බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක්
සංජය ජයසේකර විසිනි.
මෙය 2025 ජුනි 04 දින “Bahuchithawadiya: The Social Crisis of Youth reduced to Pessimism and Caricature” නමින් මෙම වෙබ් අඩවියේ පලවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.
මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය පශ්චාත් සිවිල් යුධ නාගරික ශ්‍රී ලංකාවේ අතරමංව සිටින තාරුණ්‍යයේ ප්‍රතිමූර්තියක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන අභිලාෂකාමී නමුත් අවසන් විග්‍රහයේදී මංමුළාවූ කෘතියකි. චරිත අධ්‍යයනයක ස්වරූපයක් ගන්නා මෙම චිත්‍රපටය අධ්‍යක්ෂවරයාගේම හැඳින්වීමට අනුව, “රැකියා සුරක්ෂිතතාව නොමැතිකම නිසා ජීවත්වීමට පහසු මාර්ග සොයන, මේ රටින් පැනයාමේ සිහිනයේ ගිලී සිටින, තම පැරණි සිහිනය සැබෑ කර ගැනීමට සමාජ මාධ්‍ය, ස්මාර්ට්ෆෝන් සහ අයිෆෝන් භාවිතා කරමින් සහ සියලු මානව සම්බන්ධතා ඔවුන්ගේ ගොදුරු බවට පත් කර ගන්නා සමකාලීන තරුණ පරපුරේ පිළිබිඹුවක් ඉදිරිපත් කරයි.”

චිත්‍රපටය එහි පර්යේෂණාත්මක තානය සහ දිළිඳු, රැකියා විරහිත හෝ අවිනිශ්චිත රැකියාවල නියුක්ත සහ අවිදිමත් ශ්‍රම වෙලදපොලේ සූරා කැවෙන, කොළඹ තරුණ තරුණියන් ගේ පරත්වාරෝපණය නිරූපණය කිරීම මගින් අවධානය දිනා ගෙන ඇත. කෙසේ වෙතත්, එහි සිනමා රූපයට යටින්, චිත්‍රපටය සමාජ පරිහානිය පිළිබඳ අඳුරු, මතුපිටින් කෙරෙන නිරූපනයක් සහ කම්කරු පන්තියේ සහ රැකියා විරහිත තාරුන්‍යය කෙරෙහි කලකිරීම් සහගත සහ අවසානයේදී ප්‍රතිගාමී අධිචෝදනාවක් – ඔවුන් ධනවාදයේ ගොදුරු ලෙස නොව, ඔවුන්ගේම සදාචාර පරිහානියේ කාරකයන් ලෙස – ඉදිරිපත් කරයි.
ප්‍රධාන චරිතය වන සසිත (කලණ ගුණසේකර) රටේ කාර්මික අගනුවර වන කොළඹ බෙදාහැරීමේ සේවාවේ නියුතු කම්කරුවෙකි. ඔහු අවිනිශ්චිත තත්ත්‍වයන් යටතේ සේවයේ යොදවා ඇත්තේ මසුරු ස්වාමියෙකු විසිනි. ආර්ථික හෝ සමාජීය ඉදිරි ගමනක් පිලිබද කිසිදු අපේක්ෂාවක් නොමැතිව සසිත තම අවධානය යොමු කරන්නේ, යුරෝපීය රටකට වීසා ලබා ගැනීමේ හෝ යම් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ස්ත්‍රීන්–විවාහක, අවිවාහක, වැඩිමහල්, බාල–ඔන්ලයින් මඟින් පොළඹවා ගැනීම සඳහාය. ඔහුගේ දෙපිටිකාට්ටුකම සහ මෙම කාන්තාවන් සූරාකෑම නිරූපණය කරනු ලබන්නේ ම්ලේච්ඡ ආර්ථික ක්‍රමයට ප්‍රතිචාර වශයෙන් අකමැත්තෙන් සහ තාවකාලිකව කරන කොල්ලකාරී ක්‍රියා ලෙස නොව ඔහුගේ චරිතයේ සහජ සහ ස්ථිර ලක්ෂණ ලෙස ය. ඔහු තුළින් මතුවන්නේ ස්ථරමය මනුෂ්‍යයෙකු නොව නරුමත්වයේ සහ අවිනිශ්චිතතාවයේ ගිලි වැදගැම්මක් නැති පුද්ගලයෙකි. චිත්‍රපටයේ බරපතලම අසාර්ථක වීමක් වන්නේ සසිතගේ හැසිරීම් නිරූපණය, සමාජ බලවේග සහ ඔහු ජීවත් වන ද්‍රව්‍යමය තත්වයන් හරහා පැහැදිලි කිරීමට කිසිදු බැරෑරුම් උත්සාහයක් නොගැනීමයි.
