ඇමරිකානු කම්කරුවෝ සහ තරුණයෝ සමාජවාදය දෙසට හැරෙමින් සිටිති

පැට්‍රික් මාටින් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 30  දින “American workers and youth are turning towards socialismයන හිසින් පළවූ පැට්‍රික් මාටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

NoKings
2026 මාර්තු 28 වන දින නිව්යෝර්ක් නගරයේ පැවති දැවැන්ත “රජුන් එපා” රැලියේ කොටසක්.

පසුගිය දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන ලද අලුත් මත විමසුම් කිහිපයක්ම, ඇමරිකානු කම්කරුවන් සහ තරුණයින් අතර සිදුවෙමින් පවතින කැපී පෙනෙන වමට හැරීම පිළිබඳ ඉඟි සපයා ඇත. කොමියුනිස්ට්-විරෝධය මුළුමනින්ම පාහේ රාජ්‍ය ආගමක් බදු වන සහ සමාජවාදී මතවාදයන් සියවසකට ආසන්න කාලයක් තිස්සේ නිල දේශපාලනයෙන් බොහෝ දුරට බැහැර කර ඇති රටක, ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ධුරය සඳහා සමාජවාදී අපේක්ෂකයෙකුට ඡන්දය දීම ගැන තමන් සලකා බලන බවයි.

බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද වොෂින්ටන් පෝස්ට්-ඉප්සෝස් (Washington Post-Ipsos) මත විමසුමට අනුව, මෙම අගය වයස අවුරුදු 30 ට අඩු ඡන්දදායකයින් අතර සියයට 46 දක්වාත්, ඩිමොක්‍රටික් පක්ෂ ඡන්දදායකයින් අතර සියයට 64 දක්වාත් ඉහළ ගියේය.

සමාජවාදය සඳහා වන මෙම වේගවත් සහයෝගය වර්ධනය වීම තිබියදීත් — නැතහොත් එය නිසාම — මත විමසුම් ප්‍රතිඵලය මුලින් ප්‍රකාශයට පත් කරන ලද්දේ “බහුතරයක් ඇමරිකානුවන් ජනාධිපති ධුරය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකුට සහය නොදක්වන බව පවසති” යන සිරස්තලය යටතේය. සිය ගණනින් බිලියනපති වන ජෙෆ් බෙසෝස් (Jeff Bezos) ට අයත් පුවත්පතක සේවය කරන වොෂිංටන් පෝස්ට් කර්තෘවරුන් තමන්ගේ වාසිය සැලසෙන්නේ කොතැනින්ද යන්න හොඳින් දනිති.

ඊටත් වඩා වැදගත් ලෙස, බ්‍රහස්පතින්දාම ප්‍රකාශයට පත් කරන ලද SSRS විසින් පවත්වන ලද CNN මත විමසුමකට අනුව, ඩිමොක්‍රටිකයන්ගෙන් සහ ඩිමොක්‍රටික්-ලැදි ස්වාධීන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ තමන් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්” (democratic socialists) ලෙස හඳුනා ගනිති. මොවුන්ගෙන් සියයට 59 ක් වයස අවුරුදු 45 ට අඩු අය වන අතර, එයට සාපේක්ෂව එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුනා නොගන්නා ඩිමොක්‍රටිකයින්ගේ සියයට 46කි. තුනෙන් දෙකක්ම ප්‍රකාශ කළේ තමන් 2026 අඩකාලීන මැතිවරණයේදී (midterm elections) ඡන්දය දීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, ඔවුන්ගෙන් සියයට 99 ක්ම ඩිමොක්‍රටිකයින්ට ඡන්දය දෙන බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුනා නොගන්නා ඩිමොක්‍රටිකයින් හා සැසඳීමේදී, තමන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුනා ගන්නා අය “උපාධියක් ලබා තිබීමට ඇති ඉඩකඩ අඩු බවත් ( 66% සිට 54%) වසරකට ඩොලර් 100,000 ට වඩා අඩුවෙන් උපයා ගැනීමට ඇති ඉඩකඩ වැඩි බවත් ( 76% සීට 65%)” CNN මත විමසුමෙන් හෙළි විය. සුදු ජාතික ඡන්දදායකයින්ට වඩා කළු ජාතික ඡන්දදායකයින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකුට සහය දීමට වැඩි නැඹුරුවක් දැක්වූහ.

