එක්සත් ජනපදයේ නය ශ්‍රේනිගත මට්ටම පහත හෙලීම: ගැඹුරු වන අර්බුදයක තවත් සලකුනක්

නික් බීම්ස් ව්සිනි.

NYSE

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 02 දින පල වූ ‘US credit downgrade: Another sign of a deepening crisis’ යන නික් බීම්ස් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි.

ෆිච් ශ්‍රේනිගත කිරීමේ ඒජන්සිය විසින් අඟහරුවාදා එක්සත් ජනපදයේ දිගුකාලීන නය ශ්‍රේනිගත මට්ටම පහත හෙලීම, ඇමරිකානු රාජ්‍යය තුල ගැඹුරු වන අර්බුදය සමග එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික ආර්ථික හා මූල්‍ය පරිහානියේ සැලකිය යුතු මං සලකුනක් සටහන් කරයි.

මෙම පහත හෙලීම පිලිබිඹු කරන්නේ, නිමක් නැති යුද්ධ සඳහා මූල්‍ය සම්පාදනය කිරීමට ගාල කඩා ගනිමින් ඉහල නැංවුනු මිලිටරි වියදම් සමග අත්වැල් බැඳ ගනිමින් ක්‍රියාත්මක වූ බැංකු සහ සංගතවලට ඇපදීමේ මාලාවක් විසින් මෙහෙයවනු ලැබූ එක්සත් ජනපද ෆෙඩරල් නයෙහි දැවැන්ත ඉහල යාමයි.

ෆිච් ශ්‍රේනිගත මට්ටම AAA සිට AA+ දක්වා පහත හෙලීමක් වූ අතර, එය, නය සීමාව ඉහල දැමීම සම්බන්ධයෙන් ඔබාමා පාලන සමයේදී කොන්ග්‍රසයේ ඇති වූ ගැටුමකින් පසුව 2011 දී  ස්ටෑන්ඩර්ඩ් සහ පුවර් (Standard and poor) විසින් සිදු කල පහත හෙලීමට සමාන වූවකි. 

වෝල් වීදිය වෙනුවෙන් කතා කරමින් ෆිච් බලකර ඉල්ලා සිටියේ, වැඩෙන නය අර්බුදයට ප්‍රතිචාර දක්වමින්, සමාජ වියදම් කප්පාදුව හරහා කම්කරු පන්තියේ සමාජ තත්වය මත තීව්‍ර ප්‍රහාරයක් එල්ල කල යුතු බව ය.

“වයස්ගත වන ජනගහනය හේතුවෙන් ඉහල යන සමාජ ආරක්ෂන සහ මෙඩිකෙයා (Medicare – වෛද්‍ය ප්‍රතිකාර රක්ෂන) වියදම් සම්බන්ධ මධ්‍ය කාලීන අභියෝගවලට මුහුන දීමේ දී ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් පමනකැ”යි ෆිච් මැසිවිලි නඟා ඇත. 

වෙනත් වචන වලින් කිවහොත්, නය අර්බුදයට හේතුභූත වූයේ බැංකු ඇපදීම් සහ යුද වියදම් විය හැකි නමුදු, වෝල් වීදිය යෝජනා කරන ජනගහනයේ අති බහුතරය දරිද්‍රතාවයට හා හිඟමනට ඇද දැමීමයි. 

2007 දී, ගෝලීය මූල්‍ය අර්බුදයට තදාසන්න කාලයේ, එ.ජ. ආර්ථිකයේ පවතින ශක්තිය පිලිබඳ මිත්‍යාවන්ඒවායේ උච්චතම අවස්ථාවේ පවතිද්දී , CBO පුරෝකථනය කලේ, මහජනතාව සතු ෆෙඩරල් නය දශකයක් තුල දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 22 දක්වා පහත වැටෙනු ඇති බවයි.

එය දැන් සියයට 100ක් පමන වන අතර, 2031 දී එය සියයට 107 දක්වා ඉහල යනු ඇතැයි CBO අනාවැකි පල කරයි.

