ස්වීඩනය වසර 30 කට පසු විශාලතම යුධ අභ්‍යාසය පවත්වයි

බ්රැන් කාල්සන් විසිනි.

[මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 10 දින Sweden holds largest military exercise in 30 years  යන සිරසින් යුතුව පලවූ බ්රැන් කාල්සන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.] 

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු ස්වීඩනය විසින් පවත්වනු ලබන විශාලතම මිලිටරි අභ්‍යාසය වන අවුරෝරා 23 (Aurora 23) පිලිබඳ සිය නිවේදනයක, ස්වීඩන සන්නද්ධ හමුදා ප්‍රකෝපකාරී ලෙස ප්‍රකාශ කර ඇත්තේ, “ස්වීඩනය යුද්ධයක නියුක්ත ව සිටින” බවයි.

military
2020 අගෝස්තු 25 වන දින ස්වීඩන සන්නද්ධ හමුදාවන් විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයෙහි, භට පිරිස් බෝල්ටික් මුහුදු කලාපයේ සූදානම් වෙමින් සිටිති. [AP Photo/Joel Thungren/Swedish Armed Forces]

අවුරෝරා 23 අප්‍රේල් 17 දින ආරම්භ විය. කෙසේ වෙතත්, එහි මෙහෙයුම් පසුගිය සතිය පුරා ක්‍රමානුකූලව තීව්‍ර වී ඇති අතර, එය මැයි 11 වන දිනට අවසන් වීමට නියමිත විය.

රජයට අනුව 1989 සිට ස්වීඩනයේ විශාලතම හමුදා ප්‍රදර්ශනය වන මෙම මෙහෙයුම සඳහා විසි හය දහසක භට පිරිසක් සම්බන්ධ වී සිටිති.

තවත් රටවල් 14ක් ද අභ්‍යාස සඳහා එක්වී ඇත. නේටෝ සංවිධානයේ ප්‍රධාන රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ පෝලන්තය යන රටවලින් විශාලතම හමුදා පැමිණ ඇති අතර යුක්‍රේනයේ සොල්දාදුවන් සහ නිලධාරීන්ගෙන් යුත් දූත පිරිසක් ද සහභාගී වී තිබීම විශේෂත්වයකි.

පසුගිය මාසයේ එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයට සම්බන්ධ වූ ෆින්ලන්තය, භටයන් 1,000 ක් එවීය. බෝල්ටික් මුහුද වටා යුද්ධයට සූදානම් වන ගුවන් අභ්‍යාසවලදී ඔවුන්ගේ ඇමරිකානු නිෂ්පාදිත එෆ්-18 ප්‍රහාරක බලකාය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. රුසියාවේ දේශසීමාවේ හෝ ඒ ආසන්නයේ පිහිටා ඇති සියලුම කුඩා බෝල්ටික් රාජ්‍යයන් වන, ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව ද ඊට සහභාගී වේ.

යුක්රේනය කේන්ද්‍ර කර ගනිමින් පවතින නේටෝ-රුසියා යුද්ධයේ විශාල උත්සන්නවීමක් මධ්‍යයේ මෙම අභ්‍යාසය පැවැත්වේ.

ක්‍රිමියාවට පහර දිය හැකි දිගු දුර මිසයිල යුක්‍රේනයට යැවීමට බ්‍රිතාන්‍යය සූදානම් වන බව අඟහරුවාදා  හෙළිදරව් විය. බ්‍රිතාන්‍ය විසින් ඒවා ලබා දීමෙන් පසු, බොහෝදුරට විය හැකි පරිදි, එක්සත් ජනපදයෙන් සහ අනෙකුත් නේටෝ බලවතුන්ගෙන් එෆ්-16 ප‍්‍රහාරක ජෙට් යානා ඇතුළු  එවැනි වෙනත් ආයුධ යුක්‍රේනයට ලැබෙනු ඇත.

එක්සත් ජනපද  ජනාධිපති බයිඩෙන් ,2022 මාර්තු මාසයේ දී  තුන්වන ලෝක සංග්‍රාමයට සම කරමින්, කළ නොහැකි දෙයකැයි කලින් ප්‍රතික්ෂේප කළ එවැනි ප්‍රහාරාත්මක ආයුධ දැන් සැපයීම, යුද්ධය තව දුරටත් තීව්‍ර කිරීමට තර්ජනය කරයි. ඒවා [දිගු දුර මිසයිල ] ලබා දෙන්නේ, පැහැදිලිවම, කළු මුහුදේ රුසියානු නාවික කඳවුර 1772 සිට පවත්වා ගෙන යනු ලබන සෙවාස්ටොපෝල් පිහිටා ඇති ක්‍රිමියාව ඉලක්ක කර ගැනීමේ අරමුණිනි.

