දක්ෂිනාංශික පෝලන්ත ආන්ඩුවට එරෙහිව වෝර්සෝහි මහා පෙලපාලියක් පැවැත්වෙයි

මාටින් නොවැක් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 03 දින පල වූ ‘Mass demonstration in Warsaw against right-wing Polish government’ යන මාටින් නොවැක් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

ඉරිදා දිනඅන්ත දක්ෂිනාංශික PiS (නීතිය සහ යුක්තිය පක්‍ෂය) ආන්ඩුව ඉවත් කිරීම සඳහා සිය දහස් ගනනක්, පෝලන්ත අගනුවර වන වෝර්සෝ හි උද්ඝෝෂනය කලහ. “Marsz Miliona Serc” (හදවත් මිලියන ගනනක පා ගමන) සටන් පාඨය යටතේ, විපක්ෂ නායක දක්ෂිනාංශික පුරවැසි වේදිකාව  (PO) නම් පක්ෂයේ ඩොනල්ඩ් ටස්ක් , පාර්ලිමේන්තු මැතිවරනයට සති දෙකකට පෙර මෙම උද්ඝෝෂනය  සඳහා කැඳවුම් කලේය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නව-වම (Nowa Lewica) හි වෝජිමියස් ෂාෂස්තෙ (Włodzimierz Czarzasty ) සහ රොබට් බියද්‍රෝන් (Robert Biedroń) සහ අග්‍රවුනියා (Agrounia) ගොවි ව්‍යාපාරයේ , මිහාල් කොවොජේචක් (Michał Kołodziejczak) යන නායකයෝ  උද්ඝෝෂනයට සහාය දුන්හ. ක්‍රැකොෆ්, ස්ටැෂී, තොරූන් සහ වුජ්ෂ් ( Krakow, Szczecin, Toruń and Lodz)  වැනි අනෙකුත් නගරවල ද දහස් ගනනක් වීදි බැස සිටියහ.

Protest
වෝර්සෝ හි උද්ඝෝෂනයේ කොටසක් [ඡායාරූපය X / Platforma Obywatelska ]

මෙම උද්ඝෝෂනයට මිලියනයක් සහභාගී වූ බව සංවිධායකයින් ප්‍රකාශ කල අතර  සිය දහස් ගනනක් සහභාගී වූ බවට පොලිසිය විසින් ඇස්තමේන්තු කර ඇත. සංවිධායකයින්ට අනුව, ස්ටැලින්වාදී තන්ත‍්‍රය අවසන් වී 1989 ධනවාදය යලි හඳුන්වා දීමෙන් පසු පැවති විශාලතම පෙලපාලියෙන් එකක් වන ජූනි 4 දා පැවති උද්ඝෝෂනය මෙන් දෙගුනයක් මෙය විශාල විය.ජූනි මාසයේ විරෝධතාවයේ ප‍්‍රේරකය  වූයේ “රුසියානු බලපෑමට” එරෙහිව විශේෂ කොමිසමක් පිහිටුවීම සඳහා මර්දනකාරී නීතියක් සම්මත කර ගැනීමයි. 

PiS ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත්, නවතම පෙලපාලියේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේය. ජුලි මස අවසානයේදී ජොආනා නම් තරුන කාන්තාවක් ඇගේ මනෝ වෛද්‍යවරයා විසින් ක්‍රැකොෆ් හී දී හෙලා දැක ඇති අතර ගබ්සා කිරීමේ පෙත්තක් ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඇයට අයුතු ලෙස සැලකූ බව අනාවරනය විය. වසර තුනකට පෙර, PiS ආන්ඩුව, දැඩි-කතෝලික සහ අන්තවාදී දක්ෂිනාංශික වටපිටාවේ තම අනුගාමිකයින් ශක්තිමත් කිරීම සඳහා ගබ්සා නීතිය දැඩි කලේය. ඊට පෙර, පෝලන්තය,  ඒ වන විටත්  දැඩි ගබ්සා නීති ඇති රටවල් වලින් එකකි. නව නීතිය පැනවීමෙන් පසු, නීත්‍යානුකූල ගබ්සාව මුලුමනින්ම පාහේ කල නොහැක්කක් බවට පත් විය.

