ශ්‍රී ලංකා සසප නිලධරය ස්වයං-නීර්නය සංකල්පය මර්දනයේ අවියක් කරගත් හැටි

නන්දන නන්නෙත්ති විසිනි.

සසප සහෝදරවරුනි, ධනේශ්වර විරෝධී සියලු හිතවතුනි,

අපි පන්ති අරගලයේ තීරනාත්මක අවධියකට පිවිස සිටිමු. ලෝක යුද්ධයකට හා විප්ලවය හා ප්‍රතිවිප්ලවය මුහනට මුහුන ලා සිටින තත්වයට ලෝකය වේගයෙන් ඇදී යමින් පවතී. ජාතිකවාදී කුමන ව්‍යාාරයකට හෝ ප්‍රතිවිප්ලවය මුවහත් කිරීම හැර මාවතක් නැති බව දැන් හොඳට ම පැහැදිලි ය.

එහෙත් කම්කරු පන්තියේ තීරනාත්මක මැදිහත් වීමකින් තොරව මහජනතාවගේ එකදු ප්‍රශ්නයක්වත් විසදෙනු නැත. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර විප්ලවවාදි ක්‍රියා මාර්ගයෙන් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමෙන් මෙපිට කම්කරු පන්තියට වර්ධන වන මහජන අරගල මාලාව තුල කේද්‍රීය ක්‍රියා කලාපයක් ඉටු කල නො හැකි ය‍. ඒ සදහා කම්කරු පන්තියේ පවතින විඥානයට එරෙහි සටන තියුනු සහ වේගවත් කල යුතු ය. 

ධනපති පන්තිය පැත්තෙන් නම් තම පන ගලවා ගැනීම සදහා එම සටන දිය කර හැරීම අවශ්‍ය ය. ජාත්‍යන්තර කමිටුවේ ශාකා ඒවායේ පදනම්වලින් ලිස්සා යැවිය හැකි තත්වයක් පක්ෂ තුලින්ම මතු කර ගැනීම සදහා කම්කරු පන්තිය මත ධනවාදය යොදන පීඩනය ඉමහත් ය.

ශ්‍රී ලංකාවේ දී මෙම පීඩනයේ ඉලක්කගත ගොදුර සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. ඒ නිසා, අන් කවරදාටත් වඩා ජාත්‍යන්තර පන්ති අරගලයේ හා පක්ෂයේ ඉතිහාසය  මත පදනම් වීමත්, ප්‍රතිපත්ති හා මූලධර්ම කෙරේ දෘඩතර වීමත් අත්‍යවශ්‍ය ය.

හරියට ම මේ මොහෙතේ පක්ෂ නිලධාරී තන්ත්‍රය පක්ෂය දිය කර හරිමින් සිටීම පුලුල් ලෙස සාකච්ඡා කල යුතු කරුනකි. එය වඩා න්‍යායාත්මක, ක්‍රියා මාර්ගික හා ඉදිරි දර්ශනාත්මක කර්තව්‍යයකි. පක්ෂ තන්ත්‍රය එම කර්තව්‍යය ඉස්මතු කරන සාමාජිකයන්ට එරෙහිව, පක්ෂය තුලත්, ඉන් පිටතත් ප්‍රචාරය කරන භයංකර බොරු හා විකෘති කිරීම් හෙලි කරගෙන ඒවා ජය ගැනීම සදහා යොමු වීම තීරනාතමක ය.

පක්ෂයේ එවකට ප්‍රධාන ලේකම්, ස්වයං-නීරනය පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය ප්‍රතික්ෂෙප කර ඇතැයි චෝදනා කර, 2021 නොවැම්බර් 15 දින සිට සති තුනකට මගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් එම කාලය තුල නිදහසට කරුනු දැක්වීම නො කෙරුනේ නම් “සාමාජිකත්ව තහනම දිගටම බලපවත්වන බව” එම නොවැම්බර් 16 දින මට දැනුම් දෙන ලදී. මේ වනාහි එක්සත් ජනපදයේ පිටුබලය සහිතව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට පිවිසි  2015 වසරේ සිට පක්ෂය තුල දියත් කල දඩයමක කුලුගැන්වීම බව ඉදිරි කාලයේ දී ඔබට වටහා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 

කෙසේ වෙතත් මම නායකත්වය වෙත නිසි කාල සිමාව තුල පිලිතුරු සැපයු වෙමි. එයින් නායකත්වයේ චොදනාවල ව්‍යාජත්වය හෙලි කෙරුනු අතර ඒ නිසා ම එය ඉවත දමන ලදී. එහෙත් ඊට එරෙහිව “නන්දන සහෝදරයාගේ මේ සියලු විකෘතිකරනයන් පිලිබද සැලකිල්ලෙන් බලන විට” පෙනී යන්නේ “ පක්ෂය ජාත්‍යන්තරවාදී පදනම්වලින් ඉවතට හරවා විවිධාකාර වාම පුද්ගලයින්ට ගැලතිය හැකි අම්බලමක් බවට පක්ෂය පරිවර්තනය කිරීම සදහා ෆේස්බුක් පිටු පාවිචිචි කරමින් සුලු ධනේශවර පීඩනයට යටත් වීමයි,” යනුවෙන් සදහන් වසන්ත රුපසිංහගේ නමින් ලියූ, 2021 දෙසැම්බර් 20 දිනය සහිත ලිපියක්, ප්‍රධාන ලේකම්ගේ අනුමැතියෙන් බෙදා හැරියේ ය. 

