ෆිලිප් ගුපා විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 06 දින “Jane Goodall, the primatologist who revolutionized our understanding of chimpanzees and ourselves, dies at 91” යන හිසින් පලවූ ෆිලිප් ගුපා විසිනි විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

අපගේ සමීපතම පරිණාමීය ඥාතීන් වන චිම්පන්සියන් ගැන මනුෂ්‍ය වර්ගයාට ඉගැන්වූ විද්‍යාඥ ජේන් ගුඩෝල් පසුගිය සතියේ වයස අවුරුදු 91 දී මිය ගියාය. ඔක්තෝබර් 1 වන දින කැලිෆෝනියාවේ දේශන සඳහා වන චාරිකාවක යෙදී සිටියදී ස්වභාවික හේතූන් මත ඇය මිය ගිය බවට, 1977 දී ඇය විසින් ආරම්භ කරන ලද ජේන් ගුඩෝල් ආයතනය ප්‍රකාශයක් නිකුත් කළේය. වනගත චිම්පන්සියන් පිළිබඳ ඇගේ නවමු-ගවේෂණාත්මක පර්යේෂණ සඳහා ගුඩෝල් ලෝක ප්‍රසිද්ධ විය. චිම්පන්සියන් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවල ක්‍රමානුකූලව දීර්ඝ කාලීනව සහභාගීවඩ් නිරීක්ෂණය කළ පළමු පර්යේෂිකාව ඇය විය.
අපගේ ජාන සැකැස්මෙන් අතිමහත් බහුතරයක් බෙදා ගන්නා චිම්පන්සීන්, මානව තාක්ෂණයේ ආරම්භය පිළිබඳ අවබෝධයක් ලබා දෙන සරල මෙවලම් නිෂ්පාදනය සහ භාවිතය වැනි හැසිරීම් ද ප්‍රදර්ශනය කරන බව ඇගේ පර්යේෂණ මගින් හෙළි විය. මීට පෙර, මෙවලම් භාවිතය තනිකරම මානව කුසලතාවක් ලෙස සැලකුනි.
තවද, චිම්පන්සියන් සහ අනෙකුත් වානරයන් මෙන්ම පොදුවේ සතුන්, නොසිතන සහ හැඟීම් විරහිත බවත්, සහජ බුද්ධියෙන් සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන බවටත් වූ පෙර සංකල්පවලට පටහැනිව, චිම්පන්සියන්ට තමන්ගේම ස්වාධීන පෞරුෂයන් ඇති බවත් සංකීර්ණ සමාජ හැසිරීම් වල නිරත වන බවත් ඇය සොයා ගත්තාය. එනම්, කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා කටහඬ භාවිතා කිරීම සමඟ අත් සහ හිස අභිනයන් ඇතුළත් වේ. වැදගත් කාරණය වන්නේ, මෙම හැසිරීම් ජානමය රටාවන් නොවී ප්රාරම්භක සංස්කෘතියක් නිර්මානය කරන ඉගෙන ගැනීම මගින් සැකසුනු බවය.
ඇයගේ පර්යේෂණ අනෙකුත් විශේෂ පිළිබඳවද පර්යේෂණ පැවැත්වීමට හේතු වී ඇති අතර, එම විශේෂවලටද මෙවැනිම සංකීර්ණ හැසිරීම් ඇති බව සොයාගෙන ඇත.
