කම්කරු මාවත  ඉතිහාසයෙන්: කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය

JRJ
1978 අගමැති ලෙස පත් වීමෙන් පසු නුවර පත්තිරිප්පුවේ සිට ජේ.ආර් ජයවර්ධන ‘ජාතිය අමතයි’ (ඡායාරූපය:ජයවර්ධන කේන්ද්‍රය) 

මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ 1977 ජූලි 18 වන දින පළ කරන ලද ලිපියකි.

1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලද තම වැඩපිලිවෙල සම්බන්ධව විකොස ඉදිරිපත් කරන ලද විවේචන හා එහි විප්ලවවාදී වැඩපිළිවෙළ සම්බන්ධ ලිපි අතරින් පහත ලිපිය යූඇන්පී ප්‍රතිපත්ති ගණනාවක් විචාරයට ලක් කරයි. වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරණය කිරීමට අදාළ න්‍යාය පත්‍රය ඒ ආකාරයෙන්ම ජේ.ආර් ජයවර්ධන විසින්ද තම මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරනු ලැබීම ඉතිහාසය පුනරාවර්තනය වන්නේ ධනපති ක්‍රමයේ අර්බුදයෙන් ගොඩ ඒමේ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා බවත් නව  වැඩපිළිවෙළ වඩාත්  ඉහලට එසවුනු කප්පාදු පියවර වලින් සමන්විත වන බවත් අද මහ ජනතාව අත් දකිමින් සිටි. 1977 ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ලංකාව විවෘත වෙලදපොලට නිරාවරණය  කිරීමේ න්‍යාය පත්‍රය පූර්ණ කිරීමේ ඉතිරි කොටස හරියටම ඉටුකිරීමට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට වික්‍රමසිංහ අවශ්‍ය පොරොන්දු දෙමින් නීතිමය, ආරක්ෂක හා දේශපාලන රාමුව සකස්කරමින් පවතී. ඉතිහාසයේ බරපතළ වැරදි නැවත පුනරාවර්තනය නොකිරීම සඳහා කම්කරු මහජනතාව මෙකී ඓතිහාසික අත්දැකීම් දැඩි ලෙස අවධාරණයට ගත යුතුය.    

***

කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය

යූඇන්පීය තව දින කිහිපයකින් පසු පැවැත්වෙන මැතිවරනයේදී බලය ඉල්ලා සිටින එක් ධනපති පක්ෂයකි. එය ඉදිරිපත් තර ඇත්තේ මෙතෙක් මොනයම්ම හෝ ධනපති පක්ෂයක් විසින්වත් ඉදිරිපත් කර නැති ප්‍රමානයේ අසීමිත බංකොලෝත් වැඩ පිලිවෙලකි. එහි ප්‍රධාන අංගයන් මේවාය.

බඩු මිල අඩු නොකිරීම

අකුරැස්සේදී හා දෙනියායේදී ගිය සතියේ පවත්වන ලද රැස්වීම් වලදී බඩු මිල කෙසේවත් පහල දැමිය නොහැකි බවත්,ලෝකයේ වනත් රටවල බඩු මිල ඉහල යාම සලකා බලන විට බඩු මිල පහත දානවා යැයි කරන පොරොන්දවු බොරු පොරොන්දුක් බවත් යූඇන්පී නායකයා කල ප්‍රකාශය ධනපති පත්තරවල  පවා පල විය.  මේ අනුව පාන් මිල, හාල්මිල, මූලික එලවලු වර්ග වල මිල ආදියහි කිසිදු මිල පහල යාමක් සිදු නොවේ. පිටිකිරි හා ලදරු ආහාර පිලිබඳ තත්වයද එසේමය.

බඩු මිල අඩු නොකිරිමේ තීන්දුව බෙහෙත් ද්‍රව්‍ය හා පාසැල් පොත් කෙරේ ⁣කෙලින්ම බලපානු ඇත.

ලෝක වෙලඳ ලොගේ මිලට අනුව ලංකාවේ බඩු මිලද හැසිර වීමේ යූඇන්පීයේ ප්‍රකාශිත අරමුනට අනුව විශාල ප්‍රමානයන්ගෙන් බඩු මිල ඉහල දැමීමේ තීන්දු ක්ෂනිකව ක්‍රියාවට දැමීමට ඔවුනට සිදුවනු ඇත.

ලංකාවේ ආහාර ද්‍රව්‍ය සඳහහා පමනක් රටේ මාසික ආදායමෙන් ආදායමෙන් සියයට 85ක්  වැයවෙන බවට ඔවුන් දැන් ගෙන යන ප්‍රචාරය ට අනුව දැනට ලැබෙන සීමිත ආහාර සහනාධාර කපා දැමීමේ තීන්දුව ඔවුන් විසින් ගත යුතුව ඇත. ශ්‍රීලනිපය 1973 දී හාල් සලාකය හරි අඩකින් කැපීමට ගත් තීන්දුව එහි තර්කානුකූල අන්තය කරා ගෙන ඒම මීළඟ ධනපති ආණ්ඩුවට වැළැක්විය නොහැකිය.