එකල, ගබ්සාව තහනම් කිරීමට එරෙහිව රට පුරා සිය දහස් ගනනක් ස්වයංසිද්ධව සති ගනනාවක් උද්ඝෝෂනය කලහ.  නැවතත්, ආන්ඩුවේ අන්ත දක්ෂිනාංශික න්‍යාය පත්‍රය පිලිබඳ පුලුල්ව පැතිරුනු පිලිකුල ජනතාව විදීවලට පිවිසීමට හේතු විය.  2015 සිට ආන්ඩුවට නායකත්වය දුන් PiS, අධිකරනයට සහ මාධ්‍යට බලකරමින් ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට ක්‍රමානුකූලව කටයුතු කර ගෙන යයි . ඒ අතරම,ඉතා මෑතකදී චිත්‍රපට අධ්‍යක්ෂ ඇග්නීස්කා හොලන්ඩ්ට එරෙහි මඩ ව්‍යාපාරය සමඟ, එය විශේෂයෙන් ෆැසිස්ට් සහ යුදෙව් විරෝධී බලවේග ශක්තිමත් කරයි.

නමුත් 2007 සිට 2015 දක්වා පෝලන්ත රජයේ ප්‍රධානියා වූ හිටපු යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති ටස්ක්ගේ වේදිකාව විකල්පයක් ඉදිරිපත් නොකරයි. ටස්ක්ගේ පක්ෂය (PO) , “ලිබරල්” ලෙස හැඳින්වීම විකාරරූපී මෘදූක්තියකි (යෙදුමකි). මැතිවරන ව්‍යාපාරය විසින් තහවුරු කර ඇති පරිදි ඔහු ද ක්‍රියාත්මක වන්නේ අන්ත දක්ෂිනාංශික න්‍යාය පත්‍රයක් අතැතිවය. ඔහු රුසියාවට එරෙහි නේටෝවේ යුද්ධයට සහය දක්වයි. එමෙන්ම, ඔහු යුරෝපා සංගමයට මුලුමනින්ම සහාය දක්වයි. දකුනේ සිට PiS හි සමාජ ප්‍රතිපත්තියට පහර දෙයි. මැතිවරන ව්‍යාපාරය අවසන් වෙද්දි, ඔහු සරනාගතයින්ට එරෙහිව වඩ වඩාත් ආක්‍රමනශීලී වී “වඩා හොඳ” ජාතිකවාදියෙකු සහ මිලිටරිවාදියෙකු ලෙස පෙනී සිටී.

ටස්ක් PiS ට චෝදනා කරන්නේ බෙලාරුස් දේශසීමාව ප්‍රමානවත් ලෙස වසා නොදැමීම, ඵලදායී ලෙස නැවත සන්නද්ධ නොකිරීම, පෝලන්ත නිලධාරීන්ට අපහාස කිරීම සහ රුසියාවට රහසිගතව සේවය කිරීම යනාදියටයි. පෝලන්ත පාර්ලිමේන්තුවේ (Sejm) සියලුම පක්ෂ මෙන්ම, PO ද, සමාජය මිලිටරිකරනය කිරීම සඳහා සලසන, ආන්ඩුවේ  ඩොලර් බිලියන ගනනක ප්‍රතිසන්නද්ධීකරන වැඩසටහනට පක්ෂව ඡන්දය දුන්නේය. ඒ අතරම, PO ලමා ප්‍රතිලාභ වැනි PiS හි සීමිත සමාජ පියවරයන් පවා විවේචනය කලේය.

එහි ආර්ථික වැඩසටහනේ හරය වන්නේ සංගතවලට පක්ෂව විශාල බදු සහන සහ නියාමනය ඉවත් කිරීමයි. නිදසුනක් වශයෙන්, යම් වාර්ෂික සීමාවකට වඩා අඩු පිරිවැටුමක් ඇති සමාගම්, අසනීප තත්ත්වයකදී වැටුප් අඛන්ඩව ගෙවීමෙන් නිදහස් කරනු ලැබේ. මෙම වගකීම රාජ්‍ය සමාජ ආරක්ෂන වැඩසටහන (ZUS) විසින් පවරා ගැනීමට නියමිත අතර, එහි අතිරේක වියදම් තවදුරටත් කප්පාදු සඳහා කඩතුරාවක් වනු ඇත.

