සිලිකන් වැලි බැංකුව ගලවා ගැනීම සහ ධනවාදයේ ඓතිහාසික අර්බුදය

නික් බීම්ස් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මාර්තු 14 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රවීන මාක්ස්වාදී දේශපාලන අර්ථශාත්‍රඥ නික් බීම්ස් විසින් ලියන ලද  The bailout of Silicon Valley Bank and the historic crisis of capitalism යන ලිපියේ සිංහල පරිවර්ථනය යි. පරිවර්ථනය සංජය ජයසේකර විසිනි.

Image

එක්සත් ජනපද ඉතිහාසයේ නාමික වශයෙන් දෙවන විශාලතම බැංකු අසමත් වීම වන සිලිකන් වැලි බැංකුවේ (SVB) බිඳවැටීම සහ බැංකු පද්ධතියේ පවතින කැලඹීම, තව තවත් අසාර්ථක වීම් සිදුවීමෙි අවධානම් මතු කරමන් පවතින අතර,  එක්සත් ජනපදයේ හා ගෝලීය ධනවාදයේ ඓතිහාසික අර්බුදයේ තවත් ප්‍රකාශනයක් වේ.

මෙම ගැඹුරු වන කුණුවීම හා දිරාපත්වීම එක්සත් ජනපදයේ හා ලෝක දේශපාලනයේ අන්තර් සම්බන්ධිත වර්ධනයන් දෙකක – එනම්  තුන්වන ලෝක යුද්ධයක් දෙසට වේගවත් උත්සන්න වීම සහ, පාලක පන්තීන් උත්සාහ කරන පරිදි  ඔවුන්ගේ යල් පැන ගිය සහ ප්‍රතිගාමී පුද්ගලික ලාභ පද්ධතියේ පැවැත්මේ අර්බුදයට මිලගෙවීම කම්කරු පන්තිය මත හෙලීම සඳාහා එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියට එල්ල වෙමින් පවතින සහ තීව්‍ර වන ප්‍රහාරය යන වර්ධනයන් දෙක – යටින් පවතින ගාමක බලවේගය වේ.

මූල්‍ය ආයෝජකයින්ගේ, සමපේක්‍ෂකයන්ගේ සහ ධනවතුන්ගේ මුදල් හා ධනය ආරක්ෂා කිරීම සඳහා “අවශ්‍ය ඕනෑම දෙයක්” කිරීමට බයිඩෙන් පරිපාලනයේ කැපවීම, පාලක මූල්‍ය කතිපයාධිකාරයේ කටයුතු කළමනාකරණය කිරීමේ විධායක කමිටුව ලෙස ධනේශ්වර ආන්ඩුවල සැබෑ ස්වභාවය යලිත් හෙළිදරව් කර ඇත. 

දශක හතරකට වැඩි කාලයක් තුල නරකම උද්ධමනය මගින් බැටකමින් සිටින කම්කරු පන්තියේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ අවශ්‍යතා සඳහා මුදල් නැත, නමුත් මූල්‍ය කතිපයාධිකාරයේ ධනය ආරක්ෂා කිරීම සඳහා බිලියන, ට්‍රිලියන ගණන් එක රැයකින් සොයා ගත හැකිය.

ඒ අතරම, එක්සත් ජනපදය සිය ප්‍රධාන ගෝලීය ප්‍රතිවාදියා ලෙස සලකන චීනයට එරෙහි යුද ධාවනය සහ රුසියාව කැඩී බිඳ විසුරුවීම අරමුණු කරගත්  යුක්‍රේනය තුල එක්සත් ජනපද-නේටෝ යුද්ධයට අවශ්‍ය මාධ්‍යයන් වර්ධනය කිරීමට අඩු නැතිව වියදමක් කරනු ලැබේ.

SVB බිඳවැටීම හා මූල්‍ය පද්ධතිය පුපුරා යාමේ හැකියාව සහ යුද ධාවනය අතර ගැඹුරු සහ ඓන්ද්‍රීය සම්බන්ධයක් පවතී.

