ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි

සසප වාමාංශයේ ප්‍රකාශය

PURGE
ස්ටැලින්ගේ මහා විරේකය, 1936-38

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ (සසප) නායකත්වයේ “විරේක” කිරීමේ නිලධාරීවාදී පිලිවෙතට තවත් සාමාජිකයන් 7 දෙනෙකු ගොදුරු කර ගැනීමට 2023 අගෝස්තු 2 දින රැස් වූ මධ්‍යම කාරක සභාව තීන්දු කල බව අදාල සාමාජිකයන් වෙත දැනුම් දී ඇත. “මධ්‍යම කාරක සභාව, ඔබ විසින් දේශපාලන කමිටුවේ නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් සිය විනය විරෝධී ක්‍රියා කලාපය  දිගටම පවත්වාගෙන යාම හේතුකොට ගෙන ඔබව සසප සාමාජිකත්වයෙන් නෙරපීමට තින්දු කරයි,” යනුවෙන් දැනුම් දෙන ලිපියක් ඔවුන්ට එවා ඇත.

එහි සඳහන් දේශපාලන කමිටුවේ නිර්දේශයන් වන්නේ්, සසප විසින් ඉදිරිපත් කොට ඇති විප්ලවවාදී ඉදිරි දර්ශනය පසුගිය මහජන අරගලය තුලට ගෙන යාමත්, එම ඉදිරි දර්ශනය අනුගමනය කරමින් කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නැගීමත් නිසා පක්ෂයෙන් නෙරපූ සංජය ජයසේකර සහ, පක්ෂ නායකත්වය විසින් තමන් කොටු කිරීමටත්, අපකීර්තියට පත් කිරීමටත් දියත් කල ප්‍රකෝපකාරී ප්‍රචාර (සීඅයිඒ සම්බන්ධකම්, පක්ෂයට බැදෙන අයට බැන වැදී පලවා හැරීම වැනි ප්‍රබන්ධ කථා) ෆේස් බුක් මාධ්‍යය මගින් හෙලිදරව් කිරීම නිසා නෙරපා හල නන්දන නන්නෙත්ති යන අය සමග සියලු සබඳතා නතර කල යුතු බව, සහ කොලඹ ක්‍රියාකාරී කමිටුවට දෙන සහයෝගය නතර කල යුතු බවය. 

නුවර කමිටුවේ 1972 සිට සාමාජිකයෙකුව සිටි රජයේ ලිපිකරුවෙකු වූ අයිවන්, හලාවත කමිටුවේ නිහාල් ගීකියනගේ (1980 ජුලිවල පක්ෂයට බැඳී, පසුව මධ්‍යම කාරක සභාව නියෝජනය කලේය), 1990 සිට සාමාජිකත්වය දැරූ ධීවර කම්කරුවෙක් වන රත්නෙ, හා 2008 සිට සාමාජිකයෙකු වන විජේසිංහ යන සහෝදරවරු තිදෙනා ද, 1982 සිට පක්ෂ සාමාජිකත්වය උසුලා ඇති රෝලන්ඩ් සමාගමේ කම්කරුවෙකු වූ රත්මලාන කමිටුවේ කරුනාසේන, 1988 සිට සාමාජිකත්වය දැරූ හා හිටපු මධ්‍යම කාරක සභික අම්බලන්ගොඩ කමිටුවේ උදයප්‍රේම සහ 1990 දී පූර්නකාලීන සාමාජිකාවක ලෙස නිදහස් වෙලද කලාපයේ කම්කරුවන් අතර දේශපාලන කටයුතු සිදු කල ගීතා යන දෙදෙනා ද මේ සමාජික, සාමාජිකාවන් වේ. කිසිදු අවස්ථාවක දේශපාලනිකව පැහැදිලි නොකර, එසේ පැහැදිලි කර ගැනීම සදහා සාකච්ඡාවකට ඉඩ නො හරින ලද තතු යටතේ, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව, විනය පරීක්ෂනයක් තුල සිය නිර්දෝෂීභාවය සනාථ කිරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් සලසා ඇති ඉඩකඩ ද අහුරා, ආඥාදායක ස්වරූපයෙන් ඉදිරිපත් කල මෙම නියෝගවලට යටත් වීම ඔවුහු සප්‍රතිපත්තිකව ප්‍රතික්ෂේප කලහ. 

