ගාසා තීරයේ මරණ 30,000 ට ආසන්න වන විට, ඊශ්‍රායල නායකයෝ වාර්ගික ශුද්ධ කිරීමක් ඉල්ලා සිටී

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 27 දින පල වූ ‘As Gaza death toll nears 30,000, Israeli leaders call for ethnic cleansing’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත  විසිනි.

බදාදා, ගාසාවේ රජයේ මාධ්‍ය කාර්යාලය වාර්තා කළේ, රෝහල්වල හඳුනාගෙන ඇති මළ සිරුරු සංඛ්‍යාව 21,110 ක් සහ ආසන්න වශයෙන් 7,000 ක් පමණ අතුරුදහන් වී ඇති බවත්, බොහෝ දෙනා සුන්බුන් යට වැළලී ඇති අතර, ඒ අනුව , ඝාතනයට ලක් වූ ගාසා වැසියන්ගේ සංඛ්‍යාව 28,110 ක් වී ඇති බවයි.

Gaza
2023 දෙසැම්බර් 26 වන අඟහරුවාදා, ගාසා තීරයේ රෆා හි සමූහ මිනීවළකට බුල්ඩෝසරයක් මගින් ඊශ්‍රායලය විසින් මරා දැමූ පලස්තීනුවන්ගේ සිරුරු ගොඩ බායි. [AP Photo/ෆාතිමා ෂ්බෙයාර්]

වෙනම වාර්තාවක, යුරෝ-මෙඩ් හියුමන් රයිට් මොනිටර් (Euro-Med Human Rights Monitor) ආයතනය වාර්තා කලේ, “ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරවලින් මිය ගිය අයගෙන් බහුතරය සිවිල් වැසියන් වන අතර , ඊට ළමුන් 11,422 ක් සහ කාන්තාවන් 5,822 ක් ඇතුළත් වන ” බවයි. 

එම සංවිධානය ප්‍රකාශ කලේ, “ප්‍රතිප්‍රහාර සහ සාමූහික දඬුවම් ක්‍රමයක් ලෙස හැකිතාක් ජීවිත හානි, ද්‍රව්‍යමය අලාභ හා විනාශයන් ඇති කිරීම සඳහා ඊශ්‍රායලය හිතාමතාම සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ඇති.” බවයි.

සංවිධානය නිගමනය කළේ, “මෙය ජාත්‍යන්තර මානුෂවාදී නීතියට සහ 1949 ජිනීවා සම්මුතියට පටහැනි වන අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය පාලනය කරන රෝම ප්‍රඥප්තියට අනුව යුද අපරාධවලට අයත්වන”  බවයි. එය තවදුරටත් සදහන් කලේ, “ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂවාදී නීතියේ නියමයන් පැහැදිලිවම කඩ කර ඇති අතර, එය  ‘වැළක්වීමේ මාධ්‍යයක්’ ලෙස දේපල හානි කිරීම් තහනම් කරන අතර, හමුදාමය අරමුණු සඳහා වුව, වැළැක්වීමේ මාධ්‍යයක් ලෙස දේපල විනාශ කිරීම තහනම් කරයි, ” යන්නයි.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය, තම වාර්තාවේ ප්‍රකාශ කළේ වෛද්‍ය නිලධාරීන් 310 ක් සහ මාධ්‍යවේදීන් 97 ක් මරා දමා ඇති බවයි. නිවාස ඒකක 65,000ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් 290,000කට හානි සිදුව ඇති බව වාර්තා වේ. රජයේ මාධ්‍ය කාර්යාලය වාර්තා කළේ ඊශ්‍රායලය “රෝහල් 23ක්, සෞඛ්‍ය මධ්‍යස්ථාන 53ක්, සෞඛ්‍ය සේවා සපයන ස්ථාන 140ක් සහ ගිලන්රථ 102කට වඩා ඉලක්ක කර ඇති” බවයි.

