පීටර් ෂ්වාස් විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 දෙසැම්බර් 16 දින ‘40 years since the suspension of the Workers Revolutionary Party from the ICFI’ යන හිසින් පලවූ පීටර් ෂ්වාස් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.
වසර හතළිහකට පෙර, 1985 දෙසැම්බර් 16 වන දින, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) එහි බ්‍රිතාන්‍ය ශාඛාව වන කම්කරු විප්ලවවාදී පක්ෂය (WRP) අත්හිටුවන ලදී. එය එසේ කළේ, කවිප අත්හිටුවීමේ යෝජනාවෙන් පැහැදිලි කළ පරිදි, “කවිපය, හජජාක සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව ඓතිහාසික පාවාදීමක් සිදු කර ඇති බව” හෙළි කළ එහි ජාත්‍යන්තර පාලන කොමිසමේ වාර්තාවට ප්‍රතිචාර වශයෙනි.
කලින් නොදන්නා බොහෝ ලේඛනවල පදනම මත පාලක කොමිසම ඔප්පු කළ පරිදි, කවිප නොනවතින විප්ලව න්‍යාය සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබූ අතර, “එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් සඳහා යටත් විජිත ධනේශ්වරයේ කොටස් සමඟ ප්‍රතිපත්ති විරහිත සබඳතා ලුහුබැඳීම සිදුවිය.”
කවිප අත්හිටුවීමට පෙර බ්‍රිතාන්‍ය ශාඛාව තුළ ගැඹුරු අර්බුදයක් වර්ධනය වී පැවතියේය. 1985 ජුනි 30 වන දින, ජෙරී හීලිගේ පෞද්ගලික ලේකම් අයිලීන් ජෙනිංස්, දේශපාලන කමිටුවට ලිපියක් යවමින්, දිගු කලක් තිස්සේ කවිප නායකයා කාන්තා කේඩර්වරුන් අපයෝජනය කිරීම හෙළා දුටුවේය. හීලි, ක්ලිෆ් ස්ලෝටර් සහ මයික් බන්ඩා මෙම අපචාරය වසන් කිරීමට සහ එය ජාත්‍යන්තර කමිටුවෙන් සහ සාමාජිකත්වයෙන් සැඟවීමට උත්සාහ කළහ. කවිප පාලන කොමිසම මඟින් සිදුකරන පරීක්ෂණයක් ඉල්ලා සිටි මධ්‍යම කාරක සභික ඩේව් හයිලන්ඩ්ට දැවැන්ත පීඩනයක් එල්ල විය.

නමුත් අර්බුදය තවදුරටත් පාලනය කළ නොහැකි විය. පක්ෂය කටුක අරගලයකින් බෙදී ගිය අතර, එහිදී හීලිගේ ආධාරකරුවන් සහ බන්ඩා සහ ස්ලෝටර්ගේ ආධාරකරුවන් යන දෙපාර්ශ්වයම අර්බුදයේ දේශපාලන හේතු පිළිබඳ සාකච්ඡාවක් වැළැක්වීමට උත්සාහ කළහ.
අර්බුදය පිළිබඳව දැනුම් දෙනු ලැබීම ඔක්තෝබර් මස තෙක් නො ලද ජාත්‍යන්තර කමිටුව, සටන් වදින කිසිදු පාර්ශවයකට සහාය දීම ප්‍රතික්ෂේප කළේය. එය හීලිගේ බලය අයුතු ලෙස භාවිතා කිරීම හෙළා දුටු අතර එම නිසා ඔක්තෝබර් 25 වන දින ඔහුව එහි සාමාජිකත්වයෙන් නෙරපා හැරියේය. නමුත් එය අවධාරනය කළේ, ස්ලෝටර් සහ බන්ඩා ප්‍රකාශ කළ පරිදි කවිප අර්බුදයට හේතුව හීලිගේ පෞද්ගලික විෂමාචාරය නොව, සමස්ත නායකත්වයේ දිගුකාලීන අවස්ථාවාදී සහ ජාතිකවාදී පරිහානිය බවයි.