2022 මැයි 14-16 පක්ෂයේ තුන්වන සම්මේලනය මෙම නෙරපා හැරීම් සදහා ම සූදානම් කල, කූටෝපායයන් හරහාම මෙහෙයවුනු සම්මේලනයකි. මුලින් ම එය පැවැත්වීමට නියම කර ගත්තේ එම වසරේ මාර්තු මාසයේ දී ය. සම්මේලනය, සාමාජිකත්වයට එයට සූදානම් වීමට කිසිදු ඉඩක් නැති වන පරිදි, දින කීපයකට පෙර දැනුම් දීමකින් පවත්වන්නට උත්සාහ කලේ පක්ෂය තුල සිදුවෙමින් පැවති දේශපාලන, න්‍යායික හා සංවිධානාත්මක පසු බැසීම් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී හැඩ ගැස්ම ගැන සාකච්ඡාවක් මතුවීම වලක්වා ගැනීම සඳහා ය. එහෙත් වාම පාර්ශවයේ සාමාජිකයන් විසින් ඒ පිලිබඳව ජාත්‍යන්තර කමිටුවට දැනුම් දෙනු ලැබීමෙන් පසු  එහි මැදිහත් වීමෙන් එම ප්‍රයත්නය පරාජයට පත් කල හැකි විය. 

එම කල් දැමීම, සාමාන්‍ය සම්ප්‍රදාය වන පූර්ව සම්මේලන සාකච්ඡා සදහා කාලය වෙන් කිරීමක් වුව ද, කටයුතු සිදුවූයේ ඉතා නින්දා සහගත ආකාරයකිනි. පූර්ව සම්මේලන සාකච්ඡා සදහා යොමු කල සාමාජිකයන්ගේ ලිපි පක්ෂය තුල බෙදා නොහැරුනා පමනක් නො ව සාකච්ඡා පැවති සීමිත අවස්ථාවල දී පවා විරුද්ධ අදහස් යටපත් කර, එම අදහස් සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවීමේ ඉඩකඩ අහෝසි කිරීමට පක්ෂ තන්‍ත්‍රය ක්‍රියා කලේ ය. කොඩිඩ් වසංගත තත්වය නිසා අන්තර්ජාල තාක්ෂනය යොදා ගැනීම වාසියට හරවා ගත් තන්ත්‍රය ඡන්දය පවා වංචා කලේ ය. ඇතැමුන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පවා අහිමි කරන ලදී. මූලධර්ම සඳහා සටන් වැදුනු සාමාජිකයන්ට පක්ෂය අත්හැර යාමට හෝ නිෂ්ක්‍රිය වීමට බල කෙරින. උදාහරනයක් ලෙස බුලත්සිංහල කමිටුවේ සිටි පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ විලියම් සහෝදරයා ඔහුගේ පදිංචියට හෝ සේවා ස්ථානයට කිසිදු සම්බන්ධතාවයක් නැති, ඔහු ජීවත් වන ප්‍රදේශයෙන් කි.මී. 100 කට වඩා දුරින් පිහිටි බන්ඩාරවෙල කමිටුවට අනුයුක්ත කෙරුනේ හුදෙක් නායකත්වයේ අභිමතය පරිදි ය. එය වූ කලී, ප්‍රවාහන වියදම් හා ශ්‍රී ලංකාව වැනි අඩු ප්‍රවාහන පහසුකම් සහිත රටක ගමන් කාලය සැලකිල්ලට ගත් කල සිද්ධිදායක අයුරින් කිව හැකි පරිදි, ඔහු නිෂ්ක්‍රිය කර තැබීමේ තීන්දුවකි. ඒ සඳහා තර්කානුකූල හේතුවක් වී නම්, ඒ, ඔහු සිය අත්දැකීම් මත පදනම් ව නායකත්වයේ ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීම පමනෙකි! තන්ත්‍රයේ බොල්ෂෙවික් විරෝධී ක්‍රියාවන්ට එරෙහි වූ, මූලධර්ම මත පිහිටාගත් සාමාජිකයන් නායකත්වයෙන් ඉවත් කර පසුගාමී ද, ආර්ථික වශයෙන් ශක්තිමත් ද වූ ව්‍යාපාරිකයන් වැනි සුලු ධනේශ්වර කොටස් ඒ තැන්වල ස්ථාපිත කරන ලදී. 

