ඩේවිඩ් නෝර්ත් විසිනි.
යුද්ධයට විරුද්ධ වෙමින් සහ ඉරානයට එරෙහි නීති විරෝධී ප්‍රහාරය වහාම නතර කරන ලෙස කැඳවමින්, සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකා එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් 2026 පෙබරවාරි 28 පෙරවරුවේ (ඇමරිකානු වේලාවෙන්) කරන ලද ප්‍රකාශයෙහි සිංහල පරිවර්තනය මෙහි පළ වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ යුද-උමතු කල්ලිය විසින් නියෝග කරන ලදුව ඉරානයට එල්ල කළ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී වේ. එය එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කරන දැවැන්ත දේශපාලන අපරාධයකි. එක්සත් ජනපදයට පහර නොදුන් සහ එයට කිසිදු තර්ජනයක් එල්ල නොකළ රටකට එරෙහිව, කොංග්‍රසයේ බිංදු මාත්‍ර හෝ අවසරයකක් පවා නොමැතිව, සමූල ජන ඝාතක ඊශ්‍රායල තන්ත්රය සමඟ සහයෝගයෙන් එය දියත් කර ඇත.
මෙම සාපරාධී ප්‍රහාරයෙන් පළමු පැය කිහිපය තුළ, දකුණු ඉරානයේ මිනාබ් හි බාලිකා පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් සිසුන් 24 දෙනෙකු මිය ගියහ. ඉදිරි දිනවලදී කොපමණ දහස් ගණනක්, දස දහස් ගණනක් සහ ලක්ෂ ගණනක් මිය යනු ඇත්ද?
දින හතරකට පෙර, ට්‍රම්ප් සිය රාජ්‍ය තත්ව දේශනය පැවැත්වීමට කොංග්‍රසය සහ ඇමරිකානු ජනතාව ඉදිරියේ පෙනී සිටියේය. යුද්ධය දියත් කිරීමට ඔහු පැහැදිලිවම තීරණය කර තිබුණද, ඔහු තම තීරණය සඟවා ගත් අතර ඔහුගේ පැය දෙකක වෛරී දෙඩවිල්ල අතරතුර ඉරානය ගැන සුළු සඳහනක් පමණක් කළේය.
හිස මත බේස්බෝල් තොප්පියක් පැළඳ සිටි ට්‍රම්ප්, බොහෝ ඇමරිකානුවන් නිදා සිටිය මහ රෑ තම තීරණය ප්‍රකාශයට පත් කළේය. ඔහු එක්සත් ජනපදය සහ මුළු ලෝකයම විනාශකාරී මාවතකට යොමු කර ඇත. මෙම යුද්ධය ඇමරිකානු සමාජයේ අභ්‍යන්තර සමාජ අර්බුදය විසඳනු නැත. එය, එක්සත් ජනපද ධනවාදයේ ගෝලීය තත්වයේ දිග්ගැස්සුනු පිරිහීමද ආපසු හරවනු නැත.
මෙම සියලු දේශීය හා ජාත්‍යන්තර ප්රතිවිරෝධතා තීව්ර වනු ඇත. යුද්ධයම නොවැළැක්විය හැකි ලෙස උත්සන්න වී මුළු ග්රහලෝකයම ගිල ගනු ඇත.
කෙතරම් මාධ්‍ය ප්රචාරණයකට වුව, ඉරානයට එරෙහි ප්‍රහාරය, 1945-46 දී නාසි නායකයින්ට එරෙහි නියුරම්බර්ග් නඩු විභාගවලදී “සාමයට එරෙහි අපරාධයක්” ලෙස විස්තර කරන ලද්දට, හරියටම හරියන බව සැඟවිය නොහැක.
අනාගතයේදී ඉතිහාසඥයින් ට්‍රම්ප් 2026 පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල කළ ප්‍රහාරය, 1939 සැප්තැම්බර් 1 වන දින හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම සමඟ සංසන්දනය කරනු ඇත. ඒවා සමාන පරිමාණයේ අපරාධ වේ.
ඉරානයට එල්ල කරන ලේවැකි ප්‍රහාරය වහාම නවතන ලෙස සමාජවාදී සමානතා පක්ෂය බලකර සිටී.
මූල්‍ය-ආයතනික කතිපයාධිකාරයේ අවශ්‍යතා සඳහා දියත් කර ඇති මෙම යුද්ධයට කම්කරු පන්තිය, තරුණයින් සහ සියලු ප්රගතිශීලී සහ ශිෂ්ට මහජනතාව විරුද්ධ විය යුතුය.
