ගාසා ජන සංහාරය හා ආරොන් බුෂ්නෙල්ගේ මරනය විසින් මතු කෙරෙන දේශපාලන පාඩම් කවරේද? –  02 වන කොටස

ඩේවිඩ් නෝර්ත් විසිනි.

පහත පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඈන් ආබර්හි මිචිගන් සරසවියේ “The Gaza genocide and the death of Aaron Bushnell: What are the political lessons?” නමින් පසුගිය මාර්තු 12 වන අඟහරුවාදා පැවැත්වූ දේශනයකි. එය ලෝසවෙඅ තුල ඉංග්‍රීසි බසින්  පසුගිය මාර්තු 14 දින පල විය. කොටස් දෙකකින් යුතුව පල කෙරෙන මෙම පරිවර්තනයේ පලමු කොටස theSocialist.LK හි 2024 මාර්තු 19 දින පල කෙරුනි. මේ එහි දෙවන හා අවසන් කොටසයි. සිංහල පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි. 

ආරොන්ගේ සියදිවි නසා ගැනීම සාධාරනීකරනය කිරීමට දැරෙන ප්‍රයත්න වලින් වඩාත් ම කැලඹීමක් ඇති කරන සුලු එක වන්නේ මාධ්‍යවේදී ක්‍රිස් හෙජස් ලියා ඇති, “ආරොන් බුෂ්නෙල්ගේ දිව්‍යමය ප්‍රචන්ඩත්වය” නම් මැයෙන් යුත් රචනයයි. එය Scheerpost, Consortium News හා අනෙකුත් විවිධ අන්තර්ජාල වෙබ් අඩවිවල පල වී ඇත. මෙම රචනය ආගමික ගූඪවාදයේ, මධ්‍යම පාන්තික මනෝරාජිකවාදයේ, දේශපාලන මංමුලාවේ, ඓතිහාසික මුසාකරනයේ සහ අහේතුකවාදය උත්කර්ෂයට නැංවීමේ සංකලනයකින් සමන්විත වේ.    

මෙම සියදිවි නසා ගැනීම ආගමික වාං මාලාව ඇසුරෙන් අර්ථ දක්වමින් හෙජස් සිය රචනය ආරම්භ කරන්නේ, බුෂ්නේල්ගේ මරනය “ආන්තික නපුරට එරෙහි ව ප්‍රචන්ඩත්වය අභිමුඛ කල” බව ප්‍රකාශයට පත් කරමිනි. යුද්ධයට ධාවක බලය දෙන සමාජ පන්තීන්, ආර්ථික උත්සුකයන් හා භූ දේශපාලනික මූලෝපායයන් හඳුනා ගැනීම වෙනුවට හෙජස්, තථ්‍ය සමාජ-ආර්ථික ප්‍රපංචයක් අධ්‍යාත්මික වියුක්තනයක් වන, පොදුවේ යක්‍ෂයා ලෙස ද හඳුන්වනු ලබන “ආන්තික නපුර”ට දිය කර හරියි. මෙම පදනම මත හෙජස් යුද්ධයේ වගකීමෙන් ආන්ඩු හා දේශපාලනඥයන් ද, ඔවුන් ක්‍රියාත්මක වන්නේ කිසියම් සමාජ පන්තියක අවශ්‍යතා වෙනුවෙන් නම් එකී පන්තිය ද මුදා හරිමින් එය පොදුවේ මානව වර්ගයා මත පවරයි. “ආරොන් බුෂ්නෙල් අපේ පාපයන් වෙනුවෙන් මිය ගියේයැ”යි හෙජස් ප්‍රකාශ කරයි. ඒ අනුව ගම්‍ය වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, නැටෝවේ හා එහි ඊශ්‍රායල අනුචරයන්ගේ අපරාධවලට සමස්ත මානව වර්ගයා වගකිව යුතු බවයි.    

මෙසේ මෙම ගැටුම ගූඪකරනය කිරීමෙන් පසුව හෙජස්, ඇමරිකානු මිලිටරිය යහපත සඳහා බලයක් බවට පරිවර්තනය කිරීමේ ශක්‍යතාව සිත්හි මවා ගනී.

ඔහු මෙසේ අසයි:

“සාධාරන ලෝකයක එජ නාවුක බලඇනිය, ගාසාවට ආහාර, නිවාස හා ඖෂධ ලබා දීමට ඊශ්‍රායල සම්බාධක බිඳ දැමිය යුතු නොවන්නේ ද? අතොරක් නැති බෝම්බ හෙලීම් නැවැත්වීමට එජ යුද ගුවන්යානා ගාසාවට ඉහල අහසේ පියාසර තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කල යුතු නොවන්නේ ද? ගාසාවේ සිය හමුදා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලයට අවසාන නිවේදනයක් නිකුත් කල යුතු නොවන්නේ ද? ඊශ්‍රායලයට නැව් පිටින් ආයුධ යැවීම, බිලියන ගනන් යුදමය ආධාර සහ රහස් තොරතුරු ලබා දීම නැවැත්විය යුතු නොවන්නේ ද? ජන ඝාතනයේ යෙදුනු අයට මෙන් ම ඊට ආධාර කල අයට ද එයට වග කියන්නට සැලැස්විය යුතු නොවන්නේ ද? 

බුෂ්නෙල්ගේ මරනය අපට බල කරන්නේ මෙම සරල ප්‍රශ්නවලට මුහුන දීමට ය.”  

