බැංකු බිඳවැටීම් සහ ගෝලීය මූල්‍ය අර්බුදය: පදනම් සහ ඇඟවීම්

Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව

Image

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂන පුලුල් ලෙස පාදක කරගනිමින් මෙම වාර්තාව සම්පාදනය කලේ සංජය ජයසේකර විසිනි. මෙම වාර්තාව විශේෂයෙන් පසුගිය සති කිහිපය තුල ලෝක මූල්‍ය පද්ධතියේ බරපතල අර්බුදය පුපුරා ගිය බැංකු බිඳවැටීම් පිලිබඳ අවධානය යොමු කරයි. 

බැංකු බිඳවැටීම් සහ ගෝලීය මූල්‍ය අර්බුදය: පදනම් සහ ඇඟවීම් 

මාර්තු මුල එක්සත් ජනපදයේ ⁣සිල්වර්ගේට් බැංකුව (Silvergate bank) ස්වයං-ඈවරකිරීමකට ගමන් කිරීමෙන් ආරම්භ වී මාසයේ මැද සිලිකන් වැලි බැංකුව  (Silicon Valley Bank-SVB) කඩා වැටීමත්, ෆස්ට් සිටිසන් බැංකුව (First Citizen Bank) මගින් එය අත්පත් කරගැනීමටත් පසුව, ලොව පුරා බැංකු හා මූල්‍ය පද්ධතිය යටින් ඛාදනය කරමින් පැවති අර්බුදය පුපුරා ගොස් මූල්‍ය සුනාමියක් බවට පත්වීමේ නිමිති පල කලේ ය. SVB බිඳ වැටීමෙන් පසුව ඇතිවූ මෙම කැලඹ්ම මූල්‍ය පද්ධතිය කොතරම් විනිවිද ගියේද යත් එක්සත් ජනපදයේ තුන්වන විශාලතම බැංකුව  වන සිග්නේචර් බැංකුව (Signature Bank) ෆෙඩරල් තැන්පතු රක්ෂන සංස්ථාව (FDIC) මගින් අත්පත් කරගැනීමට සිදු වූ අතර ෆස්ට් රිපබ්ලික් බැංකුව (First Republic Bank) කඩා වැටීමේ අද්දරට ගමන් කලේ ය. එය ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ආක්‍රමනය කර ඇති බව සංකේතවත් කරමින් ස්විස්සර්ලන්තයේ  ගෝලීය බැංකුවක් වන ක්‍රෙඩිට් සූස් (Credit Suisse Bank) ද බිඳ වැටෙද්දී හදිසි අවස්ථා නීති ක්‍රියාත්මක කෙරුනු අතර එහි තරඟකාරී බැංකුවක් වන UBS බැංකුව (ස්විට්සර්ලන්තයේ සූරිච්හි මූලස්ථානය පිහිටි බහුජාතික මූල්‍ය ආයතනයක්. පූර්වයෙන් Union Bank of Switzerland ) බලහතකාරයෙන්ම මැදිහත් වී එය අත්පත් කර ගත්තේ ය.

ෆස්ට් රිපබ්ලික් බැංකුව අනතුරේ 

මාසයේ දෙවන සතියේදී, භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්ගේ සහයෝගීතාවයෙන් JP Morgan Chase හි ප්‍රධාන විධායක නිලධාරී Jamie Dimon ගේ නායකත්වය යටතේ, ප්‍රධාන බැංකු 11 ක සමුහයක්, පන අදින  ෆස්ට් රිපබලික් බැංකුවේ ඩොලර් බිලියන 30ක් තැන්පත් කළේය.  මෙම විශ්වාසනීයතවය පිලිබඳ සංදර්ශනය තැන්පත්කරුවන්ගේ මුදල් පිටතට ගලායාම නවතා, එහි කොටස් මිල මත පීඩනය ලිහිල් කර එය ස්ථාවර කරනු ඇතැයි බලාපොරොත්තු විය.

දින කිහිපයකින් මෙහෙයුම සම්පූර්ණ අසාර්ථක බව හෙළි වී ඇත.  මුදල් පිටතට ගලායාම තරමක් මන්දගාමී වී ඇති බව වාර්තා වන නමුත්, ෆස්ට් රිපබ්ලික් බැංකුව වසර ආරම්භයේ පැවති මුළු ඩොලර් බිලියන 176න් ඩොලර් බිලියන 70ක් අහිමි කරගෙන ඇත.එසේම,මුදල් එන්නත් කළද, සමාගමේ කොටස් අඛණ්ඩව පහත වැටී ඇත.

SVB හි අසාර්ථකත්වය සහ ෆස්ට් රිපබලික් බැංකුවේ ගැඹුරු වන ගැටළු එක්සත් ජනපද මූල්‍ය පද්ධතියේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බැංකු වල භූමිකාව සහ පද්ධතිමය අර්බුදයක් ඇති කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කර ඇත.

2008 අර්බුදයෙන් පසුව හඳුන්වා දුන් සීමිත නියාමන පියවර, “අසාර්ථක නොවීමට තරම් විශාල” ලෙස සංලක්ෂිත විශාල බැංකු කෙරෙහි අවධානය යොමු කළේය.  2018 දී, කොන්ග්‍රසය බොහෝ මධ්‍යම ප්‍රමාණයේ බැංකු අධීක්ෂණයෙන් ඉවත් කළේ සමහර රෙගුලාසි අදාළ විය යුත්තේ ඩොලර් බිලියන 250 සහ ඊට වැඩි වත්කම් ඇති බැංකුවලට පමණක් බව කියමිනි. මෙය කලින් නියම කර තිබූ ඩොලර් බිලියන 50 ට සාපේක්ෂව සැලකිය යුතුය.

ෆෙඩරල් බැංකුව ‘අතිශය ලාභ මුදල්’ පිළිබඳ ප්‍රතිපත්තිය දිගටම කරගෙන යන තාක් කල් මෙය විශාල අනතුරක් සිදු කළේ නැත.  එහෙත් පසුගිය වසර පුරා ෆෙඩරල් මහ බැංකුව විසින් ආරම්භ කරන ලද පොලී අනුපාත ඉහල දැමීම් සමඟ තත්වය තියුනු ලෙස මාරු වී ඇති අතර, එහි මූලික අනුපාතය බිංදුවට ආසන්නයේ සිට සියයට 4.5 දක්වා ඉහල නංවා ඇත.