නිලධරයේ අරමුන වූයේ මාර්තු මාසයේ පැවැත් වීමට නියමිත වූ සම්මේලනයට සහභාගි වීමෙන් මා වැලැක් වීම ය.

පක්ෂ සාමාජිකයන් 17 දෙනෙකු අත්සන් කර සසප මධ්‍යම කාරක සභාවට යැවූ 2022 පෙබරවාරි 7 දිනය දරන ලිපියකින් මෙම සූදානමට විරුද්ධ මැදිහත් වීමක් සිදු විය. එහි මෙසේ සදහන් වේ. “නන්දන සහෝදරයා නියම කර ඇති කාල සීමාව තුල මධ්‍යම කාරක සභාව වෙත සිය පිලිතුර යොමු කර ඇත. නමුත් දේශපාලන කමිටුව කිසිදු හේතු දැක්වීමකින් පවා තොරව තහනම දිගටම පවත්වා ගනිමින් පෙබරවාරි 12,13,14 දිනයන්හි පැවැත් විමට යොදාගෙන තිබෙන ජාතික සම්මේලනයට හා ඒ සදහා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වීමෙන් ඔහු වැලැක් වීමට තීන්දු කර ඇත.”

“සම්මේලනයට සහභාගී වීමට අවස්ථාව සලසන ලෙස නන්දන විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස, – ලැබී ඇති සාමාජිකත්ව වරම අයතා ලෙස භාවිත නො කිරීම,  සාකච්චාව තුල කඩාකප්පල් ක්‍රියා නො කිරීම, සම්මේලනයේ න්‍යාය පත්‍රයට හා පත්කෙරෙන සභාපති මඩුල්ලට යටත්ව ක්‍රියා කිරීම යන කොන්දේසිවලට යටත්ව – සම්මේලනයට හා සාකච්ඡාවට සහභාගි වීමට අවසර දීමට DN සහෝදරයාගේ අනුමැතියෙන්, දේශපාලන කමිටුව තීන්දු කල බව 29 දින ලිපියකින් ඔහු වෙත දැනුම් දී ඇත. 31 දින තමන් මේ කොන්දේසි පිලිගන්නා බව නන්දන මධ්‍යමකාරක සභාවට හා ජාත්‍යන්තර කමුටුවට වාර්තා කර ඇත.” 

“එහෙත් එම 2දා දහවල් 12.35ට ප්‍රධාන ලේකම්  විජේ සහෝදරයාගේ ඊමේල් පනිවිඩයකින් ඔහුගේ සහභාගීත්වය යලි තහනම් කර ඇත.” 

දේශපාලන කමිටුවේ ව්‍යවස්ථාවට පටහැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දුව ප්‍රතික්ෂේප කල, සාමාජිකයනගේ ලිපිය සදහන් කලේ, “අපි දේශපාලන පැහැදිලිකම සදහා ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතවාදයේ පදනම මත සිදු කෙරෙන න්‍යායායික දේශපාලනික සාකච්චාවන්හි බරපතල අදාලත්වය අවධාරනය කරමු” යනුවෙනි. “ සම්මේලනය මෙසේ පැවැත් වීමට උත්සාහ කරන්නේ දේශපාලන කමිටුව විසින්, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් තිදෙනෙකු හා සාමාජිකයන් සෑහෙන කන්ඩායමකට එරෙහිව බරපතල චෝදනා එල්ල කර ඇති තත්වයක දී ය,” යි එය පෙන්වා දුන්නේ ය. 

වසන්ත රුපසිංහගේ ලිපියේ ඉහත උපුටා ඇති කොටස මගින්  දේශපාලන කමිටුව එල්ල කරන චෝදනා ගැන සදහන් කරමින් එය කියා සිටියේ මේ තත්වය නිසා ම සම්මේලනයට පෙර මේවා විසදා ගැනීම අවශ්‍ය බව ය.

සම්මේලනය කැදවීම පන්ති අරගලයේ නව විප්ලවවාදී අරගලයට සූදානම් වීම පිනිස වෙනුවට වැරදි රැකගෙන පවත්වා ගැනීම සදහා, කූටෝපායන් ක්‍රියාත්මක කරන ගමන් ම ඉටු කල වතාවතක් විය. ඒ අවබොධයෙන්, උක්ත ලිපිය මෙසේ කියා සිටියේ ය. “මෙම සම්මේලනය පෙබරවාරි 12 දින සිට පැවැත්වෙන බව සාමාජිකයන්ට දැනුම් දුන්නේ ජනවාරි 27දා ය…හලාවතට දැනුම් දී ඇත්තේ පෙබරවාරි 4දා ය.”

“සසප ව්‍යවස්ථාවේ 7 (ආ) ඡේදය අනුව අනුව මධ්‍යම කාරක සභාව විසින් ජාතික සම්මේලනය පැවැත්වීමේ නිවේදනය අවම වශයෙන් දින 60කට පෙරාතුව නිකුත් කල යුතු ය.”

“7 (ඊ) න්‍යාය පත්‍රයේ ද, ලිපි ලේඛනවල ද කෙටුම්පත් සමුලුවට දින 20කට පෙර නියෝජිතයන් වෙත ලබා දිය යුතු ය.”

“ මෙහි දී අපගේ අවධානය යොමු වන විශේෂ කරුන නම් ජාත්‍යන්තර කමිටුව බැරෑරුම්ව සලකන්නේ යයි කියන ව්‍යවස්ථාව එහි ශාකාවක් විසින් එසේ නො සලකන්නේ ඇයි ද යන්න ය.” 

