එවාන් බ්ලේක් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 22 දින “The Ebola epidemic, imperialism and the political economy of social murder” යන හිසින් පළවූ එවාන් බ්ලේක් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.
එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට මරණය සිදුවන අයුරින් ශාරීරික තුවාල සිදු කළ විට, අපි එම ක්‍රියාව සාවද්‍ය මනුෂ්‍ය ඝාතානයක් ලෙස හඳුන්වමු; ප්‍රහාරකයා එම තුවාලය මාරාන්තික වන බව කල්තියා දැන සිටියේ නම්, අපි ඔහුගේ ක්‍රියාව සිතාමතා කළ මිනීමැරුමක් ලෙස හඳුන්වමු. නමුත් සමාජය විසින් සිය ගණනක් වූ නිර්ධන පන්තිකයින්ව, ඔවුන්ට අකාලයේ සහ අස්වාභාවික මරණයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන තත්ත්වයකට පත් කරන විට… මෙම දහස් සංඛ්‍යාත වින්දිතයින් විනාශ වී යා යුතු බව දැන දැනත්, එම තත්ත්වයන් එලෙසම පැවතීමට ඉඩ හරින විට, එහි ක්‍රියාව ද තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් මෙන්ම ස්ථිර වශයෙන්ම මිනීමැරුමකි… කිසිවෙකු මිනීමරුවාව දකින්නේ නැත… නමුත් එය මිනීමැරුමක් ලෙසම පවතියි.
—ප්‍රෙඩ්රික් එංගල්ස්, එංගලන්තයේ කම්කරු පන්තියේ තත්ත්වය (1845)

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සහ උගන්ඩාව මේ වන විට දැඩි ලෙස වෙළාගෙන පවතින එබෝලා වසංගතය, ස්වභාවික විපතක් ලෙස මාධ්‍ය මඟින් නිරන්තරයෙන් හඳුන්වනු ලබයි. මෙය සත්‍යය වසන් කිරීමකි. “දේව ක්‍රියාවක්” යන පැරණි යෙදුම මෙන්ම, “ස්වභාවික විපත” යන්න ද ඉරණමට අවනත වීම සඳහා වූ සූත්‍රයකි. එමඟින් සිදු කරන්නේ, සැබවින්ම හඳුනාගත හැකි මෙන්ම වගකීමට බැඳ තැබිය හැකි තීරණ, ව්‍යුහයන් සහ අභිලාෂයන්හි ප්‍රතිඵලයක් වන දෙයක්, හුදෙක් දෛවය ලෙස පෙන්වා දීමයි.
සත්ව ලෝකයෙන් රෝග කාරකයක් (pathogen) මතුවීම, මූලික වශයෙන් ගත් කල ස්වභාවික සිදුවීමකි. නමුත් නවීන විද්‍යාව විසින් එවැනි සිදුවීම් සමඟ මානව වර්ගයාට ඇති සම්බන්ධතාවය පරිවර්තනය කර තිබේ. රෝග ව්‍යාප්තියක් එහි මුල් දිනවලදීම හඳුනා ගැනීමට, එහි පැතිරීම සොයාගෙන එය හුදකලා කිරීමට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මෙවලම් දැනටමත් පවතී. එබැවින්, සතුන්ගෙන් මිනිසුන්ට රෝගයක් සම්ප්‍රේෂණය වීම (zoonotic spillover) පාලනය කළ හැකි රෝගී පොකුරක් බවට පත්වන්නේද නැතහොත් කලාපීය ව්‍යසනයක් බවට පත්වන්නේද යන්න ස්වභාවධර්මය පිළිබඳ ප්‍රශ්නයක් නොව, සමාජය පිළිබඳ ප්‍රශ්නයකි.
