ කර ඇත. මුළු ලෝකයේම ඇස් ඉදිරිපිට ගාසා තීරයේ ලේ වැගිරීම “ඇමරිකාවේ ජන සංහාරයක්” ලෙස මතුවෙමින් තිබේ.

Gaza
2023 දෙසැම්බර් 21 වැනි බ්‍රහස්පතින්දා ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ස්ථාන ගත වන ආකාරය, දකුණු ඊශ්‍රායලයේ සිට පෙනෙන පරිදි [AP ඡායාරූපය/ ඔහාඩ් ස්විගන්බර්ග් ]

බදාදා, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝ-මෙඩ් මානව හිමිකම් නිරීක්‍ෂන ආයතනය විසින් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන් සමූහ වශයෙන් ඝාතනය කිරීම ගැන ඊශ්‍රායල හමුදාවලට චෝදනා කරමින් වාර්තා පළ කරන ලදී. උතුරේ ඉතිරිව සිටින සියලුම මාධ්‍යවේදීන් පලවා හැරීමෙන් හෝ මරා දැමීමෙන් ඉවත් කර ඇති ඊශ්‍රායලය, බෝම්බ හෙලීම හරහා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීමේ සිට නීති විරෝධී ලෙස මරණ දණ්ඩනය දීම දක්වා ගමන් කර ඇත.

මෙම යුධ අපරාධ, ඊශ්‍රායෙල නිලධාරීන් ජන සංහාරයට පක්ෂව විවෘතව පෙනී සිටීම සමඟ අත්වැල් බැඳ පැමිණ ඇත. මෙකී ජනඝාතන සඳහා ඍජු ලෙස පෙනී සිටීම තවදුරටත් ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ “අමලෙක්” ආයාචනය වන් හුදු බයිබලීය සඳහන්වල ආවරනයෙන් මුවා කළ ඒවා නොව, යුදෙව්වන්ගේ නාසි ජන සංහාරය අනුගමනය කිරීමට කෙරෙන සෘජු කැඳවුම් වේ:

  • ඉරිදා ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායලයේ ප්‍රාදේශීය මෙටුලා කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් අසූලායි පැවසුවේ, ගාසා තීරය “අවුෂ්විට්ස්” [දෙවන ලෝක යුද්ධ සමයේ දී යුදෙව්වන් මිලියනයක් පමණ ඝාතනය කරන ලද , පෝලන්තයේ පිහිටි නාසි වධ කඳවුරක්] අයුරින් පෙනෙන්නට සැලැස්විය යුතු බවයි. ඔහු පැවසුවේ, “ගාසාවේ සිටින සියලු දෙනාටම මුහුදු වෙරළට යන්න කියන්න. නාවික හමුදාවේ නැව් මගින් ත්‍රස්තවාදීන් ලෙබනනයේ වෙරළට පැටවිය යුතුය. අවුෂ්විට්ස්හි මෙන් මුළු ගාසා තීරයම හිස් කර සමතලා කළ යුතුය,” යනුවෙනි.
  • රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායලයේ කාන්තා අභිවෘද්ධතා අමාත්‍ය මීරි ගෝලාන් පැවසුවේ, “මම  ගාසාවට කුමක් වුවත් සලකන්නේ  නැහැ. .. මට ඔවුන් සියලු දෙනා පිට කර දමා පීනන්න දැම්මත් මට කාරියක් නැහැ.” ඇය ඊට ම එක් කළේ, “මට ගාසා තීරය පුරාම ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු දැකීමට අවශ්‍යයි” යනුවෙනි.
  • බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසයක හිටපු නගරාධිපති සහ ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ව්‍යාපාරයේ නායිකාවක් වන ඩැනියෙලා වයිස් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, ඊශ්‍රායලයේ ඉලක්කය වන්නේ “ගාසා තීරය පුරාම  යුදෙව් ජනාවාස පිහිටුවීම සඳහා” සූදානම් කිරීමට, “ගාසාව අරාබිවරුන්ගෙන් නිදහස්” කර ගත යුතු බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ මිලියන 2.2 ක ජනතාව හාමතේ තබයි. සඳුදා හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කළේ, “යුද උපායක් ලෙස සිවිල් වැසියන් කුසගින්නේ තැබීමේ අපේක්ෂාවක්” ඔවුන්ට ඇති බවයි. ලෝක ආහාර වැඩසටහනට අනුව, “ඉතා දරුණු සාගිනි මට්ටම්” අත්විඳින ගාසා වැසියන්ගේ කොටස සියයට 24 සිට සියයට 44 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම පසුබිමට එරෙහිව, එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ජන සංහාරය සඳහා එහි නිශ්චිත සහයෝගය ගැඹුරු කර ඇත. බදාදා මාධ්‍ය හමුවකදී , වාර්තාකරුවෙකු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගෙන්  ඉල්ලා සිටියේ “ලෝකයේ බොහෝමයක් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට දොස් පවරමින් සිටින” සහ “එය ඇමරිකාවේ යුද්ධයක් ලෙස දැකීම” යන කාරනය පිළිබඳව අදහස් දක්වන ලෙසයි.