“මේ අයුරින් සම්මේලනය පැවැත්වීම ව්‍යාකූලත්වයෙන් ව්‍යාකූලත්වය සදහා ආරාධනා කිරීමකි. ඒ නිසා සම්මේලනයට අවශ්‍ය කාලය ලැබෙන පරිදි කල් දැමිය යුතු යයි පහත අත්සන් කරන අපි යෝජනා කරමු.”

ලිපිය කුනු කූඩයට ගොස් තිබිනි. ඊලග 10දා එහි ඉංග්‍රීසි පිටපතක් ජාත්‍යන්තර කමිටුව වෙත යොමු කල අතර පසු දින ම ලංකා ශාඛාව සමග සාකච්ජා  කර සම්මේලනය කල් දැමීමටත්, නන්දන සම්මෙලනයට හා පූර්ව සම්මේලන සාකච්චාවලට සහභාගි කර ගැනීමටත් එය එකග කරවා ගත්තේ ය. 

නමුත් නායකත්වයේ අරමුන වූයේ කෙසේ හෝ නන්දන නැවත මධ්‍යම කාරක සභාවට පත්වීම වැලැක් වීමත් සම්මේලනය තුල දී පක්ෂයේ දේශපාලන හා න්‍යායික අර්බුදය ඉස්මතු වීම වලක්වා ගැනීමත් ය. 

ස්වයං-නීර්න අයිතිය පිලිබඳව සංකල්පය ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන ආස්ථානයේ  පදනම් වලින්  ගලවා දමමින් පක්ෂ තන්ත්‍රය එය දිගින් දිගටම නවකයන්, තත්වාරක්ෂකයන් හා වසර ගනනක කාලයක් න්‍යායිකව සන්නද්ද නො කෙරුනු සාමාජිකයන් ව්‍යාකූල කිරීම සදහා යොදා ගත්තේ ය. පක්ෂයේ පදනම් ලියවිල්ලේ ස්වයං-නීරනය සම්බන්ධයෙන් සදහන් 30-4-5-6 ඡේද උල්ලංගනය කලේ ය යන චෝදනාව මගේ ලිපියෙන් ඛන්ඩනය කල නමුත් තන්ත්‍රය එම ලිපිය සාමාජිකත්වයෙන් සඟවා තමන් ම ගෙතූ වැරදි ඒ මත පටවා ඒ වෙනුවෙන් මා දඩු ගැසීම ඉල්ලා සිටියේ ය.

Image
ඇමසන් පිටපත

මොන තරම් ප්‍රතිගාමී සංකල්පවලින් සාමාජිකත්වය දූෂනය කලේද යත් ස්වයං-නීර්නය “සටන් පාඨයෙන් අදහස් කරන්නේ සිංහල දෙමල ධනපති පන්තියට එරෙහිව සිංහල දෙමල කම්කරු පන්තියේ ස්වයං-නීර්නය අයිතිය තහවුරු කිරීමට සටන් කිරීමයි” යනුවෙන් රූපසිංහගේ ඉහත ලිපියේ ඔවුහු ලියූහ.  මෙය ඉතිහාසය, සංකල්ප හා ආස්ථානයන් විකෘති කිරීමකි. ඔවුන් හිතන්නේ කුමක් උවත්,  එවන් ආස්ථානයක් නිශ්චිතවම සමපාත වන්නේ  පීඩිත දෙමල ජාතියට සිංහලයන්ට වඩා වෙනස් පීඩනයක් නැත යන ඉතිහාස විරෝධී, සිංහල-බෞද්ධ වර්ගවාදී, ප්‍රතිගාමීත්වයේ බලහත්කාරය සමඟ ය.  මාක්ස්වාදී ව්‍යාපාරයට තුල මෙම සටන් පාඨය අධිරාජ්‍යවාදය විසින් දුර්වල ජාතීන් යටත් කර තැබීම හා ජාතික රාජ්‍යය තුලම මහ ජාතියේ පාලනය විසින් සුලු ජාතික කන්ඩායම් යටත් කර තැබීමට එරෙහි වීම ප්‍රකාශයට පත් කරයි. 90දශකයේ මුල් භාගයේ සිට මෙම සංකල්පය හා එහි භාවිතය ජාත්‍යන්තර කමිටුව නැවත සලකා බලන විට, පක්ෂ නිලධරය කියාපාන ලෙස, එය එහි ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයෙන් උගුලා දැමූවේ නැත.         

මගේ පිලිතුර අද ප්‍රථම වතාවට සසප සාමාජිකත්වය දැක ගනී. එය මෙහි පහලින් පල කිරීම සඳහා යොමු කරමි. එහි ඇත්තේ සම්පූර්න ලිපියේ මාතෘකාවට අදාල සාවද්‍ය චොදනා පත්‍රයක් යන කොටස පමනි. එය වුව, දේශපාලන ප්‍රශ්න දේශපාලනිකව නිරාකරනය කර ගැනීම සඳහා සසප වාම කන්ඩායම ගෙන ගිය දෘඩතර අරගලයට සාක්ෂි දරමින්, එය පක්ෂයේ හා පන්තියේ පැවැත්මට අවශ්‍ය අවධානය දිනාගනු ඇතැයි සිතමි. 

