එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධය අවුලුවයි

ඇන්ඩෘ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 24 දින පල වූ “US inflames war throughout the Middle East” යන  ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

Ford
2023 ඔක්. 11 වැනි දින, යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ් ගුවන් යානා ප්‍රවාහක නෞකාව, නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් පවතින යූඑස්එන්එස් ලරිමී (USNS Laramie) තෙල් පිරවුම් තෙල් නෞකාවෙන් ඉන්ධන ලබා ගනී. (එක්සත් ජනපද නාවික හමුදාවේ ඡායාරූපය AP හරහා) [AP ඡායාරූපය]

පසුගිය විසිපස් වසර තුල දී,  මැද පෙරදිග නීතිවිරෝධී යුද්ධ වලින් මිලියනයකට වඩා මිනිසුන් ඝාතනය කර ඇති එක්සත් ජනපදය, කලාපය පුරා පුලුල් යුද්ධයක් අවුලුවාලීම සඳහා පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරය භාවිතා කරයි.

එක්සත් ජනපදය මැද පෙරදිගට හමුදා, යුද නැව් සහ ගුවන් යානා එවීම වැඩි කර ඇත. අවම වශයෙන් නැවියන්, සොල්දාදුවන් සහ ගුවන් භටයන් 10,000ක් දැනටමත් කලාපයට යොදවා ඇති අතර, නිශ්චිත නොවන භට පිරිසක්-සමහර විට දස දහස් ගනනක් – යෙදවීමට සූදානම් වන බව දන්වා ඇත.

සෑම දිනකම පුද්ගලයන් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කිරීම මෙන්ම හිතාමතාම   ජනගහනය විජලනයට පත් කිරීම, සාගින්නෙන් පෙළීමට සැලැස්වීම සහ  සිවිල් වැසියන්ට විශාල බෝම්බ හෙලීම  සිදුවෙමින් පවතින, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන ජන සංහාරයට බයිඩන් පරිපාලනය සිය පූර්ණ සහයෝගය ලබා දී ඇත.

ඒ අතරම, එය ඊශ්‍රායලයට ලෙබනනය, සිරියාව සහ බටහිර ඉවුර වෙත එකවර ප්‍රහාර එල්ල කිරීමට  ආයුධ සපයයි.

ඇමරිකානු අවි භාවිතා කරමින් සහ ඇමරිකානු දේශපාලන, මිලිටරි සහ සැපයුම් ආධාර ඇතිව පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන ජන සංහාරය, කලාපය පුරා එක්සත් ජනපද මිලිටරි උත්සන්න කිරීමේ එක් අංගයක් පමනි.

සෙනසුරාදා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් විසින් “ඉරානයේ උත්සන්න කිරීම්” උපුටා දක්වමින් , එක්සත් ජනපද මිලිටරිය “කලාපය තුළ පෙනී සිටීම ” “ශක්තිමත් කිරීමේ” පියවර නිවේදනය කලේය. ඔස්ටින් පැවසුවේ තමා කලාපය පුරා එක්සත් ජනපද මිසයිල ආරක්ෂක පද්ධති සීරුවෙන් තබන බවත්, “අතිරේක බලකා සංඛ්‍යාවක් යෙදවිමට සූදානමේ-අන මත තබා ඇති” බවත්ය.

පසුගිය සතිය පුරා ඉරාකයේ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා,  ඉරාන ප්‍රොක්සි හමුදා යැයි කියා ගන්නා හමුදාවන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඇති බව එක්සත් ජනපද හමුදාව ප්‍රකාශ කර ඇත.

“ඉරානය මෙම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින සිටී. සමහර අවස්ථාවලදී, මෙම ප්‍රහාර සඳහා ක්‍රියාකාරීව පහසුකම් සපයන අතර මෙම ගැටුම, තම යහපත සඳහා 

යොදා ගැනීමට කැමති අන් අය පෙළඹවීම හෝ ඉරානයේම අවශ්‍යතා සඳහා යොදා ගන්නා” බව පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳුදා පැවසීය.

ඉරිදා සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළේ, “ඉරාන ප්‍රොක්සින්  විසින් අපගේ හමුදාවන්ට , අපගේ පිරිස්වලට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර උත්සන්න වීමේ සම්භාවිතාවක් ඇතැයි අපි අපේක්ෂා කරමු. අපගේ ජනතාව ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට සහ අපට අවශ්‍ය නම් තීරණාත්මක ලෙස ප්‍රතිචාර දැක්විය හැකි බවට වග බලා ගැනීමට අපි පියවර ගනිමින් සිටිමු.”

බ්ලින්කන් අවධාරනය කලේ, “මෙය අපට අවශ්‍ය දේ නොවේ, අප සොයන දෙය නොවේ. අපට උත්සන්න කිරීම අවශ්‍ය නැත. ” ඔහු තවදුරටත් පැවසුවේ, “අපි කලාපයට ඉතා වැදගත් වත්කම් යොදවා ඇත, ගුවන් යානා වාහක යුධ කණ්ඩායම් දෙකක්, කුපිත කිරීමට නොව, වළක්වා ගැනීමටය.”

