පොලී අනුපාත ඉහල දැමීම අවපාතයට සහ රැකියා අහිමිවීම් වලට තර්ජනයක් වන නමුත් ප්‍රධාන බැංකු වල ලාභ ඉහල නංවයි

නික් බීම්ස් විසිනි.

Image

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 18 දින පල වූ Interest rate hikes threaten recession and job losses but boost profits of major banks යන නික් බීම්ස් සහෝදරයා ලියන ලද ලිපියේ සංහල පරිවර්තනය යි. පරිවර්තනය සංජය ජයසේකර විසිනි.

එක්සත් ජනපද ෆෙඩරල් බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීම් මූල්‍ය කැලඹීමට, පාරිභෝගික වියදම්වලට පහර දීමට, අවපාතයක් ඇති කිරීමට තර්ජනය කර මිලියන ගණනක් රැකියාවෙන් ඉවත් කිරීමට, නිවාස ගැනුම්කරුවන්ගේ පිරිවැය වැඩි කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන ප්‍රවාහ වල බලපෑම් නිසා ලොව පුරා දුප්පත් සහ අඩු ආදායම්ලාභී රටවල් මත ණය බර වැඩි කිරීමට හේතු වී තිබේ. 

එහෙත් ඇමරිකානු මූල්‍ය පද්ධතිය මත ආධිපත්‍යය දරන එක්සත් ජනපද ප්‍රධාන බැංකු මුදල් ගසා කයි.

එක්සත් ජනපදයේ විශාලතම බැංකුව වන JP Morgan Chase, පසුගිය සතියේ එහි පළමු කාර්තුවේ ලාභයේ සහ වාර්තාගත ආදායමේ සියයට 52ක වැඩිවීමක් නිවේදනය කලේය.

අනෙකුත් ප්‍රධාන බැංකු, Citigroup සහ Wells Fargo ද ලාභ වැඩිකිරීම් ප්‍රකාශයට පත් කළ අතර, ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීම් වලින් ප්‍රතිලාභ ලබමින්, ඔවුන්ගේ ණය මත පොලී අනුපාත ඉහල දැමීමට ඔවුන්ට හැකි විය.

වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළ පරිදි:

 “බැංකු තුන එක්ව වසරකට පෙර හා සසඳන විට තුනෙන් එකකට වඩා වැඩි ලාභයක්, එනම් ඩොලර් බිලියන 22 කට වඩා වාර්තා කර ඇත. ඒකාබද්ධ ආදායම ඩොලර් බිලියන 80 කට වඩා වැඩි වූ අතර එය වසරකට පෙර පැවති අගයට වඩා සියයට 19 කින් වැඩි විය. බැංකු තුනම කොටස් ඉපැයීම් සහ ආදායම අතින් වෝල් වීදියේ අපේක්ෂාවන් ඉක්මවා ගියේය.”

ජේපී මෝගන් (JP Morgan) හි ශුද්ධ පොලී අනුපාත ආදායම – එය ණය මගින් ලබා ගන්නා ආදායම සහ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු දේ අතර වෙනස – වාර්තාගත ඩොලර් බිලියන 20.71 දක්වා සියයට 49 කින් ඉහල ගියේය.  වෙල්ස් ෆාගෝ (Wells Fargo) හි එය සියයට 45 කින් සහ සිටි ගෲප් හි සියයට 23 කින් ඉහළ ගියේය.

2023 දී, JP Morgan විසින් ශුද්ධ පොලී අනුපාත ආදායමෙන් ඩොලර් බිලියන 81 ක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර එය මාස තුනකට පෙර එහි පුරෝකථනය මත ඩොලර් බිලියන 7 ක වැඩිවීමකි.

ඇමරිකානු බැංකුව (BofA) ද ලාභ ප්‍රසාදයට එකතු වී ඇත.  ඊයේ එය ප්‍රථම කාර්තුව සඳහා ඩොලර් බිලියන 8.2 ක ලාභයක් ප්‍රකාශයට පත් කළ අතර එය සියයට 15 ක වැඩිවීමකි.  සිලිකන් වැලි බැංකුවේ බිඳවැටීම නිසා ඇති වූ මූල්‍ය වෙලඳපොලවල කැලඹීම නිසා පොලී අනුපාත ඉහල යාමෙන් මෙන්ම වෙළඳාමේ වැඩිවීමෙන් ද එය ප්‍රතිලාභ ලැබීය.

