ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල් ප්‍රහාරයට බයිඩන් අසීමිත සහයෝගය ප්‍රකාශ කරයි

ඇන්ඩෘ ඩැමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 11 දින ඉංග්‍රීසියෙන් පලවූ ‘Biden proclaims unlimited support for Israeli onslaught on Gaza’ යන ඇන්ඩෘ ඩැමන් විසින් ලියන ලද ඉදරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Biden
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධය ගැන වොෂින්ටනයේ ධවල මන්දිරයේ රාජ්‍ය භෝජනාගාරයේ දී ජනාධිපති ජෝ බයිඩෙන් 2023 ඔක්තෝබර් 10 අඟහරුවාදා කතා කරයි.උප ජනාධිපති කමලා හැරිස් සහ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සවන් දෙමින් සිටී. (AP ඡායාරූපය/Evan Vucci)

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අඟහරුවාදා කල කතාව දේශපාලන ප්‍රතිගාමිත්වයේ ගැඹුරටම කිඳා බැස තිබුනි. ඊශ්‍රායල හමුදාව ගාසා තීරය පුරා ක්‍රමානුකූලව නේවාසික ගොඩනැගිලි සමතලා කරමින් සිටියදී, බයිඩන්, නෙතන්යාහු ආන්ඩුවට සමූහ ඝාතන සිදු කිරීමට කොල එලියක් ලබා දුන්නේය.

බයිඩන් ගේ ආක්‍රෝෂ පරිභවය (නොකඩවා දිගට කරන බැන වැදීම) සේවය කල එකම අරමුන වූයේ මහජන මතය අවුලුවාලීම, පලස්තීනුවන්ට එරෙහිව හැකිතාක් වෛරයක් ජනනය කිරීම සහ ඊශ්‍රායලය කරන ඕනෑම අපරාධයක් සාධාරනීකරනය කිරීමයි.

මෙම කතාවෙන් පසු, ඔහුගේ රජයට ඊශ්‍රායල රජය කල හෝ කිරීමට යන කිසිම දෙයකින් ඉවත් විය නොහැක. ඇත්ත වශයෙන්ම, බයිඩන්  පිටුපස සොම්බින් (zombie-පන ගැන්වූ මල මිනී)   මෙන් සිටගෙන  සිටි රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ උප ජනාධිපති කමලා හැරිස් ඇතුලත් කිරීම, ඇමරිකානු ආන්ඩුවේ පිලිවෙත මෙයයි යන පනිවිඩය අවධාරනය කිරීමට අදහස් කරන ලදී.

බයිඩන් ගේ ප්‍රකාශයන්, පුරෝකථනය කල හැකි පරිදිම, ඊශ්‍රායල යුද අපරාධ උසිගන්වන ලදී. කතාවෙන් පසු වහාම , ඊශ්‍රායලය සිවිල් ප්‍රදේශවල ගිනි කුනාටු (firestorms) ඇති කිරීම සදහා , ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් සේ ගැනෙන සුදු පොස්පරස් භාවිතා කිරීමට පටන් ගත්තේය. අඟහරුවාදා , ඊශ්‍රායලය විසින්  මෑත පෙරදිග පලස්තීන සරනාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA) මූලස්ථානයට සහ තවත් ගනන් කල නොහැකි ප්‍රමානයක බහු මහල් ගොඩනැගිලිවලට බෝම්බ හෙලීය. ඊශ්‍රායල ආක්‍රමනයට ප්‍රතිරෝධය දක්වන ඕනෑම ප්‍රදේශයක් “නටබුන්” බවට පත් කරන බවට අගමැති නෙතන්යාහුගේ ප්‍රතිඥාවට අනුව ඊශ්‍රායලය පලස්තීනුවන්ට ආහාර, ජලය සහ විදුලිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නොනවත්වා සිදු කරයි.

සමූල ඝාතනය ප්‍රවර්ධනය කිරීමකට සහ නීත්‍යානුකූල කිරීමකට බයිඩන් ගේ භාෂාව ආසන්න වේ. බයිඩන් ආරම්භ කලේ,  පලස්තීනුවන්ගේ ප්‍රතිරෝධය “පිරිසිදු, අමිශ්‍ර නපුරේ” ප්‍රකාශනයක් වූ බව සදහන් කරමිනි. පලස්තීනුවන් “තිරිසනුන්” ලෙස හැඳින්වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රකාශය මෙම වචන වලින් ප්‍රතිරාවය විය. නෙතන්යාහුගේ ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පැවසුවේ, “අපි සටන් කරමින් සිටින්නේ මිනිස් තිරිසනුන් සමඟයි, ඒ අනුව අපි ක්‍රියා කරනවා” යන්නයි.