ඔහුගේ ප්‍රශ්නවලට පිලිතුරු දැක්වීම් වශයෙන් යමෙකුට හෙජස්ගෙන් මෙසේ ඇසීමට අයිතියක් ඇත: “මේ “සාධාරන ලෝකය” සාක්ෂාත් කර ගැනීම සඳහා අප යාඥා කල යුතු වන්නේ කවර දේවස්ථානයක ද? කවර සිනගෝගයක ද? කවර පල්ලියක ද?” ඔහුගේ ප්‍රශ්න “සරල” නොවේ. ඒවා හුදෙක් අභූතරූපී ය. දේශපාලන යථාර්ථය පිලිබඳ කවර හෝ වැටහීමක් ඇති කිසියම් ම හෝ බුද්ධිමත් තැනැත්තෙකු ඒවා ඇසිය යුත්තේ මන්ද? හෙජස්ගේ ප්‍රශ්නවලින් ඉදිරිපත් කෙරෙන්නේ, “නපුර”, “හොඳ” දෙයින් විස්ථාපනය කලහොත් සියල්ල යහපත් ආකාරයෙන් සිදු වන, ලිබරලුන් විසින් සිතා ගනු ලැබූ ආකාරයේ ලෝකයකි. හරය වශයෙන්, එය සියලු විරෝධතා දේශපාලනයන් හි දර්ශනයයි.    

එහෙත් ඔහුගේ ප්‍රශ්නවල කිසිත් අර්ථයක් නැත. මක්නිසාද යත්, ඉදින් හෙජස් විසින් සිතේ මවා ගන්නා ලද ආකාරයේ “සාධාරන ලෝකය”කට යුද ගුවන්යානා, පියාසර තහනම් කලාප සහ අවසාන නිවේදන ආදියේ අවශ්‍යතාවයක් තිබේ ද? හෙජස්ගේ “සරල ප්‍රශ්න”වල කවර හෝ අර්ථයක් පැවතිය හැක්කේ යමෙකු එජ අධිරාජ්‍යවාදය වෙනස් කල හැකි, හා යහපතට විභවයක් ඇති, බලයක් ලෙස සිතා ගතහොත් ය. අනෙක් අතට ඊශ්‍රායලය වටහා ගනු ලබන්නේ ශුද්ධ හා නොවෙනස්කලහැකි නපුර පහලවීමක් ලෙස ය. මෙම කල්පිතයේ ඇති ක්‍රිස්තියානි හා ආධානග්‍රාහී උපරිතානයන් පැහැදිලි ව දෘශ්‍යමාන ය.

යහසාධක එජ අධිරාජ්‍යවාදයක් සඳහා ඔහු කරන සදාචාරවාදී ආයාචනයට සහාය පිනිස හෙජස් මෙසේ කියා සිටී: “ප්‍රථම ගල්ෆ් යුද්ධයෙන් ඉක්බිති 1991 දී කුර්ද් ජාතිකයන් රැකීමට ඒකාබද්ධ හමුදා උතුරුදිග ඉරාකයට මැදිහත් වූහ.” 1991 ගල්ෆ් යුද්ධය, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් මෙපිට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රචන්ඩ පුපුරා හැලීමේ ආරම්භය සනිටුහන් කල බව හෙජස්ට අමතක වී ඇති සේ ය. එම යුද්ධය අතරතුර දී ලක්ෂ ගනන් ඉරාක ජාතිකයෝ මරනයට පත් වූහ. පියාසර තහනම් කලාපය ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවට කුර්ද්වරුන් ආරක්ෂාව සමඟ කිසිදු සම්බන්ධයක් නොවීය. ජනාධිපති බුෂ් (ජ්‍යෙෂ්ඨ) විසින් අනුයන ලද පිලිවෙත් මුලුමනින් ම මෙහෙයවන ලද්දේ ඉරාක ආක්‍රමනය මධ්‍යයේ එක්සත් ජනපද හමුදාවේ උපායාත්මක උත්සුකයන්ගේ තක්සේරුව විසිනි.

හෙජස්ගේ රචනයේ වඩාත් ගර්හා කට යුතු කොටස් වනුයේ, බුෂ්නෙල්ගේ “ස්වයං බිලිපූජාව” “බලගතු දේශපාලන පනිවුඩයක්” ලෙස ගැනීමට පක්ෂව ඔහු උද්‍යෝගී ලෙස තර්ක කරන එකී කොටස් ය. 

ඔහු මෙසේ නිවේදනය කරයි: “එය ප්‍රේක්ෂකයා තිගස්සවා ඔහුගේ නිද්‍රාවෙන් පුබුදුවයි. එය කල්පිතයන් ප්‍රශ්න කිරීමට ප්‍රේක්ෂකයාට බල කරයි. එය ක්‍රියාකරන ලෙස ප්‍රේක්ෂකයාට කන්නලව් කරයි. එය දේශපාලන රඟහලකි. නැතහොත්, ඇතැම්විට, එහි වඩාත්ම ප්‍රබල ආකාරයෙන් කෙරෙන ආගමික පූජාවිධියකි.”  