බැරෑරුම් ලෙස, බ්ලින්කන් ඊශ්‍රායලය “ඇමරිකාවේ යුද්ධය” දියත් කරන බවට කෙරුණු ප්‍රකාශයෙන් දුරස් වීමට උත්සාහ කළේ නැත. ඒ වෙනුවට, ඔහු එහි බර දෙගුණ කළේය:

හමාස් සංවිධානය සිවිල් වැසියන් පිටුපස සැඟවී සිටීම නවත්වන ලෙසත්, ආයුධ බිම තබන ලෙසත්, යටත් වන ලෙසත් කිසිවෙකු ඉල්ලා සිටිනු මට කිසිසේත් ම ඇසෙන්නේ නැත. හමාස් එසේ කළහොත් මෙය හෙටින් ඉවර වනු ඇත, හමාස් එසේ කළේ නම්, මෙය මාසයකට පෙර, සති හයකට පෙර ඉවර වන්නට තිබුණි. .. ආක්‍රමණිකයාට ඉල්ලීම් ඉදිරිපත් නොකරන අතර වින්දිතයාට පමණක් ඉල්ලීම් ඉදිරිපත් කිරිම සිදු වන්නේ කෙසේද?

ඊශ්‍රායල ආන්ඩුව , ගැටුමේ “ගොදුර” බවට බ්ලින්කන් කරන තිරසාර ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට පවා නොවටිනා තරමේ විකාරයකි. ඔක්තෝබර් 7දා හිතාමතාම මිලිටරි සහ බුද්ධිමය තොරතුරු පිළිබඳ නොතකා හැරීමක් සැකසීමෙන් පසුව, නෙතන්යාහු ආන්ඩුව එදින මරා දැමූ සෑම ඊශ්‍රායල ජාතිකයෙකුටම ගාසා වැසියන් 25ක් වශයෙන් සංහාරය කර ඇත. තමන් පීඩාවට පත් කරන සහ ආධිපත්‍යය දරන පලස්තීනුවන්ගේ “ගොදුරක්” ලෙස තමා හඳුන්වා ගැනීමට ඔක්තෝබර් 7 ප්‍රහාරයන් ඩැහැ ගන්නා අතර ම, නෙතන්යාහු ආන්ඩුව පියවර ගෙන ඇත්තේ ඊශ්‍රායල කෘෂිකර්ම ඇමති අවි ඩික්ටර් ” ගාසා නක්බා  2023″ ලෙස හැඳින්වූ දෙය, එනම්, ගාසා තීරය වාර්ගිකව ශුද්ධ කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීමට ය.