එවැනි රෝග සම්ප්‍රේෂණයන් (spillovers) සිදු වන තත්ත්වයන් ද සමාජ සංවර්ධනයේ ම ප්‍රතිඵල වේ. එනම්, හුදකලා වූ පරිසර පද්ධති තුළට සම්පත් නිස්සාරණය කිරීමේ කටයුතු ආක්‍රමණය කිරීම, වේගවත් වන වන විනාශය, අවතැන් වූ ජනතාව අවිධිමත් ජනාවාසවල ඒකරාශී වීම සහ සියල්ලටමත් වඩා දේශගුණික විපර්යාසයන්හි බාධාකාරී බලපෑම් ය. නේචර් (Nature) සඟරාවේ පළ වූ 2022 අධ්‍යයනයකින් පුරෝකථනය කර ඇති පරිදි, දේශගුණය සහ භූමි පරිහරණය හේතුවෙන් සතුන් ගැවසෙන කලාපවල සිදු වන වෙනස්වීම් නිසා ඉදිරි දශක කිහිපය තුළ විවිධ ජීවී විශේෂ අතර වෛරස් සම්ප්‍රේෂණය වීම සඳහා (cross-species viral transmission) නව අවස්ථා දහස් ගණනක් නිර්මාණය වනු ඇත. මේවා ප්‍රධාන වශයෙන් ආසියානු සහ අප්‍රිකානු කලාපයන්හි කේන්ද්‍රගත වනු ඇත.
ලෝකය වඩාත් අනතුරුදායක බවට පත් කර ඇති එම තාක්ෂණික දියුණුවම, මෙම අනතුරු මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය මඟ ද මානව වර්ගයාට ලබා දී ඇත. නමුත් එම හැකියාව, එය ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වූ අරාජික සමාජ ක්‍රමයක් තුළ සිරවී පවතී. දැවැන්ත නිෂ්පාදන බලයකින් යුත්, ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක්, ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස කැබලි වී පවතින අතර, තාර්කිකව සැලසුම් කිරීමට හෝ පොදු යහපත උදෙසා ක්‍රියා කිරීමට නොහැකි මූල්‍ය කතිපයාධිකාරියක ලාභය වෙනුවෙන් යටත් වී තිබේ.
උත්සන්න වෙමින් පවතින එබෝලා වසංගතය “සමාජ ඝාතනයක්” ලෙස සැලකිය හැක්කේ හරියටම මේ නිශ්චිත අර්ථයෙනි. අද වන විට මධ්‍යම අප්‍රිකාවේ සිදුවෙමින් පවතින මෙම සමූහ මරණ, එය වැළැක්වීම සඳහා සෑම හැකියාවක්ම සතු වූ, එහෙත් ඒ සඳහා හරස්ව පැවති ආරක්ෂක විධිවිධාන බිඳ දැමීමට තෝරාගත් පාලක පන්තියක් විසින්, යමක් කිරීමෙන් මෙන්ම නොකර හැරීමෙන් (පැහැර හැරීමෙන්) සිදු කරන ලද අපරාධයන්හි ප්‍රතිඵලයකි.
සැකකටයුතු රෝගීන් 650 කට අධික සංඛ්‍යාවක් සහ සැකකටයුතු මරණ 150 කට වඩා වාර්තා වෙමින්, බුනියා (Bunia), ගෝමා (Goma) සහ කම්පාලා (Kampala) යන නගර කරා වෛරසය දැනටමත් ව්‍යාප්ත වී ඇති පසුබිමක, වැළැක්විය හැකිව තිබූ මෙම මරණ සංඛ්‍යාව ඉදිරි මාසවලදී දහස් ගණනක් හෝ ඇතැම් විට දස දහස් ගණනක් දක්වා ඉහළ යාමට බොහෝ දුරට ඉඩ තිබේ. දැනට ව්‍යාප්ත වෙමින් පවතින ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) ප්‍රභේදය සඳහා අනුමත කරන ලද එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර, මීට පෙර සිදු වූ වසංගත ව්‍යාප්ත වීම් දෙකකදීම ඉන් ආසාදනය වූවන්ගෙන් 30% ත් 50% ත් අතර ප්‍රමාණයක් මියගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිලධාරීන් ද පිළිගන්නේ පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් (candidate vaccine) සඳහා වුවද තවමත් මාස හයක සිට නවයක දක්වා කාලයක් ගතවනු ඇති බවයි.
