ගාසා තීරයේ සමූල ඝාතනය නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

ජෝසෆ් කිෂෝර් විසිනි.

සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) ජාතික ලේකම් ජෝසප් කිෂෝර් විසින් බ්‍රහස්පතින්දා වේන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ  පලස්තීනයේ යුක්තිය සඳහා ශිෂ්‍යයෝ සංවිධාන විසින් ඒකාබද්ධව අනුග්‍රහය දක්වන ලද රැලියකදී පහත පලවන කථාව පවත්වන ලදී. එම කතාව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ⁣2023 නොවැම්බරු 03 දින පල විය. සිංහලට පරිවර්තනය කලේ SF විසිනි.

ගාසා තීරයේ දැන් සිදුවෙමින් පවතින්නේ  සමූල ජන ඝාතනයකි. අපි වචන පටලවා නොගනිමු. මිලියන දෙකකට අධික ජනගහනයක් ක්‍රමානුකූලව බෝම්බ හෙලීමට, ඝාතනයට, බඩගින්නට, වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හැරීමට ලක් කර තිබේ.

සෑම දිනකම නව කුරිරුකම්, නව යුද අපරාධ සිදු වේ. මේ සතියේ, ජබාලියා සරනාගත කඳවුරට පිට පිට දින තුනක් තිස්සේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 200කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත.

අද IDF ගුවන් යානා Bureij සරනාගත කඳවුරට තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කලේය. උතුරින් ඉවත් කරන පලස්තීනුවන් “ආරක්ෂිත” වනු ඇතැයි යන බොරුව හෙලිදරව් කරමින්, කඳවුර ඉවත් කිරීමේ රේඛාවට (පලස්තීනුවන්ට පනවා ඇති සීමාව) දකුනින් පිහිටා ඇත. ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී සුදු පොස්පරස් ආයුධ යොදා ගනිමින්, බොහෝ අනාථයන් ඇතුලු දහස් ගනනක් සරනාගතයින් සහ ලමුන් සිටින එක්සත් ජාතීන්ගේ පාසලක්  ඊශ්‍රායල හමුදාව ඉලක්ක කලේය.

ලමුන් 3,700 කට ආසන්න සංඛ්‍යාවක් සහ කාන්තාවන් 2,300 ක් ඇතුලුව මරන සංඛ්‍යාව දැන් 9,000 ඉක්මවා ඇත. සෑම විනාඩි 10 කට වරක් පලස්තීනයේ දරුවෙකු ඝාතනය වේ. ඩෙට්‍රොයිට් නගරයට ආසන්නව සමාන වන වර්ග සැතපුම් 141ක් පමන වන  ප්‍රදේශයක් සහිත ගාසා තීරයට ඔක්තෝබර් 7 වැනිදා සිට ටොන් 25,000කට වැඩි පුපුරන ද්‍රව්‍ය ප්‍රමානයක් හෙලා ඇත. ටොන් 25,000  ආසන්න වශයෙන් එක්සත් ජනපදය විසින් හිරෝෂිමා වෙත හෙලන ලද පරමානු බෝම්බය මෙන් දෙගුනයක බලයට සමාන වේ.

මේ මහා අපරාධය මුලු ලොවේම ඇස්‌ ඉදිරිපිට  ක්‍රියාත්මක වෙනවා. එහි අපරාධකරුවන්ට නෙතන්යාහු ආන්ඩුව සහ එය සමන්විත වන ෆැසිස්ට්වාදීන් පමනක් නොව, බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සියලුම ආන්ඩු ද ඇතුලත් වේ.

අපි බයිඩන්ට යුද අපරාධ චෝදනා කරමු. බයිඩන්  පරිපාලනය සටන් විරාමයක් ප්‍රතික්ෂේප කර ඇත. ඊශ්‍රායලයේ ක්‍රියාවන් සඳහා “රතු ඉරි” නොමැති බව එය ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායලය ඇමරිකානු ආයුධ භාවිතය සම්බන්ධයෙන් “කොන්දේසි නැත” යනුවෙන් එය පවසා ඇත. එය ඊශ්‍රායලයේ ජන සංහාරයට සහ රුසියාවට එරෙහි එ.ජ.-නේටෝ යුද්ධයට මුදල් සැපයීමට ඩොලර් බිලියන 105ක් ඉල්ලා සිටී.

අල්-අහ්ලි අරාබි රෝහලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර  500ක් මිය ගිය පසු බයිඩන් පසුදා ටෙල් අවිව් වෙත දුවන්නේ නෙතන්යාහුට අතට අත දීම සඳහාය. හෙට, ජබාලියාට බෝම්බ හෙලීමෙන් පසුව, රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ පූර්න සහාය ප්‍රකාශ කිරීමට ටෙල් අවිව් වෙත ගමන් කරයි.