එක්සත් ජනපද වර්කර්ස් ලීගය ඊට වසර තුනකට පෙර මතු කළ පැහැදිලිව නිර්වචනය කරන ලද වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්තිමය කරුණු මත ජාත්‍යන්තර කමිටුව කවිප විවේචනය පදනම් කර ගත්තේය. වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් 1982 සහ 1984 දී කවිපයේ න්‍යායික සංකල්ප සහ දේශපාලන වැඩ පිළිවෙළ පිළිබඳ විස්තීර්ණ විවේචනයක් ඉදිරිපත් කර තිබුණි. 1950 සහ 1960 ගනන්වල පැබ්ලෝවාදයට දැඩි ලෙස විරුද්ධ වූ බ්‍රිතාන්‍ය ශාඛාව, 1970 ගනන්වල දී පැබ්ලෝවාදයේ ජාතිකවාදී සහ අවස්ථාවාදී ආස්ථානයන්ට වඩ වඩාත් සමීප වීම සම්බන්ධයෙන් ඔහු විවේචනය කළේය.
හීලි, ස්ලෝටර් සහ–යම් ආරම්භක පැකිලීමකින් පසුව–බන්ඩා නෝර්ත්ගේ විවේචන යටගැසූ අතර, සමස්ත ජාත්‍යන්තර කමිටුව තුළම ඒ පිළිබඳ සාකච්ඡාව වැළැක්වා, වර්කර්ස් ලීගය එය දිගටම කරගෙන ගියහොත් එය නෙරපා හරින බවට තර්ජනය කළහ.
1985 ඔක්තෝබර් 25 වන දින නිකුත් කරන ලද බ්‍රිතාන්‍ය ශාඛාවේ අර්බුදය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ පළමු ප්‍රකාශයේ පැහැදිලිවම සඳහන් වන්නේ, හීලිගේ දූෂිත භාවිතයන් හෙළිදරව් වීමත් සමඟ අර්බුදය පුපුරා ගිය නමුත්, එහි මූලය වූයේ “සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීමේ මූලෝපායික කර්තව්‍යයෙන් වඩ වඩාත් ජාතිකවාදී ඉදිරිදර්ශනයක් සහ භාවිතයක් දෙසට කවිප නායකත්වයේ දිගුකාලීන චලනය” බවයි.
“හජාජාක දේශපාලන අධිකාරිය පැහැදිලිව පිළිගැනීම සහ එහි තීරණවලට බ්‍රිතාන්‍ය ශාඛාව යටත් වීමේ පදනම මත” කවිප සාමාජිකත්වය නැවත ලියාපදිංචි කිරීමට ජාත්‍යන්තර කමිටුව යෝජනා කළේය. කවිපයේ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර පාලන කොමිසමක් ද එය ස්ථාපිත කළේය.
හීලි සහ කවිපයේ ඔහුගේ ආධාරකරුවන් වූ සවාස් මිෂෙල් නායකත්වය දුන් ග්‍රීක ශාඛාව සහ ස්පාඤ්ඤයේ කුඩා හා අද්දැකීම් අඩු කණ්ඩායමක් මේ වන විට හජාජාක සමඟ සියලු සම්බන්ධතා බිඳ දමා තිබූ අතර හීලි විසින්ම කැඳවනු නොලැබූ කිසිදු රැස්වීමක අධිකාරිය පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. හීලි “ඓතිහාසික නායකයෙකු” බවත් ඔහුගේ අධිකාරියට අභියෝග කළ නොහැකි බවත් සවාස් මිෂෙල් ප්‍රකාශ කළේය.
කවිප සාමාජිකත්වය ඉදිරියේ ජාත්‍යන්තර කමිටුවට විවෘතව විරුද්ධ වීමට තරම් ඔවුන් දුර්වල වූ බැවින් ස්ලෝටර් සහ බන්ඩා ජාත්‍යන්තර කමිටුවේ යෝජනාවට එකඟ වූහ. ඔක්තෝබර් 27 වන දින කවිපයේ අතිවිශේෂ සමුළුවක් ජාත්‍යන්තර කමිටුවේ යෝජනාව ඒකමතිකව පිළිගත්තේය.
