තායිලන්තයේ හමුදා සහාය ලබන පක්ෂ මහ මැතිවරණයෙන් පරාජයට පත් වේ

බෙන් මැක්ග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 16 දින Thailand’s military-backed parties suffer losses in general election යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ විසිනි.

Image
Pita Limjaroenrat, leader of Move Forward Party, announces his party’s victory in Thailand’s general election on Sunday.

ඉරිදා පැවතී තායිලන්ත මහ මැතිවරණයෙන් පසු, විපක්ෂයේ Move Forward පක්ෂය (එම්එෆ්පී ), පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ විශාලතම පක්ෂය ලෙස ඉස්මතු විය. පක්ෂය 2019 මැතිවරණයේ දී ලබාගත් මුළු සංඛ්‍යාව 81ක් වූ අතර මෙවර මැතිවරණ ආසන 113 ක් සහ පක්ෂ-ලැයිස්තු ආසන 39 ක් ලබා ගත්තේ ය. ඡන්ද දායකයින් විසින් ආසන සඳහා වෙන වෙනම ඡන්දය ප්‍රකාශ කර තනි තනි අපේක්ෂකයන් තෝරා ගනු ලබන අතර, දෙවැන්න සමානුපාතික පදනම මත පක්ෂ ලයිස්තු ආසන සදහා ප්‍රදානය කෙරේ.

මූව් ෆෝවර්ඩ් පක්ෂයේ නායක පිටා ලිම්ජාරෝඑන්රත් ඉරිදා තායිලන්ත මහ මැතිවරණයෙන් තම පක්ෂයේ ජයග්‍රහණය නිවේදනය කරයි. [AP ඡායාරූපය / Wason Wanichakorn]

අනෙක් ප්‍රධාන විරුද්ධ පක්ෂය වන ෆියු තායි පක්ෂය (පීටීපී) මැතිවරණ කොට්ඨාශ 112ක් සහ පක්ෂ-ලැයිස්තු ආසන 29ක් දිනා ගත් අතර, එය 2019 දී මුළු ආසන 136 සිට සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. විරුද්ධ පක්ෂ දෙක දැන් ආසන 500 කින් යුත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ  පැහැදිලි බහුතරයක් ලබා ගෙන ඇත. නමුත්, මීළඟ අගමැති ලෙස එම්එෆ්පී නායක පිටා ලිම්ජාරෝඑන්රත්  පත් කරනු ඇති බව නිශ්චිත නැත. 

මිලිටරිය විසින් සකස් කරන ලද ව්‍යවස්ථාව යටතේ, අග්‍රාමාත්‍යවරයා තෝරා ගනු ලබන්නේ ඉහළ සහ පහළ මන්ත්‍රී මණ්ඩලවල ඒකාබද්ධ රැස්වීමකදී ය – ආසන 250 කින් යුත් ඉහළ මන්ත්‍රී මණ්ඩලය හමුදාව විසින් පත් කරනු ලැබේ. සඳුදා, පිටා , ෆියු තායි සහ කුඩා පක්ෂ හතරක්-තායි සංග් තායි, ප්‍රචචාර්ට්, සේරි රූම් තායි සහ ෆෙයාර් පක්ෂය – සමග සැලසුම් සහගත සන්ධානයක් නිවේදනය කලේ ය- එහි මුළු ආසන සංඛ්‍යාව 309 කි. නමුත්, ඒකාබද්ධ රැස්වීමේ බහුතරය සඳහා අවශ්‍ය ආසන 376 ට වඩා මෙය තවමත් ඉතා අඩු ය.

මැතිවරන ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ, 2014 දී කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව සහ පොලිස් රාජ්‍ය පියවරයන් හරහා පාලනය පවත්වා ගෙන ගිය මිලිටරිය කෙරෙහි පුලුල්ව පැතිරුනු සතුරුකමයි. 2020 දී, කුමන්ත්‍රණ නායක ප්‍රයුත් චාන්-ඕ-චා ට අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස, රාජාණ්ඩුව ප්‍රතිසංස්කරණය කිරීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලා මාස ගණනනක් පුරා පැවති, ප්‍රධාන වශයෙන් තරුණ තරුණියන් සහභාගී වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය, හමුදාව විසින් මර්දනය කරන ලදී.

සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් සියයට 75.22 ක් ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ ඉරිදා පැවති මැතිවරණයේ ඡන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා විය. විශේෂයෙන්ම, තරුණ පිරිස්  විරුද්ධ පක්ෂවලට ඡන්දය දීමෙන් මිලිටරි පිටුබලය ලබන පාලනයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියහ.

