ද්විපාර්ශ්වික ඡන්දයේදී, එක්සත් ජනපද කොන්ග්‍රසය වාර්තාගත පෙන්ටගන අයවැයට අවසර දෙයි: ගෝලීය යුද්ධය සඳහා සැලැස්මක්

බැරී ග්‍රේ විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 16 දින පල වූ “In bipartisan vote, US Congress authorizes record Pentagon budget: A blueprint for global war” යන බැරී ග්‍රේ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි.    

කොංග්‍රසයේ සභා දෙකෙහිම ද්විපාර්ශ්වික ඡන්ද සහිතව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පක්ෂ දෙක මේ සතියේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත පෙන්ටගනයේ අයවැයක් අනුමත කලහ.

ගාසා තීරයේ එජ/ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව දැවැන්ත විරෝධතා හමුවේ සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි වොෂින්ටනයේ ප්‍රොක්සි යුද්ධයට මහජන සහයෝගය බිඳ වැටීම හමුවේ, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් එක්ව ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතක් (NDAA-එන්ඩීඒඒ) සම්මත කර ගත්හ. එය, ඉදිරි වසර තුල මිලිටරි වියදම් සඳහා ඩොලර් බිලියන 883.7 ක, එනම්  2020 සිට ඩොලර් බිලියන 145 ක හෝ සියයට 20 ක වැඩිවීමකි.

මෙය, ඉහල පෙලේ ගනන වන ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා ඩොලර් බිලියන 841.4, බලශක්ති දෙපාර්තමේන්තුව තුල “ජාතික ආරක්ෂක” වැඩසටහන් සඳහා ඩොලර් බිලියන 32.4 සහ ආරක්ෂක සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා ඩොලර් බිලියන 9.4 කින් සමන්විත වේ. සම්පූර්න අනුමත කිරීම වාර්ෂික ෆෙඩරල් අභිමත අයවැයෙන් අඩකට වඩා පරිභෝජනය කරයි.

Pena
2023 මැයි 15 වන දින පෙන්ටගනයේ වොෂින්ටන් ඩීසී හි ගුවන් දසුනක්. [ඡායාරූපය: නාවික හමුදා සුලු නිලධාරි 2 වන පන්තියේ ඇලෙක්සැන්ඩර් කුබිට්සා, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව]

මෙය සිදු වන්නේ කුසගින්න සහ නිවාස නොමැතිකම ඉහල යමින් පවතින, සංගතයන් රැකියා කප්පාදු කරන, සහ බයිඩන් පරිපාලනය කෝවිඩ් හදිසි අවස්ථාවේ ව්‍යාජ “අවසානය” භාවිතා කරමින් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගෙන් සහ දුප්පත් මිනිසුන්ගෙන් මෙඩිකේඩ් සහ ආහාර මුද්දර ප්‍රතිලාභ ඉවත් කිරීමට භාවිතා කරන තතු යටතේය. මිලිටරි කොන්ත්‍රාත්කරුවන් ගජ වාසි ලාභ භුක්ති විඳිද්දී, යුද වියදම් ඉහල නැංවීමේ සම්පූර්න පිරිවැය කම්කරු පන්තිය මත පැටවීමට නියමිතය.

සෙනෙට් සභාව පිටු 3,000කින් යුත් පනත බදාදා 87-13 ඡන්දවලින් සම්මත කල  අතර, බ්‍රහස්පතින්දා 310 ට 118 ඡන්දයකින් නියෝජිත සභාව ඒ අනුගමනය කලේ, සාමාන්‍ය ක්‍රියා පටිපාටි අත්හිටුවීම යටතේ කඩිනම් සම්මත කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක අන්තරය පහසුවෙන් අභිබවා යමිනි. 

NDAA ඇත්ත වශයෙන්ම “ආරක්ෂක” පනතක් නොවේ. එය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ලෝක ආර්ථික පරිහානිය මිලිටරි මාධ්‍යයන් මගින් ආපසු හැරවීම අරමුනු කරගත්, න්‍යෂ්ටික යුද්ධය සඳහා තීව්‍ර සූදානම් කිරීම් ඇතුලු ගෝලීය යුද්ධයේ සැලැස්මකි. පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ සමූලඝාතන යුද්ධයට එක්සත් ජනපද මිලිටරි සහයෝගය සහ මැදිහත්වීම තහවුරු කරමින් සහ පුලුල් කරන අතරම එය විශේෂයෙන්ම චීනයද  ඒ පසුපස ව රුසියාව, ඉරානය සහ උතුරු කොරියාවද මිලිටරි ආක්‍රමනය සඳහා ඉලක්ක කරයි.