***

සාවද්‍ය චෝදනා පත්‍රයක්

ඔබේ නිවේදනයට අනුව,“හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ද සමාජවාදී සමානතා පක්ෂයේ ද ඉතා වැදගත් ප්‍රතිපත්තිමය කාරනාවක්– ජාතීන්ගේ ස්වයං නීර්නය අයිතිය පිලිබද ඉල්ලීම යොදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ගෙන ඇති තීන්දුව–විකෘත කිරීමට හා ඒ මගින්, එම පිලිවෙත සම්බන්ධයෙන් බරපතල ව්‍යාකූලත්වයක් සමාජගත කිරීමට දරන උත්සාහය සසප දේශපාලන කමිටුව ඒකමතිකව හෙලා දකී.“

එය මෙසේ ද පවසා ඇත.“ජාතීන්ගේ ස්වයං නීර්නය සසප විසින් ආරකෂා කෙරේ යන ඔබේ ආස්ථානය… ජාත්‍යන්තර පදනම් ලියවිල්ලේ විශේෂයෙන්ම 30-4 හා 30-6 දක්වා ඡේදවල ආස්ථානයන්ට පැහැදිලිවම පටහැනි ය.“ 

ඔබ යොදා ගනුයේ 2021 නොවැම්බර් 5 දින මුහුනු පොතේ මගේ පිටුවේ ඇරඹුනු සංවාදයකි.ඊට පදනම් වූයේ මවිසින් එහි පල කෙරුනු සසප මූලධර්ම ප්‍රකාශයේ පහත සදහන් කොටස ය.   

ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතවාදය

“කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය සදහා සංවිධානයක් අවශ්‍ය වන අතර එය විනයකින් තොරව නො පවතිනු ඇත. එහෙත් විනය නිලධාරවාදී ලෙස ඉහලින් පැටවිය නො හැකි ය.එය වැඩි දියුනු කල යුත්තේ මූලධර්ම  හා ක්‍රියා මාර්ග මත නිදහස ලෙස ඇති කරගන්නා එකගතාවයක පදනමෙන් ය.ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම මත පදනම් වන සසප සංවිධානාත්මක ව්‍යුහය තුල ප්‍රකාශයට පත්වන්නේ මෙම වැටෙහීම යි. ප්‍රතිපත්ති හා සුදුසු උපායන් සූත්‍රගත කිරීමේ දී,පක්ෂය තුල පූර්න ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය යුතු ය.පක්ෂ ව්‍යවස්ථාවේ සදහන් කරුනු අවස්ථා හැර, අනෙකුත් අවස්ථාවල සසප ප්‍රතිපත්ති හා වැඩ කටයුතු පිලිබද අභ්‍යන්තර සාකච්ඡාව,සීමා පැනවීමකින් තොරව සිදු විය යුතු ය.නායකයන් සාමාජිකයන් විසින් තෝරා පත් කරගන්නා අතර විවේචනයට හා පාලනයට විවෘත විය යුතු ය.නායකත්වයට ඉදිරිපත් වන විවේචන්යට මුහුන දී ගත නො හැකි අපේක්ෂකයන් එකසත් ජනපද ට්‍රොස්කිවාදී ව්‍යාපාරයේ මූලාරම්භකයා වූ ජේම් පී කැනන්ගේ වචන සැලකිල්ලට ගත යුතු ය.‘සත්‍ය කිසිවෙකුටත් හානි නො කරයි,ඔහුට සුදුසු තැනම හිමි කර දෙයි.එහෙත් ප්‍රතිපත්ති සූත්‍රගත කිරීමේ දී පුලුල් සාකච්ඡා ද,විවෘත හා අව්‍යාජ විවේචන ද අවශ්‍ය වන ආකාරයට ම ඒවා ක්‍රියාත්මක කිරීමේ දී දැඩි විනයක් ද අවශ්‍ය වේ.පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇති කර ගත් තීන්දුවලට සෑම සාමාජිකයෙක් ම බැදී සිටී. තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී,මධ්‍යගතවාදයේ මෙම අත්‍යවශ්‍ය අංගයට විරුද්ධ වන හා විනයගත වීමේ ඉල්ලීම සිය පුද්ගලික නිදහසට අකුල් හෙලීමක් ලෙස සලකන අය විප්ලවවාදී සමාජවාදීන් නො ව, පන්ති අරගලයේ ඇගවුම් හා ඉල්ලීම් වටහා නො ගන්නා අරාජකවාදීන් හා පුද්ගලවාදීන් ය.”

ඹබේ විරෝධය එල්ල වන්නේ පුලුල් සාකච්ඡා,අව්‍යාජ විවේචන හා දැඩි විනය යන ඉහත උපුටා දැක් වූ බොල්ෂෙවික්වාදයේ ප්‍රමුඛ මූල ධර්මයන්ට ය යි මම කියමි.මා විමසීමට මොන ම උත්සාහයකින් හෝ තොරව පොලිස් ඔත්තුකාරයකු පිලිබද ලැබුනු සඥාවකට ප්‍රතික්‍රියා කරන ආකාරයෙන්, ඔබ ක්‍රියාත්මක වූයේ එබැවිනි.

ඉහත දැක් වූ පෝස්ටුව යටතේ සිදු වූ- ඔබ විසින් විකෘත කෙරෙන, සීවලි අත්තනායක නම් පුද්ගලයෙකු සමග කෙරුනු-අදාල සාකාච්ඡාව ඒ අයුරින් ම උපුටා ඇක්වීමට මට ඉඩ දෙන්න.