පාලක පලං ප්‍රචාරත් පක්ෂය (පීපීආර්පී) හා මැතිවරනයට පෙර පීපීආර්පී යෙන් බිදී ගොස්, ප්‍රයුත් විසින් පිහිටුවාගනු ලැබූ, ඔහුගේම එක්සත් තායි නේෂන් පක්ෂය (යූටීඑන්) විසින් දිනා ගනු ලැබුවේ පිලිවෙලින් ආසන 36ක් හා 40කි. මෙහි මුලු එකතුව 2019 දී එක්සත් පීපීආර්පී විසින් දිනාගත් ආසන 116 ට වඩා බෙහෙවින් අඩු ය. පෙර පාලක සභාගයේ කොටසක් වූ, ගොවීන් ස්ථරයකට ආයාචනා කරන දක්ෂිනාංශික භුම්ජයිතායි පක්ෂය (BJTP) මෙම පක්ෂ දෙකම අභිබවා ගියේ ය. එය ආසන 70ක් දිනා ගත්තේය. 

තමන්ගේ යෝජිත ආන්ඩුවට සහාය දැක්වීමට සෙනෙට් සභාව අපොහොසත් වනු ඇතැයි යන උත්සුකයන් මූව් ෆෝවර්ඩ් හි පිටා විසින් බැහැර කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, බැංකොක් පෝස්ට් සෙනසුරාදා වාර්තා කළේ සෙනෙට් සභාව දළ වශයෙන් කොටස් තුනකට බෙදී ඇති බවත්, සෙනෙට් සභිකයින් 120 දෙනෙකු ප්‍රයුත්ට සහය දැක්වීමට ද , 80 දෙනෙකු පීපීආර්පී  හි පළමු නියෝජ්‍ය අගමැති ප්‍රවිත් වුන්සූවන්ට සහාය දැක්වීම සඳහා ද සිටින අතර, තවත් 50 දෙනෙකු තීරණය නොමැතිව සිටින බවයි.

සෙනෙට් සභාව තුළ පිටාට සහයෝගය නො ලැබීම, රටේ සාම්ප්‍රදායික ප්‍රභූව වන රාජාණ්ඩුව, මිලිටරිය හා රාජ්‍ය නිලධරය යන කන්ඩායම්වල අවශයතාවන් නියෝජනය කරන තායි පාලක පන්තියේ, මූව් ෆෝවර්ඩ්, ෆියු තායි පක්ෂවල විසංවාදී කන්ඩායම් අතර ඇති කටුක වෙනස්කම්වල ප්‍රතිඵලයකි.  

සෙනෙට් සභික ජඩේත් ඉන්සවාං (Jadet Insawang) දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ රාජාණ්ඩුව ආරක්ෂා කිරීමට සහ රටේ (lèse-majesté) ස්වරීත්වයට එරෙහි අපරාධ නීතිය පවත්වාගෙන යාමට පිටාට එරෙහිව ඡන්දය දෙන බවයි. මෙම කුරිරු ව්‍යවස්ථාව යටතේ රජුට සහ ඔහුගේ සමීපතම පවුලට අවමන් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන ඕනෑම අයෙකුට වසර 15ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි ය. 2020 විරෝධතාවල ප්‍රමුඛ පෙළේ නායකයින් ගණනාවකට මෙම නීතිය යටතේ චෝදනා එල්ල වී තිබේ.

මීළඟ ආණ්‌ඩුව පිහිටුවීම බොහෝ දුරට ඇදී යන ක්‍රියාවලියක්‌විය හැකිය. 2019 මැතිවරනයේ දී, ෆියු තායි පහළ මන්ත්‍රණ සභාවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් අතර එම සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට යැයි කියන සභාගයක් පිහිටුවා ගත්තේ ය. මිලිටරිය ප්‍රතිඵලය නො තකා හැර, කිසිදා කිසිදු තනතුරකට තේරී පත් නොවූ ප්‍රයුත් අගමැති ලෙස නැවත පත් කිරීම සඳහා ඒකාබද්ධ රැස්වීමේදී හුදේක් සිය බහුතරය භාවිතා කළේ ය. 

පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිසම සහ උසාවිය ඒකාබද්ධ මැදිහත්වීම අසාර්ථක වුවහොත්, හමුදාව සරලව ම තවත් කුමන්ත්‍රණයකට යොමු විය හැකි ය. 2006 දී, එය විසින් පකවා හැරුනු ෆියු තායි හි ආරම්භකයා වූ ප්‍රකෝටිපති තක්ෂින් ෂිනවත්‍රාට රටින් පලා යාමට බල කෙරුණු අතර, ෆියු තායි අත්පත් කර ගෙන, 2011 මැතිවරණය ජයග්‍රහණය කල, ඔහුගේ සහෝදරිය වන යින්ග්ලක් ෂිනවත්‍රාගෙන් බලය පැහැර ගැනීමට,2014 දී, කුමන්ත්‍රණයක් දියත් කළේ ය.

