ඊශ්‍රායලයට ජන සංහාරය සඳහා කොළ එළියක් දෙමින්, එක්සත් ජනපදය ඉරානයට එරෙහිව යුද්ධය සූදානම් කරයි

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 16 දින පල වූ ‘As it gives Israel green light for genocide, US prepares war against Iran’ යන  ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

Navy
මෙම ඡායාරූපය 2020 දී දකුණු චීන මුහුදේ මුර සංචාරයේ යෙදී සිටින එක්සත් ජනපද ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම් දෙකක් පෙන්වයි. [AP ඡායාරූපය]

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ ජනතාවට එරෙහිව ගෙන යන  ජන සංහාරයක් මධ්‍යයේ, ඉරානය ඉලක්ක කර ගනිමින් මැද පෙරදිග කලාපය පුරා යුද්ධයක් මුදා හැරීමට එක්සත් ජනපදය තර්ජනය කරයි.

සති අන්තයේ ගාසා තීරයට දිගින් දිගටම හෙලන ලද බෝම්බ වැස්ස මගින් සෑම දිනකම මිනිස්සු  සිය ගණනක් මිය ගියහ. එහි වෙසෙන, මිලියන දෙකක ජනගහනයක් සාගින්නෙන් හා පිපාසයෙන් ක්‍රමානුකූලව ඝාතනය කරමින් පවතින අතර, සිදු වීමට ආසන්න භූමි ආක්‍රමණයකට පෙර උතුරු ගාසා තීරයේ මිලියනයක ජනතාවකට මරණීය පා ගමනක් කිරීමට බල කෙරී ඇත .

මෙම ජන සංහාරයට බයිඩන් පරිපාලනයේ පූර්ණ සහය ලැබී ඇති අතර, එය ඊශ්‍රායලයට යුද අපරාධ සිදුකිරීමට හිස් චෙක්පතක් ලබාදීමක් වැනිය.  මෙහෙයුම් වශයෙන්, ඊශ්‍රායලයේ ක්‍රියා එක්සත් ජනපදය විසින් අධීක්ෂණය කරනු ලැබේ. රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගිය සතියේ ඊශ්‍රායලයට ගිය අතර බ්ලින්කන් මේ සතියේ ආපසු එහි පැමිණීමට නියමිතය.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධත් සමග එක්ව කලාපය තුළ  ගුවන්යානා යානා ප්‍රවාහක නෞකා දෙකක් සහ ඒ ආශ්‍රිත යුධ කණ්ඩායම් යෙදවීම මගින් මෙහෙයවනු ලබන එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම , දැවැන්ත ව්‍යාප්තියක් සමග අත්වැල් බැඳගෙන ඇත. යුධ නෞකා දුසිමකට වැඩි ප්‍රමාණයක් මැද පෙරදිගට යවා ඇත්තේ හුදෙක් නාවික හමුදාවක් නොමැති හමාස් සංවිධානයට තර්ජනය කිරීමට නොවේ. එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධය ද ඇතුලුව මැද පෙරදිග කලාපය තුල වඩාත් පුලුල් ගැටුමකට සූදානම් වෙමින් සිටී.

රුසියාව සමග එක්සත් ජනපදයේ යුද්ධයේ සහ චීනයට එරෙහි යුද සැලසුම්වල මැද පෙරදිග පෙරමුණ ලෙස, ඉරානය සමඟ යුද්ධයක් සඳහා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපදය වර්තමාන අර්බුදය භාවිතා කරයි. සෙනසුරාදා ඔස්ටින් නිවේදනය කලේ, යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහක නෞකාවේ මෙහෙය වීම යටතේ, දෙවන වාහක ප්‍රහාරක කණ්ඩායමක් කලාපයට යවමින්, එක්සත් ජනපදය මැද පෙරදිග යොදවා ඇති සිය මිලිටරි වත්කම් දෙගුණ කරන බවයි.