සීවලී අත්තනායක: සුළු ජාතීන්ගේ සවයං නීරන අයිතිය වර්තමානයේ සසප පිලිගන්නවා ද?ලංකාවට අදාලව.

නන්දන නන්නෙත්ති: ඔව්.

අත්තනායක: ලංකාවට අදාලව.

නන්දන: ඔව්.

අත්තනායක: ජය වේවා මගේ පැරනි කම්කරු මාවතට.

නන්දන: නො වැටහේ. 

අත්තනායක: 88/89න් පසුව විශ්ව විද්‍යාලය තුල කම්කරු මාවත සමගින් වැඩ කලා.පසු කාලයේ ඔවුන් දෙමල ජනතාවගේ සවයං නීර්න අයිතිය පිලි නො ගන්නා බව දැනගන්න ලැබුනා.

නන්දන: විකොස හා සසප කවර කලෙකවත් පීඩිත මහ ජනතාවගේ ප්‍රජාතනත්‍ර අයිතීන් නො තකා ක්‍රියා කර නැත.නමුත් සවයං නීර්නයේ නාමයෙන් අධිරාජ්‍ය ගැති කුඩා වැයික්කි ඇටවීමේ කුමන්ත්‍රන අපි ස්ථිරසාරව ප්‍රතික්ෂේප කරමු.වත්මන් භූගෝලීය ආර්ථිකය එවැනි රාජ්‍ය කෑලිවල පීඩිත ජනයාගේ කිසිදු අයිතියක් ආරක්ෂා නො කෙරෙන බව ගැන කෙතරම් නම් නිදසුන් තිබේ ද?රැඩිකල් ජාතිකවාදී ව්‍යාපාර හැමෙකක් ම පසු ගිය දශක කීපයේ ම ඒ හෝ මේ අධිරාජ්‍යවාදී කල්ලි සමග පෙල ගැසුනි. 

අත්තනායක: සසපයේ ස්ථාවරය වෙනස් වී ඇති බව ඉතාම පැහැදිලියි.ස්තුතියි.ජාතීන්ගේ සවයං නීරන අයිතිය සහ නිජ භූමි සංකල්පය පිලිබද පක්ෂයේ ස්ථාවරය කුමක් ද?

නන්දන: පීඩිත ජනතාවගේ සවයං නීර්නය අයිතිය ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ කර්කව්‍යය යි යන ස්ථාවරය කිසි කලෙක වෙනස් වී නැති බව කිව යුතු ය.එවැනි කුමන හෝ අවස්ථාවක් ගැන ඔබට සදහන් කල හැකි ද? 

අත්තනායක:සිවිල් යුධ සමයේ ජනඝාතක යුද්ධයට එරෙහිව හඩ නැගූ කම්කරු මාවත අද ඒ ස්ථාවරයේ ම සිටිනවා ද?

නන්දන:ඔව් අදත් හෙටත් කවදටත් එය සිංහල පාලක පන්තියේ ආක්‍රමනයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වයි.

නන්දන: කියවන්න ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්.ජාතික ප්‍රශනය.මෙය wsws.org වෙතින් බලා ගත හැකි ය.(පදනම් ප්‍රකාශනයේ ජාතික ප්‍රශ්නය යනු 30-1 සිට30- 6 දකවා වන සම්පූර්න කොටසයි.)  

අත්තනායක:කම්කරු පන්තියේ මූලිකත්වයෙන් ඉන්දු උප උප මහද්වීපයේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස දෙමල ඊලාම් ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩ නැගීම වෙනුවෙන් සසප අදත් පෙනී සිටිනවා ද?

නන්දන: ඔව්

අත්තනායක:ස්තුතියි සහෝදරයා.ඉවසීමෙන් පිලිතුරු දීම පිලිබදව. 

(මෙම සංවාදයෙන් පෙනී යන කරුනක් නම් ජාතික ප්‍රශ්නය පිලිබද අපේ ආස්ථානය ඇතැම් විට සමාජගත වී ඇත්තේ විකෘති ආකරයකට බව ය.මෙම සංවාදයට සහභාගී වූ අයට එය නිවැරදි කර ගැනීමට හැකි වී  යයි මම සිතමි.) 

Image
සසප පදනම් ප්‍රකාශය

පසු දින පක්ෂයේ හිතවතෙකු ලෙස සිටින නාලක මලලගම “සසප (විකොස) පීඩිත ජාතීන්ගේ ස්වයං නීර්නය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත“ යි සිය මුහුනු පොතේ විශේෂ සටහනක් තැබී ය.මෙය සසප ඉදිරි දර්ශනයට හතුරු ප්‍රකාශයකි.

අපි සටන් පාඨයක් ලෙස ‘ජාතීන්ගේ සවයං නීර්න අයිතිය‘ තව දුරටත් භාවිත නො කරමු.ඊට බල පෑවේ ස්පාටසිස් කන්ඩායමට දුන් පිලිතුරේ අප තහවුරු කල පරිදි  නව බෙදුම්වාදී ජාතික ව්‍යාපාර හා අධිරාජව්‍යවාදීන් විසින් මෙහි අර්ථය විකෘති කරනු ලැබීම නිසා එයින් ව්‍යාකූලත්වයක් ජනිත වීම ය.පීඩිත ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් අතර මූලික කරුනක් වන සවයං නීර්න අයිතිය නො තකා සිටීමක් එයින් නො හැගවේ.