සමාජවාදය සඳහා වන සහයෝගය ආර්ථික තත්ත්වයට නොව ජීවන රටාවට අදාළ සුදු ජාතික ඉහළ-මධ්‍යම පංතික (upper-middle class) හැඟීමක් යැයි මාධ්‍ය තුළ අඛණ්ඩව කරනු ලබන ප්‍රකාශය මෙයින් බොරු කෙරේ. සමාජවාදය සඳහා වන සහයෝගය ධාවනය වනු ලබන්නේ, ධනවාදය තමන්ට පිරිනමන්නේ යුද්ධය, දරිද්‍රතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරයන්ගෙන් සමන්විත අඳුරු අනාගතයක් පමණක් බව පැහැදිලිවම වටහා ගැනීමට පටන් ගෙන සිටින කම්කරු පන්තියේ නව පරම්පරාවේ අත්දැකීම් විසිනි.

මෙය මාක්ස්වාදයේ මූලික නියමයක් සනාථ කිරීමකි: එනම්, සාමාජික පැවැත්ම විසින් සාමාජික විඤ්ඤාණය (social consciousness) තීරණය කරන බවයි. සමාජවාදී සමානතා පක්ෂය මෙම වර්ධනය නිවැරදිවම අපේක්ෂා කළේය. එහි 2010 වැඩසටහන ප්‍රකාශ කළේ “වාස්තවික (සැබෑ ලෝක) තත්වයන්ගේ වෙනස්වීම” — එනම් ඇමරිකානු සහ ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය — “ඇමරිකානු කම්කරුවන් [සමාජවාදය පිළිබඳ] ඔවුන්ගේ අදහස් වෙනස් කිරීමට හේතු වනු ඇති” බවයි. එකල විද්‍යාත්මක ප්‍රක්ෂේපණයක් (scientific projection) වූ දෙය දැන් පුළුල් සංසිද්ධියක් බවට පත්ව ඇත.

මත විමසුම් දෙකෙන්ම පෙන්නුම් කරන්නේ සමාජවාදයට ඇති සහයෝගය සහ ට්‍රම්ප්ගේ ඉරානයට එරෙහි යුද්ධයටත්, ඇමරිකාවේ අනුග්‍රහය ලබන ගාසා හි ඊශ්‍රායල ජන සංහාරයටත් (genocide) ඇති විරෝධය අතර දැඩි සබඳතාවයක් පවතින බවයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් සියයට 48 ක් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට ඇමරිකාව දක්වන සහය කැපීමට සහය දෙන අපේක්ෂකයෙකු කෙරෙහි තමන් උද්‍යෝගිමත් වන බවයි.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුනා ගන්නා අය ඉරානයට එරෙහි යුද්ධයට අතිමහත් ලෙස විරුද්ධ වන අතර, එය සමස්තයක් ලෙස ඇමරිකානු මහජනතාව ද දරන මතයකි. ක්වින්නිපියැක් විද්‍යාලය (Quinnipiac College) විසින් පවත්වන ලදුව බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙනම මත විමසුමකින් හෙළි වූයේ සියයට 66 ක් ට්‍රම්ප් යුද්ධය මෙහෙයවන ආකාරයට විරුද්ධ වූ අතර සියයට 60 ක් යුද්ධයටම විරුද්ධ වූ බවයි. පෙබරවාරි 28 වන දින ට්‍රම්ප් ආක්‍රමණශීලී යුද්ධය ආරම්භ කළ තැන් සිට මෙම සංඛ්‍යා දෙකම වාර්තා වූ ඉහළම අගයන් විය.

පසුගිය මාසයේ නිව් යෝර්ක් සහ කොලරාඩෝ හි පැවැති ඩිමොක්‍රටික් ප්‍රාථමික මැතිවරණවල (primaries) ප්‍රතිඵල — එනම් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (Democratic Socialists of America – DSA) සමඟ සම්බන්ධ වූ හෝ ඔවුන්ගේ සහය ලැබූ අපේක්ෂකයින් කොංග්‍රස් දිස්ත්‍රික්ක හතරක නාම යෝජනා දිනා ගනිමින්, දීර්ඝ කාලයක් සේවය කළ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පරාජයට පත් කිරීම — අසාමාන්‍ය සිදුවීමක් (aberration) නොවන බව මෙම මත විමසුම් මගින් තහවුරු වේ.

කාර්මික මිඩ්වෙස්ට් (Midwest) කලාපයේ පැවැත්වෙන ප්‍රධාන ප්‍රාථමික මැතිවරණ මගින් ඉදිරි සති දෙක තුළ මෙම වමට හැරීමට තවදුරටත් ප්‍රකාශනයක් ලබා දෙනදෙනු හැකිය. මිචිගන්හි, අගෝස්තු 4 වන දින සෙනෙට් සභාව සඳහා වන ඩිමොක්‍රටික් නාමයෝජනා තරඟයේදී හිටපු මහජන සෞඛ්‍ය නිලධාරී අබ්දුල් එල්-සයීඩ් (Abdul El-Sayed) මත විමසුම්වලදී නියෝජිත හැලී ස්ටීවන්ස් (Haley Stevens) සමඟ සම තත්ත්වයේ පසුවේ. එල්-සයීඩ්ට බර්නි සැන්ඩර්ස් (Bernie Sanders) සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස්ගේ (Alexandria Ocasio-Cortez) සහය හිමිව ඇති අතර, ස්ටීවන්ස්ට ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ, ආණ්ඩුකාර ග්‍රෙචන් විට්මර්ගේ (Gretchen Whitmer) සහ ඊශ්‍රායල-ගැති කක්ෂයේ (pro-Israel lobby) සහය හිමිව ඇත.

