යුරෝපීය ප්‍රතිසන්නද්ධ කිරීමට එරෙහි වන්න!

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 මැයි 26 දින ‘Oppose European rearmament!’ යන හිසින් පලවූ ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Missle
ATACMS මිසයිලයක් M270 MLRS වලින් දියත් කෙරේ.

යුරෝපීය රටවල් සාමූහිකව යුරෝ බිලියන සිය ගනනක් මිලිටරි වියදම්වල වියරු ආවේශයක   ගිල්වා දමයි. සම්පත්, සමාජ වැඩසටහන් හා රැකියා වලින් දැවැන්ත ලෙස යුද යන්ත්‍රය වෙත හරවා යැවීම, යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් කම්කරු පන්තිය සමග ගැටීමේ මාවතට යොමු කරයි.

ඉරිදා, ජර්මානු සන්නද්ධ හමුදා අණදෙන නිලධාරි කාර්ස්ටන් බෲවර් 2029 වන විට ජර්මානු හමුදාව නවීන උපකරණවලින් සම්පූර්ණයෙන් සන්නද්ධ කරන ලෙස නියෝග කළේය. බර්ලිනයේ යුරෝ ට්‍රිලියන 1 ක නැවත සන්නද්ධ කිරීමේ අරමුදලෙන් අරමුදල්, ඩ්‍රෝන් යුද සූදානමට, දිගු දුර මිසයිල සහ අභ්‍යවකාශ යුද හැකියාවන් වෙත යෙදවීමට නියමිතය. ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, යුරෝපයම අලලා ගත්  සමස්ත යුද්ධයක පුපුරා යාමට තර්ජනය කරනා රුසියාව ඉලක්ක කර ගත් නව මිලිටරි උත්සන්න කිරීමක් නිවේදනය කරමින්, එවැනි අරමුදල් භාවිතා කරන්නේ කෙසේදැයි පැහැදිලි කළේය.

රුසියාව පුරා ප්‍රහාර එල්ල කිරීම සඳහා, බර්ලිනය දැන් යුක්රේනයට එහි ටෝරස් කෲස් මිසයිල වැනි දිගු දුර මිසයිල ලබා දෙන බව හඟවමින් මර්ස් මෙසේ පැවසීය:

“යුක්රේනයට ලබා දෙන ආයුධ පරාසයේ තවදුරටත් සීමාවන් නොමැත – බ්‍රිතාන්‍යයන්ට, ප්‍රංශ ජාතිකයින්ට හෝ අපට එසේ සීමාවන් නැත. ඇමරිකානුවන්ටත් එසේමයි.”

ජර්මනියේ සහ එහි නේටෝ සහචරයන්ගෙන් මිසයිල “රුසියානු භූමියේ මිලිටරි ස්ථාපනයන්ට එරෙහිව” වෙඩි තබන බවට මර්ස් දිව්රුම් දුනි. මෙය, පාලනය කළ නොහැකි සර්පිලාකාර උත්සන්නියක් මුදා හරිමින් ජර්මනියේ ඉලක්ක වෙත රුසියානු මිසයිල වෙඩි තැබීමේ අවදානම මතු කරයි.

කෙසේ වෙතත්, ජර්මානු ප්‍රතිපත්තිය යනු, සමස්ත යුරෝපීය ධනේශ්වරයම අල්ලා ගන්නා යුද උණ පිලිබඳ වඩාත්ම නිර්දය ප්‍රකාශනය පමනි. 2014 සිට 2024 දක්වා යුරෝපීය වාර්ෂික මිලිටරි වියදම් යුරෝ බිලියන 147 සිට යුරෝ බිලියන 326 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වූ අතර එය 2022 සිට පමණක් තුනෙන් එකකින් වැඩි විය. ජර්මනියේ මිලිටරි වියදම් 2024 දී සියයට 28 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 88.5 දක්වා ඉහළ ගිය අතර, පෝලන්තයේ මිලිටරි වියදම ඩොලර් බිලියන 38 දක්වා සියයට 31 කින් වර්ධනය වී ඇත. මේ අතර  ප්‍රංශය 2030 වන විට යුරෝ බිලියන 100 දක්වා තම මිලිටරි වියදම් දෙගුණ කිරීමට ප්‍රතිඥා දී ඇත.