මෙයින් අදහස් වී ඇත්තේ කලාපීය ප්‍රදේශවල සහ ආර්ථිකයේ ප්‍රධාන අංශවල සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන මෙම බැංකු සතු වත්කම්වල (එක්සත් ජනපදයේ බැංකු 4000 ක් පමණ ඇත)  වෙළඳපල වටිනාකමේ පහත වැටීමකට ලක්ව ඇති අතර ඒවා  බැංකු ශේෂ පත්‍රවල සටහන් කර ඇති පොත් වටිනාකමට වඩා හුඟාක් පහළින් පවතින බවයි.

මෙය භාණ්ඩාගාර බැඳුම්කර සහ අනෙකුත් මූල්‍ය වත්කම් සඳහා පමණක් නොව, පොලී අනුපාත ඉහළ යාමත් සමඟ ඒවායේ වටිනාකම පහත වැටෙන අතර, වාණිජ දේපළ වෙළඳාම් වැනි අනෙකුත් පොලී අනුපාත සංවේදී වත්කම් සඳහා ද අදාළ වේ.

වෙළඳපල වටිනාකම සහ පොත් වටිනාකම අතර අපසරනය මුදල් ගලා යන තාක් ප්‍රශ්නයක් ඇති නොකරයි. නමුත් එය SVB සඳහා මෙන් අනෙක් පැත්තට යාමට පටන් ගන්නේ නම්, වත්කම් විකුණන විට එම පාඩු හඳුනාගත යුතුය.  මුදල් පිටතට ගලායාම ආවරණය කරයි.

මෙම තත්වය, 2008 අර්බුදයට මුල පිරූ සබ්ප්‍රයිම් (subprime loan යනු ප්‍රාථමික අනුපාත ණය සඳහා සුදුසුකම් නොලබන පුද්ගලයන්ට ප්‍රථමික අගයට වඩා වැඩි අනුපාතයකට ලබා දෙන ණයකි) ණය සම්බන්ධයෙන් වර්ධනය වූ තත්ත්වය සිහිපත් කරයි.  2007 දී ගැටළු මුලින්ම මතු වූ විට, ෆෙඩරල් සභාපති බෙන් බර්නාන්කේ පැවසුවේ, සමස්ත මූල්‍ය පද්ධතියට සාපේක්ෂව සබිප්‍රයිම් වෙලඳපොල ඉතා කුඩා බැවින් ඒවා පැතිරෙන්නේ නැති බවයි.

වත්මන් අර්බුදයේ තත්වයන් සබ්ප්‍රයිම් තත්වයන්ට වඩා බෙහෙවින් වෙනස් ය.  එහෙත් පද්ධතියේ වැඩි බලපෑමක් නොකරන ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිව තිබූ තැනක අර්බුදයක් පුළුල් ඇඟවුම් ඇතිකරන බව පෙන්නුම් කිරීමෙහි සාම්‍යතාවයක් තිබේ.  තවද යම් ආකාරයකින් වත්මන් අර්බුදය සබිප්‍රයිම් ණය සමග පුපුරා ගිය අර්බුදයට වඩා බරපතල ය.

බැදුම්කර පැකේජ සෑදීමට කපා කොටා කැට කපා ආයෝජකයින්ට විකුණා දැමූ සබ්ප්‍රයිම් උකස් සාරය වශයෙන් සමපේක්ෂන වත්කම් විය.

අද අර්බුදය පැන නගින්නේ ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීම නිසා අගය පහත වැටී ඇති භාණ්ඩාගාර බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත්වල බොහෝ මධ්‍යම ප්‍රමාණයේ බැංකු විශාල වශයෙන් ආයෝජනය කර තිබීමයි. මෙම බැඳුම්කර හා සුරැකුම්පත් සියල්ලටම වඩා ආරක්ෂිත වත්කම් ලෙස සැලකෙයි. 

රක්ෂණයෙන් ස්වයංක්‍රීයව ආවරණය වන ඩොලර් 250,000 සීමාවෙන් ඔබ්බට ගිය SVB හි ධනවත් පුද්ගලයින්ගේ මුදල් සහතික කිරීමට මූල්‍ය නියාමකයින් “පද්ධතිමය අවදානම” පිලිබඳ අනතුර කැඳවීමට හේතු වූයේ මෙයයි.

දැන් ප්‍රශ්නය වන්නේ: මෙම ක්‍රියාමාර්ග කොපමණ දුරකට දීර්ඝ වේද?  බැංකු පද්ධතිය පුරා ඇති සියලුම තැන්පතු දැන් ආරකෂිත කර තිබේද?  ෆෙඩරල් බැංකුව සිය පොලී අනුපාතිකය දිගටම ඉහළ දැමුව හොත් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බැංකු බොහොමයක ගිනුම් පොත්වල ඇති භාණ්ඩාගාර බැඳුම්කර සහ අනෙකුත් මූල්‍ය වත්කම්වල වටිනාකමට කුමක් සිදුවේද?  අනුපාත ඉහල දැමීමේ චක්‍රයේ විරාමයක් ඇතිකරනු ලැබී නම්, උද්ධමනයට එරෙහිව ෆෙඩරල් මහ බැංකුවේ ඊනියා “සටන” සඳහා මෙයින් කුමක් අදහස් කරන්නේ ද? 

පාලක පන්තිය මූල්‍ය පද්ධතිය රැකීම සඳහා සැලසුම් කරයි

පසුගිය දින කීපය තරමක නැහැඬියාවක් දැකිය හැකි විය. පෙර සතියේ තියුනු පහත වැටීමෙන් පසු ඩොයිෂ් බැංකුවේ කොටස් ඉහළ ගිය අතර ෆස්ට් සිටිසන් බැංකුව (First Citizen Bank) මගින් සිලිකන් වැලි බැංකුව අත්පත් කර ගත්තේය.

“පද්ධතිමය අවදානම” පහකිරීම සඳහා යැයි යන ආවරනය සහිතව “අවශ්‍ය ඕනෑම දෙයක්” කිරීමට ප්‍රතිඥා දී ඇති ජෝ බයිඩන් පරිපාලනයේ පූර්න පිටුබලය ඇතිව ෆෙඩරල් මහ බැංකුව සහ FDIC ඔවුන්ගේ ක්‍රියාවන් – එනම් SVB හි ධනවත් අනාරක්ෂිත තැන්පත්කරුවන් සඳහා පූර්ණ ආවරණය මෙන්ම බැංකු සඳහා ද්‍රවශීලතා ප්‍රතිපාදන වැඩි කිරීම – යුක්තිසහගත කර ඇත.

එයින් අදහස් වන්නේ 2008 කඩාවැටීමෙන් පසු හඳුන්වා දුන්, ප්‍රධාන වශයෙන් ඩොඩ්-ෆ්‍රෑන්ක් පනතේ අන්තර්ගත කර ඇති, සියලුම රෙගුලාසි සහ පියවර, ඒවා ලියා ඇති කඩදාසි තරමි වත් වටින්නේ නැති බවයි.

