රාජ්‍ය අංශයේ සමස්ත වැඩ වර්ජනයක් සඳහා සහ ඉන් ඔබ්බට! ස්වාධීන කුියාකාරී කමිටු ගොඩනගනු!

මෙහි පලවන්නේ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය For an all-out strike in the public sector and beyond! Build independent rank-and-file committees යන සිරසින් යුතුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 30 දින පල කල ප්‍රකාශය යි. පරිවර්ථනය සංජය ජයසේකර විසිනි.

Image

දුම්රිය කම්කරුවන්ගේ සහ රාජ්‍ය අංශයේ සඳුදා පැවති ඒකාබද්ධ වැඩ වර්ජනය කම්කරු පන්තියේ අධිෂ්ඨානය සහ දැවැන්ත සටන් බලය පෙන්නුම් කර ඇත.  පොදු ප්‍රවාහන සේවයේ, කසළ එකතු කිරීමේ, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සහ රෝහල්වල සේවකයන් නොමැතිව රට අකර්මන්‍යව පවතී.  එහෙත් ඔවුන්ගේ සටන් බලය වර්ධනය කර ගැනීම සඳහා කම්කරුවන් ගැටුමේ මූලික ස්වභාවය තේරුම් ගත යුතුය.

රාජ්‍ය අංශයේ සහ විශාල අර්ධ රාජ්‍ය සංගත වන ඩොයිෂ් පෝස්ට් සහ ඩොයිෂ් බාන් හි වසර ගනනාවක කප්පාදු හා ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් පසු සේවා කොන්දේසි දරාගත නොහැකි වී ඇත.  ඒ සමගම මූර්ත වැටුප් පහත වැටී ඇත.  තැපැල් සේවකයින් අවම වැටුපට වඩා ටිකක් වැඩියෙන් උපයා ගැනීම සඳහා දුෂ්කර මාර්ගවල ඔවුන්ගේ සෞඛ්‍යය විනාශ කර ගනිති.  දුම්රිය සේවකයන් අමානුෂික සේවා මුර ක‍්‍රමයකින් බරට පත්වෙමින් තව තවත් වැඩ භාර ගනිමින් සිටිති.

බිඳවැටුණු රෝහල්වල පසුගිය වසර තුන තුළ වසංගතයේ සහ “ජීවිතයට පෙර ලාභ” ප්‍රතිපත්තියේ සම්පූර්ණ බර උර දීමට රෝහල්වල හෙදියන්ට සිදු විය.  ඒ සඳහා බොහෝ දෙනෙක් තම ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.  පෞද්ගලික අංශය විසින් රෝහල් පවත්වාගෙන යාම සහ සේවකයන් අධි සූරාකෑම හේතුවෙන් දැනටමත් හෙද හෙදියන් ලක්ෂ දෙකක හිඟයක් ඇති වී තිබේ.  මෙම හිඟය ඉතිරිව සිටින කම්කරුවන් විසින් පියවිය යුතුය.

දැන් ෆෙඩරල් සහ නාගරික ආන්ඩු, සහ සංගත කළමනාකාරීත්වයට තවදුරටත් දැඩි වැටුප් කප්පාදු පැනවීමට අවශ්‍ය වී තිබේ.  කම්කරුවන් සඳහා සැබෑ උද්ධමනය නිල සියයට 10 ට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පවතින අතර, ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ වසරේ කම්කරුවන් මත වැටුප් කැටිකිරීම් බලාත්මක කිරීමට සහ ලබන වසරේ වැටුප් අවම වශයෙන් ඉහල නැංවීමට ය.  රෝහල් සම්බන්ධයෙන් ගත් කල, සේවා යෝජකයන් නාමික වැටුප් අඩු කිරීම් පවා ඉල්ලා සිටියි.  උද්ධමනය දිගටම පැවතුනහොත්, මෙය වැටුප් අඩකින් අඩු කරනු ඇත.

