ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායලය බෝම්බ හෙලීම: ගාසා තීරයේ ජන සංහාරයේ තවත් කුරිරු ක්‍රියාවක්

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 31 දින පල වූ ‘Israel’s bombing of the Jabaliya refugee camp: Another atrocity in the genocide in Gaza’ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Bombing
පලස්තීනුවන් , 2023 ඔක්තෝම්බර් 31 වන දින ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සොයති. [AP Photo/Doaa AlBaz]

ඊයේ [ ඔක්තෝබර් 30] , ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් සිදු කරන බිහිසුණු කුරිරු ක්‍රියාවක් ලෙස ජබාලියා සරණාගත කඳවුරට එල්ල කරන ලද අනපේක්ෂිත බෝම්බ ප්‍රහාරයකින් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් සිය ගණනක් මරා දමා තුවාල  සිදු කරනු ලැබීය. කලක් උස් ගොඩනැගිලි රාශියක් තිබූ මෙම කඳවුරේ විශාල ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම සුන්බුන් ලෙස කඩා වැටී ඇති බව ඡායාරූපවලින් හෙළි විය.

ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීමේදී තම භූමියෙන් පලා යාමට බලකෙරුණු පලස්තීනුවන්ගෙන් පැවතෙන්නන් නවාතැන් ගැනීම සඳහා ඉදිකරන ලද ජබාලියා කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් 50 දෙනෙක් මිය ගොස් සහ තුවාල ලැබූ අය 150 ක් හඳුනාගෙන ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය. සම්පූර්ණ මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකිය. කඳවුර විනාශ කළ දැවැන්ත බෝම්බ පිපිරීම් හයෙන් මියගිය බොහෝ දෙනෙක් වාෂ්ප වී හෝ හඳුනාගත නොහැකි කැබලිවලට ඉරා දැමූහ.

“මම එහි ගොස් විනාශය දුටුවෙමි … සුන්බුන් යට වැළලී ඇති නිවාස, ශරීර කොටස් සහ දිවි පිදූවන් සහ තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවක්  ඇත,” සුන්බුන් හරහා හෑරීමට උදව් කළ 41 හැවිරිදි අයෙක් AFP පූවත් වෙත පැවසීය. “ඔවුන් සිය ගණනක් දිවි පිදූවන් සහ තුවාල ලැබූවන් ගැන කතා කරන විට අතිශයෝක්තියක් නැත. [මිනිසුන්] තවමත් ළමයින්ගේ, කාන්තාවන්ගේ සහ වැඩිහිටියන්ගේ දේහයන් ප්‍රවාහනය කරයි.”

අනාරක්ෂිත සිවිල් කඳවුරක් ඉලක්ක කරගත් මෙම සමූහ ඝාතන ක්‍රියාව බොහෝ “ත්‍රස්තවාදීන්” සමූලඝාතනය කර ඇති බවට උදම් අනමින් ඊශ්‍රායල නිලධාරීහු බෝම්බ ප්‍රහාරය නිර්ලජ්ජිතව ආරක්ෂා කළහ. IDF ප්‍රකාශක ඩැනියෙල් හගාරි  පැවසුවේ , බෝම්බ ප්‍රහාරයෙන් “ත්‍රස්තවාදී මිනීමරු ඊබ්‍රාහිම් බියරි තුරන් කිරීමට සමත් වූ” බවයි. ඔහු ගාසා තීරයේ IDF හමුදාවන්ට එරෙහි “සටනෙහි ප්‍රධාන නායකයා” බව හගාරි ප්‍රකාශ කළේය. බියරි ගේ “තුරන් කිරීම අතරතුර, බොහෝ ත්‍රස්තවාදීන්  ඝාතනය කරන ලද,” බව හගාරි පැවසීය.

ජබාලියා සරණාගත කඳවුරට බෝම්බ හෙලීම, ගාසා තීරයට එරෙහි IDF හි ජන සංහාරක ප්‍රහාරය හෙලා දකිමින් ලොව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන්ගේ මහජන විරෝධතාවලට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව සහ ඔහුගේ නේටෝ අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගේ ප්‍රතිචාරයයි. ඔවුන්ගේ පණිවිඩය නම්: අපි ඔබගේ විරෝධතා නොසලකා හරිමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරයේ ක්‍රම මගින් යුද්ධ කිරීම ඉදිරියට කරගෙන යන්නෙමු , යන්නයි.

(ට්විටර් පණිවිඩය)

එහි යුරෝපීය නේටෝ සහචරයින්ගේ සක්‍රීය අනුග්‍රහය ඇතිව වොෂින්ටනය විසින් පෙර දින මෙම කුරිරු ක්‍රියාව සඳහා කොළ එළිය දෙන ලදී. ළමුන් 3,000කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව ගාසා තීරයේ තහවුරු වූ මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවන විට, එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ගාසා තීරයේ සටන් විරාමයකට පක්ෂව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 120-14 අතිමහත් ඡන්ද ප්‍රතික්ෂේප කළේය.