නය වර්ධනයට ඉන්ධන ලබා දී ඇත්තේ ඇමරිකානු ආර්ථිකයේ හා මූල්‍ය පද්ධතියේ ගැඹුරුවන අර්බුදය මගින්ය.

2008 මූල්‍ය අර්බුදයට මුහුන දුන්නේ, ෆෙඩරල් රිසර්ව් (එක්සත් ජනපද මහ බැංකුව) විසින් එහි ප්‍රමානාත්මක සහන වැඩසටහන (Quantitative easing program) යටතේ, මූල්‍ය පද්ධතියට මුදල් එන්නත් කරනු ලැබීම සමඟ ඒකාබද්ධව, ඩොලර් බිලියන සිය ගනනින් සංගතවලට ඇපදීමේ වියදම සමඟිනි. කොවිඩ් අර්බුදයට ප්‍රතිචාර වශයෙන්m තවත් ඩොලර් බිලියන සිය ගනනක් සංගත වෙත දෙන ලද්දේ තව තවත් මුදල් මහ බැංකුවෙන් මූල්‍ය වෙලඳපොලවලට පොම්ප කරමිනි.

මෙම වසරේ බැංකු භීතිකාවන් මාලාවකට ප්‍රතිචාර දක්වමින්, බයිඩන් පරිපාලනය සඵල ලෙස ඇඟවුම් කලේ, ෆෙඩරල් ආන්ඩුව සියලුම බැංකු තැන්පතු ආවරනය කෙරෙන පසු ආරක්ෂන විධිවිධාන පනවනු ඇති බවයි.

තව ද මේ සියල්ල මත්තේ, එක්සත් ජනපදය සිය මිලිටරි වියදම් වාර්තාගත උසකට ඔසවා ඇත්තේත්,  අනාගතයේ දී තවත් වැඩි කිරීම් සිදුකිරීමට නියමිතව ඇත්තේත්, චීනයට එරෙහිව ආර්ථික යුද්ධයේ කොටසක් ලෙස, එක්සත් ජනපදයට- විශේෂයෙන් අධි තාක්‍ෂනික ක්ෂේත්‍ර වල- ඔවුන්ගේ මෙහෙයුම් නැවත එක්සත් ජනපදය වෙත ගෙන්වා ගැනීම සඳහා සංගතවලට දෙන සහනාධාර සමඟ අත්වැල් බැඳ ගනිමිනි.

මෙම තීරනය ප්‍රකාශයට පත් කරමින් ෆිච් පවසා ඇත්තේ, එයට එලඹීමේ හේතුව “පසුගිය වසර 20 තුල පාලන ප්‍රමිතීන්හි අනවරත පිරිහීම” බවයි. මේ කරුන අවධාරනය කිරීමට මෙන්, මෙම නිවේදනය ප්‍රකාශයට පත් කෙරුනේ, 2020 මැතිවරන ප්‍රතිපලය පෙරලා දැමීමේ උත්සාහය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා හතරක් නිකුත් කල දිනයේ මය. 

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් පැවසුවේ, මෙම පහත හෙලීම සිදු කිරීමට පෙර ෆිච් ආයතනය බයිඩන් පරිපාලන නිලධාරීන් දැනුවත් කර ඇති බවත්, ඔවුන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කල බව හා ඒ අතරතුර, “ෆිච්  නියෝජිතයන්, 2021 ජනවාරි 6 කැරැල්ල, එක්සත් ජනපදයේ පාලනය පිලිබඳ සැලකිල්ලට ගත යුතු වපසරියක් ලෙස යලියලිත් ඉස්මතු කල” බවත්ය.

ෆිච් වාර්තාවෙන්  බොහෝ උපුටන සඳහන් කල ෆිනෑන්ෂල් ටයිම්ස් තීරු ලිපියේ අග කොටසේ එහි කර්තෘ සඳහන් කලේ, “FT හි පාර-දත්ත (දත්ත පිළිබඳ දත්ත) මෙවලම, ‘නැගී එන වෙලඳපල’ යටතේ මෙය ටැග් කිරීමට අපට යෝජනා කල බවයි.”

