ජර්මානු රජය ඊශ්‍රායලයට ආයුධ යැවීම දස ගුණයකින් වැඩි කරයි

ජොහැන්නස් ස්ටර්න් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 10  දින පල වූ ‘German government increases arms deliveries to Israel tenfold’ යන ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි. දෙමසකට පෙර මෙම ලිපිය මගින් ඉදිරිපත් කර ඇති කරුනු අද දවසේ  වර්ධනයන් පසුබිමෙහි වැදගත් පෙරවදනකි.

පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයේ දී, ඊශ්‍රායලයට ජර්මනිය පුදන දුස්සහාය දක්ෂිනාංශික නෙතන්යාහු ආන්ඩුව සමග සහයෝගීතාවය ප්‍රකාශයට පත් කිරීමට පමණක් සීමා නොවේ. ජර්මානු ආන්ඩුව, පසුගිය සති හතර තුළ ගාසා තීරයේ විශාල කොටස් විනාශ කර, දහස් ගණන් කාන්තාවන් සහ ළමුන් ද ඇතුළුව 10,000කට වඩා මිනිසුන් ඝාතනය කර ඇති ඊශ්‍රායල යුද යන්ත්‍රය සන්නද්ධ කිරීමේ හා උපකරණ සැපයීමේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරයි. දැන් එම යුද යන්ත්‍රය [ඊශ්‍රායලය] ලේ  වැගිරීම පුළුල් කරන අතර, ඒ වෙනුවෙන්, වඩ වඩාත් ජර්මානු ආයුධ ලබා ගනිමින් සිටී.

Rocket
ජර්මානු නාවික යාඩ් කීල් හි තිසේන්ක්රුප් මැරීන් සිස්ටම්ස් (ThyssenKrupp Marine Systems) විසින් ඉදිකරන ලද Sa’ar 6 පන්තියේ ඊශ්‍රායල යුද නෞකාව [ඡායාරූපය: IDF ප්‍රකාශන ඒකකය]

ජර්මානු පුවත්පත් ඒජන්සියේ (dpa) බදාදා නිකුත් කල ආර්ථික අමාත්‍යාංශයේ තොරතුරු සඳහන් වාර්තාවකට අනුව, ජර්මානු රජය ඊශ්‍රායලයට ආයුධ අපනයනය සඳහා වන බලපත්‍ර දැවැන්ත ලෙස පුළුල් කර ඇත. නොවැම්බර් 2 වන විට, එය යුරෝ මිලියන 303කට ආසන්න ප්‍රමාණයකට අපනයන අනුමත කර තිබිණ. මේ ප්‍රමාණය, යුරෝ මිලියන 32ක් පමණ වූ 2022 මුළු වසරේ අපනයන ප්‍රමාණය මෙන් 10 ගුණයක් පමණ වේ.

මේ වසරේ මේ දක්වා නිකුත් කර ඇති තනි තනි බලපත්‍ර 218 න් 185 ක්ම නිකුත් කර අවසන් කර ඇත්තේ ගාසා තීරයේ, ඊශ්‍රායල සංහාරය ආරම්භයෙන් මෙපිටටය. “වර්තමාන තත්වය හේතුවෙන්” ජර්මානු ආන්ඩුව “ඊශ්‍රායලයට හමුදා උපකරණ අපනයනය සඳහා වන ඉල්ලුම්පත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් සිටියි” යනුවෙන් රොබට් හැබෙක් (හරිත පක්ෂය) විසින් නායකත්වය දෙනු ලබන අමාත්‍යාංශයේ නියෝජිතයෙකුගේ ප්‍රකාශය Dpa උපුටා දක්වයි.

නිශ්චිත බෙදාහැරීම් රහසිගත ය, නමුත් දන්නා දේ මත පැහැදිලිව පෙනී යන්නේ ඒවාට මාරාන්තික යුද උපකරණ ඇතුළත් වන බවයි. ඔක්තෝබර් 12දා, ප්‍රහාරක ඩ්‍රෝන යානා සඳහා ඊශ්‍රායලයේ අනුරූපී “සහාය ඉල්ලීමක්” රජය අනුමත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. ප්‍රශ්නයට බඳුන් වී ඇත්තේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත හෙරොන් ටීපී ඩ්‍රෝන වන අතර, ජර්මනිය තමන්ගේම සටන් ඩ්‍රෝන වැඩසටහනක් සංවර්ධනය කිරීම සඳහා එය ඊශ්‍රායලයෙන් බදුගෙන තිබුණි. ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය-එස්පීඩී) ට අනුව, ඊශ්‍රායලය යුද නැව් සඳහා පතොරම්, ආරක්ෂක ඉණ කබා, ගුවන් ආරක්ෂක උපාංග සහ සන්නිවේදන උපකරණ වැනි දේ ද ඉල්ලා තිබුණි. 