2021 දී වෛද්‍යවරුන්, හෙදියන් සහ පරිපූරක වෛද්‍යවරුන්ගේ පුලුල් විරෝධතා සහ වැඩ වර්ජන අවුස්සා ලීම මගින් පෝලන්ත සෞඛ්‍ය පද්ධතිය බොහෝ දුරට බිඳ වැටී ඇති බව කොරෝනා වයිරස් වසංගතය පෙන්වා දී ඇත. පෝලන්ත අධ්‍යාපන ක්‍රමය සඳහා ද එය එසේම වේ. සමස්ත වැඩකරන ජනතාවට අවසානයේ දී යලි සන්නද්ධ කිරීමේ සහ යුද්ධයේ දැවැන්ත පිරිවැය සම්පූර්නයෙන් දැරීමට සලස්වා ඇත.  සියයට 18 දක්වා ඉහල ගිය උද්ධමනය තවමත් සියයට 8ට වඩා ඉහල මට්ටමක පවතී.

නිල OECD සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසර තුල පමනක් පෝලන්ත වැටුප්වල සාමාන්‍ය මිලදී ගැනීමේ ශක්තිය සියයට 7කින් පහත වැටී ඇත. වැඩිවන ආහාර හා බලශක්ති මිල මෙම දැවැන්ත සැබෑ වැටුප් කප්පාදුවේ ප්‍රතිවිපාක උග්‍ර කරයි.

පෝලන්ත පාර්ලිමේන්තුවේ (සෙජ්ම්) සියලුම පක්ෂ, දකුනේ සිට වමට, කම්කරු පන්තියට එරෙහි  මෙම ප්‍රහාරවලට එකඟ වෙති. මෙය පෝලන්ත වාමාංශික ලෙවිකා පක්ෂයට ද අදාල වන අතර, සමීක්ෂනවලට අනුව සියයට 10 ක පමන ඡන්ද ප්‍රමානයක්, එයට ලබා ගත හැකිය. ප්‍රවෘත්ති සඟරාවක් වන පොලිටිකා (Polityka) පවා එම ව්‍යාපාරය “නිහඬ සහ නොපැහැදිලි” ලෙස විස්තර කරන තරමටම, පක්ෂය දක්ෂිනාංශික PO පක්ෂයට යටත් වී ඇත. එය හුදෙක් ඕනෑවට වඩා අහිමි නොවී සෙජ්ම් හි රැඳී සිටීමේ ඉලක්කය පසුුුුපස හඹා යයි.

සිමොන් හොවොන්යා ( Szymon Hołownia) ගේ නව පක්ෂය වන PL2050 හා දක්ෂිනාංශික ගොවි පක්ෂයක් වන PSL ඒකාබද්ධ වීමෙන් තනා ගත්  හි මැතිවරන සන්ධානයක් වන ෂෙචා ඩ්‍රෝගා ( Trzecia Droga – තෙවන මාර්ගය), PO විසින් කැදවන ලද උද්ඝෝෂන ඈත්ව සිටි අතර,  PiS ට සහ PO ට මැදින් මැතිවරන ව්‍යාපාරය තුල ස්ථානගත වී ඇත. එය ජයග්‍රහනය කිරීමට අපේක්ෂා කරන සියයට 9 ක ඡන්ද ප්‍රමානය අනුව , විශාල පක්‍ෂ දෙකෙන් එකකට බහුතර බලයක් ලබා ගැනීමට එය ඉවහල් විය හැකි බව, මත විමසුම් වාර්තා කරයි.

