මාර්තු 15 ‘මහා වැඩ වර්ජනය’ සහ බංකොලොත් වෘත්තීය සමිතිවාදය

කොලඹ ක්‍රියාකාරී කමිටුව

ඊයේ (15) දිවයින පුරා රාජ්‍ය අංශයේ කම්කරුවෝ හා වෛද්‍යවරු ඇතුලු වෘත්තිකයෝ ආන්ඩුවේ නව බදු අයකිරීමට, පොලී අනුපාතය ඉහල දැමීමට හා විදුලිය ගාස්තු වැඩි කිරීමට හා තවත් ප්‍රහාරවලට එරෙහිව වැඩ වර්ජනය කර විරෝධතාවල නිරත වූහ. බදුල්ල, මහියංගනය, මොනරාගල වැනි ඈත නගරවල පවා ගුරුවරු ඇතුලු රාජ්‍ය කාර්යාල සේවකයෝ සිය දහස් ගනනින් පෙලපාලිවලට හා පිකට් උද්ඝෝෂනවලට
සහභාගී වූහ. ශ්‍රී ලංකා රක්ෂන සංස්ථා සේවකයෝ වරුවක් නිවාඩු දමා නගර මධ්‍යට ගොස් පිකට් කලහ.

Image
බදුල්ල නගරයේ රාජ්‍ය සේවක උද්ඝෝෂනය 

විදුලිය හා තැපෑල වැඩ නො කලහ. පාසැල් වසා දැමුනු අතර බොහෝ තැන්වල නියමිතව තිබුනු වාර විභාග කල් දැමීීමට සිදු විය. රාජ්‍ය බැංකුවලින් වැඩි ගනනක් ඇනහිට වූහ. දුම්රිය රියදුරන්ගේ වර්ජනය නිසා නියමිත දුම්රිය වාර 400 ගනනකින් දුවවනු ලැබිය හැකි වූයේ වාර 11 හෝ ඊට ආසන්න ගනනකි. ජනාධිපති මාධ්‍ය අංශයට අනුව 20කි. නමුත් එහි වැඩට යොදාගත හැකි වී ඇත්තේ DIM නිලධාරීන් තිදෙනා සහ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන විශ්‍රාමික රියදුරන් කිහිප දෙනා පමනි. වරාය කම්කරුවන්ට වර්ජනය අත් හැර වැඩ කරන
ලෙස විධාන කිරීමට කොලඹ වරායට ගිය වරාය අධිකාරියේ සහාපති, කම්කරුවන් විසින් හූ කියා පලවා හරිනු ලැබ ඇත.

Image
වවුනියාව නගරයේ උද්ඝෝෂනයක්


දින කිහිපයකට පෙර දියත් කෙරුනු විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්ගේ දීප ව්‍යාප්ත අරගලයට අනධ්‍යයන සේවකයෝ ද එක් වූ අතර විශ්ව විද්‍යාල අකර්මන්‍ය විය. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේවකයෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට තමන් සමග එක් වන ලෙස ජනතාවට ඇරයුම් කරන සටන් පාඨ හඩ නගමින් ගලහ හන්දියේ පිකට් කිරීමක නිරතව සිටියහ. මෙදා පාර අපේ සටන-නවතනු බැහැ කිසිවෙකුටත්, සටන් කරල – ලබා ගත්තු, අපෙ අයිතීන් – රැකගන්නට, ඇප කැපවෙමු – අපි හැමෝම” යනුවෙන්  ඔවුහු සිය අධිෂ්ඨානය ප්‍රකට කලහ.

Image
යාපනය නගරයේ පැවති උද්ඝෝෂනයක්

ප්‍රවාහන, ගමනාගමන, වරාය, නැව් තොට, තැපැල්, විදුලි, යන මේ “අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරත වන සේවකයින් වෘත්තීය ක්‍රියා ක්‍රියාමාරගවල නිරත වී රටේ පොදු නීතිය කඩ කලහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘති ප්‍රකාශකයා, ප්‍රවාහන මහාමාර්ග හා ජන මාධ්‍ය ඇමති බන්දුල ගුනවර්ධන පෙරදා නිවේදනය කලේ ය. කම්කරුවන් සටනට පිවිසුනේ තමන්
සටන එන්නේ කදුලු ගැස් හා බැටන් ප්‍රහාර දෙන වෙඩි තබා ඝාතනය කරන ආන්ඩුවක් සමග බව නොදැන නො වේ.