දේවප්‍රිය සමාජ ජීවිතයේ ඇතැම් මතුපිට ලක්ෂණ ග්‍රහණය කර ඇත. චිත්‍රපටය විෂකුරු හැසිරීම් මාලාවක් ඉදිරිපත් කරයි–පරදාර සේවනය, පාවාදීම, වංචාව, සූරාකෑම, බලාපොරොත්තු විරහිතභාවය–එහෙත් ඒ කිසිවකට ඒවායේ යටින් පවතින ප්‍රතිවිරෝධතා හෙළි කිරීම සදහා තිරසාර අවධානයක් දිම හෝ ගැඹුරින් විමසා බැලීමක් කර නැත. මේ නිසා නරඹන්නාට ඉතිරි වන්නේ ඒවා මතු කරන සමාජ යථාර්ථය පිළිබඳ අවබෝධයකට වඩා රෝග ලක්‍ෂණ එකතුවකි. මෙය හුදු සෞන්දර්යාත්මක හෝ කලාත්මක අඩුපාඩුවක් නොව, ගැඹුරු දෘෂ්ඨිවාදීමය එකකි. කලාකරුවෙකු ජීවිතය නිකම්ම ප්‍රතිනිර්මාණය නොකරයි; ඔහු ඡායාරූප ශිල්පියෙක් නොවේ. සත්‍යය සොයා මතුකර ගැනීමේ වගකීම ඔහු දරයි. සසිතගේ පුද්ගලික දූෂිතභාවය, එය නිපදවන සහ ඊට පටහැනිව පවතින සැබෑ ලෝකයෙන් හුදකලා කිරීමෙන්, බහුචිතවාදියා යථාර්ථවාදයට හිමිකම් කීවද, අවසානයේ ගැඹුරු මග හැරීම සහ වංක බව පෙන්නුම් කරයි.
“සමකාලීන යෞවනය” නියෝජනය කරන චරිතයක් අවිනිශ්චිත, උපාමාරු යොදාගන්නා සහ නිර්සදාචාරාත්මක බැව් පෙන්වීම ප්‍රමානවත් නොවේ. යමෙකු ඇසිය යුතු වන්නේ: ඒ ඇයි? මෙම විෂ සහිත චරිතය හැඩගස්වා ඇත්තේ කුමකින්ද? ඔහු මත ක්‍රියා කරන බලවේග මොනවාද? ඔහුගේ ජීවිතයට වගකිව යුත්තේ කවුද? ඔහුගේ හැසිරීම නොවැළැක්විය හැකිද? දේවප්‍රිය මේ ප්‍රශ්න ගැන උනන්දුවක් නැති බව පෙනේ. එහි ප්‍රතිඵලය වන්නේ චරිත ඝාතනය අද්දරට යන සිනමාපටයකි. සසිත ධනේශ්වර ක්‍රමයේ ගොදුරක් ලෙස හෝ එහි අසාධාරණයට එරෙහි වීමේ යන්තම් හෝ ප්‍රතිරෝධයක් දක්වන අයෙකු ලෙසින් නිරූපණය නොවේ. ඒ වෙනුවට, ඔහු පෙනී සිටින්නේ එහි දූෂිත බවින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අතර–ඊට පරස්පර විරෝධී ලෙස–එහි ප්‍රතිවිපාකවලින් ගැලවී ගැනීමට උත්සාහ කරන එහි කැමැති සහකරුවකු ලෙස ය. අවසාන විග්‍රහයේ දී ඔහුව පෙන්වා දෙනු ලැබෙන්නේ විෂ සහිත සමාජ ක්‍රමයකින් හැඩගැසුණු අයෙකු ලෙස නොව එහි නිර්මාණ කරුවෙකු ලෙස ය. අප දන්නා “තරුණයා” ගේ පැවැත්ම අහෝසි වී ඇත!
