ගාසා තීරයේ රෝහලට ඊශ්‍රායලය බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ගෝලීය කෝපය පුපුරා යයි

ලෝසවෙඅ කතෘ මන්ඩලයේ ප්‍රකාශය

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 18 දින පල වූ ‘Global outrage erupts over Israeli bombing of Gaza hospital’ යන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ඉදිරිදර්ශන ලියවිල්ලේ සිංහල පරිවර්තනය යි.

theSocialist.LK කර්තෘ මන්ඩලය හා කමිටුව ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ  මන්ඩලයේ මෙම ප්‍රකාශය ඒ ආකාරයෙන්ම සම්මත කරන අතර අප පාඨකයන්ට ආරාධනා කරන්නේ එය අපගේම ප්‍රකාශයක් ලෙස පිලිගන්නා ලෙසත් ඒ අනුව දේශපාලනිකව බලමුලු ගැන්වෙන ලෙසත්ය.

Hospital
අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය පලස්තීනුවන්ගේ සිරුරු 2023 ඔක්තෝබර් 17 වැනි අඟහරුවාදා, මධ්‍යම ගාසා තීරයේ , ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ඉදිරිපස මිදුලේ රැස්කර ඇති ආකාරය. (AP ඡායාරූපය/අබෙද්කාල්ඩ්)

අඟහරුවාදා, ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට දැවැන්ත GPS-නියාමක බෝම්බයක් හෙලූ අතර, ඉන්, වෛද්‍ය නිලධාරීන්, රෝගීන් සහ සරනාගතයින් 500කට වැඩි සංඛ්‍යාවක් මිය ගියහ. ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි පල්ලිය විසින් මෙහෙයවනු ලබන මෙම රෝහල බෝම්බ ප්‍රහාරයෙන් අවතැන් වූ 1,000 කට අධික පිරිසකට රැකවරනය ලබා දී තිබුනි.බරපතල තුවාල ලැබූ රෝගීන්ට නවාතැන් ගැනීමට දකුනු ගාසා තීරයේ ප්‍රමානවත් ඇඳන් නොමැති බව පවසමින්,ඔවුන් තවදුරටත් දකුනට ගෙන යන ලෙසට කල ඊශ්‍රායල බල කිරීම් , රෝහලේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මන්ඩලය විසින් නිර්භීතව ප්‍රතික්ෂේප කර තිබුනි.

මෙම අතිහය කුරිරු දාමරික කම මැද පෙරදිග, යුරෝපය සහ ඇමරිකාව පුරා ලක්ෂ  සංඛ්‍යාත මහජන විරෝධතා අවුලුවා ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ට සමූල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කරන බැනර් සමඟ දහස් ගනනක් ධවල මන්දිරයෙන් පිටත පෙල ගැසී සිටියහ.

ඊශ්‍රායල ආන්ඩුව සහ එක්සත් ජනපද මාධ්‍ය පලස්තීනුවන් ඔවුන්ගේම රෝහලට බෝම්බ හෙලූ බව යන බොරුව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත. ඊශ‍්‍රායලය බෝම්බ ප‍්‍රහාරයේ වගකීම ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙම ප‍්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයේ සිට දියත් කල රොකට්ටුව වැරදීමකින් බවයි. මෙය අභූත ප්‍රබන්ධයක් බව මුලු ලෝකයම දනී. එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සහාය ඇතිව ඊශ්‍රායලය විසින් මෙම සංහාරය සිදු කරන ලදී.

ගාසා බෝම්බ ප්‍රහාරය ගැන  කිසිදු අහඹුවක් නැත. එය පසුගිය දින 10 තුල රෝහල්, නේවාසික ගොඩනැගිලි සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වූ දුසිම් ගනනක ප්‍රහාර මාලාවක නවතම සහ වඩාත්ම සාතිශය පිලිකුල් සහගත සිදුවීම පමනි. එය මුළුමනින්ම යුද්ධය සඳහා වන ඊශ්‍රායලයේ මූලෝපාය සමග ගැලපේ, එනම් දැවැන්ත ජීවිත හානි සහ මරන සිදු කරමින් ජනගහනය ත්‍රස්ත කිරීමයි.