පාඩම් උගෙන ඇති බවට සහ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවට නියාමකයින් සහ මූල්‍ය අධිකාරීන්ගේ සියලු ප්‍රකාශ නොතකා, මූල්‍ය අර්බුද අඛණ්ඩව පුපුරා යාම, මිලිටරි ක්‍රියාමාර්ග හරහා එය විසඳීමට උත්සාහ කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආර්ථික බලයේ ඓතිහාසික පරිහානියේ ප්‍රකාශනයකි. 

1928 දී ලියොන් ට්‍රොට්ස්කිගේ පෙරදක්නා විශ්ලේෂනය සිහියට නැඟේ.  එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්‍රමණශීලී ස්වභාවය, එහි නැගීමේ කොන්දේසි යටතේ පැවති ලේ වැකි සහ ප්‍රචණ්ඩත්වයට වඩා, එහි ඓතිහාසික පරිහානියේ කොන්දේසි යටතේ වඩාත් විවෘතව, වඩාත් නිරුවතින් සහ වඩාත් දරුණු ලෙස මතුවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

SVB හි අභාවය සහ එය මූල්‍ය පද්ධතිය හරහා යවන කම්පන තරංග, එහි පූර්ණ ප්‍රතිවිපාක තවමත් දැක ගත නොහැකි නමුත්, දැන් ක්‍රියාත්මක වන එක්සත් ජනපද ධනවාදයේ චලන නීතිය යැයි කෙනෙකුට කිව හැකි අත්‍යවශ්‍ය ගතිකයේ තවත් ප්‍රකාශනයකි.

පසුගිය වසර 50ක වර්ධනයන් සොයා බැලීමේදී, මෙම ගතිකත්වය පැහැදිලිව පෙනේ: පාලක පන්තිය සහ එහි රාජ්‍යය විසින් එක් අවස්ථාවක අර්බුදයක් මැඩපැවැත්වීමට හෝ සමනය කිරීමට ගන්නා පියවර, වෙනත් අවස්ථාවකදී, එය වඩාත් ප්‍රචණ්ඩ ලෙස පුපුරා යාම සඳහා කොන්දේසි නිර්මානය කර යි.  

1971 අගෝස්තු මාසයේදී, එහි ප්‍රතිවාදීන්ට එරෙහිව ඇමරිකානු ධනවාදයේ තත්ත්වය පහත වැටීමට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපද ජනාධිපති නික්සන් පශ්චාත් යුධකාලීන මුදල් පද්ධතිය අවසන් කරමින් එක්සත් ජනපද ඩොලරය රත්‍රන් මගින් හිලව් කිරීම අවසන් කරනු ලැබීය.

එක්සත් ජනපදයේ ස්ථාවරත්වය ඉහල නැංවීම සඳහා ගනු ලැබූ මෙම තීරණයේ එක් ප්‍රතිවිපාකයක් වූයේ, පශ්චාත් යුධ උත්පාතයේ අත්තිවාරම ගොඩනඟා තිබූ සමස්ථ කර්මාන්තයන්ම නාස්තියට ඇද දමන ලදින්, 1980 ගනන් පුරාවට එක්සත් ජනපද ධනවාදයේ ක්‍රියාන්විතය වඩ වඩාත් සංලක්ෂිත කරන ලද මූල්‍ය සමපේක්ෂනයේ වර්ධනයට ඉන්ධන සැපයීමයි.  

1987 ඔක්තෝම්බර් මාසයේදී, මෙම පියවරයන් විසින් නිර්මානය කර වර්ධනය වෙමින් පැවති අර්බුදය, වෝල් වීදියේ කඩා වැටීමක ස්වරූපයෙන් පුපුරා ගියේය, එය තවමත් ඉතිහාසයේ විශාලතම එක් දින වැටීම වන අතර එය සියයට 22 කට වඩා වැඩි විය.