යමෙකු “තනිකර නපුර” සමඟ කටයුතු කරන බව ප්‍රකාශ කිරීම යනු කිසියම්ම තාර්කික විශ්ලේෂනයකින් සිදුවීම් බැහැර කිරීමයි. මෙම මැනිකියායනු ලෝක දෘෂ්ටිය (හොද නරක, කලු සුදු ආදී වශයෙන් දකින ද්වෛතමය ලෝක දෘෂ්ටිය) තුල, “නපුර” ආමන්ත්‍රනය කල හැක්කේ තුරන් කිරීම, මූලෝත්පාටනය කිරීම සහ ඝාතනය කිරීම මගින් පමනි.

බයිඩන් සටන් විරාමයක් කැඳවා සිටියේ නැත. ඔහු සාම සාකච්ඡා සඳහා කැඳවූයේ නැත. ඔහු මැදිහත් වීමක් හෝ බේරුම්කරනයක් ඉල්ලා සිටියේ නැත. ඔහු ඊශ්‍රායලයෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ නැත. ගාසා තීරය ඊශ්‍රායල ආක්‍රමනයකින් ඇති වන ගනන් කල නොහැකි ලේ වැගිරීමක් ගැන ඔහු අනතුරු ඇඟවූයේ නැත.

ඊශ්‍රායලය විසින් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන සිටින භූමි ප්‍රදේශය තුලට, පලස්තීන කඩා වැදීමේ   ඊශ්‍රායල වින්දිතයන් පිලිබඳ ප්‍රකෝපකාරී සඳහනවලින් පිරී ඇති බයිඩන්ගේ ප්‍රකාශයෙහි, ඊශ්‍රායල ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ පලස්තීනුවන් ගැන එකදු  සඳහනක්වත්  නැත.

පසුගිය වසර 75 තුල, ඊශ්‍රායල හමුදා සහ දැන් ඊශ්‍රායල ආන්ඩුව තුල නියෝජනය ලබන ෆැසිස්ට් බලවේග විසින් ගනන් කල නොහැකි දස දහස් ගනන් පලස්තීනුවන් ඝාතනය කර ඇත. මෙම ඊශ්‍රායල අපරාධකරුවන් “නපුරු” කමෙ ප්‍රතිමූර්තියක් බව ප්‍රකාශ කිරීම පසෙකින් තිබියේවා, මෙම මිනීමැරුම් කිසිවක් එක්සත් ජනපදය විසින් හෙලා දැකීමට පෙලඹුනේ නැත.

ගැටුම පිලිබඳ ඕනෑම විවේචනාත්මක වග විභාගයක් වැලැක්වීම ඉලක්ක කර ගත්, කිහිප ගුනයකින් වඩා විශාල පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ප්‍රචන්ඩත්වය නොසලකා හරිමින්, සිවිල් වැසියන්ට එරෙහිව හමාස් සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචන්ඩත්වය කෙරෙහි පමනක් අවධානය යොමු කරනා, එක්සත් ජනපද මාධ්‍යවල  ප්‍රචාරක මහා ප්‍රවාහයක්  බයිඩන් ගේ ප්‍රකාශයන් සමග සමගාමීව පලවිය.

“අපි ඊශ්‍රායලය සමඟ සිට ගනිමු,” බයිඩන්  ප්‍රකාශ කලේය. “ත්‍රස්තවාදය සඳහා සාධාරනීකරනයක් නැත.” පලස්තීනුවන්ගේ ප්‍රචන්ඩත්වයට නිදහසට කරුනක් නැත, නමුත් ඊශ්‍රායලයේ ප්‍රචන්ඩත්වයට සෑම විටම නිදහසට කරුනක් තිබේ. මේසේ කියන්නේ, 2008 සිට ගැටුමෙන් ඝාතනය වූ ඊශ්‍රායල් වැසියන් 300 ට සාපේක්ෂව, ඊට වඩා 20 ගුනයක් , එනම්,  6,400 පලස්තීනුවන් ඝාතනය වී ඇත යන කාරනය තිබිය දීත්ය. බයිඩන් ප්‍රකාශ කලේ, “ඇත්ත වශයෙන්ම මෙම දරුනු ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට ලෝකයේ සෑම ජාතියකටම මෙන්, ඊශ්‍රායලයට ද  ප්‍රතිචාර දැක්වීමේ අයිතියක් හා යුතුකමක් ඇත.” සෑම ජාතියකටම, එනමුත්, පලස්තීනුවන් හැර.