පෘථිවිය මත පවතින බරපතලම මානුෂීය අර්බුදවලින් එකකට දැනටමත් මුහුණ දෙමින් සිටින කලාපයක මෙම වෛරසය මතු වී තිබේ. නැගෙනහිර කොංගෝව වසර 30කට වැඩි කාලයක් තිස්සේ පැවති යුද්ධයකින් බැටකා ඇති අතර, ඉන් මිලියන 6කට අධික ජනතාවක් මියගොස් තිබේ. ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් මියගොස් ඇත්තේ රෝගාබාධ සහ සාගින්න හේතුවෙනි. මිලියන 7කට අධික පිරිසක් රට තුළම අවතැන් වී සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැති කඳවුරුවල තදබදව ජීවත් වෙති; එසේම මිලියන 27කට ආසන්න පිරිසක් දැඩි සාගින්නකට මුහුණ දී සිටිති. කොලරාව, සරම්ප සහ එම්පොක්ස් (mpox) වැනි රෝග ද එහි අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී. රක්තපාත උණක් (hemorrhagic fever) වර්ධනය වීමට සහ සීඝ්‍රයෙන් පැතිරී යාමට වඩාත්ම හිතකර වන්නේ හරියටම මෙවැනි තත්ත්වයන් ය. ඖෂධ, එන්නත් සහ ආරක්ෂිත උපකරණ නොමැති වීම හේතුවෙන් තමන් “භීතියෙන් කලබල වූ තත්ත්වයක” (panic mode) පසුවන බව අප්‍රිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (Africa CDC) අධ්‍යක්ෂ ජනරාල් ජීන් කසෙයා (Jean Kaseya) පැවසූ අතර, “පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) නිෂ්පාදනය කිරීමේ පහසුකම් අප සතුව නැතැ” යි ඔහු ඍජුවම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම පසුබිම හමුවේ, ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිචාරය වී ඇත්තේ ජාතිකවාදී සහ විද්‍යා-විරෝධී ප්‍රතිපත්තිවල සංකලනයකි. මෑතකදී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC), උගන්ඩාව හෝ දකුණු සුඩානය යන රටවල රැඳී සිටි පුරවැසියන් නොවන පුද්ගලයින්ට ඇතුළු වීම තහනම් කිරීම සඳහා එය කලාතුරකින් භාවිත වන “Title 42” බලතල ක්‍රියාත්මක කළ අතර, එවැනි සංචාරකයින් රැගත් ඇමරිකාව බලා පැමිණෙන සියලුම ගුවන් යානා එක් ගුවන් තොටුපළක් වෙත පමණක් යොමු කිරීමට ද නියෝග කළේය.පසුගිය බදාදා, රේගු සහ දේශසීමා ආරක්ෂණ බලකාය (CBP) විසින් පැරිසියේ සිට ඩිට්‍රොයිට් බලා පියාසර කළ එයාර් ෆ්‍රාන්ස් (Air France) ගුවන් යානයක් මොන්ට්‍රියල් වෙත හරවා යැවීමට බල කරන ලදී. ඒ, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ සහ කිසිදු අනතුරක් නොමැති කොංගෝ ජාතික මගියෙකු “වැරදීමකින්” ඊට ගොඩවී තිබීම හේතුවෙනි. රෝග ලක්ෂණ නොමැතිව එබෝලා වෛරසය පැතිර යා නොහැකි බැවින්, මෙම ගුවන් යානය හරවා යැවීම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් නොව, හුදෙක් දේශීයත්වයට (ජාතිකවාදයට) පක්ෂපාතී දේශපාලන සංදර්ශනයක් පමණි.වසංගතය එහි ආරම්භක ස්ථානයේදීම මර්ධනය කිරීම සඳහා වොෂින්ටනය (ඇමරිකානු රජය) ලබා දී ඇති එකම දායකත්වය වන්නේ දළ වශයෙන් ඩොලර් මිලියන 13ක් ලබා දීමට පොරොන්දු වීම පමණි. එය සැබවින්ම අවශ්‍ය වන ප්‍රමාණය හා සසඳන විට සාගරයට වැටුණු දිය බින්දුවක් වැනි ඉතා අල්ප ප්‍රමාණයකි.