නමුත් ස්ලෝටර් හෝ බන්ඩා දෙදෙනාම ජාත්‍යන්තරයේ අධිකාරියට යටත් වීම පිළිගැනීමට සූදානම් නොවීය. වර්කර්ස් ලීගයේ විවේචන මැඩපැවැත්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ සහ 1985 ගිම්හානයේදී හීලිගේ අපයෝජනයන් පිළිබඳ පාලන කොමිසමක් අවහිර කිරීමට උත්සාහ කළ ස්ලෝටර්, දැන් මතු කරන ලද දේශපාලන කරුණු සාකච්ඡා කිරීම වැළැක්වීම සඳහා ලිංගික අපචාරය භාවිතා කළේය.
ප්‍රමුඛ ස්ටැලින්වාදීන් සහ සංශෝධනවාදීන් සහභාගී වූ නොවැම්බර් 26 වන දින ලන්ඩනයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී, ස්ලෝටර්, ට්‍රොට්ස්කි ඝාතනයේ පසුබිම අනාවරණය කර ගැනීම සඳහා හජාජාක විසින් ආරම්භ කරන ලද “ආරක්ෂාව සහ හතරවන ජාත්‍යන්තරය” විමර්ශනය හෙලා දුටුවේය. ඔහු, කවිපය, ස්ටැලින්වාදීන්, පැබ්ලෝවාදීන් සහ ට්‍රොට්ස්කිවාදයේ අනෙකුත් කටුක සතුරන් සමඟ සහයෝගීතාවයේ පථයකට යොමු කළේය.
දෙසැම්බර් 16 වන දින, ජාත්‍යන්තර කමිටුව, ස්ලෝටර් සහ බන්ඩාගේ ආරම්භක විරෝධයට එරෙහිව පිහිටුවන ලද ජාත්‍යන්තර පාලන කොමිසමේ වාර්තාව සාකච්ඡා කිරීම සඳහා රැස්විය. මෙම රැස්වීමේදී ස්ලෝටර්, සයිමන් පිරනි, ටොම් කෙම්ප් සහ ජාත්‍යන්තර කමිටුවට සහාය දුන් සුළුතරයේ නියෝජිතයා ලෙස ඩේව් හයිලන්ඩ් විසින් කවිප ය නියෝජනය කරන ලදී. ඩේවිඩ් නෝර්ත්, පීටර් ෂ්වාස් (බටහිර ජර්මනියේ Bund Sozialistischer Arbeiter), කීර්ති බාලසූරිය (ශ්‍රී ලංකාවේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය), නික් බීම්ස් (ඕස්ට්‍රේලියාවේ සමාජවාදී කම්කරු සංගමය) සහ අනෙකුත් නියෝජිතයින් ICFI වෙනුවෙන් සහභාගී වූහ.
රහස් අභ්‍යන්තර ලේඛන පරීක්ෂා කිරීම මත පදනම්ව, පාලක කොමිසම සිය අතුරු වාර්තාව ඉදිරිපත් කළේය–එය ජාත්‍යන්තර කමිටුව පිටුපසින්, කවිප නායකත්වය විසින් මැද පෙරදිග ධනේශ්වර පාලන තන්ත්‍ර කිහිපයක් සමඟ ස්ථාපිත කරගෙන තිබූ ප්‍රතිපත්ති විරහිත සබඳතා ඉතා පරීක්ෂාකාරී ලෙස හෙලිදරව් කළේය. ජාත්‍යන්තර කමිටුව විමර්ශනය සඳහා අවධාරනය නොකළේ නම්, ලේඛන සහ ඔවුන් හෙළිදරව් කළ සබඳතා සැඟවුණු සහ අඥාතව පවතිනු ඇත.
