ප්‍රංශයේ මහජන විරෝධතා යුරෝපය පුරා රැව්පිළිරැව් දෙයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ඔක්තෝම්බර් 22 දින “The mass protests in France are reverberating throughout Europe” යන හිසින් පළවූ ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

France protests
පැරිසියේ පාසැල්වල දරිද්‍රතා අධ්‍යාපන කොන්දේසිවලට එරෙහිව එක්රැස් වූ විරෝධතාකරුවෝ පොලිසියට මුහුණ් දේ. 2026 ඔක්තෝබර් 22 බ්‍රහස්පතින්දා. [AP Photo/Teresa Suarez]

මීට මාසයකට පෙර, ප්‍රංශයේ දිවිතීක පාසල් වටලා වසා දැමීමේ ව්‍යාපාරයක් ආරම්භ විය. එය ප්‍රංශ ආණ්ඩුව දැඩි ලෙස සොලවා තැබීමට පමණක් නොව, යුරෝපය පුරා පැතිර යාමට ද සමත් විය. සෑම යුරෝපීය රටකම තරුණයින් සහ කම්කරුවන් එකම ඉල්ලීම් ඉදිරිපත් කරද්දී සහ සෑම තැනකම ආණ්ඩු ඊට පොලිස් ප්‍රචණ්ඩත්වය සහ මර්දනයෙන් පිළිතුරු දෙද්දී, ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගෙමින් පවතී.

මහාද්වීපය පුරා විප්ලවවාදී නැගී සිටීම් සිදු වූ 1848 වර්ෂයේ සිදුවීම්වල ප්‍රතිරාවයක් වර්තමාන සිදුවීම් තුළ දක්නට ලැබේ. මෙය නිසැකවම සාදෘශ්‍යයක්න්(analogy) මිස සංයුක්ත සංසන්දනයක් නොවේ. 2026 ලෝකය 1848 ලෝකයට වඩා බෙහෙවින් වෙනස් ය. නමුත් ප්‍රංශයේ සිට යුරෝපය පුරා සහ ඊට ඔබ්බට ජන අරගල සීඝ්‍රයෙන් පැතිර යාම මගින් දැනට දිගහැරෙමින් පවතින ව්‍යාපාරයේ සාරාර්ථ වශයෙන් ගෝලීය වන ස්වභාවය ප්‍රකාශයට පත් වේ. වඩාත් මූලික වශයෙන්, මෙහි මතුවෙමින් පවතින සාමාජීය සහ දේශපාලනික සාරය ධනපති-ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොව, කම්කරු පන්තික සහ සමාජවාදී එකකි.

පසුගිය මාසය තුළ යුරෝපය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් පොදුවේ දරන, නමුත් නිල දේශපාලනය විසින් දිගු කලක් තිස්සේ මර්දනය කර තිබූ අදහස් මතුපිටට පැමිණ ඇත. අධ්‍යාපනය, විශ්‍රාම වැටුප් සහ සාමාජීය සුභසාධන වියදම් වලින් යුරෝ බිලියන සිය ගණනක් හමුදාවට සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි යුද්ධයට යොමු කිරීමටත්; නිවාස හා බලශක්ති මිල ඉහළ නංවන මූල්‍ය සමපේක්ෂනයන්ටත් (financial speculation); මූල්‍ය වෙළඳපොළවල් මගින් තීරණය කරනු ලබන සාමාජීය කප්පාදු වලටත්; පොලිස් මර්දනයට සහ නව-ෆැසිස්ට්වාදය ප්‍රවර්ධනය කිරීමටත් එරෙහිව දැඩි විරෝධයක් පවතී. මේවා ජාත්‍යන්තර ගැටලු වන අතර, ඒවා වෙනුවෙන් කෙරෙන අරගල ජාතික සීමා ඉක්මවා පුළුල් සහයෝගයක් දිනාගෙන ඇත.