රිපබ්ලිකන් පාලිත නියෝජිත සභා සන්නද්ධ සේවා කමිටුව විසින් නිකුත් කරන ලද “FY24 ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත” හි සාරාංශය මෙය පැහැදිලි කරයි. එය ආරම්භ වන්නේ මෙසේය: 

“ඇමරිකාව චීනයෙන් පෙර නොවූ විරූ තර්ජනවලට සහ රුසියාව, ඉරානය, උතුරු කොරියාව සහ ත්‍රස්තවාදී සංවිධානවල තර්ජනවලට මුහුන දෙයි. අපගේ සියලු විරුද්ධවාදීන් ඇමරිකානු ආධිපත්‍යය අවසන් කිරීමේ ඔවුන්ගේ අභිලාෂය තුල පෙලගැසී සිටිති. මෙම විරුද්ධවාදීන්ගේ තර්ජන නිරන්තරයෙන් වර්ධනය වේ.”

ලේඛනය තහවුරු කරමින් : “FY24 NDAA අනාගත යුධ පිටියේ අපට ජය ගැනීමට අවශ්‍ය මාරාන්තික සටන් බලවේගය ගොඩනැගීමට සහ නඩත්තු කිරීමට ප්‍රමානවත් ආයෝජනයක් සපයයි.”

නියෝජිත සභා සන්නද්ධ සේවා කමිටුවේ රිපබ්ලිකන් සභාපති මයික් රොජර්ස් මෙම පනත ගැන පැවසුවේ: “එය අපගේ විරුද්ධවාදීන්, විශේෂයෙන්ම චීනය වැලැක්වීම සඳහා ලේසර්-නාභී  අවධානය යොමු කර ඇත.”

සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ ඉහල පෙල සාමාජික රිපබ්ලිකන් සෙනෙට් සභික රොජර් විකර් පැවසුවේ, “අපේ පනත චීනයට, රුසියාවට සහ අනෙකුත් අයට සංඥා කල යුත්තේ ඇමරිකාවට හොඳම සටන් බලය නොමැති ලෝකයක් අප පිලි නොගන්නා බවයි.”

ඩිමොක්‍රටික් සෙනෙට් බහුතර නායක චක් ෂුමර් එකඟ වෙමින්, “එන්ඩීඒඒ සම්මත කිරීම අපට රුසියාවට එරෙහි රේඛාව තබා ගැනීමටත්, චීන කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව ස්ථිරව සිටීමටත්, ඇමරිකාවේ ආරක්‍ෂාව අති නවීන ලෙස පවතින බව සහතික කිරීමටත් හැකියාව ලැබේ” යනුවෙන් ප්‍රකාශ කලේය.

“සීසීපී (චීන කොමියුනිස්ට් පක්ෂ) ආක්‍රමනවලට ප්‍රතිරෝධය දැක්වීම” යන ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත සභා සාරාංශයේ ඇති දිගම කොටස ආරම්භ වන්නේ, “සීසීපී ආක්‍රමනයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය අධි ගැලපීම FY24 NDAA විසින් ගොඩනඟා පවත්වාගෙන යනු ලබයි.” එය පනත් කෙටුම්පතේ විධිවිධාන අතර පහත දැක්වෙන දෑ ලැයිස්තුගත කරයි:

  • එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව අතර චීන විරෝධී ඔ්කස් (AUKUS) ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ න්‍යෂ්ටික හැකියාව ඇති සබ්මැරීන ඕස්ට්‍රේලියාවට විකිනීමට අවසර දීම.
  • එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානය විසින් පවත්වනු ලබන අභ්‍යාසවල පරිමානය සහ වාර ගනන වැඩි කිරීම.
  • පැසිෆික් වලකාලීමේ ආරම්භකත්වය (Pacific Deterrence Initiative) සඳහා ඩොලර් බිලියන 14.7ක් අවසර දීම සහ නව ආයුධ පද්ධති සහ හමුදා උපක්‍රම පිලිබඳව එක්සත් ජනපදයේ බලඇනි දෙකක් දක්වා වූ භට පිරිස්වලට පුහුනුව ඇතුලුව තායිවානයේ හමුදා සඳහා පුහුනු, උපදේශන සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනක් ස්ථාපිත කිරීම.
  • කෘතිම බුද්ධි (AI), ස්වයංක්‍රීය පද්ධති, සයිබර්, ජංගම ක්ෂුද්‍ර න්‍යෂ්ටික බලප්‍රභව සහ අධි ශක්ති ලේසර් ඇතුලු “අනාගත යුධ පිටියේදී සීසීපී ය වැලැක්වීම සදහා ” නව තාක්‍ෂනයන් සඳහා අරමුදල් වැඩි කිරීම.
  • “සීසීපීයේ පෙර නොවූ විරූ න්‍යෂ්ටික ගොඩනැගීමට එරෙහිව” එක්සත් ජනපද න්‍යෂ්ටික බලවේගවල යෙදවිය හැකි ධාරිතාව පුලුල් කිරීම.
  • හදිසි සහ බහු අවුරුදු ප්‍රසම්පාදන අධිකාරයන් සඳහා සුදුසුකම් ඇති යුධෝපකරන ලැයිස්තුව පුලුල් කිරීම.
  • යුක්රේනයට යුධෝපකරන බෙදා හැරීම සහ නැවත අඩු-පිරවීම කඩිනම් කිරීම සඳහා පසුගිය වසරේ ආරම්භ කරන ලද වැඩසටහනකට ඊශ්‍රායලය සහ තායිවානය එක් කිරීම.

අතිරේක ප්‍රහාරක ගුවන් යානා, මිසයිල වෙඩි තැබීම සදහා  සන්නද්ධ ඩ්‍රෝන යානා, තවත් “නව යුද කලාප වෙත හමුදා, ටැංකි සහ කාලතුවක්කු වේගයෙන් යෙදවීමට සදහා සී-130J ප්‍රවාහන ගුවන් යානා ” හතක්, තවත් හමුදා හෙලිකොප්ටර්, තවත් නාවික හමුදා යුද නැව් සඳහා ඩොලර් බිලියන ගනනක මුදලක්  සහ “සමීප තරඟකරුවන්ට එරෙහිව (රුසියාව, චීනය හෝ වෙනත් ප්‍රධාන බලවතෙකු සමඟ යුද්ධය) අනාගත යුද්ධය” සඳහා කාලතුවක්කු, ටැංකි සහ සන්නද්ධ වාහන ප්‍රතිනිර්මානය කිරීම ද  නියෝජිත සභා සාරාංශය සඳහන් කරයි. 

මෙම ලේඛනය න්‍යෂ්ටික යුද සූදානමේ ප්‍රධාන උත්ශ්‍රේනිගත  (upgrade) කිරීමක් සහ ප්‍රසාරනයක් ලැයිස්තුගත කරන අතර, “ සබ්මැරීනයන් විදින මිසයිල, ගොඩබිම පදනම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල සහ අන්තර් මහද්වීපිකව පියාසර කිරීමේ හැකියාව ඇති බර බෝම්බ හෙලන යානා යන සියලු ක්ෂේත්‍ර අලලා ගන්නා වූ, ඔබාමා යටතේ ආරම්භ කර ට්‍රම්ප් යටතේ අඛන්ඩ වූ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි නවීකරනය කිරීම සඳහා කැඳවුම් කරයි. 

යුක්රේනය සම්බන්ධයෙන්, එන්ඩීඒඒ විසින් 2026 අවසානය දක්වා මිලිටරි ආධාර දීර්ග කිරීමට සහ වත්මන් මූල්‍ය වර්ෂයේදී සහ ඊලඟ එකේ දී ඩොලර් මිලියන 300 ක්,  එක්සත් ජනපද ආයුධ තොගවලින් කෙලින්ම ලබා නොගෙන යුක්රේනය සඳහා ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තයට ගෙවන වැඩසටහනක් සඳහා අවසර දෙයි. ධවල මන්දිරය සහ නියෝජිත සභා රිපබ්ලිකානුවන් සරනාගතභාවය සඳහා ඇති අයිතිය තවදුරටත් උදුරා ගැනීමට සහ දරිද්‍රතාවයෙන් හා පීඩනයෙන් පලා යන මංමුලා සහගත කම්කරුවන් සඳහා එක්සත් ජනපද-මෙක්සිකානු දේශසීමාව ප්‍රායෝගිකව වසා දැමීම සඳහා ද්විපාර්ශ්වික ගනුදෙනුවක් කරා  හෙට්ටු ගනුදෙනු  කරද්දී, බයිඩන්ගේ යුක්රේනය සඳහා ඩොලර් බිලියන 60 ක පරිපූරක වියදම් බිල්පත ගන්ධබ්බ ව  ඉතිරිව පවතී.