යුධ අපරාධ සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදුවේ නම් – එය එසේ සිදු විය යුතුය – බයිඩන් සහ බ්ලින්කන්, සුනාක්, මැක්‍රොන්, ෂෝල්ස්, මෙලෝනි සහ එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ අනෙකුත් නායකයන් නෙතන්යාහු සමඟ විත්තිකූඩුවේ එක පෙලට සිටිය යුතුය.

ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඇමරිකානු හමුදාව “මානව හිමිකම්” ප්‍රවර්ධනය කරමින් “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කරන බවට වන ඕනෑම කතාවකට මෙය සදාකාලික අවසානයක් වේවා.

සියල්ල බොරු වල පදනම් මත යුක්ති සහගත කරමින් දශක තුනක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදය යුගෝස්ලාවියාවට, ඉරාකයට, ඇෆ්ගනිස්ථානයට, ලිබියාවට, සිරියාවට එරෙහිව එකකට පසු එකක් යුද්ධ දියත් කර ඇත. යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය සහ ගාසා තීරයේ යුද්ධය පුලුල් වන ගෝලීය යුද්ධයක අංග දෙකකි. මෙය හුදෙක් ජාතික රාජ්‍යයන් අතර ගැටුමක් පමනක් නොවේ. ගාසා තීරයේ සමූල ජනඝාතනය පෙන්නුම් කරන පරිදි, එය අනාබාධිත අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි සියලු විරුද්ධත්වයන්ට එරෙහි යුද්ධයකි.

කම්කරුවන් හා තරුනයන් මෙය සිදු වන ආකාරය පසෙකට වී බලා සිටින්නේ නැත. ලොව පුරා මිලියන ගනනක් මෙම ජන සංහාරය හෙලා දැකීමට වීදි බැස ඇත. මෙම විරෝධතාවලට සෑම වර්ගයකම, ජාතිකත්වයකම, ආගමකම සහ ජනවාර්ගික කම්කරුවන් හා තරුනයන් සම්බන්ධ වී ඇත. බොහෝ යුදෙව්වන් සහභාගී වී ඇති අතර, නෙතන්යාහු රජය හෙලා දකිමින් සහ ඊශ්‍රායලයේ ජන සංහාරයට විරුද්ධ වීම යුදෙව් විරෝධී (antisemitism) ක්‍රියාවක් බවට වන නින්දා සහගත අපවාදය ප්‍රතික්ෂේප කරයි.

අද මෙහි රැස්ව සිටින අය ඊශ්‍රායලයේ ක්‍රියාවන්ට සහ එය කොටසක් වන පුලුල් අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ ලොව පුරා සිටින මිලියන ගනනක්, දස මිලියන ගනනක්, සිය මිලියන ගනනක් වෙනුවෙන් කතා කරති. ලෝකයේ සෑම නගරයකම, සෑම විද්‍යාල මන්ඩපයකම, සෑම රටකම මෙවැනි විරෝධතා පැවැත්විය යුතුය.

එහෙත් අප සටන් කරන්නේ නෙතන්යාහු ආන්ඩුවට එරෙහිව පමනක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදයට, එ.ජ.-නේටෝ අක්ෂයට එරෙහිව බව අප තේරුම් ගත යුතුය. අපි සටන් කරන්නේ පිටරට යුද්ධ කරන ආකාරයටම රට තුලත් යුද්ධ කරන ධනපති පාලක පැලැන්තියකට එරෙහිවයි.

ඇමරිකානු ආන්ඩුව පාලනය කරනු ලබන්නේ ධනවතුන්ගේ අවශ්‍යතා නියෝජනය කරන පක්ෂ දෙකක් විසිනි. රිපබ්ලිකානුවන් පාලනය කරනු ලබන්නේ ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ව්‍යවස්ථාව පෙරලා දමා ආඥාදායකත්වයක් පිහිටුවීමට උත්සාහ කල ෆැසිස්ට්වාදීන් විසිනි. නමුත් මේ යුද්ධය ක්‍රියාවට දමා ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයයි. බයිඩන්  පරිපාලනය මෙම සමූල ජන ඝාතනයට සහාය දක්වයි.  “අඩු නපුර” ට සහයෝගය දැක්වීම අවශ්‍ය බව අවධාරනය කල සියල්ලෝම සහ ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රතිසංස්කරනය කල හැකි යැයි කියා සිටි සියල්ලෝම හෙලිදරව් වී සිටිති. මෙම “අඩු නපුර” ගාසා තීරයේ සමූල ජනඝාතනයේ හවුල්කරුවෙකි.

එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ ධනේශ්වර රාජ්‍යයන් වන සමූල ජනඝාතනයේ අපරාධකරුවන්ට සහ හවුල්කරුවන්ට බලපෑම් කිරීම අපගේ අරමුන නොවිය යුතුය. ඒ වෙනුවට අප හැරිය යුත්තේ සමාජයේ සියලු ධනය නිපදවන සමාජ බලවේගය වන කම්කරු පන්තිය වෙත ය. යුද්ධය කම්කරු පන්තියට එරෙහි යුද්ධයක් වන අතර එයට එරෙහි සටනට නායකත්වය දිය යුත්තේ කම්කරු පන්තියයි.

මෙයට ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග පුරා සිටින කම්කරුවන් ඇතුලත් වේ. ගාසා තීරයේ සිදු වූ ම්ලේච්ඡත්වය, ව්‍යාජ “ද්වි-රාජ්‍ය” විසඳුමේ බංකොලොත් බව ද හෙලිදරව් කර ඇත. වර්නභේදවාදී (aapartheid) රාජ්‍යයක් පැවතිය හැක්කේ ජන සංහාරයේ පදනම මත පමනක් බව පිලිබඳ කිසියම් සැකයක්  තිබියේ නම්, අද එය ඔප්පු කර දක්වයි. අරාබි කම්කරුවන්ගේ අවශ්‍යතා සහ යුදෙව් කම්කරුවන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කල හැක්කේ, පවතින ඊශ්‍රායල රාජ්‍යය විසුරුවා හැර, එය, මැද පෙරදිග සමාජවාදී ෆෙඩරේෂනයක කොටසක් ලෙස, යුදෙව්වන්ට සහ අරාබි ජාතිකයන්ට පූර්න ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සහිත බහුජාතික රාජ්‍යයක් මගින්  විස්ථාපනය කිරීම මගින් පමනි.

පාලක පන්තිය බිය ගැන්වී ඇත. මාධ්‍යවල බොරුවල මට්ටම බියේ මට්ටමට අනුරූප වේ. ඔවුන් ව්‍යාජ ප්‍රචාරනයට සහ මර්දනයට යොමු වන්නේ – යුක්රේනයේ මුලුමනින්ම නාසීන්ට සහය දක්වන මිනිසුන් විසින් නගන  යුදෙව් විරෝධය පිලිබඳ චෝදනා ඇතුලුව – ලෝක තලයේ මහජනතාව, කම්කරු පන්තිය, ඔවුන්ගේ සාපරාධී ක්‍රියාවන්ට විරුද්ධ බව ඔවුන් දන්නා බැවිනි. නමුත් මෙම විරුද්ධත්වය බලමුලු ගන්වා දේශපාලනිකව මෙහෙයවිය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, මිලිටරි භාවිතයක්  තිබිය හැකි යැයි සිතිය හැකි ඕනෑම භාන්ඩයක් ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමේ කම්කරු පන්ති ක්‍රියාමාර්ගයට සහාය වෙති. ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය, නිෂ්පාදනය වසා දැමීමට සහ මෙම සමූල ජනඝාතනය නැවැත්වීමට දේශපාලන මහා වැඩ වර්ජනයක් තුල බලමුලු ගැන්විය යුතුය.

ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහි සටන අසමානතාවයට සහ සූරාකෑමට එරෙහිව ලොව පුරා කම්කරුවන්ගේ වර්ධනය වන අරගලයන්ට සම්බන්ධ කිරීමට, කම්හල්වලට යාමට, සේවා ස්ථානවලට යාමට, උසස් පාසල්වලට යාමට, නියෝජිත කන්ඩායම් සංවිධානය කරන ලෙස අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

ගාසා තීරයේ අප දකින්නේ අධිරාජ්‍යවාදී සහ ධනේශ්වර ම්ලේච්ඡත්වය එහි වඩාත්ම කුරිරු ස්වරූපයෙනි. ලොව පුරා කම්කරුවන්ගේ මහා බලමුලු ගැන්වීම හරහා එය නැවැත්විය  හැකිය.

ගාසා තීරයේ සමූල ජන ඝාතනය නවත්වනු! 

අධිරාජ්‍යවාදී යුද්ධය එපා! 

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් ගෙන් බිඳෙනු! 

අසමානතාවය සහ ධනේශ්වර සූරාකෑම අවසන් කරනු! 

සමාජ සමානාත්මතාවය සඳහා, සමාජවාදය සඳහා පෙරට! 

ගාසා තීරයේ සමූල ජනඝාතනය නවත්වනු, කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

(අවධාරනය කර්තෘ විසිනි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top