බදාදා ග්‍රීසියේ, ඇතැන්ස්හි 20,000 කට ආසන්න පිරිසක් ඇතුළුව, නගර 50 කට වැඩි සංඛ්‍යාවක සිසුහු, ගුරුවරු සහ රාජ්‍ය අංශයේ කම්කරුවෝ පාගමනින් ගමන් කළහ. ඔවුහු අඩු වේතන, රාජ්‍ය අධ්‍යාපනයේ තත්ත්වය සහ දැරිය නොහැකි ශිෂ්‍ය නිවාස මිල ගණන්වලට එරෙහිව විරෝධය පළ කළ අතර, ප්‍රංශයේ ජන අරගල දෙසට අවධානය යොමු කළහ. ඇතැන්ස්හි තිබූ බැනරයක “ග්‍රීසියේ සිට ප්‍රංශය දක්වා, අධ්‍යාපනයට මුදල් ලබා දෙනු” ලෙස සඳහන් වූ අතර ඇතැන්ස්, තෙසලෝනිකි (Thessaloniki) සහ පට්‍රාස් (Patras) යන නගරවල විරෝධතාකරුවන්ගේ කූඩාරම්වල “ග්‍රීසියේ සහ ප්‍රංශයේ, සැමතැනම කැරලි ගසනු—එකම ගැටලු, එකම සතුරා” යන සටන් පාඨය සටහන් වී තිබුණි. වෘත්තීය සමිති නායකත්වය නොවැම්බර් 25 තෙක් නැවත රට පුරා වැඩවර්ජනයක් කැඳවා නොමැත.

ඉතාලියේ, ශිෂ්‍ය කණ්ඩායම් ප්‍රංශය සමඟ සහයෝගය ප්‍රකාශ කරමින් මහා විරෝධතා සංවිධානය කර ඇත. ‘Rete degli studenti’ ජාලය ප්‍රංශ වැඩවර්ජකයින් වෙත ආයාචනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ: “අපි ඔබ සමග සිටිමු. අපි ඔවුන්ගේ යුද්ධ හැර යන්නෙමු. ආයුධවලට නොව පාසල්වලට මුදල් ලබා දෙනු” යන්නයි. ඔක්තෝබර් 16 වන දින, රට පුරා නගරවල සිසුහු පාගමනින් ගමන් කරමින්, “තත්ත්වය වෙනස් නොවන්නේ නම්, ප්‍රංශයේ කළ දේම අපිත් කරන්නෙමු” යනුවෙන් හඬ නැගූහ. ඉතාලිය, ප්‍රංශය, ග්‍රීසිය, තුර්කිය, මොරොක්කෝව සහ බාස්ක් කලාපයේ (Basque Country) වරාය කම්කරු වෘත්තීය සමිති විසින් ඔක්තෝබර් 30 වන දින යුද්ධයට සහ වරායවල් මිලිටරිකරණය කිරීමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාකාරී දිනයක් කැඳවා ඇත. ‘CGIL’ වෘත්තීය සමිති සම්මේලනය නොවැම්බර් 20 වන දින සඳහා එක්දින රට පුරා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රංශයේ පාසල් විරෝධතා, ලිඒජ් (Liège) සහ බ්‍රසල්ස් (Brussels) හි අධ්‍යාපන වියදම් ඉහළ යාමට එරෙහිව බෙල්ජියම් සිසුන්ගේ සහයෝගිතා විරෝධතාවලට ඉක්මනින්ම මග පෑදීය. මේවා සිදුවූයේ බෙල්ජියම් ආණ්ඩුවේ සමාජ වියදම් කප්පාදු (austerity) සහ හමුදා වියදම් ඉහළ නැංවීමේ ප්‍රතිපත්තිවලට එරෙහිව රට පුරා පැවැත්වෙන දීර්ඝකාලීන විරෝධතා සහ වැඩවර්ජන මාලාවක් අතරතුරදී ය. මෑතකදී, එනම් ඔක්තෝබර් 9 වන දින බ්‍රසල්ස්හි ජාතික උද්ඝෝෂණයක් සහ ඔක්තෝබර් 12 වන දින රාජ්‍ය අංශයේ වැඩවර්ජනයක් ද පැවැත්විණි.

ප්‍රංශ ශිෂ්‍ය ව්‍යාපාරයට සමාන්තරව නගර 50 කට වැඩි ගණනක සිය දහස් ගණන් ජනතාවගේ සහභාගීත්වයෙන් මහා නිවාස විරෝධතා ඇවිලී ගිය ස්පාඤ්ඤයේ, විරෝධතාකරුවෝ ප්‍රංශ විරෝධතාවලට තමුන්ගේ සහයෝගීතාව නැවත නැවතත් ප්‍රකාශ කර සිටිති. ස්පාඤ්ඤයේ නගර චතුරශ්‍ර අත්පත් කරගෙන සිටින විරෝධතාකරුවන්ගේ නැවත නැවතත් කියැවෙන පාඨය වන්නේ “අපි ප්‍රංශ ජාතිකයන්ගෙන් ඉගෙන ගත යුතුය” යන්නයි. නොවැම්බර් 11 වන දින සඳහා එක්දින දිවයින පුරා වැඩවර්ජනයක් කැඳවා ඇත.

