ජූලියන් අසාන්ජ් නිදහස් කරනු! මාධ්‍යවේදියෙක් කොලඹ රැස්වීමකදී ඕස්ට්‍රේලියානු ආන්ඩුවට බලපෑම් කරයි

අපගේ වාර්තාකරු විසිනි 

ඊයේ (21) ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් (HC) පෝල් ස්ටීවන්ස් මහ බැංකු ගොඩනැගිල්ලේ පැවති උත්සවයකදී දේශනයක් පවත්වමින් සිටියදී, එක් මාධ්‍යවේදියෙක් පමනක්, තනිව, ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කරමින්, බොරු චෝදනා මත දඩයමට ලක් කරන ලද මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ් නිදහස් කර ගැනීමට එම රජයට  මැදිහත් වන ලෙස බලකර සිටීමට අවස්ථාව ලබා ගත්තේය.

මෙම උත්සවය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) සමඟ එක්ව මහ බැංකුව විසින් පවත්වන ලද සාර්ව-ආර්ථික විද්‍යා පාඨමාලාවක් හැදෑරූ මාධ්‍යවේදීන් දුසිම් දෙකහමාරකට පමන සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් විය. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ‘ඕස්ට්‍රේලියානු ඒඩ්’ අනුග්‍රහය ලබා දී ඇති අතර තවත් සමහරු තමන් වෙනුවෙන් මුදල් ගෙවා  සහභාගි වූහ. මෙම උත්සවයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ  සභාපති කුමාර් නඩේෂන් ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් සමඟ ප්‍රධාන මේසය බෙදා ගත්හ.

ආන්ඩුකාරවරයාගේ කථාවට පසුව ස්ටීවන්ගේ කතාව විය. මිනිත්තු අටක පමන කාලයක මහකොමසාරිස්ගේ මුලු කතාව අතරතුර, මාධ්‍යවේදී සංජය ජයසේකර, “ජුලියන් අසාන්ජ් – ජනතාවගේ මාධ්‍යවේදියා- නිදහස් කරනු!” යනුවෙන් පුවරුවක් ඔසවා ගෙන සිටියේය.

protest
ජයසේකර “ජූලියන් අසාන්ජ් නිදහස් කරනු!” යන පුවරුව ඔසවයි. [ඡායාරූපය ෂබීර් මොහොමඩ්]

එකී අවස්ථාවෙන් අනතුරුව ජයසේකර ද-සෝෂලිස්ට්.LK සමඟ කතා කලේය. ඔහු theRepublic.LK හි කර්තෘ වන අතර, ද-සෝෂලිස්ට්.LK හි ලේඛකයෙකි. ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලේඛකයෙකුද, එහි ශ්‍රී ලංකා කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකුද වී සිටියේය. වර්තමානයේ ඔහු කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සභාපතිවරයා ද වේ.

ජයසේකර මෙසේ ප්‍රකාශ කලේය:

“විකිලීක්ස් නම් විස්ල්බ්ලෝවර් (තොරතුරු හෙලිදරව් කරන) වෙබ් අඩවියේ නිර්මාතෘ, මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ්ගේ ජීවිතය සඳහා ඕස්ට්‍රේලියානු රජය වගකිව යුතුය. අසාන්ජ් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. එක්සත් ජනපද හමුදාවේ හා ආන්ඩුවේ ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල ලෙයින් පෙඟී ගිය යුද අපරාධ හෙලිදරව් කිරීම නිසා  දැන් වසර 14ක් තිස්සේ ඔහුගේ පෞද්ගලික ජීවිතය අහිමි කර, අන්තිම දුෂ්කර තත්වයන් යටතේ ඹහු සිරගත කර ඇත. විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධ කිරීමත්, පිරිමින්, ගැහැනුන් සහ දරුවන් මරා දැමීමත් සඳහා ජනතාවගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ මුදල් විනාශ කරන බැවින්, ජනතාව සත්‍යය දැනගත යුතුය යන විශ්වාසය මත ඔහුගේ හෙලිදරව්ව පදනම් වූ බැවින් මෙම සම්මානලාභී මාධ්‍යවේදියා ජනතාවගේ වීරයෙකි.

“බයිඩන් පරිපාලනය අසාන්ජ් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට උත්සාහ කරමින් සිටින අතර එහිදී ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ මරන දන්ඩනය පවා ගෙන එන ඔත්තු බැලීමේ චෝදනාවලට මුහුන දීමට සිදුවනු ඇති. ඔහුගේ එකම “අපරාධය” නම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි සහචරයින්ගේ යුද අපරාධ සහ රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරව් කරන රහසිගත ලේඛන සහ වීඩියෝ දර්ශන ප්‍රකාශයට පත්කිරීමයි. විකිලීක්ස් වෙත මෙම වීඩියෝ ලබා දුන් හිටපු එක්සත් ජනපද හමුදා බුද්ධි නිලධාරිනියක් වන චෙල්සී මැනිං ද රඳවා තබාගෙන හිංසනයට ලක් කරනු ලැබුනා.”

2019 අප්‍රේල් මාසයේදී ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් ඇදගෙන යෑමෙන් පසු, අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් සිර කඳවුරේ සිරකර තැබෙනවා. ඔස්ට්‍රේලියානු ආන්ඩුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඔහුට එරෙහිව සිදුකරන අඛන්ඩ තාඩන පීඩන, පුද්ගලික අවලාද නැගීම්, කුමන්ත්‍රන සහ ඔත්තු බැලීම් වලට හවුල් වී ඇත. අසාන්ජ්ට එරෙහිව ව්‍යාජ ලිංගික අතවර චෝදනා එල්ල කිරීමට එක්සත් ජනපදය ස්වීඩනය යොදා ගත් අතර පසුව ඒවා අත්හැර දැමුනා. සංස්ථාපිතයේ මාධ්‍ය මේ පාපකර්මවල කොටස් කාරයන් වේ.