අවිනිශ්චිතතාවය, වංකකම, විශ්වාසය හීන වීම අඩංගු කරගත් සමකාලීන තාරුණ්‍යයේ අර්බුදය පවතින්නේ ඔවුන්ගේම චරිතය තුළ බව නිගමනය කිරීමට චිත්‍රපටය නරඹන්නාට ආරාධනා කරයි. මෙය, දරිද්‍රතාවයෙන් පෙළෙන, රැකියා විරහිත හා නොසන්සුන් තරුණයින් දැක බියෙන් පසුබාන මධ්‍යම පන්තිය සහ එහි බුද්ධිජීවී ප්‍රකාශකයින් විසින් ගිණිය නොහැකි වාර ගණනක් පුනරුච්චාරණය කරන ලද පැරණි අවලාදයකි. මෑත ඉතිහාසය තුල තරුණයින්ගේ වඩාත් කැපී පෙනෙන මහජන නැගිටීමක් 2022 දී දුටු රටක මෙම මතය සිනමාත්මක ප්‍රකාශනයක් අත්කර ගැනීම, ප්‍රගාඩ ඇගවුම්කාරකයක් වන්නා සේම අපකීර්තිමත්ද වේ. අවසානයේදී, තරුණයින් තම පන්ති සතුරා සොයා ගැනීමක් සිදු වන්නේ නැත.
චිත්‍රපටයේ අවසාන දර්ශනයේ දැක්වෙන්නේ සසිත තම පෙර රැවටිලිකාරම් අතටම හසු වූ පසුව පවා කිසිදු පසුතැවිල්ලකින් තොරව අන්තර්ජාලය හරහා කාන්තාවන් පොළඹවා ගැනීමේ ක්‍රියාව යාන්ත්‍රිකව නැවත ආරම්භ කරන බවයි. තරුණ හැසිරීම් හැඩගස්වන සැබෑ සමාජ සහ මනෝවිද්‍යාත්මක ගතිකයන් ගවේෂණය කිරීමට චිත්‍රපට අධ්‍යක්ෂක අඩු සැලකිල්ලක් දක්වන බවටත්, පීඩිත තාරුණ්‍යය නෛසර්ගිකවම ආත්මාර්ථකාමී, විශ්වාසය තැබිය නොහැකි, පාඩම් ඉගෙන නොගන්නා සහ නොමග ගිය ලෙස සලකන මධ්‍යම පන්තික දෘෂ්ටිවාදයක් තහවුරු කිරීමට ඔහුට වැඩි අභිප්‍රායක් ඇති බවටත් මෙය තීරණාත්මක සාක්ෂියක් ලෙස ක්‍රියා කරයි.
චිත්‍රපටයේ කේන්ද්‍රීය සංකල්පය වන “බහුචිතවාදියා” සදාචාරාත්මක සහ මනෝවිද්‍යාත්මක සංශයවාදයේ ස්ථිර සහ සහජ තත්වයක් යෝජනා කරයි. මෙය සම්පූර්ණයෙන්ම අනඓතිහාසික හා අවිද්‍යාත්මක වේ. ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය අවිනිශ්චිත වන්නේ ඔවුන් ස්වභාවයෙන්ම නරුම හෝ සදාචාරාත්මක බංකොලොත් වීම නිසා නොවේ. රැකියා විරහිත බව, අඩු වැටුප්, අවිනිශ්චිත වාසස්ථාන, සූරාකෑමට ලක්වීම ආදිය හරහා ඔවුන්ගේ ජීවිත අවිනිශ්චිත බැවිනි ඔවුන් අවිනිශ්චිත වන්නේ. ශ්‍රම වෙලඳපොල ඔවුනට කිසිදු ආරක්ෂණයක් ලබා නොදේ. දේශපාලන පක්ෂවලින් කිසිදු අපේක්ෂා ඉටුවීමක් නැත. වෘත්තීය සමිති ඔවුන්ව පාවා දී තිබේ. ඔවුන්ගේ ඊනියා තීරනයක් නොමැතිබව අසාර්ථක වීමක් නොවේ; එය පුලුල් සමාජ අර්බුදයක ලක්ෂණයකි.
ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලාංකීය තරුණයින් මූලික වශයෙන් සදාචාරාත්මකව පිරිහී ඇත යන අදහස සිදුවීම් මගින්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ. 2022 දී, දරාගත නොහැකි ජීවන වියදම, ඉන්ධන හිඟය, අත්තනෝමතික මර්දනය සහ පාලක දේශපාලන සංස්ථාපිතයේ දූෂණයට විරෝධය පාමින් පෙර නොවූ විරූ ජනතා නැගිටීමකින් දස දහස් ගණන් තරුනයෝ වීදි බැස සිටියහ. මෙම ව්‍යාපාරය නාස්තිකවාදයේ ගිලී ගිය පරම්පරාවකින් හදිසියේම පැන නැගුනේ නොව, දශක ගනනාවක නව ලිබරල් ප්‍රතිපත්තියේ සහ අධිරාජ්‍යවාදී යටත්කිරීමේ ප්‍රතිවිපාකවලට ප්‍රතිරෝධය දැක්වීමට හා ඒවාට මුහුණ දීමට බලකෙරුණු ජනගහණයකින් පැනනැගුනකි.
චිත්‍රපටය සිදු කරන පරිදි, කොල්ලකාරී ආර්ථිකයක පසුබිමේ, ඔවුන්ගේ සහජ දෝෂ සහිත බව නිසා තාරුණ්‍යයට දිශානතියක් නොමැති බවට ප්‍රකාශ කිරීම ප්‍රතිගාමී දෘෂ්ටිවාදී ව්‍යාපෘතියකට සහභාගී වීමකි. දේවප්‍රිය තාරුණ්‍යයට අනාගතයක් හෝ අතීතයක් ලබා නොදේ. ඔවුන් හුදෙක් දිරාපත්වීමේ, නරුමත්වයේ සහ දුසිරිතේ පාවෙන සංකේතකයන් වේ. ඔවුහු ප්‍රතිරෝධය, අරගලය, සාමූහිකත්වය හෝ දේශපාලන පිබිදීම පිලිබද කිසිදු හැඟීමකින් බල ගැන්වෙන්නේ නැත. කර්මාන්තයේ සහ විරෝධතාවේ කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයේදී පවා සසිතට කිසිවිටෙක වැඩ වර්ජනයක්, ජන රැලියක් හෝ සාමූහික ප්‍රතිරෝධයක් ගැන ඉඟි කරන සංවාදයක් වත් හමු නොවේ. සවිඥානික පන්ති යුද පියවරයන්, එනම්, කප්පාදුව, පුද්ගලීකරනය, ණය අර්බුද හෝ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු මහජන ජීවිතය මිලිටරිකරණය කිරීම ආදී රටේ එදිනෙදා ජීවිතයේ නොවැළැක්විය හැකි යථාර්ථයන්, පිලිබඳව ඉගි කිරීමක් වත් නැත. කම්කරු පන්තිය–එහි අතිමහත් පැවැත්ම සහ ඓතිහාසික වැදගත්කම තිබියදීත්–කොතැනකවත් සොයාගත නොහැක. ඒ වෙනුවට, සෑම කෙනෙකුම වින්දිතයෙකු හෝ වංචාකාරයෙකු වන නාගරික මහල් නිවාස සහ ගණුදෙණුමය සබඳතාවලින් සමන්විත වායුරෝධකව සංවෘත වූ ලෝකයක් අපට පෙන්වනු ලැබේ.
සසිත, ආගමික දේශනා, ජ්‍යෝතිශාස්ත්‍ර සහ රියැලිටි ශෝ–තරුණයන් හැඩගස්වා ගැනීමට අදහස් කරනා සේ දක්වන වැඩසටහන්–විකාශනය කරන රූපවාහිනී නාලිකා හරහා යන නමුත් කිසි විටෙකත් ප්‍රවෘත්ති, දේශපාලනය හෝ විරෝධතා රැගත් ඒවා ඒ අතර නොවේ. සතුරා දුරස්ථ ය, අරගලය නිෂ්ඵල ය. මෙය අහම්බයක් නොවේ, ඒ වෙනුවට එය, චිත්‍රපට අධ්‍යක්ෂකගේ පන්ති ඉදිරිදර්ශනය හෙළිදරව් කරන, හිතාමතා සිදුකළ තේරීමක් වේ.