කෘෂිකර්මාන්තය විනාශ කිරීම 

“බඩු මිල පහත නෙහෙළීම” පිළිබඳ ජේ.ආර් ජයවර්ධන කර ඇති ප්‍රකාශනය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මරනීය වෙයි. මෙහි අර්ථය නම් පොහොර මිල, ට්‍රැක්ටර් මිල, රසායනික ද්‍රව්‍ය මිල පිළිබඳ කිසිදු සහනයක් යූඇන්පී යෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. 

ශ්‍රීලනිපය කෘෂිකර්මාන්තය ගැන අනුගමනය කල ප්‍රතිපත්තිය ගොඩ මඩ දෙකහිම ගොවිතැන විනාශ කලේය. රාජාංගනය මීට උදාහරනයකි. රජරට පලාත පුරා ගොවි බිම් විනාශ වී පැන නැගී ඇති අර්බුදයත්,  උඩරට ප්‍රදේශයේ විශාල වශයෙන් එළවළු වගාවන්හි ඇති අර්බුදයත් ඉදිරි මාසවලදී ආහාර ද්‍රව්‍යයන්ගේ  විශාල මිල ඉහල යාමක් හා  හිඟයක් නිර්මානය කරනු ඇත.

මේ තත්ත්වයෙන් රට ගොඩනැගීමේ කිසිදු සැලැස්මක් යුඇන්පිය ඉදිරිපත් කොට නැත.

විශේෂයෙන්ම ගොවියාට වතුර සැලසීම පිළිබඳ ප්‍රශ්නය ගැන එය මුළුමනින්ම නිහඬය.

පොල් සහ තේ වගාවන් වල දැන් වාර්තා වී ඇති කඩා වැටීම නතර කිරීමට ද කිසිදු වැඩපිළිවෙළක් ගැන යූඇන්පිය කතා නොකරයි.

දේශීය කර්මාන්ත විනාශ කිරීම හා සංස්ථා වසා දැමීම

බියගම පැවැති රැස්වීමක දී ජේ.ආර් ජයවර්ධන මෙසේ ප්‍රකාශ කළේය. 

“රජය විසින් පසුගිය අවුරුදු හත ඇතුළත සංස්ථා ගනනක්ම ඇති කලා. ඉන් සමහර ඒවායේ පාලනය ඉතාමත් ම පහත් තත්වයකට පත්විය.  මෙම අකාර්යක්ෂම සංස්ථා වලින් ඒවා පිහිටුවීමේ පරමාර්ථය ඉටු වී නෑ. සමහර සංස්ථා වසා දැමීමට සිදුවිය හැකිය.” මේ ජනපති නායකයා කෙලින්ම ප්‍රකාශයට පත් කරන්නේ හාම්පුතුන්ගේ සංගමය හා ලංකා  වෙලඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය කාලයක් තුළ කර ඇති ඉල්ලීමකි. එනම් පෞද්ගලික ධනපතියාගේ සෘජු බලපෑම යටතට ලංකාවේ සියලු වෙළඳ ව්‍යාපාර යටත් විය යුතු බවය. 

ඔහු ඉදිරිපත් කරන්නේ කාර්මික සංස්ථා තුල 44% ක ප්‍රමානයට ශ්‍රිලනිප ආන්ඩු කාලය තුල සිදු වූ කඩා වැටීම ගොඩ ගැනීමේ ක්‍රමයක් නොවේ. මේවා මුළුමනින්ම වසා දැමීමටත් පිටරට කොම්පැනි වල සෘජු ගනුදෙනු කාරයන් බවට පත්වීමටත් ලංකාවේ කොම්පනි කාර්යන්ට හා වෙලඳ ව්‍යාපාරිකයන්ට මග සලසා දීමේ වැඩපිලිවෙලකි.

මේ රටේ නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් බඩු ගෙන්වා මෙහි විකිනීම හොඳ යයි ඔහු මහරගම දී කල කතාවේ තේරුම එයයි. එය ජාතික කර්මාන්ත මුළුමනින්ම අත්හැර දැමීමට කරන ලද කතාවකි.

කම්කරුවන් විශාල වශයෙන් රැකියා වලින් එල වීමත්, කිසිදු අලුත් රැකියාවක් ඇති නොවීම නිසා රැකියා හිඟය උග්‍ර වීමත්, දැනට ඇති සීමිත ධනයද පිටරට ඇදී යාම නිසා පූර්න බංකොලොත් භාවයක් මෙම පියවරේ ප්‍රතිඵල වනවා ඇත.

නිදහස් වෙළඳ කලාපය නැමැති ප්‍රෝඩාව 

ලංකාවේ අක්කර 200ක පමන ප්‍රදේශයක් විදේශීය ධන ආයෝජකයන්ට පවරා දී නිදහස් වෙලඳ කලාපයක් ඇති කරන බව යූඇන්පී වැඩපිලිවෙලේ ප්‍රධාන අංගයක් වුවත් එය මුළුමනින්ම ප්‍රෝඩාවකි.