ආණ්ඩුකාර ධුරය සඳහා වන ඩිමොක්‍රටික් නාමයෝජනා සඳහා විස්කොන්සින් හි පැවැත්වෙන ප්‍රාථමික තරඟයේදී, DSA සාමාජිකාවක සහ ප්‍රාන්ත නියෝජිතවරියක වන ෆ්‍රැන්චෙස්කා හොං (Francesca Hong), පක්ෂ සංස්ථාපිතයේ බෙහෙවින් වැඩි සහයක් ඇති වඩාත් ප්‍රසිද්ධ අපේක්ෂකයින් දෙදෙනෙකු වන මිල්වෝකි (Milwaukee) නගරාධිපති ඩේවිඩ් ක්‍රවුලි (David Crowley) සහ හිටපු නියෝජ්‍ය ආණ්ඩුකාර මැන්ඩෙලා බාර්න්ස් (Mandela Barnes) ට එරෙහිව මත විමසුම්වල සැලකිය යුතු පරතරයකින් ඉදිරියෙන් සිටී. එම ඡන්ද විමසීම අගෝස්තු 11 වන දින පැවැත්වේ.

ධනපති පක්ෂ දෙකම, එනම් රිපබ්ලිකානුවන් තරම්ම ඩිමොක්‍රටිකයන් ද ඡන්දදායකයින්ගෙන් බහුතරයකගේ පිළිකුලට ලක්ව ඇති තත්ත්වයන් යටතේ සමාජවාදය සඳහා වන සහයෝගය වර්ධනය වීම කැපී පෙනෙන කරුණකි. වෙනසෙහි (change) පක්ෂය කුමක්ද, ඔවුන් වැනි ජනතාව ගැන සැලකිලිමත් වූයේ කුමන පක්ෂයද, දූෂණයට එරෙහිව සටන් කළේ කුමන පක්ෂයද සහ වැඩක් කර දුන්නේ කුමන පක්ෂයද යන්න CNN විසින් විමසූ විට, ඒ කිසිදු පක්ෂයකට සහය දැක්වූවාට වඩා වැඩි ඡන්දදායකයින් සංඛ්‍යාවක් සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නේ “දෙකෙන් එකක්වත් නැත” යනුවෙනි. නොවැම්බර් මාසයේදී කොංග්‍රස් මණ්ඩලයේ බොහෝ මන්ත්‍රීවරුන් නෙරපා හැරිය යුතු බව බහුතරයක් CNN වෙත පැවසූහ.

පසුගිය සති අන්තයේ පවත්වන ලද රොයිටර්/ඉප්සෝස් (Reuters/Ipsos) මත විමසුමකින් හෙළි වූයේ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අදහස් සඳහා සහ MAGA (“Make America Great Again”- ඩොනල් ට්‍රම්ප් විසින් නායකත්වය දෙන දක්ෂිණාංශික පොපුලිස්ට් ෆැසිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරය) රිපබ්ලිකානුවන්ගේ අදහස් සඳහා එකම මට්ටමේ සහයෝගයක් පවතින බවයි, එනම් එකිනෙකට සියයට 27 බැගිනි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකටත් වඩා අඩු පිරිසක් තමන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ප්‍රතිපත්ති තේරුම් ගත් බව පවසද්දී සහ MAGA ප්‍රතිපත්ති සඳහා සංගත මාධ්‍ය, රිපබ්ලිකන් පක්ෂය සහ ට්‍රම්ප් පරිපාලනය මගින් නොකඩවා ප්‍රචාරණය ලබා දෙන බව සලකා බලන විට මෙය කැපී පෙනෙන සංඛ්‍යාවකි.

මාධ්‍ය ප්‍රචාරණය, ප්‍රශ්න සකස් කර ඇති ආකාරය සහ ප්‍රතිචාර දක්වන්නන් තෝරා ගන්නා ආකාරය සහ ඔවුන්ගේ අදහස් ජනගහන විද්‍යාත්මකව “බර තබන” (weighted) ආකාරය නිසා බලපෑමට ලක්වන මත විමසුම් මගින් මහජන හැඟීම් පිළිබඳ විකෘති ප්‍රකාශනයක් පමණක් ලබා දෙන බව පැවසිය යුතුය. තවද, සමාජයේ පැවැත්මට ඇති එකම ආර්ථික පදනම ධනවාදය ලෙස ඉදිරිපත් කරන, සංගත පාලනය යටතේ පවතින ද්වි-පක්ෂ ක්‍රමය තුළ ඒවා පවත්වනු ලැබේ.