1934 දී එංගලන්තයේ උපත ලබා ලන්ඩනයේ හැදී වැඩුණු ගුඩෝල් මුලින් විද්‍යාඥවරියක් ලෙස පුහුණුව ලබා නොතිබුණ අතර, ලේකම්වරියක් ලෙස සේවය කළාය. ළමා වියේදී ඇය හැදී වැඩී අප්‍රිකාවට යාමට, වන සතුන් සමඟ ජීවත් වීමට සහ පොත් ලිවීමට සිහින මැවූ බව ඇය මෑතකදී හෙළි කළාය. පවුලේ මිතුරන් බැලීමට කෙන්යාවට ගිය ගමනකදී ඊට අවස්ථාවක් ලැබ ප්‍රසිද්ධ පූර්ව-මානව විද්‍යාඥ (paleoanthropologist) ලුවී ලීකි හමුවීමට හේතු වූ අතර, ඔහු සමඟ සතුන් කෙරෙහි ඇති ඇගේ ආදරය ගැන ඇය සාකච්ඡා කළාය. ඇගේ හැකියාවන් ඉව කල ඔහු, ටැන්සානියාවේ වන චිම්පන්සියන් අධ්‍යයනය කිරීමට ඇය කැමති දැයි ඇයගෙන් විමසීය. ඇය ඊට එකඟ වූ අතර මුලින් ලීකිගේ ලේකම්වරිය ලෙස සේවයට බැදුනී ය.
ක්ෂේත්රයට පැමිණීමෙන් පසු,1960 දී ටැන්ගනිකා විලෙහි නැගෙනහිර වෙරළ තීරයේ, මැලේරියාව සහ සත්ව විලෝපිකයන් සමඟ කටයුතු කරන අතරතුර, චිම්පන්සියන්ට සමීප වීම පහසු කාර්යයක් නොවන බව ගුඩෝල් දැන ගත්තාය. චිම්පන්සියන් ප්‍රවේශම් සහගත වූ අතර ඔවුන්ගේ දුරස්ථභාවය පවත්වා ගත්හ. කෙසේ වෙතත්, නොපසුබට උත්සාහයෙන් සහ ආක්‍රමණශීලී නොවන ප්රවේශයකින්, ඇය අවසානයේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගත් අතර, සෘජු සවිස්තරාත්මක නිරීක්ෂණ කිරීමට සමත් වෙමින් කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම තනිතනි ලක්ෂණ ඉගෙන ගෙන, එකල සම්මත පිළිවෙතින් බැහැරව, ඔවුනට ඉලක්කමක් වෙනුවට නම් ලබා දුන්නාය. ඇත්ත වශයෙන්ම, ඇය වානර විද්‍යා (primatology) ක්ෂේත්‍ර වැඩ තාක්ෂණයක් හඳුන්වාදීම—දිගු කලක් සමාජ/සංස්කෘතික මානව විද්‍යාවේ භාවිතා කර තිබූ ‘සහභාගී නිරීක්ෂණය’—සදහා පුරෝගාමී වෙමින් අධ්‍යයනය කරනු ලබන විෂයයන් සමඟ අන්තර් ක්‍රියා කරමින් දීර්ඝ කාලයක් ඒ සමග ජීවත් වූවාය.
චිම්පන්සියන් සරල මෙවලම් සෑදුවා පමණක් නොව (උදා: අතු වලින් කොළ ඉවත් කර ඒ තනි කූරු හෝ දිගු තණකොළ බඳ භාවිතා කර වේයන්ගේ ජනපදවලින් ඔවුන් නිස්සාරණය කර අනුභව කිරීම), ප්‍රීතිය, දුක සහ බිය වැනි මිනිස් හැඟීම් වලට සමාන හැසිරීම් ප්‍රදර්ශනය කළ බව ගුඩෝල් සොයා ගත්තාය. මව්වරුන් සහ ළදරුවන් අතර බැඳීම්, සහෝදර එදිරිවාදිකම් සහ සමාජ ධූරාවලීන් ස්ථාපිත කිරීම ද ඇය නිරීක්ෂණය කළාය. ඔවුන් මස් අනුභව කළ අතර අන්තර් කණ්ඩායම් ගැටුම්වලට සම්බන්ධ විය. දෘඩ කටු සහිත ගෙඩි වර්ග විවෘත කිරීමට භාවිතා කරන ගල් සහ ඔවුන් දඩයම් කරන වඳුරන්ට ඇනීමට භාවිතා කරන හෙල්ල ඇතුළුව චිම්පන්සියන් විවිධ ආකාරයේ මෙවලම් ද සාදා භාවිතා කරන බවත්, මේවා කණ්ඩායම් අතර වෙනස් වන සංස්කෘතික සම්ප්‍රදායන් බවත් වෙනත් පර්යේෂකයන් පසුව සොයාගෙන ඇත. පොදු පරිණාමීය සම්භවයක් පිළිබඳ අවබෝධය ශක්තිමත් කරමින් මානවයන්ගේ සහ චිම්පන්සියන්ගේ අවසාන පොදු මුතුන් මිත්තන්ට අවම වශයෙන් මෙම හැසිරීම් වල පූර්ව ස්වභාවයන් පැවති බව, මෙම සාක්ෂි මගින් තරයේ යෝජනා කරයි.