මෙම කප්පාදු සමග, හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත සන්නද්ධ කිරීමේ (rearmament) වැඩසටහනට සහ න්‍යෂ්ටික සන්නද්ධ බලවතෙක් වන රුසියාවට එරෙහිව යුක්‍රේනය බලල් අතක් කරගත් (proxy) යුද්ධයට ආන්ඩුව සෘජුවම මූල්‍යාධාර සපයයි.  යුද්ධය යනු මාධ්‍ය සහ දේශපාලඥයින් නිරන්තරයෙන් ප්‍රකාශ කරන පරිදි සාමය සහ නිදහස පිලිබඳ යමක් නොව, වසර 80කට පෙර මෙන්, ජර්මානු ප්‍රාග්ධනයේ භූ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා පිලිබඳ වන්නකි.  සමාජ ජීවිතයේ සෑම අංශයක්ම මෙම අරමුණු වලට යටත් වේ.

පාර්ලිමේන්තු අයවැය කාරක සභාවට රජයෙන් යැවුනු රහසිගත ලිපියක් පසුගියදා මහජනතාවට කාන්දු විය.  මහජනතාවට සඟවමින්, පස් ගුණයකින් වැඩි කල, එනම් යුරෝ බිලියන 15 ක ආයුධ යුක්රේනයට නැව්ගත කිරීම ලිපිය නිවේදනය කර ඇත.  සැසඳීමේදී, නිල “වර්ඩි” වෘත්තීය සමිතියේ වැටුප් ඉල්ලීම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළත්, ඒ සඳහා ෆෙඩරල් ආන්ඩුවට යුරෝ බිලියන භාගයක්වත් වැය නොවනු ඇත.  එහෙත් රුසියාවට එරෙහි යුද්ධයට සෘජුවම යන යුරෝ බිලියන 15 දැවැන්ත මිලිටරි වියදම්වලින් කුඩා කොටසක් පමනි.

බැංකු හා සංගතවල ලාභ ඉතුරු කර ගැනීම සඳහා තවත් මුදල් යොදවමින් පවතී.  පාසල්වලට තවමත් සරල වායු පෙරහන් ලබාදී නැති වූවත්, වසංගතය අතරතුර බැංකු සහ සංස්ථා වෙත බිලියන දුසිම් ගනන් කිසිදු බැඳීමකින් තොරව ලබා දෙන ලදී.  බදු ගෙවන්නන්ගේ මුදලින් යුරෝ බිලියන 100කට වඩා වැඩි මුදලක් සමඟ ස්විට්සර්ලන්තයේ UBS විසින් Credit Suisse අත්පත් කර ගැනීමේ පිටුබලය, ජර්මානු ආන්ඩුව ද එලඹෙන බැංකු අර්බුදයට ප්‍රතිචාර ලෙස ක්‍රියාත්මක කරනු ලැබෙනු ඇති බහු-බිලියන මුදල් යෙදවීම පිලිබඳ පුරෝකථනයක් ලබා දෙයි.  මේ සඳහා රාජ්‍ය සේවකයන් සහ ඔවුන් සමඟ සියලු මහජන සේවාවන් කොල්ලකෑමට නියමිතය.

1930 ගනන්වල දී මෙන්, ධනේශ්වර අර්බුදය යලිත් වරක් ආන්තික සමාජ අසමානතාවය, නිරුවත් සූරාකෑම සහ යුද්ධය නිෂ්පාදනය කරයි.  රාජ්‍ය සේවාවන්ට එල්ල කරන ප්‍රහාරවලට අමතරව පෞද්ගලික අංශයේ වැටුප් ද විනාශ වෙමින් පවතී.  ගණන් කළ නොහැකි තරම් සමාගම් ගනනක විශාල දොට්ට දැමීම් සිදුවෙමින් පවතී.  ධනවාදය යනු ලාභයට සියල්ල යටකර කම්කරුවන්ගේ ජීවිත වලට වටිනාකමක් නැති මුලුමනින්ම අක්‍රිය සමාජ ක්‍රමයකි.  මෙය බැංකු අර්බුදය මෙන්ම වසංගතයේ සහ උමතු යුද ප්‍රතිපත්තිය තුල ද පැහැදිලි වේ.

යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව චණඩ පන්ති අරගල වර්ධනය වෙමිනන් පවතින්නේ එබැවිනි.  විවිධ රටවල කම්කරුවන් හුදෙක් සමාන ගැටළු වලට මුහුණ දෙමින් සිටිනවා පමනක් නොව, ඔවුන් සටන් කරන්නේ එකම සටනකි.  ප්‍රන්සයේ, මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවලට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන් වැඩ වර්ජනයක යෙදී සිටිති;  බි‍්‍රතාන්‍යයේ සිය දහස් ගණනක් වැඩවර්ජනය කිරීමේ අයිතිය ඇහිරීමට හා වැටුප් කප්පාදු කිරීමට එරෙහිව විරෝධතා දක්වති.  පෘතුගාලය, ස්පාඤ්ඤය, බෙල්ජියම සහ තවත් බොහෝ රටවල ද ප්‍රචණ්ඩ පන්ති සටන් ඇවිලෙමින් පවතී.

රුසියානු විප්ලවය සම්බන්ධයෙන් රෝසා ලක්සම්බර්ග් 1905 දී ප්‍රකාශ කළ දෙය අද ප්‍රංශයට ද අදාළ වේ: ජර්මනියේ කම්කරුවන් එහි සිදුවීම් “තමන්ගේම කටයුත්තක්” සහ “තමන්ගේම සමාජ හා දේශපාලන ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස වටහා ගත යුතුය.

ප්‍රංශ රාජ්‍යය එහි ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර අතහැර දමා ප්‍රාග්ධනයේ නිරුවත් ආඥාදායකත්වයක් ලෙස පෙනී සිටියි.  මැක්‍රොන් පාර්ලිමේන්තුව නොසලකා හැර ඇති අතර අතිමහත් බහුතරයකින් ප්‍රතික්ෂේප කරන ලද විශ්‍රාම වැටුප් කප්පාදු බලාත්මක කිරීමට පොලිසිය යොදා ගනී.  ඊට එරෙහිව විරෝධතා දක්වන ඕනෑම අයෙකු සමග පොලු මුගුරුවලින් සහ කඳුළු ගෑස් වලින් ගනුදෙනු කිරීමට නියමිතය.  අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව දැවැන්ත මහජන විරෝධයට එරෙහිව ආඥාදායකත්වයක් ස්ථාපිත කරමින් සිටින ඊශ්‍රායලයේ ද එයම සිදුවෙමින් පවතී.

ජර්මනියේ, කොන්දේසි වෙනස් නොවේ, සමාන පුපුරන සුලු පන්ති ප්‍රතිවිරෝධතා වර්ධනය වෙමින් පවතී.  ‘මාර්ග සංඥා එලි සභාගය’ (the traffic light coalition – සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය -SPD, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය – FDP හා හරිත පක්ෂය සන්ධානය)  ද වෛරයට ලක් වූ මිලිටරිවාදය සහ වැටුප් හා සමාජ ප්‍රතිලාභ අඩු කිරීම බලාත්මක කිරීමට අධිෂ්ඨාන කරගෙන ඇත.

මෙයට Bundestag (ජරමානු පාර්ලිමේන්තුව) සහ මාධ්‍ය නියෝජනය කරන සියලුම පක්ෂවල සහාය ලැබේ.  වාම පක්ෂය ද ආන්ඩුවට සම්බන්ධ සෑම තැනකදීම වැටුප්, රාජ්‍ය සේවා සහ සමාජ සේවා සඳහා අයවැය ආක‍්‍රමනකාරී ලෙස කපා දමයි.  කම්කරුවන් සංගත, පක්ෂ සහ වෘත්තීය සමිතිවල පෙරමුණකට මුහුන දී සිටින අතර ඔවුන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගත හැක්කේ ඔවුන් ස්වාධීනව සංවිධානය වී ආන්ඩුවට එරෙහිව සටනක් දියත් කරන්නේ නම් පමණි.

