ඕස්ට්‍රේලියානු මිලිටරි තර කිරීම චීනය සමග යුද්ධය සඳහා එ.ජ. සැලසුම් වලට පිටුබලය සපයයි

 ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් මස 27 දින Australian military buildup backs US plans for war with China සිරසින් යුතුව පලවූ ඔස්කාර් ග්‍රෙන්ෆෙල් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Image
අගමැති ඇන්තනි ඇල්බනීස්  2023 අප්‍රේල් 24 වන දින ආරක්‍ෂක උපායමාර්ගික සමාලෝචනයෙන් පසුව කැන්බරා හි මාධ්‍ය හමුවක් අමතයි. ඇල්බනීස්ගේ වම් පසින් ආරක්‍ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් සිටියි .  [ඡායාරූපය: @AlboMP]

ඕස්ටේ‍්‍රලියාවේ මිලිටරි ගොඩ නැගීම පෙන්නුම් කරන්නේ, ධනවාදයේ බිඳවැටීම සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිපිරුම මගින් මෙහෙයවනු ලබන එලඹෙන ලෝක යුද්ධයක සුළි කුණාටුවකට ලෝක ගෝලයේ සෑම කලාපයක්ම ඇදගෙන යන බවයි.

මෙම සතියේ නිකුත් කරන ලද ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනයක් (DSR) දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ විශාලතම මිලිටරි ගොඩ නැගීම ගෙනහැර දක්වයි.

එහි කතුවරුන් සහ සමාලෝචනය ආරම්භ කළ ලේබර් ආන්ඩුව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ මිලිටරි හමුදාව ඇතුළුව “සියලු ක්ෂේත්‍ර වල වැඩි දියුණු කළ දිගු දුර ප්‍රහාරක හැකියාවක්” රට වේගයෙන් අත්පත් කර ගත යුතු බව ප්‍රකාශ කර ඇත.  ඒ, ඉන්දු-පැසිෆික් කලාපය දැන් “ප්‍රධාන ගැටුමක අපේක්ෂාව” මතු කරන “ප්‍රධාන බල මූලෝපායික තරඟයේ” වේදිකාව බවට පත්ව ඇති බැවිනි.

මෙම ලියවිල්ල චීනයට එරෙහි එක්සත් ජනපදය විසින් මෙහෙයවන ආක්‍රමණශීලී යුද්ධයකට සහභාගී වීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව ප්‍රකාශ කිරීමකට වඩා අඩු දෙයක් නොවේ.  “වඩා හොඳ අනාගතයක්” යන සටන් පාඨය මත වසරකට අඩු කාලයකට පෙර තේරී පත් වූ කම්කරු ආන්ඩුවක් විසින් මෙම වැඩපිලිවෙල මහජනතාවගේ පිටුපසින් ඉදිරියට ගෙන ගොස් ඇත.  යුද සැලැස්ම සඳහා ජනවරමක් නොමැති අතර, වැඩකරන ජනතාව අතර පුලුල්ව පැතිරුනු යුද විරෝධී මනෝභාවයක් පවතී.

ඕස්ට්‍රේලියානු මිලිටරි ගොඩනැගීම ජාත්‍යන්තර ප්‍රපංචයක  කොටසකි.  1930 ගනන්වල සිට , දැන් ධනවාදයේ ගැඹුරුම අර්බුදය මධ්‍යයේ, සියලු අධිරාජ්‍යවාදී බලවතුන් නැවත මිලිටරිකරණය වෙමින් සිටිති.  ජර්මනිය නැවතත් යුක්රේනය තුල රුසියාවට එරෙහිව ප්‍රහාරක මෙහෙයුම් සිදු කරයි.  ජපානය සිය මිලිටරි අයවැය දෙගුණ කර ඇත.  ප‍්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඔවුන්ගේ අධිරාජ්‍ය අභිලාෂයන් යලි පණගන්වමින් සිටිති.

භූගෝලීය වශයෙන් හුදකලා රටක් වන ඔස්ට්‍රේලියාව ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් සිටින බව පෙන්නුම් කරන්නේ මිලිටරිවාදයේ පුපුරා යාමේ ගෝලීය ස්වභාවයයි.

ඉහත සඳහන් ඕස්ට්‍රේලියානු සමාලෝචනය හුදකලාව පවත්වනු ලැබුවේ නැත.  එය බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද රාජ්‍යය සමඟ සමීපතම සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක විය.