මෙම වාර්තාවට ප්‍රතිචාර වශයෙන් ICFI බහුතරය කවිප ය අත්හිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළහ. බ්‍රිතාන්‍ය ශාකාවේ පාවාදීම සඳහා හීලි තනිකරම වගකිව යුතු බවට ස්ලෝටර් කළ ප්‍රකාශය බහුතරය ප්‍රතික්ෂේප කළහ. යෝජනාවේ සඳහන් වූයේ “මෙම භාවිතයන් ක්‍රියාත්මක කිරීමට ඉඩ දුන් ජාතිකවාදී පරිහානිය සඳහා දේශපාලන වගකීම කවිප හි සමස්ත නායකත්වය මත පැටවෙන” බවයි.
යෝජනාව තවදුරටත් මෙසේ පැවසීය:
“බ්‍රිතාන්‍ය ශාඛාව තුළ සහ ජාත්‍යන්තර කමිටුව තුළ පක්ෂයේ දේශපාලන වැඩ පිළිවෙළ පිළිබඳ වෙනස්කම් සාකච්ඡා කිරීම කවිප නායකයෝ අවහිර කළහ.
ජාත්‍යන්තර කමිටුව කිසිදු තනි නායකයෙකුට දොස් පැවරීමට උත්සාහ නොකරන නමුත් සමස්ත නායකත්වයම වගකිව යුතු බව කියා සිටියි.
එබැවින්, එහි මූලධර්ම හා සුපිළිපන්බව ආරක්ෂා කර ගැනීම සඳහා, කවිප 8 වන සම්මේලනයෙන් පසුව, මාර්තු 1 වන දිනට පෙර, ජාත්‍යන්තර කමිටුවේ හදිසි සම්මේලනයක් කැඳවන තෙක්, ජාත්‍යන්තර කමිටුව බ්‍රිතාන්‍ය ශාඛාව ලෙස කවිප අත්හිටුවයි.”
ජාත්‍යන්තර නියෝජිතයින්ගේ සහ ඩේවිඩ් හයිලන්ඩ්ගේ සහාය ඇතිව යෝජනාව සම්මත විය. ස්ලෝටර්, කෙම්ප් සහ පිරනි යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්හ.
පසුදා, එනම් දෙසැම්බර් 17 වන දින ICFI රැස්වීම නැවත ආරම්භ විය. ස්ලෝටර් සහ කෙම්ප් වඩාත් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළහ. සාමාන්‍යයෙන් අමතක වන සුළු ස්වභාවයෙන් යුතු මහාචාර්යවරයෙකු ලෙස ක්‍රියා කළ කෙම්ප්, කීර්ති බාලසූරියට පැහැදිලි වර්ගවාදී අපහාස එල්ල කිරීමට යොමු විය. කීර්ති සහෝදරයා කෙම්ප්ගේ ප්‍රකෝප කිරීම් නොසලකා හැරියේය.
ජාත්‍යන්තර කමිටුවේ බහුතරය පැහැදිලි කළේ, ශාඛාවේ විශාලත්වය කුමක් වුවත්, දේශපාලන මූලධර්ම පාවාදීම ජාත්‍යන්තර කමිටුව නොඉවසන බව පැහැදිලි කිරීම සඳහා කවිප අත්හිටුවීම අවශ්‍ය බවයි. අත්හිටුවීම සුදුසු ඓතිහාසික හා දේශපාලන සන්දර්භය තුළ තබන දෙවන යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කළහ.
“1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ එකම ඓතිහාසිකව ස්ථාපිත නායකත්වය ලෙස ජාත්‍යන්තර කමිටුව තුළ මූර්තිමත් කරන ලද ට්‍රොට්ස්කිවාදයේ වැඩ පිළිවෙලේ පදනම් නැවත තහවුරු කිරීම මෙම අරගලය තුළ අන්තර්ගත වේ. මෙම පදනම් නම්: කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පළමු සම්මේලන හතරේ තීරණ (1919-1922); වාම විපාර්ෂවයේ වේදිකාව (Platform) (1927); සංක්‍රාන්ති වැඩපිළිවෙල (1938); විවෘත ලිපිය (1953); සහ 1961-63 ව්‍යාජ එස්ඩබ්ලිව්පී-පැබ්ලෝයිට් යලි එක්සත් වීමට එරෙහි අරගලයේ ලේඛන.”
