සංජය ජයසේකර විසිනි.
මෙම ලිපිය ඉංග්‍රීසි බසින් 2025 දෙසැම්බර් 02 දින thesocialist.lk හි පල විය.

නොවැම්බර් 28 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින්, ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනකාරී විනාශයට ප්‍රතිචාර වශයෙන්, දුෂ්ට මහජන ආරක්ෂක ආඥා පනත (PSO) ක්‍රියාත්මක කළේය. සුළි කුණාටුවෙන් අවම වශයෙන් ජීවිත 410 ක් අහිමි වී, 400 කට ආසන්න පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති අතර, එය 2017 න් මෙපිට ශ්‍රී ලංකාවේ වඩාත්ම මාරාන්තික ස්වාභාවික විපත සනිටුහන් කරයි. මිලියනයකට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති අතර, 180,000 කට වැඩි පිරිසක් රජය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටිති.
නොවැම්බර් 29 වන දින ජාතිය අමතමින් ජනාධිපතිවරයා කළ කතාවේදී, ජාතිය නැවත ගොඩනැගීම සඳහා “එක්සත්” වන ලෙස සහ “සියලු පක්ෂ හා දේශපාලන වෙනස්කම් ඉවත ලන ලෙස” ජනතාවගෙන් ඉල්ලා සිටිමින්, ජනතාවාදී වාගලංකාර කතා ප්‍රවේශමෙන් භාවිතා කළේය. හදිසි අවස්ථා රෙගුලාසි තනිකරම ආපදා කළමනාකරණය සඳහා වන පරිපාලන අවශ්‍යතාවක් ලෙස ඉදිරිපත් කිරීමට ඔහු ප්‍රවේශම් විය. එහෙත් මෙම හදිසි බලතලවල පන්ති ස්වභාවය නොවරදවාම එය සඟවා ඇති තැනින් හෙළිදරව් වේ.
හදිසි අවස්ථා තත්ත්වය සමඟ ගැසට් කර ඇති හදිසි නීති රෙගුලාසි, ආපදා සහනවල අවශ්‍යතා වලට වඩා එපිට බොහෝ දුරට විහිදෙන පුළුල් බලතල ලබා දෙයි. “රාජ්‍ය නිලධාරීන් අතර අප්රසාදයබ් ඇති කිරීම” අපරාධකරණය කිරීම, “මහජන ආරක්ෂාවට, මහජන සාමයට හෝ ජනතාවගේබ්බ් ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා නඩත්තු කිරීමට අගතිදාහක වන කාරණා අඩංගු වන දැන්වීම් කොළ, අත්පත්‍රිකා හෝ පත්‍රිකා ඇලවීම හෝ බෙදා හැරීම” තහනම් කිරීම සහ “මහජනයා බිය ගැන්විය හැකි හෝ මහජනයා කැලඹිය හැකි” “කටකතා හෝ අසත්‍ය ප්‍රකාශ” ලෙස සැලකෙන තොරතුරු මර්දනය කිරීම මෙයට ඇතුළත් වේ (18,19, 20 රෙගුලාසි). ශ්‍රී ලාංකික චින්තන පර්ශදයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA), එවැනි “පුළුල් රෙගුලාසි (නීත්‍යානුකූල සීමාවන් ඉක්මවා යන) මගින් ගමනාගමනයේ නිදහස, රැස්වීමේ, ප්රකාශනයේ සහ නිසි පටිපාටියේ මූලික අයිතිවාසිකම් ඇතුළු සිවිල් නිදහසට හානි කිරීමේ අවදානමක් ඇති බවට” අනතුරු ඇඟවීමක් කර තිබේ. 2005 ආපදා කළමනාකරණ පනත වැනි වඩා අඩුවෙන් දැඩි ආපදා කළමනාකරණය සඳහා නිශ්චිත නීති තිබියදීත් හදිසි නීති ක්‍රියාත්මක කර ඇති බව එය සඳහන් කරයි.