මෙයින් කලකිරුනු සහෝදරවරු දෙදෙනෙක් සම්මේලනයෙන් පසු සති දෙක තුල සාකච්චා කර මෙම තත්වය පැහැදිලි කර ගැනීමට ගත් උත්සාහයට ඉඩ නොදුන් බැවින් යලි කිසිදු සම්බන්ධයක් නැතැයි සහතික කර පක්ෂය හැර ගියහ. ඔවුහු කොටුව ලෝකලය බාරව වැඩ කල විලානි පීරිස්ට හා දේශපාලන කමිටුවට, කරුනු සනාථ කරන සාක්ෂි සහිතව ලිඛිත ප්‍රකාශ ලබා දුන් හ. ඒ අතරින් මිස්සක මධ්‍යම කාරක සභිකයෙක් ලෙස තුන්වන සම්මේලනය දක්වා වැඩ කල අයෙකි.

සම්මේලනයෙන් අනතුරුව අම්බලන්ගොඩ කමිටුව රැස් වූ අවස්ථාවේ දී, දේශපාලන සාකච්ඡාවක් හා සම්මේලනය පිලිබඳ තක්සේරුවක් සිදු කිරීමේ සාමාන්‍ය සම්ප්‍රදායට පිටුපා යාමට දේශපාලන කමිටු නියෝජිත රත්නසිරි මලලගම වැඩ කලේ ය. මීට විරුද්ධවීම හා සම්මේලනය පිලිබද සමාලෝචන සාකච්චාවක් ඉල්ලා සිටීම නිසා නන්දන නන්නෙත්තිගේ සාමාජිකත්වය තහනම් කිරීමට අභිනව ලේකම් දීපාල් ජයසේකර තීන්දු කලේ ය. අනතුරුව නන්දන නෙරපීමට විරුද්ධවීම නිසා අම්බලන්ගොඩ කමිටුවේ අමරතුංග (1976 සිට ක්‍රියාශීලී සාමාජිකයෙකු වන අතර දඩයමට ලක් වූ පතල් කම්කරුවෙකි) නෙරපා හරින ලදී.

පසුව 2022 නොවැම්බර් 19 දින, නන්දනට සහ සංජයට පක්ෂයේ සාමාජිකත්වය සම්පූර්නයෙන් ම අහිමි කෙරින. එවිට කොලොන්නාව කමිටුවේ මිගාර මේ පිලිබද විරුද්ධත්වය ප්‍රකාශ කල අතර ඔහු ද නෙරපා දමන ලදී. රත්මලාන කමිටුවේ සුනිල්ට ද මෙම ඉරනමට මුහුන දීමට සිදු විය. මේ අනුව සම්මේලනයෙන් පසු ගෙවී ගිය වසරකට මදක් වැඩි කාලය තුල 12 දෙනෙකු ‘විරේක’ කර දැමූ අභිනව ප්‍රධාන ලේකම් ජයසේකර ප්‍රමුඛ මේ තන්ත්‍රය 4 වන ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල විශේෂ වාර්තාවකට හිමිකම් කියයි. එපමනක් නොවේ; සම්මේලනයෙන් අනතුරුව තවත් අය පක්ෂය හැර ගිය ලයිස්තුවට එකතු වී සිටිති. විවිධ හේතු ඉදිරිපත් කරමින් හා පැදුරටත් නොකියා පලා ගිය ඒ පිරිස අතර, නුවර කමිටුවේ (මුල් කාලයේ සිට පක්ෂයේ සාමාජිකයෙකු වූ) ධනපාල සහ නිලූකා ද, හලාවත කමිටුවේ මහේෂ් ද, රත්මලානේ සතිස් කුමාර් ද වෙති. අවසන් සම්මේලන දෙක අතර කාලය තුල දුසිම් ගනනක් පක්ෂය හැර ගියහ. අවස්සාවේල්ල ශාඛාව විසුරුවා හැරුනි. එම හැරයාම් වල දේශපාලන ගම්‍යාර්ථ විමසූවන්ට නායකත්වයෙන් ලැබුනු ප්‍රතිචාරය වූයේ, “යනවා, එනවා .. ඒ ගැන සාකච්ඡා අනවශ්‍යය යි” වැනි අති සරල පිලිතුරකි. 