අමෙරිකාව ප්‍රමුඛව සියලුම අධිරාජ්‍යවාදී රටවල මූලික ප්‍රතිපත්තිය නම් වෙළඳ යුද්ධයේ ප්‍රතිපත්තියයි. කිසිම රටක් සංවර්ධනය කිරීම සඳහා මුදල් යෙදවීමේ ප්‍රතිපත්තිය ඔවුන් මුළුමනින්ම අතහැර දමා ඇත. එසේම දීර්ඝ කාලීන ආයෝජන සඳහා මුදල් යෙදවීම අද බහුජාතික කොම්පැනි විසින්  සලකුනු ලබන්නේ යල්පැන ගිය ප්‍රතිපත්තියක් ලෙස ය.

ජේ.ආර් ජයවර්ධන අධිරාජ්‍යවාදීන්ට මොනම විදියේ අනර්ඝ කොන්දේසි හදා දුන්නත් එම කොම්පැනි  ජනසතු නොකරන බවටත්, රටේ වෘත්තීය සමිති අයිති නැති කරන බවට මොන පොරොන්දුව දුන්නත් ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම මෙන්ම බංකොලොත් අධිරාජ්‍යවාදීන්ගෙන් නය ආධාර හා ආයෝජන ගෙන්වා ගැනීම ද කල නොහැක්කකි.

වෘත්තීය සමිති කැඩීම හා ආරක්ෂක නීති තර කර ගැනීම   

“දවස” පත්තරයට යූඑන්පී නායකයා දුන් ප්‍රකාශනයක මෙසේ සඳහන් වේ. “එක් වෘත්තියක් සඳහා එක සමිතිය බැගින් පිහිටුවීමෙන් ඒ ඒ සේවකයන් රාජකාරි යෙදී සිටින ආයතනය පාලනය සඳහා ඔවුන්ගේ සහභාගිත්වය ලබා ගැනීම පහසු වන්නේය.” තවදුරටත් දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති අතර ඇති සම්බන්ධය නොසුදුසු යැයිද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“තනි සමිතියක්” පිළිබඳ අදහසත්, වාමාංශික දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති අතර ඇති සම්බන්ධය කැඩීමට ගන්නා උත්සාහයත් අද යූඇන්පීය විසින් අලුතින් ඉදිරිපත් කරන ඒවා නොවේ. ඒවා කවදත් ඔවුන්ගේ වුවමනාවන් විය. එහෙත් අද ධනපති ක්‍රමය මුහුන පා ඇති අර්බුදය නිසා මේ පියවර ගැනීමට ඔවුන් වඩාත් මෘග  අන්දමින් ඉදිරිපත් විය යුතුය.

ජනරජ ව්‍යවස්ථාව හා වෙනත් නීති ප්‍රතිසංස්කරනය කරන බවට ඔවුන් දෙන පොරොන්දුවේ අදහස එයයි. මහජන ආරක්ෂක පනත, අපරාධ යුක්ති පනත හා සේවා අහෝසි කිරීමේ පනත වැනි ශ්‍රීලනිපයට සම්මත කරගත නොහැකි වූ පනත් නැවත ගෙන ඒමට ද අලුතෙන් තවත් මර්දන නීති රාශියක් ගෙන ඒමටද යූඇන්පිය සූදානම් ය.

ජනාධිපති භාවය හා ඒකාධිපති බලතල හා සිවිල් යුද්ධය  

ජේ.ආර් ජයවර්ධන තමන් වටා සියලු බලතල ඒකරාශී කර ගැනීමට ධනපති ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පවතින බල බෙදීම යන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අත්හැර දැමීමටත් ගන්නා උත්සාහය ඒකාධිපතිත්වයක් සදහා ගන්නා උත්සාහයකි.

මෙය යූඑන්පී ආන්ඩුවක ඇත්ත අරමුන පැහැදිලි කරයි. එනම් අන්ත දුගී ආර්ථික තත්වයන්,  කම්කරුවන්, ගොවීන් හා සෙසු පීඩිත කොටස් මත පැටවීමට අවශ්‍ය පොලිස්-මිලිටරි කුමන්ත්‍රනයකට පසුබිම සකස් කර ගැනීමය. යූඇන්පීයේ ඇත්ත ගමන් දිසාව එයයි.

ලංකාවේ සියයට 43 ක් පමණ වන රුපියල් 200ට අඩු ආදායම් ලබන දුගීන්ට ද, රුපියල් 200 – 400 අතර පඩි ලබන ඉතිරි සියයට 37 ට ද, යූඇන්පිය විසින් හිමි කරනවා ඇත්තේ, කොලපත හා මහපාර පමනය. ඔවුන්ගේ අනාගතය රැඳී ඇත්තේ ශ්‍රීලනිපය  මෙන්ම යූඑන්පීයත් පරාජය කිරීමේත්, කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩ නගා ගැනීමෙත් මාවත ඔස්සේ පමනය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top