“හමුදා බඳවා ගැනීම, සිවිල් සේවය සහ යුද්ධය එපා” සහ “පොහොසතුන්ට යුද්ධය අවශ්‍යයි, තරුණයින්ට අනාගතයක් අවශ්‍යයි” වැනි සටන් පාඨ භාවිතා කරමින් ජර්මනියේ, නගර 130 කට වැඩි ගණනක “හමුදාවට බඳවා ගැනීමට එරෙහි පාසල් වැඩවර්ජනය” ව්‍යාපාරය තුළ දස දහස් සංඛ්‍යාත තරුණයෝ සක්‍රියව සිටිති. බර්ලිනයේ ‘Französisches Gymnasium’ පාසල සිසුන් විසින් වටලනු ලැබූ අතර, “ප්‍රංශයේ සිට ජර්මනියට ගිනි පුපුර පැන්නීමට” කැඳවුම් කරන පත්‍රිකා හමු වූ බව පොලිසිය ප්‍රකාශ කළේය. ඔක්තෝබර් 20 වන දින මියුනිච් හි පැවැති පාසල් වැඩවර්ජනයෙන් පසුව, ඔක්තෝබර් අග භාගයේදී ජර්මානු නගර කිහිපයක හමුදාවට බඳවා ගැනීමට එරෙහිව තවත් විරෝධතා කැඳවා ඇත.

මෙම රටවලට අමතරව, පෘතුගාලය, අයර්ලන්තය සහ ඇල්බේනියාව යන රටවල ද වැඩවර්ජන හෝ තරුණ විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතී.

යුරෝපය පුරා තරුණයින් සහ කම්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් ජාතික මට්ටමින්, ධනපති ආණ්ඩු මගින් ඉහළින් ලබා දෙන ප්‍රතිසංස්කරණ මගින් දිනාගත නොහැක. පාලක පන්තිය සහන දීමට කැමති ද නැත, ඊට හැකියාවක් ද නැත. මූල්‍ය කතිපයාධිකාරය විසින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සමඟ පෑහෙන්නේ නැති තරම් විශාල ධන ඒකරාශී කිරීමක් සිදුකර ඇත.

ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම සහ ග්‍රීසිය යන රටවල් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 100 කට වඩා වැඩි රාජ්‍ය ණය ප්‍රමාණයක් දරන අතර ස්පාඤ්ඤයේ ණය ප්‍රමාණය ද ඊට ආසන්නය. ණයහිමියන්ගේ පීඩනයට ලක්වෙමින් සහ තම ණයවලට එරෙහි මූල්‍ය සමපේක්ෂනයන්ට මුහුණ දෙමින් සිටින මෙම ආණ්ඩුවලට සාමාජීය සහන සඳහා මුදල් සපයා ගත හැක්කේ කතිපයාධිකාරය මත බදු පැනවීමෙන් පමණි; නමුත් ඔවුහු එය කිරීම ප්‍රතික්ෂේප කරති.

ඒ වෙනුවට, ඔවුහු සම්පත් යුද්ධය වෙත මුදා හරිමින් සිටිති. පසුගිය මාසය පුරා, වැඩිදුර යුද උත්සන්න කිරීම් න්‍යෂ්ටික යුද්ධයකට මග පාදනු ඇතැයි මොස්කව් විසින් කරන ලද අනතුරු ඇඟවීම් නොතකා, යුරෝපීය බලවතුන් රුසියාවට එරෙහි යුද්ධය අවදානම නොතකමින් උත්සන්න කළහ. නේටෝව (NATO) කලිනින්ග්‍රෑඩ් (Kaliningrad) වටලෑමට සූදානම් වෙද්දී, මොස්කව්, ශාන්ත පීටර්ස්බර්ග් සහ අනෙකුත් රුසියානු නගරවලට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුහු යුක්‍රේන පාලන තන්ත්‍රය සන්නද්ධ කළහ.

