විදුලිබිල වැඩිකිරීමට එරෙහි පා ගමන නවතා දමා උද්ඝෝෂකයන් හයක් අත්අඩංගුවට ගනී

කොක්‍රික වෙනුවෙන් පී.ජී.පුන්‍යවර්ධන විසිනි.

විදුලි බිල යලිත් වැඩි කිරීමට එරෙහිව විරෝධය දක්වා නොවැ. 01 දින උදේ 8.30ට ආරම්භ කර, දිවුලපිටිය නගරයේ සිට කොළඹ දක්වා පා ගමනින් යාම සඳහා සංවිධානය කර තිබූ විරෝධතාවයකට අවහිර කල පොලිසිය එහි සංවිධායකවරුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.. 

ආරම්භක අවස්ථාවේ සිට ම පොලිස් නිලධාරීන් විශාල පිරිසක් උද්ඝෝෂනය වැලක්වීමට යොදවා තිබුනි. පොලීසියේ බාධා නොතකා සටන් පුවරු රැගත් දෙසීයකට ආසන්න පිරිසක් සටන්පාඨ කියමින් ඉදිරියට යාමට උත්සාහ කල අතර, ඔවුන් දිවුලපිටිය නගරයේ සිට කිලෝ මීටර එකහමාරක් පමන යන විට, හොරගස්මුල්ල ගම්මානයේ වෙල්යායේ දී පොලිස් මාර්ග බාධක යොදා පා ගමන නතර කෙරුනි. එහි දී, මතු වූ බරපතල විරෝධය හමුවේ, කුප්‍රුට වර්ගවාදී බෞද්ධ භික්ෂුවක් ඇතුලු එහි සංවිධායක වරුන් හයදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් අතර විරෝධතා පා ගමන විසුරුවා හරින ලදී. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සහ බලංගොඩ කස්සප භික්ෂුව අත්අඩංගුවට ගත් පිරිසට අයත් වේ. පසුව අත්අඩංගුවට ගැනුනු හයදෙනා මිනුවන්ගොඩ උසාවියට ඉදිරිපත් කර ඇප මත මුදා හැරුනි.

Kassapa
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සහ බලංගොඩ කස්සප භික්ෂුව අත්අඩංගුවට ගත් පිරිසට අයත් වේ. BBC

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ නායකත්වයෙන් දැන් පවතින ආණ්ඩුව මෙම වසරතුල තෙවැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති අතර, එම වැඩිකිරීමත් සමඟ විදුලි බිල පසුගිය වසරට සාපේක්ෂව 480%කින් ඉහළ ගොස් ඇත. මෙම තත්වය ගැන මහජනතාවගේ බරපතල විරෝධය රට පුරා ඉස්මත්තට පැමිනෙමින් පවතී. පසුගිය දිනවල රටපුරා විවිධ නගරවල පන්දම් දල්වා ගනිමින් පැවැති උද්ඝෝෂන රාශියක් මඟින් එය ප්‍රකාශයට පත් විය.

කොළඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) මෙසේ මෙකී පා ගමන බලහත්කාරය යොදා කඩා කප්පල් කිරීම සහ, එහි සංවිධායකයන්ගේ ප්‍රතිගාමී දේශපාලනයට කිසිදු සමාවක් නොදීම, ඔවුන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකියි. විදුලි බිල දැවැන්ත ලෙස ඉහල දැමීම ද ඇතුලුව කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ජීවන තත්ත්වයන් මත පොරෝ පහර එල්ල කිරීමට වික්‍රමසිංහගේ ධනපති ආන්ඩුව ඉදිරියට පැමින ඇත්තේ ධනේශ්වර ක්‍රමය මුහුන දී සිටින මාරක අර්බුදයේ බර මුලුමනින් කම්කරු පීඩිත ජනයාගේ උර මත පැටවීමේ IMF යෝජනා ක්‍රියාවට දැමීම් ලෙස ය. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමස්ත ආන්ඩුවත්, ධනපති රාජ්‍යයේ මර්දන උපකරන සියල්ලත් මේ වැඩ පිලිවෙල ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීමේ සැලසුමට සැදී පැහැදී පෙල ගැසී සිටින තතු තුල, මෙම විරෝධතා ව්‍යාපාරවල සංවිධායකයන් තැත් කරමින් සිටින්නේ එකී රාජ්‍ය යාන්ත්‍රනයේ ක්‍රියා කලාපයට එරෙහිව එහි ම ප්‍රධාන විධායකයා වන ජනාධිපති වික්‍රමසිංහට පැමිනිලි කිරීමේ වඳ පිලිවෙතකට ය. එය, මෙම ප්‍රහාරයේ ප්‍රධාන විධායකය වන ජනාධිපති ධුරයට අපක්ෂපාතී තීරකයෙකුගේ සලුපිලි අන්දවා එය පිලිබඳ මාරාන්තික මිත්‍යාවක් කම්කරුවන්ට හා පීඩිතයන්ට ගිල්ලවීමේ ද්‍රෝහී පිලිවෙතකි. 

කප්පාදුවට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු පීඩිත ජනතාව, තරුනයින් හා ශිෂ්‍යයින්   අත්අඩංගුවට ගැනීමට එරෙහිව කාර්මික බලය ඒකාබද්ධ කරමින් සටන් කරන ලෙස කොක්‍රික කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එකී අරගලයේ දී, එම ප්‍රහාරවලට එරෙහිව, ඒවායේ ප්‍රධාන අන දෙන නිලධාරියාට හා එකී ප්‍රහාරය ක්‍රියාවට නංවන ධනපති රාජ්‍ය තන්ත්‍රයේ ඒ හෝ මේ ආයතනයට ආයාචනා කිරීමේ මර උගුලෙන් ප්‍රවේශම් වීමට කම්කරුවන් වග බලා ගත යුතුය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ධනපති මූල්‍ය ආධිපත්‍යය කොලඹ ආන්ඩුව යොදා ගනිමින් කම්කරුවන්ගේ ජීවිතවලට හා අයිතීන්ට එරෙහිව මුදා හැර ඇති තිරිසන් ප්‍රහාරවලට මුහුන දීමේ එකම ක්‍රමය වන්නේ ඉහත ආකාරයේ මර උගුල් අටවන සමිති සංගම් නායකත්වයන්ගෙන් හා හොරිකඩ වර්ගවාදී නඩවලින් බැහැරව, ඒවායින් ස්වාධීන වෙමින්, තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, කම්කරු පන්තියේ විසඳුමක් විස්තාරනය කර ගැනීමේ විවෘත හා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් ආරම්භ කිරීමයි. කොලඹ ක්‍රියාකාරී කමිටුව කම්කරු පීඩිත ඔබට ආරාධනා කරන්නේ ඒ සඳහා පෙල ගැසෙන ලෙසය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top