වෙනම වාර්තාවක ගාසා හි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භයේ සිට සිසුන් 4,037 කට අධික සංඛ්‍යාවක් සහ අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ 209 කට අධික සංඛ්‍යාවක් මරා දමා ඇති බවයි. ඔක්තෝබර් 7 සිට සිසුන් 7,259 කට වැඩි පිරිසක් සහ ගුරුවරුන් 619 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

බදාදා, අල්-අමල් රෝහල අසල ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය බෝම්බ හෙලීමෙන් 30 කට වැඩි පිරිසක් මිය ගියහ. ජන සංහාරය පිළිබඳ සිය දෛනික වාර්තාවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, “දෙසැම්බර් 27 වැනි දින,ගුවනින්, ගොඩබිමෙන් සහ මුහුදෙන්, ගාසා තීරයේ බොහෝ ප්‍රදේශ පුරා දැඩි ලෙස ඊශ්‍රායල බෝම්බ හෙලීම දිගටම සිදු විය. උතුරේ, ගාසා නගරය සහ ජබල්යා වඩාත් බලපෑමට ලක් විය; මැද ප්‍රදේශයේ පිහිටි අල් බුරෙයිජ්, අන් නුසෙයිරාත්, ඩීර් අල් බාලාහ් සහ අල් මාගාසි සරණාගත කඳවුරු හතරට එරෙහි ප්‍රහාර දිගටම පැවතුනි. ඊට සමගාමීව, ඊශ්‍රායල හමුදා විසින් ඛාන් යුනිස් සහ රෆා යන දකුණු නගරවල ඉලක්ක කිහිපයකට පහර දෙන ලදී.”

මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ යද්දී, ඊශ්‍රායල දේශපාලඥයින්, සමස්ත පලස්තීන ජනතාව බලහත්කාරයෙන් අවතැන් කිරීම හරහා ගාසා තීරය ජනවාර්ගිකව ශුද්ධ කිරීම සඳහා විවෘතව පෙනී සිටිති.

බදාදා, කලින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සේවය කළ ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අවිග්ඩෝර් ලිබර්මන්, සීනායි කාන්තාරයට ජනගහනය විස්ථාපනය කිරීම හරහා ගාසා තීරය ජනවාර්ගිකව ශුද්ධ කිරීම සඳහා විවෘතව පෙනී සිටින නවතම ඊශ්‍රායල දේශපාලනඥයා බවට පත්ව ඇත. ලිබර්මන් ඊශ්‍රායල හමුදාවෙන් ඉල්ලා සිටියේ ගාසා තීරය සහ ඊජිප්තුව අතර “වැටවල් කඩා” දමන ලෙසයි. ඔහු තවදුරටත් කියා සිටියේ, “එහි කිසිදු බාධාවක් නොමැති වූ වහාම, මිලියන එකහමාරක ගාසා වැසියන් සීනායි වෙත පිටත්ව යනු ඇති අතර අපි කිසිවෙකුට බාධා නොකරනු ඇතැයි මම අනුමාන කරමි”, වශයෙනි.

මෙය අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් සඳුදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් මගින් මෙය ප්‍රතිරාවය කලේය, ඔහු ප්‍රකාශ කලේය, “ස්වේච්ඡා සංක්‍රමණ සම්බන්ධයෙන් … අපි ඒ මත වැඩ කරමින් සිටිමු. අපි යන දිශාව මෙයයි.”

මෙම මස මුලදී, ලිබර්මන් විසින් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්  පුවත්පතේ  “ගාසාවේ අහිංසකයෝ? බොළඳ නොවන්න, ” යන මාතෘකාව යටතේ ප්‍රධාන ලිපියක් ප්‍රකාශයට පත් කළේය. එහිදී ඔහු ගාසාවේ සමස්ත සිවිල් ජනතාවට එරෙහිව සාමූහික දඬුවම් ඉල්ලා සිටියේය.

ජන සංහාරයේ රුදුරු බව වැඩි වන විට, ඊශ්‍රායලය මැද පෙරදිග පුරා යුද්ධය දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට සූදානම් වෙමින් සිටී.