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) ද වාර්තා කරන්නේ ජර්මනිය මෑත වසරවලදී ඊශ්‍රායලයට ටැංකි එන්ජින් 1,000 කට වඩා ලබා දී ඇති බවයි. මේ සඳහා පදනම වන්නේ 2000 වර්ෂයේ සිට පවතින අපනයන බලපත්‍රයක් වන අතර, එම එන්ජින් බොහෝවිට ඊශ්‍රායල මර්කාවා-4 ප්‍රධාන යුද ටැංකියේ සහ නේමර් පිරිස් වාහක සන්නද්ධ රථවල ස්ථාපනය කර තිබෙනු විය යුතුය. රෝද සහිත ඊශ්‍රායල එයිටන් පිරිස් වාහක සන්නද්ධ රථ සඳහා ඩීසල් එන්ජින් ද සපයා ඇත. 

මීට අමතරව, න්‍යෂ්ටික හැකියාව ඇති ඩොල්ෆින් පන්තියේ සබ්මැරීන සහ සාර් පන්තියේ (Sa’ar-class ) සබ්මැරීන් නාශක (කොර්වෙට්) යාත්‍රා ඊශ්‍රායල නාවික හමුදාව සඳහා ලබා දී ඇත. SIPRI ට අනුව, ජර්මානු ආරක්ෂක දැවැන්තයන් වන රෙයින්මෙටාල් (Rheinmetall), MBDA ඩොයිෂ්ලන්ඩ් (MBDA  Deutschland) සහ ක්‍රාඋස් මෆෙයි වෙග්මන් ( Krauss-Maffei Wegmann ) ද, ඊශ්‍රායලය ද අතර මිසයිල සහ අනෙකුත් පතොරම් වර්ධනය ද ඇතුළත් වූ , සමීප මිලිටරි-කාර්මික සහයෝගීතාවයක් පවතී. 

Sub
ඊශ්‍රායල රාහාව් සබ්මැරීනය විල්හෙල්ම්ෂේවන් වරායේ මුහුදු පෙරහුරුවක්  පවත්වයි. [ඡායාරූපය – අයින් ඩාමර් / CC BY-SA 4.0]

යුරෝපීය රූපවාහිනී නාලිකාවක් වන යුරෝනිවුස් ( Euronews ) වෙත අදහස් දක්වමින් SIPRI පර්යේෂක  සයින් හුසෙයින් ඉදිරිපත්  කළේ ගාසා තීරයේ වත්මන් සමූලඝාතනය තුළ ජර්මානු යුද උපකරණ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරන බවයි. “අපගේ ඇස්තමේන්තු වලට අනුව, මෙම එන්ජින් සමහරක් ගාසාහි භාවිතයට සූදානම්ව ඇත,” හුසේන් පැවසීය. “සමහර ජර්මානු නැව් ද ක්‍රියාත්මක කර ඇති” අතර, ඒවා “ගාසා තීරයේ ඉලක්ක වෙත වෙඩි තැබීමට බොහෝ විට යොදා ගැනේ.” 

ජර්මානු ආන්ඩුව සිය ආයුධ සැපයුම් සමඟ සමූලඝාතනයට සෘජුවම සහභාගී වන අතර, එය බරපතලම යුද අපරාධවල හවුල්කරුවෙකු බවට සැකයක් නැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ නිව් යෝර්ක් කාර්යාලයේ ප්‍රධානී ක්‍රේග් මොකිබර් , ඔක්තෝබර් 28 දා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි ගාසා තීරයේ බිහිසුණු සිදුවීම් විස්තර කළේ “පෙළපොත්හි දැක්වෙන ආකාරයේ ජන සංහාරයක්” ලෙස ය. දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති මානව හිමිකම් ආරක්‍ෂකයෙකු ලෙස ඔහු ජන සංහාරය යන යෙදුම බොහෝ විට දේශපාලනික වශයෙන් වැරදි ලෙස භාවිතා කර ඇති බව හොඳින් දනී. ඔහු පැවසුවේ මෙසේය:

“එහෙත් පලස්තීන ජනතාවගේ වර්තමාන මහා පරිමාණ ඝාතනය, වාර්ගික-ජාතිකවාදී පදිංචිකරුවන්ගේ යටත් විජිත මතවාදයක් තුළ මුල් බැසගෙන, දශක ගනනාවක් තිස්සේ ඔවුන්ට එරෙහිව ක්‍රමානුකූලව හිංසා කිරීම සහ විරේකකරනය අඛණ්ඩව පවත්වා ගෙන යාම, සම්පූර්ණයෙන්ම ඔවුන් අරාබිවරුන් වීම මත පදනම් වූවක් වන අතර, ඊශ්‍රායල ආන්ඩුවේ සහ මිලිටරියේ නායකයින්ගේ අභිප්‍රාය පිලිබඳ නිශ්චිත ප්‍රකාශයන් සමගින්, එය සැකයකට හෝ විවාදයකට ඉඩක් නොතබයි.”