බයිඩන් වර්තමාන ගැටුමේ සමස්ත පූර්ව ඉතිහාසයම  සරලවම නොසලකා හැරියේය. නීතිවිරෝධී ලෙස ඈඳාගත් පලස්තීන භූමියේ තම ජනගහනය පදිංචි කිරීම, පලස්තීනුවන් නිදහසේ ගමන් කිරීම වැලැක්වීම සහ රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස සංවිධානාත්මක මිනීමැරුම් භාවිතා කිරීම, වධහිංසා පැමිනවීම් සහ දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම  සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලය හෙලා දැක තිබේ.

පලස්තීනුවන්ගේ පැත්තෙන් ඊට මැදිහත් වීමට නිර්භීත වන ඕනෑම ආන්ඩුවකට එරෙහිව එක්සත් ජනපද මිලිටරි බලය මුදා හරින බවට බයිඩන් තර්ජනය කලේය: “ඕනෑම රටකට, ඕනෑම සංවිධානයකට, මෙම තත්වයෙන් ප්‍රයෝජන ගැනීමට සිතන ඕනෑම කෙනෙක් සදහා , මට එක වචනයක් ඇත: එපා.” ඇමරිකානු ප්‍රතිචාරය, “වේගවත්, තීරනාත්මක සහ අතිමහත්” වනු ඇතැයි බයිඩන් පැවසීය.

මෙම භාෂාව බිය ගන්වන්නේ නැත; එය කෝප ගැන්වීම  පමනක්   සිදු කරනු ඇත. යටත් විජිතවාදයේ අමිහිරි මතකයන් සමඟ තවමත් ජීවතය ගෙවන බොහෝ දෙනෙක් ද ඇතුලත්  ලෝක ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර, එය  පොලඹ වනු ඇත්තේ පිලිකුල පමනකි.

බයිඩන් ප්‍රකාශ කලේ, “ප්‍රාන ඇපකරුවන් ලෙස තබාගෙන සිටින ඇමරිකානුවන්ගේ ආරක්ෂාවට වඩා ඉහල ප්‍රමුඛතාවයක් මට නැත.” එහෙත් ඔහු ඊශ්‍රායල ක්‍රියාවන්ට අසීමිත ලෙස අනුමැතිය දීම මගින් ප්‍රාන ඇපකරුවන්ගේ මරනය බොහෝ දුරට සහතික කර ඇත.

බයිඩන් ගේ ප්‍රකාශ අතුරින් වඩාත්ම නින්දිත ප්‍රකාශ අතර ඊශ්‍රායල වර්නභේදවාදී පාලන තන්ත්‍රයට එරෙහිව පලස්තීනුවන්ගේ ප්‍රතිරෝධය , හොලෝකෝස්ටයේ දී  යුරෝපා  යුදෙව්වන් සමූලඝාතනය කිරීම සමඟ සම්බන්ධ කිරීමට ඔහු දැරූ උත්සාහය විය. “ඊශ්‍රායලයට එල්ල වූ මෙම ප්‍රහාරය, සහස්‍රයක් පුරා යුදෙව් විරෝධය සහ සමූලඝාතනය විසින් ඉතිරි කරන ලද වේදනාකාරී මතකයන් සහ කැලැල් මතුපිටට ගෙන ආවේය” යනුවෙන් බයිඩන් පැවසීය.

මෙය ඉතිහාසය මුලුමනින්ම විකෘති කිරීමකි. යුරෝපීය ඉතිහාසයේ තීරනාත්මක කොටසක් වන මිනීමරු යුදෙව්-විරෝධී සංහාර සහ යුදෙව් විරෝධී වාදය සමග පලස්තීනුවන්ට ඓතිහාසික සම්බන්ධයක් නැත. ඔවුන් හොලොකෝස්ටයේ කිසිදු භූමිකාවක් ඉටු කලේ නැත.

