මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ විරෝධතාකරුවන් මත කුරිරු මර්දනයක් මුදාහරී

සැමුවෙල් ටිසෝට් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 03 දින පල වූ ‘Macron’s police state launches brutal crackdown on French protesters‘ යන සැමුවෙල් ටිසෝට් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි.

පසුගිය අඟහරුවාදා පැරිසියේ තදාසන්න ප්‍රදේශයක් වන නන්තෙරේහිදී 17 හැවිරිදි නහෙල් එම්. පොලිසිය විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුව, සති අන්තයේදී  විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ප්‍රංශය පුරා පැවතුනි. පවතින අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඉරිදා සවස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීය.

france police
2023 ජූලි 1 සෙනසුරාදා, පැරිසියේ චැම්ප්ස් එලිසීස් හි ආර්ක් ඩි ට්‍රයම්ෆ් ඉදිරිපිට පොලිස් නිලධාරීන් මුර සංචාරයේ [AP Photo/Christophe Ena]

ප්‍රංශය පුරා සහ ජාත්‍යන්තරව දැවැන්ත කෝපයක්  පිටාර ගැලීමට හේතු වූයේ හුදෙක් ඝාතනය පමනක් නොවේ මෙකී මිනීමැරුම වසන් කරමින් එය ආත්මාරක්ෂාව සඳහා සිදු කල එකක් බවට පෙන්නුම් කිරීම සඳහා – තම ජීවිත වලට තර්ජනයක් නොමැතිව තිබියදී තරුනයාට අතේ දුරින් සිට වෙඩි තැබූ බව පෙන්නුම් කරන වීඩියෝවක් නිකුත් වීමට  පෙර – ඊට  සම්බන්ධ නිලධාරීන් ගත් උත්සාහය ද ඊට හේතු විය.

සෙනසුරාදා, සාමකාමී විරෝධතාකරුවන් දහස් ගනනකගේ සහභාගීත්වයෙන් නන්තෙරේ හි නහෙල්ගේ අවමංගල්‍යය පැවැත්විනි.

ප්‍රංශය පුරා ඇති වූ ප්‍රචන්ඩ ගැටුම් හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ පුද්ගලයන් 1,300ක් අත්අඩංගුවට ගත් අතර සෙනසුරාදා රාත්‍රියේ තවත් 719ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මර්දනය දියත් වී ඇත්තේ, මෙම වසන්තයේ දී මැක්‍රොන් ඔහුගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියාවට නැංවීමේදී ප්‍රංශ පොලිසිය විසින් දහස් ගනනක් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුවය.

ප්‍රංශයේ ප්‍රධාන නගර හෙලිකොප්ටර්, සන්නද්ධ මෝටර් රථ සහ “කැරලි මර්දන” ගිනි අවිවලින් දැඩි ලෙස සන්නද්ධ පොලිස් බලකායක් විසින් වටලනු ලැබ ඇත. සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රියේ ජාතික වශයෙන් පොලිස් භටයන් 45,000 බලමුලු ගන්වන ලද අතර, ඊට  අමතරව සෑම රාත්‍රියකම වැර ගැන්වීම් ලෙස 7,000 බැගින්  පැරීසියට යවන ලදී.

සති අන්තයේ සන්නද්ධ මෝටර් රථ සහිතව නිවහන් ප්‍රදේශ අල්ලා ගන්නා විශේෂිත RAID ඒකක මාර්සෙයිල් සහ ලියොන් වෙත යොදවන ලදී. මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි විරෝධතා වලදී අප්‍රේල් මාසයේදී පැරිසියේ පෙලපාලිකරුවන් කුපිත කර ත‍්‍රස්ත කල කුප්‍රකට BRAV-M ඒකක ද යොදවන ලදී.

සමාජ මාධ්‍යවල පොලිස් ප්‍රචන්ඩත්වය පිලිබඳ සාක්ෂි වාරනය කිරීමට මැක්‍රොන් ආන්ඩුව දරන උත්සාහයන් නොතකා, වීඩියෝ දර්ශන, බොහෝ දුරට අනාරක්ෂිත විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් ප්‍රහාර වල   ප්‍රචන්ඩත්වය පෙන්වයි. මාධ්‍යවේදීන් ගැටුම් පටිගත කිරීම වැලැක්වීමට පොලිසිය දරන උත්සාහයන් වෙනත් වීඩියෝවල දැක්වේ.