ෆෙඩරල් මහ බැංකුව, FDIC සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් අතර රැස්වීම් අතරතුර, SVB හි බොහෝ සේවාදායක පදනම පිහිටුවා ගත් ව්‍යාපාර ධනපතියන්, දැඩි ලෙස මැදිහත් වී තම වාසිය තහවරු කර ගත්හ.

දශක හතරක ඉහළම උද්ධමන අනුපාතිකයට ප්‍රතිචාර වශයෙන් කම්කරු පන්තියේ වැටුප් වැඩිවීම අඩු කිරීමට උත්සාහ කරන විට, පසුගිය වසර පුරා ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතිකය ඉහළ යාම මගින් උත්ගත කර ඇති අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක් මගින් SVB බිඳවැටීම අවුලුවා ඇත.

තාක්‍ෂණ අංශය, විශේෂයෙන්ම ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම් විසින් ආරම්භක ව්‍යාපාර සඳහා මුල්‍ය සම්පාදනය කිරීම සම්බන්ධ වඩාත්ම සමපේක්ෂන ක්ෂේත්‍රවල, නව ව්‍යාපෘති සඳහා මුදල් ගලා ඒම සිඳී යාමෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත.  මෙම ක්‍රියාවලියේ ප්‍රධාන වාහකයක් වන SVB වෙත මීට පෙර වත් කළ මුදල් ආපසු ගැනීමට මෙය හේතු විය.

SVB විසින් 2020 සහ 2021 වසරවල ෆෙඩරල් බැංකුව නොමිලේම වාගේ සපයන විට ලැබුණු මුදල් භාණ්ඩාගාර බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත් වෙත ආයෝජනය කර තිබිනි.  කෙසේ වෙතත්, පොලී අනුපාත ඉහළ දැමීම් නිසා මෙම මූල්‍ය වත්කම්වල වෙළඳපල වටිනාකම ඒවායේ ගිනුම් පොත් වටිනාකමට වඩා පහත වැටුනු අතර, මුදල් පිටතට යෑම සැපිරීම සඳහා ඒවා විකිණීමට යාමේදී SVB පාඩු ලැබීය.

නව කොටස් නිකුතුවක් සමඟින් සිය ප්‍රාග්ධන පදනම ශක්තිමත් කිරීමට SVB ගත් පියවරක් අසාර්ථක වූ විට FDIC මැදිහත් විය.

අනුමාන කල හැකි වන්නේ, වෙලඳපොලේ අනෙකුත් කොටස් විසින් ද විශ්වාස කරන ලද පරිදි, ෆෙඩරල් මහ බැංකුවට පොලී  අනුපාත අඩු කිරීමට පටන් ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව, SVB භාන්ඩාගාර බැඳුම්කර මත යැපීම සහ එහි ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීමට අසමත් වීම එහි බිඳවැටීමට සැලකිය යුතු සාධකයක් විය.

නමුත් SVB සම්බන්ධ කාරනය, එහි සුවිශේෂතා නොතකා, භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම පහත වැටීමත් සමඟ තත්වය නරක අතට හැරී ඇති අනෙකුත් බැංකු කෙරෙහි අවධානය යොමු කර ඇත.

SVB බිඳ වැටීම එක්සත් ජනපද මූල්‍ය පද්ධතියේ ගැඹුරු අර්බුද හෙලි කරයි

SVB හි අභාවය හේතුවෙන්, තැන්පත්කරුවන් සිග්නේචර් බැංකුව වෙතින් ඩොලර් බිලියන 10 ක් ඉවත් කර ගත් අතර, එය පවරා ගැනීමට හේතු විය. SVB වෙතින්  වෛරසය අනෙක් බැංකු වෙත බෝවීමට වැඩි කල් ගත්තේ නැත. 

SVB පිලිබඳව ගනු ලැබූ පියවරයන් සම්බන්ධයෙන් මූල්‍ය වෙලඳපොලේ විවිධ මත පවතී

Citadel හෙජ් අරමුදල හි නිර්මාතෘ සහ “නිදහස් වෙලඳපොලවල්” පිලිබඳ දැඩි උපදේශකයෙකු වන Ken Griffin, Financial Times වෙත පැවසුවේ, අනාරක්ෂිත තැන්පත්කරුවන් ගලවා ගැනීම සිදු නොවිය යුතු බවයි.

“එක්සත් ජනපදය ධනේශ්වර ආර්ථිකයක්ය යන්න අපගේ විශ්වාසයයි, එය අපේ ඇස් ඉදිරිපිට බිඳ වැටෙමින් තිබේ,” ඔහු පැවසීය.  තැන්පතුකරුවන්ට සිදුවූ පාඩු අවම වනු ඇති අතර “අවදානම කළමනාකරණය අත්‍යවශ්‍ය බව ඒත්තු ගැන්වී ඇත”.

ප්‍රමුඛ හෙජ් අරමුදල් කළමනාකරු බිල් ඇක්මන් ඇතුළු තවත් අයට සම්පූර්ණයෙන්ම විරුද්ධ ආස්ථානයක් ඇත.  “අපගේ ප්‍රජාව සහ කලාපීය බැංකු පද්ධතිය නොමැතිව අපගේ ආර්ථිකය ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවනු ඇත” යනුවෙන් ට්වීට් කරමින් ඇක්මන් ප්‍රධාන මැදිහත්වීමක් ඉල්ලා සිටියේය.

ප්‍රධාන විශ්ව විද්‍යාල පහක ආර්ථික විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව සහ “එක්සත් ජනපද බැංකු පද්ධතිය ඔබ සිතනවාට වඩා බිඳෙන සුළුය” යන මාතෘකාව යටතේ එය FT විසින් වාර්තා කරන ලද පරිදි SVB හි ඇති වූ ගැටළු පුළුල් පරිමාණයෙන් පවතී.

පොලී අනුපාත ඉහළ යාමත් සමඟ, “එක්සත් ජනපද බැංකු පද්ධතියේ වත්කම්වල වෙළඳපල වටිනාකම ඔවුන්ගේ වත්කම්වල පොත් වටිනාකමෙන් යෝජනා කර ඇති ප්‍රමාණයට වඩා ඩොලර් ට්‍රිලියන 2ක් අඩු” බව අධ්‍යයනයෙන් සොයා ගන්නා ලදී.

අධ්‍යයනය  සඳහන් කරන්නේ SVB හි අසාර්ථකත්වය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ආදර්ශයක් සපයන්නේ “බැංකුවලින් සියයට 10 කට SVB හි ඇති පාඩුවලට වඩා විශාල හඳුනා නොගත් පාඩු ඇති බැවිනි.  එසේම SVB නරකම ප්‍රාග්ධනීකරණය වූ බැංකුව නොවේ, සියයට 10ක් SVB ට වඩා අඩු ප්‍රාග්ධනීකරණයක් ඇත.”