පසුගිය බ්‍රහස්පතින්දා හමුදා ප්‍රධානී නරොංපෑං ජිත්කුවටෑයි ( Narongpan Jittkaewtae) මිලිටරි අත්පත් කර ගැනීමේ හැකියාව අවතක්සේරු කරමින්, “[කුමන්ත‍්‍රනයක] අවස්ථාව දැන් බිංදුව” යැයි ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, ප්‍රයුත් සහ පීපීආර්පී හි ප්‍රවිත් යන දෙදෙනාම කුමන්ත්‍රණයක් අවශ්‍ය විය හැකි බවට මැතිවරනයට පෙර ඉඟි කළහ.

මිලිටරියට සහ රාජාණ්ඩුවට එරෙහි පුලුල් විරුද්ධත්වය ගසාකන ෆියු තායි සහ මූව් ෆෝවර්ඩ්, යන පක්ෂ දෙකම ධනවත් පවුල්වලට සම්බන්ධ මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂ වන අතර කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතා සහ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීමට ඒවා අසමත් ය.

ෆියු තායි හි නායක පේටොංටාර්න් ෂිනවත්‍රා  යනු තක්ෂින් ෂිනවත්‍රාගේ බාල දියණිය වන අතර අග්‍රාමාත්‍ය ධුරය සඳහා ලංසුවක් ඉදිරිපත් කරන අතිශය ධනවත් ෂිනවත්‍රා පවුලේ අලුත්ම දියණියයි.

මූව් ෆෝවර්ඩ් පක්ෂය, රාජාණ්ඩුව සහ මිලිටරිය සම්බන්ධයෙන් පෙනෙන පරිදි වඩා විවේචනාත්මක ආස්ථානයක් ගනිමින්, තරුණයින් කෙරෙහි විශේෂයෙන් නැඹුරු වී ඇත. එය 2019 මැතිවරනයට මොහොතකට පෙර, බහු කෝටිපති වාහන සමාගම් අධ්‍යක්ෂ, තනතෝර්න් ජුවන්ග්‍රෑන්ග්‍රැඅන්කිට් (Thanathorn Juangroongruangkit) විසින් ආරම්භ කරන ලද ෆියුචර් ෆෝවර්ඩ් පක්ෂයේ අනුප්‍රාප්තිකයා වේ. එහි නායකත්වය බොහෝ දුරට තරුණ ව්‍යාපාරික විධායකයින් සහ ශාස්ත්‍රීය නීතිඥයින්ගෙන් සමන්විත ය. 

ෆියුචර් ෆෝවර්ඩ්  හි හදිසි මතුවීම, හමුදා පිටුබලය ලත් පාලන තන්ත්‍රය තුළ භීතියක් ඇති කළේ ය. තනතෝර්න්ට මැතිවරණ නීතිය උල්ලංඝණය කළ බවට චෝදනා කිරීමටත්, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නුසුදුස්සෙකු කිරීමටත්, අවසානයේදී, පාලන තන්ත්‍රය විසින් පක්ෂය විසුරුවා හැරීමටත් ව්‍යවස්ථාපිත අධිකරණය යොදා ගනු ලැබුනි. අධිකරණ තීන්දුව 2020 මහජන විරෝධතා ව්‍යාපාරයේ එක් උත්ප්‍රේරකයක් බව ඔප්පු විය.

මූව් ෆෝවර්ඩ් ප්‍රධානියා වන පිටා, තායි රාජ්‍යයට සමීප පවුල් සබඳතා ඇති ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහුගේ පියා, පොංසැක් ලිම්ජාරෝඑන්රත් කෘෂිකර්ම හා සමුපකාර අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස සේවය කළ අතර, ඔහුගේ මාමා වන පැඩුං ලිම්ජාරෝඑන්රත්, අගමැති තක්ෂින්ගේ සමීප සහායකයෙකු විය. පිටා සිය ෆියුචර් ෆෝවර්ඩ් පක්ෂය (FFP) බලහත්කාරයෙන් විසුරුවා හැරීමෙන් පසු 2020 දී එම්එෆ්පී හා සම්බන්ධ විය.

එම්එෆ්පී නැඹුරු වී ඇති ස්ථර පිලිබඳ ඇඟවීමක් ලෙස, පිටා සඳුදා ප්‍රකාශ කළේ සභාග සාකච්ඡා අවසන් කිරීමෙන් පසු ඔහු රජයේ නිලධාරීන් සහ මහා ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා පවත්වන බවයි. තම ආන්ඩුව පාලක ප‍්‍රභූවට කිසිදු අභියෝගයක් නො වන බව ඔහු අවධාරනය කරනු ඇති බව, පිරිහෙන ජීවන තත්වයන් සහ ඉහල යන සමාජ අසමානතාවය මගින් ඇති කරන තියුනු සමාජ ආතතීන් පාලනය කිරීමට හොඳම මාධ්‍යයන් යොදාගනු ඇති බව නිසැක ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top