බුෂ්නෙල්ගේ දිවි නසා ගැනීම පිලිබඳ හෙජස් ලබා දෙන අසීමිත අනුමැතිය විසින් ඔහු, හුදෙක් තරුනයාගේ මරනයට සිද්ධියෙන් පසු හවුල් වූ අපරාධ සහායකයෙකු කෙරෙනු පමනක් නොවේ; ඇත්තෙන් ම, අනාගත විරෝධතා දිවි නසා ගැනීම් සඳහා පොලඹවන්නෙකු බවට ද පත් කෙරෙයි. මෙම අනුමැතිය ගලා එන්නේ, දේශපාලන යථාර්ථය පිලිබඳ පරිපූර්නව ම සාවද්‍ය වූ සංවර්නනයකිනි. යමෙකු, හෙජස් ලියා ඇති දේ මත පදනම් ව, ආරොන් සියදිවි නසා ගත්තේ පලස්තීනුවන් සමූහ ලෙස ඝාතනය කිරීමට එරෙහි කිසිදු බහුජන විරෝධයක සේයාවක් හෝ නොපවතින, ගාසාවේ ජන සංහාරය පිලිබඳ මහජනයා කිසිත් නොතකා සිටින තතු යටතේයැයි සිතනු ඇත. ඉදින්, සාර්වභෞමික උදාසීනත්වයක එවන් තතු යටතේ සිය ජීවිතය පුදා, ගාසාවේ ජනයා පිලිබඳ කිසියම් දෘශ්‍යමාන මට්ටමක සැලකිල්ලක් පුබුදුවා ගනු වස් දැරෙන අපේක්ෂාභංග ප්‍රයත්නයක් තුල තමන් බිහිසුනු ප්‍රචන්ඩත්වයකට ගොදුරු කරනු විනා ඔහුට වෙනත් කල හැකිව තිබුනේ කුමක් ද?  

එහෙත් හෙජස් විසින් උපකල්පිත හා ගොතනු ලැබූ තතුවලට පටහැනි ලෙස, ඊශ්‍රායල ආක්‍රමනයට ලෝකයේ දස අතින් ම නැඟුනු මහජන විරෝධතාවලට මූහුන දීමට සිදු විය. ගනන් තැබිය නොහැකි තරම් පෙලපාලි පැවැත්වින. ඉන් ඇතැම් ඒවාට ලක්ෂ ගනනින් ජනයා සම්බන්ධ වූහ. බොහෝ අවස්ථාවන් හි දී යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් සැලකිය යුතු විරෝධතාවලට සහභාගී වූ බවත්, ඒවා සංවිධානය කිරීමට පවා සම්බන්ධ වූ බවත් ඊට එක් කල යුතුය.     

Rally
Jewish Voice for Peace විසින් නිව්යෝර්ක්හි සංවිධානය කරන ලද විරෝධතාවයකට දහස් ගනනක් සහභාගී වෙමින් 

විරෝධතාවල කාර්යසාධකතාව සීමා කල ගැටලුව වූයේ ගාසාවේ ජන ඝාතන පිලිබඳව මහජනයා නොතකා සිටීම නොව, එකී ජනඝාතනවලට ද, වඩාත් පුලුල් ව ගතහොත් තුන්වැනි ලෝක යුද්ධයකට හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට අධිරාජ්‍යවාදීන් විසින් සිදු කෙරෙන සූදානම්වීමට ද එරෙහි අරගලය පදනම් කල හැකි දේශපාලන ඉදිරි දර්ශනයක් සහ මූලෝපායයක් නොපැවතීම යි.  

විරෝධතා පැවැතී ඇත්තේ ධනේශ්වර දේශපාලනයේ පවතින ව්‍යුහයන්හි සීමාවන් තුල ය. ඒවා මෙහෙයවනු ලැබ ඇත්තේ ධනපති පාලනයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික බලමුලු ගන්වා ගැනීම දිශාවට නොව, ඒ වෙනුවට, සිය පිලිවෙත් වෙනස් කර ගන්නා ලෙස ධනපති ආන්ඩුවලට බලපෑම් කිරීමේ දිශාවට ය.    

ඇත්තෙන් ම හෙජස් විසින් සහයෝගය දෙනු ලබන දේශපාලනික දිශානතිය වන්නේ මෙයයි. ඔහු, චාරිත්‍රානුකූල සියදිවි නසා ගැනීම්වල කාර්යසාධකතාවය පිලිබඳ උදාහරන ලෙස, ඉතිහාසයේ දී ටියුනීසියාවේ, දකුනු වියට්නාමයේ හා ටිබෙටයේ සිදු කෙරුනු ස්වයං ජීවිත පූජාවන් පිලිබඳ විශේෂ අවධාරනයන් සිදු කරමින් එවැනි ඉහත සිදුවීම් පිලිබඳව සඳහන් කරයි. ඔහු සඳහන් කර ඇත්තේ, “මෙකී තනි තනි ආත්ම පූජාවන් නිරතුරුව ම, බහුජන විරෝධය කැඳවුම් කරන ඒකරාශී කිරීමේ නිමිති ලෙස ක්‍රියාත්මක වී ඇති” බවයි.   

මෙහිදී, එවැනි නාටකාකාර සිදුවීමක් විසින් විරෝධතා දල්වන ලද, හා පැවැති විරෝධතා තීව්‍ර කරන ලද අවස්ථා තිබෙන බව සත්‍යයකි. එහෙත් විධිගත ජීවිත පූජාවක් සමාජය විප්ලවවාදී ලෙස පරිවර්තනය කිරීම සඳහා වූ ඵලදායී මූලෝපායයකට සම්මාදම් වූ අවස්ථා නොමැත. ඇත්තෙන් ම, ඔහු උපුටා දක්වන අවස්ථා තුනෙන් දෙකක දී, එනම්, දකුනු වියට්නාමය හා ටිබෙටය සම්බන්ධ සිදුවීම්වල දී, ස්වයං-ජීවිත පූජා සිදු කරන ලද්දේ ප්‍රතිගාමී දේශපාලන බලවේග විසින් වන අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය ඒවා තමාගේ ම අරමුනු වෙනුවෙන් භාවිතා කලේය.    