ප්‍රහාරක කණ්ඩායමට “මාර්ගෝපදේශ මිසයිල කෲසර් යූඑස්එස් පිලිපයින් සී , මාර්ගෝපදේශක මිසයිල විනාශ කරන්නන් වන යූඑස්එස් ග්‍රේව්ලි සහ යූඑස්එස් මේසන් සහ ගුවන් යානා බලඝණ නවයක් සහිත කැරියර් එයාර් වින්ග් 3 ඇතුළත්” බව ඔස්ටින් පැවසීය. දැනටමත් කලාපයට යොදවා ඇති යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ්  වාහක ප්‍රහාරක කණ්ඩායමට අයිසන්හවර් එක් වනු ඇත. ඔස්ටින් සඳහන් කළේ, “ෆෝර්ඩ් සීඑස්ජී  හි යූඑස්එස් නෝර්මන්ඩි , යූඑස්එස් තෝමස් හඩ්නර් , යූඑස්එස් රැමිජ්, යූඑස්එස් කැනරි  සහ යූඑස්එස් රූස්වෙල්ට් ඇතුලත්ය.” සතිය මුලදී, එක්සත් ජනපද ගුවන් හමුදාව F-15, F-16 සහ A-10 ප්‍රහාරක ගුවන් යානා බලඝණ කලාපයට යෙදවීම ගැන නිවේදනය කළේය.

Palestine
ඊශ්‍රායලයේ සිතියමක්, කොළ පැහැයෙන් පලස්තීන ප්‍රදේශ සහ ඊශ්‍රායල විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරය දැක්වේ. [AP ඡායාරූපය]

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සෑම වාහක ප්‍රහාරක කණ්ඩායමකටම නාවිකයින්, ගුවන් භටයින් සහ මැරීන් භටයින් 8,000ක් දක්වා වූ මුළු කාර්ය මණ්ඩලයක් සිටින අතර එයින් අදහස් වන්නේ තවත් ගුවන් යානා දුසිම් ගනනක් සහ සහායක පිරිස් දහස් ගණනක් සමඟින් සතියකට මදක් වැඩි කාලයක් තුල මැදපෙරදිගට භටයින් 15,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි. .

මෙම සැලසුම් එකවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි විය. නෙතන්යාහු ආන්ඩුවට සහ එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සි කැරැල්ලේ පරිමාණයෙන් කම්පනයට පත් වුවද හමාස්ගේ ප්‍රහාරයක් පිලිබඳව යම් තරමක පූර්ව දැනුමක් තිබූ බවට ඇඟවීම් තිබේ. කෙසේ වෙතත්, ඊශ්‍රායල පාලන තන්ත‍්‍රය පලස්තීනුවන්ට එරෙහි සමස්ත යුද්ධයක් සඳහා සැලසුම් කර තිබුණේ, දේශීයව , එනම් ඊශ්‍රායලය තුළ තීව‍්‍රවන අභ්‍යන්තර සමාජ හා දේශපාලන අර්බුදයෙන් ඉවතට හැරීම සඳහා ය.

එක්සත් ජනපදය, එහි කොටස ලෙස, ඉරානයට එරෙහිව තමන්ගේම සැලසුම් ක්‍රියාත්මක කිරීම තීව්‍ර කිරීම සඳහා  අර්බුදය භාවිතා කර ඇත.

ගුවන් යානා ප්‍රවාහන නෞකා ඉරානය ඉලක්ක කර ගනිමින් සිටින බව එක්සත් ජනපද නිලධාරීන් පැහැදිලි කර ඇත. සිකුරාදා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පැවසුවේ, “මෙම ගැටුම උත්සන්න වීමේ අවදානමක් පවතී, උතුරේ දෙවන පෙරමුණක් විවෘත කිරීම සහ, ඇත්ත වශයෙන්ම, ඉරානයේ මැදිහත්වීම… නැඟෙනහිර මධ්‍යධරණී මුහුදට ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලබා දීමටත්, ගල්ෆ් කලාපයට ගුවන් යානා රැගෙන යාමටත් ජනාධිපතිවරයා ඉතා වේගයෙන් හා තීරණාත්මක ලෙස පියවර ගත්තේ එබැවිනි, මන්ද ඔහුට ඉතා පැහැදිලි වැළැක්වීමේ පණිවිඩයක් යැවීමට අවශ්‍ය වූ බැවිනි.”