ගාසා තීරයේ “සිවිල් නිවාස, පාසල්, පල්ලි, මුස්ලිම් පල්ලි සහ වෛද්‍ය ආයතනවලට අනවශ්‍ය ලෙස පහර දෙන අතරතුර, දහස් ගණනක් සිවිල් වැසියෝ සමූලඝාතනය වෙති,” මොකිබර් තවදුරටත් පැවසීය. අල්ලා ගෙන සිටින ජෙරුසලම ද ඇතුළුව බටහිර ඉවුරේ නිවාස “අත්පත් කර ගැනීම හා යලි පවරාදීමේ ක්‍රියාවලියක් සම්පූර්ණයෙන්ම ජාතිය මත පදනම්ව සිදු කෙරෙමින් පවතින අතර, ඊශ්‍රායල හමුදා ඒකකවල සහභාගීත්වය සමඟ ප්‍රචණ්ඩකාරී ලෙස පදිංචිකරුවන්ට වධ බන්ධන පැමිණවීමේ ව්‍යාපාර සිදුවෙමින් පවතී.” වර්ණභේදවාදය රට පුරා රජ කරන බව ඔහු ලියයි.

“පලස්තීනය තුල ස්වදේශීය පලස්තීන ජීවිතයේ අවසාන නටබුන් කඩිනමින් විනාශ කිරීම” සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් පුදන දුස්සහාය සම්බන්ධයෙන් සඳහන් කිරීමේ දී ද මොකිබර් සිය වචන ලඝු කිරීමට තැත් කළේ නැත. “එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපයේ බොහෝ” ආන්ඩු “බිහිසුණු ප්‍රහාරයට මුලුමනින්ම අපසහාය පුදන” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජිනීවා සම්මුතියට අනුකූල වීම ලෙස පවතින ඔවුන්ගේ ගිවිසුම් බැඳීම්වලට ගරු කිරීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. එහෙත් එය එතෙකින් නොනවතී:

“එහෙත්, ඔවුහු ඇත්ත වශයෙන්ම ප්‍රහාරය සක්‍රීයව සන්නද්ධ කරමින්, ඊට ආර්ථික සහ බුද්ධිමය සහාය ලබා දෙමින් සහ ඊශ්‍රායලයේ කුරිරුකම් සඳහා දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ආවරණය ලබා දෙමින් සිටිති. මෙයට සමගාමීව, එන්න එන්නම වැඩි වැඩියෙන් පක්ෂග්‍රාහි සහ රාජ්‍යයට බද්ධ වී සිටින බටහිර සංගත මාධ්‍ය, ICCPR හි 20 වන වගන්තිය විවෘතව උල්ලංඝනය කරමින්, සමූල ජන සංහාරයට පහසු කිරීම සඳහා පලස්තීනුවන් අඛණ්ඩව අමානුෂිකකරණය කරමින් සහ යුද්ධය ප්‍රවර්ධනය සඳහා ප්‍රචාර විකාශනය කරමින් ද, වෙනස් කොට සැලකීම, එදිරිවාදිකම් සහ ප්‍රචණ්ඩත්වය උසිගැන්විමෙන් සමන්විත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයට පක්ෂපාත ව කථා කරති.” 

මෙම මඩ ගැසීමේ ව්‍යාපාරය ජර්මනිය තුල විශේෂයෙන් ආක්‍රමණශීලී ය. භීෂණකාරී නාසි රාජ්‍ය පාලනයකින් සහ මානව ඉතිහාසයේ දරුණුතම අපරාධවලින් ඉක්බිති ගෙවී ගිය දශක අටකට පසුව, සංස්ථාපිත දේශපාලනඥයන් සහ මාධ්‍ය නැවත වරක් අවි ආයුධ ඉහළ නැංවීමට, ජන සංහාරක ප්‍රචණ්ඩත්වය යුක්ති සහගත කිරීමට සහ එයට එරෙහි වැඩෙන ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා වධ බන්ධනීය ආකාරයේ වාතාවරණයකට ඉන්ධන සපයයි. සාපරාධීත්වයේ උච්චතම අවස්ථාව නම් මෙම සාරභූත ෆැසිස්ට් ප්‍රතිපත්තිය යුදෙව් විරෝධීන්ට එරෙහි සටනේ නාමයෙන් අනුගමනය කිරීමයි.

