ගාසා තීරයේ යුද්ධය ගෝලීය තෙල් හා ගෑස් මිල නැගීමේ තර්ජනයක් එල්ල කරයි

ගේබ්‍රියල් බ්ලැක් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 25 දින පල වූ “War in Gaza threatens global oil and gas price surge” යන  ගේබ්‍රියල් බ්ලැක් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ඇමරිකානු බැංකුව බැරලයක මිල ඩොලර් 250 ක් තරම් ඉහල අගයක් ගැනීම ගැන අනතුරු අඟවයි

හමාස් සංවිධානය විසින් දියත් කරන ලද ඔක්තෝබර් 7 කැරැල්ලෙන් පසු සති හතරකට ආසන්න කාලයක් තුල, ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ විශාල කොටස් සුන්බුන් බවට පත් කර, නිල වශයෙන්, 7,000කට ආසන්න පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කර ඇත. මිලියන 1.4 ක ජනතාවක් තම නිවෙස්වලින් අවතැන් වී ඇතැයි සැලකේ. ගාසා තීරයේ වෙසෙන මිලියන 2.3 ක ජනතාවට පානීය ජලය, ආහාර, ඉන්ධන, විදුලිය සහ අන්තර්ජාලය සියල්ල අහිමි වෙමින් පවතී.

ඊශ්‍රායල රාජ්‍යය විසින් පලස්තීන ජනතාව සමූලඝාතනය කිරීම ලොව පුරා මහජන විරෝධතා ඇවිලී ඇත-බොහෝ අවස්ථාවලදී , මේවා 2003 ඉරාක යුද්ධයට එරෙහිව පැවති යුධ විරෝධතා වලින් පසු ඇතිවූ විශාලතම යුද විරෝධී විරෝධතාවන් වේ.

යුක්රේනයේ ඇවිලෙමින් පවතින රුසියාවට එරෙහි ප්‍රොක්සි යුද්ධයට දැනටමත් ගැඹුරින් කැපවී සිටින බයිඩන් පරිපාලනය, දැන් යුද්ධය සඳහා අමතර අරමුදල් ඩොලර් බිලියන 105ක් ඉල්ලා ඇත. මෙය ඩොලර් ට්‍රිලියන 1 කට අධික වාර්ෂික මිලිටරි අයවැයට අමතරව ය. ඉරානය සම්බන්ධ මැද පෙරදිග පුලුල් යුද්ධයක් සඳහා සූදානම් වීම සඳහා එක්සත් ජනපදය එහි ගුවන් යානා වාහක ප්‍රහාරක කන්ඩායම් 11න් දෙකක් නැගෙනහිර මධ්‍යධරනී මුහුදට ගෙන ගොස් ඇත. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරන්නේ, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට සිදු කිරීමට  ආසන්න භූමි ආක්‍රමනයට ආධාර කිරීම සඳහා සහ ඉරානය සහ එක්සත් ජනපදය සම්බන්ධ වඩා පුලුල් යුද්ධයක් පිපිරී යාම සඳහා සූදානම් වීම ලෙස, “මැද පෙරදිග වෙතට ආරක්ෂක පියවරයන් සහ උපදේශකයින් ඉක්මන් කිරීමට” එක්සත් ජනපදය තීරනය කර ඇති බවයි.

අපි ලියනු ලැබුවේ, මැද පෙරදිග නව, කලාපීය යුද්ධයක් සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි ප්‍රධාන සහචරයින්ගේ වියරු සූදානම,  “ඇත්ත වශයෙන්ම, තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අදියරයන් උත්සන්න කිරීමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි. ” ලෙසය.

ලෝකයේ හොඳම සහ විශාලතම තෙල් හා ගෑස් සංචිත අසමානුපාතික ලෙස රැදී ඇති නිසා මැද පෙරදිග දිගු කලක් ගෝලීය භූ දේශපාලනයේ කේන්ද්‍රීය අවධානයට ලක් වී ඇත.