වඩාත් මූලික වශයෙන්, පසුගිය මාස 15 පුරා ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම වසංගතය එහි ආරම්භක ස්ථානයේදීම නැවැත්වීමට හැකියාව තිබූ වැඩසටහන්ම විනාශ කිරීම අරමුණු කරගත්, සහමුලින්ම විනාශ කර දැමීමේ (scorched-earth) ප්‍රතිපත්තියක් දියත් කර ඇත. 2025 ජනවාරි මාසයේ සිට, හරියටම මෙම කලාපය තුළ රක්තපාත උණ හඳුනා ගැනීම සඳහා නිර්මාණය කර තිබූ ඩොලර් මිලියන 100ක ස්ටොප් ස්පිල්ඕවර් (STOP Spillover) වැඩසටහන එය විසින් අත්හිටුවා ඇති අතර, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසුරුවා හැර තිබේ. එමෙන්ම අප්‍රිකානු රෝග නිරීක්ෂණ කටයුතුවල කොඳු නාරටිය බඳු වූ, ඒඩ්ස් සහන සඳහා වූ ජනාධිපතිවරයාගේ හදිසි සැලැස්ම (PEPFAR) ජාලයන් බරපතල ලෙස අඩපණ කර ඇත; ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඉවත් වී ඊට ප්‍රතිපාදන සැපයීම ද නතර කර ඇති අතර, රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) එහි ජාත්‍යන්තර සමගාමී ආයතනවලින් වෙන් කරමින් නිහඬ කිරීමේ නියෝගයක් (gag order) ද පනවා තිබේ.
මෙම සෑම ක්‍රියාමාර්ගයකටම ක්ෂණිකවම මාරාන්තික ප්‍රතිවිපාක ඇති විය. රසායනාගාරවල කටයුතු අක්‍රීය වූ අතර, ආසාදිතයන් ඇසුරු කළ අය සොයාගැනීමේ ක්‍රියාවලිය (contact tracing) බිඳ වැටී, පුහුණු සේවකයින් විසිරී ගියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෛරසය කිසිදු හඳුනාගැනීමකින් තොරව සති හයකට ආසන්න කාලයක් ඉටූරි (Ituri) කලාපය තුළ ව්‍යාප්ත විය. මෙය එංගල්ස් අදහස් කළ නිශ්චිතම අර්ථයෙන්ම සමාජ මිණීමැරීමකි. එනම්, මෙම මරණ සිදු කරනු ලබන්නේ කිසියම් තනි පුද්ගලයෙකු අතින් නොව, එම මරණය අනිවාර්යයෙන්ම සිදුවන තත්ත්වයන් දැන දැනම එලෙසම පවත්වාගෙන යන පාලක පන්තියක් විසිනි.
ට්‍රම්ප් පරිපාලනයේ අපරාධ යනු සියවසකට වැඩි කාලයක් තිස්සේ පැවති අධිරාජ්‍යවාදී යටත් කරගැනීම් සහ කොල්ලකෑම්වල නවතම පියවර පමණි. බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජු යටතේ, බලහත්කාර ශ්‍රමය සහ භීෂණය රජකළ පාලන තන්ත්‍රයක් තුළ මිලියන 10ක් තරම් විශාල කොංගෝ වැසියන් පිරිසක් මියගියහ. මෙම තත්ත්වයන් වසංගත රෝග වර්ධනය වීමට මඟ පෑදූ අතර, ජානමය අධ්‍යයනයන් මඟින් 1920 අවට කාලයේදී කින්ෂාසා (Kinshasa) නගරයෙන් ආරම්භ වූ බවට හඳුනාගෙන ඇති එච්.අයි.වී. (HIV) වෛරස් ප්‍රභේදය ද ඊට ඇතුළත් ය. 1961 දී, සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් පැට්‍රිස් ලුමුම්බා (Patrice Lumumba) ඝාතනය සැලසුම් කිරීමට සහාය දුන් අතර, ඇමරිකානු අනුග්‍රහය ලත් ඒකාධිපති මොබුටු සේසේ සෙකෝ (Mobutu Sese Seko) බලයට පත් කරන ලදී. ඔහු යටතේ රටේ සෞඛ්‍ය යටිතල පහසුකම් මුළුමනින්ම විනාශ වී ගියේය.