සම්මේලනයේ දී නැවත මධ්‍යම කාරක සභාවට පත් කරගත්, දේශපාලන කමිටු සාමාජික හා ලෝසවෙ අඩවියේ ශ්‍රී ලංකා කතෘ මන්ඩලයේ සාමාජික ප්‍රගීත් අරවින්ද මේ වසර මුල දී පක්ෂය අත් හැර දැමීමට තීන්දු කලේය. කලාවේ හා ප්‍රකාශනයේ  නිදහස සදහා සාර්ථක ලෙස ගොඩ නැගූ ක්‍රියාකාරී කමිටුව, නිලධාරීවාදයේ අපවිත්‍ර අත පොවා වීනාශ කිරීමට සසප නායකත්වය මොහු යොදාගනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් එම කමිටුවේ නන්දන සහෝදරයා 2022 නොවැමිබර 19 දින හා එහි හිටපු සභාපති සංජය  සහෝදරයා 2023 ජනවාරි 30 ඔහු වෙත යොමු කල විවෘත ලිපිවලට පිලිතුරු දෙනු නො හැකිව ඔහු මෙසේ පලා ගියේ ය.

සසප මෙන් ම එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ද පුරෝගාමියෙකු වන ආනන්ද වක්කුඹුර, මහජන අරගලය තුල පක්ෂ ක්‍රියා මාර්ගය සඳහා ඔහු කල මැදිහත් වීම නිසා, සාමාජිකත්ව තහනමට ලක් කෙරී මාස ගනනක් ගත කිරීමට සිදු වූ අතර, ඔහු ඉහත චෝදනා හමුවේ දන ගසා සාමාජිකත්වය ලබා ගත් නමුත්, තමන් ම බිහි කල සංවිධානය තුල ම අවලංගු කාසියක තැනට ඇද දමනු ලැබ සිටී. තන්ත්‍රය වාමාංශයෙන් ඉල්ලා සිටින්නේ එම ආදර්ශය අනුව වැඩ කරන ලෙස ය.     

සාමාන්‍යයෙන් සම්මේලනයක් යනු පක්ෂයක ප්‍රශ්න පැහැදිලි කරගෙන හා ප්‍රශ්න අවසාන වශයෙන් විසදා, පක්ෂය න්‍යායිකව, දේශපාලනිකව හා සංවිධානාත්මකව ශක්තිමත්, ඒකාබද්ධ සංවිධානයක් ලෙස නව ජවයකින් වැඩ ආරම්භ කිරීමට පදනම් දමන අවස්ථාවකි. පක්ෂ තන්ත්‍රය ජාත්‍යන්තර කමිටුවේ අධීක්ෂනය යටතේ ඉදිරි දර්ශනයක් වර්ධනය කර ප්‍රකාශයට පත් කල ද එය හුදු ලියවිල්ලකට වඩා දෙයක් ලෙස නො සැලකුනි. සම්මේලනය ප්‍රධාන තැනක් දුන්නේ අවලාද හා මඩ ගැසීම වැනි දේ මගින් එම ඉදිරි දර්ශනය පිලිබද අවධානය යොමු වීම බිඳ දැමීමට ය. පක්ෂය ඉදිරි දර්ශන ගැන කතා කරමින් තත්කාර්යවාදීව ක්‍රියා කරන බව වටහා ගැනීමට මේ නිදසුන පමනක් වුව ප්‍රමානවත්ය.

නමුත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලොසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සහෝදරයා, සම්මේලනයට සුබ පතමින් එය තක්සේරු කලේ මෙලෙසිනි. “මෙම සම්මේලනය මුහුන දෙන මූලික අභියෝගය වන්නේ, මෙම සිද්ධීන් හා ලංකාව ඇතුලතම වර්ධනය වන විප්ලවවාදී අර්බුය කෙරෙහි, ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාවේ ආකල්පය පැහැදිලිව නීර්නය කර ගැනීම යි. වෙනස් ආකාරයකින් කිවහොත්, විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ, ලෙනින් පෙරලා රුසියාවට පැමිනීමෙන් පසුව පැවැත් වූ පලමු සම්මේලනය වන,  1917 අප්‍රේල් බොල්ෂෙවික් පක්ෂයේ සම්මේලනයට, ඔබ දැන් පවත්වමින් තිබෙන සම්මේලනය බොහෝ අංශවලින් සමානකම් දක්වනවා. ගෝලීය යුද්ධයක් මධ්‍යයේ (බොල්ෂෙවික්) පක්ෂයට පැවති අභියෝගය වූයේ, කම්කරු පන්තියට අත්‍යවශ්‍ය නායකත්වය සැපයූ දේශපාලන දිසානතියක්, දේශපාලන ක්‍රියා මාර්ගයක් හා ඉදිරි දර්ශනයක් නීර්නය කර ගැනීම යි.