මේ අතර, රුසියාවට එරෙහිව නව ප්‍රති ප්‍රහාරයක් ආරම්භ කිරීමට එක්සත් ජනපදය යුක්‍රේන සන්නද්ධ හමුදාවන් යොමු කරයි. අප්‍රේල් මාසයේ සිට කාන්දු වූ පෙන්ටගන ලේඛනවලට අනුව යුක්‍රේන සහ රුසියානු සොල්දාදුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විට සටන් වලින් මිය ගොස් ඇත.

ස්වීඩනයේ අවුරෝරා යුධ ක්‍රීඩා, බෝල්ටික් කලාපයේ තරයේ ආරක්ෂා කෙරෙන ගොට්ලන්ඩ් නම් ස්වීඩනය සතු දූපත සම්බන්ධ විවිධ උපායාත්මක සැලසුම් ද ඇතුලත් ව, බෝල්ටික් මුහුදේ සහ ඒ අවට ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කරයි. සීතල යුද්ධ සමයේ ප්‍රධාන යුද කඳවුරක් ලෙස යොදා ගත් ගොට්ලන්ඩ් දූපත පිහිටා ඇත්තේ රුසියාවේ කලිනින්ග්‍රෑඩ් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 300 ක් දුරින් ය. බ්‍රිතාන්‍ය රාජකීය නාවුක කමාන්ඩෝ භටයන් අභ්‍යාසයේ කොටසක් ලෙස යොදවා ඇති අතර, දියෙන් සහ ගොඩින් එල්ල කෙරෙන ප්‍රහාරය HMS Albion ප්‍රධාන නෞකාවේ සිට ක්‍රියාත්මක වේ.

උතුරු මුහුදේ සහ ඒ අවට වෙරළ තීරයේ ස්කොට්ලන්ත සහ නෝර්වීජියානු ප්‍රමුඛ ගුවන්, මිසයිල සහ නාවික හැකියාවන් පිළිබඳ , මීට වඩා කුඩා අභ්‍යාසයක් වන Formidable Shield 23 සමඟ සමගාමීව මෙම අභ්‍යාස සිදු කෙරේ. නෝර්වේ මෑත මාසවල ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම්වල විශාල තීව්‍රවීමක් අත්විඳ ඇත. විශේෂයෙන් මාර්තු මාසයේදී ප්‍රධාන මිලිටරි අභ්‍යාස පැවැත් වූයේ, එහි ඈත උතුරේය.

ස්වීඩනය තවමත් නිල වශයෙන් නේටෝවට සම්බන්ධ වී නැත. ස්වීඩන් පාර්ලිමේන්තුව ඊට නිල වශයෙන් එකඟ වී ඇතත්, තුර්කි සහ හංගේරියානු රජයන් විසින් එය තාවකාලිකව අවහිර කරනු ලැබ ඇත. කෙසේ වෙතත්, ස්වීඩනය දැනටමත් නේටෝ සාමාජිකයෙකු ලෙස තත්ත්වාකාරයෙන් ක්‍රියාත්මක වන අතර, එය දිගු කලක් තිස්සේ එක්සත් ජනපදයේ සමීප බුද්ධි සහ මිලිටරි සගයෙකු ව ක්‍රියා කර ඇත.

ස්වීඩන් අභ්‍යාසවලින් අදහස් කෙරුණේ නේටෝව සමඟ මෙම පෙර පැවති මිලිටරි ඒකාග්‍රතාවය රුසියාවට ප්‍රදර්ශනය කිරීම සහ යුද්ධය සඳහා තවදුරටත් සූදානම් වීමයි. ස්වීඩන් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි කර්නල් ඇනා සිවර්ස්ටිග් ප්‍රකාශ කළ පරිදි, “නේටෝව සමඟ අපගේ ගුවන් හමුදා අන්තර් ක්‍රියාකාරීත්වය දැනටමත් හොඳින් තහවුරු වී ඇති අතර මෙම අභ්‍යාසය එය තවදුරටත් වැඩිදියුණු කරනු ඇත.”

අවුරෝරා 23 හමුදා අභ්‍යාසවලට ස්වීඩනය පුරා සියගණනක් ජනයා විරෝධය පළ කර ඇත.

ස්ටොක්හෝම්හිදී, අභ්‍යාසය ආරම්භ වූ අප්‍රේල් මාසයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි – “නේටෝවේ යුද්ධයෙන් අපේ දරුවන් ඩොලරයකට මරා දමනු ඇත.” යනුවෙන් සඳහන් පුවරු සහිතව විරෝධතාකරුවන් සිය ගණනක් ගොතන්බර්ග් හී දී විරෝධතා දැක්වූහ.

මිලිටරි අභ්‍යාස සිදු කෙරෙන්නේ ස්වීඩන් කම්කරු පන්තිය මුහුන දෙන ගැඹුරු වන ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ මෙන්ම, රටේ නරක අතට හැරෙන තත්වයන් පිලිබඳව සංක්‍රමණිකයන් මත වරද පැටවීමට අන්ත දක්ෂිනාංශිකයින් විසින් දැරෙන උත්සාහයන් මධ්‍යයේ ය.