Assange
අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරනයෙන් පිටත පොලිස් අත්අඩංගුවේ පසුවෙයි [sky.com]

“අසාන්ජ්ට එරෙහිව සිදුකරන පීඩාකාරී හඹායාම, ලෝකයේ ඕනෑම තැනකම, සියලුම ආන්ඩු විසින්, සියලුම මාධ්‍යවේදීන් සහ තොරතුරු හෙලිකරන්නන් ත්‍රස්ත කිරීම අරමුනු කර ගත්තකි.

දශක තුනකට වැඩි කාලයක් එක්සත් ජනපදය එහි පිරිහෙමින් පවතින ගෝලීය ආර්ථික ආධිපත්‍යය පියවා ගැනීම සඳහා විදේශයන්හි අඛන්ඩ අධිරාජ්‍යවාදී යුද්ධ කරමින් සිටින අතර දැන් නේටෝවේ සහ ඕස්ට්‍රේලියාව ඇතුලු එහි සහචරයින්ගේ පූර්න සහයෝගය ඇතිව යුක්රේනයේ දී රුසියාවට එරෙහිව ප්‍රොක්සි (තුන්වන පාර්ශවයක් හරහා කරන) යුද්ධයක නිරතව සිටී. දේශීය වශයෙන් කම්කරු පන්තිය මත යුද්ධයේ බර පැටවීම සඳහා දැඩි කප්පාදු ක්‍රියාත්මක කෙරේ. යුද්ධය ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක අන්තරාය කරා ඇද ගෙන යයි. මෙම යුද්ධය එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන චීනයට එරෙහි විශාල යුද්ධයක පුරෝගාමියෙක් පමනි.”

මනුෂ්‍යත්වය බේරා ගැනීමට නම් මේ යුද්ධ නැවැත්විය යුතුයි. ඒ සඳහා එක්සත් ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට ඔවුන්ගේම සමාජ වගකීමක් තිබෙනවා. අසාන්ජ් ඔවුන්ගේ ආදර්ශය බවට සැකයක් නැත,” ජයසේකර පැවසීය.

“සැබෑ මාධ්‍යවේදියකුගේ ඉහලම කර්තව්‍යය වන්නේ සමාජය සහ අවට ලෝකය පිලිබඳ සත්‍යය සෙවීම, විශ්ලේෂනය සහ හෙලිදරව් කිරීම බව මම විශ්වාස කරමි. ඔහු සත්‍යයට විශ්වාසවන්ත විය යුතුයි. සත්‍යය දැන ගැනීමට නම්, ඔහු සමාජයේ යාන්ත්‍රනයන් පිලිබඳ මනා අවබෝධයකින් යුතු විය යුතු අතර, සෑම විටම මහජනතාවට සහ සමාජ සාධාරනත්වයට පක්ෂපාතී විය යුතුය. ඒක තමයි සැබෑ පුවත්පත් කලාව.”

අසාන්ජ් ආරක්ෂා කරන්නේ ද යන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන අයගේ ලිට්මස් පරීක්ෂනයක් බව ද ජයසේකර පැවසීය.

මේ වසරේ මාර්තු අගදී, ඕස්ට්‍රේලියානු විදේශ ඇමති පෙනි වොං සෙනෙට් සභාවේදී සපල ලෙස ප්‍රකාශ කලේ, වෙනත් රටක “නෛතික ක්‍රියාදාමයන්” හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු ආන්ඩුවට අසාන්ජ්ගේ නිදහස සුරක්ෂිත කිරීමට කිසිවක් කල නොහැකි බවයි. මෙය අසාන්ජ්ගේ දරුනු දුක්ඛිත තත්වය විසඳීමට “නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකභාවය” භාවිතා කරන බවට ආන්ඩුව කල වංචනික ප්‍රකාශයන්ට පටහැනිව පිහිටයි. මෙම හැසිරීම ඕස්ට්‍රේලියානු ආන්ඩුවේම පූර්ව භාවිතයන්ට පටහැනිය. 

අසාන්ජ්ගේ නිදහස ඕස්ට්‍රේලියාව වැනි අධිරාජ්‍යවාදී සහචරයින් විසින් සුරක්ෂිත කරනු නැත. “යුද්ධය ඔවුන්ගේ පන්ති අවශ්‍යතා ඉටු කරයි. අසාන්ජ්ගේ ජීවිතය බේරා ගැනීම සහ පුවත්පත් කලාවේ නිදහස මෙන්ම යුද්ධය නැවැත්වීම වැඩකරන ජනතාවගේ අතේ පමනක් පවතින කාරනා” යැයි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

ලෝක යුද්ධය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සූදානම සහ අසාන්ජ්ට හිංසා පීඩා කිරීම ක්‍රමානුකූලව හෙලිදරව් කරමින්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කර ඇත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ලෝසවෙඅ යයි.

ජූලියන් අසාන්ජ්  වහා නිදහස් කරනු! ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරය ගොඩනගව්!

[මෙම ලිපිය ජුලි 22 දින මුල් වරට මෙහි ඉංග්‍රීසි බසින් පල විය]

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top