බොහෝ ප්‍රංශ නගරවල පොලිස් භටයන් සහ බොහෝ සෙයින් තරුනයන්ගෙන් සමන්විත විරෝධතාකරුවන් අතර සටන් ඇති විය. Nemours, Pau සහ Combs-la-Ville නගරවල පොලිස් ස්ථාන ගිනි තබා ඇත. පැරිස්, මර්සෙයිල් සහ ලිලී පුරා පොදු ගොඩනැගිලි ගිනිබත් කරන ලදී. උතුරු පැරිසියේ තදාසන්න ප්‍රදේශයක් වන ඕබර්විලියර්ස් හි බස් නැවතුම්පොලක් ගිනිබත් කර බස් රථ 12 ක් විනාශ විය. Lyon හි කන්ඩායම් ආයුධ සහ ජීව උන්ඩ රැගත් පොලිස් වාහනයකට කඩා පැන්න අතර එම අවි තවමත් සොයා ගෙන නොමැත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙහාල්ඩ් ධර්මනා (Gérald Darmanin)ගේ නියෝගය මත, සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රියේ ප්‍රංශය පුරා ට්‍රෑම් රථ සහ බස් සේවා රාත්‍රී 9 සිට අවලංගු කරන ලදී. . මෙය ඉරිදා පැරිස් මෙට්‍රෝ සේවය දක්වා ව්‍යාප්ත විය. සති අන්තයේදී , Lille, Marseille සහ Lyon හි පොදු ප්‍රවාහනය අවලංගු කරන ලද අතර සවස් භාගයේ සිට කන්ඩායම් වශයෙන් රැස්වීම් තහනම් කරන ලදී. සතිය මුලදී ගැටුම් ඇති වූ ප්‍රදේශ පුරා පිහිටි කුඩා නගරවල ද එවැනිම පියවර ගන්නා ලදී.

පොලිස් මර්දනයට සහ සමාජ තත්වයන්ට එරෙහි කෝපය බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය දක්වා පැතිර ගියේය. ස්විට්සර්ලන්තයේ ලෝසාන් නගරයේ දී සෙනසුරාදා රාත්‍රියේ පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රංශයේ මුහුදින් එතෙර ප්‍රදේශ වන රියුනියන්හි සහ ප්‍රංශ ගයනාහි  ද සැලකිය යුතු ගැටුම් ඇති විය. ප්‍රංශයේ තත්ත්වය පිලිබඳ ජාත්‍යන්තර නොසන්සුන් සහගත බව පිලිබිඹු කරමින් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ප්‍රකාශ කලේ තමා “කනස්සල්ලෙන් බලා සිටින” බවයි.

ප්‍රංශයේ ධනේශ්වර දේශපාලඥයින් කෙරෙහි  පොදු වෛරය පිලිබඳ අවබෝධයක් ලබා දෙන එක් සිදුවීමක් L’Haÿ-Les-Roses නම් කුඩා නගරයේදී සිදු විය. එහිදී දක්ෂිනාංශික Les Républicains හි සාමාජිකයෙකු වන ප්‍රාදේශීය නගරාධිපතිවරයෙකුගේ නිවහනේ ධාවන පථයට ගිනිගත් මෝටර් රථයක් තල්ලු කරන ලදී. ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් එම ස්ථානයට වහාම ගොස් ආන්ඩුව සහ පොලිසිය ඔවුන්ගේ ඡන්දදායකයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන බවට නිලධාරීන්ට ප්‍රසිද්ධියේ සහතික විය.

විශ්‍රාම වැටුප් කප්පාදු අරගලයෙන් සෘජුවම ගලා එන මෙම විරෝධතාවල ප්‍රකාශිත දේශපාලන ස්වභාවය ප්‍රතික්ෂේප කිරීමට මැක්‍රොන් ආන්ඩුව විසින් සැලකිය යුතු උත්සාහයක් ගෙන තිබේ. සෙනසුරාදා මැක්‍රොන් ප්‍රකාශ කලේ, “[සමාජ මාධ්‍ය වේදිකා] කිහිපයක ප්‍රචන්ඩ රැස්වීම් සංවිධානය කරනු අපි දැක ඇත්තෙමු – එහෙත් එක්තරා ආකාරයකට ප්‍රචන්ඩත්වය හාසකානුකරනය කිරීමක් ද සිදු වේ. … එය ඔවුන්ව මත් කර ඇති වීඩියෝ ක්‍රීඩා තුල ජීවත් වීමකි.”