එහි ප්‍රධාන සාමාජිකයින් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති ඔපෙක් (OPEC),  ලෝකයේ දැනට පවතින තෙල් හා ගෑස් සම්පත් වලින් දල වශයෙන් සියයට 65 ක් දරයි. අවම වශයෙන් 1930 ගනන්වල සිට, බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය මෙම කලාපය පාලනය කිරීම සඳහා මිලිටරි බලය, ඝාතන, කුමන්ත්‍රන, අල්ලස් සහ වෙනත් ක්‍රමවල සංකලනයක් භාවිතා කිරීමට සම්පූර්නයෙන් සාවධානව ව සිට ඇත.මෙම සරල හේතුව නිසාය , ජනාධිපති බයිඩන් මෑතකදී කොන්ග්‍රසයට පැහැදිලි කලේ , “[ඊශ්‍රායලය] අප කරන හොඳම ඩොලර් බිලියන තුනේ ආයෝජනයයි. ඊශ්‍රායලයක් නොතිබුනේ නම්, කලාපය තුල තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපදයට ඊශ්‍රායලයක් නිර්මානය කිරීමට සිදුවනු ඇත.”

යුද්ධය ආරම්භ වූ දා සිට තෙල් මිල දැනටමත් සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. ගෝලීය තෙල් වෙලඳාම සඳහා භාවිතා කරන ප්‍රමුඛතම මිල මිනුම් ලකුන වන බ්‍රෙන්ට් බොරතෙල්, යුද්ධයේ ආරම්භක සති දෙක තුල බැරලයක් ඩොලර් දහයකින් පමන ඉහල ගියේය. තෙල් සහ ස්වාභාවික වායු ගෝලීය ආර්ථිකයේ භාවිතා කරන ශක්තියෙන් තුනෙන් දෙකක් සමන්විත වන බැවින්, ඒවායේ මිල චලනයන් සියලු භාන්ඩවල මිල කෙරෙහි පුලුල් හා අසමානුපාතික බලපෑමක් ඇති කරයි. තෙල් ඉන්ධන වන්නේ  මෝටර් රථ සදහා පමනක් නොව ගෝලීය ට්‍රක් රථ සේවා , නැව් සහ ගුවන් සේවා කර්මාන්ත මෙන්ම තීරනාත්මක ඛනිජ රසායනික නිෂ්පාදන සහ කාර්මික ක්‍රියාවලීන් සමූහයක් සදහාද වේ. ලොව පුරා උනුසුම සහ විදුලි උත්පාදනය සඳහා භාවිතා කරන ප්‍රමුඛතම ඉන්ධනය ස්වභාවික වායුවයි. සූර්ය බලශක්තිය වේගයෙන් වර්ධනය වුවද, ලෝකයේ වර්තමාන බලශක්ති පරිභෝජනයෙන් එය සියයට 2 ක් පමනි.

මේ වන විට තෙල් මිල අස්ථාවර මට්ටමක පවතී. විනාඩියෙන් විනාඩියට, උත්සන්න වන යුද්ධයේ පුවත් , සමපේක්ෂකයින් නොසන්සුන් ලෙස විවිධ දිශාවලට ඔට්ටු ඇල්ලීමට හේතු වේ. හමාස් සංවිධානය විසින් ප්‍රාන ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරන විට මිල අඩු විය. නමුත් පසුගිය පැය 48 තුල ඊශ්‍රායල හමුදා විසින් නිර්දය බෝම්බ හෙලීමෙන් පසුව, සර්පිලාකාර ගැටුමක් ගැන වෙලඳුන් කනස්සල්ලට පත්වීමත් සමඟ මිල ඉහල ගියේය.

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 88.50 කට විවෘත වෙලඳපොලේ වෙලඳාම් කෙරේ. කෙසේ වෙතත්, යුද්ධය දිග හැරුනහොත් සහ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව විශාල ප්‍රහාර දියත් කලහොත්, තෙල් සඳහා මිල දෙගුනයක් හෝ තුන් ගුනයකින් වැඩි විය හැකිය.