උදාහරනයක් ලෙස, 1963 දී තික් ක්වෑන් ඩුක් නම් බෞද්ධ භික්ෂුවගේ ප්‍රාන පූජාව විසින් ධාවිත සිදුවීම් දාමය, උතුරු වියට්නාමයට හා ජාතික විමුක්ති පෙරමුනට එරෙහි ව ඵලදායී අරගලයක් දියත් කිරීමට අසමර්ථ ලෙස (ඇමරිකාව විසින්) දක්නා ලද එවකට පැවැති ඩියෙම් තන්ත්‍රය පෙරලා දමා මිලිටරි ජුන්ටාවක් බලයට ගෙන ඒම සඳහා කෙනඩි පාලනය භාවිතා කලේය.  

Tibet

ටිබැටයේ ජීවිත පූජා සම්බන්ධයෙන් ගත් කල, ඒවා, චීනයට එරෙහි ආයුධයක් ලෙස, බෙදුම්වාදී ව්‍යාපාරයට දිරි දෙමින් සිටි වොෂින්ටනයේ උත්සුකයන්ගෙන් මඟ පෙන්වන ලද සිදුවීම් විය. මෙකී ව්‍යාපාරයේ ඉතා දුරස්තර ආකාරයෙන් හෝ ප්‍රගතිශීලී වූ කිසිවක් නොවීය. තරුන කම්කරුවෙකුගේ සියදිවි නසා ගැනීම මහජන විරෝධතා අවුලුවා ලූ ටියුනීසියාව පිලිබඳ ව සැලකු කල, ඉන් දශකයක ඇවෑමෙන්, එදා පෙරලා දමන ලද එකී පිරිස ම, විරෝධතාවල මුල් රැල්ලේ දී පෙරලා දමන ලද එම දේශපාලන බලවේග ම, යලිත් බලයට පත් ව සිටියෝය.

එහෙත් හෙජස්ට සිය උද්දාමය දරා සිටිය නොහැක. ඔහුට අනුව ස්වයං ප්‍රාන පූජාවන් යනු, “පූජාමය උත්පත්තීන් ය. ඒවා අලුත් යමක් පිලිබඳ අශුභ නිමිති දක්වයි. ඒවා, සම්මුතීන් හා බලය රජයන පර්යායයන් පිලිබඳ පරිපූර්න ප්‍රතික්ෂේපනය එහි වඩාත්ම නාටකීය ආකාරයෙන් පලකිරීම් ය.”   

මෙය අසත්‍යයකි. එබඳු ක්‍රියා ඔය කියන කිසිවක් නොවේ. අවස්ථානුකූල ව ඒවා පුද්ගලයන්ගේ වෙනසක් හෝ පවතින තන්ත්‍රයක් වෙනස් කිරීම හෝ අරමුනු කර ගත් ක්‍රියාවන් විය හැකිය. නැතහොත්  – වඩාත් සුලබ ලෙස සිදුවන්නේ මෙයයි – එමඟින් අපේක්ෂා කරන්නේ දැනට බලය දරන්නන් ලවා පවතින ප්‍රතිපත්ති වෙනස් කරවා ගැනීම විය හැකිය.  

ඒවා පවතින දේපල සම්බන්ධතා පෙරලා දමා, ධනපති රාජ්‍යය හා එහි ආයතන බිඳ හෙලා කම්කරු පන්තිය අතට බලය මාරු කිරීමේ දිශාවට දැනුවත් ව එල්ල කල ක්‍රියාවන් නොවේ.

ඊට පටහැනි ලෙස, ඉතාම මූලික අර්ථයෙන් සලකන කල්හි, විධිගත ප්‍රාන පූජාවෝ සමාජවාදයේ හා සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සමඟ මූලිකව ම අසංගත වෙති. සමාජවාදී විප්ලවයේ වැඩ පිලිවෙල සූත්‍රගත කෙරෙන්නේ සමාජයේ සමාජ-ආර්ථික ව්‍යුහය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක පදනම මත ය. සමාජ විප්ලවයේ මූලික ධාවක බලවේගය වන්නේ අපරිනත හා මංමුලාසහගත ප්‍රකෝපය නොව, ලෝක ධනේශ්වර පර්යායේ වෛෂයික ප්‍රතිවිරෝධයන් පිලිබඳ අවබෝධය හා, එකී ප්‍රතිවිරෝධයන් ග්‍රහනය කර ගැනීම විසින් මඟ පෙන්වනු ලබන බහුජන සමාජ ක්‍රියාකාරීත්වයයි.     

කොයිහැටියටත් හෙජස්, දේශපාලන යථාර්ථය පිලිබඳ සහේතුක වැටහීමක් ඇති කර ගැනීම ඵල රහිත ක්‍රියාවක් ලෙස බැහැර කරයි. ඔහු දේවධර්මාචාර්ය රයින්හෝල්ඩ් නීබර්ගේ “ආත්මයාගේ උත්කෘෂ්ඨ උමතුවක්” සැමරීම සහ “එවැනි උමතුවක් විනා අන් කිසිවක් මාරක බලය සහ උසස් ස්ථානවල වැජඹෙන ආධ්‍යාත්මික දුෂ්ටකම සමඟ සටන් නොකරනු ඇත” යන ඔහුගේ ප්‍රකාශය සහයට කැඳවයි. මෙය ඇත්ත වශයෙන්ම වමට නොව දකුනට පෙලගැසීමක් ප්‍රකාශයට පත් කරන දේශපාලන අතාර්කිකත්වය උත්කර්ෂයට නැංවීමක් මිස අන් කිසිවක් නොවේ. දක්ෂිනාංශික දේශපාලනය අතාර්කික මනෝභාවයන් සමඟ සමීපව පෙල ගැසී ඇති අතර, සැබෑ ලෙසම ප්‍රගතිශීලී, වාමාංශික, සමාජවාදී චින්තනය පෙල ගැසී සිටින්නේ විද්‍යාව සමග ය.