ඔක්තෝබර් 13 දා ඊශ්‍රායලය විසින් මිලියන 1.1 ක ජනතාවක් උතුරු ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවට පත්‍රිකා හෙලා තිබුනි. ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ “නිදහසේ වෙඩි තැබිය හැකී  කලාපයක්” නිර්මානය කර ඇති අතර, ඒ තුල දී  සෑම පිරිමියෙක්ම, කාන්තාවක් සහ දරුවෙකුම ඉලක්කයක් වේ. පසුගිය දින 10 තුල මිනිසුන් 3,000කට අධික සංඛ්‍යාවක් මිය ගිය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර, “රෝහල්, වෙලඳපොලවල්, සරනාගත කඳවුරු, මුස්ලිම් පල්ලි, අධ්‍යාපනික ආයතන සහ සමස්ත නිවහන් ප්‍රදේශ  ඇතුලු විශේෂිතව ආරක්‍ෂිත ස්ථාන ඉලක්ක කර ඇති බව ” යුද ගැති එක්සත් ජනපද චින්තන පර්ෂදයක් වන අත්ලාන්තික් කවුන්සිලය සඳහන් කලේය. 

එහි සඳහන් වූයේ ඊශ්‍රායලය “ජනගහනය අධික සිවිල් වැසි  ප්‍රදේශවලට ඉව බව නැති ප්‍රහාර සහ පූර්වරක්ෂාවන් නොමැති ප්‍රහාර ( සිවිල් වැසියන්ට දැනුම්දීමකින් තොරව සිවිල් ප්‍රදේශවලට එල්ල කරන ප්‍රහාර වැනි ), ජාත්‍යන්තර මානුෂීය නීතිය [IHL ] උල්ලංඝනය කරන අතර එය යුද අපරාධවලට සමාන විය හැකි බවයි. ක්‍රමානුකූලව හෝ පුලුල් ලෙස ක්‍රියාත්මක වන විට, ඒවා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් විය හැකි” බවයි.

ප්‍රහාරයට දින කිහිපයකට පෙර , ඊශ්‍රායලය සජීවී උන්ඩ භාවිතා කරමින් රෝහලට “අනතුරු ඇඟවීමේ” වෙඩි තැබූ බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උප ලේකම් පවසයි. ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල හමුදාව රෝහල ඉවත් කරන ලෙස බලකර කරමින්, “අපි ඊයේ ඔබට ෂෙල් වෙඩි දෙකකින් අනතුරු ඇඟෙව්වා” යනුවෙන් කියා සිටියේය. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශකයෙකු සීඑන්එන් වෙත පැවසුවේ ඊශ්‍රායලය අත්පත් කර ගත්  “සවන් දුන්  සංවාද ” ( intercepted conversations) හෙලිදරව් කරන්නේ “එය වැරදුනු  රොකට්ටුවක් බව ඔවුන්ට වැටහෙන” බවයි. “සවන් දුන්  සංවාද ” පිලිබඳ මෙම සඳහන වහාම සිහිපත් කරන්නේ කොලින් පවෙල් 2003 දී එක්සත් ජාතීන් ඉදිරියේ කරන ලද කුප්‍රකට කතාවයි. එහිදී ඔහු “සවන් දුන්  සංවාද ”  මහා විනාශකාරී ආයුධ (WMD) පවතින බව ඔප්පු කරන  බව උජාරුවෙන් ප්‍රකාශ කලේය.

ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බයිඩන් ට්විටර් හි මෙසේ ලිවීය, “ගාසාවේ අල් අහ්ලි අරාබි රෝහලේ පිපිරීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ බිහිසුනු ජීවිත හානිය ගැන මම කෝපයටසහ  දැඩි ශෝකයට පත් වෙමි. ගැටුම් අතරතුර සිවිල් ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය නිසැකවම පෙනී සිටින අතර, මෙම ඛේදවාචකයෙන් මියගිය හෝ තුවාල ලැබූ රෝගීන්, වෛද්‍ය කාර්ය මන්ඩලය සහ අනෙකුත් අහිංසකයින් ගැන අපි ශෝක වෙමු. ”

මොනතරම් නරුමත්වයක් සහ කුහකකමක්ද!

සියලුම අධිරාජ්‍යවාදී බලවතුන් මෙම යුද අපරාධයට සම්බන්ධය. අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට ප්‍රහාරය එල්ල කෙරුනේ, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්  නෙතන්යාහු හමුවී , ජර්මනියට ” ඇත්තේ එක තැනක් පමනයි… ඒ ඊශ්‍රායලය සමගයි” යනුවෙන් ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව ය.