P
2019 ජූනි 13 වැනි දින ඕමාන් බොක්ක මුහුදු තීරයේදී ප්‍රහාරයට ලක් වූ බව පැවසෙන නෝර්වීජියානු සමාගමට අයත් ෆ්‍රන්ට් ඇල්ටෙයාර් නැවෙන් ගින්නක් සහ දුමාරයක් පැතිර යයි. [ඡායාරූපය: ඉරාන ශිෂ්‍ය පුවත් ඒජන්සිය]

ඇමරිකානු බැංකුවේ මෑත කාලීන පර්යේෂන සටහනකට අනුව, යුද්ධය සැලකිය යුතු ලෙස උත්සන්න වුවහොත් තෙල් බැරලයක මිල ඩොලර් 250 දක්වා ඉහල යා හැකිය.

තෙල් බැරලයක මිල ඩොලර් 250 ක් වීම, පරිභෝජනයට සහ ලොව පුරා ආර්ථික වර්ධනයට ව්‍යසනකාරී බලපෑම් ඇති කරයි. එය මාස කිහිපයක් ඇතුලත ගෝලීය අවපාතයක් ඇති කරනු ඇත. තෙල් මිල කවදාවත් මේ තරම් ඉහල ගොස් නැත. එය එම මට්ටමට ලඟා වී ඇත්තේ , එය අද ඩොලර් වලින් ඩොලර් 210 දක්වා ඉහල ගිය 2008 දී, ගෝලීය මූල්‍ය අර්බුදය ලිහා ගැනීමට මාසයකට පමන පෙරය.

ඇමරිකානු බැංකුව ලියන්නේ ඩොලර් 250 ක් වඩාත් ආන්තික අවස්ථාවක් වනු ඇති බවයි. නමුත් එහි වඩා මධ්‍යස්ථ යෝජනාව පවා, මිල ඩොලර් 150 දක්වා දෙගුනයක් වීම ද විශාල පීඩනයක් ඇති කරයි.

මෙම විභවයන් පිටුපස ඇති ප්‍රධාන හේතුව නම් ලෝකයේ මුහුදු වෙලඳාම් කරන තෙල්වලින් තුනෙන් එකක් සෑම දිනකම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගලා යාමයි (ලෝකයේ සමස්ත තෙල්වලින් හතරෙන් එකක් පමන).එක්සත් ජනපදය සමඟ ඇති විය හැකි යුද්ධයක දී , සමුද්‍ර සන්ධිය හරහා සිදු වන වෙලඳාම නැවැත්වීමට ඉරානයේ ඇති හැකියාව, ඉරානයෙහි ප්‍රමුඛතම ආරක්ෂක පියවරක් වනු ඇත. 

Map
හෝමුස් සමුද්‍ර සන්ධියේ සිතියම [ඡායාරූපය Goran_tek-en / CC BY-SA 4.0]

ද ගාඩියන් (The Guardian) විසින්,  උත්සන්න වීමේ විභව තත්වයක් ඉදිරිපත් කරනු ලබන කැපිටල් ඉකොනොමික්ස්  (Capital Economics) හි  නිකලස් ෆාර් (Nicholas Farr ) උපුටා දක්වයි. 

“ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට ඊශ්‍රායලය සමඟ මිසයිල ප්‍රහාර හුවමාරු කර ගෙන ඇති අතර ගැටුමේ නව පෙරමුනක් විවෘත කිරීමට හැකියාව ඇත. ඉරානය යුද්ධයට ඇද දැමුවහොත් , එමගින් බලශක්ති සැපයුම කඩාකප්පල් කිරීම සහ තෙල් මිල ඉහල දැමීම මගින් විශාල ගෝලීය අවදානමක් නිර්මානය කරනු ඇත. LNG [ද්‍රව ස්වභාවික වායු] අපනයනයට බාධාවක් සිදුවුවහොත්, එය ස්වභාවික ගෑස් මිලටද බලපෑ හැකිය.”

එක්සත් ජනපද මධ්‍යම අනදෙන නිලධාරි ජෙනරාල් ෆ්‍රෑන්ක් මැකෙන්සි එන්පීආර් පුවත් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කල පරිදි, හිස්බුල්ලා, එක්සත් ජනපදය සහ ඉරානය සම්බන්ධ කර ගන්නා කලාපීය යුද්ධයක “අද්විතීය වූ හැකියාවක්” පවතී.  