හැම විටම වාාගේ, බ්ලින්කන් බොරු කියයි. මැදපෙරදිග, හමුදා සහ අවි ආයුධ මගින් සිදු කරනු ලබන ගිල ගැනීම මගින්, මෙම උත්සන්න වීම එක්සත් ජනපදයේ පැත්තෙන් සිදු කරයි.

එක්සත් ජනපදය, එහි ප්‍රොක්සියක් වන ඊශ්‍රායලය මගින්, හිතාමතාම ඉරානය කුපිත කිරීමේ  උත්සාහයක් ලෙස ගාසා, බටහිර ඉවුර, ලෙබනනය සහ සිරියාවට බෝම්බ හෙලයි. එය යුධ නෞකා සහ ගුවන් යානා මගින් ඉරානය වටකරමින් සිටින අතර ඔවුන්ට එරෙහි ඕනෑම ප්‍රහාරයක් ඉරානයට පහර දීමට කඩතුරාවක් ලෙස යොදා ගන්නා බවට තර්ජනය කරයි.

2003 දී, එක්සත් ජනපදය විසින් සිදු කළ, ම්ලේච්ඡ සහ නීතිවිරෝධී ඉරාක ආක්‍රමණයෙන් පසුව ඉරාකය තුළ  හමුදා දහස් ගණනක් නඩත්තු කරයි. සිරියානු ආන්ඩුවට එරෙහිව එක්සත් ජනපද හමුදා ඒ හා සමානව සිරියාවේ නීති විරෝධී ලෙස යොදවා ඇත. මේ සියලු හමුදා මොහොතකින් ඉරානයට පහර දීමට සූදානමින් සිටිති.

ඊශ්‍රායල නිලධාරීහු ලෙබනනයට එරෙහිව දිගින් දිගටම තර්ජන කරති. ඉරිදා , ලෙබනන්  දේශසීමාවේ , භට පිරිස් සමඟ සංචාරයක යෙදී සිටියදී, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු “හිස්බුල්ලා සංවිධානයට සහ ලෙබනන් රාජ්‍යයට ඇති වීමට නියමිත විනාශකාරී ප්‍රතිවිපාක” ගැන අනතුරු ඇඟවීය, “අපි එයට සිතාගත නොහැකි බලයකින් එයට පහර දෙන්නෙමු.” ඊශ්‍රායලය සිය උතුරු දේශසීමාවෙන් 200,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට නියෝග කර ඇත.

ඉරිදා, ඊශ්‍රායලයේ ආර්ථික ඇමති නිර් බාර්කැට් තර්ජනය කලේ, යුද්ධය ලෙබනනය තුලට පැතිර ගියහොත්, “අපි එම පෙරමුණුවලට පමණක් ප්‍රතිප්‍රහාර එල්ල නොකරමු, නමුත් අපි ඉරානය නම් සර්පයාගේ හිස වෙතට යමු” යනුවෙනි.

මේ අතර එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී මාධ්‍ය ඉරානය සමග සෘජු මිලිටරි ගැටුමක් සඳහා උද්ඝෝෂණ කරමින් සිටී. ද ඉකොනොමිස්ට් හි ප්‍රධාන ලිපියක, මෑත පෙරදිග කටයුතු සඳහා එක්සත් ජනපදයේ හිටපු සහකාර රාජ්‍ය ලේකම් ඩේවිඩ් ෂෙන්කර් ඉරානය සමඟ මිලිටරි ගැටුමක් විවෘතව ඉල්ලා සිටියේය. “කෙසේ වෙතත්, මූල්‍ය මෙවලම්වලට වඩා ඵලදායී වන්නේ මිලිටරි ශක්තියයි. … අවාසනාවකට මෙන්, ගාසා තීරයේ යුද්ධය පුලුල් වීම වැලැක්වීමට වොෂින්ටනයට මිලිටරිමය වශයෙන් සම්බන්ධ වීම හැර වෙනත් විකල්පයක් තිබිය නොහැක.”

බ්‍රහස්පතින්දා ඔහුගේ ප්‍රයිම්-ටයිම් ( ශ්‍රාවකත්වය උපරිම වන වේලාව) කතාවේදී, බයිඩන් ඇමරිකානු ගෝලීය ආධිපත්‍යය පිළිබඳ ගැලවුම්කාරී දැක්මක් ඉදිරිපත් කළේ, ඇමරිකානු මිලිටරි හා ආර්ථික අධිපතිත්වය ලෝකයේ එක්සත් කිරීමේ මූලධර්මය බව ප්‍රකාශ කරමිනි. “ඇමරිකානු නායකත්වය ලෝකය එකට තබා  ගනී” බයිඩන් පැවසීය.