ආන්ඩුව, මෙසේ, ආරම්භයේදී ම අරගලය තුලට දේශපාලන ප්‍රශ්න ගෙන ආවේ ය. කම්කරුවන්ගේ අවශ්‍යතාව වූයේ දේශපාලන මහා වැඩ වර්ජනයකි. එහෙත්  වෘත්තීය සමිති විසින් කැදවන ලද්දේ සරල වැඩ වර්ජනයකි. එය  කම්කරුවන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට වෘත්තීය සමිති විසින් ඉඩක් ලබා දෙනු ලැබ සිදුකල දැනුවත් සටනක් වූයේ නැත.

අනිවාර්යය රාජ්‍ය මර්දනයට මුහුන දී ජයග්‍රහනය කරා ගමන් කිරීමට අවශ්‍යතාවක් වෘත්තීය සමිති වලට නො තිබුනා පමනක් නො ව සටන කෙසේ හෝ අවසන් කිරීම වෘත්තීය සමිතිවල ඉලක්කය වී තිබිනි. ජනතා විමුක්ති පෙරමුනට අයත් වෘත්තීය සමිතිවල ප්‍රමුඛ නායකයෙකු වන කේ. ඩී. ලාල් කාන්ත 13දා වෘත්තීය සමිති සහ තවත් සංවිධානවල සහභාගීත්වයෙන්  “ජන පීඩක බදු සංශෝධනය හා රටේ  හෙට දවස” යන සිරස්තලය යටතේ කොලඹ පැවති රැස්වීමක දී පැහැදිලිව ම මෙසේ කීවේ ය:“ 15දා වැඩ වර්ජනයට අපි සම්පූර්න සහයෝගය දෙනවා. අඛන්ඩ වැඩ වර්ජන කතාවට මේ මොහොතේ අපි සූදානම් නැහැ.”

විදුලි බල මන්ඩලය ප්‍රති ව්‍යුහගත කිරීම පිලිබද ජවිපෙ නායකත්වයේ සිටින තවත් වෘත්තීය සමිති නායකයෙක් වන රන්ජන් ජයලාල්
ද මෙසේ  කියයි. “ඇමති තුමා (විදුලි බල) ප්‍රතිව්‍යුහගත කරනය සම්බන්ධව මෙතෙක් කතා නො කලාට මින් ඉදිරියට දෛනිකව, මාසිකව,
සතියෙන් සතියට හෝ අප සමග කතා කරන බව කීවා. අපි ඒකට එකගයි. ඇමති තුමා කීවෙ විකුනන්නෙ නෑ කියා. ඒ නිසා ගැටුමකට යා යුතු නෑ.”

ගැටුමකට නො යා සිටීමට කරුනු තවත් වෘත්තීය සමිතිවලට ඇත. ඉල්ලීම් ලැබෙන තෙක් අඛන්ඩ වැඩ වර්ජනයකට යනවා යයි 13 සදුදා
වර්ජනයක් ආරම්භ කල රාජ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (රවෛනිසං) ඊයේ තාවකාලිකව නවතින බව කියමින් වර්ජනය අත් හැර දමා ඊට හේතු ගෙනහැර පෑ ය. ඔවුහු ආන්ඩුව තමන් වෙත ලබා දුන්නා යයි කියන පොරොන්දු පත්‍රයකට අනුව සැකසූ පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 1) විකල්ප යෝජනා පිලිබද අඛන්ඩව සාකාච්චා කිරීමට රජයේ අභිලාශය ප්‍රකාශයට පත් විය. 2) 2023 මාර්තු 20 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාවට දැමීම අරඹන අතර බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම සදහා රජය කැමැත්ත දක්වා ඇත. 3) බදු සංශෝධන සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සෘජු ලෙස සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති සදහා අවස්ථාව සලසා දීමට රජයේ ඇති
කැමැත්ත දක්වා ඇත. 4) රාජ්‍ය  මූල්‍ය ප්‍රවනතාවයන් සැලකිල්ලට ගනිමින් රජයේ සේවකයන් වෙත 2023 අග කාර්තුවේ දී විශේෂ දීමනාවක් ලබා දීමට ඇති ඉඩ කඩ පිලිබදව කරුනු දක්වා ඇත.   