යුද්ධය සහ සිවිල් වැසියන්ගේ  සමූල ඝාතනයන් දිගටම කරගෙන යා යුතු බව කිර්බි අවධාරනය කළේය. ඔහු පැවසුවේ, “මේ මොහොතේ සටන් විරාමයක් නිවැරදි පිළිතුර යැයි අපි විශ්වාස නොකරමු … දැන් සටන් විරාමයක් හමාස් සංවිධානයට ප්‍රතිලාභ ලබා දෙන බව අපි විශ්වාස කරන අතර, දැන් එයින් ප්‍රයෝජන ලබන්නේ හමාස් පමණි.”

ඊයේ, කර්බි ජබාලියා කඳවුරට බෝම්බ හෙලීම ආරක්ෂා කරමින්, ඒ ගැන විශේෂයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය. “අපි සෑම සිදුවීමකටම තත්‍ය කාලීනව ප්‍රතිචාර දක්වන්නේ නැහැ,” ඔහු පැවසීය. කෙසේ වෙතත්, එක්සත් ජනපද නිලධාරීන් ඊශ්‍රායලයේ “අපගේ සගයන් සමඟ දිනපතා සංවාදයේ” යෙදෙන අතර එමඟින් සිවිල් ජීවිත හානි වොෂින්ටනය පිළිගත හැකි මට්ටමක තබා ගන්නා බව ඔහු පැවසීය. “ඔවුන් සිවිල් හානි අවම කිරීමට උත්සාහ කරන බව අපට පැහැදිලිය”, මෙය කර්බි පවසන බොරුවකි.

කිර්බිගේ ප්‍රකාශය එක්සත් ජනපද ආන්ඩුව සහ නේටෝ මිලිටරි සන්ධානය විසින් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක ක්‍රම අනුමත කිරීමකි. පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල යුද අපරාධ ආරක්ෂා කිරීම එහි අරමුන වන අතරම, මැද පෙරදිග පුරා සහ ලෝකය පුරා අධිරාජ්‍යවාදයේ ඉලක්ක තිබේ. අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක ජනගහනය හා සියල්ලටම වඩා ජාත්‍යන්තර කම්කරු පන්තිය අවධානයට ලක් කරමින් සිටී. ඔවුන් ජන සංහාරය, සමූහ ඝාතන සහ වාර්ගික ශුද්ධ කිරීම , ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහි ප්‍රතිරෝධය තලා දැමීමේ නීත්‍යානුකූල මෙවලම් ලෙස සලකයි.

යුද්ධය ආරම්භයේදීම ,ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පලස්තීනුවන් “මිනිස් සතුන්” ලෙස කුප්‍රකට ලෙස හැඳින්වූ අතර, IDF ප්‍රතිපත්තිය තෝරා බේරා ගැනීමකින් තොරව සිදු කරන ඝාතනයක් බව ප්‍රදර්ශනය කෙරුණි. එය මිලියන 2.3කට අධික ජනගහණයක් සහිත කලාපයට ජලය, ඉන්ධන සහ ආහාර සැපයුම් සියල්ල කපා හැරියේය. එය අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහල වැනි සිවිල් ඉලක්කවලට බෝම්බ හෙලීමෙන් සිය ගනනක් සිවිල් වැසියන් සහ සෞඛ්‍ය සේවකයින් සමූලඝාතනය කළේය. IDF හමුදා විසින් තීව්‍ර ලෙස බෝම්බ හෙලන ලද මාර්ග ඔස්සේ , උතුරු ගාසා තීරයේ මිලියන 1.1 කට අධික ජනතාවකට තම නිවෙස් අතහැර දකුණු ගාසා වෙත පලා යන ලෙස ද එය නියෝග කළේය.

ඊශ්‍රායල, නේටෝ සහ ඊජිප්තු නිලධාරීන් අතර සාකච්ඡා වාර්තා පෙන්නුම් කරන්නේ ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් පලස්තීන ජනතාව ගාසා තීරයෙන් නෙරපා හැරීමට සහ ඊජිප්තු හමුදා පාලන තන්ත්‍රය විසින් අසල්වැසි සිනායි අර්ධද්වීපයේ ගාල් කඳවුරුවල දිවි ගලවා ගත් පලස්තීනුවන් සිරකර තැබීමට අදහස් කරන බවයි. මෙම සාපරාධී සැලැස්මට අනුව ගාසා තීරයේ පලස්තීනුවන් මරා දැමීම හෝ නෙරපා හරිනු ඇත.