දිසානායක තම කතාවේදී සඳහන් නොකළ නමුත් කම්කරු පන්තිය තේරුම් ගත යුතු දෙය නම්, මෙම හදිසි බලතල වැඩ වර්ජන බිඳීම, කම්කරු පන්ති අරගලවලට එරෙහිව සන්නද්ධ හමුදා යෙදවීම, සහ “ජාතිය නැවත ගොඩනැගීම” මුවාවෙන් ම්ලේච්ඡ කප්පාදු පියවර පැනවීම සඳහා නීතිමය රාමුව සපයන බවයි. හදිසි නීති රෙගුලාසි යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කිරීම හරියටම මෙම අභිප්‍රාය සංඥා කරයි.
මූලික ඇස්තමේන්තුවලට අනුව ගංවතුර, නායයෑම් සහ සුළං හේතුවෙන් ඇති වූ ආර්ථික හානිය ඩොලර් මිලියන 500 ඉක්මවන අතර එය 2022 ආර්ථික අර්බුදයෙන් තවමත් මිදී නැති රටක කෘෂිකර්මාන්තයට වඩාත්ම බලපා ඇත. විදේශ අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ නොවැම්බර් 28 වන විට කෘෂිකර්මාන්තය, වාරිමාර්ග වැව් සහ හානියට පත් ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 31 ක් අවශ්‍ය බවයි. හානියට පත් මාර්ග, දුම්රිය මාර්ග, පාලම්, විදුලි සැපයුම් සහ රජයේ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. ගොවිබිම් හෙක්ටයාර 57,000 කට වඩා බලපෑමට ලක්ව ඇති අතර, ණය බරින් සහ වෙළඳපොළ යැපීමෙන් දැනටමත් අරගල කරමින් සිටින ග්‍රාමීය නිෂ්පාදකයින් විනාශකාරී ලෙස පීඩාවට පත්ව ඇත.

මෙම ව්‍යසනය සමාජයේ වඩාත්ම අවදානම් සහගත තත්වයන්හි සිටින ස්ථරවලට විශේෂයෙන් දරුණු ලෙස පහර දෙයි. ජලයෙන් යට වූ ගොවිබිම්, හානි වූ ගබඩා පහසුකම් සහ කපා දැමූ සැපයුම් මාර්ග ඉදිරි සතිවලදී බාණ්ඩ හිඟයක සහ මිල වැඩි වීමේ තර්ජනයක් මතු කරමින් ඉහළ යන ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳව බලධාරීන් අනතුරු අඟවා ඇත. කම්කරු පන්තියට සහ ග්‍රාමීය දුප්පතුන්ට, මෙය කුසගින්නේ සහ මන්දපෝෂණයේ අද්දරට තල්ලු කිරීමක් බවට පරිවර්තනය වේ–එය හුදෙක් ‘ස්වාභාවික’ ව්‍යසනයක නොව, දශක ගණනාවක් තිස්සේ පැවති නව ලිබරල් ප්‍රතිපත්තිය යටතේ කෘෂිකාර්මික යටිතල පහසුකම් සහ ආහාර සුරක්ෂිතතාව ක්‍රමානුකූලව නොසලකා හැරීමේ සෘජු ප්රතිවිපාකයකි.
ආණ්ඩුව මෙම අර්බුදයට මුහුණ දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යකඩ කූඩුව තුළ සිර වී සිටියදීය. හිටපු අමාත්‍ය සහ දිවයිනේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා සඳහන් කළ පරිදි, මූලික අභියෝගය පවතින්නේ “ශ්‍රී ලංකාව මත පනවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සීමාවන් තුළ වැඩ කිරීම තුළ වන අතර එමඟින් ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 කට සීමා වේ”. විශේෂයෙන් IMF වියදම් සීමාවන් සැලකිල්ලට ගත් විට, දිගු කාලීන නැවත ගොඩනැගීම සඳහා සැලකිය යුතු බාහිර ආයෝජන අවශ්‍ය වනු ඇත, ඔහු පවසා තිබේ.