ඇත්ත වශයෙන්ම, ජර්මනිය සඳහා විකල්පය [ පක්ෂය] (AfD) ආකාරයෙන් නැවත වරක් ෆැසිස්ට් පක්ෂයක් ගොඩනඟමින් සිටින පාලක පන්තිය, යුදෙව් ජීවිතය ආරක්ෂා කිරීම ගැන සැලකිල්ලක් නොදක්වයි. මැද පෙරදිග කලාපයේ අධිරාජ්‍යවාදී මුරපොළක් ලෙස ඊශ්‍රායලයට සහාය දීමෙන් බර්ලිනය හුදෙක් සිදු කරන්නේ තමන්ගේ ම භූ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා අඛණ්ඩව හඹා යාම ය. තව ද ජර්මනිය තුලමත්, යුදෙව් විරෝධී චෝදනාව ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට සේවය කරයි. පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරයට විරුද්ධ වන සියල්ලෝ ම, ඉදින් ඔවුන් යුදෙව්වන්ම වුව, “යුදෙව් විරෝධීන්” සහ “ත්‍රස්තවාදීන්” ලෙස හෙළා දකිනු ලැබෙති.

සැලකිය යුතු කරුණක් නම්, අන්ත දක්ෂිනාංශික නෙතන්යාහු ආන්ඩුව, දෙවන ලෝක සංග්‍රාමයේදී සමූලඝාතන යුද්ධයක් දියත් කළ සහ යුදෙව්වන් මිලියන 6කට එරෙහිව සමූලඝාතනය සිදු කළ ජර්මානු මිලිටරිවාදය නැවත පැමිණීමට සහාය දක්වයි. ගාසා තීරයේ ඊශ්‍රායල සංහාරයට ටික කලකට පෙර පිස්ටෝරියස් සහ ඔහුගේ ඊශ්‍රායල සගයා වන ගැලන්ට් ඊශ්‍රායල මිසයිල ආරක්ෂණ පද්ධතිය වන “ඇරෝ 3” ජර්මනියට විකිණීමේ ගිවිසුමකට අත්සන් තැබූහ. යුරෝ බිලියන 4 කට වැඩි වටිනාකමක් ඇති මෙය , ඊශ්‍රායල ඉතිහාසයේ විශාලතම ආරක්ෂක ගනුදෙනුව වේ.

ඇරෝ 3 ප්‍රතිබැලිස්ටික් මිසයිලය. [ඡායාරූපය: එක්සත් ජනපද මිසයිල ආරක්ෂක ඒජන්සිය]

ජර්මානු අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් ගත් කල, “ඇරෝ 3” යනු ජර්මනිය යුරෝපයේ ශක්තිමත්ම මිලිටරි බලවතා ලෙස ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය සංරචකයකි. එමඟින් එය නැවතත් “යුද්ධයට සුදුසු” (පිස්ටෝරියස්) බවට පත් කර, න්‍යෂ්ටික බලවතා වන රුසියාවට එරෙහිව පූර්න පරිමානයේ නේටෝ යුද්ධයකට එය සූදානම් කරයි. ඊශ්‍රායල සන්නද්ධ හමුදා ගාසාවේ ජන සංහාරය අතරතුර ප්‍රථම වතාවට ඇරෝ 3 සාර්ථකව යෙදවූ විට, ජර්මානු මාධ්‍ය නරුම ලෙස එය සැමරුවේ, “සුබ ආරංචියක්” ලෙස සහ සාර්ථක “දරා සිටීමේ පරීක්ෂණයක්” ලෙසිනි.

බර්ලින්, ටෙල් අවිව් සහ අනෙකුත් ප්‍රමුඛ නේටෝ බලවතුන් අතර ජන සංහාරක යුද සන්ධානය නැවැත්විය යුතුය. බයිඩන්, නෙතන්යාහු, ගැලන්ට්, පිස්ටෝරියස් සහ ෂොල්ස් ඇතුළු එහි ප්‍රමුඛ ප්‍රධාන චරිත, ඔවුන් මීට ද වඩා විශාල අපරාධ සිදු කර ලෝකය අගාධයට ඇද දැමීමට පෙර, යුක්තිය ඉදිරියට ගෙන ආ යුතුය. මේ සඳහා ජන සංහාරයට එරෙහිව ලෝක ව්‍යාප්ත මහජන විරෝධතා ව්‍යාප්ත කිරීම, ආයුධ නැව්ගත කිරීම් අවහිර කිරීම සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන මහා වැඩ වර්ජනයක් සඳහා අරගලය කිරීම අත්‍යවශ්‍ය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top