ඊශ්‍රායලයේ අපරාධ යුක්තිසහගත කිරීම සඳහා ජර්මානු අධිරාජ්‍යවාදයේම අපරාධ නරුම ලෙස භාවිතා කරමින් , නාසීන් විසින් යුරෝපීය යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් බෝම්බ හෙලීමට හා බඩගින්නේ මිය යෑමට බදුන් කර ඇති පලස්තීන ජනතාව කිසියම් අයුරකින් සම්බන්ධ වන්නාක් මෙන් ,ෂොල්ෂ් පැවසුවේ ජර්මනියේ “හොලෝකෝස්ටය පිලිබඳ වගකීම නිසා  ඊශ්‍රායලයේ ආරක්ෂාව සහ පැවැත්ම පවත්වා ගැනීම සදහා අප   උපකාර කරීම   අවශ්‍ය කරන ” බවයි.

නෙතන්යාහු ආන්ඩුව සමග “සහයෝගීව සිටීම” සදහා බයිඩන් ඊශ්‍රායලයට පැමිනීමට පැය 24 කටත් අඩු කාලයකට පෙර රෝහල් බෝම්බ ප්‍රහාරය එල්ල විය. අඟහරුවාදා ඝාතනය කරන ලද පලස්තීනුවන් 500 දෙනෙකුගේ ලෙයින් වර්න ගැන්වූ  රතු පලස ඊශ්‍රායලය විසින් බයිඩන්ට එලා ඇත. බයිඩන් ගේ යානය ගොඩ බානවාත් සමගම, මල සිරුරු සුන්බුන් වලින් එලියට ඇද ගැනෙනු ඇත.

පහසුවෙන්ම විය හැකි ලෙස එක්සත් ජනපදය විසින් සපයන ලද බෝම්බයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් සමඟින් සිදු කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් නෙතන්යාහුට අත අත දී , ඔහුට සුබ පැතීමට ඊශ්‍රායලයට යාමෙන් බිඩෙන් ඔහුගේ “කෝපය” ප්‍රකාශ කරයි. ඔහුගේ පරිපාලනය මෙම ම්ලේච්ඡත්වයට සම්පූර්නයෙන්ම සම්බන්ධ වී ඇත.

සති අන්තයේදී  එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කලේ, එක්සත් ජනපදයට ඊශ්‍රායලය සදහා  සහය නොදැක්වීම පිනිස ඉක්මවා යා නොහැකි  “රතු ඉරි” නැති බවයි. එක්සත් ජනපද නිලධාරීන්ට සටන් විරාමයක් හෝ එදිරිවාදිකම් මන්දනය කිරීමක් ඉල්ලා සිටීම අනුමත කල නොහැකි බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

අන්ත දක්ෂිනාංශික නෙතන්යාහු තන්ත‍්‍රය ගාසා තීරයේ ජනගහනයට එරෙහිව සමූලඝාතක සහ වාර්ගික ශුද්ධ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. එය රටේ [ ගාසා තීරය] උතුරෙහි , ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කර ඇති අතර, සිවිල් යටිතල පහසුකම්වලට ක්‍රමානුකූලව බෝම්බ හෙලීම සහ මුලු ජනගහනයටම ආහාර, ජලය, විදුලිය සහ වෛද්‍ය පහසුකම් කපා හැර ඇත. ඊශ්‍රායල රජයේ ඉලක්කය වන්නේ ගාසා තීරයේ ජනතාව ඔවුන්ගේ භූමියෙන් ඉවත් කිරීම සහ ඔවුන් විසින් මරා නොදමන අය රටක් නැති, ඉඩම් නොමැති සරනාගතයින් බවට පත් කිරීමයි.

ගාසා තීරය “කූඩාරම් නගරයක්” බවට පත් කර “බිමට සමතලා කරන” බව පැවසමින්  එක් ඊශ්‍රායල නිලධාරියෙකු මෙම සැලැස්ම විස්තර කලේය. පලස්තීනුවන්  සංහාර කරමින් අවතැන්  කිරීමේ මෙම පිලිවෙත ක්‍රියාත්මක කිරීමට, මැදපෙරදිග තම සේවාදායක රාජ්‍යයට වන ඊශ්‍රායලයට රිසි ලෙස කටයුතු කිරීමට ( Carte blanche ) අවසර ලබා දීමෙන් අධිරාජ්‍යවාදී බලවතුන් ඊට පූර්න සහයෝගය ලබා දී ඇත.