මෙම අර්බුදයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ සභාපති ඇලන් ග්‍රීන්ස්පෑන් විසින් ලබා දුන් සහතිකය – එය ‘Greenspan Put’  ලෙස හඳුන්වනු ලැබුනි – එනම් ෆෙඩරල් මහ බැංකුව මූල්‍ය වෙලඳපොලවල්වලට මුක්කු ගසන බවට වූ සහතිකය, ඊලඟ දශක දෙක තුළ සමපේක්ෂනයේ කෑදර ප්‍රසාරණයට තුඩු දුන් අතර එය 2008 එක්සත් ජනපදය හා ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා යාමට තුඩු දුන්නේය.  

විරැකියා අනුපාතිකය ඉලක්කම් දෙකකින් ඉහල යාමත්, කම්කරු පන්තියේ පවුල්වලට ඔවුන්ගේ නිවාස අහිමි වීමත්, විශේෂයෙන්, වෘත්තීය සමිතිවල සහයෝගීතාවයෙන් ඔබාමා පරිපාලනය විසින් සංවිධානය කරන ද්වි-ස්ථර වැටුප් පද්ධති හරහා සේවා ස්ථාන තත්ත්වයන් නරක අතට හැරීමත් වන තත්වයක, ෆෙඩරල් මහ බැංකුව සහ එක්සත් ජනපද ආන්ඩුව ඩොලර් බිලියන සිය ගනනක් දක්වා දිවෙන බැංකු ඇපදීමක් සංවිධානය කලේය.  

අර්බුදයෙන් ඉක්බිතිව, ෆෙඩරල් බැංකුව, භාණ්ඩාගාර බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත් මිලදී ගැනීම හරහා මූල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන ගනනක් පොම්ප කිරීම, එනම් ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ සිය වැඩසටහන ආරම්භ කළේය.  2008 කඩාවැටීම අවුලුවාලූ ආන්තික සමපේක්ෂනය අවසන් කරනවා වෙනුවට, ධනේශ්වර රාජ්‍යයේ ප‍්‍රධාන මූල්‍ය හස්තය වන මහ බැංකුව එය තව දුරටත් පෝෂණය කලේය.

මෙහි අර්ථය වූයේ, 2020 මුල් භාගයේදී COVID-19 වසංගතය කඩාවැදීමත් සමග, ඩිමොක්‍රටිකයින්ගේ සහාය ඇතිව ට්‍රම්ප් පරිපාලනය, සමපේක්ෂන බුබුල බිඳ වැටේ යැයි බියෙන් අවශ්‍ය මහජන සෞඛ්‍ය පියවරයන් ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කිරීමයි.

ඒ වෙනුවට, 2020 මාර්තු මූල්‍ය කැටිකිරීමෙන් පසුව, ෆෙඩරල් මහ බැංකුව තව තවත් මුදල් පොම්ප කළේ, දින ගණනාවක් තිස්සේ, ලෝකයේ ආරක්ෂිතම මූල්‍ය වත්කම යැයි කියනු ලබන එක්සත් ජනපද රජයේ නය සඳහා වෙළඳපොලක් නොතිබූ තත්වයක් තුල, එමඟින් ඊටත් වඩා සමපේක්ෂන සහ මූල්‍යමය  පරපෝෂිතභාවයට ඉන්දන සපයිමිනි.

නමුත් මෙම මෙහෙයුම සැබෑ ආර්ථිකය තුළ ප්‍රතිවිපාක ඇති කලේය.  COVID තුරන් කිරීම ප්‍රතික්ෂේප කිරීම, මූල්‍ය පද්ධතියට ඩොලර් ට්‍රිලියන 4ක් එන්නත් කිරීම, ප්‍රධාන වෙළඳ භාණ්ඩ වෙළෙන්දන් සහ යෝධ ආහාර සංගත විසින් අධික ලෙස සමපේක්ෂනය කිරීම සහ ලාභ ඉපැයීම, යුක්රේනය තුල රුසියාවට එරෙහි මිලිටරි ප්‍රහාරය යන කරනු ඒකාබද්ධව, දශක හතරක කාලයකින් පසු උද්ධමනයේ ඉහළම අනුපාතයක් ඇති කෙරුනි.