වෛෂයික ආර්ථික යථාර්ථය මෙයයි: පූර්වගාමී ආන්ඩුව විසින් සාකච්ඡා කරන ලද IMF ගිවිසුම පවත්වා ගැනීමට පොරොන්දු වූ NPP ආණ්ඩුවට, කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම හැර වෙනත් කිසිදු ක්‍රමයක් නොමැත. “ජාත්‍යන්තර ආධාර” සහ “විදෙස් ගත වූවන්ගෙන් සහ ශ්‍රී ලාංකික සමාගම්වලින් පරිත්‍යාග” සඳහා වන ඉල්ලීම්, රජයේ ඊළඟ ඉල්ලීමට පූර්විකාවකි: එනම්, රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ වැටුප්, ප්රතිලාභ සහ වැඩ කරන වේලාවන්ගෙන් “කැප කිරීම්” කිරීම යි.
මෙම ව්‍යසනය තනිකරම “ස්වාභාවික” සංසිද්ධියක් ලෙස තේරුම් ගත නොහැක. කාලගුණ විද්‍යාඥයින් සඳහන් කරන්නේ, ගෝලීය උණුසුම හා සම්බන්ධ ප්‍රවණතාවක් වන උණුසුම් වූ මුහුදු මතුපිට උෂ්ණත්වය හේතුවෙන් ඩිට්වාහි තීව්‍රතාවය ඇති වූ බවයි. ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව සහ අනෙකුත් අග්නිදිග ආසියානු රටවලට පහර දුන් විනාශකාරී සුළි සුළං සමඟ සමගාමීව ඩිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට හ්බලපෑ අතර, එය ආන්තික කාලගුණික සංසිද්ධි මගින් මෙහෙයවනු ලබන පුළුල් ව්‍යසනයක් ලෙස කලාපය පුරා මිලියන ගණනකට බලපෑවේය.
එවැනි ව්‍යසනයන් උත්සන්න වීම ගෝලීය ධනවාදය විසින් ස්වභාවධර්මය නිර්දය ලෙස සූරාකෑමේ සෘජු ප්රතිවිපාකයකි. දියුණු අධිරාජ්‍යවාදී බලවතුන්–ප්‍රධාන වශයෙන්, එක්සත් ජනපදය, යුරෝපීය සංගමය සහ ජපානය–හරිතාගාර වායු විමෝචනය සඳහා අතිමහත් ලෙස අසමානුපාතික ඓතිහාසික වගකීම දරන නමුත් වඩාත්ම විනාශකාරී ප්‍රතිවිපාකවලට ගොදුරු වන්නේ ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ සහ එම අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානවල ම වැඩ කරන ජනතාවයි.
එපමණක් නොව, ශ්‍රී ලංකාව තුළම, දශක ගණනාවක් තිස්සේ නියාමනය නොකළ ධනවාදී සංවර්ධනය ස්වභාවික ගංවතුර බාධක ක්‍රමානුකූලව විනාශ කර, තෙත්බිම් ඉවත් කර, ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිව ආපදාවන්ට ගොදුරු විය හැකි ප්‍රදේශවල අවදානමට ලක්විය හැකි ජනගහනය සංකේන්ද්‍රණය කර ඇත. අවදානම් කලාපවල සිටින අය වෙනත් ස්ථානයකට ගෙන යාමට හෝ දිගුකාලීන ආපදා සූදානම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කිරීමට ආණ්ඩුව කිසිදු බැරෑරුම් උත්සාහයක් ගෙන නොමැත. බදුකරණය හරහා කම්කරු පන්තියෙන් ලබා ගන්නා සෑම රුපියලක්ම ගංවතුර පාලන පද්ධති, පූර්ව අනතුරු ඇඟවීමේ යටිතල පහසුකම් හෝ දේශගුණික අනුවර්තන පියවරයන් සඳහා ආයෝජනය කිරීම වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත පොලී ආපසු ගෙවීම ඇතුළුව ණය සේවා සැපයීම සඳහා යොමු කරන ලදී.
ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය හදිසි අවස්ථා ප්‍රකාශයට ප්‍රවේශ විය යුත්තේ ඓතිහාසික අත්දැකීම්වල සම්පූර්ණ බර සමඟිනි. එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්රීලනිපය දක්වා, රාජපක්ෂගේ සිට වික්‍රමසිංහ දක්වා පෙර පැවති සෑම ආණ්ඩුවක්ම හදිසි අවස්ථා නීති භාවිතා කර ඇත්තේ ප්‍රධාන වශයෙන් සැබෑ අර්බුද විසඳීමට නොව, කප්පාදු සහ සූරාකෑමට එරෙහිව කම්කරු පන්තියේ ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා ය.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් උරුම වූ සහ අනුප්‍රාප්තික ධනේශ්වර ආණ්ඩු යටතේ පරිපූර්ණ කරන ලද, පාලක පන්තියේ අවි ගබඩාවේ භයානක ආයුධවලින් එකක් වන මහජන ආරක්ෂක ආඥා පනත, වැඩ වර්ජන කුරිරු ලෙස මර්දනය කිරීම, කම්කරු ආරවුල් මිලිටරිකරණය කිරීම සහ සමාජ විරුද්ධත්වය අපරාධකරණය කිරීම සඳහා නීතිමය මෙවලම ලෙස සේවය කර ඇත. නොවැම්බර් 26 වන දින, PSO හි 12 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව පුරා ‘මහජන සාමය’ පවත්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කැඳවූ අතර, එය ඔහුගේ සියලු පූර්වගාමීන් විසින් අනුගමනය කරන ලද පියවරකි. හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට PSO ජනාධිපතිවරයාට බලය ලබා දෙයි. නොවැම්බර් 28 වන දින, අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නීතියේ විධිවිධාන ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් අංශවල සේවකයින්ට වැඩ වර්ජනය කිරීමේ මූලික අයිතිය ක්‍රියාත්මක කිරීම වළක්වයි.
එන්පීපී ආණ්ඩුව, ජනතා විමුක්ති පෙරමුණේ (ජේවීපී) සංස්ථාපිත-විරෝධී ජනතාවාදී වාගාලංකාරය තිබියදීත්, දැන් එම ධනේශ්වර රාජ්‍ය උපකරණයම පරිපාලනය කරමින්, එම පන්ති අවශ්යතාවලින්ම බැඳී, අධිරාජ්‍යවාදී මූල්‍ය පද්ධතියෙන්ම තල්ලු වෙන තැනට පත්ව ඇත. හදිසි අවස්ථා බලතල ඉල්ලා සිටීමේදී එය එහි පූර්වගාමීන්ගේ සමාන තර්කනය අනුගමනය කරයි: එනම්, ධනේශ්වර දේපළ සබඳතා ආරක්ෂා කිරීම සහ අධිරාජ්‍යවාදී නියෝග ක්‍රියාත්මක කිරීම මිනිස් ජීවිතවලට වඩා පරම ප්‍රමුඛතාවයක් ගනී.
සාම්ප්‍රදායික දක්ෂිණාංශික පක්ෂ මගින් හෝ NPP වැනි සුලු ධනේශ්වර ජනතාවාදයේ පක්ෂ මගින් නියෝජනය වන ධනේශ්වරය, ආරක්ෂිත ස්ථානවල ප්‍රමාණවත් නිවාස, විස්තීර්ණ ආපදා සූදානම, ආහාර සුරක්ෂිතතාව හෝ දේශගුණික ව්‍යසනයෙන් ආරක්ෂාව යන මුඛ්‍ය අවශ්‍යතා පවා සැපයීමට මූලික වශයෙන් අසමත් බව කම්කරු පන්තිය තේරුම් ගත යුතුය.
ශ්‍රී ලංකාවේ දිග හැරෙන ව්‍යසනය ධනවාදයේ ගෝලීය අර්බුදයේ ක්ෂුද්‍ර නිරූපණයකි. දේශගුණික විපත් උත්සන්න වන විට, සමාජ යටිතල පහසුකම් කප්පාදුව යටතේ බිඳ වැටෙන විට, අසමානතාවය අසභ්‍ය අනුපාතයන්ට ළඟා වන විට, ධනේශ්වර ජාතික රාජ්‍යය මානව පැවැත්ම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගීතාවය සම්බන්ධීකරණය කිරීමට නොහැකි යල් පැන ගිය සහ ප්රතිගාමී ආයතනයක් ලෙස තමන්ව හෙළි කරයි.