ඔවුහු “යුරෝපය ප්‍රතිසන්නද්ධ කිරිමේ” (“ReArm Europe”) සැලසුම යටතේ අතිරේක යුරෝ බිලියන 800 ක් දක්වා හමුදා වියදම් සඳහා වෙන් කිරීමට සැලසුම් කරති. තවද ජර්මනිය දැවැන්ත නැවත-සන්නද්ධ වීමේ වැඩසටහනකට මුදල් සැපයීම සඳහා තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ණය සීමාවෙන් හමුදා වියදම් නිදහස් කර ඇත. මෙවැනි විශාල මුදලක් එකතු කර ගැනීමට ඔවුන්ට හැකි වන්නේ සාමාජීය සුභසාධන වියදම් තදබල ලෙස කපා හැරීමෙන් පමණි.

යුරෝපයේ සෑම ආණ්ඩුවක්ම මෙම ව්‍යාපාරයට එකම ආකාරයකින් පිළිතුරු දෙන්නේ එබැවිනි. තම ධනයට අත තැබීමට හෝ තම යුද අරමුණු අතහැර දැමීමට කැමති නැති පාලක පන්තියකට මෙම ප්‍රතිපත්ති පැනවිය හැක්කේ ඒකාධිපති පාලන ක්‍රම මගින් පමණි. එය මහජන විරෝධයට පිළිතුරු දෙන්නේ පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ග සහ නව-ෆැසිස්ට් බලවේග ප්‍රවර්ධනය කිරීම මගිනි.

මෙය කම්කරු පන්තිය හමුවේ මෙම ගැටලුවල මූලික හේතුව වන ධනපති ක්‍රමයටම එරෙහිව සටන් කිරීමේ කාර්යය මතු කරයි.

ප්‍රංශයේ අර්බුදය පෙන්නුම් කරන්නේ කම්කරුවන්ට සහ තරුණයින්ට ඡන්ද දේශපාලනයේ සහ ධනපති රාජ්‍යය සමඟ කෙරෙන වෘත්තීය සමිති සාකච්ඡාවල රාමුව තුළ මෙම සටන ගෙන යා නොහැකි බවයි. වෘත්තීය සමිති නිලධාරිවාදය සහ ෂෝන්-ලුක් මෙලොන්ෂොන් (Jean-Luc Mélenchon) වැනි “ජනතාවාදී” (populist) දේශපාලනඥයන් ආණ්ඩුව පස්සට යනු ඇතැයි යන මෝහය ප්‍රවර්ධනය කරද්දී, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) නිර්දය මූලෝපායක් අනුගමනය කරමින් සිටී. ඔහුගේ ආණ්ඩුව විරෝධතා ව්‍යාපාරයට පිළිතුරු දී ඇත්තේ මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම් සහ සිසුන් දුසිම් ගණනකගේ අතපය අබලන් කළ පොලිස් ප්‍රචණ්ඩත්වය මගිනි.

ඔක්තෝබර් 17 වන දින, ඇමරිකා-නේටෝ යුද්ධ සහ රුසියාවට හා ඉරානයට එරෙහි බලශක්ති තහනම් කිරීම් නිසා ඇති වූ ඉන්ධන සහ ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව, මහා තරුණ ජනකායක්  “කහ කබාකාරයන්” (yellow vests) සමඟ පාගමනින් ගමන් කළහ. විරෝධතාව නිසා නගර කිහිපයක කැරලි මර්දන පොලිසිය අඩපණ වූ අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් (Laurent Nuñez) “පාලනය ගිලිහී ගිය බවට” පිළිගත්තේය. එතැන් සිට, බලධාරීන් ප්‍රධාන නගර කිහිපයක ඇඳිරි නීතිය පැනවූ අතර, ව්‍යාපාරය ආරම්භ වූ තැන් සිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. 

ඔක්තෝබර් 24 විරෝධතාව සඳහා ආණ්ඩුව හමුදාව යොදවමින් සිටී. ‘Operation Sentinelle’ හි සෙබළුන් රැකවල් රාජකාරි භාර ගනු ඇති අතර, එමගින් පොලිසියට සහ ජෙන්ඩාර්ම්වරුන්ට (gendarmes) GIGN, RAID සහ BRI ප්‍රහාරක ඒකක, සන්නද්ධ රථ, හෙලිකොප්ටර් සහ ජල ප්‍රහාරක රථ සමඟ එකතු වී විරෝධතාකරුවන්ට මුහුණ දීමට ඉඩ සැලසේ. බලකායන් වඩාත් චලනශීලී විය යුතු බව නූනෙස් (Nuñez) පවසන අතර, ඔහු පූර්ව දැනුම්දීමකින් තොරව පවත්වන විරෝධතා තහනම් කිරීම ද සලකා බලමින් සිටී.