පසුදා පැවති ප්‍රචාරක පිළිගැනීමේ උත්සවයකදී ඔහු වඩාත් පැහැදිලි ලෙස ප්‍රකාශ කළේ, “අපි වසර 50ක් පශ්චාත් යුධ සමයක සිටියෙමු. එහිදී එය ඉතා හොඳින් ක්‍රියාත්මක විය. නමුත් එය යම් ආකාරයකට වාෂ්ප වී ඇත. එය ලෝක පර්යායක් වූවාක් මෙන්, එක් අර්ථයකින් නව ලෝක පර්යායක් අවශ්‍ය වේ.”

“පශ්චාත් යුධ සමය” අවසන් බව පැවසීම ලෝක යුද්ධයේ නව කාල පරිච්ඡේදයක් ප්‍රකාශ කිරීමකි. බයිඩන් පරිපාලනය මැද පෙරදිග යුද්ධය උත්සන්න කරමින්, නැගෙනහිර යුරෝපයේ සිට මැද පෙරදිග හා පැසිෆික් කලාපය දක්වා විහිදෙන ලෝක ආධිපත්‍යය සඳහා ලොව පුරා පැතිර යන ගැටුමක් ලෙස එය දකින දෙයෙහි කොටසක් වශයෙන් ඉරානයට සෘජුවම පහර දෙන බවට තර්ජනය කරයි. චීනයේ ආර්ථික නැගීම හා එක්සත් ජනපද ආර්ථිකයේ ගෝලීය පරිහානිය සමඟ මුහුන දී සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදය, ලෝක ආධිපත්‍යය තහවුරු කිරීමේ මාධ්‍යයක් ලෙස යුද්ධය දකී.

එක්සත් ජනපදය, “රුසියාව දුර්වල  කිරීම” ඉලක්ක කරගත් ප්‍රොක්සි ගැටුමකට මොස්කෝව ඇද ගැනීමේ අරමුන ඇතිව යුක්රේනයේ යුද්ධය අවුලුවාලීමට ක්‍රියා කළේය. එහෙත් වසර දෙකකට පසුව, යුක්රේනයේ නවතම ප්‍රහාරය අසාර්ථක වී ඇති අතර, රුසියාවට “මූලෝපායික පරාජයක්” ලබා දීම සඳහා එක්සත් ජනපදය ගැටුම උත්සන්න කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි. ඒ අතරම, වොෂින්ටනය, තායිවානය සම්බන්ධ කර ගනිමින්, චීනය සමඟ ගැටුමක් අවුලුවාලන අතර, දියුණු පරිගණක තාක්‍ෂණයට එහි [ චීන] ප්‍රවේශය අවහිර කරමින්, ආර්ථික වශයෙන් චීනයේ ගෙල සිර කිරීමට උත්සාහ කරයි.

පසුගිය සතියේ, මෙම සියලු පෙරමුනු සඳහා අතිරේක මිලිටරි වියදම් සඳහා ඩොලර් බිලියන 105 ක් සඳහා  බයිඩන් විසින් කරන ලද ඉල්ලීම, ඇත්ත වශයෙන්ම, තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අදියරයන් උත්සන්න කිරීමේ ප්‍රධාන පියවරක් සලකුනු කරයි.

එක්සත් ජනපදය න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් වන රුසියාව සහ චීනය සමඟ ගැටෙමින් සිටී. ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි ද ඇති අතර, අවම වශයෙන් ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රිවිටාල් ” ටැලි” ගොට්ලිව් ( Revital  “Tally” Gotliv ) වත්මන් ගැටුමේදී “ඩූම්ස්ඩේ ආයුධය” [න්‍යෂ්ටික අවිය] භාවිතා කරන ලෙස ඉල්ලා ඇත. මෙසේ, වොෂින්ටනයේ මිලිටරි ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම මානව ශිෂ්ටාචාරයේ පැවැත්මට තර්ජනය කරයි.

එහෙත් ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධය අවුලුවාලීම පුලුල් මහජන විරෝධයට මුහුන දෙයි. පසුගිය සති අන්තය පුරා, පලස්තීනුවන්ට එරෙහි එ.ජ.-ඊශ්‍රායල් ජන සංහාරයට එරෙහිව ජනාකීර්ණ සෑම මහාද්වීපයකම මිලියන ගනන් ජනයා උද්ඝෝෂන පැවැත් වූහ. ලන්ඩනයේ දී, 2003 ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු නගරයේ පැවැත්වූ  විශාලතම යුද විරෝධී රැලියට 300,000 ජනයා සහභාගී වූහ.

මෙම වර්ධනය වෙමින් පවතින යුද විරෝධී ව්‍යාපාරය ගැඹුරු කර පුළුල් කළ යුතුය. යුද්ධයට එරෙහිව වැඩෙන ව්‍යාපාරය තම රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන කම්කරුවන්ගේ ගෝලීය වැඩවර්ජන ව්‍යාපාරය සමග ඒකාබද්ධ කල යුතුය. මේ සඳහා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි විරුද්ධත්වය සමග යුද්ධයට එරෙහි සටන ඒකාබද්ධ කරමින් කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top