රුවන්ඩාවේ සහය ලබන M23 මිලීෂියා කණ්ඩායම විසින් දැනට මෙහෙයවනු ලබන, 1996 වසරේ සිට නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) තුළ ඇවිලෙමින් පවතින යුද්ධ, සැබවින්ම කිවූ (Kivus) සහ ඉටූරි (Ituri) කලාපවල පවතින කොල්ටන් (coltan) සහ රත්තරන් අත්පත් කර ගැනීම සඳහා කෙරෙන අරගලයන් ය. දැනට එබෝලා වසංගතය දරුණු ලෙස පැතිර යන්නේ ද හරියටම මෙම ප්‍රදේශය තුළ ය. මෙම ඛනිජ වර්ග, දකුණු දිග ප්‍රදේශයෙන් ලබාගන්නා කොබෝල්ට් (cobalt) ද සමඟින්, ලොව විශාලතම සමාගම්වල සැපයුම් දාමයන් ඔස්සේ දියුණු ආර්ථිකයන් සහිත රටවල ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් පරිගණක සහ විද්‍යුත් වාහන නිෂ්පාදනය සඳහා ගලා යයි. මේ හරහා ‘ග්ලෙන්කෝර්’ (Glencore) වැනි මහා පරිමාණ කැණීම් සමාගම් මෙන්ම, ඔවුන් විසින් අමුද්‍රව්‍ය සපයනු ලබන ලොව දැවැන්ත තාක්ෂණික සමාගම් ද තවදුරටත් පොහොසත් වේ.පසුගිය වසරේදී ඇති කරගත් ට්‍රම්ප් පරිපාලනයේ “වොෂින්ටන් සම්මුතිය” (Washington Accord) යනු, ඇමරිකාව සදහා මෙම ඛනිජ සම්පත් වෙත වරප්‍රසාදිත ප්‍රවේශයක් තහවුරු කර ගැනීම සඳහා ගත් නිරුවත් උත්සාහයකි. මෙම සම්මුතිය තහවුරු කරගනු ලැබුවේ, දැනට එම කලාපයේ සේවය කරන කම්කරුවන්ට මියයෑමට ඉඩ හැර නිහඬව බලා සිටින එම පාලක කල්ලි විසින්ම ය.
තවද, වත්මන් ව්‍යසනය යනු වෙනත් මුහුණුවරකින් සිදුවන කොවිඩ්-19 (COVID-19) වසංගතයේම අඛණ්ඩ පැවැත්මකි. එම වසංගතයට බොහෝ කලකට පෙර සිටම, ධනේශ්වර පන්තියේ පුළුල් කොටස් අතර නව-මැල්තස්වාදයක් (neo-Malthusianism) නැවත ඉස්මතු වී තිබුණි. එනම්, සීමිත “දැරීමේ ශක්තියක්” (carrying capacity) සහිත ග්‍රහලෝකයක් මත ජීවත් වන දුප්පතුන්ව අතිරික්ත බරක් ලෙස නැවත අර්ථ දැක්වීමයි. මෙම ධර්මතාවය විසින් සමූහ මරණ සලකනු ලැබුවේ වැළැක්විය යුතු ව්‍යසනයක් ලෙස නොව, අමිහිරි අවශ්‍යතාවයක් ලෙසය. ලොව පුරා මිලියන 30කට අධික ජනතාවක් බිලිගත් සහ මිලියන 400කට වැඩි පිරිසකට ‘ලෝන්ග් කොවිඩ්’ (Long COVID) තත්ත්වයෙන් පීඩා විඳීමට සලස්වා ඇති කොවිඩ්-19 වසංගතය, මෙම දෘෂ්ටිකෝණය සමූහ මරණ සාමාන්‍යකරණය කරන විවෘත ෆැසිස්ට්වාදී සහ සුජනකවාදී (eugenicist) මතවාදයක් බවට පරිවර්තනය කළේය. එය දැන් එබෝලා වසංගතය සඳහා දක්වන ප්‍රතිචාරය තුළින් ද ප්‍රකාශයට පත් වේ.