කෙසේ වෙතත්, NDAA විසින් නිරිතදිග මායිම වෙත ජාතික ආරක්ෂක භටයන් යෙදවීමට “සම්පූර්න අරමුදල්” සපයයි.

ඊශ්‍රායලය සම්බන්ධයෙන්, NDAA විසින් සියොන්වාදී පාලන තන්ත්‍රයට ආයුධ පද්ධති මාරු කිරීම සදහා ආරක්ෂක දෙපාර්තමේන්තු අධිකාරිය විස්තීර්න කරයි. එය වැඩි දුරටත් ඊශ්‍රායලය සමඟ ඒකාබද්ධ පුහුනු අභ්‍යාස පැවැත්වීම සඳහා එක්සත් ජනපද මධ්‍යම විධානයට අවශ්‍ය කරවන අතර නේටෝ නියමු පුහුනු වැඩසටහන් සඳහා සහභාගී වීමට ඊශ්‍රායලයට බලය පවරයි.

මෙම පනත මගින් සොල්දාදුවන්ගේ සහ සිවිල් පෙන්ටගනයේ සේවකයින්ගේ වැටුප සියයට 5.2 කින් වැඩි කරයි, එය වසර 20 ක විශාලතම වාර්ෂික වැඩිවීම වන අතර නිවාස, අධ්‍යාපනය සහ ලමාරක්ෂක සඳහා වැඩි ප්‍රතිලාභ ඇතුලත් වේ. එක්සත් ජනපදයේ ඉහලම සියයට 1 අතේ ධන සංකේන්ද්‍රනය නව වාර්තා තබමින්, සමස්ත මධ්‍යම කුටුම්භ සියයට 60 සතු ධනයද දැන් අභිබවා යන අතර , යහපත් වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට නොහැකි තරුනයින් ආකර්ෂනය කර ගැනීමේ නරුම උත්සාහයකි. 

නියෝජිත සභා ජීඕපී (GOP -රිපබ්ලිකන් පක්ෂය) විසින් බයිඩන් ව  දෝෂාභියෝගයක් දෙසට ගෙනයාම සහ ට්‍රම්ප්ට එහි සහාය දීම,  තුන්වන ලෝක යුද්ධය සඳහා වොෂින්ටනයේ සූදානම ඉදිරියට ගැනීම සදහා, ධවල මන්දිරය සහ ඩිමොක්‍රටිකයින් රිපබ්ලිකානුවන් සමඟ අත්වැල් බැඳගැනීම වැලැක්වූයේ නැත.

මෙම ප්‍රතිගාමිත්වයේ සහ යුද උමතුවේ සංදර්ශනය පෙන්නුම් කරන්නේ – ඇමරිකාවේ ඩිමොක්‍රටික් ගැති ඩිමොක්‍රටික් සමාජවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ඒවා වැනි – යුද්ධය, ජන සංහාරය සහ ෆැසිස්ට්වාදයේ අන්තරාය වැලැක්වීම සඳහා පාලක පන්තියේ ඕනෑම කොටසකට හෝ එහි  දේශපාලන පක්ෂ වලට  ආයාචනා කිරීමේ නිෂ්ඵල භාවයයි.  ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පන්ති අරගලයේ වර්ධනයට සහ මහජන ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් පැන නැගීම කෙරෙහි ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ යුද්ධය හා මර්දනය දෙගුන කිරීම ය.

ධනවාදය එහි දෙපයින් සිට ගෙන සිටිද්දිම කුනුවෙමින් පවතී. එහි මාරාන්තික අර්බුදය විසඳිය හැක්කේ ක්‍රම දෙකකින් එකකින් පමනි: ම්ලේච්ඡත්වය හෝ සමාජවාදය. යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන කම්කරු පන්තිය තුල මුල් බැස ගනිමින්,   ලාභ පද්ධතියට තිත තැබීමට සහ සමාජවාදය ස්ථාපිත කිරීමට ස්වාධීන, ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම  මගින් සිදු කල යුතුය .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top