මම මෙසේ ලිවීමි.“සමසමාජ පක්ෂය ධනපති ආන්ඩුවට රිංගා පීඩිත ජාතීන්ගේ ස්වයං නීර්න අයිතිය පිලිබද කම්කරු පන්තියේ ඉදිරි දර්ශනය පාවා දුනි.එය 30 අවුරුදු යුද්ධයක හා ධනවාදයේ පැවැත්ම දිගු කර ගැනීමේ ඇරඹුම විය.විකොස (සසප) ඊට එරෙහිව එම ඉදිරි දර්ශනය ආරක්ෂා කල එකම පක්ෂය යි.එම තතු තුල පහත සදහන් මලලගමගේ ප්‍රචාරය දැන දැන ම ඉවසා සිටීම නො නවතින විප්ලවය පාවා දීමකි.“ 

එල්ටීටීඊ වාර්ගික බෙදුම්වාදී ව්‍යාපාරය අවසන් විග්‍රහයේ දී සමසමාජ පාවා දීමේ ප්‍රතිඵලයක් ය යන පාඩම සමසමාජ පක්ෂයට එල්ලවන චෝදනාවකට වඩා බෙහෙවින් ම වැඩි දෙයකි.එය, ට්‍රොට්ස්කිවාදයට මුහුන දීමට සිදු වූ චෝදනාවක් වන අතර ලෝක කම්කරු පන්තියේ ජීවිතය සමග එක එලලේ ම බැදී ගත්, අමතක කල නො හැකි ඓතිහාසික, න්‍යායික,දේශපාලනික ප්‍රශ්න ඉස්මතු කල සිද්ධියකි. 

කම්කරු පන්තිය තුල මුල් බැස ගෙන පැවති සමසමාජ පක්ෂය- ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ධනපති ආන්ඩුවකට ඇතුලු වූ ප්‍රථම අවස්ථාව සටහන් කරමින්- පීඩිත ජාතියට එරෙහි වාර්ගික, ආගමික ව්‍යවස්ථාවක් නිර්මානය සදහා මූලිකත්වය ගැනීමෙන්, පීඩිත දෙමල ජාතිය කම්කරු පන්තියෙන් විරසක කිරීමට කොන්දේසි නිර්මානය කලා පමනක් නො වේ.විප්ලවවාදී,සමාජවාදී කම්කරු පන්තියේ හා තරුනයන්ගේ පරම්පරාවක් නො නවතින විප්ලවයේ ක්‍රියා මාර්ගයට එරෙහිව පිහිටුවීමට ද කොන්දේසි නිර්මනය කලේ ය.දෙමල කතා කරන පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ලෙස සවයං නීරනය පිලි ගැනීම පිලිබද කරුන මෙම ඓතිහාසික වරද විසින් ද අප මත විශේෂයෙන් අවධාරනය කරනු ලැබ ඇති බව මගේ වැටහීම යි. 

උක්ත සංවාදයේ දී මෙම පදනමේ පිහිටා මම ආරක්ෂා කලේ,මවිසින් පටහැනි වනු ලැබුනේ යයි ඔබ විසින් කියනු ලබන 30-4-5-6 ඡේදවල ආස්ථාන ය.

නිදසුන් ලෙස 30-4 හි සදහන් වන මෙම ආස්ථානය මගේ ප්‍රකාශය සමග මොනම පරස්පරයක්වත් නැති බව පෙන්වා දිය හැකි ය.  “…ජාතිකවාදයේ නව රූපය, සූරා කන්නන්ගේ යහපත සදහා, පවත්නා රාජ්‍යයන් බෙදා වෙන් කිරීමේ එල්ලය ඇතිව ජනවාර්ගික,භාෂාමය සහ ආගමික පිලිවෙත් දිගේ බෙදුම්වාදය වගා කරයි.මෙවන් ව්‍යාපාර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයත් සමග ගෑවීවත් නැත.ඒවා මොන ම අර්ථයකින් හෝ පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අභිලාශයන් අන්තර්ගත කරගන්නේ නැත.ඒවා කම්කරු පන්තිය බෙදීමට ද පන්ති අරගලය ජන වාර්ගික ප්‍රජා ගනවාදී යුද්ධවලට අපසරනය කිරීමට ද උදව් වේ.කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව මුල කරගෙන ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේ,ජාතික බෙදුම්වාදී ව්‍යාපාරයන්ගේ බෝවීම කෙරෙහි ද,වෙනම ධනේශ්වර රාජ්‍යයන් තැනීම යුක්තිසහගත කිරීම සදහා ඔවුන් හුවා දක්වන ‘ස්වයං නීර්න අයිතිය‘කෙරෙහි ද විවේනාත්මක පමනක් නොව සතුරු වන ආකල්පයක් පවා ගත යුතු බව යි.

30-5 සදහන් කරන පරිදි “මහජනතාවට ම මෙවන් සංසිද්ධියකින් ලබා ගත හැක්කේ නො නවතින ජනවාර්ගික ලේ වැගිරීම්වලින් හා උග්‍ර කෙරුනු සූරා කෑමෙන් පමනක් යුක්ත අනාගතයක් පමනි” 

30-6 “ජාත්‍යන්තර කමිටු සාකච්ඡාවේ කොටසක් ලෙස විකොස නිගමනය කලේ, ප්‍රායෝගික දේශපාලන අර්ථයෙන් ගත් කල, එල්ටීටීඊයේ ජාතික බෙදුම්වාදී ව්‍යාපෘතියට සහාය දීම හැටියට පමනක් අර්ථ ගැන්විය හැකි “දෙමල ජනතාවගේ සවයං නීර්නය” අයිතියට සහාය දීම, තව දුරටත් කිසිදු ප්‍රගතිශීලී අරථයකින් තොර දෙයක් බවයි.” නමුත් “විකොස, දිවයිනේ එක්සත්කම මිලිටරි බලය යොදා බලහත්කාරයෙන් පවත්වාගෙන යාමේ ශ්‍රී ලංකා ආන්ඩුවේ උත්සාහයන්ට සම්මුති විරහිතව විරුද්ද වීමේ සිය පිලිවෙත දිගටම ගෙන ගියේ ය.” 