මෙය ප්‍රතිරාවය කරන්නේ කහ කබා විරෝධතා අතරතුර, තම ජනාධිපති ධුරයට එරෙහි දැවැන්ත විරෝධය සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත දොස් පැවරූ  මැක්‍රොන්ගේ ප්‍රකාශයය.

විරෝධතා, නිර්පාක්ෂික සහ දරුනු අපරාධකරුවන්ගේ ක්‍රියාවන් ලෙස හුවා දැක්වීමට රජයේ ප්‍රකාශක ඔලිවියේ වේරොන් (Olivier Véran) පසුව උත්සාහ කලේය: “මෙහි දේශපාලන පනිවිඩයක් නොමැත. ඔබ Foot Locker, Lacoste හෝ Sephora වෙලඳසැලක් කොල්ලකන විට එහි දේශපාලන පනිවිඩයක් නැත. ඒ කොල්ලකෑමකි. ”

ප්‍රංශයේ තරුනයින්ට තම අතෘප්තිය ප්‍රකාශ කිරීමට ප්‍රචන්ඩත්වයට යොමු විය යුතු යැයි හැඟේ නම් ඒ සමාජ මාධ්‍ය හෝ වීඩියෝ ක්‍රීඩා නිසා නොව, ඔවුන් ජීවත් වන බිහිසුනු සමාජ තත්වයන් සහ ස්ථාපිත දේශපාලන පක්ෂ විසින් දේශපාලන විකල්ප ඉදිරිපත් කිරීමක් නො කෙරෙන තතු තුලය. වඩාත් ප්‍රචන්ඩ ගැටුම් සංකේන්ද්‍රනය වුනු  පැරිසියේ, ලියොන් සහ මර්සෙයිල් හි තදාසන්න ප්‍රදේශවල දරිද්‍රතාවය සහ විරැකියාව ආවේනික වේ.

කම්කරු පන්ති ප්‍රදේශවල තරුනයින් මුහුන දෙන යථාර්ථය නම් රැකියාවක් නොමැති ව, ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශයක් නොමැති ව සහ  – නෙහෙල් සිද්ධියේදී මෙන් මාරාන්තික තර්ජන නොවේ නම් – පොලිස් නිලධාරීන් අතින් අඛන්ඩ හිරිහැරවලට ලක්වීමට සිදුවීමයි. විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි අරගලයේ දී  ඔවුන්ගේ ද්‍රෝහී භූමිකාවෙන් පෙන්නුම් කල පරිදි, මැක්‍රොන්ට විරුද්ධ යැයි කියාගන්නා ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයෝ, මෙම තරුන තරුනියන් දරිද්‍රතාවයේ ජීවිත තුලට  පිරි හෙලා දමා ඇති  ධනේශ්වර ක්‍රමයට සැබෑ විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරති.

සති අන්තයේ සමූහ අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ, සිකුරාදා පොලිස් වෘත්තීය සමිති විසින් “අපි යුද්ධයක යෙදී සිටිමු” යනුවෙන් ෆැසිස්ට්මය ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමින්, “අත්අඩංගුවට ගන්නන් අක්‍රිය කරවන බවට” තර්ජනය කිරීමෙන් පසුවය. ඒකාබද්ධ ප්‍රකාශය තවදුරටත් කියා සිටියේ, “මෙම ම්ලේච්ඡ රංචුවලට මුහුන දී, සන්සුන් වනසේ  ඉල්ලා සිටීම තවදුරටත් ප්‍රමානවත් නොවේ, අපි එය පැනවිය යුතුයි. … මෙම පලිබෝධකයන්ට එරෙහිව සටන් කිරීමට ( කාලයයි).”

ප්‍රන්ස දේශපාලන පන්තියේ සැලකිය යුතු කොටස් “පලිබෝධකයන්ට ” එරෙහි පොලිසියේ “යුද්ධය” සමග මුලුමනින්ම සහයෝගී වී ඇති අතර ඊටත් වඩා දැඩි ප්‍රතිචාරයක් ඉල්ලා සිටිති. ඉරිදා වීඩියෝ දේශනයකදී අන්ත දක්ෂිනාංශික නායක මරින් ල පෙන් (Marine Le Pen) ප්‍රංශයේ “අරාජිකත්වය” හෙලා දුටු අතර හදිසි තත්වයක් හෝ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. කොන්සර්වේටිව් Les Républicains හි නායක එරික් සියොටි (Eric Ciotti) ප්‍රකාශ කලේ, “මම මගේ මුලු බලයෙන් පොලිසියට, ෂොන්ඩාම්ට  (පැරාමිලිටරි  පොලිසියට) සහ ඔවුන්ට අන දෙන අයට සහාය දෙමි,” යනුවෙනි. 