එහි පිරිවැය හෝ ඉලක්ක පිළිබඳව මහජනතාවට කිසිදු පැහැදිලි කිරීමකින් තොරව යුරෝපයේ මහජනතාවයට වහංගු කරමින් යලි සන්නද්ධ කිරීම බොහෝ දුරට සිදු වේ. පසුගිය සතියේ, යුරෝපා සංගමය (EU), යුරෝපා සංගමය සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග (SAFE) වැඩසටහන සක්‍රීය කරන ලදී. මාර්තු මාසයේ දී එකඟත්වයට පැමිණි එහි යුරෝ බිලියන 800 ප්‍රතිනිර්මාණය කිරීමේ සැලැස්මේ කොටසක් වන එය, යුරෝපා සංගම් රාජ්‍යයන්ට සහ බ්‍රිතාන්‍යයට ඒකාබද්ධ යුරෝපීය ආරක්ෂක ව්‍යාපෘති සඳහා නය වශයෙන් යුරෝ බිලියන 150 ක් සපයයි. මෙම තීරණය බොහෝ දුරට වාර්තා නොවූ අතර, එයින් අදහස් වන්නේ අවසානයේදී බදු ඉහල දැමීමෙන් හෝ සමාජ වැඩසටහන් කප්පාදු කිරීමෙන් යුරෝපීය රාජ්‍යයන්ට යුරෝ බිලියන 150 ක් ආපසු ගෙවීමට සිදුවනු ඇති බවයි.

මේ වසරේ ට්‍රම්ප් බලයට පැමිණීම කෙරෙහි යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රතිචාරය, නාසීන් යුරෝපය පාලනය කළ දා සිට නොදුටු පරිමානයේ මිලිටරිවාදයේ පිපිරීමකි. යුක්රේනයට මිලිටරි ආධාර නතර කරන බවටත්, යුරෝපයට එක්සත් ජනපද ආරක්ෂක සහතික අත්හිටුවන බවටත් ට්‍රම්ප් තර්ජනය කරද්දී, ස්වාධීනව, යුරෝපය පුරා මහා පරිමාන යුද්ධ කිරීමේ හැකියාව –  න්‍යෂ්ටික සන්නද්ධ රුසියාවට එරෙහිව පවා – වර්ධනය කිරීමට ඔවුහු උත්සාහ කළහ.

වොෂින්ටනය සහ එහි යුරෝපීය නේටෝ “සහචරයින්”, ලෝක බලවතුන් අතර දිගහැරෙන වෙලඳපොලවල් හා මූලෝපායික වාසි පිලිබඳ කටුක අරගලයේ එදිරිවාදීන් ය. ට්‍රම්ප් යුක්‍රේනය පිළිබඳ සාකච්ඡාවලින් යුරෝපය කපා හැරීමට උත්සාහ කිරීමෙන් සහ යුක්‍රේනය වොෂින්ටනයට ඩොලර් බිලියන 500 ක දුර්ලභ ඛනිජ අමුද්‍රව්‍ය ලබා දෙන ලෙස බලකර ඉල්ලා සිටීමෙන් පසුව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය යුක්‍රේන ඛනිජ කොල්ලකෑමේ තරඟකාරී සැලසුම් දියත් කළහ. යුක්‍රේනය “යුරෝපයට අවශ්‍ය තීරනාත්මක ද්‍රව්‍ය 30න් 21ක්” සපයන “වින්-වින් හවුල්කාරිත්වයක්” සඳහා EU කොමසාරිස් Stéphane Séjourné ඉල්ලා සිටියේය.

යුරෝපයේ යලි සන්නද්ධ කිරීම රුසියාවට හෝ ට්‍රම්ප්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් නොව, වෙන කවරදාකටත් වඩා එළිපිටම ආක්‍රමණශීලී, ෆැසිස්ට්වාදී ස්වභාවයක් ගැනීමයි. යුරෝපීය පාලක පන්තියේ ස්ථරයන් තමන් ප්‍රධාන බලවතුන් අතර ගෝලීය යුද්ධයකට සම්බන්ධව නොසිටිනා බවට හෝ ඔවුන්ගේ ආර්ථික හා මිලිටරි අවශ්‍යතා හඹා යාමේ මෙවලමක් ලෙස සමූල ජන සංහාරයේ පිහිට ප්‍රතික්ෂේප කරන බවට හෝ  වන දේශපාලන ප්‍රබන්ධයන් අත්හරිමින් සිටිති.

ඉරිදා, එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂයේ නායක කෙමී බඩෙනොක් Sky News හිදී, ඉරානය සහ හමාස් ඉලක්ක කරන බැවින්, බ්‍රිතාන්‍යයට වාසිදායක වේ යැයි කියා, ගාසා තීරයේ ඊශ්‍රායල සමූල ජන සංහාරය නිර්ලජ්ජිත ලෙස ආරක්ෂා කළාය. ඇය තවදුරටත් මෙසේ පැවසුවාය. 