Palestine
ඊශ්‍රායලයේ සිතියමක්, කොළ පැහැයෙන් පලස්තීන ප්‍රදේශ සහ ඊශ්‍රායල විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරය දැක්වේ. [AP ඡායාරූපය]

පසුගිය සතිය පුරා ඊශ්‍රායල සහ එක්සත් ජනපද නිලධාරීන් භාවිත කල භාෂාව ඉලක්ක කර තිබුනේ මෙවැනි භීෂනයක් ක්‍රියාත්මක කල හැකි වාතාවරනයක් නිර්මානය කිරීමයි. නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් යන දෙදෙනාම පලස්තීනුවන් හැඳින්වූයේ “තිරිසනුන්” යනුවෙනි. අඟහරුවාදා නෙතන්යාහු පලස්තීනුවන් “අන්ධකාරයේ දරුවන්” ලෙස හඳුන්වමින් තවත් ඉදිරියට ගියේය. පසුගිය සතියේ බිඩෙන් මෙම භාෂාව ප්‍රතිරාවය කරමින්, ඔවුන්ගේ සිර කඳවුරෙන් පිටතට කඩාවැදුනු පලස්තීනුවන්ගේ ක්‍රියාවන් “තනිකර නපුර” ලෙස හැදින්වීය.

ඇමරිකාවේ ස්වදේශික ඇමරිකානු ජනගහනය ක්‍රමානුකූලව කොල්ලකෑම, සමූලඝාතනය සහ අවතැන් කිරීම ගැන සඳහන් කරමින්, දිගුකාලීන පලස්තීන නායක යසර් අරෆත්, “අපි රතු ඉන්දියානුවන් නොවේ” යන කියමන නැවත නැවතත් කියා පෑවේය. මෙයට අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රකාශ කරන්නේ, “නැහැ , ඔබ ඔවුන්ම  තමයි” යනුවෙනි.

පලස්තීනුවන්ට එරෙහි මෙම සමූල ඝාතනය විවෘත වැලඳ ගැනීම සිදුවන්නේ එක්සත් ජනපදය යුද්ධය සදහා  කෙදිනකට හෝ වඩා සෘජුවම සම්බන්ධ වන  අතර දීය. අඟහරුවාදා පෙන්ටගනය විසින් මැදපෙරදිගට විභව යෙදවීම  සඳහා සූදානම්ව සිටින ලෙස භටයින් 2,000කට නියෝග කලේය. මැරීන් භටයින් 2,400 ක් ඇතුලුව යූඑස්එස් බටාන් උභය සූදානම් කන්ඩායම (USS Bataan Amphibious Ready Group,) එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් සමඟ කලාපයට යොදවන බව ද එය නිවේදනය කලේය. එක්සත් ජනපද හමුදාව පලස්තීනුවන් ඉලක්ක ගත කරනු පමනක් නොව ඉරානය සමඟ යුද්ධය සඳහා  කොන්දේසිද නිර්මානය කරයි.

සිදුවෙමින් පවතින ගැටුම තේරුම් ගත හැක්කේ රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය විසින් ගෝලීය මිලිටරිවාදය පුපුරුවා හැරීමේ සන්දර්භය තුල පමනි. යුක්රේනයේ , රුසියාව සමග එක්සත් ජනපද යුද්ධය දැන් ගෝලීය ගිනි ජාලාවක් බවට පැතිරෙමින් මැද පෙරදිග කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතී.

වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ බයිඩන් පරිපාලනය යුක්රේනය සන්නද්ධ කිරීම සඳහා වූ ඩොලර් බිලියන 20 ක පනතක් , යුක්රේනය, මැද පෙරදිග සහ පැසිෆික් කලාපයේ යුද්ධ සඳහා ඩොලර් බිලියන 100 ක දැවැන්ත වියදම් පැකේජයක් බවට පත් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

යුක්රේනයේ යුද්ධය යුක්තිසහගත කිරීමට භාවිතා කරන සියලුම බොරු පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ සමූල ඝාතනයෙන් පුපුරවා හරිනු ලැබේ. එක්සත් ජනපද ආන්ඩුව රුසියානු ආක්‍රමනයට එරෙහිව “ජාතික ස්වෛරීත්වයට” සහය දක්වන බව කියා ඇත, රුසියාව “යුද අපරාධ” මෙන්ම “ජන සංහාර” පවා  සිදු කරන බව කියා ඇත- දැන් සියලු අධිරාජ්‍යවාදී බලවතුන් ඇත්ත ජනඝාතක ක්‍රියාවලට විවෘතව සහාය දක්වති. යුක්රේනයේ රුසියානු ක්‍රියා සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍ය විසින් ගෙන යන සියලුම බොරු ප්‍රචාර යමෙක් පිලිගත්තේ වුවද, එය ඊශ්‍රායලය දැන් මුලු ලෝකයම ඉදිරියේ කරමින් සිටින දෙයට සාපේක්ෂව සුදුමැලි වේ.