තුන්වන රීචයේ නිලධාරීන් සමඟ පමණක් සැසඳිය හැකි මට්ටමේ නරුම කමකින් යුතුව බ්ලින්කන් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයේ ඉලක්කය ගාසා තීරයේ ජනගහනය සමූලඝාතනය කිරීම නොව ඔවුන් ආරක්ෂා කිරීම බවයි. “සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, හානිය අවම කිරීම සහ ඔවුන් වෙත ලැබෙන ආධාර උපරිම කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඊශ්‍රායලය නැවතත් සිය මෙහෙයුම් සිදු කරයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

“ඔබට රතු ඉරක් තිබේද?” යනුවෙන්, ඊශ්‍රායලයට කොපමණ පිරිසක් සංහාරය කිරීමට ඉඩ දෙන්නේද යන්න සම්බන්ධයෙන්, පසු විපරම් ප්‍රශ්නයක දී බ්ලින්කන්ගෙන් අසන ලදී. මෙයට බ්ලින්කන් පිළිතුරු දුන්නේ, එක්සත් ජනපදය “මෙය සම්පූර්ණ කරනු දැකීමට අදහස් කරන” බවයි.

බ්ලින්කන්ගේ ප්‍රකාශය සිදුවූයේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී, ඊශ්‍රායලය විසින් “වගවිභාගයකින් තොරව බෝම්බ ප්‍රහාර” – ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් –  සිදු කරනු ලබන බව පිළි ගැනීමෙන් හා, ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා “සියලු පලස්තීනුවන්ට එරෙහිව පළිගැනීමේ” මං සොයන බව පිළි ගැනීමෙන් පසුව ය.

යමෙකු බයිඩන් සහ බ්ලින්කන් විසින් දක්වන ලද අදහස් එකතු කළහොත්, එහි පැහැදිලි නිගමනය වන්නේ, “සියලුම පලස්තීනුවන්ට එරෙහිව …. පළිගැනීම” ඇත්ත වශයෙන්ම “ඇමරිකාවේ යුද්ධය” බවයි; වඩාත් නිවැරදිව කිවහොත්, එය ඇමරිකාවේ ජන සංහාරය බවයි.

මෙම සමස්ත ක්‍රියාවලිය පුරා ම, පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන් තුළ මැදිහත්වීම් කරන අතරම, එක්සත් ජනපදය ජන සංහාරය සඳහා මූල්‍ය, ප්‍රවර්ධනීය සහ මිලිටරිමය සහාය ලබා දී ඇත. පසුගිය වසරේ එක්සත් ජනපදය, දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ලබා දුන් ඩොලර් බිලියන 260 ට අමතර ව, ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3.3 ක ආර්ථික ආධාර ලබා දුන්නේය. පසුගිය සති 10 තුළ, එක්සත් ජනපදය ඊශ්‍රායලයට සන්නද්ධ වාහන, යුද්ධ ආයුධ සහ පතොරම් ඇතුළු මිලිටරි උපකරණ ටොන් 10,000 ක් ලබා දී ඇත. එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ගාසා තීරය හරහා ඩ්‍රෝන නිරීක්ෂණ ගුවන් ගමන් සිදු කර ඇති අතර එක්සත් ජනපද නිලධාරීන් භූමියේ ක්‍රියාත්මක වන බවට වාර්තා පවා තිබේ.

ඊටත් වඩා බැරෑරුම් ලෙස, එක්සත් ජනපදය යුද්ධයේ සටන් විරාමයක් ඉල්ලා සිටින ඕනෑම ආරක්ෂක කවුන්සිල යෝජනාවක් නිශේධ කිරීමට පොරොන්දු වී ඇති අතර, එහි එක්සත් ජාතීන්ගේ තානාපති ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් ප්‍රකාශ කළේ, “මේ මොහොතේ ඇති කෙරෙන ඕනෑම සටන් විරාමයක් සැලකූ කල, එහි හොඳ ම එක තාවකාලික ද, නරක ම එක භයානක ද වනු ඇත,” යනුවෙනි.

එක්සත් ජනපදය ගාසා තීරයේ ජන සංහාරයට සහාය දැක්වීමට ගැඹුරින් මුල් බැසගත් සහ මූලික හේතු තිබේ. පළමුව, ලෝක ආධිපත්‍යය සඳහා පැවැත්මේ අරගලයක් ලෙස එය දකින දෙයෙහි කොටසක් ලෙස, චීනය, රුසියාව සහ ඉරානය මත ආධිපත්‍යය දැරීම ඉලක්ක කරගත්, මැද පෙරදිග කලාපය තුළ විශාල මිලිටරි උත්සන්න කිරීමක් සිදු කිරීමට එක්සත් ජනපදය පැහැදිලිවම තීරණය කර ඇත. මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආරක්ෂක රාජ්‍යයක් ලෙස සිද්ධිදායක අයුරින් ක්‍රියා කරන ඊශ්‍රායලය මෙම සැලැස්මේ තීරනාත්මක සංරචකයකි.