මෙම සතිය මුලදී, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට්  කියා සිටියේ ඊශ්‍රායලය රටවල් කිහිපයක් සමඟ “යුද්ධයක” යෙදී සිටින බවයි. “අපි ඉන්නේ බහු පෙරමුණු යුද්ධයක. ගාසා, ලෙබනනය, සිරියාව, ජුදා සහ සමාරියාව (බටහිර ඉවුර), ඉරාකය, යේමනය සහ ඉරානය යන පෙරමුණු හතකින් අපට ප්‍රහාර එල්ල වේ,” ඔහු පැවසීය. ඉරානයට පැහැදිලි තර්ජනයක් ලෙස, “අපි දැනටමත් එම පෙරමුණු හයකට ප්‍රතිචාර දක්වමින් ක්‍රියා කර ඇත්තෙමු.”

බදාදා, ඊශ්‍රායල යුද කැබිනට් සාමාජික බෙනී ගැන්ට්ස්  මාධ්‍ය හමුවකදී ලෙබනනයට තර්ජනය කරමින්, “ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ තත්වය වෙනස් විය යුතුය. රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා වූ කාලය අවසන් වෙමින් පවතී. ඊශ්‍රායලයේ උතුරු වැසියන්ට වෙඩි තැබීම වැළැක්වීමට සහ හිස්බුල්ලා දේශ සීමාවෙන් ඈත් කිරීමට ලෝකය සහ ලෙබනන් රජය ක්‍රියා නොකරන්නේ නම්, [ඊශ්‍රායල් හමුදාව] එය කරනු ඇත.” ඔහු නිගමනය කළේ, “යුද්ධය දිගටම පවතිනු ඇත, පුළුල් වනු ඇත.” යන්නයි.

ජන සංහාරයට අරමුදල් සපයන සහ සන්නද්ධ කරන එක්සත් ජනපදය, ඊශ්‍රායලය සමඟ මැද පෙරදිග තමන්ගේම මිලිටරි උත්සන්න කිරීම සම්බන්ධීකරණය කරයි. නත්තල් දිනයේදී එක්සත් ජනපද හමුදාව ඉරාකයේ ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළේ ඉරාන ප්‍රොක්සි හමුදා ලෙස හැඳින්වූ දෙය ඉලක්ක කරමිනි.

බදාදා කොන්ග්‍රසයට ලිපියක් යවමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙසේ ලිවීය, “2023 දෙසැම්බර් 25 දින රාත්‍රියේ, මගේ මඟපෙන්වීම අනුව, එක්සත් ජනපද හමුදා ඉරාකයට අනුබද්ධ කණ්ඩායම් විසින් පුහුණුව, සැපයුම් සහාය සහ වෙනත් අරමුණු සඳහා භාවිතා කරන ඉරාකයේ මධ්‍යස්ථාන තුනකට එරෙහිව වෙන වෙනම ප්‍රහාර එල්ල කරන ලදී…. මෙම ප්‍රහාර අරමුණ වූයේ එක්සත් ජනපදයට සහ අපගේ හවුල්කරුවන්ට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රහාර මාලාව පහල දැමීම හා කඩාකප්පල් කිරීම සහ ඉරානය සහ ඉරානයේ පිටුබලය ලබන මිලීෂියා කණ්ඩායම් එක්සත් ජනපද කාර්ය මණ්ඩල සහ මධ්‍යස්ථාන වලට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙන් හෝ සහාය දීමෙන් වලක්වා ලීමටයි.”

“තවදුරටත් තර්ජන හෝ ප්‍රහාර සමග පොර බැදීම සඳහා අවශ්‍ය සහ සුදුසු පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජනපදය සූදානම්ව සිටී” යනුවෙන්, බයිඩන් තර්ජනය කලේය.

ගෙවී යන සෑම දිනකම, ඊශ්‍රායල-එක්සත් ජනපද ජන සංහාරය සහ ගාසා තීරයේ ජනගහනය වාර්ගිකව ශුද්ධ කිරීම, මැද පෙරදිග අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෙන යන ප්‍රධාන නව මිලිටරි ප්‍රහාරයක තීරනාත්මක සංරචකයක් බව පැහැදිලි වෙමින් තිබේ. නව වසරට දින කිහිපයක් ඉතිරිව තිබියදී, අධිරාජ්‍යවාදී බලවතුන් 2024 තවත් නිමක් නැති යුද්ධයේ සහ මිලිටරි ම්ලේච්ඡත්වයේ වසරක් බවට පත් කිරීමට උත්සාහ කරමින් සිටී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top