හෙජස් සිය රචනය සමාප්ත කරන්නේ පහත දැක්වෙන ප්‍රකාශයෙනි:  

“දිව්‍යමය ප්‍රචන්ඩත්වය දූෂිත සහ අපකීර්තියට පත් පාලක පන්තියක් භීතියට පත් කරයි. එය ඔවුන්ගේ දුශ්චරිතය හෙලිදරව් කරයි. සෑම කෙනෙකුම තැති ගැන්මෙන් අංශභාග වී නැති බව එයින් විදහා දැක්වෙයි. එය ආන්තික නපුරට එරෙහි ව සටන් වැදීමේ සංඥා නාද ඇමතුමකි. බුෂ්නෙල් අදහස් කලේ එයයි. ඔහුගේ පරිත්‍යාගය අපගේ යහපත්කමට ආමන්ත්‍රනය කරයි.

කරුනු නොසඟවා කිවහොත්, හෙජස්ගේ රචනය ආමන්ත්‍රනය කරන්නේ, මධ්‍යම පන්තික ව්‍යාජ-වාමවාදයේ අශුභවාදය, බුද්ධිමය බංකොලොත්භාවය සහ අත්‍යවශ්‍යයෙන්ම ප්‍රතිගාමී ස්වභාවයට ය; එනම්, පොදුවේ විශ්ව විද්‍යාල මන්ඩපවල ආධිපත්‍යය දරන දෘෂ්ටිවාදාත්මක සංකල්පවලට ය.”

1940 දී, හතරවන ජාත්‍යන්තරයේ ඇමරිකානු ශාඛාව තුල මතුව තිබූ මාක්ස්වාදී විරෝධී ප්‍රවනතාවයකට එරෙහිව අභ්‍යන්තර පක්ෂ දේශපාලන අරගලයක ගමන් මග තුල ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කලේ, ඉතිහාසයේ දැවැන්තතම සමාජ විප්ලවය – එනම්, මිහිතලය කම්පා කල සිදුවීමක් වූ, 1917 ඔක්තෝබර් මාසයේ දී රුසියානු කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම – මෙහෙයවනු ලැබුවේ, සිය ක්‍රියාකාරකම් බෝම්බ වීසි කිරීමෙන් නොව, අපෝහක භෞතිකවාදී න්‍යාය ආරක්ෂා කිරීම සහ විස්තාරනය කිරීමෙන් ආරම්භ කල පක්ෂය විසින් බවයි.

ට්‍රොට්ස්කි සඳහන් කර තිබුනේ 1860 ගනන් තරම් අතීත කාලයක දී රුසියානු ජනතාවාදීන් අධිවාචනය කල ත්‍රස්තවාදී විධික්‍රමවලට එරෙහි ව, රුසියානු මාක්ස්වාදීන් විසින් දියත් කරනු ලදුව පැවැති දීර්ඝ අරගලය පිලිබඳ ව ය. ඒ කාලයේ, රජයේ නිලධාරීන්ට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මාක්ස්වාදීහු වාදවිවාද කලෝය. මේ වූ කලී සියදිවි නසා ගැනීමේ ක්‍රියාවට වඩා බොහෝ ආකාරවලින් වෙනස් වූ එකකි. සියදිවි නසා ගැනීම එම කාලයේ කිසිදු බැරෑරුම් දේශපාලන ප්‍රවනතාවයක පක්‍ෂපාතීත්වය දිනා ගත් ක්‍රියාවක් නොවේ. එහෙත් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහි ව ඉදිරිපත් කෙරී ඇති තර්කවල, හෙජස් විසින් ප්‍රවර්ධනය කෙරෙන ආකාරයේ සියදිවි හානි කර ගැනීමේ “දේශපාලන රංග භූමිය” ප්‍රතික්ෂේප කිරීමට එකහෙලා අදාල වන ඇතැම් විචාරාත්මක මුඛ්‍යාංග එහි පවතී.  

මෙහි සාරාත්මක කාරනය වනුයේ, ත්‍රස්තවාදයේ දේශපාලනය විසින්, තනි පුද්ගල වීරෝදාර ක්‍රියා, කම්කරු පන්තියේ බහුජන ක්‍රියාවන් වෙනුවට ආදේශ කරනු ලැබීමයි. ත්‍රස්තවාදී ඝාතන විසින් – ඉදින් එයට බිලිවන්නේ රාජ්‍යයේ අධිපතියා වූ කල පවා – සමාජයේ රැඩිකල් පෙරලියක් ගෙන එනු ලැබීමෙහි ලා අසමත් ය. සිදුවනු ඇත්තේ එක් ප්‍රජා පීඩකයෙකු වෙනුවට තවත් ප්‍රජා පීඩකයෙකු ආදේශ වීම පමනෙකි. තව ද, මහජනයාගේ දේශපාලන විඥානය ඉහල දැමීම වෙනුවට ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදු කෙරෙන්නේ ඔවුන්, ඝාතකයන් හා පොලිස් අධිකාරීන් අතර ගැටුම නිරීක්ෂනය කරන අකර්මන්‍ය නරඹන්නන්ගේ මට්ටමට පහත හෙලීමයි.   

දෙවැනි ලෝක යුද්ධය අද්දර දී, 1938 නොවැම්බරයේ, සිදු වූ කනගාටුදායක සිදුවීමක් සිහිපත් කරමින් මම මෙම දේශනය සමාප්ත කරමි.