වෘත්තීය සමිති උත්සාහ කරන්නේ මෙය සෑම ආකාරයකින්ම වැළැක්වීමටයි.  ඒවා තවදුරටත් කම්කරු සංවිධාන නොවේ.  ඔවුන් රජය සහ සමාගම් සමඟ සමීපව සම්බන්ධ වන අතර සමාගම්වල පොලිස් බලකායන් ලෙස සේවය කරයි.  ඩොයිෂ් පෝස්ට් හි, වර්ඩි සිය සාමාජිකයින්ගෙන් සියයට 86 ක වැඩ වර්ජන තීරණය වහාම අවලංගු කළ අතර සැබෑ වැටුප් අඩු කිරීමට ඉහල කළමනාකාරීත්වය සමග එකඟ විය.  රාජ්‍ය අංශය තුළ ද සමිතිය ක්‍රියා කරන්නේ ඒ හා සමාන මගක් ඔස්සේ ය.  වෘත්තීය සමිති වර්ජනයක් කැඳවන්නේ නම්, ඔවුන් එසේ කරන්නේ පීඩනය සමනය කිරීමට පමණි.  ඔවුන් ධනවාදයට සහ යුද්ධයට කොන්දේසි විරහිතව සහයෝගය දක්වන නිසා, කර්මාන්ත, රටවල් සහ කලාප ආකාරයට අරගලයන් බෙදීමට ඔවුන් සෑම උත්සාහයක්ම දරයි.

එබැවින් වර්ජනය තමන්ගේ අතට ගැනීමටත් යුරෝපය පුරා හා ජාත්‍යන්තරව අනෙකුත් සමාගම්වල කම්කරුවන් සමඟ ජාලගතව බද්ද වීමටත්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු සාදන ලෙස Sozialistische Gleichheitspartei (SGP, ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය) සිවිල් සේවකයන්ගෙන් ඉල්ලා සිටී.  එවැනි ක්‍රියාකාරී කමිටු සැබෑ අරගලයක් සංවිධානය කළ යුතු අතර ධනේශ්වර රාජ්‍යයේ ආයතනවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ගොඩනැගිය යුතුය.

SPG සහ හතරවන ජාත්‍යන්තරයේ එහි සහෝදර සංවිධාන කම්කරුවන් පොදු, ගෝලීය අරගලයක එක්සත් කිරීමට සහ වෘත්තීය සමිති සහ ධනපති ආන්ඩු කරන පරිදි ඔවුන් ජාතික වශයෙන් බෙදා එකිනෙකාට එරෙහිව පිහිටුවීම වැලැක්වීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) දියත් කර ඇත.  

රාජ්‍ය සේවා සේවකයන් ආන්ඩුව සමග ගැටුම එහි ස්වභාවයෙන්ම එය කුමක්දැයි වටහා ගත යුතුය: එය ධනවාදයට හා යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ යුරෝපීය හා ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි.  මක්නිසාද යත්, බැංකු හා සංගතවල බලය බිඳ දමා ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් නොකර කිසිදු සමාජ ප්‍රශ්නයක් විසඳිය නොහැකි අතර වැටුප් ආරක්ෂා කළ නොහැකි බැවිනි.  වැටුප් කප්පාදුවලට එරෙහි සටන යුද්ධයට එරෙහි සටනට සෘජුවම සම්බන්ධ විය යුතුය.

SGP සහ ලොව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ එවැනි සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් වදියි.  

සමාජවාදී සමානතා පක්ෂය – ජර්මනිය

#theSocialistLK #CACPS #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top