ඉරිදා රාත්‍රියේ කතුවැකියක වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ ලිවීය, “ටෙහෙරානයේ අයතුල්ලාවරු , ඔවුන්ගේ ත්‍රස්තවාදී ප්‍රොක්සිවලට වඩා වැඩි ප්‍රමාණයකින් අවදානමට ලක්ව ඇති දේ ඇති බව තේරුම් ගත යුතුය. ඔවුන්ගේ න්‍යෂ්ටික අඩවි සහ තෙල් ක්ෂේත්‍ර ද ඉලක්ක ලැයිස්තුවේ ඇති බව ඔවුන් දැනගත යුතුය.” මෙම කරුණු ප්‍රතිරාවය කරමින්, සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම්, ඉරානයට එරෙහිව යුද ප්‍රකාශයක් කිරීමේ අපේක්ෂාව මතු කළ අතර, ඔහු ධවල මන්දිරය සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කළ බව පැවසීය.

“ඉරානය තෙල් ව්‍යාපාරයෙන් නෙරපා හැරීම සඳහා ඊශ්‍රායලය සමඟ එක්ව එක්සත් ජනපදය විසින් මිලිටරි ක්‍රියාමාර්ගයකට ඉඩ දීම සඳහා මම එක්සත් ජනපද සෙනෙට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමි,” ඔහු පැවසීය. “ඉරානය, ඔබ මෙම යුද්ධය උත්සන්න කළහොත්, අපි ඔබ වෙනුවෙන් පැමිණෙන්නෙමු.” ඔහු තවදුරටත් පැවසීය.

මිනිත්තු 60 ක සම්මුඛ සාකච්ඡාවකදී, බයිඩන් යුද්ධයේ දෙවන පෙරමුණක් විවෘත කිරීම සහ ලෙබනනයේ හිස්බුල්ලා දේශපාලන පක්ෂයට පහර දීම සඳහා සහයෝගය ඇඟවුම් කරන බවක් පෙනෙන්නට තිබුණි. “ඇතුළට ගොස් අන්තවාදීන් පිටතට ගැනීම, හිස්බුල්ලා උතුරට ඉහළින් සිටින නමුත් හමාස් දකුණට අවශ්‍ය අවශ්‍යතාවයකි, ඉරානය නිරන්තරයෙන් හමාස් සහ හිස්බුල්ලාට සහාය දක්වයි.”බිඩෙන් පැවසීය.

මෙම සන්දර්භය තුළ, ඉරානයට එරෙහි යුද්ධයක් යුක්තිසහගත කිරීම සඳහා එක්සත් ජනපදය යම් ආකාරයක ප්‍රකෝපකරනයක් සිදු කිරීමට ඉඩ තිබේ. සැලකිය යුතු කරුණක් නම්,පෙනෙන පරිදි හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා, වර්තමාන අර්බුදය තුළ එක්සත් ජනපද හමුදා සටන් සඳහා යෙදවීම ප්‍රතික්ෂේප නොකරන බව , ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේය .ඇමරිකානු අධිරාජ්‍යවාදයට කිසිදු වැදගත්කමක් නැති ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම නොව, එක්සත් ජනපද හමුදා භූමියේ යෙදවීමෙන්, ඉදිරියේ දී, ඉරානය සමඟ වර්ධනය වන ගැටුමක දී එක්සත් ජනපද මිලිටරිය ඊට සෘජුවම සම්බන්ධ කර ගැනීමයි.