පෝලන්තයේ දී උපත ලබා පැරීසියේ ජීවත් වූ හර්ෂෙල් ග්‍රයින්ස්පෑන් නම් 17 හැවිරිදි යුදෙව් සංක්‍රමනික තරුනයෙක් ජර්මන් තානාපති කාර්යාලයේ දී අර්න්ස්ට් වොම් රත් නම් නාසි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ඝාතනය කලේය. ප්‍රවේශමෙන් සූදානම් කල ක්‍රියාවක් නොවූ මෙම ඝාතනය පිලිබඳ ව ඉන් ඉක්බිති පැවැති විභාගයේ දී පෙන්නුම් කෙරුනේ, නාසීන් විසින් යුදෙව්වන්ට තාඩන පීඩන පමුනුවනු ලැබීම සහ තමාගේ ම පවුලේ අයට පත් පීඩාවන් නිසා සාහසික වූ ග්‍රයින්ස්පෑන් පලි ගැනීමේ අරමුනින් ජර්මන් තානාපති කාර්යාලයට ගිය බවයි. ඔහු සිය ඉලක්කය ලෙස කිසියම් නිශ්චිත පුද්ගලයෙකු තෝරා ගෙන නො සිටියේ ය. ඔහුට දේශපාලන අත්දැකීම් කිසිත් නො තිබින. ග්‍රයින්ස්පෑන් තමන්ට මුන ගැසුනු ප්‍රථම නිලධාරියාට වෙඩි තැබීය. වොම් රත්ගේ අවාසනාවට එම තැනැත්තා වූයේ ඔහු ය.      

Germany

මෙම ඝාතනයේ දුරදිග යන සහ අපකීර්තිමත් පසුවිපාක පැවතින. මෙම ඝාතනය ජර්මානු යුදෙව්වන්ට එරෙහි ප්‍රහාර ප්‍රචන්ඩ ලෙස උත්සන්න කිරීම සඳහා භාවිතා කිරීමට හිට්ලර්ගේ තන්ත්‍රය තීරනය කලේය. 1938 නොවැම්බර් 9 දින සිදු වූ වොම් රත්ගේ මරනයෙන් පැය ගනනක් ඇතුලත නාසීහු, පසුකලෙක ක්‍රිස්ටල්නොට් (බිඳුනු වීදුරුවල රාත්‍රිය) නමින් හඳුන්වන ලද, යුදෙව්-විරෝධී වාර්ගික සංහාරය දියත් කලෝය.

වහා අත්අඩංගුවට ගනු ලැබ තිබු ග්‍රයින්ස්පෑන් කෝපාවිෂ්ට හෙලාදැකීම් වලට පාත්‍ර විය. මෙම හෙලාදැකීම් ගලා ආවේ හුදෙක් ෆැසිස්ට්වාදීන් වෙතින් පමනක් නොවේ. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහාය ලද “වාම” මහජන පෙරමුනු ආන්ඩුව ද, ප්‍රංශය හා ජර්මනිය අතර සම්බන්ධතාවලට වල කපමින් වමේ ආන්ඩුව දුර්වල කිරීම සම්බන්ධයෙන් යොවුන් තරුනයා හෙලා දුටුවේය.

ග්‍රයින්ස්පෑන්ගේ ආරක්ෂාව සඳහා පැන නැඟුනු එක ම හඬ වූයේ, ලියොන් ට්‍රොට්ස්කි හා ප්‍රංශයේ සිටි ඔහුගේ ආධාරකරුවන් නැඟූ හඬ ය. එහෙත් ට්‍රොට්ස්කි, විභූතිමත් ලිපියකින් තරුනයා විසින් තෝරා ගන්නා ලද ත්‍රස්තවාදී විධික්‍රමය පිලිබඳ සිය ප්‍රතික්ෂේපය පැහැදිලි ලෙස දක්වන අතරතුර ම, ග්‍රයින්ස්පෑන්ගේ වධකයන්ට එරෙහි ව ඔහු ආරක්ෂා කලේය. ඔහු ප්‍රතිචාර දක්වමින් සිටියේ සියදිවි නසා ගැනීමකට නොව ෆැසිස්ට් නිලධාරියෙකුට එරෙහිව සිදු කර තිබූ දේශපාලන ඝාතනයකට ය. එහෙත් ග්‍රයින්ස්පෑන්ට තමාගේ ම ජීවිතය අහිමි කල ඔහුගේ ක්‍රියාව පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවේචනය (අපේ විෂය කරුනට) ඉමහත් අදාලත්වයක් දරයි. ෆැසිස්ට්වාදයේ නියෝජිතයා කෙරේ යෞවනයා තුල පැවැති වෛරය හා ඔහුට හැඟුනු අපේක්ෂා භංගත්වය ට්‍රොට්ස්කි වටහා ගත්තේය.     

එහෙත්, ග්‍රයින්ස්පෑන්ගේ ක්‍රියාව තරුනයන් විසින් අනුකරනය කරනු ලැබීමට එරෙහිව තරුනයන්ට තරයේ උපදෙස් දීමට විප්ලවවාදී නායකයෙකු ලෙස තමන්ට පැවරී ඇති වගකීම ට්‍රොට්ස්කි හඳුනා ගත්තේය. ඔහු මෙසේ ලිවූ අතර, මෙම ලේඛනය එය බිහි වූ කාලයේ බිහි වූ අසමසම ලේඛනයකි:

