සමාජවාදය සඳහා, යුද්ධයට, ජන සංහාරයට සහ ෆැසිස්ට්වාදයට එරෙහිව මැයි දින අන්තර්ජාල රැළියට එක්වනු! 

WSWS කර්තෲ මණ්ඩලය විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 01 වන දින  “Join the May Day Online Rally! For Socialism! Against war, genocide and fascism!යන හිසින් පළවූ WSWS කර්තෲ මණ්ඩලය විසින් නිකුත් කරන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට ලියාපදිංචි වී එය ශ්‍රවණය කරන ලෙස අපි, thesocialist.lk හා SLLA ඔබෙන් ඉල්ලමු. 

Rally
2026 මාර්තු 24 වන දින මෙල්බර්න් හි වික්ටෝරියා ප්‍රාන්ත ගුරුවරුන්ගේ වර්ජනයේ කොටසක්

අද, කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගිතා දිනය වන මැයි දිනයයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙහෙයවනු ලබන අපගේ 13 වන වාර්ෂික ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැළිය අද පස්වරු 3:00 ට (EDT වේලාවෙන්) පැවැත්වේ. සමාජවාදය වෙනුවෙන් සටන් කිරීමට සහ ධනේශ්වර ක්‍රමය අවසන් කිරීමට අපේක්ෂා කරන සියලු දෙනාට ලියාපදිංචි වී මෙයට සහභාගී වන ලෙස අපි ආරාධනා කර සිටිමු. 

පාලක පන්තිය, පන්ති විඥානය අතුගා දැමීමටත්, ඇමරිකාව තුළ පවතින අතිමහත් පන්ති අරගල සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කිරීමට හා වසන් කිරීමටත් නිමක් නැති උත්සාහයක නිරත වී ඇත. සැබවින්ම, මැයි දිනය බිහි වූයේ එක්සත් ජනපදය තුළ ය.

මීට වසර එකසිය හතළිහකට පෙර, 1886 මැයි 1 වන දින, සිය දහස් සංඛ්‍යාත ඇමරිකානු කම්කරුවෝ දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලා වැඩ වර්ජනයක නිරත වූහ. මෙම ව්‍යාපාරයේ මධ්‍යස්ථානය වූයේ චිකාගෝ නගරයයි; එහිදී කම්කරුවෝ 80,000ක් ඊට සහභාගී වූහ. දින තුනකට පසු, මැයි 4 වන දින සවස් වරුවේ, හේමාර්කට් චතුරශ්‍රයේ (Haymarket Square) පැවැත්වූ සාමකාමී කම්කරු රැළියකට පොලිසිය විසින් ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රහාර එල්ල කරන ලදී. එහිදී බෝම්බයක් පුපුරා ගියේය. එම පිපිරීමෙන් සහ පොලිසිය සමඟ ඇති වූ ගැටුමෙන් නිලධාරීන් හත් දෙනෙකු සහ කම්කරුවන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. 

චිකාගෝහි පාලක පන්තිය, එම සිද්ධිය උපයෝගී කරගනිමින් චිකාගෝ කම්කරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී මර්දනයක් (witchhunt) දියත් කළහ. බෝම්බ ප්‍රහාරයට කිසිදු කථිකයෙකු හෝ සංවිධායකයෙකු සම්බන්ධ බවට අංශුමාත්‍ර හෝ සාක්ෂියක් නොතිබුණි. එසේ වුවද, අරාජිකවාදී සහ සමාජවාදී කම්කරු නායකයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන, රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට සහ ව්‍යාජ නෛතික කුමන්ත්‍රණවලට පූර්වාදර්ශයක් සැපයූ අවනීතියේ නඩු විභාගයකට ලක් කරන ලදී. 1887 නොවැම්බර් 11 වන දින,  ඔගස්ටස් ස්පයිස් (August Spies), ඇඩොල්ෆ් ෆිෂර් (Adolph Fischer), ජෝර්ජ් එංගල් (George Engel) සහ ඇල්බට් පාර්සන්ස් (Albert Parsons) යන කම්කරුවන් සිව් දෙනෙකු එල්ලා මරා දමන ලදී. තවත් අයෙකු වූ ලුවී ලින්ග් (Louis Lingg), සිය සිරමැදිරිය තුළදීම සියදිවි නසා ගැනීමට පොළඹවන ලදී.