එක්සත් ජනපදය විසින් දශක ගණනාවක් තිස්සේ ඉරානයට එරෙහි යුද්ධයක් සඳහා සැලසුම් කර ඇත. 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, 2002 ජනවාරියේදී, එවක ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් , ඊලඟ වසරේ දී ආක්‍රමණය කර අත්පත් කරගත් ඉරාකය ඇතුළත් “නපුරේ අක්ෂයේ” කොටසක් ලෙස ඉරානය හැඳින්වීය. ධවල මන්දිරය තුළ බුෂ් පරිපාලන නිලධාරීන් “පිරිමි ළමයින් බැග්ඩෑඩ් වෙත ගියත් සැබෑ මිනිසුන් ටෙහෙරානයට යයි” යන කියමනට ප්‍රිය කළහ.

ට්‍රම්ප් පරිපාලනය යටතේ ඉරානය සමඟ එක්සත් ජනපද ගැටුම දැවැන්ත ලෙස තීව්‍ර විය. 2018 එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, ඉරානය 2019 ජුනි මාසයේදී හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කල  එක්සත් ජනපද ඩ්‍රෝන යානයක් බිම හෙළීය. එම මාසයේදී එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් කිරීමට අණ කළ අතර ,ගුවන් යානා ඒවන විටත් ගුවනේ තිබියදී, අවසන් මිනිත්තුවේදී , ඔහු එය නතර කළේය.

2020 ජනවාරි මාසයේදී එක්සත් ජනපදය ඉරානයේ කුඩ්ස් බලකායේ අණ දෙන නිලධාරි සහ ඉරාන හමුදා සංස්ථාපිතයේ ප්‍රධාන චරිතයක් වූ කසෙම් සොලෙයිමානි ඝාතනය කළේය.

මැද පෙරදිග පූර්න පරිමානයේ යුද්ධයක් වර්ධනය වීම, යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව දිග්ගැස්සුනු හා තීව‍්‍රවන එක්සත් ජනපද-නේටෝ යුද්ධයට තුඩු දුන් එම පිලිවෙත්වලම අඛණ්ඩ පැවැත්මකි. රුසියාව මිලිටරිමය වශයෙන් පරාජය කිරීම සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් සංවිධානය කිරීමේ අරමුන ඇතිව එක්සත් ජනපදය විසින් ගැටුම උසිගන්වන ලදී. රුසියාවට එරෙහි යුද්ධය සැලකෙන්නේ චීනය සමග මිලිටරි ගැටුමක සූදානමක් ලෙස ය.

ගාසා තීරයේ ජනගහනයට එරෙහිව සමූල ඝාතනය කිරීමට ඊශ්‍රායලයට ලබා දී ඇති නිදහස් පාලනය සහ ඉරානයට එරෙහිව එක්සත් ජනපද යුද සැලසුම් තීව්‍ර කිරීම, තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අවධීන් තුළ වන පුපුරා යාමේ සන්දර්භය තුළින් දැකිය යුතුය.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ගෝලීය ව්‍යාපාරයක් සමග ඡේදනය වන කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයක් මගින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද සැලසුම් කඩාකප්පල් වෙමින් තිබේ. සති අන්තයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව මිලියන සංඛ්‍යාත ජනතාවක් මැද පෙරදිග, යුරෝපය සහ එක්සත් ජනපදය තුල පෙළපාලි ගියහ.

යුද්ධයේ දැවැන්ත තීව්‍රතාවය ගෙවනු ලබන්නේ දැනටමත් එක්සත් ජනපදයේ සහ ප්‍රධාන ධනේශ්වර රටවල , වැඩෙන වැඩ වර්ජන රැල්ලක් ඇවිලී ඇති කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය උත්සන්න කිරීම හරහා ය.

ඊශ්‍රායල් ජන සංහාරයට එරෙහි මහජන විරෝධය පුපුරා යාම , අසමානතාවය හා සූරාකෑම මත වර්ධනය වන පන්ති අරගලයට සම්බන්ධ විය යුතුය. මේ සඳහා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි විරුද්ධත්වය සමග යුද්ධයට එරෙහි සටන ඒකාබද්ධ කරමින් කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top