පක්ෂ තන්ත්‍රය මෙම වෛෂයික ඓතිහාසික තක්සේරුව සලකා ගත්තේ තමන්ට පිදූ සම්මානයක් ලෙස, හා ලෙනින් පැවැත් වුවා වැනි ම සම්මේලනයක් පවත්වන තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට නෝර්ත්ගෙන් ලැබුනු වරපත්‍රයක් ලෙස ය. සැබැවින්ම ඔහුගේ අවධාරනය පක්ෂයේ වගකීම් සම්බන්ධ එකක් විය. එය, ලෝක යුද්ධ තත්වය හා රට තුල ම වර්ධනය වන විප්ලවවාදී අර්බුදයට මුහුන දීමේ අභියෝගය පිලිබඳ අවධාරනයක් විය. මෙකී අවධාරනය නොතකා මෙම තන්ත්‍රය සිදු කලේ, විප්ලවවාදී අර්බුදය උත්සන්න වෙද්දී ඊට පස්ස හරවා සිටීම හා, එතෙකින් නොනැවතී, එම මග හැරීමට එරෙහි වූ සාමාජිකයන්ට විරුද්ධව කුමන්ත්‍රනය කර  පලවා හැරීමට ක්‍රියා කිරීම ය. අරගලයට මෙන් ම කොලඹ ක්‍රියාකාරී කමිටුව වැනි අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවලට ද හතුරුව පක්ෂයේ අනුමැතිය ලබන ඒවා පමනක් සැබෑ ක්‍රියාකාරී කමිටු වේය යනුවෙන් ඉදිරිපත් කිරීමේ අර්ථය වන්නේ, තමන්ට අරගලයේ වර්ධනය මැඩ රඳවා ගැනීමට අවස්ථාව අවශ්‍යය යන්න මිස අනෙකක් නොවේ. මේ තන්ත්‍රයට අනුව, ක්‍රියාකාරී කමිටු යනු හුදෙක් ජාත්‍යන්තර කමිටුවේ නිර්දේශ වලට අනුගත වීම මිස මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම නොවේ. 

මෙම තත්වයන්ට එරෙහි වන වාම පාර්ශවය, නෙරපීම්වලින් ද, සියලු ආකාරයේ දඩයම් කිරීම්වලින් ද, හිරිවට්ටනු නොහැකි බව අපි කම්කරු පන්තියට සඵත කරමු. එමෙන් ම, වාම කන්ඩායම ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියා මාර්ගය දිවි දෙවෙනි කොට රකිනු ඇත. එය එම පිලිවෙත මග හැරීමට ගන්නා ඔනෑම ප්‍රයත්නයකට එරෙහිව සටන් වදිනු ඇත. එහෙත් කොලඹ ක්‍රියාකාරී කමිටුව වාම පාර්ශවයට අනන්‍ය කිරීමට සසප තන්ත්‍රය දරන ප්‍රයත්නය අපි ප්‍රතික්ෂේප කරමු. සසප වාම පාර්ශවයට මුවා වීමට අම්බලම් අනවශ්‍ය ය. එය, දශකයකට ආසන්න කාලයක් පක්ෂ අභ්‍යන්තරයේ සිදු කල, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනයෙන් පන්නරය ලද අරගලය, වඩා තීව්ර ලෙස කම්කරු පන්තිය තුල සිදු කරනු ඇත.   

සසප ආරක්ෂා කිරිමේ අරගලය: අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම් වීමට කල කැඳවුම 

සසප ආරක්ෂා කිරිමේ අරගලය: අම්බලන්ගොඩ ශාඛාවේන් අමරතුංග සහෝදරයා විරේක කිරීමට එරෙහිව

1 thought on “ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ තන්ත්‍රය තවත් සාමාජිකයන් 7ක් පක්ෂයෙන් නෙරපයි”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top