නවසීලන්තය යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එජ-නේටෝ යුද්ධයට සහාය  වැඩි කරයි

ටොම් පීටර්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 04 දින New Zealand’s Labour-Greens government has again increased its support for the US-NATO war against Russia over Ukraine යන සිරසින් යුතුව පලවූ ටොම් පීටර්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොළදණ්ඩ විසිනි.

නවසීලන්තයේ කම්කරු-හරිත ආන්ඩුව යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය සඳාහා  යලිත් එහි සහයෝගය වැඩි කර ඇත.

Image
(Photo) බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජු 2023 මැයි 3 බදාදා ලන්ඩනයේ බකිංහැම් මාලිගයේදී නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් (දකුණ) පිළිගනී. [AP Photo/Stefan Rousseau]

අගමැති ක්‍රිස් හිප්කින්ස් අතිරේක ඩොලර් මිලියන 5.3ක මුදලක් ප්‍රකාශයට පත් කළ අතර, කියෙව් පාලනය සඳහා නවසීලන්තයේ සම්පූර්ණ මිලිටරි සහ මිලිටරි නොවන සහාය ඩොලර් මිලියන 78 ​​දක්වා ගෙන එන ලදී. ආයුධ සහ පතොරම් සඳහා අරමුදල් සැපයීම සහ රුසියානු නායකයින්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අරමුදල් සැපයීම මෙයට ඇතුළත් වේ.

III චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටින හිප්කින්ස්,  ස්වෙච්ඡා සහ බදවාගනු ලැබූ යූක්‍රේන හමුදා භටයන් පුහුණු කරන නවසීලන්ත ආරක්ෂක බලකායේ (NZDF) 95 දෙනෙකුගේ යෙදවීම තවත් වසරක දීර්ඝ කිරීමක් නිවේදනය කිරීමට බදාදා සැලිස්බරි ප්ලේන් හමුදා පුහුණු ප්‍රදේශයට ගියේය. 

ආරක්ෂක ඇමති ඇන්ඩෲ ලිට්ල් පැවසුවේ, මේ දක්වා, “යුක්රේනයට සහය දැක්වීම සඳහා NZDF භට පිරිස් 440ක් යොදවා ඇති අතර, 279ක් එක්සත් රාජධානියේ දී කාලතුවක්කු සහ පාබල හමුදා පුහුණුව සඳහා සෘජුවම සම්බන්ධ වී ඇත .” ලෙසය.  ඔවුන් යුක්රේනියානුවන් 1,000 කට වැඩි පිරිසක් පුහුණු කර ඇත.

ලිට්ල්  ස්ටෆ්ට (ප්‍රවෘත්ති සේවාව)  පැවසුවේ : “ගැටුම පවතිනතාක්, අපි යුක්රේනයට ලබා දෙන සහාය  දිගටම සමාලෝචනය  කරන්නෙමු. එබැවින් මෙය මෙවැනි ආකාරයේ නිවේදනවල අවසාන නිවේදනය නොවිය හැක.” යන්නයි.

පසුගිය මාසයේ ජර්මනියේ පැවති එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් යුක්රේන ආරක්ෂක සම්බන්ධතා කණ්ඩායමේ රැස්වීමකට අමාත්‍ය ලිට්ල්  සහභාගී වූ අතර, එහිදී අධිරාජ්‍යවාදී බලවතුන් යුධ ටැංකි සහ අනෙකුත් දියුණු ආයුධ පද්ධති බෙදාහැරීම ඇතුලුව යුද්ධය උත්සන්න කිරීමේ සැලසුම් පිලිබඳව සාකච්ඡා කලහ.

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රැස්වීමට පෙර ප්‍රකාශ කළේ යුක්‍රේනය නේටෝවට සම්බන්ධ විය යුතු බවයි, එය සියලුම නේටෝ සාමාජික රටවල් රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම සඳහා සන්ධාන ගිවිසුමේ 5 වැනි වගන්තිය අවුලුවාලිය හැකි පියවරකි.

නවසීලන්ත ආන්ඩුව සහ මාධ්‍ය “ප්‍රකෝප නොකළ” යුද්ධය ලෙස ව්‍යාජ ලෙස විස්තර කල, 2022 පෙබරවාරියේ දී රුසියාව විසින් යුක්රේනය වෙත කළ විනාශකාරී සහ ප්‍රතිගාමී ආක්‍රමණය, නේටෝව සහ එක්සත් ජනපදය විසින් වසර ගනනාවක් තිස්සේ මිලිටරි වටලෑම සහ ප්‍රකෝප කිරීම් වලට ප්‍රතිචාරයකි. අවම වශයෙන් රුසියානු සහ යුක්රේන සොල්දාදුවන් 200,000ක් මරා දැමූ යුද්ධය, න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර සෘජු ගැටුමක් දක්වා පුලුල් වීමේ වඩ වඩාත් ආසන්න අනතුරක් ඇති කරයි.