එය තවදුරටත් මෙසේ සඳහන් කරයි:  “රක්ෂනය නොකල තැන්පතුකරුවන්ගෙන් අඩක් පමණක් මුදල් ආපසු ගැනීමට තීරණය කළත්, බැංකු 190කට ආසන්න සංඛ්‍යාවක රක්ෂිත තැන්පතුකරුවන්ට හානිවීමේ අවදානමක් පවතී. එනම් රක්‍ෂිත තැන්පතු ඩොලර් බිලියන 300ක් අවදානමේ පවතී.  රක්ෂනය නොකල තැන්පතු ආපසු ගැනීම් මගින් කුඩා ප්‍රමානයේ වත්කම් විකිනීමක් දෙසට තල්ලු කෙරෙනු ලැබූවත්, සැලකිය යුතු තරම් බැංකු ගනනක් අවදානමට ලක් වේ.

“සමස්තයක් වශයෙන්, මෙම ගනන් බැලීම්වලින් පෙනී යන්නේ බැංකු වත්කම්වල මෑතකාලීන පහත වැටීම් එක්සත් ජනපද බැංකු පද්ධතියේ අස්ථාවරත්වය සැලකිය යුතු ලෙස වැඩ් කරන රක්ෂනය නොකල තැන්පතුකරුවන්ගේ  බැංකු ධාවනවලට (bank run) මග පාදන බව යි..”

SVB යනු රජයේ බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත් මත දැඩි ලෙස රඳා පැවතීම හා එහි වටිනාකම් අහිමි වීමෙන් ආරක්ෂා (hedging) නොකිරීම නිසා සුවිශෙෂී අවස්ථාවක් ලෙස විස්තර කර ඇත.

නමුත් එම කාරනා නොතකා, අධ්‍යයනය මගින් ප්‍රධාන පරිවර්ථනයක් පිළිබඳව වාර්තා කලේය: 

“මෑතදී වත්කම් පහත වැටීමට පෙර සියලුම එක්සත් ජනපද බැංකු ධනාත්මක බැංකු ප්‍රාග්ධනීකරණයක් අත්කර ගත්හ.  කෙසේ වෙතත්, මෑතදී බැංකු වත්කම්වල වටිනාකම අඩු වීමෙන් පසුව, සමස්ත වත්කම් ඩොලර් ට්‍රිලියන 11ක් වන බැංකු 2,315ක සෘණ ප්‍රාග්ධනීකරණයක් ඇත.

මෙයින් අදහස් කරන්නේ මෙම බැංකු ගෙවිය යුතු අවසාන ශේෂය සමාගමේ ප්‍රාග්ධන තොගයට වඩා වැඩි බවයි; එනම් බංකොලොත් වීමේ අවදානම වැඩි වී ඇති බවයි.

පොලී අනුපාත ඉහළ යාමෙන් පීඩාවට පත්වන එකම වත්කම රජයේ බැඳුම්කර පමනක් නොවේ.  COVID වසංගතය හේතුවෙන් කාර්යාල අවකාශය සඳහා ඇති ඉල්ලුම අඩුවීම සහ නිවසේ සිට වැඩ කිරීම් වැඩි වීම හේතුවෙන් නිශ්චල දේපල, විශේෂයෙන්ම වාණිජ නිශ්චල දේපලවලට ඇති ඉල්ලුම අඩුවීම බැංකු පද්ධතියේ කැලඹී⁣මට හේතු වියහැකි කරුනු බවට පත් වී තිබේ.

ෆෙඩරල් මහ බැංකුවේ කේන්ද්‍රීය ප්‍රතිපත්තිය වී ඇත්තේ “උද්ධමනයට එරෙහිව සටන් කිරීමේ” නාමයෙන් පොලී අනුපාත ඉහළ නැංවීමයි.  නමුත් මෙම අරමුන, SVB බිඳවැටීම ඉතා ප්‍රස්ථාරිකව හෙළිදරව් කර ඇති පරිදි, විශාල මූල්‍ය අර්බුදයක් ආරම්භ කිරීමේ තර්ජනය මතු කරයි.

මාර්තු 24න් ඇරඹි සතිය තුල පැවතියේ තරමක නිහැඬියවකි. එහෙත් එයට යටින් පවතින මූල්‍ය පද්ධතියේ ව්‍යුහාත්මක අස්ථාවරත්වයේ ගැඹුරු මූලාශ්‍ර සලකා බලන විට මෙම සාමය කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න මතු කල යුතු ප්‍රශ්නය කි.

මෙම කැලඹීම් සහගත තත්වයට ආසන්නතම හේතුව වන්නේ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයට සහ 2020 මාර්තු වෙලඳපොල කැටි ගැසීමට (market freeze) ප්‍රතිචාර වශයෙන් ගත් ෆෙඩරල් මහ බැංකුවේ ක්‍රියාය. එනම්, ෆෙඩරල්  බැංකුව සම්පූර්ණ දියවීමක් වැලැක්වීම සඳහා මූල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන ගනනක් පොම්ප කිරීම ය.

ඉතාමත් අසීරුවෙන් එය මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගත්තේ උවත්,  එහි ක්‍රියාවන් නව ආකාරයකින් යටින් පවතින අර්බුදය පුපුරා යාම සඳහා කොන්දේසි නිර්මානය කළේය.

ෆෙඩරල් මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් විසින් SVB සිද්ධිය (සාමාන්‍ය තත්වයෙන්) “පිටස්තර” ලෙස සංලක්ෂිත කර ඇති අතර, ෆෙඩරල් උප සභාපති මයිකල් බාර් එහි ගැටලු දුර්වල කළමනාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඊයේ කොන්ග්‍රසයට සාක්ෂි දෙමින් නිරූපණය කිරීමට උත්සාහ කළත්, එහි අභාවය මූල්‍ය පද්ධතියේ ගැඹුරු වන ගැටලුවල ප්‍රකාශනයයි.  මෙම ගැටලු 2008 සිට 2022 දක්වා පැවති අතිශය ලාභ මුදල් රෙජීමය අවසන් කිරීම මගින් හෙලිදරව් වෙමින් තිබේ.