පසුගිය වසරේ ස්වීඩනය නිවේදනය කළේ වසර පහක් තුළ එහි මිලිටරි අයවැය සියයට 64 කින් වැඩි කරන බවයි. පසුගිය දශක තුන පුරා, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ දක්ෂිනාංශික මධ්‍යස්ථ මතධාරීන්ගේ නායකත්වයෙන් යුත් ආන්ඩු සමාජ වියදම් කප්පාදු කර පුද්ගලීකරනය පුලුල් පරිමානයකින් ක්‍රියාවට නංවා ඇති අතර, වරක් බොහෝ සේ පාරට්ටු කරන ලද සමාජ සුභසාධන පද්ධතිය විනාශ කිරීමට බොහෝ දුර ගමනක් යමින් සිටි.

ඇත්ත වශයෙන්ම, අසමානතාවය වාර්තා කිරීම 1970 ගණන්වල ආරම්භ වූ දා සිට, මෙතෙක් වාර්තා වී ඇති ඉහළම අසමානතා අනුපාතය ස්වීඩනය දැන් වාර්තා කරන බව මේ වසරේ අනාවරණය විය.  Ferraris, Porches සහ Teslas රටේ ඉහල පෙලේ නිවහන් ප්‍රදේශවල සුලභ දසුනක් වන අතර, ජනගහනයේ විශාල කොටස් ජීවන වියදම් අර්බුදයකට මුහුන දී සිටින්නේ කම්කරු පන්තිය බිත්තියටම හේත්තු කර තබමිනි.

2022 දෙසැම්බර් මාසයේදී උද්ධමනය වසරකට සියයට 12.4ක වාර්තාගත ඉහළ අගයක් දක්වා ඉහළ ගියේය. බලශක්තියේ සහ ආහාරවල අධික මිල විසින් ප්‍රධානතම ගැටළුවක් වන අධික නිවාස කුලිය තවත් උග්‍ර කරනු ලැබ ඇත.

මුදල් අමාත්‍යාංශයට අනුව ස්වීඩන ආර්ථිකය “2025 දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන” අවපාතයක පවතී. යුරෝපය තුල අවපාතයක ඇති එකම රට එයයි.

රොයිටර් ප්‍රවෘත්ති ඒජන්සිය පැහැදිලි කළේ, “වසර ගණනාවක අතිශය අඩු ණය ගැනීමේ පිරිවැයකින් පසුව, වසංගතය සහ යුක්රේන යුද්ධය බොහෝ රටවලට ඉහල උද්ධමනය සහ ශීඝ්‍රයෙන් ඉහල යන පොලී අනුපාත වලට විෂ සහිත කොක්ටේල් එකක් ලබා දී ඇත………

නමුත් ස්වීඩනයේ දී, එහි නිවාස වෙලඳපොලේ මුල් බැස ඇති ව්‍යුහාත්මක ගැටළු එහි බලපෑම් විශාල කරයි.”

ස්වීඩනයට ඇත්තේ සමස්ත යුරෝපා සංගමයේ ඉහළම ණය මට්ටම් වලින් එකකි – එය එක් පුද්ගලයෙකුට බැහැරට දිය හැකි ආදායමෙන් සියයට 200 ක් පමණ වේ. මේ අතර, ස්වීඩනයේ උකස්කරුවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකගේ පොලී අනුපාත පාවෙන අනුපාතයන් ය. එනම්, ජාත්‍යන්තරව මහ බැංකු පසුගිය වසර පුරා පොලී අනුපාත තියුනු ලෙස ඉහළ දමා ඇති බැවින් ඒවා දැන් වැඩි වී ඇත.

එහි පාර්ලිමේන්තු බහුතරය සඳහා ෆැසිස්ට්වාදී ස්වීඩන් ඩිමොක්‍රටික්වරුන්ගේ සහාය මත යැපෙන දක්ෂිණාංශික මධ්‍යස්ථ පක්ෂ නායකත්වය දරන ආන්ඩුව, රටේ පවතින දුෂ්කරතා වලට හේතුව ලෙස 2010 ගනන්වල යුද්ධයෙන් සහ  දිළිඳු භාවයෙන් මිදීම සඳහා මැදපෙරදිගින් හා අප්‍රිකාවෙන් ස්වීඩනයට පලා ආ මංමුලා සහගත සංක්‍රමණිකයන් මත  දොස් පැවරීමට උත්සාහ කර ඇත. 

දක්ෂිනාංශික පාලක සභාගය, ස්වීඩනයට පැමිණෙන සියලුම රැකියා සොයන සංක්‍රමණිකයන්ගේ අනිවාර්ය ආදායම් මට්ටම දෙගුණ කර ඇත – එය රැකියාවක් අතැතිව ස්වීඩනයට ගමන් කරන  වත්මන් සංක්‍රමණිකයන්ගෙන් අවම වශයෙන් සියයට 30 ක් තහනම් කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top