මෙය, බදාදා මොස්කව්හි ක්‍රෙම්ලිනයට එල්ල වූ සාපරාධී ලෙස (අවදානම ගැන) නොසැලකිලිමත් ඩ්‍රෝන ප්‍රහාරයෙන් අවධාරනය කෙරුණි. පෙනී යන පරිදි මෙය  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමේ  උත්සාහයකි. පැහැදිලිවම රුසියානු පළිගැනීම අවුලුවාලීමට සහ යුද්ධය තවදුරටත් උත්සන්න කිරීම යුක්ති සහගත කිරීමට සැලසුම් කෙරුණ  මෙම ප්‍රහාරයට බයිඩන් පරිපාලනය සහාය දුන් බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගෙන්  පැහැදිලි විය.

එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට ඇති ඉලක්කය යුක්රේනය ආරක්ෂා කිරීම නොව රුසියාවේ මිලිටරි පරාජය , එය බිද දැමීම සහ එහි සම්පත් කොල්ලකෑමයි. ඒ අතරම, වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන බාධාව ලෙස දකින චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම බොහෝ දුර ගොස් ඇත.

1914 සහ 1930 ගනන්වල සිදු වූවාක් මෙන්, ධනවාදයේ ඓතිහාසික අර්බුදය අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක ගෝලය යලි බෙදීමේ ලෝක යුද්ධය දෙසට තල්ලු කරයි.

නවසීලන්තය, එක්සත් ජනපදය සමඟ මිත්‍රශීලී සුළු අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස සහ එක්සත් ජනපදය ප්‍රමුඛ “ෆයිව් අයිස් “(Five Eyes) ඔත්තු බෙදාගැනීමේ ජාලයේ සාමාජිකයෙකු ලෙස ගැඹුරින් සම්බන්ධ වී සිටී. පුලුල්ව පැතිරුනු යුද විරෝධී මනෝගතියට පිටුපාමින්, ලේබර් ආන්ඩුව – විරුද්ධ ජාතික පක්ෂයේ ද්විපාර්ශ්වික සහයෝගය ඇතිව – න්‍යෂ්ටික අවි ආයුධ වලින් අවසන් විය හැකි විවෘත යුද්ධයකට රට කැප කර ඇත. 

සැලකිය යුතු කරුණක් නම්, බ්‍රිතාන්‍යයේ සිටින යුක්රේන හමුදා පුහුණු කිරීමට අමතරව, ආරක්ෂක අමාත්‍ය ලිට්ල් ප්‍රකාශ කළේ, “බටහිර-ප්‍රමුඛව කරන අභ්‍යවකාශ මෙහෙයුම් වලදී යුක්‍රේන නිලධාරීන් පුහුණු කිරීමට සහ සමාන අදහස් ඇති හවුල්කරුවන් සමඟ ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරිත්ව හැකියාව  වැඩි කිරීමට එක්සත් ජනපදය විසින් NZDF වෙත ආරාධනා කර ඇති අතර, මෙම කාර්යයට පෝලන්ත සන්නද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීම ද ඇතුළත් විය හැක.” යන්නයි.  NZDF සාමාජිකයින් දෙදෙනෙකු පෝලන්තයට යොදවා ඇත.

මේ අතර, නවසීලන්ත මිලිටරිය  ඕස්ට්‍රේලියාව සමඟ එහි සහයෝගීතාව වැඩි කරමින් සිටින අතර ඕකස්  (AUKUS-ඕස්ට්‍රේලියාව-එර-එජ) ගිවිසුමට සම්බන්ධ වන ලෙස නවසීලන්ත රජය උනන්දු කරමින් සිටී .  ඕකස් හි න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන ඕස්ට්‍රේලියාවට සැපයීමේ ගිවිසුමක් සහ චීනයට එරෙහි එක්සත් ජනපද සැලසුම්වලට ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ කිරීමේ වෙනත් ක්‍රියාමාර්ග ඇතුළත් වේ.

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පළමු ලෝක සංග්‍රාමයට පිවිසීම සනිටුහන් කරන ජාතික නිවාඩු දිනය වන අප්‍රේල් 25 ඇන්සාක් දිනයේ දී, නවසීලන්ත නාවික හමුදා ප්‍රධානී රියර් අද්මිරාල් ඩේවිඩ් ප්‍රොක්ටර් වඩාත් විවෘත හා පැහැදිලි චීන විරෝධී ආස්ථානයක් ඉල්ලා යුධවාදී  කතාවක් පැවැත්වීය.

හවායි හි සංචාරයක දී ,  බොහොමයක් එක්සත් ජනපද හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රේක්ෂකයන්ට, ඔහු මෙසේ පැවසීය: “ඔබ චීනය කරන්නේ කුමක්දැයි බලන විට, ඔවුන්ගේ මිලිටරි හැකියාවන්, විශේෂයෙන් සමුද්‍රීය හැකියාවන් සඳහා විශාල වශයෙන් සැලකිය යුතු අමතර වියදම් කරන විට, ‘මෙහි බැලීමට කිසිවක් නැත – අපි කරන දේ අපි කරගෙන යනවා ලෙස, නවසීලන්තයේ අපට පසෙකට වී සිටිය නොහැක.”