1963 දී නැෂනල් ජියෝග්රැෆික් සඟරාවේ මුල් කවරයේ පළ වූ “කැලෑ චිම්පන්සීන් අතර මගේ ජීවිතය” යන ඇගේ ලිපිය ප්‍රකාශයට පත් කළ විට ගුඩෝල්ගේ සොයාගැනීම් ලොව පුරා අවධානයට ලක් විය. ප්රමුඛ පරිණාමීය ජීව විද්‍යාඥ සහ විද්‍යා ඉතිහාසඥ ස්ටීවන් ජේ ගුල්ඩ් ඇගේ කාර්යයට ප්‍රශංසා කළේ, එය “බටහිර ලෝකයේ විශිෂ්ට විද්‍යාත්මක ජයග්‍රහණවලින් එකක් නියෝජනය කරයි” යනුවෙන් පවසමිනි. පසුව ඇය ඇගේ පර්යේෂණ මත පදනම්ව ළමුන් සඳහා වූ පොත් 15 ක් සමග පොත් 32 ක් ලිවූ අතර එමඟින් ඇගේ සොයාගැනීම් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතර තවදුරටත් ව්‍යාප්ත විය. ඇය රූපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයකම ද පෙනී සිටියාය. ඊට අමතරව, ඇයට ප්‍රථම උපාධියක් නොතිබුණද, ඇය ඉටුකල කාර්ය සඳහා ඇයට 1965 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරි නැමුනි.
ඇගේ ක්‍රියාකාරකම් ඉක්මනින්ම පර්යේෂණයේ සිට වනජීවී සංරක්ෂණය සහ පාරිසරික සංරක්ෂණය දක්වා ව්‍යාප්ත විය. 1978 දී, ටැන්සානියාව ඇය සිය මුල් ක්ෂේත්‍ර කටයුතු සිදු කළ ගොම්බේ ස්ට්‍රීම් චිම්පන්සි රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කිරීමෙන් ඇගේ කාර්යයට ගෞරව කළේය. 1992 දී ඇගේ ආයතනය ට්චිම්පොන්ගා චිම්පන්සි පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භ කළ අතර, එය මිනිසුන් විසින් මස් සඳහා දඩයම් කරන ලද හෝ සුරතල් සතුන් වෙළඳාම සඳහා පැහැර ගන්නා ලද සිය ගණනක් තුවාල ලැබූ සහ අනාථ වූ චිම්පන්සියන් රැකබලා ගෙන ඇත. ඇයගේ පුරෝගාමී පර්යේෂණ සඳහා පමණක් නොව, වනජීවී සහ වාසභූමි සංරක්ෂණය සඳහා ඇයගේ යෝධ යුද ප්රයත්නයන් සඳහාද ඇය ලෝක ප්‍රසිද්ධියට පත් විය.