ප්‍රමුඛතම තෙල් පර්යේෂන සේවාවක් වන ප්ලැට්ස්, තෙල් වෙලඳපොලවල් “ආතති සහගත” තත්වයක පවතින බව විස්තර කරයි. නමුත් දැනට, ඉරානය ඇතුලු ඔපෙක්හි බහුතරයකට ගෝලීය තෙල් සැපයුම කඩාකප්පල් කිරීමට උනන්දුවක් නොමැති බව සටහන් කරයි.

මේ අතර, වොෂින්ටනය පදනම් කරගත් චින්තන පර්ශද ඉරානයට එරෙහිව ආර්ථික හා මිලිටරි ප්‍රතිප්‍රහාර ප්‍රවර්ධනය කිරීම සඳහා යුධ බෙර වාදනය කරයි. 

ඊශ්‍රායල සහය ලබන ප්‍රධාන ඇමරිකානු චින්තන පර්ශදයක්  වන මෑත නැගෙනහිර ප්‍රතිපත්ති සඳහා වන වොෂින්ටන් ආයතනය (The Washington Institute for Near East Policy), මෙසේ ලියයි, “මේ වන විට ඇමරිකාව අනෙකුත් වත්කම් අතර ගුවන් යානා වාහක කන්ඩායම් දෙකක්, ඒවාට සම්බන්ධ නියමු -මිසයිල නෞකා සහ උභය (ග‌ොඩ බිම් හා ජල මත) මෙහෙයුම් සිදු කල හැකි මැරීන් බලකා ගවේෂන ඒකකයක් යවා ඇත.”

කෙසේ වෙතත්, වොෂින්ටන් ආයතනය සඳහා මෙය ප්‍රමානවත් නොවේ. ඔවුන් දිගටම මෙලෙස සදහන් කරයි:

මධ්‍යධරනී මුහුදේ ඇමරිකාවේ බලය ප්‍රදර්ශනය කිරීම සිත් ඇදගන්නා සුලු ය, නිසැකවම – තවත් බොහෝ දේ සිදුවීමට ඇත: පෙන්ටගනය පවසන්නේ එය තාඩ්  (THAAD) ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් සහ පේට්‍රියට් මිසයිල බලඇනි කලාපයට යවන බවයි. නමුත් මෙම බල ප්‍රදර්ශනය, ඇත්ත වශයෙන්ම වෙනත් ක්‍රියාකාරීන්ගේ සම්බන්ධය මැඩපවත්වන්නේද, නැතහොත් යුද්ධය පැතිරීම වලක්වන්නේද යන්න තවමත් පැහැදිලි නැත. ඇමරිකාවේ වැලැක්වීමේ තර්ජනය විශ්වසනීය වීමට නම්, නැගී එන ප්‍රකෝප කිරීම්වලට එරෙහිව තීරනාත්මක ලෙස ක්‍රියා කිරීමට සිදුවනු ඇත.”‘

මෙම ආයතනය ඉරානයට එරෙහිව “ආර්ථික පීඩනය වැඩි කිරීම” නිර්දේශ කරයි, අවසානයේ “වොෂින්ටනයට මිලිටරිමය වශයෙන් යෙදී ගැනීම  හැර වෙනත් විකල්පයක් නොතිබිය හැකි.” බව ප්‍රකාශ කරයි.

පෙන්ටගනයේ සහ ටෙල් අවිව්හි යුද සැලසුම්කරුවන්ගේ සිත් තුල කැරකෙන මෙම ආස්ථානයන්ගේ තර්කනය ගෝලීය යුද්ධයකට මග පාදයි. කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අභිලාෂයන් තෘප්තිමත් කිරීම සඳහා – ඔවුන් කැමති වුවත් නැතත් – ඉරානය සමග සෘජු මිලිටරි ගැටුමක් අවශ්‍ය බව ඔවුහු විවෘතව පිලිගනිති.