ඊයේ , ඊශ්‍රායල බුද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් නෙතන්යාහු “සංකල්ප පත්‍රිකාවක්” ලෙස හැඳින්වූ දෙය ප්‍රකාශයට පත් කරන ලද අතර, එය,  ගාසාවේ මිලියන 2.3 ක පදිංචිකරුවන් සිනායි වෙත බලහත්කාරයෙන් මාරු කිරීමට යෝජනා කර ඇත. මෙම සැලසුම් සාකච්ඡා කළ ඊජිප්තු නිලධාරීන්, දකුණු ඊශ්‍රායලයේ නිසරු නෙගෙව් කාන්තාරයේ ගාල් කඳවුරුවල පලස්තීනුවන් රඳවා තැබීමට ප්‍රති-යෝජනාවක් ඉදිරිපත් කළ බව පෙනේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් ඔෆ් ලන්ඩන්, “බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු” උපුටා දක්වමින් කියා සිටියේ, “ගාසා තීරයට එල්ල කරන අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාරයේ පීඩනය, තවමත්, ඊජිප්තු තන්ත්‍රයෙහි ස්ථාවරයේ වෙනසක් ඇති කිරීමට හේතු විය හැකි” බවයි. පෙනෙන විදිහට ඊශ්‍රායල සැලැස්ම අනුමත කරමින් නම් නොකළ රාජ්‍ය තාන්ත්‍රිකයා මෙසේ පැවසීය: “කළ හැකි එකම දෙය එයයි … එබැවින් එකඟ වන ලෙස ඊජිප්තුවරුන්ට වැඩි පීඩනයක් යෙදිය යුතු කාලය මෙයයි.”

ගාසා තීරයට එරෙහි යුද්ධයට එරෙහිව ජාත්‍යන්තරව විරෝධතා දක්වන මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට හා තරුනයින්ට මෙය ප්‍රශ්නය මතු කරයි. එනම් , IDF සහ NATO හි මිලිටරි යන්ත්‍රය නැවැත්විය හැක්කේ කෙසේද සහ ජන සංහාරය වළක්වා ගන්නේ කෙසේද? යන්නයි.

ජබාලියා සරණාගත කඳවුරේ සමූලඝාතනය ලේ වැකි සිද්ධියක්  නමුත් , ඉන්  ජාත්‍යන්තර කම්කරු පන්තියට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පෙන්වා දෙනු ලැබුවේ ,  අධිරාජ්‍යවාදයට, ජන සංහාරයට හා යුද්ධයට එරෙහිව බලගතු, විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම, ඊට එරෙහිව ඇති එකම මාවත බවයි . සියොන්වාදී තන්ත‍්‍රය හෝ නේටෝ අධිරාජ්‍යවාදී ආන්ඩු සමග සාකච්ඡා කිරීමට කිසිවක් නැත. ඒවා බැංකුකරුවන්ගේ සහ ජෙනරාල්වරුන්ගේ කල්ලි විසින් පාලනය කරනු ලබන සහ දේශපාලන අපරාධකරුවන් විසින් පවත්වාගෙන යනු ලැබේ.

ඊශ්‍රායල ආන්ඩුව සහ එහි නේටෝ අධිරාජ්‍යවාදී සහචරයින් වාර්ගික පවිත්‍ර කිරීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අත්හරින ලෙස ඉල්ලා සිටින විරෝධතාවලට ඇහුම්කන් නොදෙන බව ඔප්පු වී ඇත. 1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදී විසුරුවා හැරීමේ සිට මැද පෙරදිග හා අප්‍රිකාවේ වසර 30ක යුද්ධයේ දී, ඔවුන් මිලියන ගනනක් මරා දමමින් ඉරාකය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව සහ මාලි රාජ්‍යය කොල්ලකා ඇත. ජබාලියා සංහාරය පෙන්නුම් කරන පරිදි, ජන සංහාරයට එරෙහි සදාචාරාත්මක අභියාචනාවලට ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ, ඔවුන්ගේ සමූහ ඝාතන ක්‍රියාවන් උත්සන්න කිරීම පමනි.

ජන සංහාරය නැවැත්විය හැකි බලවේගය වන්නේ තම ශ්‍රමය තුළින් සමාජයේ ධනය නිපදවන කම්කරු පන්තියයි. වැඩවර්ජන හා කම්කරුවන්ගේ අරගලවල ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයකට ප්‍රධාන ආර්ථිකයන් මුලුමනින්ම අවහිර කළ හැකි අතර ගාසා තීරයට එරෙහි අපරාධවලට හවුල්කාර ආන්ඩු බිඳ දැමිය හැකිය. පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරක ප්‍රහාරය නැවැත්විය හැක්කේ කම්කරුවන් අතර සහයෝගය බලමුලු ගැන්වීමට සහ ගොඩනැගීමට සහ ධනපතියන්ගේ සහ ඔවුන්ගේ මිලිටරි-බුද්ධි යන්ත්‍රවල බලයට සෘජු ප්‍රහාරයක් සූදානම් කිරීමේ අරගලයකට පමනි.

ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයට එරෙහි විරෝධතාවල සහභාගිවන්නන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය නම්, සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය මත පදනම්ව කම්කරු පන්තියට ජාත්‍යන්තර බලය මාරු කිරීමක්  සූදානම් කරමින් මහා යුද විරෝධී, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top