ජේන් ගුඩෝල් ආයතනය ලොව පුරා විද්‍යාත්මක පර්යේෂණ සහ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයන අතර, තරුණයින් සමඟ කටයුතු කරන රූට්ස් ඇන්ඩ් ෂූට්ස් (Roots & Shoots) වැඩසටහන ද ඊට ඇතුළත් වේ. ගුඩෝල් තරුණ කාන්තාවන් ගණනාවක් විද්‍යාඥයින් වීමට පෙළඹවනු ලැබූ අතර, කඳුකර ගෝරිල්ලන් පිළිබඳව වසර ගණනාවක් අධ්‍යයනය කළ ඩයන් ෆොසි ද (Dian Fossey) ඒ අතර වේ. ඇගේ මෙම ක්‍රියාකලාපය “මීදුම අතර ගෝරිල්ලන් ” (Gorillas in the Mist) චිත්‍රපටයේ ඇතුළත් ය.
ගුඩෝල් මානව හිමිකම් සහ දේශගුණික විපර්යාස පිළිබඳ උත්සුකයන් වෙනුවෙන් පෙනී සිටින්නෙකු බවට ද පත්විය.
ජේන් ගුඩෝල් යනු මිනිසුන්, තමන්වමද, ස්වභාවික ලෝකය සහ සත්ව රාජධානිය සමඟද ඔවුන්ගේ සම්බන්ධතාවය තේරුම් ගන්නා ආකාරය වෙනස් කළ අතිශයින් වැදගත් විද්‍යාත්මක චරිතයකි. ඩාවින්ගේ වඩාත්ම මතභේදාත්මක ප්‍රකාශය වූයේ මිනිසුන්ට සහ මහා වානරයන්ට පොදු මුතුන් මිත්තෙකු සිටියේ එතරමි ඈත කාලකට පෙර නොවන බවයි. මෙම සත්‍යය ෆොසිල වාර්තාවෙන් සනාථ වේ, නමුත් ගුඩෝල්ගේ කෘති එයට විශ්මයජනක සංයුක්තතාවයක් ලබා දුන්නේය. චිම්පන්සියන් මෙවලම් සාදන බවත් භාවිතා කරන බවත්, සහයෝගයෙන් දඩයම් කරන බවත්, කලක් මානවයන්ට අනන්‍ය යැයි සැලකූ සංකීර්ණ හැඟීම් සහ සමාජ ව්‍යුහයන් ප්‍රදර්ශනය කරන බවත් ඇය පෙන්වා දුන්නාය.
සැමවිටම අවතක්සේරු කළ ඇගේ කර්තව්‍යයන්හි ඇඟවුම්, යථා වශයෙන් නම්, මිනිසා මැවුම්කාර-දෙවියන් වහන්සේගේ ප්රතිරූපයෙන් අනන්‍ය ලෙස නිර්මාණය කර ඇති බවට පවසන සියලු ආකාරයේ ආගමික ලබ්ධින්ට එරෙහි පහර දීමකි. ඇත්ත වශයෙන්ම, මිනිසා මහා වානර පවුලේ සාමාජිකයෙකු වන නිසා මිනිසාට අනන්‍ය ගති ලක්ෂණ බොහොමයක් මහා වානරයන් සමඟ බෙදා ගනී. ගුඩෝල් නොපැහැදි ලෙස සර්වේශ්වර වාදී (pantheist) ආගමික විශ්වාසයන් ඇදැහීය යන්න ඇගේ කෘතියේ ගැඹුරු භෞතිකවාදී අන්තර්ගතයට කිසිසේත්ම හානි නොකරයි. ඇය කෙතරම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥවරියක් වුවද, ගුඩොල් මිනිසුන්ට සහ ඇය අධ්‍යයනය කළ සතුන්ට අනුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා ප්‍රකට විය.
වැඩිදුර කියවන්න:
My Life Among Wild Chimpanzees
Jane Goodall’s legacy: three ways she changed science
From tool use to warfare — here are 5 ways Jane Goodall revolutionized our knowledge of chimpanzees