පන්ති අරගලය යනු පන්ති ප්‍රතිරෝධය සහ සහෝදරත්වය යන දෙකෙහිම ඉහලම ප්‍රකාශනයයි – එය සිල්ලර කමට, ආත්මාර්ථකාමීත්වයට හෝ සදාචාර නරුමත්වයට ඉඩක් නොතබයි. එය සාමූහික අරගලය තුලින් ගොඩනැගුනු සමාජ වගකීම, විනය සහ සහකම්පනය පිලිබඳ ගැඹුරු හැඟීමක් කම්කරු පන්තියේ තරුණයින්ට ලබා දෙයි. අරමුනක් නැති, ආත්මාර්ථකාමී සහ අවිශ්වාසදායක ලෙස පින්තාරු කෙරෙන තාරුණ්‍යයේ මධ්‍යම පන්තික විප්‍රරූපණය රැක ගැනීමට නම්, පන්ති අරගලය ඔවුනට මුණ නොගැස්වීම අත්‍යවශ්‍ය වේ. චිත්‍රපට නිර්මාපකයා නිශ්චිතවම තෝරාගෙන ඇති මාවත මෙයයි: සමාජ සත්‍යය ආලෝකවත් කරනවාට වඩා චිත්‍රපටය සහතික කරන්නේ, එහි ප්‍රධාන චරිතය, සාමූහික ප්‍රතිරෝධය සමඟ වන කිසිදු මුණගැසීමක් මග හැරීමෙන්, ධනේශ්වර අගතීන් වලංගු කරන රාමුවක් තුළ සිරවී සිටීම යි.
මෑත දශක කිහිපය තුළ ජාත්‍යන්තරව මතු වූ පශ්චාත්-නූතන සිනමාව සමඟ බහුචිතවාදියා විශාල වපසරියක් බෙදා ගනී – මෙවැනි සිනමා පට, සමාජයේ කුනු කම සහ සදාචාරාත්මක පිරිහීම නිරූපණය කරමින් සමාජය විවේචනය කිරීමට අදහස් කරන බැව් පෙන්වා සිටින මුත් යථාර්ථයේ දී ඒවා එසේ වන්නේ මන්දැයි යන්න පිළිබඳ අවබෝධයක් හා, නිසැකවම, ඉදිරි මාවතක් ලබා නොදේ. මේවා ජීවිතය එහි පූර්ණත්වය සහ චලනය තුළ සංජානනය කරන කලා කෘති නොවේ – ඒවා, ඊට විපරීතව, හේතුකාරක [ඉතිහාසය හා පන්ති සබදතා තුල] සහ නියෝජකත්වය [පන්ති අරගලයේ] විභාග කිරීම ඉවත් කරන ලද නෂ්ටාපේක්ෂාවේ නිසල ඡායාරූ වේ.
යමෙකුට මෙය, ප්‍රධාන චරිතය (විජේ) කම්කරු පන්තිය සමඟ හමුවීමෙන් හැඩගැසෙන ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව (1974) වැනි චිත්‍රපටයක් හා සැසදිය හැක. එහිදී එම චිත්‍රපටය අවසන් වන්නේ අත්හැර දැමීමෙන් නොව, විඥානයේ පරිවර්තනයක් යෝජනා කරමින් එහි ප්‍රධාන චරිතය වෘත්තීය සමිති අරගලයකට සම්බන්ධ වෙමිනි. එසේත් නැතිනම්, විදේශයකට සංක්‍රමණය වීමට ඇති පෙලඹුම කේන්ද්‍ර කරගත් බූඩී කීර්තිසේනගේ මිල්ලේ සොයා (2004) සලකා බලන්න: එහි චරිත විලෝපිකයන් හෝ බියගුල්ලන් ලෙස නොව, කිසිවක් කරකියා ගත නොහැකි තත්වයකට ඇද දැමුණු හා ප්‍රතිඝතිකතාවන් දරාගත්, ඓතිහාසික පීඩනයන් මගින් හැඩගැසුණු පුද්ගලයන් ලෙස ඉදිරිපත් කෙරෙයි. මෙම කෘති තුළ, චරිත පරිණාමය වේ, අරගල කරති, එමෙන්ම ඔවුන් වටා ඇති සමාජ බලවේග සමඟ සම්බන්ධිත වේ. ඔවුන් ඉතිහාසය තුල ජීවමාන ය. ගැඹුරු අර්බුද වලින් ග්‍රහණය වී ඇති වර්තමාන සමාජය තුළ, පන්ති ප්‍රතිරෝධයේ උග්‍ර මට්ටමක් නොවැළැක්විය හැකි ලෙස පමනක් නොව වඩ වඩාත් පැහැදිලි ලෙසත් දිස්වේ.