මූල්‍ය කතිපයාධිකාරිය උකහාගත් ප්‍රධානතම පාඩම වූයේ ඊළඟ වසංගතය වළක්වා ගන්නේ කෙසේද යන්න නොව; නිරෝධායන කටයුතු, සම්පත් බලමුලු ගැන්වීම් හෝ නිෂ්පාදන ක්‍රියාවලීන් අත්හිටුවීම් වැනි කිසිදු දෙයකට, තම ලාභ ගලායාමට බාධා කිරීමට ඉඩ නොදෙන බව සහතික කරන්නේ කෙසේද යන්නයි.
පවතින ක්‍රමයේ කිසිදු පාර්ශ්වයක් මින් මිදීමට මඟක් ඉදිරිපත් කරන්නේ නැත. සමස්ත ධනේශ්වර මාධ්‍යයම මෙය ඈත බැහැර සිදුවන ප්‍රාදේශීය සිදුවීමක් ලෙස හුවා දැක්වීමට කුමන්ත්‍රණය කරන අතර, ගෝලීය මානව වර්ගයාගේ මූලික අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් මෙන්ම, මෙම ව්‍යසනය ඇති කිරීමට හේතු වූ වොෂින්ටනයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී අගනගරවල ප්‍රතිපත්තිවලින් ද එය මුළුමනින්ම වෙන් කර දක්වයි.
අධිරාජ්‍යවාදී බලවතුන්ට මූල්‍යමය වශයෙන් බැඳී සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO), කප්පාදු කිරීම් මඟින් ගෝලීය ප්‍රතිචාරය අකර්මණ්‍ය කළ රජයේ නම සඳහන් කිරීමට පවා නොහැකි වී ඇත.මේ සතියේ පැවැති ලෝක සෞඛ්‍ය සමුළුවේදී (World Health Assembly) සිය ප්‍රධාන දේශනය පවත්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අධනොම් ගෙබ්‍රෙයෙසස් (Tedros Adhanom Ghebreyesus) , කිසිදු පන්ති බෙදීමක් හෝ අධිරාජ්‍යවාදයක් නොමැති වන්නාක් මෙන්, “ආධාර කප්පාදු කිරීම්” පිළිබඳව කර්මවාචකයෙන් සදහන් කරමින් වගකිවයුත්තන් නම් නොකර මුළු ලෝකයම “එකම ඔරුවක” සිටින බවක් ගැන කතා කළේය. එහි නිලධාරීන්ගේ චේතනාවන් කුමක් වුවත්, ව්‍යසනයේ නියම මූලාශ්‍රය හඳුනා ගැනීමට අපොහොසත් වන ආයතනයක් කෙරෙහි එය නැවැත්වීම සඳහා විශ්වාසය තැබිය නොහැකිය.
මෙම වසංගතය නැවැත්වීමට සහ ඊළඟ ගෝලීය වසංගතය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අභිරහස් දේවල් නොවන අතර, ඒවා මානව වර්ගයාට ළඟා විය නොහැකි මට්ටමක පවතින්නේ ද නැත. හදිසි මහජන සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකයේ සම්පත් ක්ෂණිකව බලමුලු ගැන්වීම ඒ සඳහා අවශ්‍ය වේ:
- ට්‍රම්ප් පරිපාලනය විසින් විනාශ කරන ලද වැඩසටහන්වලින් ආරම්භ කරමින්, ගෝලීය රෝග නිරීක්ෂණ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ එය විශාල වශයෙන් පුළුල් කිරීම.