“යුක්රේනය බටහිර යුරෝපය වෙනුවෙන් රුසියාවට එරෙහිව සටන් කරනවා සේම ඊශ්‍රායලය එක්සත් රාජධානිය වෙනුවෙන් ප්‍රොක්සි යුද්ධයක් කරමින් සිටී.“

යුරෝපීය යලි සන්නද්ධ කිරීම සඳහා දැන් සූදානම් කර ඇති සමාජ කප්පාදුව මෙන්ම ගාසාවේ සමූල ජන සංහාරය කම්කරුවන් අතර ප්‍රගාඪ කෝපය අවුලුවා ඇත. පුපුරන සුලු පන්ති අරගල න්‍යාය පත්‍රය තුල  ඇත. එසේ වෙතත්, තුන්වන ලෝක යුද්ධයක් කරා ඇදවැටීම වැලැක්වීමට නම්, එක් එක් යුරෝපීය රටක් තුල මධ්‍යම පන්තික ව්‍යාජ-වාම පක්ෂවල සහ ඔවුන්ගේ මිත්‍ර වෘත්තීය සමිති නිලධරයන්ගේ ප්‍රතිගාමී උපාමාරු සමඟ තීරනාත්මක දේශපාලන ගනුදෙනු බේරා ගැනීමක් සිදු කළ යුතුය.

ස්ටැලින්වාදයෙන් සහ ට්‍රොට්ස්කිවාදයෙන් පලා ගිය සුලු ධනේශ්වර ද්‍රෝහීන්ගෙන් පැවත එන මෙම බලවේග, යුද්ධ කිරීමේ දී සහ කම්කරු පන්තියේ විරුද්ධත්වය අවහිර කිරීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ජර්මනියේ වාම පක්ෂය, කාමී මර්ස් තනතුරට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ප්‍රධාන ඡන්ද ලබා දුන් අතර, ජීන්-ලූක් මෙලන්චොන් විසින් නායකත්වය දෙන ප්‍රංශයේ නව ජනප්‍රිය පෙරමුණ (New Popular Front), යුක්රේනයට ප්‍රංශ හමුදා “සාම සාධක භටයන්” ලෙස යැවීමේ මැක්‍රොන්ගේ සැලැස්ම පසුගිය වසරේ සිය මැතිවරණ වැඩපිළිවෙලේ සටහන් කළේය. ස්පාඤ්ඤයේ Podemos (දැන් Sumar) පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, එය ඉතිහාසයේ ස්පාඤ්ඤයේ විශාලතම මිලිටරි අයවැය සම්මත කරන ආන්ඩුවල අසුන් ගත්තේය.

එපමනක් නොව, මෙම පක්ෂ සහ ඔවුන්ගේ සහචරයෝ ගාසා සමූල ජන සංහාරයට හා යුරෝපයේ කප්පාදුවලට එරෙහි විරෝධතා, පිලිවෙත් වෙනස් කිරීම සදහා අධිරාජ්‍යවාදී ආන්ඩුවලට ආයාචනා කිරීමේ බංකොලොත් ඉදිරිදර්ශනයට ගැටගැසීමට කටයුතු කරති.

මෙම ඉදිරිදර්ශනයේ කුණුකම වසර දෙකකට පෙර යුරෝපීය මහා වර්ජන ව්‍යාපාරය තුල ඔවුන්ගේ භූමිකාව මගින් පෙන්නුම් කෙරුනි. ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, තුර්කිය සහ යුරෝපය පුරා උද්ධමනය හා කප්පාදුවලට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන් වැඩ වර්ජනය කරද්දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) යුරෝපීය  ශාඛා නැගී එන ව්‍යාපාරය පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කලේය. “මහා වැඩ වර්ජන ව්‍යාපාරය, යුද්ධය සහ යුරෝපයේ විප්ලවවාදී අර්බුදය” [The mass strike movement, war and the revolutionary crisis in Europe, 2023 පෙබරවාරි 10] යන මාතෘකාවෙන් එය පැහැදිලි කලේ:

“දිග හැරෙමින් පවතින්නේ එක් හෝ වෙනත් ධනේශ්වර ආන්ඩුවක් සමග හුදකලා සාකච්ඡා මගින් විසඳා ගත හැකි ජාතික වෘත්තීය සමිති අරගල මාලාවක් නොවේ. ඒ වෙනුවට, කම්කරුවන් සෑම රටකම සමාන ඉල්ලීම් මතු කරමින්, අපකීර්තියට හා පුලුල්ව පිළිකුලට පාත්‍ර කරන  ලද ආන්ඩුවල පොලිස් මර්දනයන් හා නීතිමය තර්ජනවලට මුහුණ දෙන බැවින්, එය ජාත්‍යන්තර දේශපාලන අරගලයකි. …