හේමාර්කට් (Haymarket) හීදී දිවි පිදූවන් 

සිය ජීවිත පූජා කළ ඒ උදාර අරමුණ මුළු ලොව පුරා වෙසෙන කම්කරු පන්තිය වැළඳ ගත්තේය. වසර තුනකට පසු, එනම් 1889 දී පැරිසියේ පැවති දෙවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේදී, සියලුම රටවල කම්කරුවන් එකම අවස්ථාවක දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලා උද්ඝෝෂණය කරන දිනය ලෙස මැයි 1 වනදා නම් කිරීමට තීරණය විය. එදින සිට මැයි 1 වනදා ජාත්‍යන්තර කම්කරු පන්තිය සතු විය.

එම මුල්කාලීන මැයි දිනවල ප්‍රධාන ඉල්ලීම වූයේ පැය අටක වැඩ දිනයකි. එහෙත් අද වන විට, මැයි දිනය යනු මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම වෙනුවෙන්ම කෙරෙන අරගලයකි. සැබවින්ම, සූරාකෑම කෙතරම් දරුණු වී ඇත්ද යත්, කම්කරු ව්‍යාපාරයේ මූලිකම ජයග්‍රහණය වූ පැය අටක වැඩ දිනය පවා වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයන් විසින් අත්හැර දමා ඇත. AFL-CIO සංගමයේ නිලධාරීන් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්ව ‘මැයි දින ශක්තිය’ (May Day Strong) වැනි උත්සව සංවිධානය කරන අතරතුර, ගබඩාවල, රෝහල්වල, පාසල්වල සහ කර්මාන්තශාලාවල සේවය කරන කම්කරුවෝ පැය 10, 12 සහ 14 වැනි දීර්ඝ සේවා මුරයන්හි යෙදෙමින් දුක් විඳිති.

මැයි දිනය සැමරීම යනු ධනවාදයට, අසමානතාවයට සහ සූරාකෑමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව සඳහා වූ සටන තුළ අන්තර්ගත වූවකි. එනම්, එය කම්කරු බලය සඳහා වන අරගලය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කැප වූ දිනයකි. ලියොන් ට්‍රොට්ස්කි 1918 දී ලියා තැබුවේ මැයි දිනයේ මුල් අරමුණ වූයේ, “එදින සියලුම රටවල කම්කරුවන් විසින් එකවර පවත්වනු ලබන උද්ඝෝෂණයක් මගින්, එකම ලෝක මධ්‍යස්ථානයක් සහ එකම ලෝක දේශපාලන දිශානතියක් සහිත විප්ලවවාදී ක්‍රියාකාරීත්වයේ තනි ජාත්‍යන්තර නිර්ධන පන්ති සංවිධානයක් තුළට ඔවුන්ව ඒකරාශී කිරීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම” බවයි.

එම කාර්යය, එනම් කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම, අපගේ යුගයේ මෙතෙක් නිම නොවූ ඓතිහාසික කාර්යභාරය ලෙස ඉතිරිව පවතී. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කාර්යභාරයයි.

දැන් අඛණ්ඩව වසර දහතුනක් තිස්සේ පවත්වනු ලබන, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) වාර්ෂික ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැළි සංවිධානය කර ඇත්තේ මෙම අරමුණ පෙරදැරි කරගෙනය. මේවා, කම්කරු නිලධාරි තන්ත්‍රය සහ ඔවුන්ගේ අනුබද්ධිත පාර්ශ්වයන් විසින් ධනේශ්වර රාජ්‍යය සමඟ පවත්වන සන්ධානය වසන් කිරීම සඳහා භාවිතා කරන හිස් රැඩිකල් වැකි ප්‍රකාශ කරන අවස්ථා නොවේ. සෑම රැළියක්ම ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඉදිරි දර්ශනය වර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය සන්ධිස්ථානයක් වී ඇත.

2014 වසරේ පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැළියේ සිට, ජාත්‍යන්තර කමිටුව මෙම රැළි හරහා ප්‍රධාන අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත: එනම්, ධනවාදයේ විසඳිය නොහැකි පරස්පර විරෝධයන් විසින් මෙහෙයවනු ලබන ලෝකය අලුතින් බෙදා ගැනීමේ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙල, මානව වර්ගයා ගෝලීය ව්‍යසනයක් කරා තල්ලු කරමින් සිටින බවයි. එම අනතුරු ඇඟවීම් දැන් තහවුරු වී ඇත. ලෝක යුද්ධය යනු අනාගතයේ සිදුවිය හැකි  දෙයක් නොවේ; එය දිගහැරෙමින් පවතින යථාර්ථයකි. පෙබරවාරි 28 වන දින ආරම්භ කරන ලද, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය යනු ලොව පුරා මිලිටරිවාදය උත්සන්න වීමේ මෙතෙක් වාර්තා වූ වඩාත්ම පුපුරන සුලු ප්‍රකාශයයි. 