සසිත–එසේම ඔහුගේ නේවාසික මිතුරා ද–රැකියාවක් සොයන බවක් නොපෙන්වයි: ඔහු රැකියා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් නොකරයි. ඔහු කිසිම දේශපාලන කතා බහක යෙදෙන්නේ නැත. ඔහුට ප්‍රවෘත්ති ගැන උනන්දුවක් නැත. ඔහු යුරෝපයට සංක්‍රමණය වීම ගැන කතා කරන නමුත් ඒ සඳහා අර්ථවත් පියවරක් නොගනී. චිත්‍රපටිය ආරම්භ වූ ආකාරයටම එකතැන පල්වෙමින් අවසන් වේ. මෙය අක්‍රියත්වයට පත්වීම පිළිබඳ කලාත්මක ගවේෂණයක් නොව යථාර්ථය සමඟ සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීමකි. අද ලංකාවේ සැබෑ තරුණ තරුණියන් නිකම්ම නාස්තිකවාදී ගොහොරුවේ ලැග නොසිටිති. ඔවුන් රැකියා සොයමින්, සබඳතා ගොඩනඟා ගනිමින්, විරෝධතාවලට සම්බන්ධ වෙමින්, කඩා වැටෙන ලෝකයක ඔවුන්ගේ ස්ථානය තේරුම් ගැනීමට උත්සාහ කරති. දේවප්‍රියගේ සසිත මේ පරම්පරාවේ නියෝජනයක් නොවේ. ඔහු එයට එරෙහි අපවාදයකි.
Ena Sendijarević විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද Take Me Somewhere Nice (2019) චිත්‍රපටයේ රැකියා විරහිත තරුණයින්ගේ නිරූපණය ගැන අදහස් දක්වමින් ඩේවිඩ් වෝල්ෂ් මෙසේ නිරීක්ෂණය කරයි: “සිනමාකරු, ගෝලීය තරුණ පරම්පරාව තවමත් වික්ෂිප්තව නව දිශානතියක්, යම් ස්ථාවර, සුසංයෝගී, දේශපාලනික සහ සදාචාරාත්මක යොමු ලක්ෂ්‍යයක් සොයමින් සිටීමේ පරිමාව අවතක්සේරු කරයි. බොහෝ තරුණයින්, සරණාගතයින් වුවත් නැතත්, බෝල්කන් ප්‍රදේශයේ ජීවත් වනාවූ හෝ නැතත්, වර්තමානයේදී, පවතින සැකස්ම ගැන පිළිකුලෙන් පසුවන අතර තවමත් විකල්පයක් සොයාගෙන නොමැතිව, ‘අතරමැදි’ තත්වයක පසුවේ. මෙම ‘අතරමැදි’ තත්වය වත්මන් මොහොතේ ‘මහා සිද්ධියට-පෙර’ ගුණාංගය සමඟ බැඳී ඇත.”
වොල්ෂ්ගේ අදහස දේවප්‍රියට සහ චිත්‍රපටයේ ඔහුගේ ප්‍රවේශයට එකසේ අදාළ වේ. බහුචිතවාදියා තාරුණ්‍යයේ අවිනිශ්චිත බව ග්‍රහණය කර ගන්නා නමුත් එම අවිනිශ්චිතතාවයේ සංක්‍රාන්තිමය, සොයා යෑමේ ස්වභාවය–එනම්, තරුණ ජනයා පවතින පිළිවෙල ප්‍රශ්න කරමින් විකල්ප සෙවීමට පටන් ගන්නා පුලුල් ඓතිහාසික මොහොත හා අවිනිශ්චිතතාව සම්බන්ධ කරන පුරුක–ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වේ.
එපමණක් නොව, චිත්‍රපටය එය ඉස්මතු කෙරුණු සුළු ධනේශ්වර ස්ථරය සදහා දෘෂ්ඨිවාදීමය පෝෂණයකි. එය, දුප්පතුන් සහ රැකියා විරහිතයන් තමන්ගේම ඉරණමට වගකිව යුතු බවත්, ඔවුන් කම්මැලි, අවිශ්වාසී, දූෂිත සහ අධි- ලිංගිකත්වයට හුරු වූවන් බවට වන ඔවුන්ගේ පරාජකවාදි මතය ස්ථිර කරයි. එය කම්කරු පන්තිය පින්තාරු කරන්නේ සමාජ පරිවර්තනයේ නියෝජිතයා ලෙස නොව සදාචාර පරිහානියේ අසූචි වළක් ලෙස ය. යෞවනයන් සානුකම්පිතව නිරූපණය නොකෙරේ. මේ ආකාරයෙන්, පවතින තත්ත්වයට අභියෝග කිරීමට අර්මුණක් නැති අයගේ දෘෂ්ටිවාදී අවශ්‍යතා සඳහා චිත්‍රපටය සේවය කරයි. මෙය, ප්‍රතිරෝධය සඳහා උත්ප්‍රාසය(irony) ද පන්ති විශ්ලේෂණය සඳහා ව්‍යාධි විද්‍යාව(pathology) ද ආදේශ කරන ලෝක දැක්මක් සහිත පශ්චාත්-නූතන අශුභවාදයේ ප්‍රමුද්‍රාවයි.