යුරෝපය පුරා මතුවෙමින් පවතින්නේ වෛෂයිකව විප්ලවවාදී තත්වයකි. ශතවර්ෂයකට පෙර පළමු ලෝක සංග්‍රාමය පුපුරා යාමේදී මෙන් විකල්ප පැහැදිලිවම ඉදිරිපත් ව ඇත. එක්කෝ ධනේශ්වර පන්තිය යුරෝපය හා ලෝකය න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් අතර ගෝලීය යුද්ධයකට ඇද දමයි, නැතහොත් කම්කරු පන්තිය යුදවාදී පාලක ප්‍රභූව අතින් බලය ලබා ගනී.”

කෙසේ වෙතත්, වැඩ වර්ජන ඒකාකාරව පාවා දෙනු හෝ දේශපාලනික වශයෙන් ගෙල සිර කර දමනු ලැබිණි. වැඩි කරන ලද මිලිටරි වියදම් වලට අරමුදල් සැපයීම සඳහා පිලිකුල් කෙරුණු විශ්‍රාම වැටුප් කප්පාදුවලට එරෙහිව ප්‍රංශයේ සිදු වූ මහා වැඩ වර්ජන වලදී තරම් වෙන කොතැනකවත්  මෙය පැහැදිලිව නොදිස් වුණි.

මිලියන සංඛ්‍යාත කම්කරුවන් වැඩ වර්ජනවල නිරත වූ අතර, 1968 මැයි මහා වැඩ වර්ජනයෙන් පසු ප්‍රංශයේ ඇති වූ දැවැන්තම දේශපාලන අර්බුදය තුල රටපුරා කැරලි ඇවිල ගියේය. එහෙත් මැක්‍රොන් පහ කිරීම සඳහා දේශපාලන අරගලයක් සඳහා වූ කිසිදු ඉල්ලීමක් මෙලෙන්චොන් මගහැරී අතර, අතිමහත් මහජන විරෝධය උල්ලංඝණය කරමින් කප්පාදු කිරීම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වෘත්තීය සමිති නිලධරයන් වැඩ වර්ජන සහ විරෝධතා වහාම අවසන් කළහ. පසුගිය වසර දෙක තුළ ප්‍රංශයේ සහ යුරෝපය පුරා මිලිටරි වියදම් වාර්තාගත ලෙස වැඩි කිරීම සඳහා  ඔවුන් මෙසේ වේදිකාව සැකසූහ.

යුරෝපීය අධිරාජ්‍යවාදය ඊටත් වඩා දැවැන්ත යලි සන්නද්ධ කිරීමේ ධාවනයක් දියත් කරද්දී, අද දින එවැනිම ව්‍යාපාර න්‍යාය පත්‍රයට ඇතුල් වී ඇත. නමුත් පාඩම් උකහා ගත යුතුය. පන්ති අරගලය මත ව්‍යාජ වාම බලවේගවල ග්‍රහණය බිඳ දැමිය යුතුය. මෙයින් අදහස් කරන්නේ පළමුවෙන්ම, ජාත්‍යන්තරව පන්ති අරගල සම්බන්ධීකරණය කිරීම සඳහා, නිලධරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ස්වාධීනව, කම්කරුවන් හා තරුනයින් අතර ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම හා ජන සංහාරයට, ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහිව වඩාත් පුලුල්, අඛණ්ඩ බලමුලු ගැන්වීමක් ගොඩනැගීමයි.

සියල්ලටත් වඩා, එහි අර්ථය වන්නේ, එවන් අරගලයක අවසානය ලෝක සමාජවාදී විප්ලවයක් තුල කම්කරු පන්තියට බලය පැවරීම අවශ්‍ය වන බවට වන විඥානයෙන් කම්කරුවන් හා තරුනයන් සංතෘප්ත කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි. එවන් ව්‍යාපාරයක ජීව රුධිරය වන්නේ ස්ටැලින්වාදයට සහ සියලු ආකාරයේ ජාතික අවස්ථාවාදයට ජාත්‍යන්තර කමිටුවේ (ICFI) සමනය කළ නොහැකි විරුද්ධත්වය සහ ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීමේ නොබිඳුණු අඛණ්ඩ පැවැත්මයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top