රුසියාවට එරෙහි යුද්ධය සහ චීනය සමග යුද්ධය සඳහා ඉහල දියුනු සැලසුම් පිලිබඳ පුලුල් භූ දේශපාලන සන්දර්භය සැලකිල්ලට ගෙන – එවන් “ගිනිකූරක් ගැසීමක්” ලෝක යුද්ධයක් දක්වා පුපුරා යා හැකිය, නැතහොත් අවම වශයෙන් එහි පලමු ප්‍රධාන අදියර සනිටුහන් කල හැකිය.

එහෙත් එවන් ගැටුමක ආරම්භය, බලශක්තිය පිලිබඳ ප්‍රශ්නයෙන් පෙන්නුම් කරන පරිදි, එය තුල දැවැන්ත ප්‍රතිරෝධතා අඩංගු කර ගනු ඇත. වොෂින්ටන් ආයතනයේ සහ පෙන්ටගනයේ සහ ටෙල් අවිව්හි එහි ආධාරකරුවන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගතහොත්, ඉරානයට “ බල ශක්ති අවිය” හරහා ප්‍රතිප්‍රහාර එල්ල කල හැකිය.

2022 දී, ප්‍රකෝප කරන ලද රුසියාව විසින් යුක්රේනය ආක්‍රමනය කිරීමෙන් පසුව, එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් රුසියානු තෙල් සහ ගෑස් අපනයනය සඳහා ගෝලීය තහනමක් ආරම්භ කරන ලදී. එම පියවරවල සැබෑ කාර්යක්ෂමතාවය විවාදිත වුවත් – එය (බලශක්ති) විකුනුම් අවහිර නොකල මුත් රුසියාවට එහි බලශක්ති විකුනුම් මිල අඩු කල අතර, ඒ වෙනුවට ආසියාවට හරවා යැවීම සිදු විය – එහි ප්‍රතිවිපාක ගෝලීය වශයෙන්, දැවැන්ත විය.

2022 වසර ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවකට ඇදහිය නොහැකි තරම් අභියෝගාත්මක වසරක් ලෙස සනිටුහන් කලේ සෑම දෙයකම පාහේ මිල ඉහල යාමත් සමඟය. එක්සත් ජනපදයේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 8.3 දක්වා ලඟා විය. යුරෝපයේ, අධික විදුලි මිල ගනන් සහිත බිහිසුනු ශීත ඍතුවක් මගින් සියලු වැඩ කරන ජනතාවට එල්ල කල ප්‍රහාරය දරුනු වූ අතර, කාර්මික නිෂ්පාදනය මන්දගාමී විය. 2022 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව තුල , රජයට එරෙහිව නැගිටීමක් ඇති වූයේ ඉන්ධන සහ පිසින ගෑස් මිල අහස උසට නැඟීම හේතුවෙනි.

උද්ධමනය, ගෝලීය වශයෙන්, 2022 දී තරම් ඉහල මට්ටමක නොතිබුනද, මිල ගනන් පහත වැටී නැත; ඒවා කලින් මෙන් ඉක්මනින් නැගෙන්නේ නැතිවා පමනි.

ගෝලීය වශයෙන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කූටෝපායන්, ගෝලීය යුද්ධයේ සර්පිලාකාර අර්බුදයකට ලෝකය ගෙන යමින් සිටී. ගාසා තීරයට එරෙහිව දිග හැරෙන සමුල ජන ඝාතනය පෙන්නුම් කරන පරිදි, එක්සත් ජනපද භූ දේශපාලනික අරමුනු හඹා යෑම ව්‍යසනකාරී, අනපේක්ෂිත සහ එකකට පසු එකක් ලෙස  බලපෑම් ඇති වීමට තුඩු දෙනු ඇත.

එක්සත් ජනපදය ඉරානය සමඟ යුද්ධයකට ගියහොත්, 2022 දී අත්විඳින ලද විනාශකාරී උද්ධමනය නැවත පැමිනීමට සම්පූර්නයෙන්ම ඉඩ තිබේ. දැන් දිග හැරෙමින් පවතින දෙයෙහි භීෂනය සහ ප්‍රතිවිපාක අවසන් කිරීමට බලය සහ හැකියාව ඇත්තේ කිසිදු රටකට පක්ෂපාතීත්වයක් නැති කම්කරු පන්තියට පමනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top