දෙදෙනාම ව්‍යාජ වාම NUPES සන්ධානයේ නායක ජාන්-ලුක් මෙලන්ෂොන්  හෙලා දුටුවෝය. සියොටි ඔහු හැඳින්වූයේ “ජනරජයට අනතුරක්” ලෙසයි. මන්දයත්,  මෙලන්ෂොන්, පොලීසිය “පාලනයක් නැති ” එකක් ලෙස විස්තර කල බැවිනි. සාමකාමී විරෝධතාවලට එරෙහිව මාස ගනනාවක් තිස්සේ පැවති ප්‍රචන්ඩ මර්දනය සහ 17 හැවිරිදි පිරිමි ලමයෙකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම වසන් කිරීමට ගත් උත්සාහයෙන් පසුව සිදු කල  මෙම ප්‍රකාශය දැවැන්ත ලෙස තත්ත්වය අඩුවෙන් ප්‍රකාශ කිරීමක් විය.

මෙලන්ෂොන් යනු 2022 මැතිවරන අර්බුදය සහ මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි අරගලය තරනය කිරිමට  ධනේශ්වර පස්වන ජනරජයට මුක්කු ගැසූවෙකු මිස, කිසිසේත් ඊට අනතුරක් නම්  නොවේ. ඔහු නියෝජනය කරන්නේ, කම්කරු පන්තියේ සමාජ අභිලාෂයන්ට ඓන්ද්‍රීයව සතුරු වන අතරම, පොලීසියේ සහ ඔවුන්ගේ දේශපාලන අනුග්‍රාහකයන්ගේ නිර්ලජ්ජිත අපරාධකාරීත්වය විසින් අවුලුවාලිය හැකි සමාජ ප්‍රතික්‍රියාවට බියෙන් සිටින ධනේශ්වරයේ තටුවකි.

අර්බුදයට ඔහුගේ ප්‍රතිචාරය වී ඇත්තේ මැක්‍රොන් ආන්ඩුව සහ එහි පොලිස් රාජ්‍යය බිඳ දැමීම සඳහා කැඳවීම නොව, පොලීසියට වඩා හොඳ පුහුනුවක් සහ ස්වාධීන අධීක්ෂන කොමිෂන් සභා මාලාවක් ගොඩනැගීම යන ඉල්ලීම් ප්‍රධාන වන, දත් ​​නැති “හදිසි ප්‍රකාශයක්” ඉදිරිපත් කිරීමයි. “පලිබෝධකයන්” සමඟ “යුද්ධයේ” සිටින බව ප්‍රකාශ කරන අතිශය ප්‍රචන්ඩකාරී පොලිස් නිලධාරීන්ගේ  බලවේගයක් “ප්‍රතිසංස්කරනය” කල හැකිය යන විකාර අදහස ප්‍රංශ ව්‍යාජ වම්මුන්ගේ දේශපාලන බංකොලොත් භාවයේ තවත් උදාහරනයකි.

එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාකරුවන් සමඟ සහයෝගී වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා වලින් ඉක්බිතිව, බයිඩන් බලයට පත්වී පොලිසියට අරමුදල් සැපයීම සහ මිලිටරිකරනය දැවැන්ත ලෙස වැඩි කිරීම ප්‍රංශ ජනතාවට අනතුරු ඇඟවීමක් විය යුතුය. මෙලන්ෂොන් හෝ වෙනත් ඕනෑම ධනේශ්වර දේශපාලඥයෙකු පොලීසියට හෝ ඔවුන් ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහිව අරගලයක් දියත් කරනු නැත.

සමාජවාදී සමානතා පක්ෂය ව්‍යාජ-වාම පක්ෂවලින් සහ මැක්‍රොන් ගැති වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි. පොලිස් ප‍්‍රචන්ඩත්වයෙන් කම්කරුවන් හා තරුනයින් ආරක්ෂා කර, වෛරයට පාත්‍ර වූ මැක්‍රොන් ආන්ඩුව බිඳ දැමිය හැක්කේ ප‍්‍රන්ස හා යුරෝපීය කම්කරු පන්තියේ මහජන බලමුලු ගැන්වීමකට පමනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top