“ඔහු අනුගමනය කල ක්‍රමය සම්බන්ධයෙන් එසේ කිව නොහැකි නමුත්, හුදු සදාචාරාත්මක අර්ථයෙන් ගත් කල ග්‍රයින්ස්පෑන් සෑම තරුන විප්ලවවාදියෙකුටම ආදර්ශයක් විය හැක. ග්‍රයින්ස්පෑන් සමඟ අපගේ විවෘත සදාචාරාත්මක සහයෝගීතාවය, ඒකාධිපත්‍යයට සහ මෘග භාවයට එරෙහි අරගලය තුල ස්වයං පරිත්‍යාගයෙහි සමත් ග්‍රයින්ස්පෑන් කෙනෙකු විය හැකි සැමට මෙසේ කීමට අමතර අයිතියක් අපට ලබා දෙයි: වෙනත් මාවතක් සොයන්න! පන්ති සූරාකෑමේ, ජාතික පීඩනයේ සහ වාර්ගික පීඩාවන්හි සමස්ත ව්‍යුහයේ කිසිදු ශේෂයක් ඉතිරි නොකරන ව්‍යාපාරයක් වන පීඩිතයන් නිදහස් කල හැක්කේ, හුදකලා පලිගන්නාට නොව මහා විප්ලවවාදී මහජන ව්‍යාපාරයකට පමනි. ෆැසිස්ට්වාදයේ පෙර නොවූ විරූ අපරාධ, මුලුමනින් ම යුක්ති සහගත වන පලිගැනීමේ ආශාවක් ඇති කරයි. එහෙත් ඔවුන්ගේ අපරාධවල විෂය පථය කෙතරම් බිහිසුනු ද යත්, හුදකලා ෆැසිස්ට් නිලධරයන් ඝාතනය කිරීමෙන් මෙම ආශාව තෘප්තිමත් කළ නොහැක. ඒ සඳහා මුළු ලොව පුරා පීඩිතයන්; මිලියන ගනන්, දශ මිලියන සහ සියක් මිලියන ගනන් ජනයා; ක්‍රියාකාරීත්වයට කැඳවමින්, පැරනි සමාජයේ බලකොටුවලට පහර දීමට ඔවුන් මෙහෙයවීම අවශ්‍ය වේ. මහජන කෝපයට සැබෑ තෘප්තිය ලබා දිය හැක්කේ සියලු ආකාරයන්හි වහල්භාවය පෙරලා දැමීමෙන් පමනෙකි, ෆැසිස්ට්වාදයේ පරිපූර්න විනාශයෙන් ම පමනෙකි, ජනයා වර්තමාන කොල්ලකරුවන් සහ මැර කල්ලි සම්බන්ධයෙන් නිර්දය විනිශ්චයක් සඳහා විනිශ්චයාසනය අරා හිඳීමෙන් පමනෙකි. නිරවද්‍ය ලෙස ම, හතරවන ජාත්‍යන්තරය තමා සඳහා නියම කර ගෙන ඇති කර්තව්‍යය වන්නේ මෙයයි. එය ස්ටැලින්වාදයේ වසංගතයෙන් කම්කරු ව්‍යාපාරය පිරිසිදු කරනු ඇත. එය තරුනයන්ගේ වීරෝදාර පරපුර තම පෙල තුල ඒකරාශී කරනු ඇත. එය වඩාත් වටිනා සහ වඩාත් මානුෂීය අනාගතයකට මාවතක් කපා සකසනු ඇත.”

Fi
ලියොන් ට්‍රොට්ස්කි 

මෙම වචන අපේ ම යුගය තුල නින්නාද දෙයි. අවස්ථානුකූල ව වෙනස් කල යුතු දෑ වෙනස් කර ගත් කල එම වචන ආරොන් බුෂ්නෙල්ගේ ඛේදජනක මරනයෙන් උකහා ගත යුතු දේශපාලන පාඩම් බලගතු ලෙස පිඬු කොට දක්වයි. 

ඔබට; ඇත්තෙන් ම සටන් කිරීමට අවශ්‍ය, දිනපතා අප දකින දෙයින් කෝපයට හා තැති ගැනීමට පත් වී සිටින, මේ අප කතා කරන මොහොතේ පවා ගාසා තීරයේ කුඩා දරුවන් සහ ලදරුවන් පවා මිය යන බව, ජල බිඳක් පානය කිරීමට අවසර නැති බව, ආහාර නො ලැබෙන බව, අතිශය අමානුෂික තතු යටතේ වැඩ කරන බව වටහාගෙන සිටින, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා මෙම ක්‍රියාවන් යුක්ති සහගත කරමින් නො නැවතී, “හරි, ගාසා වැසියන් තවත් 30,000 ක් මිය යාමට අප ඉඩ දිය යුතු නැත. ඇතැම් විට, තවත් 5,000 ක් විය හැකියි. නැතහොත් තවත් 10,000 ක් හෝ 15,000 ක් විය හැකියි; එහෙත් එය 30,000 ක් විය නොහැකියි” – බයිඩන්ට පවා එය පමනට වැඩි ගනනකි – ලෙස ද පවසන බව අසන ඔබ; 

ඔබ දකින දෙය පිලිකුල් කරන ඔබ, එයින් උකහා ගැනීමට යන දේශපාලන නිගමන මොනවාද? මෙම තතු අවසානයක් කර දැමීමට අවශ්‍ය වන්නේ කුමක්ද? අවශ්‍ය වන්නේ තනි පුද්ගල පලි ගැනීමේ ක්‍රියාවන් නොවේ; පෞද්ගලික ආත්ම පරිත්‍යාගී ක්‍රියාවන් නොවේ; ඇත්තෙන් ම අවශ්‍ය කෙරෙන්නේ, ධනේශ්වර නිෂ්පාදනයේ සමස්ත ක්‍රියාවලිය තුල තම වෛෂයික භූමිකාව, නිෂ්පාදන බලවේගයන් තුල සිය පිහිටීම, සිය ආර්ථික ශක්තියේ විභවය හා සිය ලෝක ගෝලීය ස්වභාවය මඟින් ධනවාදය දන ගැස්වීමේ හා යුදවාදයේ පදනම් ම විනාශ කර දැමීමේ හැකියාව හා බලය සැබැවින්ම අත දරන එකම සමාජ බලවේගය වෙත හැරීමකි. 