දැන් මෙම පියවරයන් නව මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කර ඇති අතර, SVB හි බිඳවැටීම තුල එය දැකිය හැකිය.  අනෙකුත් බොහෝ බැංකු සහ මූල්‍ය සංස්ථා මෙන්ම, කැලිෆෝනියාවේ අධි තාක්‍ෂණික අංශය සමඟ සමීපව සම්බන්ධ වී ඇති SVB, 2020 සහ 2021 දී ෆෙඩරල් මහ බැංකුව විසින් සපයන ලද ලාභ මුදල් මතින් තර වීය.

එය අතේ කොතරම් මුදල් තිබුනේද යත්, එම මුදලින් විශාල කොටස් අති-ආරක්ෂිත වත්කම් යැයි කියනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර සහ උකස් පිටුබලය සහිත සුරැකුම්පත්වල තැන්පත් කිරීමට එයට සිදු විය.

උද්ධමනයට එරෙහිව සටන් කිරීමට යැයි කියනු ලබන නමුත් යථාර්ථයේ දී, අවශ්‍ය නම් අවපාතයක් හරහා පවා, කම්කරු පන්තිය මර්දනය කිරීම අරමුණු කරගත් ඉහල පොලී අනුපාත තන්ත්‍රයක් වෙත ෆෙඩරල් බැංකුව හැරීමත් සමග, තත්වය තියුනු ලෙස පැති මාරු කලේ ය.

පොලී අනුපාත ඉහළ යාමත් සමඟ SVB සතුව තිබූ බැඳුම්කරවල වෙළඳපල වටිනාකම පහත වැටුණි. ඒ කොපමනද යත්, ෆෙඩරල් අරමුදල් අනුපාතිකයේ සෑම පදනම් ලක්ෂ්‍ය [basis point -සියයට 0.01 කින් සීයෙන් පංගුවක්] 25 ක (ප්‍රතිශත ලක්ෂ්‍ය 0.25ක් – 0.25 percentage points) ඉහළ යාමක් සඳහා එහි බැඳුම්කර ඩොලර් බිලියන 1ක් අහිමි කරගෙන ඇති බව ඇස්තමේන්තු කර ඇත.  ෆෙඩරල් අරමුදල් අනුපාතිකය අද වන විට පදනම් ලකෂ්‍ය 450 කින් පමන ඉහල දමා ඇත.

එහි වත්කම් පදනමේ මෙම කඩාවැටීම බැංකුවේ ඩොලර් බිලියන 42 ක් ධාවනය කිරීමකට [bank run – බැංකු ධාවනයක් යනු බැංකුවක හෝ වෙනත් මුල්‍ය ආයතනයක ගණුදෙණුකරුවන් විශාල සංඛ්‍යාවක් එම  බැංකුවේ මුදල් ගෙවීමේ හැකියාව පිලිබඳ බියෙන්, තම තැන්පතු මුදල් එකවර ආපසු ගැනීම ] හේතු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එය බිඳ වැටුණි.

SVB හි තත්වයන් සෑම තැනකම අනුකරණය නොවේ.  එහෙත් ධනේශ්වර ආර්ථිකයේ ප්‍රභලම බලවේගය වන මූල්‍ය පද්ධතියේ සියලුම ක්ෂේත්‍ර, ලාභ මුදල් ගලා ඒම මත කොතරම් රඳා පවතිනවාද යත්, පොලී අනුපාත ඉහල දැමීම් නිසා ඒවාට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර, එහි ප්‍රතිවිපාක ඒවාට තවම දැනෙන්නට පටන් ගත්තා පමණි.