එහෙත්, එහි ලාභ පහත වැටීමකට ලක්ව තිබූ වෙලඳපොල අපේක්ෂාවන් අභිබවා ගියද, BofA විසින් ප්‍රධාන වශයෙන් රැකියා ගිවිසුම් අවසන්වීම (attrition) මගින් සාක්ෂාත් කරගනු ඇතැයි පැවසූ එහි ශ්‍රම බලකායෙන් සියයට 2ක් පමණ අඩු කිරීම, වැටුප් ලේඛනයෙන් තනතුරු 4,000ක් පමණ කපා හරින බව නිවේදනය කරමින් තවත් ලාභ බේරා ගැනිමට සැරසේ.

SVB බිඳවැටීමෙන් පසු තැන්පත්කරුවන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බැංකුවලින් ඈත්වීම නිසා ප්‍රධාන බැංකු ද හොඳින් ලාභ ගරා ඇත.

JP Morgan නිවේදනය කළේ මාර්තු කැලඹීමෙන් පසු නව තැන්පතුවලින් ඩොලර් බිලියන 50ක් ලබා ගත් බව වන අතර Citigroup අතිරේක ඩොලර් බිලියන 30ක් ලබා ගත්තේය.

 ප්‍රධාන බැංකුවල ලාභයේ වැඩිවීම ෆෙඩරල් මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමේ කේන්ද්‍රයේ පන්ති-යුධ න්‍යාය පත්‍රය තවදුරටත් අවධාරනය කරයි.

මෙය උද්ධමනයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් ඉදිරියට ගෙන ගොස් ඇත.  නමුත් අවධානය යොමු වන්නේ එක් මිලක්, එනම් වැටුප් මත පමණි.  පවතින උද්ධමනයට ප්‍රතිචාර වශයෙන් කම්කරු පන්තියේ වැටුප් වැඩිවීම මර්දනය කිරීම එහි අරමුනයි.

COVID තුරන් කිරීමට ලොව පුරා ආන්ඩු ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සැපයුම් දාම අර්බුදය හේතුවෙන් උද්ධමනය ආරම්භ වූ පසු පසුගිය වසර දෙක තුළ සැබෑ වැටුප් පහත වැටී ඇත.

එහෙත් ලාභ මායිම් (profit margins) වැඩි වී ඇති අතර, නිව් යෝර්ක් ටයිම්ස් හි වාර්තාවකට අනුව, දැන් වසර 70 කට ආසන්න කාලයක් තුළ ලාභ මායිම් වල ඉහළම මට්ටම්වලට පැමිණ ඇත.  ආර්ථික ප්‍රතිපත්ති ආයතනය විසින් කරන ලද පර්යේෂණයකට අනුව පසුගිය වසරේ සිව්වන කාර්තුවේ මිල ඉහලයාම් වලින් තුනෙන් එකක් පමණ දළ ලාභ ප්‍රමාණය [profit markups. Markup යනු විකුණුම් මිල ලබාගැනීම  සඳහා භාණ්ඩයක පිරිවැය වැඩි කරන ලද ප්‍රතිශතයයි. මෙම ප්‍රතිශතය වැඩි වන තරමට සමාගමක් වැඩි ආදායමක් උපයා ගනී] හේතු වී ඇත.  2021 දී එය ඊට වඩා, එනම් සියයට 13 ක සාමාන්‍ය මට්ටමට සාපේක්ෂව, අඩකට වැඩි විය.

කෙසේ වෙතත්, ප්‍රධාන සංගත විසින් මෙහෙයවනු ලබන මෙම අධික ලාභ ඉපැයීම, උද්ධමනයට එරෙහි ඊනියා සටන පිලිබඳ ෆෙඩරල් සභාපති ජෙරොම් පවෙල් සහ අනෙකුත් නිලධාරීන් විසින් කරන ලද ප්‍රකාශයන් වල සඳහනක් තරම්වත් අගය නොකරයි.