දේවප්‍රියට දක්ෂතා නැතුවා නොවේ යැයි හැඟවෙන අවස්ථා චිත්‍රපටයේ ඇත. ඔහුගේ “ගුවන්විදුලි කතා” ගණනාවක් ඔහු බලාපොරොත්තු තැබිය හැකි කලාකරුවෙකු බව සනාථ කරයි. ඔහුට දෘශ්‍ය සංයෝජනය සදහා හැඟීමක්, භාෂාව කෙරෙහි සංවේදීතාවක් සහ ආවෘතිභීතික (claustrophobic) නාගරික ජීවිතය නිරූපණය කිරීමට විචක්ෂණ හැකියාවක් ඇත. එහෙත්, වත්මන් අවධියේදී, මෙම කුසලතා, කම්කරු පන්තික තරුණයන් මුහුන දෙන සමස්ථ සමාජ හා ඓතිහාසික ගතිකත්වය ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වූ ලෝක දැක්මක් වන, අලාමුලාවූ මධ්‍යම පන්තික ස්ථරයක පටු නිම්වළින් හැඩගැසුණු ලෝක දැක්මකින් සීමා වී ඇත.
කලා කෘතියක් ශුභවාදී විය යුතු නැත, නමුත් එය සත්‍යවාදී විය යුතුය. එය මිනිස් හැසිරීම් හැඩගස්වන යටි තලයේ පවතින බලවේග හෙළි කිරීමට උත්සාහ කළ යුතුය. කලාකරුවෙකු ජීවිතය සංජානනය කිරීම පමණක් නොව, අනාගතයේ වහන්තරාව අර්ධ වශයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ යුතුය. ඔහු අද යථාර්ථය ගැන සෑහීමකට පත් නොවන විට, ඔහු එය පරමාදර්ශී “හෙට දින” ප්‍රිස්මය හරහා දැක “මිනිසා ඔහුගේ පරමාදර්ශීය විලාශයෙන් පෙන්විය යුතුය”.
එ.කේ. වොරොන්ස්කි ලිවූ ලෙස,
“මිනිසා ඔහුගේ සම්පූර්ණ උත්තම තත්වය කරා යෑමේ සිහිනය, අභිලාෂය (yearning) සහ මනදොල (Longing) හොඳම කලාකරුවන්ගේ නිර්මාණාත්මක කාර්යයේ පදනම සේ පවතින අතර, එසේ තිබීද ඇත” (කලාව ජීවිතය සංජානනය කිරීම ලෙස හා සමකාලීන ලෝකය, 1923)
මේ අර්ථයෙන් කලාව ඓතිහාසික සංජානනයේ මාධ්‍යයක් බවට පත්වේ. බහුචිතවාදියා මෙම කාර්යයේදී අසමත් වේ. එය අපේ කාලයේ සැබෑ අරගලවලින් විතැන් වෙමින් මිනිස් අසාර්ථකත්වයේ සීතල, පිළිකුල් සහගත චිත්‍රයකට පසුබසින චිත්‍රපටයකි.
අවසාන විග්‍රහයේ දී, බහුචිතවාදියා යනු තාරුණ්‍යය පිළිබඳව නොව, තාරුණ්‍යය අවබෝධ කර ගැනීමට යම් සමාජ ස්ථරයකට ඇති නොහැකියාව–ඔවුන් තුළින් සමාජයේ දිරාපත්වීමේ කැඩපතක් පමණක් නොව, එය අලුත් කිරීමේ විභවය දැකීමට අසමත්වීම–පිලිබද චිත්‍රපටයක් වේ. මේ චිත්‍රපටයේ ඛේදවාචකය එයයි.
බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක් Read More »