මෙසේ මුදල් නොමිලයේ ලබා ගත හැකි වූ විට, SVB එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර සහ ආරක්ෂිත යැයි කියනු ලබන වෙනත් වත්කම් මත ගිලී ගියේය.  නමුත්,  කලින් සඳහන් කල පරිදි, පසුගිය වසර පුරා ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාත ඉහල දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ඒවායේ වෙළඳපල වටිනාකම ඔවුන්ගේ ගිනුම් පොත් වටිනාකමට වඩා පහත වැටුනි.  මෙයින් අදහස් කළේ තැන්පත්කරුවන් මුදල් ඉල්ලා සිටීමේ දී මුදල් සපුරාලීම සඳහා ඒවා විකිණීමට සිදු වූ විට සැබෑ ලෙසම පාඩු ලැබීමයි.

බැංකුවල මිල වැටුනු බැදුම්කරවලට ෆෙඩරල් බැංකුව ගිනුම් පොතේ මිලට ණය දෙයි

එක්සත් ජනපද ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ සාමූහිකව ප්‍රධාන භූමිකාවක් ඉටු කරන මධ්‍යම ප්‍රමාණයේ බැංකු රැසක තත්ත්වය නරක අතට හැරීමේ තියුනුම ප්‍රකාශනය SVB අර්බුදය බව හඳුනා ගනිමින්, ෆෙඩරල් බැංකුව මාර්තු මුල නව ණය පහසුකමක් ආරම්භ කළේය.  

එමගින් බැංකුවලට තම භාණ්ඩාගාර බැඳුම්කරවල වෙළෙඳපොළ වටිනාකමට නොව පොත් වටිනාකමට අනුව ණයක් ලබා ගැනීමට හැකි වූ අතර, මුදල් සඳහා තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා පාඩුවකට විකිණීමේ අවශ්‍යතාවය මග හැරී ගියේය.

ෆෙඩරල් බැංකු දත්ත වලට අනුව, මෙම පහසුකම බහුලව භාවිතා වී ඇත.  පසුගිය සතියේ බැංකු විසින් මුළු ඩොලර් බිලියන 163.9ක් ණයට ගත් අතර, මෙය සතියකට පෙර මෙම බැංකු ලබාගත් ඩොලර් බිලියන 164.8 ට වඩා මඳක් පහත අගයකි.

මෙම ණය ගැනීම සාමාන්‍යයෙන් සතිපතා ඩොලර් බිලියන 10ක පමණ ණය ගැනීම්වලට සාපේක්ෂව ඉතා ඉහල අගයක් බව පැහැදිලිය.

නමුත් පෙනෙන විදිහට මෙම ක්‍රියාමාර්ග පවා ප්‍රමාණවත් නොවන අතර, Bloomberg හි වාර්තාවකට අනුව ෆෙඩරල් බැංකුව ඒවා පුළුල් කිරීමට ක්‍රම සොයමින් සිටී.

මේ අතර වඩාත් අවධානය යොමු වූයේ SVB සහ අසාර්ථක වූ සිග්නේචර් බැංකුව යන මාර්ගයේම යාමේ අනතුරට ලක්ව ඇති ෆස්ට් රිපබ්ලික් බැංකුවේ ඉරණමයි.  මෙම බැංකුව ගලවා ගැනීමේ පියවරක් ලෙස පසුගිය සතියේ JP Morgan ප්‍රධාන විධායක Jamie Dimon සහ භාණ්ඩාගාර ලේකම් Janet Yellen විසින් සංවිධානය කරන ලද ප්‍රධාන බැංකු 11ක් සම්බන්ධ වූ මෙහෙයුමකදී ඩොලර් බිලියන 30ක් එහි තැන්පත් කෙරුනි.  පළමු ජනරජයේ කොටස් මාර්තු මාසයේ සියයට 90කට වඩා පහත වැටුනි.

විශේෂිත බැංකුවක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොදෙන බැවින්, ෆෙඩරල් මහ බැංකුවට නව පහසුකම සැමට ලබා ගත හැකි ලෙස සකස් කළ අතර, කෙසේවෙතත්, එය ෆස්ට් රිපබ්ලික් බැංකුවට ප්‍රතිලාභ ලැබිය හැකි ආකාරයෙන් සකස් කර ඇත.

බැංකුවල ද්‍රවශීලතාවයේ (liquidity) සහ නුබුන්වත්බවේ (solvency) ගැටළු මෙන්ම, ගැඹුරු වන අර්බුදය ඩොලර් ට්‍රිලියන 22 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙලඳපොලේ වියවුල් ඇති කරයි.

පසුගිය සති දෙක තුළ වසර දෙකක භාණ්ඩාගාර නෝට්ටුවේ ආදායම සෑම දිනකම සියයට 0.3 සිට 0.7 දක්වා පරාසයක වෙනස් වී ඇත.  ඊනියා “සාමාන්‍ය” තත්වයන් යටතේ දෛනික වෙනස් විම් මෙම ප්‍රමාණයෙන් කුඩා කොටසකි.

අර්බුදයේ ක්ෂනික ස්වරූපය මුල්බැස ඇත්තේ පෙර පැවති ආන්ඩු සහ ෆෙඩරල් මහ බැංකුවේ ඇපදීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තුලය යන කාරනය නොසලකා හැරීමට නොහැකි වෙමින් තිබේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් (FT) පත්‍රයට ලියමින්, Rockefeller International හි සභාපති වන මූල්‍ය විශ්ලේෂක රුචිර් ෂර්මා පැවසුවේ, දේශපාලනික වශයෙන් ආන්ඩුවලට ඇපදීම සංවිධානය නොකර සිටීමට නොහැකි නමුත්, එය “හෙනයක්” කරගත්තේ ඔවුන්ම බවයි.

“පසුගිය දශක කිහිපයේ පහසු මුදල් මගින් විශාල වෙලඳපොලවල් නිර්මාණය කරන ලදී එය ලෝක ආර්ථිකයට වඩා පස් ගුණයකින් විශාල විය. මෙය කෙතරම් අන්තර් සම්බන්ධිත වී ද යත්, මධ්‍යම ප්‍රමාණයේ බැංකුවක පවා අසාර්ථකත්වය මූල්‍ය අවදානම ගෝලීයව බෝකිරීමේ හැකියාව ඇති කරයි.”

2008 අර්බුදයෙන් පසුව ආරම්භ කරන ලද එහි ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන සඳහා ෆෙඩරල් බැංකුව විසින් ඉදිරිපත් කරන ලද එක් සාධාරණීකරණයක්වූයේ එය යටින් පවතින සැබෑ ආර්ථිකයට උත්තේජනයක් ලබා දෙනු ඇත යන්නයි. සැබවින්ම එහි අරමුන වූයේ වෙනත් එකකි. එනම් එය නොමිලයේ මෙන් සැපසූ මුදල් සමඟ සමපේක්ෂනය දිගටම කරගෙන යාමට හැකි කිරීමයි. 