යෝජනාවේ තවදුරටත් මෙසේ සඳහන් විය.
“ජාත්‍යන්තර කමිටුව තුළ සංරක්ෂණය කර මූර්තිමත් කරන ලද හතරවන ජාත්‍යන්තරයේ අඛණ්ඩතාව පදනම් වී ඇති පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි අරගලයේ ඓතිහාසික නිවැරදි බව ජාත්‍යන්තර කමිටුව සහ කවිප නැවත තහවුරු කරයි. සමාජවාදී කම්කරු සංගමයේ ජාතික කමිටුව 1961 දී ප්‍රකාශ කළ පරිදි, පැබ්ලෝවාදී සංශෝධනවාදය “ට්‍රොට්ස්කිවාදය තුළ ප්‍රවණතාවක්” නියෝජනය නොකරන අතර එය එසේ සැලකිය නොහැකිය. එහි මූලාරම්භයේදීම පැබ්ලෝවාදය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මත ලෝක අධිරාජ්‍යවාදයේ පීඩනයට යටත් වීමක් (capitulation) නියෝජනය කළේය. එහි ප්‍රති-විප්ලවවාදී භූමිකාවේ සම්පූර්ණ ඓතිහාසික වැදගත්කම 1964 දී පෙන්නුම් කරන ලද්දේ, ශ්‍රී ලංකා ලසසපය බණ්ඩාරනායක මැතිනියගේ ධනේශ්වර සභාග රජයට ඇතුළු වීමත් සමඟ ය. එපමණක් නොව, ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (එස්ඩබ්ලිව්පී) විසින් නොනවතින විප්ලව න්‍යාය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම සහ අධියර-දෙකක විප්ලවය පිළිබඳ ස්ටැලින්වාදී මූලධර්මය ආරක්ෂා කිරීම, 1963 දී ජාත්‍යන්තර කමිටුව ගත් මූලධර්මාත්මක ස්ථාවරය නැවතත් සනාථ කරයි. ලෝකයේ සෑම ප්‍රදේශයකම, ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරයේ ශාඛා ගොඩනැගීම ට්‍රොට්ස්කිවාදයේ පැබ්ලෝවාදී සතුරන්ට එරෙහිව සම්මුති විරහිත අරගලයක් සමඟ බැඳී ඇත.”
අවසාන වශයෙන්, යෝජනාව මගින් කවිප ජාත්‍යන්තර කමිටුවට නැවත ඇතුළත් කර ගත හැකි කොන්දේසි ඉදිරිපත් කරන ලදී:
“හීලි යටතේ කවිපයේ ජාතිකවාදී පරිහානියේ උරුමය වන පවතින ගැටලු හැකි ඉක්මනින් ජය ගැනීමටත්, කවිප තුළ ජාත්‍යන්තරවාදයේ මූලික මූලධර්ම නැවත තහවුරු කිරීමටත්, මෙම පදනම මත හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි පූර්ණ සාමාජිකත්වය නැවත ස්ථාපිත කිරීමටත්, හජජාක සහ කවිප මධ්‍යම කාරක සභාව දැන් සමීපව කටයුතු කරනු ඇත. මෙම සම්බන්ධතාවයේ සංවිධානාත්මක ව්‍යුහය සෑම විටම හතරවන ජාත්‍යන්තරයේ නීතිරීතිවල විස්තාරණය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ ලෙනින්වාදී මූලධර්ම මත පදනම් විය යුතුය.”