තිව්‍ර වන යුද්ධය,  ආර්ථික කැළඹුම (economic dislocation) සහ ඒකාධිපතිවාදය දෙසට වන ධාවනය  හමුවේ මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ මුලික වමට හැරීම, DSA හි මැතිවරණ ජයග්‍රහණ ලෙස මූලික ස්වරූපය ගෙන ඇත. නමුත් DSA යනු කම්කරු පන්තිය තුළ වර්ධනය වන ව්‍යාපාරයේ වාහකය නොවේ. එය ඊට බාධාවකි — එනම් එය වෝල් වීදියේ (Wall Street) සහ හමුදාවේ පක්ෂ දෙකෙන් එකක් වන ඩිමොක්‍රටික් පක්ෂයේ කණ්ඩායමක් (faction) වන අතර, එහි කාර්යය වන්නේ කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ වර්ධනය වන විරෝධය නැවත ධනපති දේශපාලනයේ රාමුව තුළට යොමු කිරීමයි.

කෙසේ වෙතත්, මෙම රැඩිකලීකරණයේ අත්‍යවශ්‍ය අන්තර්ගතය ප්‍රතිසංස්කරණවාදී (reformist) නොවන අතර, එය එම රාමුව තුළ සීමා නොවෙනු ඇත. කම්කරුවන් සහ තරුණයින් ධනවාදයට එරෙහිව හරවන එම අර්බුදයම ඔවුන්ව ඩිමොක්‍රටික් පක්ෂය සමඟ ගැටුමකට ගෙන එනු ඇත. 2025 ජනවාරි 4 වන දින WSWS හි අලුත් අවුරුදු ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි: “පසුගිය වසර පහ තුළ ධනපති අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය ආධිපත්‍යය හෙබවීය. ඉදිරි වසර පහ තුළ පංති අරගලයේ පිපිරුම්කාරී නැගිටීම ආධිපත්‍යය දරනු ඇත; එය දැනටමත් සිදුවෙමින් පවතී.”

මෙම මත විමසුම්වල වාර්තා වී ඇති සමාජවාදය සඳහා වන සහයෝගයේ වර්ධනය අති මූලික දේශපාලන ගැටලුව විසඳන්නේ නැත, ඊට විපරීතව එය වඩාත් තියුණු ලෙස මතු කරයි. මහජන හැඟීම් තවමත් සවිඥානක දේශපාලන ව්‍යාපාරයක් නොවේ. අවශ්‍ය වන්නේ සමාජවාදය යනු කුමක්ද සහ එය සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද යන්න පැහැදිලි කිරීමට සමත් විප්ලවවාදී නායකත්වයක් කම්කරු පන්තිය තුළ ගොඩනැගීමයි.

කම්කරුවන් සහ තරුණයින් 20 වන සියවසේ මූලික ඓතිහාසික කරුණු, සියල්ලටමතත් වඩා ලියොන් ට්‍රොට්ස්කි විසින් ස්ටාලින්වාදයට එරෙහිව ගෙන ගිය අරගලය සීරුවෙන් පරීක්ෂා කළ යුතුය. අද කම්කරුවන් සහ තරුණයින් ට්‍රොට්ස්කිගේ මෙම අවවාදය සිහි තබා ගත යුතුය, “තරුණයිනි, දේශපාලනය හදාරන්න!”

සමාජවාදය සාක්ෂාත් කරගත හැක්කේ සහ සාක්ෂාත් කරගනු ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ සමස්ත ලෝකය පුරාම ධනපති ක්‍රමයට එරෙහි අරගලයේදී කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් මගින් පමණි.

මෙයට සැබෑ සමාජවාදී වැඩසටහනක් අවශ්‍ය වේ: එනම්, පාලක පන්තියේ පක්ෂ දෙකෙන්ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය; මුල්‍ය කතිපයාධිකාරය අස්වාමික කිරීම(දේපළ අත්පත් කර ගැනීම) සහ බැංකු හා විශාල සමාගම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පවතින මහජන සේවාවන් බවට පරිවර්තනය කිරීම; පෞද්ගලික ලාභයට වඩා මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම. මෙම මත විමසුම් මගින් ආරම්භයක් සනිටුහන් කරයි. අති මූලික ප්‍රශ්නය වන්නේ එහි සවිඥානික දේශපාලන දිශානතියයි — එනම් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය තුළ විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

මෙයින් අදහස් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (International Committee of the Fourth International) ගොඩනැගීමයි. අප හා එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් සහ තරුණයින්ගෙන් ඉල්ලා සිටිමු.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top