මත විමසීමේදී , ෆැසිස්ට්වාදී කොන්ෆෙඩරක්ජා (Konfederacja) පක්ෂය සඳහා වන සහයෝගය මත  විමසීම් වල දී,  සියයට 8 සහ 15 අතර උච්චාවචනක් ලෙස පැවතුනි. එය පැරනි දේශපාලන සංස්ථාපිතය අපකීර්තියට පත් වීමෙන් වාසි ලබන අතර, සමීක්ෂනවලට අනුව, සාමාන්‍ය ප්‍රමානයට වඩා වැඩි තරුන ඡන්දදායකයින් සංඛ්‍යාවක් ආකර්ෂනය කරයි.මෙම ෆැසිස්ට් පක්ෂයේ නව නායකයන් දෙදෙනා වන ස්ලොවොමියර් මෙන්ට්සන් ( Sławomir Mentzen ) සහ ෂිෂ්ටොෆ් බොසක් (Krzysztof Bosak) යන දෙදෙනාම 30 ගනන්වල මැද භාගයේ පසුවන අතර, ඔවුහු නිරන්තර මාධ්‍ය අවධානයට ලක් වෙති.

34 හැවිරිදි තරුන ව්‍යවසායකයෙකු වන මෙන්ට්සන් ගේ නැගීම, තම ෆැසිස්ට් පක්ෂවලට නවීන මුහුනුවරක් ලබා දුන් සහ මාධ්‍ය විසින් වැලඳ ගත්( පරි: ප්‍රංශයේ) මැරීන් ලී පෙන් සහ ( පරි: ඉතාලියේ) ජෝර්ජියා මෙලනි දැඩි ලෙස සිහි කැදවයි. ඔහු පක්ෂයේ වැඩපිලිවෙල සාරාංශ ගත කරමින් මෙසේ සූත්‍රගත කරයි: “අපට යුදෙව්වන්, සමලිංගිකයන්, ගබ්සා කිරීම්, බදු වලින් සහ යුරෝපා සංගමයෙන් තොර පෝලන්තයක් අවශ්‍යයි.”

යුක්රේනයට සහයෝගය දිම  ප්‍රශ්න කරන පෝලන්තයේ එකම ප්‍රධාන දේශපාලන කන්ඩායම කොන්ෆෙඩරක්ජා වේ. එය යුක්‍රේන සරනාගතයින්ට එරෙහි ව්‍යාපාරයකට ද නායකත්වය දෙන අතර PiS ට වඩා තියුනු ලෙස යුරෝපා සංගමයේ ජර්මානු නායකත්වයට පහර දෙයි. එය සමාගම් සඳහා දුරදිග යන සහන ඉල්ලා සිටින අතර 120,000 ජීවිත බිලිගත් PiS හි කොරෝනා වෛරස් ප්‍රතිපත්තියට දකුනේ සිට පහර දෙන්නේ රජය විසින් යම් යම් අවස්ථා වලදී අගුලු දැමීම් සිදු කල බැවිනි.

තව සති දෙකකින් මැතිවරන ජයග්‍රහනය කර නව ආන්ඩුව පිහිටුවන කවරෙකු වුව ද, යුද ප්‍රතිපත්තිය, කම්කරු පන්තියට එරෙහි සමාජ ප්‍රහාර සහ ජීවිතයට-පෙර-ලාභ වසංගත ප්‍රතිපත්තිය දිගටම ගෙන යනු ඇත. පැරිසියේ පෝලන්ත තානාපති යාන් එමරික් රොස්ටිසෙට්ස්කි ( Jan Emeryk Rościszewski) මාර්තු මාසයේදී පැහැදිලි කල පරිදි, යුක්රේනය සමඟ දේශසීමාවේ සිදුවන ඕනෑම සිදුවීමක් “ගැටුමට ඇතුලු වීමට” නිදහසට කරුනක් ලෙස භාවිතා කල හැකිය.

තුන්වන ලෝක යුද්ධයක හා ෆැසිස්ට් ම්ලේච්ඡත්වයේ අන්තරාය වැලැක්වීම සඳහා පෝලන්ත කම්කරුවන්ට හා තරුනයින්ට ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග පෙලගැසී සිටින තමන්ගේම පක්ෂයක් අවශ්‍ය වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පෝලන්ත අංශයක් ගොඩනැගීමේ අරමුන ඇතිව ලෝක සමාජවාදී වෙබ් අඩවිය සම්බන්ධ කර ගන්නා ලෙස අපි සියලුම පෝලන්ත පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top