සැබෑ ආර්ථිකයට උත්තේජනයක් සැපයීම පිලිබඳ ප්‍රභන්ධය ප්‍රතික්⁣ෂේප  කිරීමට ෂර්මා ගනන් හිලව් ඉදිරිපත් කලේය: 

“ගලවාගැනීම්, ව්‍යාපාරික ගතිකත්වය සහ ඵලදායිතාව දුර්වල කිරීමට ප්‍රබල ලෙස දායක වන ප්‍රාග්ධනය විශාල වශයෙන් වැරදි ලෙස බෙදා හැරීමකට සහ සොම්බි සමාගම් සංඛ්‍යාවේ වැඩිවීමකට තුඩු දී ඇත.  එක්සත් ජනපදයේ, සමස්ත සාධක ඵලදායිතා වර්ධනය 1870 සහ 1970 ගණන්වල මුල් කාලය අතර සියයට 2 සිට 2008 න් පසු සියයට 0.5 දක්වා පහත වැටුනි,” ඔහු ලීවේය.

දිගු කාලීන මූල්‍ය විශ්ලේෂකයෙකු සහ හිටපු ඕස්ට්‍රේලියානු බැංකුකරුවෙකු වන සත්‍යජිත් දාස්, ඕස්ට්‍රේලියානු Financial Review විසින් වාර්තා කරන ලද New Indian Express තීරුවක බැංකු පද්ධතියේ ස්ථායිතාව පිළිබඳ නිලධාරීන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ගැටළු මතු කර තිබේ.

“බලධාරීහු නිවැරදි නම්, අසාර්ථක වූ බැංකු වල සියලුම තැන්පත්කරුවන්ට සහතික කිරීම සඳහා ‘පද්ධතිමය අවදානම පිලිබඳ ව්‍යතිරේකය’ යොදාගැනෙන්නේ මන්ද?  මුදල් ආපසු ගැනීම් සපුරාලීමට ද්‍රවශීලතාවයක් තිබේ නම්, අරමුදල්වල ප්‍රමාණවත් බව ගැන බොහෝ විට කෙරෙන නොගැලපෙන ප්‍රලාප ඇයි?  සෑම දෙයක්ම හොඳින් තිබේ නම්, එක්සත් ජනපද බැංකු 2008-09 ට වඩා විශාල මුදලක් වට්ටම් කවුළුවෙන් (discount window) සියයට 4.75 ක දණ්ඩනීය අනුපාතයකට ඩොලර් බිලියන 153 ක් ණයට ගෙන ඇත්තේ ඇයි?” (Discount Window යටතේ ණය දීම සිදු කරනු ලබන්නේ වෙනත් විකල්ප ක්‍රම වලින් බැංකු සඳහා මුදල් ලබා ගැනීම අසීරු වන විට අවසාන ගැලවුම්කාර අවස්ථාව ලෙස හදිසි ඇපදීමේ ණයක් ෆෙඩරල් බැංකුවෙන්ම ලබා දීමය. ෆෙඩරල් මහ බැංකුව විසින් මෙසේ වට්ටම් ණය ලබා දීම කරනුයේ හැකිතාක් දුරට මූල්‍ය අංශයේ අවශ්‍යතා සැපිරීම සඳහා වඩාත් අඩු පොලී අනුපාත යටතේ විශාල අවදානමක් ගනිමිනි)

ණය අර්බුදය දිගටම

වත්මන් අර්බුදය ඉදිරියට වර්ධනය වන්නේ කෙසේද යන්න පිළිබඳව සැලකිය යුතු අපැහැදිලි බවක් පවතී.  නමුත් එක් දෙයක් ස්ථිරය: ලොව පුරා ආර්ථිකයේ සෑම අංශයකටම පහර දෙන ණය අර්බුදයක් පවතිනු ඇත.

මාර්තු තුන්වන සති අන්තයේ ප්‍රකාශයට පත් කරන ලද FT කතුවැකිය, මෙතෙක් පැවති අර්බුදය සාරාංශගත කරමින්, තවත් බැංකු බිඳ නොවැටුන ද මෙය සිදුවනු ඇතැයි පැවසීය.

“ඉහළ පොලී අනුපාත දැනටමත් සැබෑ ආර්ථිකයට ණය දීම කප්පාදු කර ඇති අතර මෑත සිදුවීම්වලට ප්‍රතිචාර වශයෙන් බැංකු ඔවුන්ගේ ණය දීමේ ප්‍රමිතීන් තවත් ඉහළ නැංවීමට ඉඩ තිබේ.  දේපල විශේෂයෙන් අවදානමට ලක්විය හැකි බව පෙනේ.  ණය සැලකිය යුතු ලෙස දැඩි වුවහොත්, මිල පහත වැටීමේ සර්පිලාකාරයක් හටගන ඇත. පැහැර හැරීම් සිදුවිය හැකිය. … බැංකු සතු උකස් පිටුබලය සහිත සුරැකුම්පත්වලට දැනටමත් පහර වැදී ඇති අතර ඒ හේතුවෙන් බැංකු  ස්වයං-ආරක්ෂක පියවරයන් කරා ගොස් ඇත”.  

තමන් ජීවත්වන ලාභ පද්ධතියේ විෂ සහිත ස්වභාවය පිලිබඳව අවශ්‍ය නිගමනවලට එළැඹීමෙන් වැඩකරන ජනතාව වැලැක්වීමේ අපේක්ෂාවෙන්, තම හිස මතට කඩා වැටෙන තුරු කිසිවිටෙක අර්බුදයක් නොපිළිගන්නා බලවතුන්, අර්බුදය මතින් ලිස්සා  යාමට උත්සාහ කරති.

නමුත් මෙම ප්‍රබන්ධය කෙතරම් සිහින් වී ඇත්ද යත්, FT කතුවැකියට නිගමනය කිරීමට සිදු වූයේ: “සුලු වෙනසකට වඩා, මෙම කථාංගය ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල ලකුණක් විය හැකිය”, යනුවෙනි.

බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ් වාර්තාව පෙන්වන මූල්‍ය ගැටලු 

මූල්‍ය පද්ධතියේ ව්‍යුහාත්මක අස්ථායීතාවයේ මූලාශ්‍ර සම්බන්ධයේන් මාර්තු 28 බදාදා Bank of England (BoE) හි මූල්‍ය ප්‍රතිපත්ති කමිටුව (FPC) විසින් නිකුත් කල පලමු කාර්තුවේ වාර්ථාවේ දක්වයි.