අවසානයේ දී වෛද්‍ය සංගමය කියා සිටින්නේ “ලිපිය හරහා අපට දී ඇති සඥා පිලිබද අවධානය යොමු කල රවෛනිගේ විධායක සභාව මේ වන විට ආරම්භ කර, අඛන්ඩව දියත් කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හෙට දින උදෑසන 8 සිට තාවකාලිකව නවතා දැමට තීරනය කරන ලදී.”

වෘත්තීය සමිතිවලට වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව අරගලයක් ගෙන යාමට මොන ම හැකියාවක්වත් නැති බව දැනටමත් පැහැදිලි
ය. ඒ්වාට යම් වුවමනාවක් පවතී නම් ඒ අර්බුදයේ මුලු බර කම්කරු පිඩිත ජනයා මත පැටවීමේ වර්තමාන ආන්ඩුවේ ක්‍රියා පිලිවෙත, වෘත්තීය සමිති නිලධරයට හා එබදු වරප්‍රසාදිතයන්ට හානියක් නො වන පරදි  අනුගමනය කිරීම ය.

වෘත්තීය සමිතිවලට නිශ්චිත දේශපාලන අර්ථයෙන් ජෙනරල් ස්ට්‍රයික් කැදවීමේ හැකියාවක් ද නැත. ඊයේ දුම්රිය වර්ජනය ඊට කැපී පෙනෙන නිදසුනකි. රියදුරෝ වර්ජනය කලහ. දුම්රිය ස්ථානාධිපති, ගාඩ්, ලිපිකරු, සහ සෙසු අංශවල දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සමිති ඊට සහාය නො දිනි.වෘත්තීය සමිති වර්ග බොහෝ ය. ඒ්වා වෙනස් ධනපති පක්ෂවල හෝ කන්ඩායම්වල අවශ්‍යතා නියෝජනය කරති. අවසානයේ දී ඒවා ඒකමතික වනවා නම් වන්නේ කම්කරු පන්තියේ සටන් පාවා දීම සම්බන්ධයෙන් පමනක් බව ‌ඓතිහාසික සත්‍යයකි.  

මෙවර ද,  ඉල්ලීම් දිනා ගැනීම කෙසේ වෙතත් සමිති එක් දිනක වර්ජනයක් කැදවීම මගින් කල් ඇතිවම ආන්ඩුවට සඥා කලේ බිය නො විය යුතු බවට ය. ‘ඉල්ලීම් ඉටු නො කලොත් අඛන්ඩ වර්ජනයක්’ යනුවෙන් කියාපෑම පාලක පන්තියේ අවබෝධය සහිතව කරන කම්කරුවන්ගේ ඇසට වැලි ගැසීමේ ක්‍රීඩාවේ ම අංගයකි.

කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) සෑම වැඩ බිමකම, නිවහන් ප්‍රදේශයකම කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු ගොඩ නගමින් ධනවාදී ප්‍රහාර පරාජය කිරීමේ සැබෑ මහජන ව්‍යාපාරය සංවිධානය කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ එබැවිනි. තීරන ගැනීමේ අයිතිය එබදු කමිටු අතට පත් විය යුතුය. ඒවායේ නියෝජිතයන්ගේ සම්මේලනයක් මගින් මුලු දිවයිනේ ම පීඩිත මහජනයාගේ අවශ්‍යතා නියෝජනය කරන වැඩපිලිවෙලක් සදහා ඒකාබද්ධ අරගලය පෙරට ගත යුතු ඇත. 

16 මාර්තු 2023

#CACPS #theSocialistLK

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top