ඒ වෙනුවට, නිල ප්‍රකාශයන්, මාධ්‍ය සම්මන්ත්‍රණවල සහ කොන්ග්‍රස් සභා රැස්වීම්වල ප්‍රකාශයන් “තද” හෝ “ඉතා තද” ශ්‍රම වෙලඳපොලක්, එනම් රැකියා සොයන අයට සාපේක්ෂව රැකියා පුරප්පාඩු අතිරික්ත වීම පිලිබඳව, සහ ශ්‍රම සැපයුම නැවත ඉල්ලුම සමඟ “ගැලපෙන” මට්ටමට ගෙන ඒමේ අවශ්‍යතාවය පිලිබඳ පිරී ඇත.  

ප්‍රායෝගිකව මෙයින් අදහස් කරන්නේ ආර්ථිකය මන්දගාමී කිරීමට, අවපාතයක් ඇති කිරීමට සහ විරැකියාව වැඩි කිරීමට පොලී අනුපාත ඉහල දැමීම යි.  ඇත්ත වශයෙන්ම, ෆෙඩරල් මහ බැංකුවට ප්‍රසිද්ධියේ මෙය එහි ඉලක්කය බව ප්‍රකාශ කළ නොහැක; මෙය “ඇමරිකානු ජනතාවගේ” අවශ්‍යතා සඳහා එය ක්‍රියා කරන බවට එහි ප්‍රකාශයේ ව්‍යාජය හෙලිදරව් කරන අතර සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ මෙවලමක් ලෙස එහි අත්‍යවශ්‍ය පන්ති භූමිකාව හෙලිදරව් කරනු ඇත.

පසුගිය නොවැම්බරයේ මාධ්‍ය හමුවකදී ඔහු කල ප්‍රකාශයක වැටුප් යනු “මිල ඉහල යන්නේ ඇයිද යන්න පිලිබඳ ප්‍රධාන කතාව” නොවන බව ඔහු පිළිගෙන ඇතත්, පවෙල්ට ශ්‍රම වෙලඳපොල කෙරෙහි ලේසර් කදම්බයක බඳු අවධානයක් ඇත.

“කම්කරුවන් සඳහා වන ඉල්ලුම පවතින කම්කරුවන්ගේ සැපයුමට වඩා බොහෝ සෙයින් වැඩි වන අතර නාමික වැටුප් [උද්ධමන අනුපාතයට වඩා බෙහෙවින් අඩු] කාලයත් සමඟ සියයට 2 ක උද්ධමනයට අනුරූප වන ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි වේගයකින් වර්ධනය වෙමින් පවතී” යනුවෙන් ඔහු පසුගිය වසරේ අග භාගයේ කළ කතාවකදී පැවසීය.  

COVID රෝග සහ මරණ සහ දිගු COVID හි පවතින බලපෑම් හේතුවෙන් පවතින ශ්‍රම බලකාය හැකිලී ඇති කොන්දේසි යටතේ [ශ්‍රම] සැපයුම වැඩි කිරීමේ ප්‍රධාන මාධ්‍යය වන්නේ විරැකියාව ඉහළ නැංවීමයි.

තවද මෙය ෆෙඩරල් මහ බැංකුවේ ආර්ථික ප්‍රක්ෂේපනවල පදනම සාදයි, එය මේ වසර පුරාවට විරැකියා අනුපාතිකයේ ප්‍රතිශත ලක්ෂ්‍යයක වැඩිවීමක් හෝ රැකියා මිලියන 2ක් තරම් අහිමිවීමක් පුරෝකථනය කරයි.  එහෙත් විචාරකයින් ගණනාවක් පෙන්වා දී ඇති පරිදි, රැකියා විරහිත මට්ටමේ ප්‍රතිශත ලක්ෂ්‍යයක් ඉහළ යාම එතැනින් නොනැවතී, තවදුරටත් රැකියා අහිමි වීමට තුඩු දෙන ප්‍රවාහ බලපෑමක් ඇති කරයි.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවකට අනුව, ක්ලීව්ලන්ඩ් ෆෙඩරල් බැංකුවේ කාර්ය මණ්ඩල ආර්ථික විද්‍යාඥයන් ජනවාරි මාසයේ දී පත්‍රිකාවක් පළ කළ අතර එහි 2025 අග භාගය වන විට සියයට 2ක උද්ධමනය කරා ළඟා වීමට රැකියා විරහිත අනුපාතය දෙගුණයක් කිරීම සමඟ “ගැඹුරු අවපාතයක්” අවශ්‍ය වනු ඇතැයි ඔවුහු පැවසූහ.