එකිනෙකට බද්ධ වූ ක්‍රියාවලීන් දෙකක් මෙහි ප්‍රමුඛ වේ. පළමුවැන්න නම්, යුද්ධයේ ව්‍යාප්තියත් සමඟම ෆැසිස්ට්වාදය සහ ඒකාධිපති පාලනය කරා යොමු වීමත්, කම්කරු පන්තිය මත එල්ල කෙරෙන අසීමිත ප්‍රහාරයත් ය. මෙහි වඩාත්ම උග්‍ර ප්‍රකාශනය දක්නට ලැබෙන්නේ එක්සත් ජනපදය තුළ ය; එහිදී කතිපයාධිකාරීන්ගේ (oligarchs) ජනාධිපතිවරයා වන ට්‍රම්ප්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඉරා දමමින්, දේශපාලන භීෂණයේ මෙවලමක් ලෙස ආගමන විගමන පොලිසිය මුදා හරින අතර, මිලිටරිවාදය සහ මර්දනය වටා සමාජය ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලා සිටියි.

දෙවැන්න නම්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වෙමින් පවතින ප්‍රතිරෝධයයි. මෙම මැයි දින රැළිය මඟින් විවිධ මහාද්වීප පුරා කම්කරුවන් සහ තරුණයන් ගෙන යන වර්ධනය වන අරගල ලේඛනගත කරනු ඇති අතර, එම සටන් යුද්ධයට, ඒකාධිපති පාලනයට සහ ධනවාදයට එරෙහි සවිඥානික ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සහ මූලෝපාය විස්තරාත්මකව ඉදිරිපත් කරනු ඇත.

මෙහි කථිකයන් අතරට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තුර්කිය, බ්‍රසීලය සහ රුසියාව යන රටවල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) සහ ඒ සඳහා සහය දක්වන සංවිධානවල ප්‍රමුඛ නියෝජිතයන් ඇතුළත් වනු ඇත; එමෙන්ම සමාජ සමානතාව සඳහා වූ ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය සංවිධානයේ (IYSSE) සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ (IWA-RFC) නියෝජිතයන් ද මීට සහභාගී වනු ඇත.

මෙම රැළිය සඳහා සෑම මහාද්වීපයකින්ම අරගලයට අවතීර්ණ වෙමින් සහ ඉදිරි මාවතක් සොයමින් සිටින තැපැල් කම්කරුවන්, මෝටර් රථ කම්කරුවන්, ගුරුවරුන්, වරාය කම්කරුවන් සහ සිසුන් ඇතුළු කම්කරු හා තරුණ ජනතාවගෙන් ලබාගත් ප්‍රකාශයන් ද ඇතුළත් වනු ඇත.

මෙම මැයි දින රැළිය මඟින් පවතින ලෝක තත්ත්වය පිළිබඳ තක්සේරුවක් ඉදිරිපත් කරනු ඇත: එනම්, ඉරානයට එරෙහි යුද්ධයේ ඉතිහාසය සහ එහි අර්ථය; ඒකාධිපති පාලනය කරා ගමන් කිරීම සහ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රූපයන් බිඳ වැටීම; මෙන්ම ජාත්‍යන්තරව වේගවත් වන පන්ති අරගලයේ පිපිරීමයි.

මෙම රැළිය හුදු සැමරුමක් පමණක් නොවේ. එය ක්‍රියාකාරීත්වය සඳහා කෙරෙන කැඳවීමකි. පාලක පන්තිය, විදේශයන්හි යුද්ධය සඳහාත් දේශීයව පන්ති යුද්ධය සඳහාත් සමාජය සංවිධානය කරමින් සිටින අතර, ඔවුන් එය සිදු කරන්නේ වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ සහ සියලුම ධනේශ්වර පක්ෂවල සහයෝගය ඇතිවය. මෙම මැයි දින රැළිය මඟින් කම්කරුවන් සහ තරුණයන් ඉදිරි සටන සඳහා අවශ්‍ය වැඩපිළිවෙලකින්, මූලෝපායකින් සහ ජාත්‍යන්තර සංවිධානාත්මක ඉදිරි දර්ශනයකින් සන්නද්ධ කරනු ඇත.

දැන්ම wsws.org/mayday වෙබ් අඩවියෙන් ලියාපදිංචි වන්න. රැළිය එක්සත් ජනපද නැගෙනහිර වේලාවෙන් පස්වරු 3:00 ට ආරම්භ වේ. ඔබගේ සම-සේවකයින්, පන්තියේ මිතුරන්, පවුල්වල සාමාජිකයින් සහ මිතුරන් ඒකරාශී කරන්න. අද, 2026 මැයි 1 වන දින, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය තුළ ඔබගේ ස්ථානය ලබා ගන්න.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top