එහි විපාක මොනවාද?  ඒවා ගලා එන්නේ මුල්‍ය ප්‍රාග්ධනයේ ස්වභාවයෙන්ම ය.

මුලින්ම බැලූ බැල්මට පෙනෙන්නේ මුදලින් ම වඩා විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගත හැකි බවයි.

නමුත් මෙම මතුපිටින් පෙනෙන ආකෘතිය ගැඹුරු යථාර්ථයක් වසං කරයි.  මූල්‍ය ප්‍රාග්ධනය අමතර හෝ නව වටිනාකමක් නිර්මාණය නොකරයි.  අවසාන විග‍්‍රහයේ දී, එය ධනේශ්වර නිෂ්පාදන කි‍්‍රයාවලිය තුළ කම්කරු පන්තියෙන් උකහා ගන්නා ලද අතිරික්ත වටිනාකමට හිමිකම් පෑමකි.

මේ අනුව, මුදල් විසින් තවත් මුදල් මවන ක්ෂේත්‍රයකට එය නොකඩවා පැන යාමට උත්සාහ කරන අතරම, 2008 අත්දැකීම වඩාත් පැහැදිලිව පෙන්නුම් කල පරිදි, සියල්ලටත් වඩා අර්බුදකාරී කාලවලදී කම්කරු පන්තිය සූරාකෑම තීව්‍ර කිරීමට මූල්‍ය ප්‍රාග්ධනය සැමවිටම උත්සාහ කරයි.

ඒ අතරම, දේශීයව ගැඹුරු වන ආර්ථික හා සමාජ අර්බුදය විසින් මෙහෙයවනු ලබන ආන්ඩුව සහ ධනේශ්වර රාජ්‍යය, සමාජ වියදම් දැවැන්ත ලෙස කප්පාදු කිරීම මගින් කම්කරු පන්තිය විසින් යුද්ධයට වන්දි ගෙවීමට බල කරනු ලැබ ඇත.

සෑම අර්බුදයකදීම, සමාජයේ ප්‍රධාන පන්ති දෙක තම මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා මත වඩ වඩාත් ඍජුව  පන්තිමය වශයෙන් පෙලගැසෙති.  පාලක පන්තියේ වැඩපිලිවෙල ඒ අනුව වර්ධනය වනු ඇත: එනම් යුද්ධය හා සමාජ ප්‍රතිවිප්ලවය සමග ඒකාබද්ධව මූල්‍ය කතිපයාධිකාරය ගලවා ගැනීමේ මෙහෙයුම්වල වැඩපිලිවෙල යි.

කම්කරු පන්තිය ද ධනේශ්වර ක‍්‍රමයේ සමස්ත යාන්ත්‍රනය සමග ගැටීමේ මාවතකට තල්ලු කරනු ලැබේ.  කෙසේ වෙතත්, එම අරගලය සාර්ථක වීමට නම්, පාලක පන්තියේ සහ එහි පද්ධතියේ අර්බුදය කෙතරම් ගැඹුරු වුවත්, කම්කරු පන්තිය දේශපාලනික වශයෙන් පැහැදිලි වැඩපිළිවෙලකින් සහ ඉදිරිදර්ශනයකින් – එනම් දේශපාලන බලය අත්පත් කර ගැනීම සහ සමාජවාදී ආර්ථිකයක් ගොඩනැගීම පිලිබඳ වැඩපිලිවෙලකින් –  සන්නද්ධ විය යුතුය.

සියල්ලටත් වඩා, එහි හිස ලෙස විප්ලවවාදී පක්ෂයක් තිබිය යුතුය.  SVB හි බිඳවැටීම සහ එය ප්‍රකාශ කරන ධනවාදයේ ගැඹුරු වන අර්බුදය එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාකා ගොඩනැගීම සඳහා වූ පැහැදිලි කැඳවීමකි.

#theSocialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top