- එම කාර්යයන්හි සැබවින්ම නිරත වන පුද්ගලයන්ගේ මඟපෙන්වීම යටතේ, වෛද්‍ය කාර්ය මණ්ඩල, රසායනාගාර සහ ආරක්ෂිත උපකරණ බලපෑමට ලක් වූ කලාපය වෙත ලබාදීම.
- බලපෑමට ලක් වූ කලාපයේ සිටින සියලුම දෙනා අතර සමානව බෙදා හැරීම සඳහා, නොමිලේ ලබාදෙන සහ ආරක්ෂිත එන්නත් මෙන්ම ප්‍රතිකාර ක්‍රම කඩිනමින් නිපදවීම (සංවර්ධනය කිරීම). බන්ඩිබුගියෝ (Bundibugyo) වෛරසයට එරෙහිව ඵලදායී බව තහවුරු වී ඇති සහ ඇමරිකානු රජයට පූර්ණ අයිතිය හිමි MBP134 ප්‍රතිදේහ ප්‍රතිකාරය, දැනට සිදු කෙරෙන පරිදි “අධික අවදානමක් ඇති ඇමරිකානුවන්” සඳහා පමණක් තොග රැස්කර තබා නොගෙන, කොංගෝ සහ උගන්ඩා රෝගීන් සඳහා මුදාහැරීම හා අත්හදා බැලීම සිදු කළ යුතුය.
- කොංගෝවෙන් ලාභ ලබන මහා පරිමාණ කැණීම් සමාගම් සහ තාක්ෂණික සමාගම් විසින් රැස් කරගෙන ඇති අතිමහත් ධනය පවරා ගැනීම සහ එම ධනය සමස්ත කලාපය පුරා නවීන සෞඛ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා යෙදවීම.
ධනවාදී සහ ජාතික-රාජ්‍ය පද්ධතියේ රාමුව තුළ මෙම විසඳිය නොහැකි ගැටළුවට (impasse) කිසිදු විසඳුමක් නොමැත. අධිරාජ්‍යවාදී ආණ්ඩු, මහා පරිමාණ සමාගම් (සංස්ථා) හෝ ඔවුන්ට යටත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැනි ආයතන විසින් මෙම ක්‍රියාමාර්ග කිසිවක් ක්‍රියාවට නංවනු නොලැබේ. සෑම ධනේශ්වර පක්ෂයකින්ම සහ වෘත්තීය සමිති නිලධාරිවාදයකින්ම ස්වාධීනව බලමුලු ගැන්වුණු ජාත්‍යන්තර කම්කරු පන්තියට, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ (IWA-RFC) ධජය යටතේ සෑම දේශසීමාවක් හරහාම කම්කරුවන් සම්බන්ධ කරන තමන්ගේම අරගල සඳහා සංවිධානය වන ක්‍රියාකාරී කමිටු හරහා පමණක් ඒවා වෙනුවෙන් සටන් කළ හැකිය.
වසංගත සහ බෝවන රෝගවලින් ගෝලීය සමාජය ආරක්ෂා කිරීම සඳහා, පෞද්ගලික ලාභය වෙනුවට මිනිස් අවශ්‍යතා පදනම් කරගනිමින් නිෂ්පාදනය සහ විද්‍යාත්මක පර්යේෂණ තාර්කික මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කිරීම අවශ්‍ය වේ.මෙය කළ හැකි වන්නේ ලෝක සමාජවාදය සඳහා වන අරගලය තුළ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාවය මගින් පමණි. දරිද්‍රතාවයේ සහ යුද්ධයේ සෑම රෝගයකටම එරෙහි සටන මෙන්ම, එබෝලා (Ebola) වලට එරෙහි සටන ද මෙම විප්ලවවාදී වැඩපිළිවෙලෙන් වෙන් කළ නොහැක්කකි.
(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)