ස්ලෝටර්, කෙම්ප් සහ පිරනි යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්හ. ඔවුන් හජජාක හි වැඩ පිළිවෙළෙහි පදනම් තහවුරු කිරීමට සූදානම් නොවීය. සති හතකට පෙර, කවිප සම්මේලනය හජජාක හි දේශපාලන අධිකාරිය පිළිගැනීමේ පදනම මත එහි සාමාජිකත්වය නැවත ලියාපදිංචි කිරීමට ඒකමතිකව තීරණය කර තිබුණද, දැන් ඔවුන් මෙම අධිකාරිය නිශ්චිතවම ප්‍රතික්ෂේප කළහ.
මෙය කවිප නියෝජිතයන් සහභාගී වූ ජාත්‍යන්තර කමිටුවේ අවසාන රැස්වීම විය. ඉන් පසු සති කිහිපය තුළ, කවිප දැඩි ලෙස දකුණට හැරී, ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන අධිකාරිය ප්‍රතික්ෂේප කළේය. 1986 පෙබරවාරි 7 වන දින එහි පුවත්පත වන වර්කර්ස් ප්‍රෙස් (Workers Press) මයික් බන්ඩාගේ “ජාත්‍යන්තර කමිටුව වහාම වළලනු ලැබීමට හේතු 27 ක්” යන ට්‍රොට්ස්කිවාදී විරෝධී දීර්ඝ-දෝෂදර්ශනය (diatribe) ප්‍රකාශයට පත් කළ අතර එයට ඩේවිඩ් නෝර්ත් “අප ආරක්ෂා කරන උරුමය” (The Heritage We Defend) නම් කෘතිය මගින් ප්‍රතිචාර දැක්වීය.
පෙබරවාරි 8 වන දින, ස්ලෝටර් සහ පිරානි පොලිසිය කැඳවා හජජාක ආධාරකරුවන් කිවිප හි අටවන සම්මේලනයට සහභාගී වීම තහනම් කළහ. ඔක්තෝම්බර් මාසයේදී ස්ථාපිත කරන ලද නිර්ණායකයන්ට අනුව නියෝජිතයින් තෝරා පත් කර ගෙන තිබුනේ නම්, හජජාක ආධාරකරුවන්ට සම්මේලනයේදී බහුතරයක් හිමිවනු ඇත. පසුව ඔවුන් හජජාක හි නව බ්‍රිතාන්‍ය ශාඛාව ආරම්භ කළහ.
ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් ලෙස, කවිප අවසන් විය. එය බොහෝ කණ්ඩායම් වලට බෙදී විසිරී ගිය අතර, ඒ සියල්ල ඊළඟ වසර වලදී ට්‍රොට්ස්කිවාදයෙන් ඉවත් විය. ස්ලෝටර් අරාජිකවාදියෙකු බවට පත් විය; හජජාක සමඟ භේදයෙන් සති කිහිපයක් ඇතුළත බන්ඩා ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදය හෙළා දුටු අතර, ස්ටාලින් කෙරෙහි ඔහුගේ ප්‍රසාදය ප්‍රකාශ කරමින් කුර්දි ජාතිකවාදයේ ආධාරකරුවෙකු බවට පත්විය. පිරානි ට්‍රොට්ස්කිවාදය ප්‍රතික්ෂේප කළ අතර ශාස්ත්‍රාලිකයෙකු ලෙස වෘත්තියට එළඹියේය.
හතරවන ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ගත් කල, කවිප අත්හිටුවීම ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. එය 1953 සිට ජාත්‍යන්තර කමිටුව පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව ගෙන ගිය දිගු අරගලයේ කූටප්‍රාප්තිය විය. දැන්, වසර 32 කට පසු, ට්‍රොට්ස්කිවාදීන් අවසානයේ හතරවන ජාත්‍යන්තරයේ පාලනය නැවත ස්ථාපිත කර තිබුණි.