ෆිච් පහත හෙලීම බයිඩන් පරිපාලනයේ නිලධාරීන්ගේ කර්කශ හෙලාදැකීම්වලට පාත්‍ර විය. ඔවුහු එය, “පදනම් විරහිත” “අභූතය”ක් ලෙස ද, “පුලුල් ලෙස හා නිවැරදිව කිවහොත් පරිහාසයක්” ලෙස ද විස්තර කලෝය. 

එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ මෙම තීරනය “අත්තනෝමතික සහ යල් පැන ගිය දත්ත මත පදනම් වූ එකක්” බවයි.

“ෆිච්හි තීරනය ඇමරිකානුවන්, ආයෝජකයන් සහ ලොව පුරා සිටින පුද්ගලයන් දැනටමත් දන්නා දේ වෙනස් නොකරයි: එනම්, භාන්ඩාගාර සුරැකුම්පත් ලෝකයේ ප්‍රමුඛතම ආරක්ෂිත සහ ද්‍රවශීල වත්කම් ලෙස පවතින බව සහ, ඇමරිකානු ආර්ථිකය මූලික වශයෙන් ශක්තිමත් බවයැ”යි ඇය පැවසුවාය.

ඇත්තටම තතු එසේ වී නම්, ආන්ඩුවේ ඉහලම මූල්‍ය නිලධාරියාට එසේ පැවසීමට සිදු නොවනු ඇත.

යථාර්ථය නම්, පසුගිය දශක එකහමාර තුල එක්සත් ජනපද මූල්‍ය පද්ධතිය අර්බුද මාලාවකින් බැට කා ඇති බවයි.

2008 දී බැංකු පද්ධතිය පැවතුනේ කඩා වැටීමක  අද්දර ය. 2020 මාර්තු මාසයේදී, එක්සත් ජනපද භාන්ඩාගාර (බිල් පත්) වෙලඳපොල ඝනීභූත වූ අතර, ලෝකයේ ආරක්ෂිතම සහ වඩාත්ම ද්‍රවශීල වත්කම යැයි කියනු ලබන එක්සත් ජනපද රජයේ නය සඳහා දින කිහිපයක් පුරා ගැනුම්කරුවන් සිටියේ නැති ගානය. තවද මෙම වසරේ මාර්තු මාසයේදී එක්සත් ජනපදය සිය ඉතිහාසයේ විශාලතම බැංකු අසාර්ථකවීම් හතරෙන් තුනක් වාර්තා කලේය.

එසේම, තීරනාත්මක දිගුකාලීන ක්‍රියාවලීන් ද ක්‍රියාත්මක වෙමින් පවතී.

1971 අගෝස්තු මාසයේදී, පශ්චාත්-යුධ මූල්‍ය පද්ධතියේ ප්‍රධාන ඵලක වලින් එකක් වූ බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම බිඳ වැටුනේ, එක්සත් ජනපදය විසින් අවුන්සයකට ඩොලර් 35 බැගින් ලබා ගත හැකි ව තිබූ එක්සත් ජනපද ඩොලරයේ රත්‍රං පිටුබලය ඉවත් කල විටය.

එතැන් පටන් ගෝලීය මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වූයේ ෆියට් (ආඥාප්ති ව්‍යවහාර මුදල්) මුදල් ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන ඩොලරය මත ය. රන් ආකාරයෙන් යුතු සැබෑ වටිනාකමක පිටුබලය නොලද එහි ප්‍රමුඛත්වය රඳා පැවතුනේ සාධක දෙකක් මත ය: එනම්, ප්‍රධාන ධනේශ්වර බලය ලෙස එක්සත් ජනපදයේ දේශපාලන ස්ථාවරත්වය සහ එහි ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ ශක්තිය යි.

මෙම අත්තිවාරම් දෙකම දැන් පවතින්නේ අතිශය දිරාපත් අදියරක ය. 