එක්සත් ජනපදය යුක්රේනය බලල් අතක් ලෙස යොදාගෙන එතුල රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධය අඛණ්ඩව තීව්‍ර කරයි.  ඩොලර් බිලියන 100කට වැඩි ආධාර සැපයීම සහ යුක්රේනයටම විශේෂ බලකායන් සහ අනෙකුත් පිරිස් යෙදවීම මෙයට ඇතුලත් කර ඇත.  දැන්, එක්සත් ජනපදය සහ එහි සහචරයින් යුක්රේනය නේටෝව තුලට ඇතුලත් කර ගැනීම සඳහා තල්ලුව සපයයි. එය රුසියාව සමග සෘජු යුද්ධයක් අවුලුවාලිය හැකි පියවරකි.

එහෙත් න්‍යෂ්ටික ව්‍යසනයකට තුඩු දිය හැකි මෙම ප්‍රතිපත්ති නැගෙනහිර යුරෝපයේ ඔවුන් අනුගමනය කරමින් සිටින විට පවා, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි සහචරයෝ ගෝලීය යුද්ධයක් ලෙස වර්ධනය වෙමින් පවතින දෙයෙහි නව පෙරමුනක් විවෘත කරති.

එක්සත් ජනපදය විසින් ඉන්දියාව, ජපානය, දකුනු කොරියාව සහ ඕස්ට්‍රේලියාව මෙන්ම කලාපයේ කුඩා රටවල් ද කේන්ද්‍රගතව සම්බන්ධ කරගනිමින් ආක්‍රමණශීලී මිලිටරි සන්ධාන ජාලයක් වර්ධනය කිරීම ඇතුලුව, චීනයට එරෙහිව පූර්ණ ප්‍රහාරක සැලැස්මක් ක්‍රියාත්මක කරයි.  මේ අතර, එක්සත් ජනපදය, තායිවානය සම්බන්ධයෙන් දශක ගනනාවක් තිස්සේ පවතින තත්ත්වයට වල කැපීම ද ඇතුලුව, උණුසුම් යුද්ධයකට තුඩු දිය හැකි ප්‍රකෝපකරනයන් හිතාමතාම අවුස්සමින් සිටී.

මෙහිදී‍, ඕස්ට්රේලියාව විශේෂයෙන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට යොදවා ඇත.  එනම්, ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩාත්ම විශ්වාසදායක සගයා ලෙස, එය වොෂින්ටනයේ පිලිවෙතට ගැට ගැසීමට අනෙකුත් රටවලට තරවටු කිරීම සහ හිරිහැර කිරීම ය.  ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනි වොං වසරකට අඩු කාලයකදී සෑම පැසිෆික් දූපත් රාජ්‍යයකටම සහ බොහෝ අග්නිදිග ආසියාතික රටවල සංචාරය කරමින් මෙම පිලිවෙත ඔස්සේ වෙහෙස මහන්සි වී වැඩ කර ඇත; එහිදී ඇය කිසිදු අපගමනයක් නොඉවසන  බව පැහැදිලි කර ඇත.

හිටපු ට්‍රම්ප් නාවික හමුදා ලේකම් රිචඩ් ස්පෙන්සර්ගේ වචනවලින් කිවහොත්, මිලිටරිමය වශයෙන් ඕස්ට්‍රේලියාව “හෙල්ලයේ තුඩ” විය යුතුය.  එනම්, එය කලාපය තුල නිර්දය ලෙස මිලිටරි ගොඩ නැගීම සඳහා වේගය සැකසීමයි. එහි තර්කය නම් චීනය සම්පුර්ණයෙන්ම මිලිටරිමය ලෙස වටලෑමයි.

එමෙන්ම එය එ.ජ. හමුදාව සඳහාම “දකුණු නැංගුරමක්” ලෙස ක්‍රියා කිරීමට නියමිත අතර, ප්‍රහාරක ජෙට් යානා, ප්‍රහාරක සබ්මැරීන සහ යුධ නැව් ඇතුළුව ඉහළම එක්සත් ජනපද ප්‍රහාරක වත්කම් සමූහයක් මෙම දූපත් මහාද්වීපය තුල ස්ථානගත කිරීමට නියමිතය. මෙම ස්ථානගත කිරීම් බොහෝ චීන මිසයිල පරාසය ඉක්මවයි.

ඩීඑස්ආර් විශාල මිලිටරි තරකිරීමක් ඉල්ලා සිටිනවා පමණක් නොවේ.  එය අවම වශයෙන් 1970 ගණන්වල සහ 1980 ගණන්වල සිට ඕස්ට්‍රේලියානු ආරක්ෂක ප්‍රතිපත්ති නාමිකව පාලනය කර ඇති මූලධර්ම අවලංගු කරයි.