පසුගිය ප්‍රධාන අර්බුදය, එනම් එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර පවා දින ගනනාවක් අලෙවි කළ නොහැකි වූ 2020 මාර්තු මාසයේ වෙලඳපොල කැටි ගැසීම දෙස ආපසු හැරී බලන විට, FPC වාර්තාව පැවසුවේ “පෙර ආතති කාලපරිච්ජේද වලදී ස්ඵටිකීකරණය වූ බොහෝ දුර්වලතා, එනම් 2020 මාර්තු මාසයේදී ‘dash for cash’ (ආයෝජකයින් මුදල් ලබා ගැනීම සඳහා දිගු කාලීන රජයේ බැඳුම්කර වැනි ආරක්ෂිත වත්කම් පවා විකුණා දැමීම) වැනි අර්බුද, බොහෝ දුරට විසඳුනු නැති ගැටලු ලෙස පවතින අතර වත්කම්වල මිලෙහි තවදුරටත් තියුණු සීරුමාරුකිරීම් ඉහල යා හැකිය.”

ජාත්‍යන්තරව ඔහුගේ සගයන් මෙන්, BoE පාලක ඇන්ඩෲ බේලි මාර්තු 27 London School of Economics හි දී කළ කතාවකදී එක්සත් රාජධානියේ මූල්‍ය පද්ධතිය “ශක්තිමත් ප්‍රාග්ධන හා ද්‍රවශීලතා තත්ත්වයන්ට ඔරොත්තු දෙන අතර ආර්ථිකයට සහාය වීමට ශක්තිමතව තබා ඇති” බව අවධාරනය කලේය.

නමුත් FPC වාර්තාව තරමක් වෙනස් චිත්‍රයක් පින්තාරු කරයි.

පසුගිය සැප්තැම්බරයේ එක්සත් රාජධානියේ විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදය බැඳුම්කර වෙලඳපොලවලට BoE හි බලවත් මැදිහත්වීමකින් පමණක් සමනය වූ බැවින්, FPC හි අවධානය මෙම පැත්ත කෙරෙහි බෙහෙවින් යොමු වී ඇත..

SVB වසා දැමීමට තුඩු දුන් බැංකු ධාවනය (Bank Run) පිලිබඳ අත්දැකීමේ ආලේකයෙන්, ප්‍රධාන පද්ධතිමය ගැටළු මතුකිරීමේ තර්ජනය එක් කළ එක්සත් රාජධානියේ අර්බුදයේ වැදගත්කම වඩාත් පැහැදිලිව දැකගත හැකිය.

එක්සත් රාජධානියේ විශ්‍රාම වැටුප් අර්බුදය ස්වරූපයෙන් SVB අත්දැකීමට වෙනස් වූ නමුත් එය හටගනු ලැබුනේ එකම හේතුවකිනි. එනම්, උද්ධමනයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් ප්‍රධාන මහ බැංකු විසින් ආරම්භ කරන ලද ඉහල පොලී අනුපාතයි. ඇත්තටම, යථාර්ථයේ දී මෙම අනුපාත ඉහල දැමීම එල්ල කෙරුනේ වැටුප් ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන කම්කරු පන්තියේ නැගිටීම් පසුපසට තල්ලු කිරීමට උත්සාහ කිරීම වෙත ය.  

ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම සඳහා, මූල්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත, විශ්‍රාම වැටුප් අරමුදල්, වගකීම් මත පදනම් වූ ආයෝජන (LDI) ලෙස හැඳින්වෙන උපාය මාර්ගයක් අනුගමනය කල අතර එමඟින් ඔවුන් රජයේ බැඳුම්කරවල විශාල වශයෙන් ආයෝජනය කලහ.

ඉතා කෙටිකලක් පැවති අගමැති ලිස් ටෘස්ගේ ආන්ඩුව නය වැඩි කිරීම මගින් සංගත සහ සුපිරි ධනවතුන් සඳහා දැවැන්ත බදු කප්පාදුවලට අරමුදල් සම්පාදනය කිරීමට උත්සාහ කළ විට, බැඳුම්කරවල පොලී අනුපාත තියුනු ලෙස ඉහළ ගිය අතර ඒවායේ මිල පහත වැටුණි (වෙනත් සුරැකුම්පත් මෙන්ම මේ දෙක අතරද ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයකි). මේ හේතුවෙන් විශ්‍රාම වැටුප් අරමුදල් ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ වත්කම්වල පාඩුවලට මුහුණ දෙන ලදී. 

මේ හේතුවෙන් විශ්‍රාම වැටුප් අරමුදල් තම බැඳුම්කර කුනු කොල්ලයට විකිනීමට බලකෙරුනු අතර, ඒ මගින් බැඳුම්කර මිල පහත වැටීමේ චක්‍රයකට සහ පොලී අනුපාතවල දැඩි වැඩිවීමක් දෙසට තල්ලු විනි.

මූල්‍ය පද්ධතියේ අස්ථාවරත්වය කෙබඳු ද යත්, අසාර්ථක වූ ආයෝජන ඉවත් කරනු ලබන “නිදහස් වෙලඳපොලේ” මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක විය නොහැකි වී ඇති අතර, ඕනෑම ගැටලුවක් රාජ්‍යයේ සහ එහි නියෝජිතායතනවලට ඇති තව තවත් මුදල් මැවීමේ හැකියාව  යොදා ගනිමින් මැදිහත් වීම අවශ්‍ය වන කඩා වැටීමක තර්ජනයක් නිර්මානය කර තිබේ.  

මෙම ක්‍රියාවලියේ තර්කය නම්, රාජ්‍ය හා මහ බැංකු මූල්‍යකරණයේ අර්බුදයක් ඇති කරන තෙක් මුදල් ගලා ඒම දිගටම සිදුවනු ඇති බවයි.

මාර්තු අවසන් සතිය වන විට මූල්‍ය වෙලඳපොලේ සියලු දෙනාගේ අවධානය යුරෝපයේ අටවන විශාලතම බැංකුව වන ජර්මානු  Deutsche Bank හි අනාරක්ෂිතභාවයක් පිලිබඳ යොමුවී පැවතිනි. 

මාර්තු 21 මාධ්‍ය හමුවකදී ෆෙඩරල් මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් පැවසුවේ, ඉතිහාසය පෙන්වා දී ඇති පරිදි, පසුගිය සති දෙකේ සිදුවීම් පෙන්නුම් කර ඇත්තේ, “හුදකලා බැංකු ගැටළු, අවධානය යොමු නොකළහොත්, සෞඛ්‍ය සම්පන්න බැංකු කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමිය හැකි” බව සහ  සමස්ත පද්ධතියටම තර්ජනයක් කල හැකි බවයි.