මෙහි කලු අකුරින් අවධාරනය කරන ‘ස්වයං නීර්න‘ අයිතියට ඉතා පැහැදිලිව සතුරු ආකල්පයක් මවිසින් ප්‍රකාශයට පත් කෙරුනු බව ගැන මම විශ්වාසයෙන් පසු වෙමි. මෙහි අවසන් වාක්‍යය පවසන පරිදි “කොන්දේසි විරහිතව උතුරින් හා නැගෙනහිරින් සන්නද්ධ හමුදා ඉවත් කිරීම සදහා විකොසෙහි ඉල්ලීම,වෙනම ඊලමක් සදහා සහයෝගය දීමක් ඇගවුම් නො කලේ ය.ඒ වෙනුවට,දෙමල ජනතාවට එරෙහි මිලිටරි මැඩලීම කෙරෙහි විරෝධ දැක්වීමේ දී විකොස අපේක්ෂා කලේ ශ්‍රී ලංකා ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සදහා වූ විප්ලවවාදී අරගලයක් තුල කම්කරු පන්තිය හා පීඩිත ජනතාවන් එක්සත් කිරීම ය.“ මෙහි අදහස වන්නේ කම්කරු පන්ති ආඥාදායකත්වය සදහා අරගලය පීඩිත ජාතීන්ගේ සවයං නීර්නය ඇතුලු ප්‍රජතනතවාදී අයිතීන් පිලි ගැනීමේ පදනමේ ගොඩ නගන එකමුතුවෙන් සිදු කරන බව ය.

සසප පීඩිත ජාතීන්ගේ සවයං නීර්නය අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැතැයි එහි සියලු අත්‍යවශ්‍ය විශේෂන පද ගලවා ඉවත් කර නිවේදනය කිරීම මෙම ඉදිරි දර්ශනයෙන් මතු කෙරෙන කම්කරු පන්තියේ එකමුතුවට හතුරු ය.  

මගේ වැටහීම නම්, ස්වයං නීර්නය සම්බන්ධ ප්‍රශ්නයේ දී සංක්‍රමන ක්‍රියා මාර්ගයේ සංකල්පය අදටත් වලංගු ය. “ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගය හුදෙක් ඉවතලෑම කල නො හැකි ය.මහජනතාවන් අරගලය තුල දී එය ඉක්මවා යාම අනිවාර්ය වේ. ජාතික (හෙවත් ආන්ඩුක්‍රම සම්පාදක) මන්ඩලයක් සදහා සටන් පාඨය චීනය හා ඉන්දියාව වැනි රටවල සම්පූර්න බලයෙන් යුතුව වලංගු වේ. මෙම සටන් පාටය ජාතික විමුක්තිය හා කෘෂක ප්‍රතිසංස්කරනය පිලිබද ගැටලුව සමග අවියෝජනීය ලෙස බද්ධ කල යුතු වේ. මුල් පියවරක් ලෙස කම්කරුවන් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ගයෙන් සන්නද්ධ කල යුතු ය.” (ධනවාදයේ මර ලතෝනිය හා හතර වන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ)

“ සත්‍ය නම්, ‘ස්වයං නීර්නයේ’ -ජාතික පීඩනය මුලිනුපාටා දැමීම- අත්‍යවශ්‍ය ප්‍රගතිශීලී අන්තර්ගතය සාක් ෂාත් කර ගත හැකි වන්නේ ශ්‍රී ලංකා ඉලාම් සමාජවාදී සමූහාන්ඩුව සදහා වන සසප වැඩපිලිවෙල මගින් පමනි” (ICFI-1998) 

“පලමු වන ලෝක යුද්ධයේ පිපරිම ජාතික සාදකයන් මත ජාත්‍යන්තර තත්වයේ ප්‍රමුඛභාවය ට්‍රොට්ස්කිගේ අවධානය සනාත කලේ යයි” පෙන්වා දෙමින් ඩේව් සහෝදරයා මෙසේ සදහන් කලේ ය. “ සාරාර්ථ වසයෙන් අදිරාජ්‍යවාදී යුද්ධය සලකුනු කලේ ලෝක ධනවාදයේ නිෂ්පාදන බලවේග යල් පිනූ ජාතික රාජ්‍ය සමග සාමාකාමී සමහන් කිරීමේ නො හැකියාව යි. දියුනු හා පසුගාමී යන දෙපාර්ශවයේ ම රටවල කම්කරු පන්තිය පොදු උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුන දුන්නේ ය: මනුෂ්‍ය සමාජයේ සියලු ම අති මූලික ප්‍රශ්නවලට විසදුම් ලෝක ආර්ථිකයේ වර්ධනයේ මට්ටමෙන් ද ජාත්‍යන්තර විප්ලවවාදී අරගලයේ මාධ්‍ය තුලින් ද සොයා ගත යුතු විය” (නො නවතින විප්ලවය, සමාජවාදී ජාත්‍යන්තරයක් සදහා සටන 1993)