දෙවනුව, වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරයක් සහ වැඩෙන දේශීය දේශපාලන විරුද්ධත්වයක් මධ්‍යයේ, බයිඩන් පරිපාලනය උත්සාහ කරන්නේ කැරලිකාර නාගරික ප්‍රදේශ සමඟ සමූහ මිනීමැරුම් හරහා ගනුදෙනු කිරීමේ පූර්වාදර්ශයක් නිර්මාණය කිරීමට ය. අභ්‍යන්තර දේශපාලන අර්බුදය ආඥාදායකත්වය හරහා විසඳීමට උත්සාහ කරන එක්සත් ජනපද කතිපයාධිකාරයේ එම කන්ඩායම්, ගාසා තීරයේ ජන සංහාරය පෙරහුරුවක් ලෙස සලකයි.

අවසාන වශයෙන්, ජන සංහාරය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව බවට පත්ව ඇත. යුරෝපය පුරා උද්ඝෝෂන පෙලපාලි තහනම් කර ඇති අතර, හුදෙක් සියොන්වාදයට විරුද්ධ වීම නිසා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එක්සත් ජනපදයේ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් විසුරුවා හැර ඇති අතර, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියට විරුද්ධ වීම නිසා ශාස්ත්‍රාලිකයන්ට සහ සිසුන්ට ඔවුන්ගේ තනතුරු අහිමි වී ඇත.  “පලස්තීනයට සහය දැක්වීමේ සාමකාමී ප්‍රකාශ ඇතුළු ආරක්ෂිත කථනයන් අනවශ්‍ය ලෙස ඉවත් කිරීම සහ මර්දනය කිරීමේ රටාව” ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් හැඳින්වූ, සමාජ මාධ්‍ය ජාල අන්තර්ජාල වාරණයේ කුරිරු තන්ත්‍රයක් ක්‍රියාත්මක කර ඇත.

ගාසා තීරයේ ජන සංහාරයට එරෙහි අරගලය, එය සක්‍රීය කරන අධිරාජ්‍යවාදී ආන්ඩුවලට එරෙහි සටන බවට වන නොවැළැක්විය හැකි නිගමනය, මෙම යථාර්ථයෙන් පැන නගී.

“ධනවාදී සමාජය එහි ජීර්ණය නොකළ ම්ලේච්ඡත්වය වමනය කරමින් සිටී,” යැයි 20 වැනි සියවසේ ෆැසිස්ට්වාදයේ නැගීම විස්තර කරමින් ලියොන් ට්‍රොට්ස්කි ලිවීය. ගාසා ජන සංහාරය නියෝජනය කරන්නේ එම ක්‍රියාවලිය ම ය. ඇමරිකාව මූලික කරගත් ධනේශ්වර සමාජ පර්යාය, සිය මිනීමරු ම්ලේච්ඡත්වය මුළු ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් සිටී. මෙම සමාජ පර්යාය මනුෂ්‍යත්වයට පිරිනමනු ඇත්තේ සමාජ අසමානතාවය, යුද්ධය සහ සමූහ මිනීමැරුම් හැර අන් කිසිවක් නොවේ.

එම හේතුව නිසා, ගාසා තීරයේ ජන සංහාරයට එරෙහි සටන, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා සමාජය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීමේ අරගලය බවට පත් වී ඇත. යුද්ධයට එරෙහි දේශපාලන මහා වැඩවර්ජනයක් සඳහා ක්‍රමානුකූලව සූදානම් වීමේ කොටසක් ලෙස, ඊශ්‍රායලයට යැවෙන මිලිටරි භාවිතයක් සහිත කවර හෝ භාණ්ඩයක් නැව්ගත කිරීම වැලැක්වීමට කම්කරුවන් නැව් තටාකවල සහ ගුවන් තොටුපලවල වැඩ වර්ජන සූදානම් කළ යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top