දෙවන ලෝක සංග්‍රාමයේදී යුදෙව්වන් මිලියන ගනනින් මූලෝත්පාටනය කරත් දි එක්සත් ජනපදය සිය දේශසීමා වසා ගෙන  සිටියේය. 1939 දී, යුදෙව් සරනාගතයින් 900කට අධික සංඛ්‍යාවක් රැගත් නෞකාවක් වූ SS සෙන්ට් ලුයිස්, එක්සත් ජනපදයෙන් ඉවතට හරවා ආපසු යුරෝපයට යාමට බල කෙරුනු අතර, එය යුරෝපයේ යුදෙව්වන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දක්වන උදාසීනත්වය සංකේතවත් කරන කථාංගයකි.

සති තුනකටත් අඩු කාලයකට පෙර, සමස්ත කැනේඩියානු පාර්ලිමේන්තුව, සියලුම නේටෝ රටවල තානාපතිවරුන් සහ නියෝජිතයින් සමඟ නැගී සිට, නාසි ජර්මනියේ මෙහෙයවීම යටතේ යුදෙව් සංහාරයට වගකිව යුතු යුක්රේන වෆෙන්-එස්එස් හි ප්‍රවීනයෙකු වන යාරොස්ලාව් හුන්කාට අත්පොලසන් දුන්නේය.

ඔහුගේ ප්‍රකාශය අවසන් කිරීමේදී බයිඩන් “යුදෙව් සහ ප්‍රජාතන්ත්‍රවාදී ඊශ්‍රායල රාජ්‍යය” කැඳවා ගත්තේය. යුදෙව් සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් යනු පරස්පර විරෝධී පද භාවිතයකි. වාර්ගික අනන්‍යතාවය මත ගොඩනැගෙන රාජ්‍යයක් සහජයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එපමනක් නොව, සිදුකෙරෙමින් පවතින අපරාධවලට සමස්ත ඊශ්‍රායල ජනතාවම පටලවමින්, ඔවුන් “යුදෙව් ජනතාව” නියෝජනය කරන බවට නෙතන්යාහුගේ සහ ඊශ්‍රායල දේශපාලන සංස්ථාපිතයේ ආස්ථානය එමගින්  මුලුමනින්ම පිලිගනී. 

බයිඩන්  අවසන් කලේ, “ත්‍රස්තවාදීන් හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කර ඔවුන් මරා දැමූහ. අපි යුද නීති තහවුරු කරමු .” බයිඩන් කතා කරන්නේ කුමක් ගැනද? එක්සත් ජනපදය විසින් තහවුරු කරන ලද එකම නීතිය අසීමිත අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය සහ කොල්ලකෑමේ නීතියයි.

පලස්තීනුවන්ට එරෙහි ඔහුගේ දීර්ඝ පරිභවය නිශ්චිත රටාවකට අනුකූල වේ. එනම්, පාලන තන්ත්‍ර වෙනසක් සහ රුසියාවට එරෙහි පූර්න ජයග්‍රහනය සඳහා  යුද්ධයක් ඉල්ලා සිටීමේ දී හෝ මැද පෙරදිග පූර්න පරිමානයේ යුද්ධයක් අවුලුවාලීමේ දී, ඇමරිකානු පාලක පන්තිය ක්‍රියා කරන්නේ මුලුමනින්ම නොසැලකිලිමත්කමින්  හා ම්ලේච්ඡත්වය සමගිනි.

බයිඩන් ගේ කතාව මුලු ලෝකයටම අනතුරු ඇඟවීමකි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිවිල් ජනතාවට එරෙහිව අසීමිත මිලිටරි ප්‍රචන්ඩත්වයේ සහ සාමූහික දඬුවම්වල මූලධර්මයන් වැලඳගෙන ඇත. එය නතර නොකලහොත්, දැන් ගාසා තීරයට එල්ල කර ඇති මිනීමැරුම් ප්‍රහාරය ලොව පුරා මිලියන ගනනකගේ ඉරනම වනු ඇත.

සෑම අධිරාජ්‍යවාදී ආන්ඩුවකින්ම සහ සෑම ප‍්‍රධාන මාධ්‍ය ආයතනයකින්ම පොම්ප කරන ප‍්‍රචාරක ධාරාව මගින් කම්කරුවන් හා තරුනයින් බිය ගැන්විය නොහැක. අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේ දී සෑම ජනවර්ගයකටම, ආගමකටම හා ජාතිකත්වයකටම අයත් කම්කරුවන් හා තරුනයින් එක්සත් කරමින් ගෝලීය මහා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top