රාජ්‍ය නිලධාරීහු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්හිටුවන හදිසි නීති තත්ත්වයක් ගැන සාකච්ඡා කරමින් සිටිති. ලබන වසරේ ජනාධිපතිවරණයේ මත විමසුම්වලින් ඉදිරියෙන්ම සිටින නව-ෆැසිස්ට්වාදී නැෂනල් රැලි (RN) පක්ෂය, 2032 වන විට යුරෝ බිලියන 140 ක අයවැය කප්පාදුවක් ඉල්ලා සිටින අතර, එහි සභාපති ජෝර්ඩන් බාර්ඩෙල්ලා (Jordan Bardella) විරෝධතාකරුවන් “අරාජිකත්වයේ වෘත්තිකයන්” ලෙස හෙළා දැක ඇත. දක්ෂිණාංශික ලි රෙපබ්ලිකන්ස් (Les Républicains) පක්ෂයේ ජනාධිපති අපේක්ෂක බෲනෝ රෙටයිලෝ (Bruno Retailleau) LFI පක්ෂය තහනම් කිරීමේ අදහස මතු කර ඇත. 2022 දී එම පක්ෂයේ අපේක්ෂක මෙලොන්ෂොන් ඡන්ද මිලියන 8 කට ආසන්න ප්‍රමාණයක් දිනාගත්තේය.

මේ අතරතුර, CGT නිලධරය නොවැම්බර් 5 වන දින පැවැත්වෙන එක්දින දිවයින පුරා වැඩවර්ජනය තෙක් වැඩවර්ජන ක්‍රියාමාර්ග කල් දමමින්, තරුණයින් සහ “කහ කබාකාරයන්” හුදකලා කර ඇත. එදින කම්කරුවන් මහා පරිමාණයෙන් වැඩවර්ජනය කළහොත් මැක්‍රොන් පස්සට යනු ඇතැයි CGT හි ප්‍රධාන ලේකම් සොෆී බිනේ (Sophie Binet) කියා සිටී: “කම්කරුවන් වැඩ කිරීම නැවැත්වූ විට, රට අඩපණ වේ, ආර්ථිකය ඇහිරේ, එවිට අපගේ ඉල්ලීම්වලට සවන් යොමුවනු ඇත.”

මෙලොන්ෂොන් ඔහුගේ පැත්තෙන් අදහස් දක්වමින්, මැක්‍රොන් තරුණයන්ගේ ඉල්ලීම්වලට එකඟ වූ පසු විරෝධතා අවසන් විය හැකි බව පවසයි: “අපගේ තරුණයින්ට මෙම සිදුවීම් මාලාවට යහපත් අවසානයක් අවශ්‍ය වේ. ඔවුන්ගේ ඉල්ලීම්වලට සවන් දිය යුතුය.” ධනපති පාලනය සුරක්ෂිත කර ගනිමින් 1968 මැයි ප්‍රංශ මහා වැඩවර්ජනය පාවා දී අවසන් කිරීම සාධාරණීකරණය කිරීමට ධනපති රාජ්‍යය සහ ස්ටාලින්වාදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය අතර සීමිත සමාජ සහන සාකච්ඡා වීම තුළින් ආණ්ඩුවට ආභාසය ලබා ගත හැකි බවට ඔහු අනුමාන කරයි.

නමුත් මැක්‍රොන් සූදානම් වන්නේ සම්මුතියකට නොව, ඒකාධිපතිත්වයකට ය. බිනේ සහ මෙලොන්ෂොන් ජාතිකවාදී මෝහයන් ප්‍රවර්ධනය කරන අතර යුද්ධයට එරෙහි අරගලය, ධනපති කතිපයාධිකාරියේ දේපළ රාජසන්තක කිරීම හෝ යුරෝපය පුරා පන්ති සටන ඇවිලී යාම ගැන කිසිවක් නොකියති. ඔවුහු ප්‍රංශ කම්කරුවන් සහ තරුණයින් යුරෝපයේ අන් තැනක සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ගෙන් වෙන් කරන අතර පාලක පන්තියේ සැලසුම්වලට එරෙහිව සටන් කිරීමට කිසිදු මගක් ලබා නොදෙති.

ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂය (Parti de l’égalité socialiste – PES) සහ යුරෝපයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) එහි සහෝදර පක්ෂ, පාසල්, විශ්වවිද්‍යාල, වැඩබිම් සහ ප්‍රදේශ තුළ ක්‍රියාකාරී කමිටු (committees of action) ගොඩනැගීමට කැඳවුම් කරයි.

අරගලයේ නිරත කම්කරුවන් සහ තරුණයින් විසින් තේරී පත්කර ගනු ලබන සහ පාලනය කරනු ලබන, වෘත්තීය සමිති නිලධාරිවාදයන්ගෙන් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන වූ මෙම කමිටුවලට, නිලධරය විසින් පනවන ලද කාලසටහන්වලින් තොරව වැඩවර්ජන පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා සටන් කළ හැකිය.

ක්‍රියාකාරී කමිටුවල කේන්ද්‍රීය කාර්යයක් වන්නේ දැනට යුරෝපය පුරා ඇවිලෙමින් පවතින අරගල ඒකබද්ධ කිරීමයි. මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යයට එරෙහිව, ප්‍රංශ කම්කරුවන්ගේ සහ තරුණයන්ගේ ප්‍රබලතම මිත්‍රයින් වන්නේ දැනට යුරෝපය පුරා අරගලයේ යෙදී සිටින කම්කරුවන් සහ තරුණයින් ය. ඔවුන්ගේ එකවිට සිදුවන නැගී සිටීම මගින් යුරෝපීය මහා වැඩවර්ජනයක අවශ්‍යතාව මතු කරන අතර, එය සූදානම් කළ හැක්කේ වෘත්තීය සමිති නිලධරයේ ජාතික රාමුව බිඳ දැමීමෙන් පමණි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI), ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) හරහා මෙම කමිටු ජාත්‍යන්තරව සම්බන්ධ කිරීමට සටන් කරයි.

එවැනි කමිටුවලට අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමේ, නව-ෆැසිස්ට්වාදයේ නැගී සිටීම නතර කිරීමේ සහ ධනපති කතිපයාධිකාරයේ දේපළ රාජසන්තක කිරීම මගින් ණය අර්බුදය විසඳීමේ ව්‍යාපාරයක මධ්‍යස්ථානය බවට පත්විය හැකිය. එම කතිපයාධිකාරය විසින් ආර්ථිකය සහ රාජ්‍යය පාලනය කරන තාක් කල්, නිසි පාසල්, දැරිය හැකි නිවාස සහ හමුදා සේවා බඳවා ගැනීම් හා යුද්ධය අවසන් කිරීම සඳහා වූ තරුණයින්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැක. එබැවින් PES සහ එහි සහෝදර පක්ෂ කම්කරු පන්තිය විසින් බලය අත්පත් කර ගැනීම සඳහා සහ යුරෝපීය සංගමය වෙනුවට යුරෝපයේ එක්සත් සමාජවාදී ජනරජයක් පිහිටුවීම සඳහා සටන් කරයි.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

socialismai.com logo

මෙම ලිපිය ගැන ප්‍රශ්න තිබේද? Socialism AI වෙතින් අහන්න

ප්‍රංශයේ 1968 මැයි මහා වැඩවර්ජනය යනු හරියටම කුමක්ද, සහ කොමියුනිස්ට් පක්ෂය සහ වෘත්තීය සමිති නිලධාරිවාදය විසින් එය අවසන් කරනු ලැබුවේ කෙසේද?

What exactly is the May 1968 general strike in France, and how was it brought to an end by the Communist Party and union bureaucracy?

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees) යනු කුමක්ද, සහ එය විවිධ රටවල් පුරා කෙරෙන අරගල සම්බන්ධ කිරීමට උත්සාහ කරන්නේ කෙසේද?

What is the International Workers Alliance of Rank-and-File Committees, and how does it try to link struggles across different countries?

ප්‍රථමයෙන්ම, යුරෝපීය ආණ්ඩු මූල්‍ය වෙළඳපොළවලට මෙතරම් දැවැන්ත රාජ්‍ය ණයබරිත තත්වයට පත් වූයේ කෙසේද, සහ මෙය සමාජ වියදම් කපා හරින අතරතුර හමුදා අය-වැය ඉහළ නැංවීමට  ඔවුන්ට බල කරන්නේ මන්ද?

How did European governments accumulate such massive public debts to financial markets in the first place, and why does this force them to cut social spending while raising military budgets?

තවත් ප්‍රශ්න SocialismAI.com වෙතින් අහන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top