තත්‍ය කාලීනව සිදුවන දේ හෙලා දැකීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් වීදි බැස ඇත. මොනතරම් බොරු ප්‍රචාර සහ බිය ගැන්වීම් තිබුනත් පුලුල් ජනතාවගේ හැඟීම පලස්තීනුවන්ගේ පැත්තේ ඇත. කවරදාටත් වඩා, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ  පුලුල් ස්ථරයන් ආවරනය වන පරිදි මෙම විරෝධතා පුලුල් කල යුතුය. ඔවුන් එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව සූරාකෑමට එරෙහිව වර්ධනය වෙමින් පවතින කම්කරුවන්ගේ වැඩ වර්ජන රැල්ලට සම්බන්ධ කල යුතුය.

සඳුදා පලස්තීන වෘත්තීය සමිති කන්ඩායමක් සිය වැඩ වර්ජනයට සහාය දෙන ලෙස ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය:

“ඊශ්‍රායලය සිය මිලිටරි ව්‍යාපාරය තීව්‍ර කරන විට, පලස්තීන වෘත්තීය සමිති, ජාත්‍යන්තරව අපගේ සගයන්ගෙන් සහ හෘදය සාක්ෂිය ඇති සියලුම ජනයාගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ යුද අපරාධ සමඟ ඇති සියලු ආකාරයේ සහයෝගීතාවයන් අවසන් කරන ලෙසයි. ”

එය තවදුරටත් සදහන් කලේ :

“මෙම හදිසි, ජන සංහාරක තත්ත්වය වැලැක්විය හැක්කේ පලස්තීනයේ ජනතාව සමඟ ගෝලීය සහයෝගීතාවයේ දැවැන්ත වැඩිවීමකින් පමනක් වන අතර එමඟින් ඊශ්‍රායල යුද යන්ත්‍රය අවහිර කල හැකිය. ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඊශ්‍රායල රාජ්‍යයේ සන්නද්ධ වීම වැලැක්වීම සඳහා ඔබ වහා පියවර ගැනීම අපට අවශ්‍යයි.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලස්තීන වෘත්තීය සමිතිවල කැඳවීම අනුමත කරයි. ඉන් ඔබ්බට, ඊශ්‍රායලයේ යුද්ධයේදී ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් අහිමි කිරීමට වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ලොව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ලොව පුරා සිටින නැව් තටාක සේවකයින්, ගුවන් තොටුපල සහ ප්‍රවාහන සේවකයින් ඊශ්‍රායලය දෙසට යොමු කරන ඕනෑම ආයුධයක් හැසිරවීම ප්‍රතික්ෂේප කල යුතුය.

ගාසා තීරයට ඊශ්‍රායල බෝම්බ හෙලීම සහ සියලුම ඊශ්‍රායල හමුදා විසිරුවා හරින ලෙස සහ ගාසා තීරයේ දේශසීමාවෙන් ඔවුන් ඉවත් කිරීම  කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය. ගාසා තීරය වටලෑම අවසන් කල යුතු අතර ආහාර, ජලය, විදුලිය, වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් සියලුම අවශ්‍යතා වහාම ලබා දිය යුතුය.

ජාත්‍යන්තර අපරාධ අධිකරනය නෙතන්යාහු, ෂොල්ෂ්, බයිඩන් සහ ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල සමූල ඝාතනයට සහාය දක්වන එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සියලුම ප්‍රමුඛ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරිය යුතුය.

දිග හැරෙන මෙම සමූල ඝාතනය නැවත්වා ඊට වගකිවයුත්තන් වගවීමට සැලැස් විය හැක්කේ ලොව පුරා කම්කරු හා තරුන මහා රාශීන් ගේ මැදිහත් වීම තුලින් පමනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top