හදිසි නීතියට එරෙහිව, IMF කප්පාදුවලට එරෙහිව, දේශගුණික ව්‍යසනයට එරෙහිව සටන් කිරීම, ධනේශ්වර පාර්ලිමේන්තුවාදයේ රාමුව තුළ හෝ දිසානායක විසින් කැඳවන ලද “ජාතික සමගිය” සඳහා ආයාචනා හරහා දියත් කළ නොහැක. ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙලක් මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.
මෙයින් අදහස් වන්නේ:
- හදිසි නීතියට සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ඇති සියලු සීමාවන්ට කොන්දේසි විරහිතව විරුද්ධ වීම
- අහිමි වූ ජීවිත හා දේපළ හානි සඳහා සම්පූර්ණ වන්දි සහ යහපත් ජීවන තත්වයන් සහිතව නැවත පදිංචි කිරීම.
- IMF විසින් පනවන ලද සියලුම කප්පාදු පියවර ප්‍රතික්ෂේප කිරීම, පෙර පාලන තන්ත්රයන් යටතේ රැස් කරගත් විදේශ ණය ප්‍රතික්ෂේප කිරීම සහ අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් ලෙස ක්‍රියා කරන බැංකු සහ මූල්‍ය සමූහ සමාගම් වන්දි ගෙවීමකින් තොරව අත්පත් කර ගැනීම.
- ධනපති පන්තිය විසින් රැස්කරගෙන ඇති ධනය අත්පත් කර ගැනීමෙන් අරමුදල් සපයනු ලබන දේශගුණික අනුවර්තන යටිතල පහසුකම් සඳහා දැවැන්ත රාජ්‍ය ආයෝජන.
- තවදුරටත් කප්පාදු පියවර ඉල්ලා සිටින අධිරාජ්‍යවාදී “ආධාර” වැඩසටහන් නොව, කම්කරුවන්ගේ පාලනය යටතේ දේශගුණික විපත්වලට ප්‍රතිචාර දැක්වීමේ ජාත්‍යන්තර සම්බන්ධීකරණය
- ස්වාධීන සහන සේවා කටයුතු සංවිධානය කිරීම සහ හදිසි නීතියට එරෙහි ප්‍රතිරෝධය දැක්වීම සඳහා සේවා ස්ථාන, අසල්වැසි ප්‍රදේශ සහ ගම්මානවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම.
විකල්පය පැහැදිලිය: එක්කෝ කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය හරහා ධනවාදයේ සහ අධිරාජ්‍යවාදයේ සිරගෙයින් මිදිය යුතුය, නැතහොත් උත්සන්න වන වෙළඳ යුද්ධය, දේශගුණික ව්‍යසනය, මිලිටරිකරණය වූ මර්දනය, සමාජ බිඳවැටීම සහ න්‍යෂ්ටික යුද්ධය මගින් සලකුණු කරන ලද ම්ලේච්ඡත්වයට ඇද වැටීමකට මානව වර්ගයා මුහුණ දිය යුතුය.
ඩිට්වා සුළි කුණාටුවේ අත්දැකීම ශ්‍රී ලාංකික කම්කරු පන්තියේ දේශපාලන පිබිදීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවය කළ යුතුය. මෙම ව්‍යසනය, එන්පීපී/ජේවීපී ජනතාවාදය (populism) ඇතුළු ධනේශ්වර පාලනයේ සියලු ප්රභේදවල බංකොලොත්භාවය අනුකම්පා විරහිතව පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ජාත්‍යන්තරව ධනවාදය විප්ලවීය ලෙස පෙරලා දමා කම්කරු බලය ස්ථාපිත කිරීම හරහා පමණක්, දේශගුණික විපර්යාස සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ ද්විත්ව ව්‍යසනයන්ට එරෙහිව මානව වර්ගයාට තම අනාගතය සුරක්ෂිත කර ගත හැකිය. මේ සඳහා, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ගොඩනැගීම අවශ්‍ය වේ.