මෙය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ශක්තිමත් බැඳීම්වලට සහාය දෙන අතරම, නවසීලන්තයේ වැදගත්ම වෙලඳ හවුල්කරුවා වන චීනය අමනාප කර ගැනීමට අකමැති වූ ආන්ඩු සහ විපක්ෂ දේශපාලකයන්ට මෙන්ම සංගත මාධ්‍ය කොටස්වලට කරන යාන්තම් වෙස්වලාගත් තරවටුවකි.

“අපේ කලාපයේ නිදහස, සමෘද්ධිය සහ සාමය සඳහා අප අකැමැති , අභියෝගයක් එල්ල කරන” “බලහත්කාරී රාජ්‍යයක්” ලෙස ප්‍රොක්ටර් චීනය හෙළා දුටු අතර, නවසීලන්තයේ “නිදහසට,සාමයට හා ජාත්‍යන්තර නීති-මත පදනම් වූ පටිපාටියට අභියෝග කරන අයට ප්‍රතිචාර දැක්වීම සදහා   විශ්වසනීය මිලිටරි හැකියාවක් ඇති කර ගැනීමට වෙන කවරදාටත් වඩා කැපවී සිටින බව” ඔහු පැවසීය. 

ප්‍රොක්ටර්ගේ ප්‍රකාශ යථාර්ථය එහි හිස මත හරවයි. එක්සත් ජනපදය මිලිටරි වියදම් සම්බන්ධයෙන් අති මහත් ලෙස ලෝකයේ  නායකත්වය උසුලන අතර ඉන්දු-පැසිෆික් කලාපය  වෙඩි බෙහෙත් බැරලයක් බවට පත් කර ඇත. එය චීනය හිමිකම් කියන මුහුදේ ප්‍රකෝපකාරී නාවික අභ්‍යාස සිදු කර ඇත.  දකුනු කොරියාව, ජපානය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව සහ තායිවානය යන රටවල හමුදා ස්ථානගත කර ඇති අතර ගුවාම් සහ මරියානාස් හි හමුදා කඳවුරු පුළුල් කර ඇත. යුද්ධය සඳහා කඩතුරාවක් සපයන, තායිවානයට එරෙහි ප්‍රහාරයකට චීනය කෙවිටි කර පොළඹවා ගැනීම මෙහි අරමුනයි.

අප්‍රේල් 26දා අගමැති හිප්කින්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් රේඩියෝ NZ හි කොරින් ඩෑන් (Corin Dann) “ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනයේ” දක්වා ඇති “වඩාත් ආක්‍රමණශීලී ප්‍රවේශය” ගෙන හැර පෑවේය. “ඔවුන් පවසන්නේ ඔවුන්ට තවදුරටත් ඔවුන්ගේ දුර මත විශ්වාසය තැබිය නොහැකි බවත්, ඔවුන්ට මිසයිල  හා ප්‍රහාරක සබ්මැරීන තිබිය යුතු බවත්ය. අපිට මේ සමග අපහසුතාවයක් නැතිද ?” ඔහු ඇසුවේය.

හිප්කින්ස් පිළිතුරු දුන්නේ ඕස්ට්‍රේලියානු යුද සැලසුම්වලට තමාගේ විරුද්ධත්වයක් නොමැති බවයි. ඔහුගේ ලේබර් ආන්ඩුව ද “මෑත වසරවලදී ඉතා විශාල ආයෝජනයන් සමඟින් අපගේ ගුවන් යානා බලඇණිය වඩාත් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට” තීරණය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. යුක්රේනයේ යුද්ධය ද ඇතුළුව “වඩා උණුසුම් භූ මූලෝපායික පරිසරයක” සන්දර්භයක් තුළ  දී නවසීලන්තයේ සෙසු සන්නද්ධ හමුදාවන්ගේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා සමාන තීරණ ගැනීමට සිදුවනු ඇතැයි ඔහු පැවසීය.  

සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි මූලික සේවාවන් සඳහා වන වියදම් කපා හැර, මැයි 18 අයවැයෙන් , මිලිටරි වියදම්වල තවත් සැලකිය යුතු වැඩි වීමක් කිරීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටින බවට අනතුරු ඇඟවීමක් ලෙස මෙම ප්‍රකාශයන් ගත යුතුය.

සෑම රටකම කම්කරු පන්තිය හා තරුනයින් මුහුන දෙන හදිසි කර්තව්‍යය නම්, තුන්වන ලෝක යුද්ධය දක්වා උමතු තල්ලුව නැවැත්වීමට යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සත්කාරකත්වය දැරූ මෑත කාලීන ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලිය, යුද්ධයට එරෙහි සටන පදනම් විය යුතු සමාජවාදී මූලෝපාය පැහැදිලි කලේය. මෙම වැදගත් සිදුවීමේ දී කරන ලද දේශන නැරඹීමට සහ බෙදා ගැනීමටද, අදම මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීමට අපව සම්බන්ධ කර ගන්නා ලෙසද අපි පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top