ඔස්ට්‍රේලියාව, අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස, විශේෂයෙන්ම දකුණු පැසිෆික් කලාපයේ, එහි කොල්ලකාරී අවශ්‍යතා අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් ඇත.  ඉරාකයේ සමාජ ඝාතන ආක්‍රමණය සහ ඇෆ්ගනිස්ථානය වසර විස්සක දිගු වාඩිලෑම ඇතුලුව, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන සෑම සාපරාධී යුද්ධයකටම එය සම්බන්ධ වී ඇත.

එහෙත් එහි මුඛ්‍ය මිලිටරි ප්‍රතිපත්තිය, අවම වශයෙන් කඩදාසි මත ලියවුනු දේ ⁣හැටියට, සාපේක්ෂ වශයෙන් හුදකලා වූ ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ආරක්ෂාව තහවරු කිරීම  සහ ඊට ආසන්නම ප්‍රදේශයේ පහළ මට්ටමේ ගැටුම්  සඳහා ප්‍රවේශයන් සහ සූදානම් වීමක් විය.  තවදුරටත් එය එසේ වන්නේ නැත.  ඩීඑස්ආර් ප්‍රකාශ කරන්නේ, දැන “ඉලක්ක අපේ දේශසීමාවෙන් ඔබ්බට” පවතින නිසා මිලිටරිය සමස්ත ඉන්දු-පැසිෆික් කලාපය පුරා “බලපෑම්කාරී ප්‍රක්ෂේපණයට” යෙදවිය යුතු අතර වඩාත් පුලුල් ලෙස යෙදිය යුතු බවයි.

DSR තවත් නව මූලධර්මයක් හඳුන්වා දෙයි.  පිටු 110ක ලේඛනයක 37 වතාවක් පුනරුච්චාරණය කරන ලද වාක්‍ය ඛණ්ඩවල, මිලිටරි ප්‍රයත්නය “සම්පූර්ණ රජයේ” සහ “මුළු ජාතියේ” ප්‍රයත්නයක් විය යුතු බව ප්‍රකාශ කරයි.  මේ සඳහා “ජාතික සමගිය සහ සහජීවනය” අවශ්‍ය බව ලේඛනය ප්‍රකාශ කරයි.

මෙය පාසල් හා විශ්ව විද්‍යාලවල සිට ආර්ථිකය සහ සියලු සේවා ස්ථාන දක්වා සමාජයේ සෑම අංශයක්ම “ජාතික ආරක්ෂාවට” සහ යුද ප්‍රයත්නයට යටත් කළ යුතු බවට කරන ප්‍රකාශයකට වඩා අඩු දෙයක් නොවේ.

නාමිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හද්‍රන්වන ආයතනවලට ඉහලින් මිලිටරිය තබන අතර සම්බන්ධතාවය ප්‍රතිලෝම කරමින් මිලිටරිය කෙරෙහි සිවිල් අධීක්‍ෂණය සහ පාලනය එය ප්‍රශ්න කරයි.  එය “ජාතික සමගියට” වල කැපීමක් ලෙස සැලකිය හැකි කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ අනෙකුත් විරෝධතා ක්‍රියා නීති විරෝධී කිරීම ඇතුළු පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ග සඳහා රාමුව ද සපයයි.

මෙම විශාල වෙනස්කම් යුක්ති සහගත කිරීම සඳහා, සමාලෝචනය පුනරුච්චාරණය කරන්නේ, චීනය පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ විශාලතම මිලිටරි ගොඩ නැගීම සිදු කරමින් සිටින බවත්, එය කලාපය පුරා “ආර්ථික බලහත්කාරයන්” සහ ආක්‍රමණශීලී මෙහෙයුම්වල යෙදී සිටින බවත් යන වොෂින්ටනයේ ව්‍යාජ ප්‍රකාශයන් ය.

මේ සියල්ල හුදෙක් ප්‍රක්ෂේපණය වේ.  එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් කලාපයේ සහ ඕස්ට්‍රේලියාවේ ම ඇතුළුව මිලිටරි කඳවුරු මගින් ලෝකය වට කර ඇත.  2011 දී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සිට ඔබාමා පාලනාධිකාරය එහි “ආසියාවට හැරීම” ප්‍රකාශ කිරීමෙන් පසු පෙන්ටගනය ඉන්දු-පැසිෆික් කලාපයේ දැවැන්ත මිලිටරි ව්‍යාප්තියක් සිදු කර ඇත.