අපේ පක්ෂය එහි කර්තව්‍යය බවට පත් කර ගෙන සිටින්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශනය කිරීම හරහා, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ ක්‍රියාකාරකම් හරහා, සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයන් ලෙස ජනාධිපති ධුරයට ජෝසප් කිෂෝර්ගේ ද, උප ජනාධිපති ධුරයට ජෙරී වයිට්ගේ ද වත්මන් අපේක්ෂකත්වය හරහා අප සිදු කිරීමට අපේක්ෂා කරන්නේ එයයි. අප මෙම ජනාධිපතිවරන ව්‍යාපාරය භාවිතා කරන්නේ දිග හැරෙනු ඇති, හා දිග හැරිය යුතු අරගල සඳහා කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන්ට අධ්‍යාපනය දීමට හා ඔවුන් දේශපාලනික ව සූදානම් කිරීමට, කම්කරු පන්ති අරගලවලට සහභාගී වීමෙහි හා ඒවාට නායකත්වය දීමෙහි හැකියාව ඔවුන්ට ලබා දීමට,  සහ එලඹෙන එකී බලගතු ව්‍යාපාරයට සැබෑ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් ලබා දීමට ය.

එබැවින්, ඔබේ කෝපය සහ සාහසිකත්වය ඵලදායී දේශපාලන ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න; මාක්ස්වාදී න්‍යාය ප්‍රගුන කිරීමට, ඉතිහාසයේ පාඩම් හැදෑරීමට, පසුගිය සියවසේ මහා විප්ලවවාදී අරගල සමඟ හුරුපුරුදු වීමට අධිෂ්ඨානය බවට එය පත් කර ගන්න.

එමෙන් ම – මේ කොටස මා කියන්නේ කිසියම් හදිසි භාවයකින් යුතුව ය. මක්නිසාද යත්, වැඩිමනත් කාලයක් ඉතිරි වී නැති හෙයිනි – ඔබ නිතිපතා ප්‍රවෘත්ති බලන්නෙහි නම්, යුක්‍රේනය තුල නැටෝ මැදිහත්වීම ගැන සක්‍රිය සාකච්ඡා පවතී. බයිඩන් සහ නැටෝවේ ඔහුගේ සගයෝ හා සහ-කුමන්ත්‍රනකරුවෝ න්‍යෂ්ඨික යුද්ධයක අන්තරාය සමඟ රුසියානු රූලට් ක්‍රීඩාවේ (තරඟකරුවෙකුගේ මරනයෙන් කෙලවර විය හැකි බිහිසුනු ක්‍රීඩාවකි – ප.) යෙදෙති. කොවිඩ් වසංගතය කෙරේ දැක්වූ ආකල්පය තුලත්, ඇමරිකාවේ ලෝක ගෝලීය මූලෝපායික උත්සුකයන් හඹා යාම වෙනුවෙන් යුක්‍රේන වැසියන් ලක්ෂ ගනනකගේ ජීවිත බිලි දීමට ඔවුන් ක්‍රියා කල ආකාරය තුලත්, න්‍යෂ්ඨික අවි භාවිතය යුද ගැටුම් සඳහා පිලිගත හැකි භාවිතයක් ලෙස සැලකීම තුලත් ඔවුහු මහා පරිමාන ජීවිත විනාශයක ඉඩකඩ පිලිබඳ ස්වකීය නොතැකීම විදහා දක්වා ඇත්තාහ. 

අපි විශාල දේශපාලන ප්‍රශ්න සහ අභියෝගවලට මුහුන දී සිටිමු. ඒවා විසඳිය හැකිය. එහෙත් ඒවා විසඳීමට නම් අප විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතුය. මෙම පක්ෂය කම්කරු පන්තියේ මහා ජනතාවගේ පක්ෂපාතීත්වය දිනාගත යුතුය. ආරොන් බුෂ්නෙල්ගේ මරනයෙන් සහ අපේ කාලයේ අර්බුදය පිලිබඳ අපේ සමවබෝධයෙන් අප උකහා ගත යුතු මූලික, ආවශ්‍යක පාඩම වන්නේ එයයි.

  1. “2004 හා 2009 අතර එජ සෙබලුන් අතර සියදිවි නසා ගැනීම් අනුපාත දෙගුන වූ බව පර්යේෂනයකින් පෙන්වා දෙයි.” BMJ හි 2014 මාර්තු 6 දින පල විය.  
  2. Journal of Affective Disorders, 148 වෙලුම (2013), 37-41.
  3. “Theses on Feuerbach”, මාක්ස්-එංගල්ස් එකතු කල කෘති (ඉංග්‍රීසි), වෙලුම 5 (නිව්යෝර්ක්: International Publishers, 1976), පි. 7
  4. E. A. ප්‍රියොබ්‍රෙසන්ස්කි, The Preobrazhensky Papers, Documents and Materials, වෙලුම 1: 1886-1920, සංස්කරනය: රිචඩ් ඩේ සහ මිඛායෙල් M. ගොරිනොව්, ඉංග්‍රීසි පරිවර්තනය: රිචඩ් ඩේ [චිකාගෝ: Haymarket Books, 2015], පි. 243-44

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top