මෙම තත්ත්වය විශාල වශයෙන් ආර්ථික හා දේශපාලනමය අතු ඉති විහිදා, විවිධ දිශාවන්ට පැතිර යයි. සංගතවලට ඇපදීම් සංවිධානය කිරීමට, මූල්‍ය පද්ධතියට නිමක් නැති මුදල් ප්‍රමානයක් පොම්ප කිරීමට සහ මිලිටරි වියදම් කිසිදා නොවූ විරූ වාර්තාගත මට්ටම් කරා ඔසවා තැබීමට – වෙනත් කිසිම ආන්ඩුවකට නොහැකි පරිදි – එක්සත් ජනපදයට හැකි වී ඇත්තේ, ඩොලරයේ ගෝලීය භූමිකාව නිසා ය.

ෆිච් තීරනය මෙම තත්ත්වය තර්ජනයට ලක්ව ඇති බවට තවත් ලකුනකි. චීනය, බ්‍රසීලය, ඉන්දියාව සහ සෞදි අරාබිය ඇතුලු අනෙකුත් බලවතුන් ඩොලරයට පිටින් වෙලඳ ගනුදෙනු පියවීම කරා  පියවර ගෙන ඇත.

මහ බැංකු වඩාත් සුරක්ෂිත වටිනාකම් ගබඩාවක් ලෙස රත්‍රන් මිල දී ගැනීම් වැඩි කරමින් සිටින අතර, එ.ජ. රජයේ නයවලින් (ආයෝජකයන්) ඉවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඩොලර් ට්‍රිලියන 25ක එක්සත් ජනපද භාන්ඩාගාර වෙලඳපොලේ අර්බුදයක් මතුවීමේ  තර්ජනය නිරතුරුවම පවතී.

එක්සත් ජනපද පාලක පන්තිය මෙම ගැඹුරු වන අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ, ස්වදේශීය කම්කරු පන්තියට සහ විදේශයන්හි වොෂින්ටනයේ ප්‍රතිවාදීන්ට එරෙහිව “පෙරමුනු දෙකක යුද්ධයක්” උත්සන්න කිරීම හරහා ය.

සමාජ ආරක්ෂන සහ මෙඩිකෙයා වෛද්‍ය ආරක්ෂන වියදම් ඉහල යාම පිලිබඳ එහි සඳහන සමග ෆිච් පෙන්වා දෙන පරිදි, කම්කරු පන්තියේ සමාජ තත්වයට එරෙහි ප්‍රහාරය වේගවත් කිරීම සඳහා, ශ්‍රේනිගත තත්ත්වය පහත හෙලීම භාවිතා කරනු ඇත.

එක්සත් ජනපදයේ පමනක් නොවේ; Australian Financial Review (ඕස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචනය) සඳහන් කල පරිදි, එක්සත් ජනපද ශ්‍රේනිගත මට්ටම පහත හෙලීම, “මූල්‍ය අවුලක පැටලී සිටින අනෙකුත් ජාතීන්ට අවදිවීම සඳහා කල කැඳවුම” වූ කලී, වාර්තාගත මට්ටම් දක්වා නය ඉහල ගොස් ඇති ලොව පුරා ආන්ඩුවලට යොදා ගත හැකි විස්තර කිරීමකි.

යුක්රේනයේ යුද්ධය තීව‍්‍ර කිරීම තුල වඩාත් නිරුවත් ආකාරයෙන් ප‍්‍රකාශයට පත් වූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය පිපිරීම විසින් සනිටුහන් කෙරෙන්නේ, මිලිටරිමය ක්‍රියාමාර්ග හරහා සිය ගෝලීය ආධිපත්‍යයට සහ එක්සත් ජනපද ඩොලරයේ ප‍්‍රමුඛත්වයට මුක්කු ගැසීමට එක්සත් ජනපදය දරන උත්සාහයයි.

සෑම විටම සිදු වන පරිදි, ආර්ථික අර්බුද සටන් වදින සංග්‍රාම භූමිය වන්නේ පන්ති අරගලයයි. කම්කරු පන්තිය, පාලක පන්තියේ නිරන්තරයෙන් ගැඹුරු වන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්විය යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සිය දේශපාලන අරගලය වර්ධනය කිරීම තුලින් සහ, ඒ සඳහා සටන් කිරීම සඳහා විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම මගින් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top