මාක්ස්වාදයේ මල් පිබිදීම ඉන් පසුව සිදුවිය. කේඩරය ජාත්‍යන්තර කමිටුවේ පොහොසත් න්‍යායික හා ඓතිහාසික උරුමය නැවත අත්පත් කර ගත් අතර, කවිප අර්බුදයට යටින් පැවති වෛෂයික වෙනස්කම් විශ්ලේෂණය කළෝය. එමඟින් ඔවුහු නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ ධනවාදය පුනස්ථාපනය සඳහා සූදානම්ව සිටියහ. සමස්ත සුලු ධනේශ්වර “වම” සෝවියට් සංගමය විසුරුවා හැරීමට ප්‍රතිචාර දැක්වූයේ සමාජවාදය අසාර්ථක බව ප්‍රකාශ කරමින් සහ ධනවාදය සමඟ සාමය ඇති කර ගනිමින්, අත්හැරීම්වාදයේ (renunciationism) රැල්ලකින් වුවද, ජාත්‍යන්තර කමිටුව සම්පූර්ණයෙන්ම වෙනස් නිගමනවලට එළඹියේය.
ස්ටැලින්වාදී පාලන තන්ත්‍රවල බිඳවැටීම, ලෝක ආර්ථිකයේ ජාත්‍යන්තර ස්වභාවය සහ, ධනවාදය මෙන්ම “තනි රටක සමාජවාදය” පිළිබඳ ඉදිරිදර්ශනය සමඟ බැඳී ඇති ස්ටැලින්වාදය යන දෙකම පදනම් ව ඇති, ජාතික රාජ්‍යය අතර ඇති අශමනීය පරස්පරතාවයේ තියුනුම ප්‍රකාශනය පමණක් විය. එය ප්‍රචණ්ඩ අර්බුද, යුද්ධ සහ විප්ලවවාදී අරගලවල නව යුගයක් ආරම්භ කළ අතර, එහිදී ජාත්‍යන්තර කමිටුව විසින් ආරක්ෂා කරන ලද නොනවතින විප්ලවයේ ඉදිරිදර්ශනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කෙරුණි.
ජාත්‍යන්තර කමිටුව සිය සියලු කටයුතු පදනම් කර ගත්තේ මෙම අවබෝධය මත ය. 1990 දශකයේ මැද භාගයේදී, පැරණි ජාතික සංවිධානවල ගුණාත්මක පරිහානිය සහ ඊට අනුරූපව කම්කරු පන්තිය සමඟ හතරවන ජාත්‍යන්තරයේ සම්බන්ධතාවයේ වෙනස හඳුනා ගනිමින්, එය එහි ශාඛා ලීගවලින් පක්ෂ බවට පරිවර්තනය කළේය. 1998 දී, ජාත්‍යන්තර සමාජවාදයේ අව්‍යාජ හඬ ලෙස ජාත්‍යන්තර කමිටුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කළේය. [2025] දෙසැම්බර් 12 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනය සහ බලමුලු ගැන්වීම සඳහා අති නවීන තාක්‍ෂණය යොදා ගන්නා නවමු යෙදුමක් ලෙස Socialism AI ඉදිරිපත් කළේය.
මෙම පසුබිමට සාපේක්ෂව බලන කල, වසර 40 කට පෙර සිදුවීම්වල ඓතිහාසික වැදගත්කම පැහැදිලි වේ. විප්ලවවාදී පක්ෂය තුළ පැහැදිලි කිරීමේ ක්‍රියාවලිය මහා විප්ලවවාදී අරගලවලදී ජනතාවගේ දිශානතිය පූර්වාපේක්ෂා කරයි. වසර 40 කට පෙර කවිප අර්බුදයේ දී එහි මූලධර්මාත්මක මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස, නූතන කම්කරු පන්තියේ ගෝලීය ස්වභාවයට අනුරූප වන සැබවින්ම ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ලෝක පක්ෂයක් ගොඩනැගීම සඳහා මාවත සැකසීමට ජාත්‍යන්තර කමිටුවට හැකි විය. ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයක කොන්දේසි යටතේ, ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරය ලොව පුරා මහජන විප්ලවවාදී අරගලවල නායකත්වය ලෙස මතු වනු ඇත.