SVB අසාර්ථක වීමට තුඩු දුන් කොන්දේසි – එය සතුව තිබූ භාණ්ඩාගාර බැඳුම්කරවල වටිනාකම පහත වැටීම – ආර්ථිකයේ අනෙකුත් පොලී අනුපාත සංවේදී ක්ෂේත්‍රවල ද වර්ධනය වෙමින් පවතී.  මාර්තු 20, JPMorgan Asset Management හි ප්‍රධාන විධායක, ජෝර්ජ් ගැච්, මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමේ ප්‍රතිඵලයක් ලෙස බිම හැලෙන මීළඟ සපත්තුව වාණිජ දේපල වෙළඳාම් විය හැකි බවට අනතුරු ඇඟවීය.

දේශපාලන ඇඟවුම්

Image

“අපි ගත් පියවර නිශ්චිත බැංකුවලට හෝ බැංකු පන්තිවලට ආධාර කිරීම කෙරෙහි අවධානය යොමු කළේ නැත.”  “අපගේ මැදිහත්වීම වූයේ පුළුල් එක්සත් ජනපද බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමයි. තවද කුඩා ආයතන බෝවන අවදානමක් (contagion) ඇති තැන්පතු ධාවනයට (deposit runs) ලක් වුවහොත් ඒ හා සමාන ක්‍රියාමාර්ග ගත යුතු වේ.”

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මාර්තු 20 වන දින ඇමරිකානු බැංකුකරුවන්ගේ සංගමයට කළ කතාවකදී ඉහත ප්‍රකාශ කළේය.  ජැනට් මේ පැහැදිලි ප්‍රකාශය ප්‍රථම වරට කරනනේ අසාර්ථක වූ සිලිකන් වැලි බැංකුවේ සහ සිග්නේචර් බැංකුවේ අනාරක්ෂිත තැන්පතුකරුවන්ට ඇපදීම එක සුවිශේෂී අවස්ථාවක් නොවන බවත්, අවශ්‍ය යැයි සැලකේ නම් ඉදිරියේදී ද එසේ කරනු ඇති බවට දැනුම් දීමටය.

බැංකුකරුවන් බේරා ගැනීමට රජයේ අඛණ්ඩ කැපවීම ඇය ඔවුනට තහවුරු කළාය: “අපි සුපරීක්ෂාකාරීව සිටින බවට අපි ඔබට සහතික වනවා.”

නැවත, මාර්තු 23 වන දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අදහස් දක්වමින්, ඇය නැවත වරක් පැවසුවේ, “අපි බෝවීම වැළැක්වීම සඳහා ඉක්මනින් ක්‍රියා කිරීමට වැදගත් මෙවලම් භාවිතා කර ඇත. ඒවා අපට නැවත භාවිතා කළ හැකි මෙවලම් වේ. ඒවා ඇමරිකානුවන්ගේ තැන්පතු ආරක්ෂා කිරීම සඳහා අප ගෙන ඇති ශක්තිමත් ක්‍රියාමාර්ග වේ.  නිසැකවම, අවසර ලැබුනහෝත් අමතර ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම්ව සිටිමු.”

පාලක පන්තිය තම පන්ති අවශ්‍යතා වෙනුවෙන් කැපවී සිටී. 

මෙම වර්ධනයන්ගෙන් වැදගත් දේශපාලන නිගමනවලට එළඹිය යුතුය.  

ධනේශ්වර දෘෂ්ටිවාදයේ එක් කේන්ද්‍රීය මූලධර්මයක් නම්, ධනේශ්වර ක්‍රමය සහ සියල්ලටමත් වඩා එහි මූල්‍ය යාන්ත්‍රණ ස්වභාවධර්මයෙන් ම ව්‍යුත්පන්න වූවාක් මෙන් සලකා කම්කරු පන්තිය එයට යටත් විය යුතු සහ කීකරු විය යුතු නීති පාදක පද්ධතියක් ය යන්නය.

ඇත්ත වශයෙන්ම, මූල්‍ය ක්‍රමය යනු කිසියම් ස්වභාවික හා ඒ නිසා සදාකාලික යාන්ත්‍රණයක් නොව, පාලක ප්‍රභූවන්ගේ පරස්පර අවශ්‍යතා මතුපිටට පැමිනෙන අර්බුදකාරී කාලයකදී, වෙනස් කළ නොහැකි යැයි කියනු ලබන නීති එක රැයකින් පෙරළා දමන පන්ති සමාජයේ නිෂ්පාදනයකි.

බැංකු, සමපේක්ෂකයින්, කොටස් වෙලඳපොල සහ මූල්‍ය පද්ධතියට මුක්කු ගැසීමට 2008 දී සහ නැවත 2020 මාර්තු මාසයේදී මහ බැංකුව විසින් ගනු ලැබූ හදිසි ක්‍රියාමාර්ග, අද ඊටත් වඩා ගැඹුරු අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කර ඇත. මෙම අර්බුදය, 2008 දී මෙන්, රාජ්‍යය මගින් ඇප ලබා දී ගලවා ගත් පාලක ප්‍රභූන් විසින් ඒවා නැවත ගෙවීමේ බර කම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල් මත හෙලමින්  වඩා ගැඹුරු ප්‍රහාර ඔවුන් මත පාත් කරනු ඇත.

විෂ සහිත බැංකු හා මූල්‍ය පද්ධතිය විසින් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට සහ ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල රැකියා, ජීවන තත්වයන් සහ ජීවනෝපාය කෙරෙහි ඇති කරන දැවැන්ත අන්තරායන් පද්ධතියේ යම් ආකාරයක “ප්‍රතිසංස්කරණයක්” හරහා අවසන් කළ නොහැක.  එවැනි කිසිදු ප්‍රතිසංස්කරනයක් නැත. පසුගිය වසර 15 ක අත්දැකීම් ඒ බව සනාථ කරයි.

නමුත්, මූල්‍ය පද්ධතිය සමාජයේ නිෂ්පාදනයක් වන බැවින්, එය සමාජයට වෙනස් කළ හැකිය. එහෙත්, එය කල හැක්⁣කේ වැඩෙන අර්බුදයට කම්කරු පන්තිය දේශපාලනිකව මැදිහත් වී සමාජ ආර්ථික පර්යාය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන්නේ නම් පමණි.

බැංකු හා මූල්‍ය අර්බුදයේ සෑම ගැඹුරු වීමකින්ම, බැංකු හා මූල්‍ය දැවැන්තයන්ගේ පුද්ගලික අයිතිය අවසන් කර ඒවා පොදු අයිතිය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගෙන ඒම සඳහා වූ සමාජවාදී සමාජ ප්‍රතිසංවිධානය කිරීමක් අනිවාර්ය කෙරී තිබේ.

#CACPS #theSocialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top