1980 ගනන්වල පොලී අනුපාත ඉහල දැමූ හිටපු ෆෙඩරල් සභාපති පෝල් වොල්කර් ගැන පවෙල් බොහෝ අවස්ථාවන්හිදී ඔහුගේ ප්‍රසාදය පළ කර ඇත.  1981 දී ගුවන් ගමනාගමන පාලකයින් (Air traffic controllers) විශාල වශයෙන් නෙරපා හැරීමෙන් ආරම්භ වූ රේගන් යටතේ දියත් කරන ලද පන්ති යුද්ධයක කොටසක් ලෙස මෙය මහා අවපාතයේ (Great Depression) සිට නොදුටු මට්ටම් දක්වා විරැකියාව ඉහල නැංවීය.

වැඩෙන වැටුප් ව්‍යාපාරය මැඩපැවැත්වීම සඳහා දිවා රෑ වැඩ කරන වෘත්තීය සමිති නිලධරයන් හරහා බලාත්මක කරන ලද කම්කරු පන්තියට එල්ල කෙරෙන ගැඹුරු වන ප්‍රහාර හා බැංකු ලාභයේ වැඩිවීම එකම කාසියක දෙපැත්තකි.

එහෙත් ධනේශ්වර ආර්ථිකයේ සැබෑ ස්වභාවය තව තවත් පැහැදිලිව හෙලිදරව් වන විට, ඊනියා “වාම” සහ ලිබරල් බලවේග කම්කරු පන්තියේ ඇස්වලට වැලි ගැසීමට ක්‍රියා කරයි.

නියම උදාහරණයක් නම්, නිව් යෝර්ක් ෆෙඩරල් සංචිතයේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සහ දැන් රැකියා නියුක්තිය උපරිම කිරීම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන Employ America හි විධායක අධ්‍යක්ෂ ස්කන්ධ අමර්නාත් විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වන ලද නිව් යෝක් ටයිම්ස් හි ලිපියකි.

උද්ධමනයට එරෙහි සටනේ දී රැකියා සහ වැටුප් වර්ධනය සීමා කිරීම “පරිකල්පනයේ අසාර්ථක වීමක්” ලෙස දකින අය “හරියටම හරි” බව ඔහු පැවසීය.

එහෙත් ෆෙඩරල් ප්‍රතිපත්තිය අසාර්ථක මානසිකත්වයක ප්‍රතිඵලයක් හෝ තත්ත්වය පිළිබඳ යම් ආකාරයක වැරදි කියවීමක ප්‍රතිඵලයක් නොවේ.  එය ධනේශ්වර පද්ධතියේ ගැඹුරුවන අර්බුදයේ පිරිවැය කම්කරු පන්තිය මත පැටවීමට දැනුවත්ව මෙහෙයවන ලද සහ නිර්දය වැඩපිලිවෙලකි.

ධනේශ්වර පාලක පන්තියේ නියෝජිතායතනවලට ඔවුන්ගේ පරිකල්පනය වඩා හොඳින් භාවිතා කරන ලෙස කරන ආයාචනා මගින් එය පරාජය කළ නොහැක; එය පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ අවශ්‍යතා ප්‍රකාශ කරන වැඩපිලිවෙලක් ඉහල සවිඥානිකත්වයකින්  වර්ධනය කිරීම තුලින් පමනි.  එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් අප්‍රේල් 30 මැයි දින සැමරුමේ කේන්ද්‍රය වශයෙන් විස්තාරනය කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් වර්ධනය කිරීමයි. (අවධාරනයන් පරිවර්තකගෙනි)

#theSocialistLK #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top