DSR හි දක්වා ඇති සෑම මිලිටරි වත්කමක්ම ආක්‍රමණශීලී ස්වභාවයක් ගනී.  ඕස්ට්‍රේලියාව විසින් අත්පත් කර ගැනීමට නියමිත න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සමූහය ඊට ඇතුළත් වන අතර ඒවා “මුහුදේ ප්‍රභලම විලෝපිකයා” ලෙස නම් කර ඇත.  මීට හමුදාව සඳහා දිගු දුර ප්‍රහාරක මිසයිල, නම් නොකළ සන්නද්ධ ඩ්‍රෝන යානා සමඟ නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට සපයන ප්‍රහාරක මිසයිල ද ඇතුලත් වේ.

මහාද්වීපයේ මුළු උතුරම තථ්‍ය හමුදා ස්ථානගත වන ප්‍රදේශයක්  බවට පරිවර්තනය වෙමින් පවතින අතර, මෙය විශාල නවතුම් ස්ථාන සහ ඉන්ධන සැපයීමේ සැලසුම් සහිතව එය චීනයේ ප්‍රධාන භූමියට එරෙහිව ද ඇතුළුව කලාපය පුරා ආක්‍රමණශීලී එක්සත් ජනපද සහ ඕස්ට්‍රේලියානු මෙහෙයුම් දියත් කිරීමේ ලක්ෂ්‍යයක් ලෙස සේවය කළ හැකි වන පරිදිය.

එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් විසින් පෙන්වා දී ඇති පරිදි යුද සැලසුම්වල සැබෑ අරමුන චීනයට එරෙහිව යුද්ධ කිරීමයි. මන්ද චීනයේ  ආර්ථික වර්ධනය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛත්වයට තර්ජනයක් වන බැවිනි.  රුසියාව හා චීනය සමග ගැටුම් දිගටම පෙන්නුම් කරන්නේ එය භූ-මූලෝපායික වශයෙන් තීරනාත්මක යුරේසියානු ගොඩබිම මත එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීම අරමුනු කරගත්, තනි ගැටුමක පෙරමුණු දෙකක් ලෙස ය.

සියලුම ප්‍රධාන බලවතුන් සම්බන්ධ වන යුද ධාවනය ධනේශ්වර ක්‍රමයේ බිඳ වැටීමෙන් පැන නගී.  මෙම ආන්ඩු සියල්ලම පුපුරන සුලු සමාජ ආතතීන් පිටතට හරවා යැවීමට උත්සාහ කරමින් සිටින අතර, තම ප්‍රතිවාදීන්ට එරෙහිව එල්ල කරන ආක්‍රමණශීලී මිලිටරි ක්‍රියාමාර්ග හරහා තමන්ගේ අර්බුදය සමනය කර ගැනීමට යයි.

අධිරාජ්‍යවාදීන් යුද්ධයට පොලඹවන එම ක්‍රියාවලීන්ම කම්කරු පන්තියේ පුපුරන සුලු සමාජ අරගලවලට ආවේගය ලබා දෙයි.  දැනටමත්, සෑම මහාද්වීපයකම පාහේ බලගතු වැඩ වර්ජන සහ විරෝධතා සිදුවෙමින් පවතින අතර පන්ති අරගලයේ ප්‍රධාන වර්ධනයක් සිදුවෙමින් පවතී.  මෙම අරගල පුපුරා යන්නේ, ඉහල යන උද්ධමනය සහ දැවැන්ත මිලිටරි ගොඩ නැගීම සඳහා වැඩකරන පන්තිය විසින් ගෙවීමට සැලැස්වීම අරමුනු කරගත් කප්පාදු පිලිවෙත් ඇතුලු, යුද්ධයේ ප්‍රතිවිපාක වලට එරෙහිව ය.

යුද්ධය අවසන් කළ හැක්කේ ධනවාදය සහ එහි යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමෙන් පමනි.  එනම්, සමාජ සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සාමය සඳහා වන පොදු අරගලයක් තුල ලොව පුරා ශ්‍රමිකයන් එක්සත් කරමින් ජාත්‍යන්තර වැඩකරන පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් සඳහා වන අරගලයයි.

මෙම ඉදිරිදර්ශනය 2023 මැයි දිනය සැමරීම සඳහා වන ගෝලීය ඔන්ලයින් රැලියේදී ගෙනහැර දක්වනු ඇත. [අවධාරනයන් සංස්කාරක ගෙනි]

#theSocialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top