“ට්‍රොට්ස්කි මෙම ප්‍රශනය ගැන සුපැහැදිලිව විවාද කලේ ය. සවයං නීර්නය පිලිබද ඉල්ලීම තවමත් ප්‍රගතිශීලී අන්තර්ගතයක් දරා පැවති වර්ගයක බෙදුම්වාදී ව්‍යාපාරයකට සහාය දීමට මාක්ස්වාදී පක්ෂ බෑදී නැත. ඔහුගේ ජීවිත කාලය තුලදී පවා එම ඉල්ලීම සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත කම්කරු පන්තියේ එකමුතුව තහවුරු කිරීමට ඉහලින් පිහිටියේ නැත. සවයං නීර්නය සදහා ඉල්ලීමේ එදා ද අද ද මාක්ස්වාදය හා ජාතිකවාදය සම්මුති ගැසීමක් සලකුනු වූයේ නැත. අන් සියල්ලටමත් වඩා ඔනෑම වර්ගයක බෙදුම්වාදී ව්‍යාපාරයකට සහාය දීමට මාක්ස්වාදී පකෂය බැදී නැත.” (එම)

ට්‍රොට්ස්කි පවසන පරිදි “අපගේ ග්‍රහ ලෝකයේ සියලු ජාතීන්ගේ වර්ධනයේ සැබෑ හා කල්පවතින නිදහස තහවුරු කල හැක්කේ ලොක නිර්ධන පන්තිය විසින් බලයා අල්ලා ගැනීමෙන් පමනි” (එම)

“සමාජවාදීන් සදහා නම් දෙන ලද රාජ්‍යක සීමාවන් තුල රැදෙන ලෙස ජාතික සුලුතරයන්ට බල කිරීම පිනිස රාජ්‍ය බලහත්කාරය භාවිත කරනු ලැබීමට එරෙහි නො වන්නේ නම් සවයං නීර්නය යන්න අර්ථ විරහිත ය. මෙය මෙම සියවසේ අරම්භයේ දී මෙම ඉල්ලීම මතු කරනු ලැබූ විට එහි පැවති අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රික අන්තර්ගතය වූ අතර අදත් එය එලෙසම පවතී” (මාක්ස්වාදය අවස්ථාවාදය සහ බෝල්කන් අර්බුදය-1994 පිටුව 70)

ධනේශ්වර නිෂ්පාදනයේ පෙර නො වී විරූ භූගොලීය ඒකාග්‍රකරනය ජාතික ප්‍රශ්නයට අදාල ප්‍රධාන ප්‍රවනතා දෙකක් මුදා හලේ ය. 

  1. පැරනි ජාතිකවාදී පාලන තන්ත්‍ර ලාභ ශ්‍රමය හා අසීමිත සූරා කැමේ සියලු සාධක සම්පාදනය කිරීම මගින් භූගොලීය ව සංචරනය වන ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම;
  2. විදේශ නය ගෙවීම සදහා වෙන් කෙරෙන ස්වභාවික සම්පතත් සහ කර්මාන්ත පිහිටි ප්‍රදේශවල මෙන් ම අන්තර් ජාතික ප්‍රවාහන සඛ්‍යතා, පොදු කර්ය ව්‍යුහයේ සහ ලාභ ශ්‍රමය සහිත ප්‍රදේශවල පාලක කල්ලි මෙතෙක් පැවති ආන්ඩුවල බලපෑමෙන් වෙන් වී තමන් ම විදේශීය ප්‍රාග්ධනය සමග ජාවාරම් කර වැඩි ලාභ  ලැබීම සදහා බෙදුම්වාදය පෙරට දැමී ය.

මෙම ප්‍රවනතාවන්ට එරෙහි අපගේ අරගලය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටගේ සියලු ජාතීන් බලමුලුගැන්වීම වන අතර ජාතික ප්‍රශ්නය නො තකා එම අරගලය සාක්ෂාත් කල හැකි පහසු මගක් නැත.

මා දැන් කිව යුත්තේ ජාතික ප්‍රශ්නයක් කියා විශෙෂ යමක් නැත යන ආකල්පයකින් ඔබ වැඩ කරමින් සිටින බවයි. සියලු මහජනයා මුහුන දී සිටින්නේ ධනවාදයේ අර්බුදයට ය යන කරුන, එහි පරස්පර විරෝධයන් ඉවත ලා, ඔබ, අර්ථකථනය කර ගනී. මෙය අපොහකයට එරෙහි තත්කාර්යවාදී පිලවෙතකට ඔබ මෙහයවයි. එය කම්කරු පන්තියේ පිලිවෙත නො වේ. 

ඔබේ චොදනා පත්‍රයට අදාලව පැහැදිලි පිලිතුරක් මෙයින් සම්පාදනය වී ඇතැයි සිතමි.ප්‍රශනයේ මූලයන් වටහා ගැනීම සදහා අප සාමූහිකව උත්සාහ කල යුතු ව ඇත. ඒ සදහා යොමු වන මෙම ලිපියේ සෙසු කොටස් ඉදිරි සති දෙක තුල ලබා දීමට කටයුතු කරමි. 

සහෝදරත්වයෙන්,

නන්දන නන්නෙත්ති

06.12.2021

 #theSocialistLK

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top